රාවය

කතරගම දෙවියන්ටත් කපුවන්ගේම පිහිටයි

කතරගම දෙවියන්ටත් කපුවන්ගේම පිහිටයි

ටිරන් කුමාර බංගගමආරච්චි

කතරගම දේවා ලයේ මහ පෙරහැර පවත්වා මහ කලක් නැත. පෙරහැර පැවති කල මෙරට මාධ්‍ය එහි බලපරාක්‍රමය කීවේ මහා ඉහළිනි. පුවත්පත් පිටු පිරෙන්නට කතරගම දෙවියන්ගේ බලපරාක්‍රමය අකුරු වූයේ ඇඟේ ලොමුඩැහැ ගන්වමිනි. ඒ සියලු යටගිය කතා හාස්කම් කතරගම කපුවන්ම පෑ විස්කම්ය. මන්ද ඒ කතාබතා කීවෝ කපුවෝමය. කතරගම මෙතරම් හාස්කම් නම් මෙවැනි අණවින විය හැකිද?

කතරගම දෙවියන් දේවාලය තුළ දමා දොරගුළු ලා යතුරු අතට ගෙන එය නොදුන් කපුවකු නිසා කතරගම දේවාලය පමණක් නොව කතරගම දෙවියන්ද මහා අලකලංචියකට පත් විය.
මේ පිළිබඳව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසා තිබූ අදහස් බලමු.
“මම අද උදෑසන දේවාලය විවෘත කිරීමට දේවාලයට ගිය අවස්ථාවේ දේවාලයේ යතුර තිබුණේ නැහැ. පසුව මම යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්ථාවේ ලාල් කියන කපු මහතා පැමිණ “ඔයාට තියෙන අයිතිය මොකද්ද දේවාලය අරින්න” කියලා බැන්නා. පසුව කපු මහතුන් දේවාලයේ ප්‍රධාන දොරටුව වසා තැබුවා. පසුව මම මගේ නිල නිවසට ආවා.”

දැන් අප බැලිය යුත්තේ ලාල් අරාපක්ෂ කපු මහතා කියන දෑය.
“උදෑසන 4.30 පූජාව සඳහා මම දේවාලය අරින්න සෝමපාල ටී. රත්නායක කපු මහතා සමඟ ආවා. ඒ එනකොට බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ යතුර බලහත්කාරයෙන් අරගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කතරගම දේවාලයේ පූජාව පැවැත් නොවුණේ. මේක රටට හොඳ නැහැ. බැතිමතුන් පූජාව තැබීමට ඇවිත් ඉන්නවා. බැතිමතුන් දැඩි අපහසුතාවට පත්වෙලා ඉන්නේ. මේ වගේ බස්නායක නිලමේවරුන් අපි ජීවිතේට දැකලා නැහැ.”
ඊළඟ කතාව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේය. ඔහු සෝමපාල ටී. රත්නායකය.
“මගේ තේවා මාසය අදින් අවසන්. අද දහවල් දොළහට තමයි මම මාසය භාරදෙන්න හිටියේ.
ඒත් බස්නායක නිලමේ කුමාරගේ පිස්තෝල අරගෙන ඇවිත් බලහත් කාරයෙන් දේවාලයේ යතුර පැහැර ගත්තා. කතරගම දේවාලයේ මාසයක් කපු මහතෙකුට දෙනකොට සම්ප්‍රදාය තමයි දේවාලයේ යතුර දේවාලයේදීම බාරදෙන එක. මේ යතුර දුටුගැමුණු රජුගේ දවසේ සිට පැවත එන වස්තුවක්. ඒක තැන් තැන්වල අරගෙන යන්න හොඳ නැහැ.”
ඉන්පසු ගමේ ජනතාව සහ කපු මහත්වරුන් එක්ව නිලමේවරයාගේ නිල නිවසට ගොස් කලබල කිරීම හේතුවෙන් බස්නායක කාර්යාලයේ සේවකයන් දෙපළක් ද රෝහල්ගත කොට ඇත. යතුරද රැගෙන ගොස් පසුව දේවාලය විවෘත කළ බව පැවසේ.

මේ ප්‍රශ්නය මේ වනවිට ජනපති අගමැති දෙපළටද සැලකර ඇති බව සැබෑය. මෙයින් රටට හානියක් වෙතැයි මේ නායකයන් පවා බිය විය හැක. මන්ද එතරම් කතරගම දෙවියන් ප්‍රබල බැවිනි. ප්‍රජාවට ආ බැතිමතුන්ට එදින කතරගම දෙවියන් බැහැ දකින්නට නොලැබීම ඒ අයගේ නොපින නිසා වූවක් යැයි හිත හදාගත හැකිය. එහෙත් හිත හදාගත නොහැකි ප්‍රශ්නය නම් කපුවන් මෙතරම් නාඩගම් නටනකම් කතරගම දෙවියන් කොහි සැඟවී සිටින්නේද යන්නය.

සැබෑව නම් කතරගම දෙවියන් ඇත්තේද මේ කපුවන්ගේ අත්අඩංගුවේ බවය. කතරගම දෙවියාද ඔවුන්ට මෙල්ල වී ඔවුන්ගේ දාසයකු සේ ඔවුන්ටම බැල මෙහෙවර කරමින් සිටියි. ඒ බව මේ කපුවන් සහ නිලමේවරුන් ගෙවන කුමාර ජීවිතවලින්ම පැහැදිලිය. මේ දේවාලයට ගහමරා ගන්නේද එබැවිනි. කලක් ශෂීන්ද්‍ර රාජපක්ෂ කතරගම දෙවියන් හිර කරගෙන වැඩ කප්පරක් ගත්තේය. දෙවියෝද පවතින දේශපාලකයන්ට හා කපුවන්ට බය ජාතියකි.

කාගේ වුව විශ්වාසයන්ට අපි නොගරහමු. එහෙත් මෙවන් දේ වීම හරහා සිල්ලර වන්නේ දෙවියන්මය. ප්‍රශ්නය එයය. යටගිය දවසේ එතරම් බලපරාක්‍රම පෑ දෙවියන්ගේ වුව දැන් බල සිඳී ගොස් විය හැක. තවමත් අගයනුයේ පැරණි හයිකාරකම් විය යුතුය. කෙසේ වුවත් මෙවන් ආයුධ සපිරි නිලමේවරුන් ළඟ දෙවියන් වුව අසරණ වීම අභාග්‍යයක් නොවේ. දෙවියන්ට වඩා මිනිසුන් ප්‍රබල වී ඇත. කුමක් කරමුද? දේවාලයේ දෙවියන් සිරවී සිටිනුයේ අද ඊයේ නොවේ. එබැවින් එක දවසක් දොරගුළු ලා සිර කිරීම පාපයක් නොවේ. මන්ද දෙවියන් වුව නිදහසේ සිටියේ එදිනම විය යුතු බැවිනි. කතරගම දෙවියන්ටත් කපුවන්ගේම පිහිටයි.■