රාවය

අද අපි ඉන්නේ විනෝදෙන් මත්වී, ඔව් මේ රෑ.. | ඉෂාන් බහාර්

අද අපි ඉන්නේ විනෝදෙන් මත්වී,  ඔව් මේ රෑ..  | ඉෂාන් බහාර්

නීල් විජේරත්න

හැබෑවට දුටු මුහුණක් රිදී තිරයේ දිස්වනු මුල් වරට මා දුටුවේ නවසිය හැටගණන්වල මැද හරියේ විය යුතුය. ඒ එකයි දහයේ ටිකට් පතක් රැගෙන වත්තල ගැමුණු පැලස් සිනමා ශාලාවේදී ‘සත පනහ’ චිත්‍රපටය නරඹමින් සිටියදීය.
මේ අවස්ථාව මතක් වන සෑම විටෙකම මසිත චිත්‍ර ගැන්වෙන අපූරු පින්තූරයක් ඇත.
අප වාසය කළ නායකයන්ද හන්දිය මේ කියන වකවානුවේ අතිශය නිස්කලංක නිදිබර ස්ථානයක් විය. වැඩි සද්දබද්දයක් නැති තැනක් විය. සිල්ලර බඩු කඩයක් දෙකක්, බේකරියක්, තේ කඩයක්, ලොන්ඩරියක්, මස් කඩයක් සහ බාබර් සාප්පුවක් එතැන තිබුණා සැබැවි. ගම ඇතුළේ සිට හන්දියට එන ගම්මු තමනට අවශ්‍ය බඩුමුට්ටු අරගෙන ඒ පයින්ම ආපසු ගියා මිස කඩමණ්ඩියේ නැවතී අල්ලාපසල්ලාපයේ යෙදුණා නොවේ. හන්දියේ පිහිටි කන්‍යාරාමය ප්‍රසිද්ධ පාසලක් වුවත් එහි ශිෂ්‍යාවන් වැඩි දෙනා ගමේම අය වූ බැවින් පාසල ඇරෙන වේලාවට හන්දියේ රැඳී සිටීමක් දක්නට නොලැබිණ. හැබැයි, ඉරිදා දවසේ උදේ වරුවේ නම් කිසියම් විසිතුරු බවක් මෙන්ම කලබල ගතියක්ද මේ ස්ථානයේ දක්නට ලැබිණ. වේල් පොට අතැ’තිව පල්ලි යන කාන්තාවෝද හාල්, පාන්, මස්, මාළු, පත්තර ගන්නට පෝලිම් ගැසෙන ගැමියෝද අහල පහළ ගම්වලින් එන අමුත්තෝද ඒ වේලාවේ වෙනදාට වඩා වැඩි වේලාවක් හන්දියේ ගත කරති. එදා උදේ වරුවේ පමණි.

ඇතැම් හවසක අපේ හන්දිය මිහිරි සංගීත නාදයකින් ඇළලී යයි. සංගීත නාදය තීව්ර වන අවස්ථා බොහෝය. එසේ වනුයේ, හන්දියේ තුන් පැත්තකින් එකිනෙකට වෙනස් සංගීත නාද ඇසෙන අවස්ථාවන්හිදීය.
ප්‍රසිද්ධ නාඩගම් නිෂ්පාදකවරයකු වූ ආරොන් අයියලෑ කට්ටිය වාසය කළේ අපේ ගෙට දකුණු පැත්තේ වූ නිවසකය. බොහෝ හැන්දෑ යාමයන්හි එතැන නාඩගම් පුහුණුවනු දක්නට ලැබිණ. එම නාඩගම් පුහුණුවීම් සැසිය ඇරඹෙන්නේ සර්පිනාවක, තබ්ලාවක හඬ ශබ්දයද සමඟිනි. ඒ සමඟම නාඩගම් ගීත කොටසක් යමෙකු ගයනු ඇසෙයි. ආරොන් අයියාගේ වැඩිමහල් පුතා වින්සන්ට් ගායනයට දක්‍ෂයෙකි. නාඩගම් පුහුණුවන කාලයට ඔහු නිතර තෙපලූයේ ‘බැලසන්ත නොහොත් ඔරිසොන් සහ පාලෙන්තෙන්’ නාඩගමේ සින්දු කෑලිය. ‘ඔරිසොන් නුඹ හපනෙක් නම්, අස්ස කටේ අත දාපන්’ යන්න ඔහු නිතර කීවකි. එවැනි සින්දුවක් එම නාඩගමේ තිබුණාදැයි කියා අවබෝධයක් අපට නොවීය. එනමුත් අපි එම සින්දුව ආසාවෙන් අසා සිටියෙමු. ඊටත් වඩා අප කැමැත්තක් දැක්වූයේ ඔහු මලල ක්‍රීඩකයකු සේ අතපය එහාට මෙහාට දිගුකර රඟපාමින් ගායනා කළ ‘යමි මම රෝම පුරේ, පෙපැයින් -නරතුම වෙත මෙවරේ’ යන නැගලා ගිය සින්දුවය. අපේ මායිම් තාප්පය උඩ වාඩිගෙන ආරොන් අයියලාද නාඩගම් සාජ්ජය දිහා අප බලා හිඳින්නේ ටීටර් මඩුවක අසුන් ගෙන සිටින ආකාරයෙනි.

එලෙස වාඩිගෙන මේ නාඩගම් ජවනිකාවලට ආසන්නව එදෙස බලා හුන් අප උන්හිටි තැන අමතකව තාප්පයෙන් බිමට වැටුණු අවස්ථා එමටය.
ඉඳහිට දවසක හැන්දෑවක බෑන්ඞ් කණ්ඩායමක සංගීත නාදයද අපට ඇසේ. ඒ අපේ ගෙට වම්පසින් පිහිටි බෑන්ඞ්මාස්ටර්ලාගේ නිවස දෙසිනි. මංගල්‍ය අවමංගල්‍ය – බිග් මැච් වැනි අවස්ථාවන්හිදී වාදනයේ නිරත වන මේ පිරිස සතියකට හමාරකට වතාවක් ගෙදර මිදුලේ ප්‍රැක්ටිස කරන අවස්ථාවයි ඒ. එවැනි විටෙක බෑන්ඞ් මාස්ටර්ලාගේ මිදුලේ කම්බි වැට අද්දර සිට ඒ පිත්තල බෑන්ඞ් සංගීතය අසන්නට – බලන්නට සිදුවන්නේ පොරකමිනි. පුළුවන් තරම් ඉස්සරහට වී එදෙස බැලීමේ වුවමනාව එතැනට පැමිණි හැමෝටම ඇති බැවිනි. අහල පහළ කෙනෙකු නිසා ඇතැම් දවසක මට ඒ ගෙදර මිදුලට ඇතුළුවීමේ අවස්ථාව සැලසේ. එවැනි විටෙක මා ඇසිපිය නොහෙළා බලා සිටින්නේ ට්‍රම්පට් වාදකයා සහ ලොකු ඞ්රමයක් බඬේ බැඳගෙන ඊට කෝටු දෙකකින් තලන්නා දෙසය. වතාවක අවමංගල්‍ය පෙරහැරේ ගායනා කරන කන්නලව්වක් වැනි ගීතිකාවක සංගීතය පුහුණුවන ඔවුහු ඊළඟ මොහොතේ ‘මගේය ප්‍රේම මාලිනී’ වැනි ඒ කාලේ ජනප්‍රිය ගීතයක සංගීතය වාදනය කරති.

මෙහා පැත්තෙන් නාඩගම් සංගීතයද එහා පැත්තෙන් පිත්තල බෑන්ඞ් සංගීතයද සවනත වැකෙන මේ ඇතැම් දවසක අපේ ගෙට ඉදිරිපසින් සිහින් ගිටාර් නාදයක්ද ඇසෙන අවස්ථා එමටය. ඒ ගවුස් අයියලාගේ – ජුන්කීර්ලාගේ නිවස දිහාවෙනි. ඒ ගෙදර දරුවෝ ‘ජූනියර් නයිට් ෂේඩර්ස්’ නමින් බටහිර සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබුණි.
නාඩගම් සංගීතයත්, බෑන්ඞ් කණ්ඩායම් සංගීතයත් බටහිර සංගීතයක් එකවර ඇසුණු ඒ හැන්දෑයාම පිළිබඳ මතකය අද දවසේ වුව මහත් චිත්තප්‍රීතියකින් ස්පර්ශ කළ හැක්කකි. සාමාන්‍යයෙන් නිස්කලංක – නිදිබර අපේ හන්දිය ඉඳහිට දවසක කර්ණරසායන මධුර සංගීතයෙන් ඇළලී ගියේ ඒ ආකාරයෙනි.

එකල අපේ ගමේ ඉංග්‍රීසි කතා කළ පවුල්වල තරුණයෝ බොහෝ දෙනෙක් අනේක නම්වලින් හැඳින්වූ සංගීත කණ්ඩායම්වල සාමාජිකයෝ වූහ. සෙනසුරාදා හැන්දෑවේ හතර-පහ වන විට ඔවුන් අපේගේ ඉදිරිපිට බස් නැවතුම්පලට එකා දෙන්නා බැගින් ළඟා වනුයේ සංගීත සාජ්ජ පවත්වන රාත්‍රි සමාජශාලා කරා යන අටියෙනි. මා සෙල්ලම් කරන්නේ අහවල් බෑන්ඞ් එකේ, අහවල් සංගීත කණ්ඩායමේ, අහවල් රාත්‍රි සමාජශාලාවේ යනුවෙන් උජාරුවට කීම ඔවුනගේ සිරිතක් විණ.

ගිටාරයක් බහාලූ පෙට්ටියක් අතින් ගෙන බොහෝම සන්සුන් ගමනින් අපේ ගේ ළඟ හන්දිය පසු කර යනෙන තරුණ සංගීතඥයෙක් ද මේ පිරිස අතරේ විය. හෙතෙම සුප්‍රකට ජෙට් ලයිනර්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු බව අපි දැනසිටියෙමු.
වත්තල ගැමුණු පැලස් සිනමාහලේ ‘සත පනහ’ චිත්‍රපටය නරඹමින් සිටියදී අපේ හන්දියේ මිතුරු කැළ එක්වර උඩගොස් බිම වැටුණේ නිතර දෙවේලේ මගතොට හමුවන අර අපේ ගම්වැසි ගිටාර්කරු එම චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටිනු දැකීම හේතුවෙනි. හැබැහින් දැක පුරුදු කිසියම් තැනැත්තෙකු රිදී තිරයේ පෙනී සිටිනවා මා දුටු මුල් අවස්ථාව එය විය. ඒ සමාජශාලා දර්ශනයකි. මිනොන් රත්නම් (මිනොන් ප්‍රනාන්දු) ගායිකාව ‘අද අපි ඉන්නේ විනෝදෙන් මත්වී ඔව් මේ රෑ’ ගීතය ගායනා කරමින් රිදී තිරයේ පෙනී සිටින දර්ශන පේළියේ ඇය පසෙක සිට ගිටාරය වයනුයේ ඔහුය. හේ නමින් ඉෂාන් බහාර් විය.

එදාමෙදා තුර දශක පහක පමණ කාලයක් අපටත් හොරාවට අතීතයට එක් වී ඇත. එකල ගිටාරයක් අතැතිව ගමේ මඟතොට මුණ ගැසුණු මේ සංගීතවේදියා දැන් මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ බටහිර සංගීත ධාරාවේ ප්‍රවීණයෙකි. මෑතකදී ඔහු සංගීතය හා බැඳුණු බෙහෙවින් ප්‍රශස්ත කර්තව්‍යයකට අත ගැසීය. ඒ එක්දහස් නවසිය පනස් ගණන්වල සිට වර්තමානය දක්වා මෙරට ඉංග්‍රීසි සංගීත ධාරාවේ විවිධ පැතිකඩ නියෝජනය කළ සංගීතවේදීන් 125දෙනෙකුගේ තතුවිත්ති සහ ඡායාරූප ඇතුළත් කෘතියක් සම්පාදනය කිරීමටය. ‘අ හෙරිටේජ් ඔෆ් සෝන්(ග්)’ නමින් එම කෘතිය මීට දෙවසරකට පමණ පෙර එළිදැක්විණි. එම කෘතිය කලඑළි දැක්මේ දිගුවක් ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදීද පවත්වන ලදි.

එම අවස්ථාවේ මම අපේ ගමේ හන්දියේ සංගීත මතකයත් ‘සත පනහ’ චිත්‍රපටයේ ඉෂාන් බහාර් පෙනීසිටි විනාඩි කිහිපයකට සීමා වූ දර්ශනයක් නැවත සිහිපත් කරමින් කෙටි සටහනක් ලියූවෙමි. එම මතකය යළිදු ගෙන හැර දක්වන්නට මා අදහස් කළේ ඉෂාන් බහාර් සංගීතවේදියා විසින් සම්පාදිත ‘අ හෙරිටේජ් ඔෆ් සෝන්(ග්)’ කෘතියේ දෙවන වෙළුමද නොබෝදා නිකුත් වූ බැවිනි. මෙරට ඉංග්‍රීසි සංගීත ධාරාවේ තවත් ශිල්පීන් 125 දෙනෙකුගේ විස්තර එහි සඳහන්ය.

මෙම ග්‍රන්ථ දෙකේ පිටු අතරින් අපට බටහිර සංගීත කණ්ඩායම් සහ ඒවායේ ගායකයෝද, වාදකයෝද, ජෑස් බෑන්ඞ් -පොප් සංගීතකරුවෝද ස්වකීය නිර්මාණ දිවිය යළිදු ආවර්ජනය කරනු දැකගත හැකිය, තමන්ගේ පාසල් කාලයේ, පවුල් පසුබිම, සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ආකාරය ඇතුළු බොහෝ කරුණු කාරණා ගැන ඔවුන් යළිදු ආවර්ජනය කරනු දැකගත හැකිය. මේ පිරිස අතර ක්‍ෂේත්‍රයේ විශිෂ්ටතමයෝද ප්‍රවීණයෝද ජනප්‍රිය නවකයෝද වෙති. මේ නාමාවලිය ඇල්ස්ටන් කොක්, ඩෙස්මන්ඞ් කෙලී, ඩලස් අකිලස්, නිමල් මෙන්ඩිස්, පාපා මෙනසීස්, හැරල්ඞ් සෙනෙවිරත්න, ගසාලි අමිත්, මේරි ඈන් ඬේවිඞ් ආදීනගේ සිට නොයෙලීන් හොන්ටර්, ඩෙරික් ජුන්කීර්, එච්.එම්.බී. මර්වින් පෙරේරා සහ ටෝනි හොප්මන්ලා දක්වාද එතැන සිට නව පරපුරේ රිකී බහාර්ලා දක්වාද තවත් බොහෝ අය ඇතුළුව, දීර්ඝ වූවකි. මෙම ග්‍රන්ථ දෙකම අතිශය දුර්ලභ එමෙන්ම ඵෙතිහාසික ඡායාරූප ගණනාවකින් සමන්විතය. 1966 දී යුද ගිනිදැල් ඇවිලුණු වියට්නාමයේ සංචාරයක නිතර මෙරට ‘සැවේජස්’ සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ දැක්වෙන ඡයාරූපය ඉන් එකකි.

ඉෂාන් බහාර් විසින් සම්පාදිත මෙම කෘතීන් කියවන අපට සිංහල සංගීත ක්‍ෂේත්‍රය සමඟද සබඳතා ඇති සංගීතවේදීන් ගණනාවක් මුණ ගැසේ. නිමල් මෙන්ඩිස් (මාස්ටර් සර් – ගඟ අද්දර -උපුල් නුවන්) වේග රිද්ම ගායනයට ප්‍රකට ඩෙස්මන්ඞ් ද සිල්වා, සොහාන් වීරසිංහ (ඔරු කඳක් – අද්දරේ) කොරින් අල්මේදා, මරියසෙල් ගුණතිලක, ඩැල්රීන් (ටිකිරි ටිකිරි), නිමල් ජයමාන්න (රන්පොට තෙළඹුව) සහ එල්ලිල මැරුණනෙ පොඩි නොනෝ ගීතය ගැයූ එරංගා සහ ප්‍රියංග ඉන් සමහරෙකි.

මෙහි විස්තර සඳහන් බොහෝ ශිල්පීන් මුල් වකවානුවේ තම නිර්මාණ දිවියට අත්වැල සැපයූ ගුවන්විදුලි වෙළෙඳ සේවයටත් ආධුනික පැය වැනි වැඩසටහන්වලටත් කෘතඥතා පළ කරන අයුරු පාඨක සිත් පැහැර ගන්නකි. එමෙන්ම මෙහි සඳහන් ශිල්පීන් වැඩි පිරිසක් බොහෝ කාලයක් පුරා පිටරට වාසය කළද තවමත් ශ්‍රී ලංකාව සමඟ ඔවුනගේ ඇති සබැඳියාව සහ ශ්‍රී ලංකාව ගැන ඔවුනගේ ඇති ළැදියාව පාඨක අප විස්මපත් කරන්නකි. වැඩිහිටි පරම්පරාවේ මේ ඇතැමෙකු තවමත් ප්‍රිය කරනුයේ තමා ‘සිලෝන් මියුසිෂන්’ කෙනෙකැයි කියා හඳුන්වනවා දකින්නටය.

‘මෙරට සංගීත ක්‍ෂේත්‍රයට අපේ මේ වැඩිහිටි පරම්පරාවේ දායකත්වය තව ටිකක් කල් ගතවන විට සම්පූර්ණයෙන්ම අමතක වන්නට පුළුවනි. ඒක අපි කාටවත් වළක්වන්නට පුළුවන් දෙයක් නෙවි. කොහොම වුණත් ඒ මතකය තව ටිකක් හරි ඉස්සරහට ගෙනයන පරමාර්ථයෙනුයි, මා මේ පොත් දෙක පිළියෙළ කළේ’යි ඉෂාන් ඉකුත් දිනෙක අප සමඟ පැවසීය.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු නොවී සංගීතවේදියකු වීම එක් අතකට පුදුමයට කාරණයකි. ඒ ඔහුගේ බාල කාලයේ තම නිවස මුළුමනින්ම ක්‍රිකට් ආධිපත්‍යයකට නතුවී තිබූ බැවිනි.
ඉෂාන්ලාගේ පරම්පරාවේ උදවිය හම්බන්තොට පදිංචිකරුවෝ වූහ. ඔහුගේ සීයා, ජුන්නූර් හරි බහාර් ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මාගම් පත්තුවේ ‘පත්තු මුදලි’ විය. ඉෂාන්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඉසී බහාර් විසින් තම පියාණන් ගැන ලියන ලද පොත් පිංචක ඒ පිළිබඳ සවිත්තරාත්මක තොරතුරු දැක්වේ.

ඉෂාන්ගේ පියා බාබා ජූනියර් හජි බහාර් (බී. ජේ.එච්. බහාර්) අධ්‍යාපනය ලද්දේ ගාල්ලේ රිච්මන්ඞ් විiාලයෙනි. පසුව ඔහු සීනියර් කේම්බි්‍රජි විභාගයට පෙනීසිටියේ මරදානේ සහිරා විiාලයේ ශිෂයකු හැටියටය. සහිරා විiාලයේදී ඔහු මීටර සියයේ ධාවන ශූරයා විය, ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම්වල නායකයා විය, පාපන්දු සහ කැඩෙට් කණ්ඩායම් සාමාජිකයකු විය, ඊට අමතරව හොකී සහ ටෙනිස් ක්‍රීඩකාවන්හිද නිරත විය. පාසල් අධ්‍යාපනයෙන් පසු, පළමු පංතියේ පුහුණු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පිටවන ඔහු තමා උගත් සාහිරා විදුහලේ ඇදුරු මඬුල්ලට එක් වෙයි. ඒ ඉංග්‍රීසි ගුරුවරයකු හැටියටය. ඊට අමතරව ඔහු විදුහලේ ක්‍රීඩාභාර ආචාර්යවරයා විය, ක්‍රිකට් පුහුණුකරු විය, රග්බි පුහුණුකරු විය. වසර තිහකට ආසන්න කාලයක් ඔහු මේ තනතුරු හෙබවූවා යයි ඉෂාන් කියයි.

දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ බී.ජේ.එච්. බහාර් කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලීනට සහභාගි වූවා පමණක් නොව ඉතා දීර්ඝ කාලයක් එම කණ්ඩායමේ නායකත්වයද අඛණ්ඩව දැරීය. 1954 වසරේදී නොට්ස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 141 එම වසරේ අන්තර් සමාජ තරගාවලියේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයෙන් ඔහුට ශ්‍රීමත් මාකන් මාකර් අභියෝග කුසලානය හිමිවූ බව ඉසී බහාර් තම කෘතියේ සඳහන් කරැත.
මේ අතර හෙතෙම ක්‍රිකට් පරිපාලනයටද එක්වෙයි. මෙරට ක්‍රිකට් වංශ කතාව අනුව 1946 වසරේදී මුල් වතාවට ලංකා පාසල් ක්‍රිකට් සංගමය පිහිටුවන අවස්ථාවේ එහි ගරු ලේකම් පදවියට පත්වන්නේ බී.ජේ. එච්. බහාර්ය. 1952 -53 වර්ෂ සඳහා එවකට මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය වූ ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට ජේ.ආර්.ජයවර්ධන පත්වන විට ලේකම් ධුරයට පත්වන්නේ බී.ජේ.එච්. බහාර්ය. ඔහු ලංකා ක්‍රිකට් සංගමයේ තේරීම් කමිටු සාමාජිකයෙකු හැටියටද කටයුතු කරැත. එම අවස්ථාවේ තේරීම් කමිටු සභාපති හැටියට කටයුතු කළේ එස්. සරවනමුත්තුය.

බී.ජේ.එච්. බහාර් 1951 දී එංගලන්තයට යනුයේ ලන්ඩන් නුවර පිහිටි ගවර් ස්කූල් ඔෆ් ක්‍රිකට් ආයතනයට බැඳී පූර්ණ සුදුසුකම්ලත් ක්‍රිකට් පුහුණුකරුවකු වීමේ අපේක්‍සාව ඇතිවය. ඔහුගේ එම අපේක්‍ෂාව එයාකාරයටම ඉටු වූවත් එම සංචාරය හේතුවෙන් සමස්තයක් හැටියට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ යහපත ඵෙතිහාසික සිදුවීමක් ලෙස ඉතිහාසගතව ඇත. ඒ ඔහු විසින් ලංකාවේ මුල් වතාවට ගෘහස්ත ක්‍රිකට් පුහුණුවීම් පාසලක් පිහිටුවනු ලැබීමය. ඔහු එංගලන්තයේ සිටියදී ඇතිවූ අදහස ප්‍රතිඵලයකි. බී.ජේ.එච්.බහාර්ගේ සැලැස්ම සහ අධීක්‍ෂණය අනුව ඉදිකරන ලද මෙම ගෘහස්ත ක්‍රිකට් පුහුණු පාසල 1952 වර්ෂයේ පෙබරවාරි මාසයේදී විවෘත කරනු ලැබිණ. ඒ වන විට ක්‍රිකට් සංචාරයක් සඳහා කොළඹට පැමිණ සිටි එංගලන්තයේ ඇම්.සී.සී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ නයිජල් හවර්ඞ් විසිනි, එය උත්සවාකාරයෙන් විවෘත කරනු ලබන්නේ.

මෙම ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානය පිහිටියේ සහිරා විiාල පරිශ්‍රයේය. මේ සඳහා තම පියාට එවකට සහිරා විiාලයේ විදුහල්පති වූ ඒ.එම්.ඒ. අසීස් මහතාගෙන් මහත් දිරිගැන්වීමක් ලැබුණු විත්තිය තමා දන්නා බව ඉෂාන් සඳහන් කරයි. මෙවැනි ආයතනයක් ලංකාවේ මතු නොව දකුණු ආසියාවේම පිහිටුවන ලද්දේ මුල් වතාවට බව එකල පුවත්පත් වාර්තාවන්හි දැක්විණ. මෙම ස්ථානයේ සුවිශේෂිත්වය වූයේ පිතිකරුවන්ට පුහුණුවීම සඳහා විකට් තීරු දෙකක්ද ඉදිකර තිබීමය. එකක් ලණු පැදුරු (මැටිං) තීරුවකි. අනෙක කෘතිම ලෙස පිළියෙළ කළ තණනිල්ලකි.

බී.ජේ.එච්. බහාර් මේ කියන වකවානුවේ මෙරට ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ කෙතරම් පතළ නම් ආන්තකු වී දැයි කියතොත් 1955 දී ලංකාවට එන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ශූර සර් ලියර් කොන්ස්ටන්ටයින් තකහනියක් ඔහුගේ එම ගෘහස්ථ ක්‍රිකට් පාසල නැරඹීමට පැමිණ ඇත. ඒ තනිවම නොවේ. එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩඞ්ලි සේනානායක මහතාද කැටුවය. එම අවස්ථාවේ ගන්නා ලද ඡයාරූපයක් සහ සර් කොන්ස්ටන්ටයිස් සහ එම මැතිනිය බහාර්ලාගේ වත්තල ගෙදරට පැමිණි අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් දැක ගැනීමේ අවස්ථාව ඉෂාන් මට සලසා දුනි.

“ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලංකාවට එන බොහෝ අය අපේ තාත්තගේ යාළුමිත්‍රකම නිසා අපේ ගෙදරටත් එනවා. ඒක ඒ තරම් අමුත්තක් හැටියට පොඩි කාලේ අපිට තේරුණේ නැහැ. හැබැයි, ඒ එක අවස්ථාවක් මට හොඳට මතකයි. ඒ කාලේ ලංකාවට පැමිණි ඔස්ටේ්‍රලියානු පාසල් ක්‍රිකට් කණ්ඩායමක භාරකාරයෝ දෙදෙනෙක් අපේ ගෙදරට ආවා. තාත්තා ඔවුනට කෑම වේලකින් සංග්‍රහ කළා. ඒ එක්කෙනෙක් කුකුළු මස් පළුවක් හැඳි ගෑරුප්පුවෙන් සීරුවට කටු බේරාගෙන කාපු හැටි මට හිතාගන්ඩ බැරි දෙයක් වුණා. ඔහුගේ ඒ හැඳි ගෑරුප්පු හරඹය ක්‍රිකට් පිටියේ පිති හරඹයකට වඩා ඉහළින් මගේ සිත් ගත්තා.” යි ඔහු කීය.
එපරිද්දෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඔහුගේ සිත්ගත්තක් නොවීය. හැඳි ගෑරුප්පු හරඹය මෙසේ ඔහුගේ සිත් ගත්තේ සංගීත භාණ්ඩ හරඹයයි. ක්‍රිකට් ක්‍රීඩාව එකල බහාර් පවුලේ දෛනික අංගයක් බවට පත්ව තිබුණත් තම පියාගේ ක්‍රිකට් අඩිපාරේ ගියේ වැඩිමහල් සහෝදරයා වූ ඉසි පමණකැයි ඔහු සඳහන් කරයි.

කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඉෂාන් බහාර් මුලින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේ පාසල් වියේදීමය. ඒ ජෑස් සංගීතයට ඇලුම් කළ පංතියේ භූගෝල විiාව ගුරුතුමාගේ මගපෙන්වීම යටතේය. රුපියල් තුන්සිය අනුපහකට තම පියා අරන් දුන් ගිටාරය ඔහු අත තැබූ මුල්ම සංගීත භාණ්ඩයයි. පාසල් වේදිකාවේ සිට රේඩියෝ සිලෝන්හි ‘ආධුනික පැය’ වැනි වැඩසටහන්වලට සහභාගීවීමේ අවස්ථාව ලත් හෙතෙම 1961 දී සුප්‍රකට ‘ජෙට් ලයිනර්ස්’ සංගීත කණ්ඩායමට එකතු වෙයි. එය ඔහුගේ සංගීත ගමනේ එක් සන්ධිස්ථානයකි.
එතැන් සිට මේ දක්වා අඛණ්ඩව මෙරට බටහිර සංගීත ක්‍ෂේත්‍රය සමඟ ඇසුරුකම් පවත්වන ඉෂාන් අඩසිය වසරකට එහා දිව ගිය තම පවුලේ දෙවැනි සහ තුන්වැනි පරම්පරා සමඟ 2011 වසරේදී මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයයි.■