රාවය

රාජ්‍ය ආයතන ව්‍යුහාත්මකව වෙනස් කරවන්න අපි පියවර ගත යුතුයි | ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

රාජ්‍ය ආයතන  ව්‍යුහාත්මකව වෙනස් කරවන්න අපි පියවර ගත යුතුයි | ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

තරිඳු උඩුවරගෙදර

රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් දැන් විශාල කතාබහක් ඇතිවෙලා. රාජ්‍ය ව්‍යවසාය කියන්නේ මහජන මුදල් කාබාසිනියා කරන ආයතන බවට පත්වෙලා. ඔබට අනුව රාජ්‍ය ව්‍යවසාය අවශ්‍යද? අවශ්‍ය නම් ඒ ඇයි?
අපට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි පුද්ගලික අංශයට සම්පූර්ණයෙන් ව්‍යවසාය කටයුතු බාරදීලා රජයට සම්පුර්ණයෙන් පැත්තකට වෙන්න පුළුවන්ද කියන එක. එහෙම පුළුවන් නම් ඒ මොන අංශද කියලා හොයාල බලන්න ඕනෑ. එහෙම බැරි නම් ඒකට තියෙන විකල්ප මොනවාද කියලාත් හොයලා බලන්න ඕනෑ. පුද්ගලික අංශය කටයුතු කරන්නේ ලාභය බලාගෙන. ලාභය කිව්වාම රුපියල් සතවලින් හෝ ප්‍රතිශතයකින් කියන ලාභයකට වැඩිය කාලය හා සම්බන්ධ ලාභයකුත් තියෙනවා. පුද්ගලික අංශයේ මොළය තියෙන ව්‍යාපාරිකයෙක්? තමන්ගේ සල්ලි යටකරන ව්‍යාපෘතියක් කොච්චර ලාභශීල වුණත් එය ලැබෙන්නේ අවුරුදු පණහකින් නම් ඒ වගේ ක්ෂේත්‍රයක ආයෝජනය කරන්නේ නෑ. පුද්ගලික ව්‍යවසායකයා බලන්නේ හැකි ඉක්මනින් ලාභ ලබන්න. මම කියන්නේ ආයෝජනයකට සල්ලි යොදවනවා නම් ඒ වගේ වෙනත් ක්ෂේත්‍ර තියෙනවා කියලා. ඒ නිසායි වෙළෙඳාම වගේ වාණිජ කටයුත්තකට ව්‍යාපාරිකයා පෙළඹෙන්නේ. එතැන ගනුදෙනුව කළ විගස ලාභය ලැබෙනවා. අවදානම අඩුවෙන් ගන්නයි ආයෝජකයා බලන්නේ. පෞද්ගලික ආයෝජකයා බලන්නේ හැකි අවම කාලයෙන් ඉහළ ලාභශීලතාවක් ලබාගන්න. මේ රාමුව තුළ සංවර්ධන ව්‍යාපෘතිවලට තියෙන ඉඩකඩ අඩුයි. මම සංවර්ධනය කියන්නේ හුදෙක් යටිතල පහසුකම් විතරක් නෙවෙයි. කර්මාන්ත ව්‍යාපෘති ගත්තත් අවුරුදු හතකින් දහයකින් ප්‍රතිඵල ලබාගන්නා ආයෝජනය තිබිය හැකියි. විශේෂයෙන් පර්යේෂණයකට වගේ සල්ලි දැම්මාම ඒක අසාර්ථක වෙන්නත් පුළුවන්. පෞද්ගලික ආයෝජකයෙක් කැමති නෑ අවුරුද්දක් දෙකක් වැඩ කරලා පර්යේෂණ අසාර්ථක වුණා කියලා අත පිහදාගන්න. කවුරු හරි පර්යේෂණයක් කරලා සාර්ථක වෙන බවට සහතිකයක් තියෙනවා නම් ඒක වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කරන්න පර්යේෂණ කරන පෞද්ගලික ආයතන ඇමරිකාව වගේ තැන්වල තියෙනවා. හැබැයි අපේ වගේ රටවල එහෙම සහතිකයක් නැති ආයෝජන අවස්ථාවකට සල්ලි යොදවන්න පෞද්ගලික ව්‍යාපාරිකයා කැමති නෑ. මේකෙන් වෙන්නේ ලංකාව වගේ ප්‍රාග්ධන සම්පත් අඩු රටක තියෙන පෞද්ගලික සම්පත් කෙටිකාලීනව ලාභ ලැබෙන? කෙටිකාලීනව ඉහළ ප්‍රතිලාභ ලැබෙන වාණිජ කටයුතු වගේ දේවල්වලට යෙදවීම. උදාහරණයක් විදියට හිතමු කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමක් වගේ වැඩිපුර ඇඟ මහන්සි නොවී කරන, නිෂ්පාදන කටයුත්තක් නොවන දේවල්. පළවැනි ප්‍රශ්නය අපි ජාතියක් විදියට නැඟිටින්න නම් ඒක ප්‍රමාණවත්ද කියන එක. රටකට තමන්ගේම වූ අනන්‍යතාවක් ලෝකයේ හදාගන්න, නිෂ්පාදනවලින් සහ පර්යේෂණවලින් නමක් හදාගන්න ඔය ටික කිරීම ප්‍රමාණවත්ද කියන එක.

යම් දිරිගැන්වීමක් කරලා ඒ වගේ ව්‍යාපෘතිවලට පෞද්ගලික ප්‍රාග්ධනය යොමු කරවන්න රාජ්‍ය අංශයට පුළුවන් නේද?
අපි හිතමු ඒ වගේ ආයෝජනයකට පෙළඹෙන අයට බදු සහන දෙනවා. නැත්නම් අවශ්‍ය යන්ත්‍ර දෙනවා. නැත්නම් නොමිලේ ඉඩමක් දෙනවා කියලා. හැබැයි ඒකේත් සීමාවක් තියෙනවා. ඩෙංගු රෝගය ගැන විශාල පර්යේෂණයක් කරන්න ඔය සහන දුන්නත් පෞද්ගලික ආයෝජකයෙක් යන්නේ නෑ. ජාතික වශයෙන් වැදගත්වූ මහා පරිමාණ කර්මාන්ත හදනකොට ඒවාට ආයෝජනය කරන්න පෞද්ගලික ව්‍යවසායකයන්ට බැහැ. මොකද ඒකේ ආයෝජන ප්‍රමාණය ඉතා ඉහළයි. එතකොට මේක රජයෙන් කළේ නැත්නම් මොකක්ද ඊළඟට වෙන්නේ, එක්කෝ ආර්ථිකය අඩාල වෙනවා. නැත්නම් විදේශික පුද්ගලික අංශය ගෙනෙන්න වෙනවා. සමහරුන්ගේ මතයක් තියෙනවා විදේශීය පුද්ගලික ආයෝජන ගෙනෙන එක තමයි හරි කියලා. ඒකේ සාවද්‍යකම තමයි, එහෙම වුණාම ජාතිකත්වය නැතිවෙනවා. අපේකම නැතිවෙනවා. අපි හිතමු අපි ගෙදරක ඉන්නවා කියලා. ඒ ගෙදර කාමරයක් එක්කෙනෙක්ට දීලා තව කෙනෙක්ට තව කාමරයක් දුන්නා කියලා හිතමු. කාමර පහක් විතර දීලා එක කාමරයක අපි හිටියොත් ගෙදර නමට ඔයාට තිබුණත් ඒක අයිති ඔයාට නෙවෙයි. එහෙම මට්ටමකට රට ගෙනියන්න පුළුවන් නම් ඔය කතාව යම් මට්ටමකට පිළිගන්න පුළුවන්. ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්න ගමන් විදේශීය ආයෝජකයන්ට ජාතික කටයුතු බාරදීලා දේශීය ආයෝජකයන්ට පොඩි ආර්ථික කටයුතු බාරදෙන්න බැහැ. අපේ ආර්ථිකයකට ජාතිකත්වයක් තියෙන්න ඕනෑ. එහෙම වෙන්න නම් මහපොළොව පදනම් කරගත්ත භූමියේ සීමාවන් විතරක් නෙවෙයි, ජාතික ආර්ථිකයේ සීමා මායිම් දාගන්න ඕනෑ. අපි හිතනවා විදේශික බහුතරයක් ආර්ථිකය ගිලගැනීම ගැළපෙන්නේ නෑ කියලා.
මේ කියන මැදිහත්වීම කරන්නේ කවුද. එක්කෝ කරන්නැතිව ඉන්න ඕනෑ. නැත්නම් ජාතිකත්වය පාවා දෙන්න ඕනෑ. එහෙම නැතිනම් තුන්වැනි විකල්පය තමයි රාජ්‍ය අංශය ඇවිල්ලා කරන එක. කවුරුහරි කිව්වොත් රාජ්‍ය මැදිහත්වීම නැතිව ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න ඕනෑ කියලා, මම ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ හැම මඟුලටම රජය මැදිහත් වෙන්න කියලා නෙවෙයි. උදාහරණ දුන්නොත් බේකරි දුවවන්න රජය ඕනෑ නෑ, ෆොටෝකොපි කඩ දාන්න රජය ඕනෑ නෑ, චූංපාං බෙදන්න රජය ඕනෑ නෑ. මම කියන්නේ නෑ රජය ඒවා කළාට වරදක් තියෙනවා කියලා. හැබැයි රජය නැතිව ඒවා කරන්න පුළුවන්. තව දේවල් තියෙනවා රජය නැතිව කරන්න බැරි.

දැන් ආණ්ඩුව කියන්නෙත් රජය නැතිව කරන්න පුළුවන් දේවල් පෞද්ගලික අංශය කරලා සීමිත කොටසක් රජයෙන් කරනවා කියලා නේද?
කවුරුහරි කිව්වොත් රජය නැතිව කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා කියලා, තව දේවල් ගොඩාක් තියෙනවා රජය නැතිව කරන්න බැරි. මම උදාහරණයක් දෙන්නම්. අසූගණන්වල අග වෙද්දී මේ රටේ විදුලි උත්පාදන කර්මාන්තය සම්බන්ධව මතවාදී සංවාදයක් තිබුණා. ඒක තමයි විදුලිය යනු පුද්ගලික අංශයෙන් සැපයිය හැකි දෙයකි, ඒ නිසා රාජ්‍යය ඒකට මැදිහත් වෙන්න ඕනෑ නෑ කියලා. රජය මේවා කරන්න ණය වෙන්න ඕනෑ කියලා කිව්වා. ඒ නව ලිබරල් ආර්ථික තර්කනය අනුව. පුද්ගලික අංශයට ඕක විවෘත කළාම ඒ කාලේ හැටියට මහා පරිමාණ බලාගාර තමයි ඕනෑ වුණේ. මෙගාවොට් සීයෙන් උඩ ඒවා. මේවා පුද්ගලික අංශයෙන් එයි කියලා බලාගෙන හිටියා. දේශීය පුද්ගලික අංශය ආවෙත් නෑ, විදේශීය පුද්ගලික අංශය ආවෙත් නෑ. මම නම් කියන්නේ ආවා නම් ව්‍යාපෘතිය දෙන්න කලින් එයාලාව අංගොඩ මානසික රෝහලට ගිහින් ඔළුව පරීක්ෂා කරන්න ඕනෑ. නැත්නම් එහෙම ආවොත් යටි අරමුණක් තියෙන්න ඕනෑ. ඔය චීන සමාගමක් හම්බන්තොටට එනවා වගේ. චීන සමාගම එන්නේ හෙට දවසේ ලාභ හොයන්න නෙවෙයිනේ. එයාලා අනූනවයකට ඉල්ලන්නේ වාණිජ අරමුණකට එහා ගිය දේශපාලන අරමුණක් තියෙන නිසා. චීන රජය ඒකට තල්ලුව දෙන නිසා. ඉතින් ඔය වෙද්දි මහා පරිමාණ ආයෝජකයෝ ආවේ නෑ. දේශීය ව්‍යාපාරිකයන් පොඩි පොඩි ඩීසල් බලාගාර හැදුවා. ඒවායේ ඒකකයක ගණන ඉතා ඉහළයි. ඉන්ධන විශාල වශයෙන් ආනයනය කරන්න වෙනවා. අන්තිමට රට ගිහින් ලයිට් කපන තැනක හිරවුණා. අන්තිමට රජයට වුණා නොරච්චෝලේ බලාගාරයක් හදන්න චීන ණයකින්. ඒක කළ විදිය හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්. ඒකෙන් තමයි ලංකාවේ විදුලියේ ආර්ථිකය ටිකක් හරි පාලනය වුණේ.

සරලව කිව්වොත් රජය අනිවාර්යයෙන් කරන්න ඕනෑ මොන වාගේ දේවල්ද?
මේ රටේ වෙළෙඳපොළේ දැනට ඉල්ලුමක් නැති ඉල්ලුමක් ඇතිවිය හැකියි කියලා උපායමාර්ගිකව හිතන දේවල් රජය කරන්න ඕනෑ. හැට ගණන්වල දකුණු කොරියාවේ හදලා තිබුණා කිස්ට් කියලා ආයතනයක්. කොරියා ඉන්ස්ටටියුට් ඔෆ් සයන්ස් ඇන්ඞ් ටෙක්නොලජි. ඒක ටිකක් ඒ වෙද්දීත් ලංකාවේ හදලා තිබුණු සීඅයිඑස්අයිආර් කියන සමාගමට සමානයි. ඒක හදලා තිබුණේ පර්යේෂණ හා කර්මාන්ත සම්බන්ධ කටයුතුවලට. පෞද්ගලික ව්‍යවසායකයෙක් විසින් කිස්ට් ආයතනයට යෝජනාවක් ගෙනාවා විද්‍යුත් චුම්බක තාක්ෂණ කොරියාවේ හදන්න කියලා. ඒ වෙද්දී රටේ ප්‍රාග්ධනය හිඟයි. මූලික වශයෙන් වෙළෙඳපොළක් නෑ. අවදානම ඉහළයි. ඒ එක්කම ඒ තාක්ෂණයට අදාළව ජාත්‍යන්තර ආයෝජනයකුත් ආවා. හැබැයි ඒක ජනාධිපති විසින් අත්හිටෙව්වා. ලංකාවේ නම් ඒවා බදු සහන දීලා පාවාඩ දාලායි පිළිගන්නේ. දේශීය ආයෝජකයා එක්ක එකතුවෙලා යමක් කරන්න රජය පෙළඹෙන්නෙ නෑ.

කොරියාවේ එහෙම දේශීය ආයෝජකයා ප්‍රතික්ෂේප කළා නම් අද සැම්සුන්ග් සමාගම නෑ. එදා සැම්සුන්ග් සමාගම පැළකළේ රාජ්‍යය අංශය විසින්. ලෝකයේ ඕනෑ තරම් ඒ වාගේ උදාහරණ තියෙනවා. ඒ වාගේ දේවල් අපේ රටේත් වුණා.

දැන් රාජ්‍ය දේපළ විකුණන්න එපා කියලා හිටපු ආණ්ඩුවත් කෑගහනවානේ. මේ ආණ්ඩුව පෙරළන්න තරම් ඔය හඬ නැගෙනවානේ. ඉතින් රාජ්‍ය අංශයටම ඒවා පැවරුවොත් කාර්යක්ෂමව ඒ සේවාවන් ක්‍රියාත්මක වේවිද? දැන් රාජ්‍ය අංශය කියලා එකක් ගැන විශ්වාස කරන්න පුළුවන්ද?
රාජ්‍ය අංශය තිබිය යුතුයි කියලා කෑගහලා බැනර් එකක් අරන් පෙළපාලි ගියාට මදි. අපේ රටේ ලොකුම අඩුව තමයි රාජ්‍ය අංශය කාර්යක්ෂමව දුවාගන්න අවශ්‍ය ව්‍යුහය අපි දාගත්තේ නැතිවීම. හැම රාජ්‍ය ආයතනයක්ම පාඩුයි කියලා අපි දන්නවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් පාඩුයි කියලා කියනවා නම්, කවුද වගකිව යුත්තේ. බදු ගෙවන අහිංසක මිනිසුන්ද. පොදු ජනතාවද. අනාගත පරම්පරාවද. කවුද මේවා කළමනාකරණය කළේ. විටින් විට පත්වෙන ආණ්ඩු සහ දේශපාලන බලාධිකාරය විසින් තම තමතමන්ගේ ආණ්ඩුවල න්‍යාය පත්‍රවලට මේවා මෙහෙයවුවා. අපි රාජ්‍ය අංශය ඕනෑ කියලා විතරක් කියලා බෑ. ඒක කාර්යක්ෂම කරවන්න ඕනෑ. මේ ආයතන මරාගෙන කන්න දෙන්න බෑ. අපි ඔය ආයතනයකට ගිහින් සේවකයන් බඳවාගත්ත කාල සීමාවන් සහ ඒ ඒ කාල සීමාවල බඳවාගත්ත සේවකයන්ගේ ගම්පළාත් බැලුවොත් ඒ ඒ කාලවල හිටපු ඇමතිවරුන් ආවේ කොහෙන්ද කියලා හොයාගන්න පුළුවන්. ආයතන කාර්යක්ෂමව දුවවන්න නෙවෙයි, දේශපාලනික වුවමනාවලට සේවකයන් බඳවාගන්නවා. දේශපාලන අධිකාරිය මේවායේ අයිතිකාරයෝ වගෙයි මෙහෙයවන්නේ. සැබෑ අයිතිකරුවන් මහජනතාව.

ඉතින් ඒ නිසානේ පෞද්ගලික අංශයට දෙන්න කියන්නේ?
මම කියන්නේ මේකයි. කෙනෙක් කියනවා රාජ්‍ය අංශයට මේවා දෙන්න කියලා. ඒක එක අන්තයක්. තව කෙනෙක් කියනවා රාජ්‍ය අංශය අකාර්යක්ෂමයි, විදේශ ආයෝජන ගෙනෙන්න කියලා. ඒක අනෙක් අන්තය. මම කියන්නේ ඒ අන්ත දෙකේම අපි ඉන්න ඕනෑ නෑ. අපි කතාකරන්නේ නිර්දේශපාලනිකව මේ රාජ්‍ය අංශය කළමනාකරණය කරන්න අවශ්‍ය විදියේ ව්‍යුහයන් හදන්න ඕනෑ කියන එක ගැනයි. සිංගප්පූර් එයාලයින්ස් කියන්නෙ රාජ්‍ය ආයතනයක්. ඇයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකත් පවත්වාගෙන යන්නට සිංගප්පූරුවෙන් පාඩම් ඉගෙනගන්න බැරි. ඇමතිවරයා ශ්‍රී ලංකන් එක ගෙනියන්න බෑ කියලා කියනවා නම් අපි කියමු දාලා යන්න කියලා. පුළුවන් කෙනෙක්ට කරන්න දෙන්න කියමු. හැමදාම ආණ්ඩු කළේ පහුගිය ආණ්ඩුව මේවා කාබාසිනියා කළා කියලා බැනපු එක. ඒත් ඇවිල්ලා මෙයාලා කළෙත් ඒකමයි. ඉතින් මේක නවත්වන්න ක්‍රමයක් ඕනෑ.

ඒ සඳහා ඔබ යෝජනා කරන්නේ මොකක්ද?
ඔය දාපු ස්වාධීන කොමිෂන් සභා වගේ උපාය මාර්ගික ව්‍යවසාය මාර්ගික කළමනාකරණ කොමිසමක් දාන්න ඕනෑ. ඒ ආයතනය පාලනය කළ යුත්තේ ව්‍යවසායන් දුවලා සාර්ථකත්වය ලබාගත්ත, ව්‍යාපාරිකයන්, වාණිජ මණ්ඩලවල විද්වතුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේ ඉන්න ස්වාධීන මණ්ඩලයක්. ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් ඒක පත්කරගන්න පුළුවන්. ඒ අයගේ වගකීම වියයුත්තේ ඒ ආයතන ලාභෙට දුවවන එක. ලංගම උදාහරණයක් විදියට ගත්තොත් ඒක අර කොමිෂන් සභාව යටතේ ගැසට් කරන්න පුළුවන්. ලංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය දැන් පත්කරන්නේ ඇමති. හැබැයි මං කියන විදියට අර කොමිසම තමයි පත් කරන්නේ. එතකොට ඒ ආයතනය ලංගම ලාබෙට දුවන ආයතනයක් බවට පත්කරන්න පියවර ගන්න ඕනෑ. ලාබෙට දුවන්න බැරි නම් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලයත් අර කොමිසමට තියෙනවා. දැන් ලංගම දුවන්නේ ලාභ පාරවල විතරයි. එතකොට ලාබයක් නැතිව දුෂ්කර ගමේ පාසල් බස් එක දුවන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවානේ. එහෙම දුවන දුෂ්කර පාරවල් තීරණය කරන්න ඕනේ රජය විසින්. ඒ වගේ පාරවල්වල බස් එක දිවීම ප්‍රවාහන අමාත්‍යාංශය විසින් තීරණය කරනවා. ඒ ඉල්ලීම් ලැයිස්තුව ලංගමයට ප්‍රවාහන අමාත්‍යාංශය යවන්න ඕනෑ. එතකොට ලංගමයෙ ප්‍රධානීන්ට එනවා ප්‍රශ්නයක්. අපට මේවා දුවවන්න බෑ. එහෙම වුණොත් පාඩුයි කියලා. එතකොට ඒ ප්‍රධානීන් විසින් උපායමාර්ගික ව්‍යවසාය කොමිසමට ගණන් හදලා කියන්න ඕනෑ මේ විදියට ආණ්ඩුව යෝජනා කරනවා, එහෙම කළොත් අපට මෙහෙම පාඩුයි කියලා. එතකොට උපාය මාර්ගික කොමිසම තීන්දුවක් දෙනවා, මේ මේ පාරවල්වල බස් එක දුවන්න යනවා මෙච්චර වියදමක්, ඒ වියදම මහා භාණ්ඩාගාරයෙන් දෙන්න ඕනෑ කියලා. එතකොට ලංගමයට බෑ තමන්ගේ කාබාසිනියා පාඩුව අර සුභසාධනය යට හංගන්න. එතකොට ආණ්ඩුව සුභසාධන සේවාවන් ගණන් හිලව් ඇතිවයි පවත්වාගෙන යන්නේ. ලංගමය ලාභ ලබන්න ගත්තාම ඒකෙන් ආණ්ඩුවටම ලාභයි. මම කියන්නේ බැනර් උස්සනවාට අමතරව රාජ්‍ය ආයතන ව්‍යුහාත්මකව වෙනස් කරවාගෙන රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන්න අපි පියවර ගන්න ඕනෑ. එහෙම නැතිව කරන සටන් බොරුවක් වෙනවා.■