රාවය

රවී කරුණානායක ප්‍රශ්නය විශාලනය කොට බැලීම

රවී කරුණානායක  ප්‍රශ්නය විශාලනය කොට බැලීම

රමිදු පෙරේරා

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට මරු පහරක් විය. එම පක්ෂයේ හිතෛෂීහු අතරින් පතර විජයදාස   රාජපක්ෂ ඇවන්ගාඞ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ සබඳතා ගැන ප්‍රශ්නය එම පහරට හිලවු ලෙස තැන් තැන්වල මතු කළේය. රවී කරුණානායක සිද්ධිය සමාජය තුළ ජනප්‍රිය තලයේ දී සංවාදයට බඳුන් වූයේ ‘දූෂිත ව්‍යාපාරිකයෙකු’ සමග දේශපාලනඥයෙකු සම්බන්ධකම් පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසය. මේ අනුව මෙය තනි දේශපාලනඥයෙකුගේ වැරදි සහගත චර්යාවක් පිළිබඳ ප්‍රශ්නයක් ලෙස වටහා ගැනීම ප්‍රශ්නය ගැන වූ එක කියැවීමකි.

අනෙක් අතට රාවය පුවත්පතට ලිපියක් ලියමින් ගාමිණී වියන්ගොඩ මෙම සිද්ධිය ‘ගජමිතුරු ධනවාදය’ පිළිබඳ ප්‍රශ්නයක් ලෙස වර නගා තිබුණි. ලංකාවේ නිදහස් වෙළෙඳපොළ මත පදනම් වූ ධනවාදයක් නොමැති නිසා මෙවැනි සංසිද්ධීන් මතුවන බව වියන්ගොඩගේ අදහසයි. රවී කරුණානායක සිද්ධියේ දී ‘ගජමිතුරු ධනවාදයට විරුද්ධ?’ එහෙත් ඒ සමගම සයිටම් ආයතනයේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින වියන්ගොඩ සයිටම් ක්‍රියාවලිය තුළ තිබෙන අත යට ගනුදෙනු හා ගජමිතුරු චර්යාව ඔහුගේ ඊනියා නිදහස් වෙළෙඳපොළ තර්කය තුළින් සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි දැක බලා ගැනීම තරමක් විනෝදජනක දෙයක් වනු ඇත. ඒ පරස්පරය එසේ තිබියදී වියන්ගොඩ මෙය හුදෙක් දේශපාලනඥයෙකුගේ හා ව්‍යාපාරිකයෙකුගේ අපචර්යාව ගැන ප්‍රශ්නයකට එහා ගිය – ලංකාවේ පවතින සමාජ ආර්ථික ව්‍යුහයන්ගේ ස්වභාවය හා සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කොට ඇත. එම ප්‍රශ්නය ඔහු ඉදිරිපත් කොට ඇත්තේ මෙබඳු සිදුවීම් වලක්වා ගැනීමට නම් ලංකාව තවදුරටත් වෙළෙඳපොළකරණයට ලක්විය යුතු බවට වූ ප්‍රස්තුතය සාධනය කෙරෙන අයුරිනි.

මහජන නියෝජනය හා ප්‍රජාතන්ත්‍රය
රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම නරක දේශපාලනඥයන් හා නරක ව්‍යාපාරිකයන් ගැන ප්‍රශ්නයක් ලෙස වටහා ගන්නා කතිකාව දැනට ලංකාවේ බොහොම ජනප්‍රිය ‘දූෂණ විරෝධී’ සාකච්ඡාවේ ස්වභාවයට බෙහෙවින් අනුකූල වූවකි. වැරදි වැඩ කරන නරක දේශපාලනඥයෝ සිටිති. එබඳු අය මහජන නියෝජිත ආයතනවලට තෝරා පත් නොකිරීමට තරම් මහජනයා සබුද්ධික විය යුතුය.

මෙය පුද්ගල වැරදි හා අපචර්යාවන් ගැන ප්‍රශ්නයකට වඩා බෙහෙවින් සංකීර්ණය. මේ සිද්ධිය වූ කලි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ වනවිට තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන මහජන නියෝජනය ව්‍යාපාරිකකරණය වීම ලෙස හැඳින්විය හැකි වඩා බැරෑරුම් ක්‍රියාදාමයක හුදු මතු පිට ප්‍රකාශනයක් පමණි. මහජන නියෝජනය ව්‍යාපාරිකකරණය ලෙස අප මෙහි හඳුන්වන දෙයෙහි සරල තේරුම නම් ව්‍යාපාර ලෝකය විසින් මහජන නියෝජන ක්ෂෙත්‍රය ගිල ගනු ලැබීමය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන නූතන අදහසේ පදනම වන්නේ සර්වජන ඡන්දය පිළිබඳ අදහසයි. මහජන නියෝජිතයන් මහජන අභිලාෂයන් හා උවමනාවන් නියෝජනය කළ යුතු යැයි අපේක්ෂා කෙරේ. එසේ නොකරන්නේ නම් ඊළඟ වටයක ඡන්දයක දී ඔවුන් නැවත කැඳවීමේ හැකියාව මහජනයා සතුය.

සර්වජන ඡන්දය විසින් නූතන සමාජවල ඇති කළ එක් තියුණු වෙනස්කමක් නම් ‘මහජනතාව’ නම් වූ සාධකය දේශපාලනය හැසිරවීමේ සංරචකයක් ලෙස මතු වීමට ඉඩ ලබාදීමය. මෙම තත්ත්වය විසින් පහළ පන්තික ජන කොටස්වලට යම් කේවල් කිරීමේ බලයක් ලබා දුන් අතර දේශපාලන ප්‍රභූන්ට මෙම සමාජ කොටස්වල උවමනාවන් මුළුමනින්ම නොතකා හැර කටයුතු කිරීමට අසීරු තත්ත්වයක් උද්ගත කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ ආර්ථික ප්‍රභූ තන්ත්‍රය සහ දේශපාලන නියෝජනය අතර එකට එකේ සම්බන්ධය දුර්වල වීමය. සාපේක්ෂ ස්වාධීනත්වයක් මහජන නියෝජන ක්ෂේත්‍රයට ලැබීමය. ධනේශ්වර පංතියට පක්ෂපාතී පක්ෂ ධනේශ්වර පක්ෂ ලෙසම පවතින අතර පුළුල් මහජනයාගේ අභිලාෂයන්ට සංවේදී වීමට ද ඒවාට සිදුවූ අතර ඒ ප්‍රමාණයට තම ප්‍රතිපත්තීන් සීරු මාරු කරගැනීමට ඔවුන්ට සිදුවිය.

මෙම තත්ත්වය භෞතිකව ප්‍රකාශයට පත්වූ ආකෘතිය වන්නේ 20 වන සියවස මැද භාගයේ දී සර්වජන ඡන්දය බලපවත්වන ලෝකයේ සියලු රටවල පාහේ අඩු වැඩි වශයෙන් වර්ධනය වූ සුබසාධන රාජ්‍යයයි. මෙය ආර්ථික ප්‍රභූ තන්ත්‍රය නියෝජනය කළ විසල් ව්‍යාපාරික පංතියේ සහ සමාජයේ පහළ පන්තික ජන කොටස්වල ගැටෙනසුලු අභිලාෂයන් අතර යම් අතරමැද සම්මුතියක් ඇති කිරීමට දරනු ලැබූ තැතකි. වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති බලගතු ලෙස ක්‍රියාත්මක වූ රටවල සුබසාධනවාදය වඩා ශක්තිමත් වීමේ නැඹුරුවක් පෙන්නුම් කළේය. ව්‍යාපාරික පංතිය මත බදු පනවමින් එම බදු ආදායම හරහා මහජන සුබසාධන සේවා නඩත්තු කිරීම ඇති වනුයේ ඒ අනුවය. ලංකාව ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ නම් 1956-1977 කාලය තුළ ලංකාවේ විශාල ධනවතුන්ගේ සාම්ප්‍රදායික පක්ෂය ලෙස සැලකුණු එක්සත් ජාතික පක්ෂයට එම කාලය තුළ බලවත් ව්‍යාපාරික කොටස් සමග වූ සම්බන්ධය එලෙසම පවතින අතරතුර සුබසාධන රාජ්‍යයේ සහමිතියට යටත්ව ක්‍රියාත්මක වීමට සිදුවිය.

වියන්ගොඩ ෆැන්ටසිය
කෙසේ වූවද සුබසාධන රාජ්‍යය බිඳ වැටීම සහ ආර්ථික ලිබරල්කරණයේ නැගීම සමග අප දකින්නේ මෙන්න මේ තුලනය ආපසු කණපිට ගැසීමකි. මේ සඳහා බල පෑ එක් හේතුවක් වන්නේ පහළ පන්තික මහජන අභිලාෂයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවල බලය දුර්වල වීමය. මේ දුර්වල වීමට සමගාමීව මහජන නියෝජන ක්ෂේත්‍රය ව්‍යාපාරික ලෝකය විසින් ඩැහැගනු ලැබීම බලවත් ලෙස උද්ගත වූ අතර එලෙස බලවත් වන ප්‍රමාණයට මහජන නියෝජනයේ හැඩරුව ව්‍යාපාරික ලෝකයේ අභිලාෂයන් විසින් නිර්ණය කිරීම ද තහවුරු විය.
මෙය ගෝලීය පරිමාණයෙන් සිදු වූ සංසිද්ධියකි. ඊනියා නිදහස් තරග වෙළෙඳපොළක් තිබෙන බවට ගාමිණී වියන්ගොඩ ෆැන්ටසිකරණය කරන සංවර්ධිත ධනේශ්වර ලෝකයේ ඉහත කී ක්‍රියාවලිය සිදුවූ එක් ප්‍රධාන ආකාරයක් වන්නේ විශාල සමාගම් විසින් දේශපාලනඥයන් ‘මිලට ගැනීම’ ප්‍රකටව පෙනෙන ප්‍රවණතාවක් ලෙස මතු වීමය.
වර්තමානය වන විට සමාගම් විසින් කරනු ලබන පෙළඹවීම් සංවර්ධිත ධනවාදී රටවල ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී තිබෙන බරපතළ තර්ජනයක් ලෙස සාකච්ඡාවට ලක්වී තිබේ. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට හිලරි ක්ලින්ටන් සමග තරග කළ බර්නි සැන්ඩර්ස් විසින් සිය ප්‍රධාන සටන් පාඨය ලෙස වෝල් වීදිය විසින් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක මිලට ගෙන තිබීම පිළිබඳ ප්‍රශ්නය මතු කළ අතර ඔහුගේ ව්‍යාපාරය වටා විශාල ජන අනුගාමිකත්වයක් ද ඇති විය. ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයන්ට විශාල සමාගම් මුදල්මය වශයෙන් ආධාර කරන ආකාරය සහ ඊට හිලවු ලෙස එම සමාගම්වල අභිලාෂයන් එකී දේශපාලනඥයන් විසින් නියෝජනය කරන ආකාරය සැන්ඩර්ස් විසින් විවේචනයට ලක්කරන ලදි.

ගාමිණී වියන්ගොඩ ෆැන්ටසිකරණය කරන, දේශපාලනඥයන් පෙලඹවීමෙන් හෝ මිල දී ගැනීමෙන් තොරව ධනය උපයා ගැනීමට දැහැමි ලෙස එකිනෙකා සමග තරග කරන සමාගම්වලින් යුක්ත සුන්දර ධනවාදයක් ලෝකයේ කොහේවත් නැත. ධනවාදය එනයින්ම ගජමිතුරුය. සමාගම් විසින් අරමුදල් සපයනු ලබන බුද්ධිමය සංවිධාන (Think tank) සංවර්ධිත ධනවාදී රටවල ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා තීරණාත්මක බලපෑමක් සිදුකරති. මෙම ‘විශේෂඥයන්ගේ අදහස්’ ආණ්ඩුවල ප්‍රතිපත්ති තීරණයෙහි ලා තීරණාත්මකව බලපායි. නව ලිබරල් යුගය තුළ සිදුවී තිබෙන්නේ ව්‍යාපාර ලෝකය තම කටයුතුවලට හැකි තාක් ඈතින් රජය තබාගැනීමට උත්සාහ කිරීම නොව තම ව්‍යාපාර සඳහා වූ හවුල්කරුවෙකු බවට රජය පරිවර්තනය කරගැනීමය.
මෙලෙස ව්‍යාපාරික අභිලාෂයන් විසින් මහජන නියෝජන අවකාශය ඩැහැගැනීම දූෂණය සිදුවන වඩාත් ව්‍යුහාත්මක සහ විධිමත් ආකාරයකි. මෙය ‘දූෂණයක්’ ලෙස වටහා ගැනීමට නම් දූෂණය ගැන අපගේ පරිකල්පනය පුළුල් කරගැනීමට සිදු වේ.

මුදලාලිලාගේ ලංකාව
ව්‍යාපාරික ලෝකය විසින් මහජන නියෝජන ක්ෂේත්‍රය අත්පත් කරගැනීම ලංකාව තුළ ආකාර කිහිපයකින් සිදු වී තිබේ යැයි කිව හැක.
ව්‍යාපාරිකයන් විසින් දේශපාලනඥයන් මිලට ගැනීම ඉන් ප්‍රකටව පෙනෙන එක් ක්‍රමයකි. රවී කරුණානායක-අර්ජුන් ඇලෝෂියස් සිද්ධියෙන් හා විජයදාස රාජපක්ෂ-නිශ්ශංක සේනාධිපති සිද්ධියෙන් නාටකීය ලෙස හෙළි වූ ලෙස මෙය පෞද්ගලික මට්ටමෙන් මුදල්මය අනුග්‍රහයන් සැපයීම විය හැක. එසේ නැතිනම් දේශපාලන පක්ෂවල මැතිවරණ කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම හා ඊට හිලවු ලෙස අනෙක් අතට වරප්‍රසාද අපේක්ෂා කිරීම විය හැක. මහරාජා සමාගම සම්බන්ධ කුප්‍රකට උදාහරණය ගතහොත් සමාගම් විසින් මුදල් දී නඩත්තු කරන දේශපාලනඥයන් දේශපාලන පක්ෂවලට රිංගවීම විය හැක. මේ සියලු අනුප්‍රභේදයන් තුළ සිදුවනුයේ ව්‍යාපාරික අභිලාෂයන්ගේ ඉත්තන් බවට මහජන නියෝජිතයන් පරිවර්තනය කිරීමකි.
ප්‍රාග්ධනය විසින් මහජන නියෝජනය හසුරුවන තවත් ප්‍රබල ආකාරයක් ලෙස දක්ෂිණාංශික බුද්ධිමතුන්ගේ හා තාක්ෂණඥයන්ගේ භූමිකාව සාකච්ඡා කරනු වටී. ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක නව ලිබරල් බුද්ධි මණ්ඩල හා ඒජන්සිවල අරමුදල් මත පදනම් වූ බුද්ධිමය සංවිධාන තන්ත්‍රයක් ලංකාවේ ද ක්‍රියාත්මක වන අතර ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි ‘බුද්ධිමතුන්‘ හා ‘පර්යේෂකයන්’ එමගින් නඩත්තු කරනු ලබයි. ව්‍යාපාර ලෝකය, බුද්ධිමය සංවිධාන හා ප්‍රතිපත්ති සම්පාදනය අතර මේ අන්තර් සම්බන්ධය සූක්ෂ්මය. උදාහරණ ලෙස ලංකාවේ මෑතකාලීනව අදහස් පළ කළ පුරෝගාමී නව ලිබරල් විශේෂඥයෙකු වන (මෑතක දී අභාවප්‍රාප්ත වූ) සමන් කැලේගම සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ලෙස ද වෙනත් සමාගම් ගණනාවක අධ්‍යක්ෂක මණ්ඩලවල ද සේවය කළ අයෙකි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නම් බුද්ධිමය සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හෙතෙම 2002-2004 ආණ්ඩු කාලයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව ආදි ප්‍රතිපත්ති සම්පාදක ආයතනවල නියෝජකත්වය දැරීය. ටෝකියෝ සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ ලෙස කලක් කටයුතු කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පාත්ෆයින්ඩර් නම් බුද්ධිමය සංවිධානයේ ප්‍රබලයෙකු වූ අතර මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට පෙර හෙතෙම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විය. සමාගම්මය පසුබිමකින් එන බුද්ධිමතුන් ආණ්ඩුකරණ උපදේශකයන් වීම, ආණ්ඩුවේ ආයතනවල වැඩ කළ ඉහළ නිලධාරීන් සමාගම්වල උපදේශකයන් වීම යන දෙපැත්තටම මෙම අන්තර් සම්බන්ධය ක්‍රියාත්මකය.

තෙවනුව, ව්‍යාපාරිකයන් සෘජුව දේශපාලනඥයන් වීම හෝ දේශපාලනඥයන් සෘජුව ව්‍යාපාරිකයන් වීම සැලකිය යුතුය. නිදසුන් ලෙස රවී කරුණානායක වූ කලි විශාල ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර සම්බන්ධ රැඳවුනු අභිලාෂයන් (vested intrestes) ඔහු සතුව පවතී. ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ඇමති ලෙස පත්කරනු ලැබ තිබුණේ එවැන්නෙකි. මලික් සමරවික්‍රම ද එවැනිම ව්‍යාපාරිකයෙකි. හෙතෙම විදේශ වෙළෙඳ කටයුතු ඇමතිය. අනෙක් අතට ව්‍යාපාරිකයන් බවට පත් වූ දේශපාලනඥයෝ සිටිති. මේ සියලු දෙනාට තම තමන්ගේ ව්‍යාපාරයන් ගැන සුවිශේෂී අභිලාෂයන් ද සමස්තයක් ලෙස ව්‍යාපාරකරණය පිළිබඳ පොදු අභිලාෂයන් ද තිබේ. ව්‍යාපාරික ලෝකය තුළ සෘජුව නියුක්ත වීම තුළ ඔවුන්ගේ විඥානය ව්‍යාපාරික විඥානයකි. ඔවුන් මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ හා ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු වැදගත් ප්‍රතිපත්තීන් තීන්දු කරන්නේ මෙන්න මේ ව්‍යාපාරික විඥානය සහ රැඳවුණු අභිලාෂයන් ද සහිතවය.
රවී කරුණානායක සිද්ධිය හුදෙක් අයිස් පරයේ මතුපිට පමණකි. ව්‍යාපාරික ලෝකය හා මහජන නියෝජනය අතර ප්‍රශ්නය අර්ජුන් ඇලෝෂියස් හා රවී කරුණානායකට පමණක් සීමා වූ තනි පුද්ගල සිදුවීමක් නොවේ. මහජන නියෝජන අවකාශය ව්‍යාපාර ලෝකය විසින් ඩැහැගනු ලැබීම ලංකාවේ දේශපාලනය තුළ තිබෙන බැරෑරුම් ව්‍යුහාත්මක ප්‍රශ්නයක් වන අතර මෙය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන ප්‍රබලතම තර්ජනයක් ද වේ. මහජනයාට නොව ව්‍යාපාරිකයන්ට හා සමාගම්වලට වග කියන දේශපාලනඥයන් සහ ආණ්ඩු නමැති යථාර්ථය මේ තුළ අපට අභිමුඛ වන අතර එම සන්දර්භය තුළ සර්වජන ඡන්දය යන්න තේරුමක් සහිත දෙයක් නොවේ.

විශාල සමාගම් සහ මහජන නියෝජනය අතර සම්බන්ධය ගැන ප්‍රශ්නය මතු කරමින් එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස් ඉදිරිපත් කළ එක් සංයුක්ත යෝජනාවක් වූයේ ලාභ අරමුණින් ක්‍රියාත්මක සමාගම්වලට දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට හා දේශපාලන පක්ෂවලට ආධාර ලබාදීම තහනම් කෙරෙන ලෙස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. මහජන නියෝජනය ව්‍යාපාරිකකරණය වීම ආපසු හරවන මෙබඳු රැඩිකල් හා සංයුක්ත සටන් පාඨ ලංකාවේ පහළ පන්තික සමාජය නියෝජනය කරන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා වෙනත් බහුජන සංවිධාන විසින් ද ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්ය.■