රාවය

සැබෑ ක්‍රීඩාලෝලීන් වෙමු අභියෝගය එයය

සැබෑ ක්‍රීඩාලෝලීන් වෙමු අභියෝගය එයය

පරාජය වන්නට නම් නුවරට නොඑන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රිකට්ලෝලීන් තර්ජනය කළ පුවතක් නොබෝදා වාර්තා විය. බොදු බල, රාවණා බල, අර බල මේ බල මෙන්ම ක්‍රිකට් බලකාමී පිරිසක් නිර්මාණය වී ඇති බව මෙයින් පෙනේ. මේ සැබෑ ක්‍රිකට් ලෝලීන්ද? සැබෑ හෝ ව්‍යාජ හෝ කිවයුත්තේ මේ නම් අංක එකේ ගොන් පාට් බවය. කුමන ක්‍රීඩාවක් අරබයා වුව මරාගෙන මැරෙන ක්‍රීඩා ලෝලීත්වයක් ශ්‍රී ලාංකිකයන්ට තිබිය නොහැකිය. තරග පරාජ අවසානයේ හෘදයාබාධ වැලඳී මියගිය ප්‍රේක්ෂකයන් අපට සිටියේය. එය පෞද්ගලික රසවින්දනයක උපරිමයය. එහෙත් මේ පොදු විරෝධය වූ කලී දේශපාලන උසිගැන්වීමක් මිස ක්‍රීඩාමය විඳීමක විරෝධතාවක් ලෙස අපට නොහැඟේ. ෆේස්බුක් සමාජ ජාලා හරහා බෝවී ඇති ජාතිවාදීන් ජාත්‍ය ආලයෙන් පෙළෙනවුන් මෙන්ම මේ ක්‍රිකට් චණ්ඩින්ද එවැනි අයම විය යුතුය.

අපට අනුව නම් ශ්‍රී ලංකා පිලේ පරාජය මහා විසල් වරදක් නොවේ. ශ්‍රී ලංකා පිල යනු පරාජය විය නොහැකි කණ්ඩායමක් නොවේ. අනෙක් අතට මෑතකාලීනව බලන කල ශ්‍රී ලංකා පිල දුර්වලය. එය මනාව දැන ඉන්දියාව පරාජය කළ යුතුයැයි තර්ජනය කිරීම ක්‍රිකට් ගැන නොදන්නා පොල්අඩිකාරයන්ගේ ළාමක කතාය. ශ්‍රී ලංකා පිල නවකයන් යැයි පාරම් බෑමද උචිත නැත. ශ්‍රී ලංකා පිලේ වඩා දුර්වල ප්‍රවීණයැයි කියන ක්‍රීඩකයන්ය. ඔවුන්ටද දැන් කළ හැකි උපරිමය කරනවා විය හැකිය.

ඕනෑම තරගයක ජය-පරාජය සාමාන්‍යය. එය තරග ස්වභාවයය. කලා කෘතියක මෙන් ක්‍රීඩාවේ අවසානය කල් තබා කිව නොහැකිය. ප්‍රේක්ෂකයන් තර්ජනය කළැයි තරග ජයගත නොහැකිය. නුවර තරගය ජයගතහොත් එය තර්ජනය නිසා වුණැයිද මෙරට ක්‍රීඩක ක්‍රීඩකයන්ට හොඳින් කියා ජයගත නොහැකි යැයිද මානසික රෝග ඇති කර නොගැන්නැයි ඉල්ලමු. එමෙන්ම පරාජය වුණැයි එය දඹුල්ලේ මෙන් රංගනවලින් අහවර විය යුතුයැ’යිද අපි නොසිතමු. දඹුල්ලේ දේ නැවත නොවිය යුතුය. ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන් මානසික ලෙඞ්ඩුන් ශ්‍රී ලංකාවෙන් බිහිවිය යුතු නැත. ආවේගශීලී විය යුතු ප්‍රශ්න කප්පරක් තිබියදී මෙවැනි ළාමක ප්‍රශ්නවලට කුලප්පු වීම මිනිසුන්ගේ නොව සතුන්ගේ වැඩකි.

මේ ගෙවෙනුයේ ශ්‍රී ලංකා පිලේ ස්ථාවර වීමේ කාලපරාසයකි. එයට කල් අවැසිය. අත්දැකීම් වුවමනාය. අද ෂිකර් ධවාන් දක්ෂ ක්‍රීඩකයෙකි. ඒ වසර හතක් ගෙවෙන තැනය. අපේ මුල් පෙළ ඉතා දක්ෂය. එයට අවැසි සහය මැද පෙළින් නැත. මැද පෙළ යනු වත්මන්හි ඇති ප්‍රවීණයන්ය. මේ දෙක මනාව සංකලනය නොවී ජයගත හැකි උපක්‍රම මතු නොවනු ඇත. ඉන්දීය පිලේ වුව මුල් පෙළ අසාර්ථක වූ කල බොහෝ වික්‍රමයන් අහවරය. එහෙත් එය විනාශ කරන පන්දු යැවීමේ ශක්තියක් මෙරට පන්දු යවන්නන්ට නැත. මාලිංගගේ රහස් සියල්ල දැන් හෙළිය. ඒවාට ක්ෂණිකව හුරුවීම ක්‍රීඩකයන් ලෙස දක්ෂ පිතිකරුවන්ගේ ස්වභාවයය. වරක් වෂීම් අක්‍රම් කියා තිබුණේ ඔහු පන්දු හය හය විදිහකට යවන බවය. හැමෝටම එවැනි වික්‍රමයන් කළ නොහැකිය. මාලිංග සතු වූයේ වේගයත්, යෝකර් පන්දුවත්ය. වේගය අවම වූ කල යෝකර් පන්දුව ෆුල් ටොස් පන්දුවක්ය. ෂිකර් ධවාන් මාලිංග වයසයි කියනුයේ ඒ වේගය අහිමි නිසාය. ජවය පවතිනුයේ වයස මතය. මාලිංග උපරිමය කළ කාලය අවසන්ය. දඟ පන්දු යවන්නකු වයසට යෑමත් වේග පන්දු යවන්නකු වයසට යෑමත් අතර ලොකු වෙනසක් පවතී. දඟ පන්දු යවන්නා පරිණතවීම වැඩිවන අතර වේග පන්දු යවන්නා හෙළිදරව් වීම වැඩිය. ඔහු පිතිකරුවන් හමුවේ තවදුරටත් මැජික් නොවෙති.

ක්‍රිකට් යනු ජයග්‍රහණය මෙන්ම පරාජයෙන්ද උගත හැකි දේ බොහෝය. එය ක්‍රීඩාවේ පොදු ලක්ෂණයකි. විදෙස් චිත්‍රපටිවලට ඇලුම් කරන, දෙමළ චිත්‍රපටවලට පිස්සු වැටුණු, හින්දි චිත්‍රපටවලට ආස කරන හින්දි, දෙමළ, ගී කට පාඩම් කරන, දෙමළ නළුවන් මෙන් රැවුල වවන මෙරට තරුණයන් ක්‍රිකට් තරගවලදී ආවේගශීලීවන්නේ ඇයි? නියම ක්‍රීඩා ලෝලීත්වය යනු තරග රසවිඳීමය. ක්‍රිකට් රසවිඳීමය. රටක් ලෙස අප ජයගත යුතුය. එය ප්‍රාර්ථනා කළ යුතුය. එහෙත් පරාජය වුවද එය තරගයක් ලෙස විඳිය යුතුය. මන්ද එදින දක්ෂයන් ජයගෙන ඇති බැවිනි. දක්ෂයන් ඉන්දියානුවන් නොව සිම්බාබ්වේ වුව කිම. අවශ්‍යව ඇත්තේ ක්‍රීඩාලෝලීත්වයය. සැබෑ ක්‍රීඩා ලෝලීන් වෙමු. අභියෝගය එයය.■