රාවය

සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ

සුජිත්!  ජීවිතය දැන් කොහොමත්  පහසු නෑ

සුමුදු අතුකෝරල

අඳුර තුළ ගමන් කරන්නන් තමන් අඳුර තුළ ගමන් කරන බව දැනගන්නා තෙක් ආලෝකය නොසොයනු ඇත. :බෘස් ලී
මට මුල ඉඳන්ම එයාව දැක්කාම මතක් වෙන්නෙම බෘස් ලී ව. පින්සලක වගේ කොණ්ඩෙ ඉස්සරහ හදාගෙන, ඉතාම කෙට්ටුවට, තියුණු මුහුණක් සහ හරිම අහිංසක හිනාවක් එක්ක ඉන්න සුජිත් දකින එකම ඉතාම සතුටු හිතෙන කාරණාවක්. ඔය හේතුව හින්ද තමයි ඔය උඩින් තියෙන කියමන මගෙ ඔළුවට ආවේ. මට හිතෙනවා බාහිර පෙනුම වගේ ම ඇතුළතිනුත් සුජිත් බෘස් ලී එක්ක එතැනදී හම්බ වෙනවා කියලා.

එඞ්වර්ඞ් මුන්ච්ගේ ‘විලාපය’ කියන චිත්‍රය ගැන අහල දැකලා තිබුණත් ඒක එහි මුල් අර්ථයෙන් ම අත්විඳින්න මට පුළුවන් වෙලා තිබුණේ නෑ. සුජිත්ගේ ‘මනෝභ්‍රාන්ති’ ප්‍රදර්ශනය බැලුවාම මට එඞ්වර්ඞ් මුන්ච්ගේ චිත්‍රයේ මුල් අර්ථයට සමීප වෙන්න පුළුවන් වුණා. එහෙම වුණේ සුජිත් දේශීය පසුබිමක් තුළ මුන්ච්ගේ ‘විලාපය’ ප්‍රතිනිර්මාණය කරලා තියෙන හින්ද කියලායි මට හිතෙන්නේ. එහෙම කිව්වාට මුන්ච් සහ සුජිත් ඉන්නේ තැන් දෙකක. සංකල්පීමය වශයෙන් සහ ප්‍රකාශනමය පසුබිම මත දෙදෙනාම එක තැනකදී හමුවුණාට මට සුජිත්ගේ චිත්‍ර දැනෙන ගතිය වැඩියි. සුජිත්ගේ චිත්‍ර විලාසයත් ගැඹුරු අත්දැකීමට එක්කගෙන යනවා. ඒකට හේතුව මේ දේශපාලනික, සමාජ සංස්කෘතික මඩගොහොරුව මටත් සුජිත්ටත් අපි හැමෝටමත් එක විදිහට දැනෙන නිසා වෙන්න ඇති.

ප්‍රදර්ශනය ආරම්භයෙන් පස්සේ පොඞ්ඩක් සුජිත් එක්ක කතා කරන්න ලැබුණා. ඇත්තටම සුජිත්ම ඇවිත් කතා කළා. එයා ඒ වගේ නිහතමානී කෙනෙක්.
“බය කියන්නේ හරි පුදුම දෙයක්. චූ යනවා වගේ දෙයක් නේ. ඉතින් මේ චිත්‍රත් ඒ වගේ තමයි. බය ඇතුළෙ ම ටික කාලයක් ඉන්නකොට චිත්‍ර විදිහට ඒවා එළියට එනවා. ඒත් දිගටම ඒ බය අස්සෙ ඉන්න බැහැ. එපා වෙනවා. ඊට පස්සෙ අත ඇරල දානවා.” සුජිත් කිව්වෙ ඔන්න ඔය වගේ අදහසක්.
ඔය කතාව ඇහුවාට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනෙන්න ගත්තා. ඒක නිකන් කඳුළු එන්නෙ නැතිව අඬනවා වගේ හැඟීමක්. දැන් ඉතින් ඒ හැඟීම සුජිත්ටවත් මගෙ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. හිතේ පටලයක් බැඳිලා වගේ. එදිනෙදා ජීවිතය, සතුට, බලාපොරොත්තු, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනික වටපිටාව, මේ හැමදෙයක්ම විහිළුවක් වගේ ගොඩක් වෙලාවට. ඒත් ඒ විහිළු ගතිය අස්සෙ කොච්චර නම් භ්‍රාන්තියක් සැඟවිලා තියෙනවාද? හැමෝම මේ මනෝභ්‍රාන්තිය එක්ක හිරවෙලා නෙමෙයිද ඉන්නේ?

සුජිත්ගේ චිත්‍ර අතරින් ලොකු ඇස් දෙකක් විවර වෙලා, ඒ ඇස්වලින් දකින දේවල් නිසා කඳුළු ගඟක් ගලන චිත්‍රෙ මගෙ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. එක එක දුරවල්වලින්. වෙලාවකට ළඟින්, තව වෙලාවක ඈතින්. මට ඒ චිත්‍රය සහ සුජිත්ගේ මුහුණ වෙන්කර ගන්න සෑහෙන අමාරුයි. ඊට පස්සේ ඒ චිත්‍රය තුළ මාවම පෙනෙන්න ගත්තා. මහා ලොකු දර්ශනයකට වඩා ඉතාම සරල මානුෂීය තැනකදී තමයි මට ඒ චිත්‍රය කතා කරන්න ගත්තේ. හැබැයි ඒ කතාව, කියාගන්න බැරි බරපතළ තැනකට මාව අරගෙන යනවා.

බොහෝ වෙලාවට කලාව විසින් කරන්නේ පවතින සම්මතයන්ට එරෙහිව නැගී සිටීම. විප්ලවය තුළින් සටන්කිරීම. ඒත් මනෝභ්‍රාන්ති මේ මඩගොහොරුව තුළ යළි මල් මෙන් පිබිදීමට පවා ඇති නොහැකියාව බාරගන්නවා. සුජිත් චාකෝල්වලින් ඇඳලා තියෙන එක තේමාවක අවස්ථා කිහිපයක් ලෙස පෙනුණු කළුසුදු චිත්‍ර ත්‍රිත්වය සුජිත්ගේ තාත්වික චිත්‍ර දක්ෂතාව ගැන ප්‍රබල සාක්ෂියක් වුණත් ඒ චිත්‍ර කිහිපය තුළ සැඟවී තිබෙන කම්පනය, සංවේදනය, දුක සහ බියට ඔබවත් මුසපත් කරන්න ඉඩ දෙන්න.

බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුණුවිසුණු වීම ඇර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතනකොටම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණවෙලා දැනෙනවා. ඒත් ගලායාම සමඟ මුසුවීමට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දේවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා නම් කිසි දේකට බයවෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමඟ එකඟ විය නොහැකි නම් කුමක් කළ යුතුද? මම හිතන්නේ සුජිත් ඒ කළ හැකි දේ කරනවා. තමන්ගෙ ප්‍රදර්ශනය බුර්ෂුවා ගැලරියක් වෙනුවට සුජිත් යන්තම් හෝ එදිනෙදා ජනතාවට පය තැබිය හැකි ලයනල් වෙන්ඞ්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඕනෑ.

තමන්ගේ ප්‍රකාශනයත් එක්ක සිහිනයක අතරමං වෙනවාට වඩා සුජිත් තවමත් එය ජනතාව අතරට ගෙනයා යුතුයි කියන මතයේ සිටීම ගැන මට ඇතිවුණේ ගෞරවයක්. ඒත් මේ නිර්මාණ කොහේ හරි ලොකු කලාගාරයක හෝ පුද්ගලික එකතුවක් තුළ ඉතිහාසයට එකතුවෙන එක ගැන මම විරුද්ධ නැහැ. ඉතිහාසය තුළ ලෝකය වෙනස් විය යුතුයැයි විශ්වාස කළ කුඩා මිනිසුන්ගේ දර්ශනය කොහේ හෝ ඉතුරුවේවි.
සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ. තමන්ගේ ජීවිතය චිත්‍ර අස්සේ හොයාගෙන යන එක දිගටම කරන්න. ඔයා මෙහෙ ඇවිල්ල ඉන්නේ ඒකට.■