රාවය

නැග්රැක් ජීවිතවලට ව්‍යවස්ථාවේ ඉඩක් තිබේද?

නැග්රැක් ජීවිතවලට ව්‍යවස්ථාවේ ඉඩක් තිබේද?

ලසන්ත ද සිල්වා.

රටක මූලික නීතිය හා පුරවැසි අයිතීන් නීර්ණය කෙරෙන ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ලංකාව විෂයයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඩුපාඩු සහිත ලියවිල්ලක් බව ඔප්පු වන්නේ එහි දෝෂ එමටවත් සමාජයේ කතාබහට ලක්වන නිසා හා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයද මතුව තිබෙන හෙයිනි. මේ වනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පරිවර්ථනය කොට තිබේ. නව ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතින අතර ඒ සඳහා මහජන අදහස් ද විමසීම සිදුවිය. රටේ අත්දැකීම අනුව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම සඳහා මහජන අදහස් විමසීමක් මෙරට සිදුවන්නේ මුල්ම වතාවටයි. නිදහසින් පසු 1972 හෝ 1978 ව්‍යවස්ථා සම්පාදනය කෙරුණු සමීප අවස්ථාවලදී මතු නොව රජ කාලයේදීවත් එවැන්නක් සිදුවූහයි කියන්නට සාක්ෂි නොමැත. දෙකෝටි විසිපන්ලක්ෂයක් ජනගහනය ඉන්නා රටක ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ කෙසේ දැයි විමසූ කල අදහස් දැක්වූ පිරිස දාහේ ඉලක්කම්වලින් කිහිපයක් පමණක් වුවද ඒ ප්‍රයත්නය ලඝු නොකළ යුත්තේ එවැනි පසුබිමකදීය. එහෙත් දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවලට මේ අදහස් විමසුම් සීමා වනවිට ගම් නියම් ගම් කෙසේවෙතත් ලංකාවේ ආන්තික ජන පිරිසක් වන වතුකරයේ ජනයාට, තමන්ට අවශ්‍ය වන්නේ කුමක්දැයි සෘජුව පැවසීමේ අවස්ථාව අහිමි විය. එම වරද භාරගත යුත්තේ ව්‍යවස්ථාව සම්පාදනයට අදාලව මහජන අදහස් විමසීම සඳහා පත්කළ කමිටුව පමණක් නොවේ. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා ලංකාවේ ජනමාධ්‍ය සමාජය පවා ඒ වරදේ සමකොටස්කරුවෝය.
නැග්රැක් එක් උදාහරණයක් පමණයි.
සුන්දර යුවතියක වූ දේවගී අපට මුණගැසුණේ අතිශය දුර්ග පටු මාර්ගයෙක නැග්රැක් බලා ඉහළ නගිමින් සිටින විට මහ වැස්සේදීය.
පුද්ගලික වතු සමාගමෙහි සංචාරක බංගලාවට යෑම සඳහා පහසුකම් සැපයීමේ අභිලාෂය නොවෙන්නට මේ දුර්ග මාර්ගයෙහි පලින් පල හෝ කොන්ක්‍රීට් දමා නොතිබෙන්නට බොහෝ ඉඩ තිබුණි.
“පාර හරිම අමාරුයි නේද?” ඇසිය යුතු වූයේ එපමණකි.
“පේනවානේ අමාරුවේ තරම. පාර විතරක් නෙවෙයි හැමදේම එහෙම තමයි. අපිට සලකන හැටි බලන්න ඕනෑ නම් එන්න ලැයිං පේළියට. කවුද අපි ගැන හොයන්නෙ. අපි මේ රටේ මිනිස්සු නෙවෙයි වගේ. ඉස්සර අපේ අය වැඩට ගෙනාව කාලේ වගේම තමයි තවම. අඩුම ගණනේ කවුරුවත් අපෙන් අහන්නේ නෑ මොනවද ඔයාලාට වෙන්න ඕනෑ කියලාවත්.”
එවැනි පසුබිමක මේ රටට අලුත් ව්‍යවස්ථාවක් හදා ගන්නට උත්සාහ ගනිමින් පවතින බව ඇගේ පංතියේ බොහෝ දෙනා නොදන්නාහ. නැග්රැක් මුහුදු මට්ටමෙන් අඩි 5700ක් වත් උසින් පිහිටි හුදෙකලා තේ වත්තකි. අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම හුදෙකලාවය, සීතලය, දැඩි සුළඟය. එය මායිම් වන්නේ සුප්‍රකට ලෝකාන්තයට බැවින් පරිසරය අතිශයින් රමණීය ය. එහෙත් එහි වැසියන්ගේ ජීවිත ඉතාමත් අසුන්දරය.
නන්පෙරියල් සිට සැතපුම් කිහිපයක් ඔබ්බෙහි කඳු මුදුනක පිහිටි නැග්රැක්හි දරුවන් පාසල් ආ යුත්තේ පැය කිහිපයක් තිස්සේ පා ගමනෙනි. එහෙත් දහයේ පංතියෙන් පසු ඒ පාසලේ පංති නොපැවැත්වේ. කළ යුත්තේ පාසල් නොගොස් නිවෙස්වල නතර වී තේ වත්තට කඹුරන කාරියයි.
“අපේ එකෙක් ඉගෙන ගන්නවා කියන්නෙ හීනයක් තමයි ඉතිං. තාම මේ වතු පාලනය කෙරෙන්නේ සුද්දාගේ කාලේ වගේ. සුද්දා මේවා දාලා ගියාට එයාගේ ක්‍රමේ දාලා ගියේ නෑ. ඉතිං මොනවාද අපේ අයිතිවාසිකම්. ව්‍යවස්ථා ගැන කතා අපිට තේරෙන්නේවත් නෑ. තෝරලා දෙන්න කෙනෙකුත් නෑ.” තර්ක බුද්ධිය පිහිටුවා ගන්නට තරම් උගෙන සිටි දේවගී පවසන්නීය.
අගනුවර හෝ බැහැර බොහෝ දෙනාට සිහින නොවූ දේවල් නැග්රැක් වැනි වතුකර ජනයාට සිහිනම පමණි. දේවගී මෙන්ම තරුණ අලගරාජ් ද ඉල්ලා සිටියේ ඒ සිහින සැබෑ කරගන්නට මගකි. වතු වෘත්තිය සමිතියක් හරහා දේශපාලන ප්‍රවාහය හා සබැඳී සිටියද ඔහු ජන අයිතීන් ව්‍යවස්ථාපිත බව දැන සිටියේ නැත. ඔවුන් පුරුදු වී සිටියේ ඉල්ලන්නට පමණි.
“මහත්තයා. කාට හරි කියලා ඉල්ලලා දෙන්න ඕනෑ ඉගෙන ගන්න අයිතිය අපේ දරුවන්ට. අපිට බැරි වුණා උඩට ඉගෙන ගන්න. හරි හමං පාරක්වත් නෑ ඉස්කෝලෙ යන්න. කරන්ට් එක ලැබුණෙ ගිය අවුරුද්දෙ. අපි හැමදාම ඉල්ලීම් කරනවා. නන්පෙරියල් නැග්රැක් කියන්නෙ ඡන්ද දෙතුන් දාහක්. මේ පාර හදලා දුන්නොත් මිනිස්සු මැරෙනකම් ඡන්දෙ දෙයි මහත්තයා.”
පවතින්නේ තමන්ද පුරවැසියන් යැයි නොදැනෙන පරිසරයක් නම්, කළ යුත්තේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණි. ව්‍යවස්ථාව සම්පාදනයේදී අදහස් ඉදිරිපත් කිරීමේ කාර්යය ඇත්තේ ස්පර්ශ කිරීමට තබා හිතන්නටවත් බැරි තරම් දුරකිනි.
සහජීවනය ගව මහීෂාදීන් සමගය
ඒවා නිවෙස් නොව මඩුය. සුද්දන්ගේ කාලයේ තැනූ තහඩු සෙවිලි කළ ලැයිම් කාමර වසර සියයකට වඩා පැරණි සජීවී පුරාවස්තුය. අව්වට වැස්සට ගවයෝ, බල්ලෝ සහ කුකුළෝ ද ඒ නිවෙස් වල රැකවරණය ලබති. තමන්ද දුක් විඳින නිරි සතුන් යැයි කල්පනා කරන නිසාදෝ මිනිස්සු මේ සහෝදර සතුන් ප්‍රතික්ෂේප නොකරති. උදේ අටට පාසල් යන්නට පාන්දර හයට නිවෙසින් පිටත් වන ප්‍රදීප් වැනි දරුවන් මේ නිවෙස් වල ජීවත් වන්නේ අනාගත ලංකාව සඳහා අවශ්‍ය කෙරෙන වෙනස්කම් පිළිබඳ හාංකවිසියක් හෝ නොදැනය. යෝජිත ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කෙරෙතැයි අපේක්ෂා කෙරෙන දැනටද කතාබහට ලක්වෙන ළමා අයිතීන් පිළිබඳ නැග්රැක්හි ප්‍රදීප් වැනි දරුවන්ගේ ආකල්පය කෙබඳුදැයි විමසන්නේ කවුද?. ඔවුන් උපන්දා සිට අපහරණය නොකෙරෙන්නේ යැයි පුංචි දරුවෙකුට සිය පාසලට හැතැක්ම අටක් පයින් යන්නට සලස්වා තිබෙන සමාජයකදී විමසිය යුතුද?.
එසේ ජීවත්වීම කෙතරම් නම් ශාපයක්දැයි හැඟෙන්නට ඒ කුඩා ලැයිම් කාමරයකට හිස පොවා බැලිය යුතුය. සතර අත දිස්වන්නේ ශාපලත් දරිද්‍රතාවයි. රළු සුළඟට උදුරා ගන්නට නොහැකි වන සේ වහළට තබා ඇති බර සැබැවින්ම තබා ඇත්තේ ඔවුන්ගේ හිස් මතය.
‘ඔයාලට තනි තනිව ගෙවල් හදාගන්න වෙන වෙනම ඉඩම් කෑල්ල ගාණෙ දෙනවා කිව්වා නේද?’ ඒ ප්‍රශ්නය නවනීදරාජාටය.
“ඒ කතාව කිව්වෙ මේ ආණ්ඩුව ආවාමනේ. ඒ වුණාට අපේ ජීවිත කාලේ ඒ හීන හැබෑ වෙන එකක් නෑ. අපේ දරුවන්ටවත් එහෙම ලැබෙනවා නම් ඇති. අපි මහා දුකක් විඳින්නේ. මොනවද අපිට තියෙන්නේ. ලෙඩට දුකට බේතක් ගන්න තැනක්වත් ළඟ පාතක නෑ. හිතන්න ලෙඩෙක් කොහොමද බෙහෙත් අරන් මේ කන්ද නගින්නේ.”
ඔහුද වත්තේ වැඩ කරයි. රාජකාරිය කප්පාදු කැපීම හෝ දලු නෙලීමයි. දලු නෙලීම ගැහැනුන්ට පැවරුණු කාර්යයක් වුවද නැග්රැක්හි එවැනි බෙදීමක් නැත. එය හරියට තමන්ගේ ගෙයි හෙවණ හා මිදුල සතුන් සමග බෙදාගන්නාක් වැනිව සාමාන්‍යකරණය වූවකි.
ඉඩම් කැබැල්ලක සිහිනය
“අපි ජීවත්වෙන්නෙ අනුන්ගෙ වත්තක දලු කඩලා. මේ පොළව අපි සරු කරනවා. ඉතිං තේ වවලා නැති පුංචි ඉඩම් කෑල්ලක් දුන්නා නම් අපිටත් එළවලු ටිකක් හරි වවලා තව ටිකක් හොඳට ජීවත් වෙන්න තිබ්බා. ඒ වුණාට අපි වත්තෙ වැඩවලින් අයින් වෙයි කියලා අපිට එහෙම දෙන්න මහත්තුරු කැමති නෑ. අපි ඇහුවම බෑ කිව්වා.” අපේ කතාබහට අනාරාධිතව එක්වූ තවත් අයෙක් හැඟීම් විරහිතව එසේ කියයි.
සමාගම්වලට බදු දී ඇත්තේ රටේ වතුය. ඒවා අයිති පරමාධිපත්‍ය බලය හිමි පුරවැසියන්ටය. එහෙත් වතුකරයේදී 99 අවුරුද්දකට බදු දී ඇත්තේ පුරවැසියන් යැයි නොහැඟෙන මිනිසුන්ගේ ජීවිතය. අලුත් ව්‍යවස්ථා හදන්නට කතා කරන රටෙහි වතු සමාගම් සමහරක් සිය සේවක ගණයාට සලකන්නේ වැඩවසම් සම්ප්‍රදායයන් අනුව බව දෘශ්‍යමාන යථාර්ථයයි. තරුණ සෞන්දරරාජාට අනුව ඊට හේතුව කිසිවක් වෙනස් ව නොතිබීමයි.
“හැමදේම අවුරුදු සීයකට කළිං තිබ්බා වගේ මහත්තයා. අපිට ඕනෙ මොනව හරි කරලා ජීවිතය ගැට ගහගන්න. ඇහුම්කන් දෙන්න කවුරුවත් නෑ. අපි වත්තෙ ඉපදිලා වත්තෙම මැරිලා යනවා. හැමෝම එකම ගේක. අපි මොනවද දන්නෙ ලෝකෙ ගැන. මාසෙ භාගයකට වඩා වැඩ කළොත් තමා දවසෙ උපරිම පඩිය ලැබෙන්නෙ. ඉතිං අපි මැරීගෙන වැඩ කරනවා මැරෙනකම්ම. අයිතිවාසිකම්, ව්‍යවස්ථා ඒවා ගැන අපි දන්නෙ නෑ.”
නැග්රැක් එක් නිදසුනක් ලෙස ගෙන මේ තත්ත්වය සම්බන්ධව අපි නීතිඥ ජගත් ලියනාරච්චි විමසීමු. ඔහුට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන විට ජනතාවගේ අදහස් හා ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. මහජන අදහස් විමසුම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ ඉඩකඩ වෙන්ව තිබුණද එම ව්‍යුහය තුළ මේ වැනි ආන්තික ජන පිරිස් සඳහා වෙසෙස් අවකාශයක් දක්නට නොලැබුණි. කවුරුන් හෝ මේ සුවිශේෂී ගැටලු මතුකළ යුතුව තිබුණු නමුදු එය සිදු නොවූ අතර දැන් ඒ සඳහා වූ අවස්ථාව මග හැරී ඇත. එහෙත් බලාපොරොත්තු දල්වා ගත යුතු එක් ප්‍රවේශයක් අප හමුවේ පවතින බව නීතීඥ ලියනාරච්චිගේ අදහසයි. ”යෝජිත අලුත් ව්‍යවස්ථාවේ මේ වගේ කාරණා ගැන බලාපොරොත්තු සහගත එකතු කිරීමක් කියලා හිතන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අයිතිවාසිකම් ප්‍රඥප්තිය. ඉංග්‍රීසියෙන් කියනවා බිල් ඔෆ් රයිට්ස් කියලා. මැඩිසන් ඇමරිකානු ව්‍යවස්ථාවට එකතු කළ දෙයක් ඇසුරෙන් ඒ කතිකාව මතු වුණේ. මේවායේ තියෙන්නේ ආර්ථික හා සමාජ අයිතීන්. සමහරු කියනවා දුප්පත් රටක ඒ අයිතීන් ව්‍යවස්ථාපිත කිරීම ගැටලුවක් කියලා. ඒත් ආණ්ඩුවලට පුළුවන්නේ අනවශ්‍ය සාටෝපයන්ට මුදල් වියදම් නොකර තියෙන දෙයින් අත්‍යවශ්‍ය කාරණා ඉටු කරන්න. දකුණු අප්‍රිකාවේ මේ වගේ උදාහරණ තියෙනවා. ඒ ගැන දන්න නිසා තමයි ඔය ජයම්පති වික්‍රමරත්න මහත්තයා එහෙම ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ.“ ඔහු එසේ පවසයි-
වතුකරයේ ආන්තික ජන පිරිස් නියෝජනය කරන නැග්රැක්හි ජනයාට අනුව ද කවුරුන් හෝ වෙනසක් කළ යුතුය. අඩුම ගාණේ එවිට ඔවුන්ගෙ දරුවන්ගේ ජීවිතවලටවත් සතුට ළඟා වෙනු ඇත. සීතල ලෝකාන්තයට යාබද වතු සමාගමට අයත් නැග්රැක්හි සංචාරක බංගලාවේ සුව පහසුව ලබන්නට දිනකට රුපියල් විසිපන්දහසක් ගෙවා යන සංචාරකයෝ සිටිති. ඒ අතර නැග්රැක්හි මුළු පවුලක්ම වෙහෙසව වැඩ කළත් මසකට රුපියල් විසිපන්දහසක් උපයන්නේ නැත. එවන් මිනිසුන්ගේ හෙවත් අයිතීන් අහිමි පුරවැසියන්ගේ සීතලෙන් ගල් ගැහුණු ජීවිත තරමක් හෝ උණුසුම් වන්නට නම් යෝජිත ව්‍යවස්ථාවේ අයිතීන් හා ඔවුන්ගේ අවශ්‍යතාවන් සමපාත විය යුතුය.■