රාවය

වෙනසක් එපා ශ්‍රීලනිප ලියවිල්ල භාරදෙයි

වෙනසක් එපා ශ්‍රීලනිප ලියවිල්ල භාරදෙයි

තරිඳු උඩුවරගෙදර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ව්‍යවස්ථාව සඳහා මෙහෙයුම් කමිටුව සකස් කර ඇති කමිටු වාර්තාවෙන් යෝජිත ව්‍යවස්ථා වෙනස්කම් රැසක් අනවශ්‍ය බවට යෝජනා කරන ශ්‍රීලනිපයේ විකල්ප යෝජනා ඇතුළත් වාර්තාව පසුගිය 31 වැනිදා පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

අතිශය රහසිගත ලියවිල්ලක් ලෙස ලාකඩවලින් මුද්‍රා තබා මෙම ලියවිල්ල භාරදී ඇති අතර ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සැප්තැම්බර් 6 දින රැස්වී එම රහස් යෝජනා සලකා බැලීමට නියමිතය.
එම වාර්තාවට ශ්‍රීලනිපයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගනු පිණිස මීට පෙර යවා තිබුණත් ජනාධිපතිවරයා ජනතාවට ලබාදී ඇති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රතිඥාවන්ට පරස්පර එම වාර්තාවට ජනාධිපතිවරයා විරෝධය දක්වා නොමැති බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එම වාර්තාවෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ලබා දුන් පොරොන්දුවක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට එය පවත්වාගෙන යෑමට යෝජනා කර ඇත. එයට අමතරව ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන පමණක් යෝජනා කර ඇති අතර ඒ අනුව ව්‍යවස්ථාවෙන් සිදුකිරීමට යෝජිත වෙනස්කම් රැසක් සිදු කිරීමට නොහැකි වෙයි.
එම වාර්තාව ශ්‍රීලනිපයේ ව්‍යවස්ථා යෝජනා සකස් කිරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවක් විසින් සකස් කර ඇත. එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා චන්දිම වීරක්කොඩිය. ■