රාවය

ලයනල් වෙන්ඞ්ට් සොයායෑම සම්පත් බණ්ඩාර සමඟ කතාබහක්

ලයනල් වෙන්ඞ්ට් සොයායෑම සම්පත් බණ්ඩාර සමඟ කතාබහක්

සම්පත් බණ්ඩාර රචිත නවතම කෘතිය ලයනල් වෙන්ඞ්ට් අළලා ලියූ ‘කලාව සහ ජීවිතය’ කෘතියය. මෙය දොරට වැඩීම අගෝස්තු මස 30 වැනි බදාදා සවස 3.30ට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී සිදු කෙරේ. ලයනල් වෙන්ඞ්ට් පිළිබඳ අපූරු මතක සිත්තමක් මේ කෘතිය හරහා දිග හැරේ. මේ සම්පත් බණ්ඩාර සමඟ ලයනල් වෙන්ඞ්ට් ගැන කතාබහකි.

ඔබ ලයනල් වෙන්ඞ්ට් ගැන පොතක් කරන්න හිතන්නේ ඇයි?
මම අද හිතනවා විසිවන ශත වර්ෂයේ බිහිව ලංකාවේ කලාව වෙනස් කළ පුද්ගලයන් අතර කලාව විප්ලවීය වෙනසකට භාජනය කළ පුද්ගලයන් අතර ලයනල් වෙන්ඞ්ට් ප්‍රමුඛයෙක් කියලා. ඒත් වෙන්ඞ්ට්ට ඒ තැන මේ රටේ හිමිව තියෙනවාද, වෙන්ඞ්ට් ගැන මේ රටේ කීයෙන් කී දෙනාද දන්නේ කියන ප්‍රශ්නයත් එක්ක සිංහල සමාජය ඔහු ගැන මුකුත්ම නොදන්න තරම් කියලා මට හිතෙනවා. මමත් ඔහු ගැන දැනගෙන හිටියේ ගොඩාක් අය දන්න ප්‍රමාණයම තමයි. ඒ ලයනල් වෙන්ඞ්ට් රඟහල ගැන තමයි. ඒකේ නාට්‍ය විවිධ ප්‍රසංග තියෙනවා කියන එක විතරයි.
මම 1990දී පත්තර රස්සාව කරන්න කොළඹ ආවාම ප්‍රථම වතාවට නාට්‍යයක් බලන්න ලයනල් වෙන්ඞ්ට් එකට යන්න ලැබෙනවා. අන්න එතැනදී තමයි මට ඔහු පිළිබඳ කුතුහලය වැඩිවෙන්නේ. හැබැයි මේක උච්චම වෙන්නේ කාලයක් ගියාමයි. මම ආනන්ද කුමාරස්වාමි ගැන පොතක් ලියන්න බි්‍රතාන්‍ය පුස්තකාලයේ කරුණු හොයමින් ඉන්නකොට එහේදි මට හම්බ වෙනවා ලයනල් වෙන්ඞ්ට්ගේ ‘සිලෝන්’ කියන කෘතිය. ඒකේ මුල් පිටපත් මෙහේත් නෑ. ඒක දුර්ලභ පොතක්. ඒ පොතේ තියෙන්නේ 1930-40 අතර කාලයේ ගත්ත ඡායාරූප. මේ ඡායාරූප දැක්කාම මට හිතුණා ඒ කාලේ මේ තරම් අපූරු පින්තූර ගන්න ඔහු කොතරම් දක්ෂයෙක් වෙන්න ඇතිද කියලා. මට හිතුණා ඔහු ගැන හොයාන්න ඕනෑ කියලා. ඒ වෙනුවෙන් වසර පහක් විතර ගත කළා.

ඔබට ඔහු විශේෂ වන්නේ ඇයි?
අපි හැමෝම ඔහු දන්නේ ඡායාරූප ශිල්පයෙක් විදියටයි. හැබැයි ඔහු අතිදක්ෂ පියානෝ වාදකයෙක්. ඒ වගේම සිනමා විචාරකයෙක්. ලංකාවේ මුල්ම සිනමා විචාරකයා ඔහු කියලායි මගේ අදහස. ඒ හැමදේටම වඩා ධනවතෙක් වූ වෙන්ඞ්ට් තම සියලු ධනය වියදම් කළේ මෙරට කලාවේ පෝෂණයටයි. ඔහු බොහෝ කලා ශිල්පීන්ට අතදෙන අනුග්‍රාහකයෙක් වුණා. අවසානයේ ඔහු ජීවත් වූ නිවස පවා කලාගාරයක් බවට පත් කළා.

ඔහු සිනමා විචාරකයෙක් බව ඔබ කියනවා.
ඔව්! ලංකාවේ සිනමාව මොකද්ද කියලාවත් දන්නේ නැති කාලයේ තමයි ඔහු සිනමා විචාර ලියන්නේ. 1925 ඔහු නිහඬ චිත්‍රපට ගැන විචාර ලියනවා. ඊට වසර ගණනාවකට පස්සේ තමයි මුල්ම කතානායක චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව එන්නේ. ඒ වෙන්ඞ්ට් මියගියාටත් පස්සේ. ඉංග්‍රීසි පත්තර තුළ වෙන්ඞ්ට්ගේ විචාර පළවෙනවා.

ලයනල් වෙන්ඞ්ට්ගේ පවුල් ගහ කොහොමද?
ඒක මහා විශාල වෘක්ෂයක්. ලයනල් වෙන්ඞ්ට් බර්ගර් ජාතිකයෙක්. ඔහුගේ පියා හෙන්රි ලෝරන්ස් වෙන්ඞ්ට්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. වෙන්ඞ්ට්ගේ සීයා ජෝර්ජ් ආර්නෝල්ඞ් වෙන්ඞ්ට්. ඔහු ගණකාධිකාරීවරයෙක්. මොවුන් ක්‍රිස්තියානි ආගම ඇදහූ බර්ගර් ජාතිකයන්. වෙන්ඞ්ට්ගේ පියා විශේෂ පුද්ගලයෙක්. ඔහු ක්‍ැහකදබ ඛ්අ ඍැචදරඑැි :1882රැ83* ීමචරුපැ ක්‍දමරඑ ක්‍සරජමක්ර (1896) යන කෘතිවල සංස්කාරකවරයා. ඒ වගේම ඔහු 1895-1900 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ බර්ගර් ජාතිය නියෝජනය කළ නියෝජිතයා වුණා. වෙන්ඞ්ට්ගේ මව අමෙලියා ද සේරම්. ඇය ප්‍රකට ජෝන් හෙන්රිකස් ද සේරම්ගේ දියණිය. හෙන්රිකස් මහනුවර දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත්වරයා. කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපති විදිහට කාලයක් වෙන්ඞ්ට්ගේ තාත්තා කටයුතු කරලා තියෙනවා. වෙන්ඞ්ට්ට මේ පවුලෙන් ආ දායාදයක් තමයි ඡායාරූප ශිල්පය. මොකද වෙන්ඞ්ට්ගේ පියා මෙන්ම ඔහුගේ සීයාත් ඡායාරූප ශිල්පීන්.
වෙන්ඞ්ට්ගේ අධ්‍යාපනය ගැන යමක් කියන්න.

වෙන්ඞ්ට් මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. ඒ වාගේම ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්සේ ස්ථාපිත කරන්න ගොඩනැගිලි ඉදිකරන කොට ඒ ගොඩනැගිවලට ආධාර පිණිස වෙන්ඞ්ට්ගේ පියානෝ ප්‍රසංගයක් කරනවා. අවුරුදු 18දී ඔහු මේ විප්ලවය කරන්නේ ස්වඋත්සාහයෙන් ස්වර ප්‍රස්තාර හොයාගෙන ඒවා අධ්‍යයනය කරමිනුයි. ඒත් බීතෝවන්, ෆෙඞ්රික් චොපින්, ජොහාන් සෙබස්තියන් බාක්, එඞ්වඞ් ග්‍රේස් වැනි ලෝක ප්‍රකට සංගීතඥයන්ගේ සිම්පනි, සංගීත ඛණ්ඩ තමයි ඔහු ගල්කිස්ස තෝමස් විද්‍යාලයේ ඉදිකිරීම් වෙනුවෙන් වයන්නේ. අද දකින තෝමස් විද්‍යාලයේ මුල් අත්තිවාරම් අතර වෙන්ඞ්ට්ගේ පියානෝ දායකත්වයත් තියෙනවා. ඔහු පියානෝ ගහනකොට ලංකාවේ රේඩියෝවක් නෑ. ගුවන් විදුලියක් නෑ. එකම මාධ්‍යය ග්‍රැමෆෝන් තැටි විතරයි. ඒවායේ ප්‍රචාරය වුණෙත් නූර්ති ගී සහ ඉන්දියානු ආභාසය. බටහිර සම්භාව්‍ය සංගීතඥයන්ගේ වාදන රැගත් තැටි තිබුණේ නැහැ. ඊට පස්සේ ඔහු අවුරුදු 18දීම නීතිය ඉගෙන ගන්න එංගලන්තය බලා යනවා. නීතිය ඉගෙන ගත්තාට ඔහු නීතියට වඩා ප්‍රිය කරන්නේ කලාව. ඒ නිසා ඔහු එහිදී කලාවත් කරනවා. ඔහු රෝයල් ඇකඩමි ඔෆ් මියුසික් ආයතනයට ඇතුළත් වෙනවා. ඒක තමයි එංගලන්තයේ සංගීතය සම්බන්ධයෙන් ඉහළම උපාධි පිරිනමන්නේ. ඔහු සංගීතය ඉගෙන ගන්නේ ලෝ ප්‍රකට පියානෝ වාදන ශිල්පියෙක් වන මාර්ක් හැම්බර්ගෙන්. වෙන්ඞ්ට් චරිතයට තදින්ම බලපාන චරිතයක් තමයි මේ මාර්ක්. වෙන්ඞ්ට් ඔහු කොතරම් අනුකරණය කරනවාද කියනවා නම් අපි ඉන්පසු දකින වෙන්ඞ්ට් ස්වරූපය මාර්ක්. ඔහු ඒ විදියට කොණ්ඩය හදනවා. අනුකාරකයෙක් වෙනවා. ඔහු නීතියත්, සංගීතයත් හදාරා ලංකාවට නැවත 1924දී එනවා. ඒ ඇවිත් අතිසාර්ථක පියානෝ ප්‍රසංගයක් කරනවා 1925දී. උපන් ධනවතෙක් වුණ වෙන්ඞ්ට්ට නීතිය කතාකරලා හම්බ කරගන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා ඔහු නීතිය පැත්තකට දාලා කලාවම තෝරා ගත්තා.

මේ එංගලන්ත ගමනේ කිවයුතු අපූරු කතාවක් තියෙනවා. ඒ වෙන්ඞ්ට් සමඟ නීතිය හදාරන්න යන තව පුද්ගලයෙක් තමයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. ඔහුත් ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුවෙක්. මේ දෙන්නාගේ වයස පරතරය වසරක් දෙකක්. ඒත් කවදාවත් බණ්ඩාරනායක මහත්තයා වෙන්ඞ්ට් ගැන වචනයක් කියලා නෑ.

මේ කාලයේ එංගලන්තයේ කලාව හැදෑරුව තව ලාංකිකයන් හිටියා.
ඔව්! ජස්ටින් දැරණියගල, හැරල්ඞ් පීරිස් කලාවම හොයාගෙන ගිය අය. මේ අයත් එක්ක වෙන්ඞ්ට් කිට්ටු මිත්‍රයෙක් වුණා. ඒ මිතුදම හරහා තමයි ලංකාවට ආ පසු විශාල කලා පිබිදීමක් ඇතිවන්නේ.

වෙන්ඞ්ට් කොළඹමද උපන්නේ?
ඔව්! කොළඹ හත. ඔහුගේ නිවස තමයි අද කලාගාරයක් බවට පත්වෙලා තියෙන්නේ. මේක මුලින් හඳුන්වන්නේ ‘අල් බරෝදා’ කියන නමින්. ඒක ස්පාඤ්ඤ වචනයක්. හිරු එළිය වගේ අදහසක් ඒ තුළ තියෙන්නේ. මේ නම දාන්නේ ලෝ ප්‍රකට කවියකු වන පැබ්ලෝ නෙරුදා. ඔහු වෙන්ඞ්ට්ගේ කිට්ටුම මිතුරෙක්.
නෙරුදා චිලියානු කොන්සල්වරයා විදියට කලක් ලංකාවේ වැඩ කරනවා. මේ කාලයේ ඔහු ළඟින්ම ඇසුරු කළ පුද්ගලයා තමයි වෙන්ඞ්ට්. ඔහු සිය කෘතියක සඳහන් කරනවා තමා වැඩිපුරම පොත් කියෙව්වේ ලංකාවේදී, ඒ ලයනල් වෙන්ඞ්ට්ගේ පුස්තකාලයෙන් කියලා. එතකොට අපේ කතානායක කෙබඳුද යන්න හිතාගන්න පුළුවන්.

වෙන්ඞ්ට් සහ ජෝර්ජ් කීට් අතර මිතුදම කෙබඳුද?
ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මොකද මේ දෙන්නා මිතුරෝ වෙන්නේ අවුරුදු 13දී විතර කීට් පදිංචි වෙලා ඉන්නේ නුවර මල්වත්ත විහාරය කිට්ටුව. ඒ නිවස ළඟම තමයි වෙන්ඞ්ට්ගේ සීයා පදිංචි වෙලා ඉන්නේ. වෙන්ඞ්ට් සීයාගේ ගෙදර ගියාම තමයි මේ මිතුදම ගොඩනැගෙන්නේ. 1913දී ඇතිවන මේ මිතුදම වෙන්ඞ්ට් මියයන තෙක්ම තදින්ම පවතිනවා. මේ දෙපළම බර්ගර් ජාතිකයෝ. ඒ නිසාමදෝ මේ දෙපළටම සිංහල සමාජය තුළ ලොකු වටිනාකමක් තිබුණේ නැහැ.

කීට් මුලින්ම මතුවන්නේ කවියෙක් විදියට. ඔහු කවි පොත් දෙකක් කරනවා. මේ දෙකම ඔහු පිරිනමලා තියෙන්නේ වෙන්ඞ්ට්ට. ඒත් පුංචි කාලේ ඉඳලාම දන්න මිතුරා විදියට වෙන්ඞ්ට් එකහෙළාම කියලා තියෙන්නේ කීට් ඔයා කවියෙක් නෙමෙයි චිත්‍ර ශිල්පියෙක් කියලා. කීට් චිත්‍ර අඳින්න තල්ලු කරන්නේ වෙන්ඞ්ට්. ඒක කීට් නිතර මතක් කළ දෙයක්. ඔහු කිව්වා තමන් චිත්‍ර ශිල්පියෙක් වීමේ මහා පොදු සාධකය ලයනල් වෙන්ඞ්ට් කියලා.

මේ කාලේ ජෙෆ්රි බිලිං සහ සී.එෆ්. වින්සර් දෙපළ එකතු වෙලා ‘සිලෝන් ආර්ට් ක්ලබ්’ නමින් ක්ලබ් එකක් පවත්වනවා. මේ හරහා තමයි බොහෝ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වුණේ. මේකට අනුග්‍රහය වෙන්ඞ්ට් දැම්මා. මේක හරහා තමයි ජෝර්ජ් කීට්ගේ ප්‍රදර්ශනත් පවත්වන්නේ. ඒ පිටුපස වෙන්ඞ්ට් ලොකු කාර්යයක් කළා. මේ ප්‍රදර්ශනයකට කීට් අඳින ‘නාගම්මා’ කියන නිරුවත් චිත්‍රය මෙරට විචාරකයන් දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. ඒත් ඒ චිත්‍රය එක්කම ජෝර්ජ් කීට් ඉහළටම ඔසවා තබන්නට පැබ්ලෝ නෙරුදා සමත් වෙනවා. පැබ්ලෝ නෙරුදා ස්පාඤ්ඤ බසින් ලියූ දේ ඉංග්‍රීසි බසට පෙරළුවේ වෙන්ඞ්ට්. එයින් ඔහු තුළ තිබූ භාෂා ඥානය පැහැදිලියි.

හැබැයි අපි වෙන්ඞ්ට්ගේ අනන්‍යතාව, ඡායාරූප ශිල්පය ගැන කතාකළේ නැහැ.
ඇත්ත. හැබැයි අද ඔහුව එතැනට කොටු කරලා වෙනත් ඔහු සතු කුසලතා වහලා. වෙන්ඞ්ට්ගේ ඡායාරූප ශිල්පයට ඇති ඇල්ම කුඩා කාලයේම එන දෙයක්. මොකද ඔහුගේ සීයා සහ පියා ඡායාරූප ශිල්පීන්. කොහොමහරි ඔහුට ඒ කාලේ නවීනතම පන්නයේ 35 මිලිමීටර් කැමරාවක් හම්බ වෙනවා. ඒක ලයිකා කැමරාවක්. ඔහු ඡායාරූප විප්ලවය කරන්නේ මේ කැමරාවෙන් තමයි. 1935 ඉඳලා ඔහුගේ මුළු ජීවිතයම කැමරාවට වෙන් කරනවා. ඔහු බී.ජේ.සී. ඩරන්ට් සමඟ එක්ව 1935දී ඡයදඑදටර්චයසජ ීදජසඑැහ දf ක්‍ැහකදබ නමින් ඡායාරූප එකමුතුව පිහිටුවනවා. එතැන් සිට ඔහු මෙරට අභිමානය කැමරාව හරහා ලෝකයා ඉදිරියේ පෙන්නුවා. පෙරහැර තුළ කලාකරුවාට ආගමික අගයක් ලැබෙනකොට වෙන්ඞ්ට් තමයි මේ කලාකරුවෙක් යන්න ලොවට ඉස්මතු කොට පෙන්නුවේ. එහෙම නොවෙන්න අද නිත්තවෙල ගුණයා, සුරඹා ගුරුන්නාන්සේ, ශ්‍රී ජයනා, එන් උක්කුවා ලෝකයා දැන නොගන්න තිබුණා. මොවුන් විදෙස්ගත කිරීම්වල සිට සියලු අනුග්‍රහය දැක්වූයේ වෙන්ඞ්ට්. අපේ පාරම්පරික කලාව පෙරහැරින් එපිට ලෝකයා තුළ මාර්කට් කොට එහි වටිනාකම් ඔවුන්ට ලබාදුන්නේ වෙන්ඞ්ට්. ඒ හේතුවෙන් නිත්තවෙල ගුණයා රටවල් 44කට යනවා. ඒ පිටුපස හිටපු යෝධයා වෙන්ඞ්ට්.

ලයනල් වෙන්ඞ්ට් ඡායාරූප ශිල්පය ඉදිරියටම ගෙනයන්න හේතු වූ වෙනත් හේතු ඔබට හමුවෙනවාද?
ඔව්! ඒ පිටුපස තියෙන ප්‍රධාන හෙවණැල්ල ඒ.ඩබ්ලිව්.ඇන්ඩි්‍ර. ඔහු මෙරට ඡායාරූප ශිල්පයේ මුල් යුගයෙන් පසු ප්‍රකට ඡායාරූප ශිල්පියෙක් වූ විලියම් ඇන්ඩි්‍රගේ පුතා. ඔහු සමඟ වෙන්ඞ්ට්ගේ තිබුණු මිතුදම ඔහුට දුර ගමනක් යන්න බලපෑවා. ඔහු හෝප්ටෝන් චිත්‍රාගාරයේ හිමිකරු. වෙන්ඞ්ට් ඡායාරූප ශිල්පය අකුරු කළ තැන එතැන. මෙරට ප්‍රථම සිනමා දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ.ඩබ්ලිව් ඇන්ඩි්‍ර. ඒ 1901දී බෝයර් සිරකරුවන් සඳහා. මේ ඇන්ඩි්‍රගේ පුත්‍රයා තමයි ලෝරන්ස් ඇන්ඩි්‍ර. ඔහු වෙන්ඞ්ට් සමඟ ශාන්ත තෝමස්හි ඉගෙන ගන්න සිසුවෙක්. මේ ජාලය නිසා තමයි වෙන්ඞ්ට්ගේ ගමන ශක්තිමත් වෙන්නේ. වෙන්ඞ්ට් ඡායාරූප ශිල්පියෙක් ලෙස කොතරම් විශිෂ්ටයෙක් වුණාද කියනවා නම් එංගලන්තයේ පවා ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වූවා.

වෙන්ඞ්ට් වැඩි කතාබහට ලක්වන්නේ 43 කණ්ඩායමත් සමඟ නේද?
ඔව්! මේ කාලයේ කලාව පැත්තෙන් නූතනවාදී විශාල පිරිසක් රංචු ගැහුණාට මෙවැනි දෙයක් තිබුණේ නැහැ. 43 කණ්ඩායම හදන අදහස මුලින්ම ගෙන එන්නේ අයිවන් පීරිස්. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සහෝදරයා. එතකොට ඔහුගේ වයස අවුරුදු 20යි. වෙන්ඞ්ට්ට අවුරුදු 40ක්. එහෙම කියලා මේ තරුණයාගේ අදහස වෙන්ඞ්ට් අහක දාන්නේ නැහැ. ඔහු එම අදහස පාවාඩ දාලා පිළිගන්නවා. ඒ අනුව තමයි වෙන්ඞ්ට් මුල්වෙලා 43 කණ්ඩායම හදන්නේ. ඒකට සී.එෆ්. වින්සර් කළ ක්‍ැහකදබ ්රඑ ක්‍කමඉ බලපෑවා. ඒ ආකෘතිය ඔහු 43 කණ්ඩායමේ ගොඩනැගීමට යොදා ගත්තා.
43 කණ්ඩායම කියන්නේ දකුණු ආසියාවේ නූතනවාදී කලා එකමුතුව. ඒ තුළ ඔහු ලොකු විප්ලවයක් කළා. ලංකාවේ චිත්‍ර කලාව ලෝකයට අරගෙන ගියේ මේ 43 කණ්ඩායම තමයි.

බොහෝ දේ කතා කළ හැකි පුද්ගලයෙක් ඇයි වැඩි කතාබහට ලක්නොවුණේ?
ඒක හිතාමතාම කළ දෙයක් බව පැහැදිලියි. සමහරවිට ඔහු බර්ගර් ජාතිකයෙක් වුණ එකත් ධනපති, ඉංග්‍රීසි සමාජය නියෝජනය කිරීමත් හේතුවෙන්න ඇති. ලංකාවේ කලාව ගැන විශාල මැදිහත්වීමක් කළ එදිරිවීර සරච්චන්ද්‍ර ඇයි ලයනල් වෙන්ඞ්ට් ගැන කතා නොකළේ. ඔහු නොදැන හිටියා වෙන්න බෑ. මේ දෙපළම එකම පාසලේ අය. පසුකාලීනව ඔහු මනමේ ප්‍රථම ප්‍රදර්ශනය පවත්වන්නේ ලයනල් වෙන්ඞ්ට් රඟහලේ. එහිදී ඔහු කියන්නේ මෙය පවත්වන්නට දැනට ඇති හොඳම තැන මෙතැන නිසා එය පවත්වන බවයි. සරච්චන්ද්‍ර මහත්තයා නැතත් අදටත් අපිට කියන්න තියෙන්නේ මනමේ බලන්න තියෙන හොඳම තැන එතැන තමයි කියලායි. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා පවා වචනයක් ඔහු ගැන සඳහන් කරලා නෑ. මේ හිතාමතාම කළ යටගැසීමක්.

වෙන්ඞ්ට්ගේ පෞද්ගලික ජීවිතය කොහොමද?
ඔහු මියයන තෙක් කසාද බඳින්නේ නැහැ. ඒත් ඔහු ජෝර්ජ් කීට්ගේ නැගණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වලා තියෙනවා. ඒත් ඇය හැරල්ඞ් පීරිස්ගේ දෙවැනි බිරිඳ බවට පත්වෙනවා. ඒ ඇරෙන්න වෙන්ඞ්ට් ගැන ප්‍රේම කතා නැහැ. සමහරු ඔහු සමකාමියෙක් බවට අර්ථදක්වනවා. ඒකට හේතුව වන්න ඇත්තේ ඔහු ගත් නිරුවත් සහ අඩනිරුවත් පින්තූර අතර පිරිමි කය ප්‍රබලවීම වෙන්න පුළුවන්. ඒ නිසා මේ කතාව ඇති වුණා වෙන්න පුළුවන්. ඒ ඇරුණු කොට ඒක එහෙමයි කියන්න ඊට වඩා සාධක නැහැ.
කොහොම වුණත් ඔහු තදින්ම දුම් බීමටත්, මධුවිතටත් ඇලී හිටියා. ඇදුම රෝගයෙන් පෙළීම නිසා මේ දුම්බීම ඔහුගේ ආයුෂ කෙටි කළා කියලා හිතන්න පුළුවන්.

ඔහු තරුණ වියේදීම මිය යනවා.
ඔව්! අවුරුදු 44දී. ඒ කාලය තුළ ඔහු කළ වැඩ කොටස අතිවිශාලයි. ඔහු නින්දෙදිම එන හෘදයාබාධයකින් මියයනවා. ඔහුට හිටියේ එක සහෝදරයායි. ඔහුත් තනිකඩයි. ඔහුත් වෙන්ඞ්ට් මියගොස් වසරකට පස්සේ මිය යනවා. වෙන්ඞ්ට් පරපුර එතැනින් අහවර වෙනවා. මෙතැනදී තව දෙයක් කියන්න ඕනෑ. වෙන්ඞ්ට් සහ සහෝදරයා හුදෙකලාව හැදෙන දෙපළක්. මොකද වෙන්ඞ්ට් ඉපදිලා අවුරුදු 11දී ඔහුගේ පියා මිය යනවා. අවුරුදු 18දී මව මිය යනවා. ඉන්පසු මේ දෙපළ සේරම් පවුල තමයි බලාගන්නේ. මොවුන් තනියම තමයි ගොඩනැගෙන්නේ.

වෙන්ඞ්ට්ගේ දේශපාලනය කෙබඳුද?
ඔහු ඇසුරු කළ සියල්ලෝ වාමාංශිකයි. ඒ කාලේ වමේ ඉහළම තැන. ඉතින් වෙන්ඞ්ට් වාමාංශිකයෙක්ම වෙන්න ඇති. මොකද ඔහුගේ භාවිතාව වමේ කියා ගන්නා අයට වඩා වාමාංශිකයි.

ඔහුගේ අන්තිම කැමති පත්‍රය ඔහුගේ නිවස කලාගාරයක් කරන්න කියලා තියෙනවාද?
ඔව්! ඒ ඉල්ලීම තමයි ඔහුගේ මිතුරෙකු වූ හැරල්ඞ් පීරිස් මුදල් යොදවලා මේ තත්ත්වයට ගෙනාවේ. ඔහුගේ මුල් නිවසේ ආකෘතිය කලාගාරයක් ලෙස හැදීමේ සිට අද තත්ත්වයේ නඩත්තුවකට ගෙන එන යාන්ත්‍රණය හදන්නේ හැරල්ඞ් පීරිස්.

ඔබ හිතනවාද සිංහල සමාජය ඔහුට සාධාරණය ඉටු කළේ නැහැ කියලා.
පැහැදිලිවම. අදටත් නෑ. ඔහු කලාවට කර ඇති සේවය විශාලයි. ඒත් අදටත් ඔහු වෙනුවෙන් ඇති මතකය මේ ලයනල් වෙන්ඞ්ට් රඟහල විතරයි. ඒක මට අනුව ස්මාරකයක්. මෙතරම් වැඩ කළ ඔහු ගැන සමරු මුද්දරයක් නිකුත් කරලා නැහැ. තම දේපළම කලාව වෙනුවෙන් පරිත්‍යාග කරන මේ උතුම් මිනිසා වෙනුවෙන් මාර්ගයක් නම් කර නැහැ. අද ඒ පාරට කියන්නේ ප්‍රේමසිරි කේමදාස මාවත. මේකයි තත්ත්වය. නිත්තවෙල ගුණයා, සුරඹා ගුරුන්නාන්සේ ගැන මහා ඉහළින් වර්ණනා කරන අය දන්නේ නැහැ ලයනල් වෙන්ඞ්ට් නොවන්න මේ අය මතුවෙන්නේ නැහැ කියලා. දන්න අයත් මේ බර්ගර්කාරයෙක් වීරයෙක් කරන්නේ මොකටද කියලා හැංගුවා.

ඔබ අවසානයේ මේ පොත හරහා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
ලයනල් වෙන්ඞ්ට් ගැන නැවත සොයාන්න, කියවන්න, හදාරන්න කියන්නයි මගේ උත්සාහය. සරසවි අධිපති මේක පිටුපස මට යෝධ හයියක් වුණා. ඔහු කිව්වා මේ පොත මිල අඩුවෙන් තියමු මොකද වැඩිපුර මේ පොත කියවීමයි වැදගත් කියලා. ඒක හොඳ කතාවක්. වෙන්ඞ්ට් මට අහුවුණු ප්‍රමාණයත් මදියි. ඒත් තව හොයාගෙන යන කෙනෙකුට මේ තල්ලුව ලොකු ශක්තියක් වේවි. මොකද වෙන්ඞ්ට් කියන්නේ මහා පුරුෂයෙක්. අපේ පුරාවෘත්තයක්. අමතක කරන්න දැඟලුවාට අමතක කරන්න බැරි මහා චරිතයක්. දැන්වත් අපි ඔහුට සාධාරණය කළ යුතුයි. අපි ඔහුගෙන් සමාව ගත යුතුයි. වෙන්ඞ්ට් සියලු දේපළ කලාව වෙනුවෙන්ම කැප කළ සැබෑම කලාකරුවෙක්. වෙන්ඞ්ට් සම කරන්න පුළුවන් උදාහරණ අපේ නැති තරම්.■