රාවය

ඒවා කරද්දී මොකක්දෝ ඇඬෙන දුකක් එනවා රංගන ශිල්පී |ශාම් ප්‍රනාන්දු

ඒවා කරද්දී මොකක්දෝ ඇඬෙන දුකක් එනවා රංගන ශිල්පී  |ශාම් ප්‍රනාන්දු

ටිරන් කුමාර බංගගමආරච්චි

ම්ගේ ළමා  කාලයේ මතක සුන්දරද?
ගොඩක් සුන්දරයි. මම හිතනවා ඒ මතකය තමයි මාව නළුවෙක් දක්වා රැගෙන ආවේ. මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව කිට්ටුව ගමක්. අපි ඉතින් කතෝලික සංස්කෘතික ආභාසයෙන් සමන්විත වෙච්ච පරිසරයක තමයි ජීවත් වුණේ. තාත්තා රජයේ පාසලක සංගීත ගුරුවරයෙක්.
තාත්තා සංගීත ගුරුවරයෙක් හින්දා ගෙදර නිතර සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. ඒ වාගේම තාත්තාගේ පවුලේ අට දෙනායි, අම්මාගේ පවුලේ නව දෙනායි සහෝදර සහෝදරියෝ. මේ අය නිතර නිතර මුණගැහෙන නවාතැන වුණේ අපේ ගෙදර. අපි හිටියේ මහගෙදර. මේ හමුවීම් කෙළවර සංගීත සාජ්ජ තමයි. මට මතකයි තාත්තාගේ සහෝදරයෝ යාංහෑලි කියන්න රුසියෝ. ඉතින් ඉළ ඇදෙන්න හිනා හැමෝටම. නිතර නිතර දවස ගෙවුණේ එහෙම විනෝදකාමී පරිසරයක. පුංචි මම අත්වින්දේ මේ විනෝදකාමී පරිසරයම තමයි. මම ඒකට ගොඩාක් ඇලුම් කළා.

ඒක දිගටම තිබුණේ නැද්ද?
නැහැ. මොකද තාත්තාට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක් ලැබුණා. ගිරිඋල්ල පැත්තේ පාසලකට. බෝයවලාන කියන ගමට. ඉතින් අපි ඔක්කොම එහේ පදිංචියට ගියා. මේ දුරත් එක්ක ඥාති ඇසුර අඩු වුණා. ඒ වෙනුවට වෙන තත්ත්වයක් උදාවුණා. හවස්වරුව නිකම්ම නිසා තාත්තා ගෝලයන්ට සංගීතය උගන්වන්න පටන් ගත්තා. ඒ අතරේ පාසලේ කොන්සර්ට් එකකට නාට්‍යයක් ඉදිරිපත් කරන වැඬේත් තාත්තාම භාර ගත්තා. ඉතින් ගෙදර නිතරම අත්වින්දේ නාට්‍ය පුහුණුව, සංගීත පුහුණුව වාගේ දේවල්. ඒවටත් මම ඇලුම් කළා. මම දෙකේ තුනේ පන්තිවල හිටියේ. මමත් ඒවාට හුරුවුණා. තාත්තා සමසමාජකාරයෙක් නිසායි පනිෂ්මන්ට් ලැබුණේ. කොහොම හරි ආයේ අවුරුදු දෙක තුනකින් මාරුව හදාගෙන අපි කටුනේරියටම ආවා. ඒ ඇවිත් මට මතකයි මම ගමේ පාසලේ නාට්‍යයක් කළා. එතකොට මම හතර පන්තියේ. තාත්තා බෝයවලාන පාසලේදී නාට්‍ය කරනවා බලා ඉඳලා දැන් මට පුළුවන් පිටපතක් පවා ලියන්න. කතෝලික පරිසරයට ගැළපෙන නාට්‍යයක් ඒක. පෝස්ටර් ගහලා, ටිකට්ස් හදාගෙන මේ නාට්‍යය කළේ හතරේ පන්තියේදී. අද හිතන්නත් බෑ එහෙම කළාද කියලා. ඒ වගේම නාට්‍යය බලන්න හිතුවාටත් වඩා සෙනඟ ආවා. ඒත් හයේ පන්තියේ ඉඳලා මම ගියේ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට. ඒක තනිකරම ක්‍රීඩාවට බර පාසලක්. ඉතින් කලා ආශාව එහෙම්ම යටවෙලා ගිහිල්ලා ක්‍රීඩා පැත්තට බර වැඩිවුණා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගත්තා. ඔය විදියට තමයි මගේ ළමා කාලය ගතවුණේ.

ගෙදර මුලින් තිබුණු විනෝදකාමී පරිසරය ඊට පස්සේ නැති වුණාද?
ඒක වෙනම කියන්න ඕනෑ කාරණයක්. මම හැත්තෑව මුල ඉපදුණු කෙනෙක්. ඉතින් 78ට පසු මේ රටේ විපර්යාසයත් ඊට පෙර කාලයේ නිදහසත් මම අත්වින්දා. අසූව මැද වෙනකොට අපේ ගෙවල්වල නිදහස නැතිවෙලා හැමෝම සල්ලි පස්සේ දුවන යන්ත්‍ර වුණා. සමාජ ජීවිත සේරම කනපිට පෙරළුණා. තාත්තා ගුරු වෘත්තියෙන් විතරක් ජීවත් වෙන්න බැහැ කියලා බිස්නස් කරන්න ගත්තා. අනෙක් ඥාතීන් හම්බ කරන තරගයේම හිටියා. සමහර පවුල්වල අවුල් මතු වුණා. මගේ අම්මා මේත් මදි ජීවත් වෙන්න කියලා විදේශගත වුණා. අපි ගෙවල් හදන්න පටන් ගත්තා. ජීවත් වෙන්නම ලොකු අරගලයක් කළා මිසක් කලාව පැත්තට තිබුණු ආශාව සහ ඒවාට පෙළඹෙන්න තිබුණු වුවමනාව අපේ පවුල්වලින් නැතිවෙලා ගියා.

ආයේ කලාව පැත්තට නැඹුරු වුණේ කොහොමද?
තාත්තට ඕනෑ වුණා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න. ඒත් මට පාසල් මට්ටමින් එහාට එන්න බැරිවුණා. කොහොමහරි පාසලෙන් අයින් වුණාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බැරි නම් අම්පයර් කෙනෙක් හරි වෙන්න ඕනෑ කියන තැනට තාත්තා තල්ලු වුණා. තාත්තා මාව ඒ ඒ ‘කෝස්’වලට දැම්මා. මට ඒ මුකුත් හරි ගියේ නෑ. ඔය අතරේ කියන්න ඕනෑ, උසස් පෙළ කරන කොට අපිම හොයාගෙන ගිහින් නාට්‍ය බලන්න පටන් ගත්තා. ඒ ආශාව වැඩි කළා ‘ධවල භීෂණ’ නාට්‍යය. ඒකේ ඩබ්ලිව් ජයසිරිගේ රංගනය මට හරියට බලපෑවා. අර නාටකීය රංගන නැතිව ස්වාභාවික රංගනයක් මම ඔහු තුළ දැක්කා. මම ඒකට කැමති වුණා. මේ කාලේ චිත්‍රපට පිස්සුවක් තියෙනවා. එදා වාගේම අදටත් මගේ කැමතිම නළුවා සහ නිළිය ජෝ අබේවික්‍රම සහ මාලිනී ෆොන්සේකා. ඩබ්ලව් ජයසිරි හරහා මම දැක්කේ සිනමාවේදි මම දකින නිදහසයි.
දැන් මම නාට්‍ය එක දිගට බලනවා. වේදිකාවේ මොකක්දෝ ඇඟට තදින්ම දැනෙන ගතියක් තිබුණා. ඒ සජීවීකමට මම ආස කළා. මේ කාලේ මම බලනවා, රාජිත දිසානායකගේ ‘මට වෙඩි තියන්නේ නැද්ද?’ කියන නාට්‍යය. ඒකට මම සෑහෙන පැහැදුණා. සෞම්‍ය ලියනගේ තුළ ඇති පෞරුෂයට. විශේෂයෙන් හඬට. රංගනය ඉදිරිපත් කළ විදියට වේදිකාව තුළ තවත් විදිවලට දේවල් කරන්න පුළුවන් නේද කියලා මට හිතුණා. ඒක තමයි වේදිකා නාට්‍යවල මාව බැඳගත්ත බන්ධනය.

රස්සාවක් මුකුත් කළේ නැද්ද?
කරපු නැති රස්සාවක් නෑ. (හිනා) මම උසස් පෙළට කළේ වාණිජ. ඉතින් මට ලැබෙන්නේ සේල්ස් එක්සෙකටිව් ජොබ්. මේ වගේ ජොබ් දහයක් පහළොවක් කරන්න ඇති. සමහර ඒවා සතියයි. ඒවා කරද්දී මොකක්දෝ ඇඬෙන දුකක් එනවා. අනේ මට මේවා කරන්න බෑ කියලා. ඉතින් දමලා ගහලා යනවා. ඔය කාලේ මට පුහුණු ගුරුවරයෙක් විදියට පත්වීමක් ලැබෙනවා. පුත්තලම ඉඳලත් කිලෝමීටර් දහසයක් විතර ඇතුළට වෙන්න එළුවන්කුලම කියන ගම ආශ්‍රිත පාසලකට. දුෂ්කර පළාතක්. ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට පත්වීම ලැබෙන්නේ. තාත්තාට වෙච්ච දේම මටත් වෙනවා. හවස්වරුව ගතකර ගැනීමේ ප්‍රශ්නය මතුවෙනවා. මේ පැත්තේ ටියුෂන් කරන්න පුළුවන්කමක් නෑ. මම ඉස්කෝලේ ළමයින්ට නාට්‍ය කරන්න පටන් ගත්තා. නාට්‍යය බලලා එහෙම තිබුණ උනන්දුවට කළේ. ඒත් ළමයින්ට උගන්වනවා නම් මම ඒ ගැන ඉගෙනගෙන ඉන්න ඕනෑ කියලා මට හිතුණා. එතකොට සෝමලතා සුබසිංහ මිස් ළමයින්ට සහ තරුණයන්ට වැඩමුළු පවත්වනවා. මම 1999දී මිස්ගේ වැඩමුළුවකට කොළඹ ආවා. ඒ වැඩමුළුවත් එක්ක අර පූර්ණකාලීනව වගේ යටපත් වෙලා තිබ්බ ආශාව මතුවෙලා ඇවිල්ලා ආයේ කලාව තුළ නියැලෙන්න, ළමයි එක්ක නාට්‍ය කරන්න මට පුළුවන් වුණා.
නළුවෙක් වෙන්නේ කොහොමද?
මේ වැඩමුළුවෙන්ම තමයි ඒ උපතත් සිද්ධ වෙන්නේ. සෝමලතා මිස්ගේ වැඩමුළුව අවසානයේ ‘දිරිය මව’ නාට්‍යයේ කොටසක් අපි කළා. එදා රාජිතත් ඇවිල්ලා හිටියා. ඒ එයාගේ අලුත් නාට්‍යය, ‘වීරයා මැරිලා’ සඳහා නළු නිළියෝ හොයන්න. ඔය වෙලේ තමයි රාජිතට මාව හිතට අල්ලලා මට ‘වීරයා මැරිලා’ නාට්‍යයට ආරාධනා කරන්නේ. එතැනින් තමයි මම නළුවෙක් විදියට මතුවෙන්නේ. ‘වීරයා මැරිලා’ හරහා රඟපෑමට යොමු වුණාට මම හිතුවේ නැහැ ඒකෙන්ම ඉදිරියට යනවාද කියලා. ඒත් එක්ක රාජිතගේම ‘සිහින හොරු අරන්’ නාට්‍යයටත් ආරාධනා ලැබුණා. මේ නාට්‍යවල නියැලීමත්, ඒ වෙනුවෙන් වන පුහුණුවත් එක්ක, පුහුණුවෙන් පස්සේ අපි එකිනෙකා බෙදාගන්නා හිතවත්කමත් එක්ක, මාව ආයේ හැත්තෑවේ දශකයේ අපේ ගෙදර පසුබිමට අරගෙන ගියා. එදා මම පුංචි එකෙක් විදියට බලා ඉඳලා රස විඳපු ජීවිතය මම විඳිමින්ම රස විඳින්න ගත්තා. මෙතැන රඟපෑමකට වඩා එක පවුලක් වගේ මට දැනුණේ. අදටත් ඒක එහෙම්මයි. රඟපෑම ගැන ලොකු අවබෝධයක් ආවේ රාජිතගේ නාට්‍යවල කළ රඟපෑම් නිසාමයි. ධර්මප්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ප්‍රසාද් සූරියආරච්චි වගේ නළුනිළියෝ එක්ක රඟපාන කොට මම වැඩිපුරම කළේ ඒ අය රඟපාන එක බලා ඉඳලා රසවිඳීම. ඒ එක්කම යනකොට මගෙත් කිසියම් විදිහක හැකියාවක් මතුවෙලා ආවා වගේ මට දැනුණා. මම රංගනය කියන දේට පෙම් බඳින්න පටන් ගත්තා.

නළුකමයි-ගුරුකමයි දෙකම කරගෙන යන එක බාධාවක් වුණේ නැද්ද?
මම රාජිතගේ වේදිකා නාට්‍යවලට තමයි දායක වුණේ. රාජිතත් වෙනත් වෘත්තියක් කරන ගමන් තමයි නාට්‍ය කරන්නේ. අපේ හැමෝම එහෙමයි. ඉතින් මටත් මගේ කාලය බේරගන්න පුළුවන් වුණා. අපි පුහුණුවීම් කළේ හැමෝටම කරදරයක් නොවන විදියටයි. ඒත් දැන් සිනමාවට යොමු වුණාම ඒක එහෙම නැහැ. එතැනදී කාලය බෙදා ගැනීම අමාරුයි. මම දැන් ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමෙයි, නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. ඒකත් මට පහසුවක් වුණා. මොකද ඒක කාණ්ඩ විෂයයක් හින්දා සතියකට දින තුනක් විතර බෙදාගෙන කරන්න පුළුවන්. නළුකම වගේම ගුරුකමත් මම කරගෙන ආවා. දැන් ගුරු ජීවිතයට වසර 20ක්. වසර විස්සෙන් පස්සේ විශ්‍රාම යන්න පුළුවන්. ඉදිරි නළුකම අනුව බොහෝ දුරට ගුරුකම අත අරින්න වෙයි කියන දෙගිඩියාවෙන් මම ඉන්නවා. සිනමාවට සම්බන්ධ වුණාම ගුරුකමට සාධාරණයක් කරන්න බැරිවෙයි. ඒ නිසා ඒ අසාධාරණය මට ළමයින්ට දෙන්න බෑ. එහෙම වුණොත් මම ගුරු වෘත්තියෙන් සමුගනීවි.

හැමෝම ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවිතයක් හොයන කොට ඔබ කලාව මත නියැලීම ගෙදරින් පිළිගත්තාද?
නැහැ. දැඩිව ප්‍රතික්ෂේප වුණා. ගෙදරින් විතරක් නෙමෙයි සමාජයෙනුත් ප්‍රතික්ෂේප වුණා. මගේ වයසේ අය වෙනම ලෝක අල්ලන්න ගියා. අපි හැදුණු වැඩුණු පරිසරය තුළ නළුවෙක් ඉන්නත් බෑ. ඒ අය කලාව කියලා දැක්කේ සංගීත කණ්ඩායම් විතරයි. අපේ පැත්තේ හැමෝම රට යෑම සාමාන්‍ය පුරුද්දක් කරගෙන හිටියා. ඒ ගිහින් ඇවිත් ඔවුන් මෙහේ සුපිරි ජීවිත ගතකළා. මගේ යාළුවන්ට පවා සුහද හමුවකදී හරි මාව හමුවීම නොවිය යුතු මට්ටමක් උදාවුණා. මාව එතැනට නොගැළපෙන්න ගත්තා. අප අතරේ ආර්ථිකය විසින් ලොකු පරතරයක් නිර්මාණය කළා. හැබැයි ඒකේ අපූරු වැඬේ ඊළඟට වුණා. මම චිත්‍රපට දෙක තුනක රඟපෑමෙන් දායක වෙලා යම්කිසි විදියට මතු වෙනකොට එදා මාව ප්‍රතික්ෂේප කළ අය අද මාව ඒ සාදවලට ගෙන්වන්න ආසවෙලා තියෙනවා. ඒ අයට ඒක ගෞරවයක් වෙලා. ආඩම්බරයක් වෙලා.

නළුවෙක් විදියට අද ඔබ ජනප්‍රියද?
අපේ පැත්තේ ඉන්නකොට කඬේට එහෙම යනකොට මම නළුවෙක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අපේ ගෙදරටත් මුලින් ප්‍රශ්නයක් වුණා. මම මොන වාගේ නළුවෙක්ද කියලා. නළුවා කිව්වාම අද ටෙලිවිෂන් එකේ ඉන්න නළුවානේ ඔළුවේ තියෙන්නේ. අනික වේදිකා නාට්‍ය බලන්නේ කොයි තරම් සීමිත ප්‍රමාණයක්ද? අපේ පැත්තේ නම් බලන්නේම නැති තරම්. ඒ අයට ටිකක් හරි මම නළුවෙක් වගේ පෙනෙන්න ගත්තේ චිත්‍රපට දෙක තුනක හිටියාට පස්සේ. ඒ චිත්‍රපටත් හැමෝම බලන්නේ නැහැනේ. ඉතින් නළුවෙක් විදියට ජනප්‍රියයි කියලා බොරු කියන්න ඕනෑ නැහැනේ. මාව දන්නේ හරි පොඩි පිරිසයි. කොහොමත් මම නළුවෙක් නඩත්තු කරන්නේත් නැහැ. සමහරු නළුවෙක් සාහිත්‍යකරුවෙක් කියලා දිවි ගෙවන ක්‍රමයක්, කලාවක් තියෙනවානේ. මම එහෙම නැහැ. හොඳට ඇඳලා නළුවෙක් වගේ යන තැන් තියෙනවා. එතැනදි එන පිළිගැනීමත් විඳලා තියෙනවා. ඒත් ඒ ඇඳිල්ල ඇඳගෙන ඉන්න ඕනෑ නෑ කියලමයි හිතලා තියෙන්නේ. කවුරුත් වැඩිය නොදන්නවා වුණාට කමක් නැහැ. මෙහෙම ඉන්න එක හොඳයි.

මේ විදියට ඉන්න එක ඇඳලා ඉන්නවාට වඩා අමාරුයි නේද?
අපෝ ඔව්! කලාව හෝ සාහිත්‍යය හෝ තමුන් ඇතුළේම තියෙන මනුෂ්‍ය ස්වභාවයක් ආරක්ෂා කිරීම ලේසි පහසු නෑ. ඒකට ලොකු අරගලයක් කරන්න වෙනවා. ඒකට ඉතාම ශක්තිමත්ව සමහර දේවලවලට මුහුණ දෙන්න වෙනවා. දැඩි ස්ථාවරයන්වල ඉන්න වෙනවා. ඒකට සමාජය තුළින් මෙන්ම පවුල තුළින්ම එන විරෝධතාවලට මුහුණ දෙන්න වෙනවා. මේක ලොකු අරගලයක්.

ඔබට ඔබගේ පෙම්වතිය හමුවන්නේ නළුවකු වන්නට පෙරද?
ඔව්! ඇයත් මම හිටපු පාසලකට පුහුණු ගුරුවරියක් විදියට ආපු කෙනෙක්. අපි හඳුනාගන්නා කොට ඇය දන්නවා මම නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කරන බව. අපි දැන් විවාහකයි. අපිට දරුවෝ ඉන්නවා.

ඇය දැන් නළුවකුගේ බිරිඳක්. ඒක අර තරම් ලේසිද ජීවත් වෙන්න?
අමාරුයි. සෑහෙන අමාරුයි. ඇයත් ඒ තත්ත්වය තේරුම් ගන්න ලොකු අරගලයක් කරනවා. ලෝ ප්‍රකට නළුවෙක් සම්මාන උළෙලකදී තම බිරිඳට ස්තුති කරනවා, ‘පිරිමින් ගොඩක් එක්ක ඉඳිමින්’ මගේ දේට සහාය දුන්නාට ස්තුතියි කියලා. ඇත්තටම නළුවෙක් කියන්නෙ පිරිමි ගොඩක්. ඔහු විවිධ චරිතවල ජීවත් වන කෙනෙක්. ඉතින් සාමාන්‍ය කෙනෙක් නම් මේ මොහු කියලා තේරුම් ගන්න පුළුවන්. නළුවෙක් වුණාම විවිධ චරිතවලින් තමන්ගේ සැමියා තෝරාගන්න ගියාම ඇය අසරණ වෙනවා. ඒ අරගලයට ඇය මුහුණ දෙනවා.

ශාම් කියන නළුවාට ආදරය කරන ගැහැනුත් දැන් ඇතිනේ?
ඉන්නවා. සිනමාව තුළ ඒ තිරය තුළ මාව දැකලා මට ආදරය කරන මාව ලබාගන්න උත්සාහ කරන ගැහැනු ඉන්නවා. අභාග්‍යයට ඒ අය සජීවීව මාව දැක්කාම මාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මම කැමරාවෙන් පිටත අර නළුවා නඩත්තු කරන්නේ නැති නිසා. ඒ අයට මාව ගැළපෙන්නේ නෑ. ඉර්ෆාන් ඛාන්ට කැමති ගැහැනු පවා අපි තුළිනුත් ඉර්ෆාන් ඛාන් කෙනෙක් හොයනවා. ඔවුන්ට ඕනෑ තිරය තුළ ඉන්න ශ්‍යාම් කියන නළුවා. ඒත් සැබෑ ලෝකයේ ඉන්නේ නළුවකු විදියට නඩත්තු නොවන සාමාන්‍යම කෙනෙක්. ඒක බාධාවක්.

ඒ ප්‍රතිචාර එහෙම වීම හොඳද නරකද?
ප්‍රතික්ෂේප වීමද? (හිනා) අපරාදයක්නේ. (හිනා)

චිත්‍රපට නළුවෙක් වීම ගැන සතුටුද?
ඔව්! රාජිතගෙන් පස්සේ ප්‍රසන්න විතාන හමුවෙන කොට, ඔහු මට අඬගහන කොට මම රාජිතගෙන් ඇහැව්වා මම ෆිල්ම්වලට ගිහින් මොකද කරන්නේ කියලා. රාජිත කිව්වා අධ්‍යක්ෂව විශ්වාස කරන්න කියලා. රාජිත ළඟ වැඩ කරලා ලද පන්නරය නිසා මට චිත්‍රපට නළුවෙක් වෙන්න පහසු වුණා. රඟපෑමම පහසු වුණා.

රාජිත නැත්නම් ඔබ නළුවෙක් නෙමෙයිද?
එහෙම නොවෙන්න තිබුණා. මම පාසලේ ළමුන්ට නාට්‍ය උගන්වමින් ඉඳියි. නාට්‍ය බලයි. මෙච්චර දුර එන එකක් නැහැ. මා තුළ නළුවෙක් හිටියා නම් ඒ නළුවා මතු කළ කෙනා රාජිතයි. ඔහු මට හැමදාම සුවිශේෂියි.

ඔබ ඉතාම පොඩි ප්‍රමාණයකට රඟපෑමෙන් දායක වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන තෘප්තිමත්ද?
එම්.ඩී. මහින්දපාල මහත්තයා කියපු කතාවක් මට අමතක වෙන්නේ නෑ. ඔහු තැනක කියලා තිබුණා, ඔහුට මුළු ජීවිත කාලයටම චිත්‍රපට පහකට හයකට දායක වුණානං ඇතියි කියලා.
මමත් වේදිකා නාට්‍ය නවයකට දායක වෙලා තියෙනවා. ඉතින් තව නාට්‍ය දෙක තුනක් තිබුණාම උපරිම ඇති. දැනට චිත්‍රපට හයකට විතර දායක වෙලා තියෙනවා. ජීවත් වන කාලය එක්ක බැලුවාම චිත්‍රපට දහයක රඟපාලා තිබුණා නම් හොඳටම ඇති. වෘත්තිීය නළුවෙක් කියන්නේ කුලීකරුවෙක් වගේ හැමදාම රඟපාන එකට නෙමෙයි. එහෙම නළු කම්කරුවෙක් වෙන්න මට ඕනෑ නෑ.
ඉදිරි කාලයෙත් එහෙම ලොකු හදාගත්ත ඉලක්ක මට නෑ. මේ ලැබුණු අත්දැකීම් එක්ක හොඳ නිර්මාණවල රඟපානවා. එහෙම නැතිවුණ කාලයක පරණ විදියට නාට්‍යයක් බලාගෙන ඉන්නවා.

තාත්තා අද සතුටුද ඔබ ඉන්න තැනට?
නොකිව්වාට ලොකු සතුටක් ලබනවා කියලා තේරෙනවා. ඒ අයගේ එකම ළමයා විදියට මම ඒ අය බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට නොගියාට මට හැකි තැනකට යෑම ගැන තාත්තා ගොඩාක් සතුටු වෙනවා ඇති. තාත්තා සංගීතය අතඇරලා බිස්නස් කළාට ඒ හැමදේම බංකොළොත් වුණා. තාත්තාත් දැන් ආයේමත් වයලීන් අරගෙන සංගීතය පැත්තට වැඩිපුර නැඹුරු වෙලා. ආච්චි සීයලා විදියට ඒ දෙන්නා දැන් අපිත් එක්ක ඉන්නවා.

ශාම්ගේ මේ සියලු විපර්යාසවල ඇරඹුම කොතැන කියලාද හිතන්නේ?
එළුවන්කුලම, වනාත විල්ලුව, නාගමඩුව කනිෂ්ඨ විද්‍යාලයට පුහුණු ගුරුවරයෙක් විදියට නොයන්නත්, ඒ දුෂ්කර පාලු පරිසරයේ හවස් කාලය ළමුන් වෙනුවෙන් නාට්‍ය නොකරන්නත් මේ මුකුත් වෙන එකක් නෑ. ඒ ළමුන්ට උගන්වන්න ඉගෙන ගන්න ඕනෑ කියලා හිතපු නාට්‍ය කලාව මාව නළුවෙක් කරලා අවසන් කළා. ඉගෙන ගන්න කාලේ හොයපු ජීවිතය ගුරුවරයෙක් වුණාට පස්සේ හම්බ වුණා.■