රාවය

දෙමළ ජනතාවගේ අරගලය අපතේ ගියේ නෑ | වීඅයිඑස් ජෙයපාලන්

දෙමළ ජනතාවගේ අරගලය අපතේ ගියේ නෑ | වීඅයිඑස් ජෙයපාලන්

රේඛා නිලුක්ෂි හේරත්

වී.අයි.එස්. ජෙයපාලන් යනු ලෝක දෙමළ ප්‍රජාව අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහු කවියෙකි, නවකතාකරුවෙකි, දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ අදහස් දක්වන්නෙකි. මෑත කාලයේදී සිනමා රංගන ශිල්පියෙකු ලෙසත් ඔහු අවධානයට ලක්විය. සියල්ලට එහායින් ඔහු ලෝක ප්‍රජාව විසින් පිළිගන්නා ශ්‍රී ලංකාවෙන් බිහිවූ මිනිසෙකි. ශ්‍රී ලංකාවේ උඩුවිල්හි ජීවත්වූ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍ය සංගම් නායකයෙකි. ඔහු ශ්‍රී ලංකාව හැර යන්නේ යුද්ධයේ අඳුර ලංකාවට වැටුණු කාලයේදීය. පසුව ජෙයපාලන් නෝර්වේ පුරවැසියෙකු බවට පත්විය. ඉන්දියාව සහ නෝර්වේ අතර ඔහුගේ ජීවිතය ගෙවෙයි. සිංහල සමාජය ඔහු දෙමළ ජාතිකවාදියෙකු ලෙස හැඳින්වුවත් ඔහු එල්ටීටීඊ සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ටීටීඊ ප්‍රදේශවල සිටින සුළුතරය වන සිංහල ප්‍රජාව මෙන්ම සුළුතර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන්ද පෙනීසිටියේය.

ඔබට අනුව අද ලාංකේය දේශපාලනය පවතින තත්ත්වය මොන වාගේද?
මට පෙනෙන විදියට සිංහල දේශපාලන නායකත්වය කටයුතු කරන්නේ දෙමළ විරෝධය යම් මට්ටමකට යටපත් කරගනිමින් මුස්ලිම් විරෝධයක් වර්ධනය කරගන්නා තත්ත්වයක. මේක ඉතාම නරක දෙයක්. මධ්‍ය පන්තික සිංහල ජනතාව එක්ක සාකච්ඡා කරද්දී පෙනෙන දේ තමයි දැන් දෙමළ විරෝධය අඩුවෙනවා. ඒක මුස්ලිම් විරෝධයකට මාරුවෙලා. සිංහලයන්ට හැම වෙලාවෙම විරෝධයක් ඕනෑ. එහෙම විරෝධයක් තිබුණොත් තමයි ඡන්ද බැංකු දේශපාලනය කරන්නේ. එහෙම කරන අතරේ ඔවුන් හිතනවා දෙමළ ජනතාවට සියල්ල අමතකයි කියලා. මොකද දෙමළ මිනිස්සු සිංහල දේශපාලන නායකත්වයට ඇහෙන්න ලොකු හඬක් නඟන්නේ නෑ. විවෘතව කතා නොකර තමන්ගේ වේදනාව අභ්‍යන්තරයේ හංගාගෙන ඉන්නවා.

මේ කතාව තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද?
යුද්ධය අවසාන වීමත් එක්ක සිංහල බහුතරය යුද්ධයට දුන්නේ වැරදි අර්ථකථනයක්. යුද්ධය ඇතිවෙන්නට හේතු ගැන මෙන්ම යුද්ධයෙන් පසුව ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. මේ දෙමළ සහ උතුරු නැගෙනහිර ප්‍රශ්නය මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක්. සංස්කෘතික නිජබිම පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රදේශවල සිංහල ගම්මානත් තියෙනවා. ඔවුන්ටත් සංස්කෘතික අනන්‍යතාවක් තියෙනවා. උඩරට ඉන්නවා සුළුතර දෙමළ ජනතාවක්. ඒ අයගේත් අනන්‍යතාවක් තියෙනවා. ඒ සියල්ලන් ආරක්ෂා කරන දේශපාලන විසඳුමක් ලබාගැනීමයි යුද්ධයෙන් පස්සේ අප කළයුත්තේ. යුද්ධය අවසාන වීම ඒ නිජබිම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමක් නෙවෙයි. මේකට දේශපාලන විසඳුමක් ඕනෑ. එක්කෝ ෆෙඩරල් ක්‍රමයක්, නැතිනම් ෆෙඩරල් ක්‍රමයට ආසන්න වෙනත් ආණ්ඩුක්‍රමයක් ඕනෑ. එතැනින් එහාට තවත් දේවල් සිදුවිය යුතු වුණත් මූලිකවම දෙමළ ජනතාව ජාතියට ඇතුළත් කරගන්නට දේශපාලන විසඳුමවත් ලබාදිය යුතුයි. ඉන් පසුවයි සැබෑ ජයග්‍රහණයක් ගැන සිංහල ජනතාවට සතුටුවිය හැක්කේ.

මුස්ලිම් විරෝධය ගැන ඔබේ අදහස මොකක්ද?
මුස්ලිම් මිතුරන් දන්නවා මම ඔවුන් වෙනුවෙන් කතාකරන බව. උතුරේ මුස්ලිම් ජනතාව එලවන්නට ප්‍රභාකරන් තීරණය කරද්දී මම ඒකට තදින් විරුද්ධ වුණා. මම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කවි ලීවා. මම සිංහල ජනතාවගෙන් අහනවා මුස්ලිම් ජනතාව ඔබත් එක්ක එකට කටයුතු කරනවා නේද කියලා. ඉතිහාසය පුරාම ජනවාර්ගික ප්‍රශ්නයේදී මුස්ලිම් ජනතාව බහුතර සිංහල ජනවර්ගයත් එක්කයි හිටියේ. ඉතින් ඔබට කිසිම අයිතියක් නෑ මුස්ලිම් විරෝධී වෙන්න. ඔබට මුස්ලිම් ජනතාව එක්ක කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔවුන් එක්ක සාකච්ඡා කරන්න.

ඔබ ෆෙඩරල් ක්‍රමයක් ගැන කීවා. මේ යෝජනාවට සිංහල සමාජය කිසිසේත් එකඟතාවක් දක්වන බව පෙනෙන්නේ නැහැ නේද?
ෆෙඩරල් ක්‍රමය යෝජනා කළේ උඩරට සිංහලයන් විසින්. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය බිහිවෙද්දී ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළේ උඩරට සිංහල නායකයන් විසින්. ඊළඟට දෙමළ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන්නට උතුරු නැගෙනහිර ඒකාබද්ධ ෆෙඩරල් පළාතක් විදියට යෝජනා කළේ බණ්ඩාරනායක මහත්තයාමයි. ඒ ඉල්ලීමට ප්‍රධාන හේතුවක් වුණේ උඩරට සිංහලයන් වෙනුවෙන් උඩරට ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණ. ඒ කාලයේ උඩරට සිංහලයන් සහ පහතරට සිංහලයන් අතර වෙනසක් තිබුණා. උඩරට සිංහලයන් පහතරට සිංහලයන් සමඟ මිශ්‍ර වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ.. සංස්කෘතික නිජබිම පිළිබඳ සංකල්පයක් එක්ක ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළේ දෙමළ ජනතාව නෙවෙයි සිංහල අය. මට තේරෙන්නේ නැත්තේ මුලින්ම ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළ සහ මුලින්ම උතුරු නැගෙනහිර දෙමළ සහ සිංහල ෆෙඩරල් රාජ්‍යයක් විදියට යෝජනා කළ අයම ලොකු හමුදාවක් හැදුවා ෆෙඩරල් ක්‍රමයට එරෙහිව සටන් කරන්නට. මම ගෞරවයෙන් ඉල්ලන්නේ ඔවුන්ගේ ඉතිහාසය හරහා යන්න. නිවැරදි කරන්න තමන්ගේම ස්ව-විසංවාදිත අදහස්. එය කරන්නට අසීරු නෑ. එය කරන්න පුළුවන් සිංහල දේශපාලන නායකත්වයට.

යුද්ධය අවසාන වීම සිංහලයන් වැරදියට අර්ථකතනය කරගත් බව ඔබ කීවා. ඒ ගැන තව පැහැදිලි කරන්න පුළුවන්ද?
මම අහන්නේ සිංහලයන්ගෙන් යළි සලකා බලන්න කියලා. සිංහලයන් හිතනවා ඔවුන් දෙමළ ජනතාව සදාකාලිකව පරාජය කළා කියලා. ඇතැම් දෙමළ ජනතාවත් හිතනවා පරාජය වුණා කියලා. භෞතිකව මහින්ද රාජපක්ෂ යුගයේදී යුද්ධය ඉවරවුණා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ යුගයේදී උතුරේ තත්ත්වය හොඳින් තිබුණේ නෑ. දැඩි භීෂණයක් තිබුණා. බිය පතුරවලා තිබුණා. ඒ තත්ත්වය මේ ආණ්ඩුව ආවාම වෙනස් වුණා. දැන් මේ පස්සේ ප්‍රශ්නය කල් දානවා. ප්‍රශ්නය විසඳුණේ නෑ. කල් දැම්මා. යුද්ධයත් නැති සාමයත් නැති තත්ත්වයක් දැන් තියෙනවා. හැබැයි දෙමළ ජනතාව නැවත අසූතුනට කලින්, යුද්ධයට පෙර තත්ත්වයට ආවා කියලා මම හිතන්නේ නෑ. යුද්ධය සමයේදී දෙමළ යුදමය ක්‍රියාමාර්ගය පරාජය වුණා. හැබැයි ඒ දෙමළ අරගලය ලෝක දෙමළ ජනතාවගේ සංකේතය බවට පත්වුණා. යුද්ධය ඉවරවෙද්දී දෙමළ ජනතාව ලොකු භෞතික පරාජයක් ලැබුවා. ලොකු මිලක් ගෙව්වා. එහෙත් දෙමළ ජනතාවගේ අරගලය අපතේ ගිය එකක් නෙවෙයි. දැන් කවුරුහරි මැලේෂියා, සිංගප්පූර්, මොරේෂස් වගේ තැනකට ගියොත් මේක හොඳින්ම බලාගන්න පුළුවන්. එහේ ඉන්න දමිළ ජාතිකයන් දකුණු ඉන්දීය හෝ ලාංකික දමිළයන් නෙවෙයි. විශේෂයෙන් මොරේෂස්වල ඉන්න දෙමළ ජනතාව දෙමළ භාෂාව දන්නේත් නෑ. එහෙත් ශ්‍රී ලංකාවේ යුද්ධයත් එක්ක දෙමළ භාෂාව නොදන්නා මොරේෂස් දෙමළ ජනතාවත් දැන් දෙමළ අනන්‍යතාව ඇතුළට ඇවිත්. දකුණු අප්‍රිකාවේත් එහෙමයි. ලෝක මට්ටමෙන් දෙමළ අනන්‍යතාව එක්ක එකතුවුණ විශාල ඩයස්පෝරාවක් නිර්මාණය වෙලා. ගෝලීය දෙමළ ප්‍රජාවක් බිහිවෙලා. කැනඩාවට ගිහින් බැලුවාම කැනඩාවේ දැනටත් දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා, ඔස්ලෝ නගරයේ නියෝජ්‍ය නගරාධිපති අවුරුදු විසිහතක දෙමළ තරුණියක්. ලොව පුරා දෙමළ ජනතාව එක් ජාතියක් විදියට සංවිධානය වෙලා. ලෝකයේ ඕනෑම තැනක ඉන්න ඕනෑම රටකින් ආපු දෙමළ කෙනෙකුගෙන් අහන්න පුළුවන් ඔවුන්ගේ නායකයා කවුද කියලා. ඔවුන් එක නමක් කියාවි. එකම එක නමක්. මේකයි යුද්ධයේදී ලොකු මිලක් ගෙවලා දෙමළ ජාතිය ලබාගත්තේ. අන්තර්ජාතික ප්‍රජාව අතර ප්‍රබල තැනක් ගෝලීය දෙමළ ප්‍රජාවට තියෙනවා. ඒ අයට නැතිවෙන්න දෙයක් නෑ. ඒ කිසිකෙනෙක්ට අන්තිම යුද්ධයේදී සිදුවුණු දේවල් අමතක කරන්න බෑ. ශ්‍රී ලාංකික කාන්තාවන්ට ලංකාවේදී වුණේ මොනවද. ඔවුන් දෙමළ කතාකරන නිසාම. ඔවුන්ට මනුෂ්‍යත්වයේ ගෞරවයවත් ලැබුණාද. ඒවා ඔවුන් අමතත කරන්නෙ නෑ. දැන් දෙමළ ප්‍රජාව ගෝලීයකරණය වෙලා. ඔවුන් දියුණුයි.

මෙය සිංහල ජාතිකත්වයට බලපාන්නේ කොහොමද?
පළමුවැනි කාරණය තමයි මේ තත්ත්වය පැහැදිලිව සිංහල දේශපාලන නායකත්වය තේරුම් ගන්න ඕනෑ. ගෝලීයකරණය සිදුවෙන්නේ ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි. සංස්කෘතික ගෝලීයකරණයක් සිදුවෙන බවත් දකින්න පුළුවන්. ගෝලීයකරණයත් එක්ක සංස්කෘතියත් ගෝලීයකරණය වෙනවා. හොඳින් නිරීක්ෂණය කරන කෙනෙක්ට පෙනෙනවා ඉන්දියාවේත් දෙමළ ජනතාව එක්වරම බලවත් ජනවර්ගයක් ලෙස නැඟී සිටියා. ඉන්දියාවත් තේරුම් ගත්තා තමිල්නාඩු ජනතාව සතුටට පත් කරන යමක් කරන්න ඕනෑ කියලා. මෙහේ තවමත් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන්නට සටන් කරන පසුබිමක කැනඩාවේ ජාතික ගීය දෙමළෙන් ගයනවා. පොංගල් උත්සවය ජාතික නිවාඩු දිනයක්. බොහෝ තැන්වල එහෙමයි. මේ තත්වය සිංහල ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒකත් එක්ක කතාකරන්න වෙන දෙවැනි කාරණය තමයි ඉස්සර දෙමළ සිංහල ප්‍රශ්නය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි දැන් මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ලෝකයේ ඕනෑම තැනකට බලපාන ප්‍රශ්නයක්.

ලංකාවේ ඉන්න දෙමළ ජනතාව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරමින් ඡන්දය දුන්නා නේද?
ඒක එහෙමම කියවාගත යුතු නෑ. පහුගිය ජනාධිපතිවරණ දෙකේදී දෙමළ ජනතාව එකට හිටගත්තා. එයාලා ඡන්දය දුන්නේ පළමු හතුරාට විරුද්ධව. ඔවුන් තමන්තේ පළමු හතුරා විදියට මහින්ද රාජපක්ෂ තෝරාගත්තා. සිංහලයන් යුද්ධය දින්නේ කොහොමද, යුද්ධය දින්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනෑ. සිංහලයන් යුද්ධය දිනන්න ලොකු ගෙවීමක් කළා. ලොකු හමුදාවක් හදන්න ණය වුණා. රට වික්කා. ඒත් එහෙම කරලා ලොකු හමුදාවක් හදපු හින්දාම නෙවෙයි සිංහලයෝ යුද්ධය දින්නේ. ඒකට ප්‍රභාකරන්ගේ ප්‍රතිපත්තියකුත් හේතුවුණා. ඔහු ඉන්දියාවේ හිටපු පාරි රජතුමා වගේ හිතුවා. කොන්දේසි විරහිත ස්වාධීන නිදහසක් වෙනුවෙන් පෙනීසිටියා. ඒ නිසා ඉන්දියාව අසූගණන්වල ඇවිත් සෙමිෆෙඩරල් ක්‍රමයක් යෝජනා කරද්දී ඒකට ප්‍රභාකරන් විරුද්ධ වුණා. ඔහු අතිශය සම්පූර්ණ නිදහසක් ගැන විශ්වාස කළා. ප්‍රේමදාස ජනාධිපතිවරයාත් එක්ක ඉන්දියානු හමුදාවට විරුද්ධව වැඩකළා. ඔහු කිව්වේ ඇමරිකන්කාරයා ආවොත් ඔවුන්ටත් එරෙහිව සටන්කරනවා කියලා. ඒ නිසා ඒකෙන් පස්සේ ඉන්දියාව සහ අන්තර්ජාතික ප්‍රජාවගේ ප්‍රශ්නය වෙලා තිබුණේ දෙමළ ජනතාවට සහාය දීම නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්නය වී තිබුණේ ප්‍රභාකරන් දරපු නිදහස පිළිබඳ ස්ථාවරය. එදා ප්‍රේමදාස කිව්වා ප්‍රභාකරන් ජාතික වීරයෙක් කියලා. ඉන්පස්සේ ඔවුන්ම ජාතික වීරයාට ගරු කළේ නෑ. සිංහලයන් හැම වෙලාවෙම මේ සෙල්ලම කරනවා. ප්‍රභාකරන් සිංහලයන්ගේ ජාතික දුෂ්ඨයා වුණා.

යුද්ධයෙන් පස්සේ සම්පූර්ණ නිදහස පිළිබඳ සංකල්පය වෙනස් වුණාද?
දැන් දෙමළ ජනතාවට සම්පූර්ණ නිදහස නෙවෙයි ඕනෑ. ඔවුන් සහයෝගීතා නිදහසක් විශ්වාස කරනවා. බටහිර සහ ඉන්දියානු ජනතාව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න කටයුතු කරනවා. දේශපාලන විසඳුමක් ලැබුණොත් සිංහල ජනතාව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඔවුන් සූදානම්. දෙමළ දේශපාලනය දැන් තියෙන්නේ වෙනම තලයක. කලින් මම කිව්වා වගේ ඔවුන් ගෝලීය ප්‍රජාවක් බවට පත්වෙලා. මම මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන කියන නායකයන්ගෙන් ඉල්ලන්නේ යුද්ධය අවසන් වීම වැරදියට අර්ථකථනය කරන්න එපා. ඔයාලා රට විකුණලා යුද හමුදාවක් හදපු නිසා නෙවෙයි යුද්ධය දින්නේ. ප්‍රභාකරන් සම්පූර්ණ ජාතික නිදහසක් විශ්වාස කළ නිසායි ඒක වුණේ. ප්‍රභාකරන් අසූගණන්වලදී ඉන්දියාව එක්ක එකඟතාවකට ගියා නම් දැන් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ප්‍රභාකරන් එදා ඉන්දියාවේ සහයෝගය ගත්තා නම් විය හැකිව තිබුණු දේවල් සිංහල ජනතාව තේරුම් ගන්න ඕනෑ. රට විකුණලා විශාල හමුදාවක් හදලා යුද්ධය ජයගැනීම නෙවෙයි ජයග්‍රහණයේ රහස. යුද්ධය ආයේ එන්න පුළුවන්. ලොකු හමුදාවක් පෙන්වලා බය කළාට ඒක නවත්වන්න බෑ. හැබැයි ඊළඟ පරම්පරාව තවත් යුද්ධයක් පටන්ගත්තොත් සිංහලයන්ට ආයෙමත් රට විකුණන්න වෙනවා. දැන් ගෝලීයකරණයත් එක්ක ඉන්නේ වෙනස් දෙමළ ප්‍රජාවක්. ඉතින් රට විකුණුවත් ඒ යුද්ධය මීට වඩා බොහොම වෙනස් එකක්.

ඔබ කියන ගෝලීය දෙමළ ප්‍රජාව ගැනත් ඊළඟ පරම්පරාව ගැනත් තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
මේ ව්‍යවස්ථා යෝජනාව තියෙන්නේ අපේ පරම්පරාවේ දේශපාලනයේ අන්තිම අදියරේ. ඒකෙන් පස්සේ දෙමළ නායකයන් වන සම්බන්ධන්, සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාගේ දේශ පාලනය අවසන් වේවි. සිංහල නායකයන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහලාගේ දේශපාලනයත් අවසන් වේවි. සම්බන්ධන්ලා ආයේ බිහිවෙන්නේ නෑ. අලුත් දේශපාලනයක් ඇතිවෙයි. දැන් ට්විටර්, ෆේස්බුක් හරහා දේශපාලනය කෙරෙනවා. ආණ්ඩු පෙරළෙනවා. අලුත් පරපුර පරණ අත්දැකීම්වලින් ඉගෙනගනීවි. එයාලා අලුත් දැනුමක් එක්ක වැඩකරයි. දියුණු දැනුමක් එක්ක වැඩකරයි. ඒ දේශපාලනය තීරණය වෙන්නේ ඇමෙරිකාවේ, කැනඩාවේ හෝ චෙන්නායිවල. ඒ නිසා මර්දනය කරන්නට බැරිවේවි. ඒ අදහස් නවත්වන්න බැරිවේවි. එයාලා ප්‍රභාකරන් හිතපු විදියට සම්පූර්ණ නිදහස විශ්වාස කරන්නෙ නෑ. ගෝලීයකරණය ඇතුළේ සහයෝගීතා නිදහසකුයි විශ්වාස කරන්නේ. එය අලුත් විදියක සාමයක්. දැන් බෝලය තියෙන්නේ සිංහල නායකයන්ගේ පැත්තේ. එයාලා සෙල්ලම් කරන විදිය අනුව අනාගතය තීරණය වෙයි. එක්කෝ අලුත් විදියක සාමයක්. නැත්නම් අලුත් විදියක යුද්ධයක් ඇතිවේවි.

සිංහල නායකයන් දැන් කළ යුත්තේ කුමක්ද?
මේ පරම්පරාවේ දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නය විසඳන්න තියෙන අන්තිම අවස්ථාව තමයි නව ව්‍යවස්ථාව. දේශපාලන ප්‍රතිසංස්කරණයක් වුණොත් දෙමළ ඩයස්පෝරාව සහ අන්තර්ජාතික දෙමළ ප්‍රජාව ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න විශාල වෙහෙසක් ගනියි. චෙන්නායි ශ්‍රී ලංකාවට දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය කරලා දෙයි. එතකොට සිංහල ජනතාවට කියන්න පුළුවන් අපි යුද්ධය දින්නා කියලා. මේ ආර්ථික සංවර්ධනය ඇත්තටම සාම කාලයේදී සිදුවෙන්න පටන්ගත්ත දෙයක්. බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් අන්තර්ජාතිකව විකිණෙන්න වුණා. ඩෙල්මා තේ සහ තවත් වෙළෙඳදුඡ් නාමයන් කිහිපයකට අයිති නිෂ්පාදන විශාල වශයෙන් විකිණුණා ඒ කාලයේදී. යුද්ධය නරක විදියට යද්දී දෙමළ ක්‍රියාකාරිකයන් අන්තර්ජාතික වෙළෙඳපොළේදී ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රතික්ෂේප කළා. කඩවලට ගිහින් ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් තිබීම ප්‍රතික්ෂේප කළා. සමහර කඩවල තිබුණු ශ්‍රී ලාංකික නිෂ්පාදන විනාශ කළා.
සිංහලයන්ගේ ජාතිකාභිමානයට මම ආදරය කරනවා. එහෙම වෙන එකේ වරදක් නෑ. අනෙක ලංකාවේ බහුතරය විදියට සිංහලයන්ට ජයග්‍රහණය හිමිවිය යුතුයි. ඒකට ඔවුන් මොනවද කරන්න ඕනෑ. ගෝලීයකරණය ජයගැනීමයි සැබෑ ජයග්‍රහණය. දැන් එයාලාගේ ජාත්‍යාලයේ ගැටලුවක් තියෙනවා. ඔවුන් ගෝලීයකරණය තේරුම්ගත යුතුයි. වඳ වී යන ජාතියක් බවට පත්වෙන්න ඕනෑ නෑ. අනික තමන්ගේම යුද ජයග්‍රහණයේ හිරකරුවන් බවට සිංහලයන් පත්වෙන්න හොඳ නෑ. අපේ පරම්පරාවේ දෙමළ ජනතාව සිංහල ජනතාව එක්ක ෆෙඩරල් ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න සූදානම්. නැත්නම් ඊළඟ පරම්පරාව අන්තර්ජාතික ප්‍රජාව හෝ ඉන්දියාව එක්ක ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීම ගැන සාකච්ඡා කරන්න සූදානම්.