රාවය

දඹුලු මත දැක්වීම හා දඹුලු හිඟන්නෝ

දඹුලු මත දැක්වීම හා දඹුලු හිඟන්නෝ

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට වැටී ඇති ආගාධයෙන් ගොඩ ඒමට පුහුණුකරු නික් පොතාස්ගේ ‘දඹුලු මත දැක්වීම’ අගනා අවියක් කර ගැනීමට හැකියාව තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් කළේ එකී මත දැක්වීම අමතක ව යන තාලයේ කටයුතු සම්පාදනය කිරීම ය. ඔවුන් පෙර සිට ම කළේ අතීසාරයට අමුඩ ගැසීම ය. එය මෙවර ද ඉතා ම උනන්දුවෙන් කළෝ ය. තමන් වෙත චෝදනාත්මක ව දිගු වෙන ඇඟිලිවලට බියෙන් වෙව්ලන ඔවුහු සියලු චෝදනාවන් අන් අය මත ම පැටවීම අරමුණු කරමින් ම සිටිති. එකී උත්සාහයන් හාස්‍යජනක ය. සියල්ල මම සුදනා න්‍යායෙනි. එහෙත් දන්නෝ දනිති. මේ නම් වැඩ බැරි ටාසන්ලා රොත්තකි.

දැනට කාලයක සිට දිගින් දිගට ම ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් වළක්වා ගැනීමට, වඩා වැදගත් තීරණ තීන්දු සම්බන්ධයෙන් කල් මරණ මේ වැඩ බැරි ටාසන්ලා සමාජයෙන් වසන්වීමට නම් කරනු ලබන ප්‍රයෝග අතිමහත් ය. එහි අලුත් ම තුරුම්පුව මාධ්‍ය වාරණයන් දැමීම ය.
මේ වාරණයේ අවශ්‍යතාව ඔවුන් දකින්නට ඇත්තේ නිමාවූ පළමු එක් දින තරගයෙන් පසුව පුහුණුකරු නික් පොතාස් විසින් කරන ලද ප්‍රකාශයන් විය හැකියි.

“අපි අද දවසේ හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ඒක ඉතා හොඳින් අපි කවුරුත් දුටුවා. ක්‍රීඩකයන් ඔවුන්ට පු`ඵවන් ප්‍රමාණයෙන් මහන්සි වෙලා වැඩ කරනවා. කණ්ඩායමේ සහාය නිලධාරීන් ද පු`ඵවන් තරම් වෙහෙසෙනවා. අපි එක දිගට පැය ගණන් එකට වැඩ කරනවා. ඒත් අපේ මහන්සියේ තරමට ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේකට එක ම හේතුව කෝකියො වැඩිවීම කියලයි.”
මෙය බරපතළ ප්‍රකාශයකි. මෙසේ පවසනුයේ නිකමෙක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ම වඩා හිඳුවනු ලැබූ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ය. ඔහු චෝදනා කරනු ලබන කෝකියෝ කවුරුන්දැයි කොතැනකවත් සඳහන් කරන්නේ නැත.

“අපට අපේ පාඩුවේ මේ කණ්ඩායම එක්ක වැඩ කරගෙන යන්න දෙනවා නම් මාස හයක කාලයක් ඇතුළත කණ්ඩායමේ වර්ධනයක් ඇති කරන්න පු`ඵවන්. ඔබ නොසිතන දියුණුවක් කණ්ඩායමෙන් දැක ගන්න පු`ඵන්. මේ තමයි අපිට ඉන්න ඉතා ම හොඳ කණ්ඩායම.”

මේ චෝදනාව කවුරුන් එල්ල කරමින් කෙරුවක්ද? නික් පොතාස් යනු කණ්ඩායමට අහම්බෙන් කඩා වැටුණු ප්‍රධාන පුහුණුකරුවා ය. හිටපු පුහුණුකරු පැදුරටත් නොකියා පලා ගිය පසු ඒ හිඩැස පිරැවූ පුහුණුකරුවා ය. හිටපු පන්දු රැකීමේ අංශයේ ලොක්කා ය. අද දවසේ දුර්වල මට්ටමේ පවතින පන්දු රැකීමේ වගකීම දැරිය යුතු තැනැත්තා ය. එහෙත් ඔහු ඒ සියල්ල අමතක කරමින් අන් අයට එල්ල කරමින් මාධ්‍ය ඉදිරියේ දෙස් දොවොල් තබති.

ඒ එදා ය. පරාජිත පළමු එක්දින තරගයෙන් අනතුරුව ය. එහෙත් ඔහු අද කියන කතාව කුමක් ද?
“අපි කණ්ඩායමක් ලෙස ඉතා හොඳ තත්ත්වයක සිටිනවා. ප්‍රතිවාදීන්ට එරෙහිව ආක්‍රමණකාරීව සහ උපක්‍රමශීලීව තරගාවලියට අවතීර්ණ වීමයි අපේ අරමුණ. මේකෙ ප්‍රතිඵලය එක තරගයකින් දෙකකින් දකින්න බැහැ. එහෙත් අපිට ඒ වෙනස ඇති කරන්න පු`ඵවන්. ඔබ අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපගේ කටයුතුවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඔවුන්ගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මට කිසිම ප්‍රශ්නයක් නෑ.”

මේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට පෙර දිනයේ (23දා) මාධ්‍ය හමුවේ නික් පොතාක් කී දේ ය. එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැඩි ලෙස වාරණයන් දමා තිබුණි. ප්‍රශ්න කිරීම් ද සීමා කර තිබුණි. මේ සීමා කිරීම් හමුවේ පොතාස්ගේ හැසිරීම සම්පූර්ණයෙන් ම කණපිට හැරී තිබුණි. ඒ නිමා වූ පළමු තරගයෙන් අනතුරුව කළ කී දේ හා සැසඳීමේ දී ය.
මේ වසන් කරන්නේ කුමක් ද? වසන් කරන්නට දඟලන්නේ කවරෙක් ද? නික් පොතාස්ගේ මේ හැව ඇරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැන් යහමඟට හැරී ඇති බැව් පැවැසීමක් ද?

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහුට තිබූ චෝදනාවන් කිසිවකට පිළිගත හැකි මට්ටමේ කිසිවක් ම සිදු නොවූ බැව් කවුරුත් දනිති. ඔහු මාධ්‍ය හමුවේ කළ කී දේ අනුව අපට නම් හැඟුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් යුතුව මත දැක්වීමක් ලෙසිනි. අහම්බෙන් එය නිවැරදි කෙරෙන්නේ මේ මාධ්‍ය වාරණයන් හේතුවෙන් ම විය යුතු ය. එහෙත් එසේ වූ පමණින් ම සියලු දෝෂයන් දූරීභූත වේ යැයි සිතිය හැකි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වැටී ඇති ආගාධයෙන් ගොඩ එනු දැකීම සෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ගේ ම බලාපොරොත්තුවකි. එය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද එක ම අරමුණ වී තිබේ. නික් පොතාස්ට ද එකී උවමනාව ම පවතී. එහෙත් පාලකයන්ට එවැනි උවමනාවක් දකින්නට නැත. ඔවුන්ට උවමනා වී ඇත්තේ සියල්ල වසන් කර තැබීමට ය.

මේ වසන් කර තැබීමේදී මාධ්‍ය හමුවේ තමන්ගේ ප්‍රතිරූපවල පමණක් සුදු හුණු ගා ගැනීමේ ව්‍යාපෘතියක එකිනෙකා වෙන් වෙන් ව පොරයේ යෙදෙන අයුරක් ද දකින්නට තිබේ. එහි ප්‍රමුඛයා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ද එවැන්නෙකි. තවත් බොහෝ දෙනෙක් ඒ අතර වෙති. ඈෂ්ලි ද සිල්වා සේ ම ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ද ඒ අතර ය.
ක්‍රීඩා ඇමති කියනුයේ මේ පරාජයන්ට හේතූන් සෙවීමට කමිටුවක් පත් කරන බවකි. ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහත්වරුන්ගෙන්’ කරුණු කාරණා විමසන බැව් ය. ඒ කොතෙක් කාලයකින් ද? ඇමැති, මාධ්‍යයට කුමක් හෝ කියා ජාමේ බේරා ගැනීමට රුසියා ය.

ඔහුට ක්‍රිකට්වලට සිදුවූ මේ වින්නැහිය හොඳාකාරව ම තේරුම් ගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් නික් පොතාස්ගේ ‘දඹුලු මත දැක්වීම’ හදාරන්නේ නම් ප්‍රමාණවත් ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහු නිහඬ ය.
තිලංග සුමතිපාල සේ ම ඈෂ්ලි ද සිල්වා ද එකී මත දැක්වීම කමකට ගෙන නැත. ඇතැම්විට තම කඳවුරේ උන් දඬුකඳේ ගැසීමට ඔවුන් දක්වන අකමැත්ත ඊට හේතු වූවා විය හැකි ය. සැබෑ ලෙස ම ලැජ්ජා විය යුත්තේ තිලංග සුමතිපාල ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පසුබැසීම තමන්ගේ පාලන කාලයේ සිදු වූවකි. ඔහු ප්‍රමුඛව සිතිය යුත්තේ එය ය. එහෙත් එවැන්නක් නැත.

කෙසේ වෙතත් දැන් දැන් කියැවෙන්නේ මේ සියලු උවදුරුවලට වගකිවයුත්තා ගුරුසිංහ බැව් ය. අප ගුරුසිංහගේ ප්‍රවිෂ්ඨයේ දී ම ඔහුව ප්‍රශ්න කළෙමු. ඔහුගේ තනතුර ප්‍රශ්න කළෙමු. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා ව්‍යසනයක පෙර නිමිති මේ හරහා සිදු වෙතැයි ද කීමූ. අද ඒ සියල්ල අප කී ආකාරයෙන් ම හෝ ඊටත් වඩා වැඩියෙන් සිදුව ඇත.
සියල්ල මාධ්‍යයෙන් වසන් කිරීමේ ක්‍රියාවලියේ ගුරුසිංහ ද සිටින බවකි ආරංචි ය. ඔහුට ද මාධ්‍යයෙන් වසන් වීම හැරුණ විට ක්‍රිකට් ගොඩ ගැනීමක් සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නැත. එසේ උවමනාවක් වී නම් නික් පොතාස් කියන කෝකියන් සම්බන්ධයෙන් පළමු ව වාර්තා කළ යුතු තැනැත්තා විය යුත්තේ ගුරුසිංහ ය. ඒ කණ්ඩායමේ කළමනාකරු වන්නේ ඔහු බැවිනි.

මොවුන් සියල්ලට ම වඩා සනත් ජයසූරිය මේ කාර්යයේ දී කෲර බුද්ධියකින් හෙබිය. ඔහු මාධ්‍යයෙන් වසන් වෙනවා වෙනුවට සිදුකරනුයේ මාධ්‍ය ඉදිරියට පැමිණීම ය. අනුන්ගේ ඇපිල්ලීමට වඩා තමන්ගේ ඇපිල්ලීම විශ්වාස බැවින් ඒ අනුව කටයුතු කිරීම ය. ඔහුට ‘දඹුලු මත දැක්වීම’ හෝ අන් කිසිවක් අදාළ නැත. ඔහු ඔහුගේ කාර්යයන් අපූරුවට සර්ව සාධාරණ කළේ ය. ක්‍රිකට් ගොඩ ගැනීමක් ගැන කතා කරනවාට වඩා තමන් විසින් මෙතෙක් කළ කී දේ වඩාත් ම නිවැරදි යයි මතයක් පැතිරවීමට උත්සාහ කළේ ය. එහිදී ජයසූරිය අන් සියල්ලට ම වඩා වෙනස් ය. එසේ වූව ද මේ ව්‍යසනයේදී ජයසූරියට ද හැර යා හැකි තැන් නැති බැව් අවබෝධ කරගත යුතු ය.

ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ වෙනසක් හැරුණු කොට දැනට අප සන්තකව සිටින හොඳ ම කණ්ඩායම මේ බැව් අප මීට පෙර කීවෙමු. එය අද තැන තැන කියැවෙන මාතෘවකි. සැබැවින් ම මේ පසුබෑමේ කතාව පිටුපස සිටිනුයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ම පමණක් නොව ක්‍රිකට් පාලනය හා බැඳුණු කල්ලියක් බැව් ද අවධාරණයෙන් යුතුව සටහන් තබමු. මේ කල්ලිය නික් පොතාස් කී ‘දඹුලු මත දැක්වීමේ’ කතාවේ කෝකියන් ම ය.

සියල්ල සිදුවන්නේ එකී කල්ලියේ උවමනා එපාකම් අනුව ම ය. මාධ්‍යයෙන් වසන් වීම ද එකී බක පණ්ඩිත තීරණයක් සේ අප දකිමු. පොතාස්ගේ ‘දඹුලු මත දැක්වීමේ’ දී කණ්ඩායමේ සෝදා පා`ඵවට වගකිවයුතු කරුණු කිහිපයක් ම මේ වනවිට මාතෘකා වී හමාර ය. එබැවින් තවදුරටත් ඒවා සමාජයෙන් වසන් කිරීම, මේ ප්‍රශ්නය තවත් ඔඩු දිවීමක් මිස ප්‍රතිකාරයක් නොවන බැව් ක්‍රිකට් පාලකයෝ වහා වටහා ගත යුතුය.■