රාවය

කුරුණෑගලට ආ මධ්‍යම අධිවේගයේ මගමරුවෝ

කුරුණෑගලට ආ මධ්‍යම අධිවේගයේ මගමරුවෝ

ටිරන් කුමාර බංගගමආරච්චි

මෙතෙක් කලක් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂිතව පැවති අප ගම් දැවැන්ත ව්‍යසනයක් අභිමුඛ බව ඔබ දන්නවාද? යන පැනය හිස දරා තම ප්‍රශ්නය කෙටියට අකුරු කෙරූ පත්‍රිකාවක් අප අත රැඳෙනුයේ කුරුණෑගලදීය.

සංවර්ධනයට සමගාමීව නැගෙන මිනිස් අඳෝනා සෑම තැනකම පාහේ එක සමානය. පොදුවේ භුක්ති විඳින්නට ඉදිකරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකම කෙළවර පීඩාවට පත්වන මිනිස් කැළක් ද ඇත. එහෙත් සංවර්ධනයෙන් පසු එය භුක්ති විඳින සැමට ඉහත අඳෝනා කෙඳිරිල්ලක් තරම්වත් නොඇසේ. ඇසුණද වැඩක් නොවේ.

පරිසර ඇගැයීම් වාර්තා නොසලකා හරිමින් අක්‍රමවත්ව ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තම ජන ජීවිතයම අඩාල කර ඇති බව මෙහි මිනිසුන්ගේ තර්කයය. ඒ තර්ක විතර්ක කුමක් වුවත් සිදුවන්නේ එයට ඇහුම් කන්දීම පසෙකලා සංවර්ධනය දිගටම කරගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුව ද සංවර්ධනය මිසක මිනිසුන් ගැන නොතැකීය. මේ ආණ්ඩුවද දැන් ඊට නොදෙවැනිය. මිනිස් හඬට කන් නොදෙන තරම්ය.

“කුරුණෑගල ස්ටේෂන් එක අලුත්වැඩියා කරලා එතැන බෝක්කුවක් දානකොට ගමේ මිනිස්සු ගිහිල්ලා කිව්වා. මේ පොඩි බෝක්කුව මදි. මොකද මේ ගම, පොඞ්ඩ ඇත්නම් යටවෙනවා. ඒ නිසා එතකොට එන වතුර පාර මේ බෝක්කු කටට දරන්න බෑ කියලා. කනකට ගත්තේ නෑ. දැම්මා. එක වැස්සයි ආවේ, ගමම යටවුණා. අපි මේ පොළොවේ ජීවත් වන මිනිස්සු. අපි දන්නවා මේකට වෙන්න පුළුවන් හොඳ නරක දෙකම. ඉංජිනේරුවෝ දන්නේ කියන විදිහට කරලා යන්න. ඒත් එහෙම කරලා ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ ජීවත් වන අපිම තමයි. ගම යට වුණාම ඒ වතුර ටිකට ඔය හුණ්ඩු බෝක්කුවෙන් රිංගන්න බෑ කියලා අපි දන්නේ ලොකු විභාග පාස් කොරලා නෙමෙයි. ඒකට මුහුණ දෙන හින්දා. ඇහැව්වේ නෑ. වැස්සට අපි වෙනදාට වඩා යටවුණා. දැන් ඊළඟට එන මහා විනාශය තමයි අපි යටවෙලා ඉවර වෙන එක.”
වෙහෙර බැද්ද ගමේ නඩයක්ම කතාවට ඒකරාශි වූහ. මොන කටින් එනවාද කියන්න බැරිය. හැම කටින්ම හූමිටි තැබෙයි.

සංවර්ධන ව්‍යාපෘතිවල ඇසෙන වන්දි නොලැබීම මේ අවට ගම්වල බොහෝ අය මුහුණ දෙන ප්‍රශ්නයක් වුණත් මෙහි ප්‍රධාන ප්‍රශ්නය වෙනකක් බවට පත්වෙලාය. ඒ ජීවත්වීමට ඇති සුරැකුම පිළිබඳ ප්‍රශ්නයයි. පොඩි බෝක්කු කටටත් හෙම්බත් වුණා. මිනිස්සු වටකොට ඩෑම් එකක් ඉදිවුණහොත් වන්දි කෙසේ වෙතත් හුස්ම ගන්නටත් නොහැකි බව අද මේ මිනිස්සුන්ට අවබෝධ වෙලා ඉවරය. මේ හැම කෙනාම එකාවන්ව අරගල කරන්නේ ඒ සටනටය. එහි පෙරමුණ අරගෙන ඇත්තේ තරුණයන්ය. වඩා යහපත එයය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නයිලිය, තල්කොට, වෙහෙරබැද්ද, චෙට්ටාරගොඩ, මගුරාවෙල, හේනමුල්ල, අම්බලන්පිටිය, අමුණවත්ත, ගාල්ලවත්ත යන ගම් ප්‍රදේශ නවයම කේන්ද්‍ර කරගනිමින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය නිසා නුදුරේදීම ඉහත ගම් සියල්ලම පාරිසරික ව්‍යසනයකට මුහුණපාන බව මේ අය කියනුයේ අනාගතය කල් තියා දැකය. “මේ වැඬේ පටන් ගන්න කලින් අපිව දැනුවත් කරලා සාකච්ඡා ගණනාවක් පැවැත්තුවා. ඒ හැම සාකච්ඡාවකදීම ඉතාම පැහැදිලිව කියපු කාරණය තමයි අධිවේගී මග කුඹුරු හරහා යනකොට ඒ යන්නෙ කොලම්ස් (කණු) මත කියලායි. මොකද මේ අවට කඳුවල ඉඳලා හැම ජල පහරක්ම ගලාගෙන යන්නේ මේ වෙල් හරහා. ලොකු වැසිවලට මේ වෙල් ගඟවල්. මේ ගැන අධ්‍යයනයක් කරලා තමයි මුල් සාකච්ඡාවලදී වෙල් හරහා අධිවේගී මාර්ගය ඉදිකිරීම කණු හරහා වෙනවා කිව්වේ. මේ වගා කරන කුඹුරු. අපි දන්න කාලෙක කඩෙන් හාල් ගෙනත් කාලා නෑ.

මේවා අධ්‍යයනය කරලා ඒ ගැන වාර්තා අරගෙන අපිව දැනුවත් කළේ. මේවා කණු මත ඉදිකරන්නේ, ඒ නිසා කිසිදු ගංවතුර තත්ත්වයකට මේ ජනතාව පත්වෙන්නේ නැහැ. ළිංවල ජලය හිඳෙන්නේ නෑ. අතුරු මාර්ග ජලයෙන් යටවෙන්නේ නෑ. ඒ වගේම කුඹුරුවල ගොවිතැන් කටයුතුත් පෙර පරිදිම කරන්න පුළුවන්. ඔන්න මුල ඉඳලා කියපු කතා. ඒත් දැන් වෙන්නේ මොකක්ද? දැන් කණු උඩ යන්න බෑ. වියදම වැඩියි කියලා මීටර් 6ක් (අඩි 20ක් පමණ) උසට පස් පුරවනවා. ඒකේ පළල අඩි 300ක්. හිතන්නකෝ මේ ඩෑම් එකක්නේ ගහන්නේ.’
මෙම ගම් සියල්ලෙහි සැම ඒකරාශි කරමින් පෙරමුණ ගෙන ක්‍රියා කරන තරුණ හඬ ඔහුය. ඒ සංජීවය.
මෙම ඉදිකිරීම් භාර ඉංජිනේරුවා ලක්මල් බණ්ඩාරනායකය. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භාර නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ලය. මේ දෙපළ මුලින් ජනතාව දැනුවත් කොට මහා පොරොන්දු දෙනුයේ ගිය ආණ්ඩුවේදීය. ආණ්ඩු මාරු වුවද අදත් සිටින්නේ එම පුද්ගලයන්මය. ආණ්ඩු මාරු වූ සැණින් පුද්ගලයන් මාරු විය යුතුයැයි අපි නොකියමු. එහෙත් එකල ඇතිවිය හැකි ව්‍යසන සියල්ලට විසඳුම කණු මත යෑම යයි කී අය අද ඉහත කිසිදු ව්‍යසනයක් නොවන්නේ යැයි කියමින් පස් පිරවීම අනුමත කරන්නේ කෙසේද? කුඹුරු හරහා මාර්ගය කණු මත යෑම නිසා ජලය බැස යෑමේ ප්‍රශ්නයක් ඇති නොවන බව කී මොවුන්, ළිං නොසිඳෙන බව කී මොවුන් අතුරු මංමාවත් යට නොවන බව කී මොවුන්ම අද පස් පුරවා කුඹුරු ගොඩකර පාර ඉදිකළද එසේ නොවන්නේ යැයි කියන්නේ කෙසේද? අඩි විස්සක් උසට අඩි 300ක් පළලට පස් පිරවූ කල කිසිදු ආපදාවක් නොවන්නේ යැයි කැට තබන්නේ කෙසේද? දැනටත් පොඩි වැස්සකට යට වන මේ ගම් වේල්ලක් මෙන් පාරෙන් වසා ගත් කල වන ව්‍යසනය දකින්නට මොවුන්ට ඇස් නොඇරෙන්නේ ඇයි?
ආශ්චර්යයේදී එකකුත් යහපාලනයේදී තවෙකකුත් එකම අය දෙවිදියකට කියනුයේ කෙසේද?
“මේ අය දැන් කියනවා කිසිම පාරිසරික ව්‍යසනයක් වෙන්නේ නෑ කියලා. ස්ථීරයටම කොහොමද කියන්නේ. ඒ අය කියනවා වසර 50ක කාලයක ඉඳලා අපේ පැතිවලට අධික වර්ෂාපතනයක් ලැබිලා නැහැලු. මේ කොළඹ ඉඳලා කරන පරීක්ෂණ. ඉතින් ඉස්සරහටත් එහෙම වැසි වහින්නේ නැතිලු. මේ විකාර කතානේ. දැන් පහුගිය කාලේ කළුතර, ගාල්ල, යටවුණේ වෙනදා වගේද? රත්නපුර යට වුණේ වෙනදා වගේද? ඇයි මේ බොරු කියන්නේ. කාවද මේ අමාරුවේ දාන්න හදන්නේ, අපිවනේ.” මේ අදහස් එකට ගත්තද පොදු හඬය.

“ඒ අයට කියන්න ලේසියි. ඒත් බලන්න මේ කුඹුරු දිගටම පස්දාලා තියෙන හැටි. කුඹුරු යාය දෙකඩ කරලා ඉවරයි. දැන් වතුර බහින්නේ කොහොමද? ලොකු වැසිවලට වටේ කඳුවල ජලය පවා ආවේ මේ වෙල් යායට. එහෙම එන ජලය උරා ගනිමින් ගලා ගිය ස්වාභාවික ක්‍රමයක් තිබුණා. දැන් මේ විදිහට අඩි 20ක් උසට අඩි 300ක් පළලට පස් පුරවලා මේක දෙකඩ කළාම හිතන්න වෙන දේ. අපේ ගම් දැන් යටනේ. මේක පරාක්‍රම සමුද්‍රය වගේ තියෙයි. නිකමට හිතන්න මේ දැන් තත්ත්වය පේනවනේ වැහැලා යට වුණොත් මොකද වෙන්නේ කියලා. රටේ බලධාරීන් දන්නේ මේ ඉංජිනේරුවෝ කියන දේ නේ. ඇවිල්ලා බලන්නකෝ අපේ ප්‍රශ්නය. එතකොට පේනවානේ ඇහැටම. නිකනුත් වැස්සකට යටවෙච්ච අපි මෙහෙම ලොකු ඩෑම් එකක් බැන්දාම නොමැරී බේරෙයිද?”
ගම්වැසියන් එකාවන්ව පවසන දෙයෙහි සත්‍යයක් ඇති බව පෙනේ. ඉදිවන අධිවේගී මගට සාපේක්ෂව මේ සියලු ගම් මේ කඳු වළල්ල වට කොට ඊට මැදිව වළක ගිලී ඇති අයුරුය. දැනට පොඩි වැස්සට යටවනුයේද ඒ නිසාමය. මේ වෙල්යාය මැදින් පලාගෙන පිඹුරකු ලෙස ඇදෙන අධිවේගී මග ඉදිකිරීමට පෙර අමුද්‍රව්‍ය ගෙනඒමට එලා ඇති මගද ඒ ව්‍යසනයේ පෙර ලකුණු දැන්ම පෙන්වනුයේ පොළෝ මහීකත මැද කළ සිසේරියන් සැත්කමක් ලෙසටය. රතු පස ඈතට දිස් වෙනුයේ රුධිරය ලෙසය. මේ කැපුම වඩා වේදනාවට පත්කර ඇත්තේ මේ අවට ගම්මුන්ටය. එයින් වේදනා විඳිනුයේ ඔවුන්ය.

මිනිස්සු තමන්ට එල්ල වන ප්‍රශ්නවලට හැඩගැසෙනුයේ ඊට මුහුණදීමට අවශ්‍ය පන්නරයද රැගෙනය. මේ ඊට කදිම නිදසුනක්ය.
“අපි හොයලා බැලුවා. විද්‍යාත්මකව බැලුවත් ස්වභාව ධර්මයේ නීතිය අනුව බැලුවත් වතුර බැහැලා යන ක්‍රම තුනක් තියෙනවා. එක ක්‍රමයක් අහසින් වැටෙන ජලය භූමියට උරා ගැනීම. දෙවැනි ක්‍රමය අහසින් වැටෙන ජලය ඉහළට වාෂ්පවීම, තුන්වන ක්‍රමය මේ දෙකටම මැදි නොවන ජලය උස් බිමක සිට පහත් බිමක් සොයා ගලා යෑම. අපි අහුවෙලා ඉන්නේ මේ තුන්වන ක්‍රමයට.”
විශාල පිරිසක් අතරින් ගලා ආ කතාවක් දෙස් දෙනුයේ තම ව්‍යසනය දැනෙන ප්‍රමාණය සහ ඊට මුහුණදීමට සන්නද්ධ වීම නොවේද? ගම මැදින් පාරක් යන්නේ යැයි කටබලියා නොසිට ගමටම එය මරු පාරක් වන බව ඉවෙන් මෙන් දැන ඊට ප්‍රතික්‍රියා කිරීම සමාජ විරෝධීකමක්ද? රටට ද්‍රෝහීවීමක්ද? සංවර්ධනයට අකුල් හෙළීමක්ද?

“අපේ ගම්මාන පටන් ගන්නේ නයිලිය ග්‍රාමයේ වෙල්යායේ ඉඳලා අන්තිම ගම වන ගැට්ටුවාන ගම්මානය දක්වා දිවෙන වෙල්යායෙන්. මේ වෙල්යායෙන් 40%ක් විතර මෙම අධිවේගී මාර්ගයට මැදිවෙලා තියෙනවා. අපේ මේ ගම් සේරම තියෙන්නේ නිම්නයක් වටා. ඒ හින්දා වෙල්යාය අවට සියලුම කඳු වළලුවලින් සහ ගොඩ ඉඩම්වලින් එන වතුර කෙළින්ම වෙල්යායට එනවා. ඒ ඇවිත් වෙල්යායම උරා ගන්නවා. ඒ උරා ගත්තත් පිටාර යන ජලයෙන් අපේ ගම් යටවෙනවා. දැන් ඉස්සරහට කුඹුර සියයට 40ක් පස් ගොඩ කළාම කොහෙද වතුර උරා ගන්න ඉඩක්. මේ වෙල්යාය වතුර උරා ගත්තත් අඩි පහක් විතර ගම්වලට දානවා. එතකොට වේල්ලක් වගේ පාර බැඳලා අපිව කොටු කළාම මොකද වෙන්නේ. මේ හදන්නේ පාරට අපිව බිලි දෙන්නද?”
එක් අයකුගේ කතාව අහවර වන්නේ තව කිහිපදෙනකු මැදිහත්වීමෙනි. විටෙක ආවේග වන ඒ හඬවල් තව විටෙක අසරණ වෙයි. ඒ අතර වුව ඔවුහු තම අනාගත ව්‍යසනය හොඳින් දකිති.
“මෑත කාලයේ කතාවක් කියන්නම්කෝ. පසුගිය කාලයේ කුරුණෑගල මිලිමීටර් 190ක්වත් වහින්න බැහැ කියලා තමයි කාලගුණ කට්ටිය කිව්වේ. ඔය රත්නපුරටත් කිව්වේ එහෙමනේ. මිලමීටර් 250ට එහා වහින්නේ නෑ කිව්වා. ඊයේ පෙරේදා මොකද වුණේ මීලිමීටර් 550කටත් වඩා වැස්සනේ. මේ යන විදියට ඒ වගේ වැස්සක් අපිට වැස්සොත් අනාගතේ අපේ ගම් තිබුණාද කියලවත් හිතන්න බැරි වෙනවා. මේකද අපේ අනාගතයට උරුම කරන්නේ.”
මේ හැම ගමකම මිනිස්සු එක හූවට මේ ප්‍රශ්නය හරහා කැන්දවිය හැකි වී තිබේ. ඒ කටවල් තොරතෝංචියක් නැතිව කියවයි.

“අපි යන්න තියෙන හැමතැනටම ගියා. ලියුම් ලිව්වා. ඒත් විසඳුමක් නෑ. මේ ඉංජිනේරුවෝම මුලදි කිව්වා කණුවල ගහන හින්දා ආපදාවක් නෑ කියලා. දැන් ඒ අය පස් පුරවනකොටත් කියනවා ආපදාවක් නෑ කියලා. මේ කුඹුරු යාය නිසානේ අපිට ජලය ළඟ. මේ කුඹුරු යාය 40% ගොඩ කළාම අපේ ළිං හිඳෙන එක අහන්න දෙයක් නෑ. දැන් කුරුණෑගලට නියඟය. ළිං හිඳිලා. අපේ ළිං බේරිලා තිබුණා. දැන් ඒවාත් අඩු වෙනවා. මේ පාරවල් හැදිලා එනකොට අපිට වෙන්නේ හාමතේ ඉන්න. මේ විදියට මැදින් අඩි 20ක් උසට අඩි 300ක් පළලට පස් දැම්මාට පස්සේ කුඹුරු කරන්න ලේසි නෑ. ඇයි ජලාශයක්නේ තියෙන්නේ.”

මේ අනාගතය සම්බන්ධ අනියත බියක් ලෙස අර්ථ දැක්වීමට බලධාරීන් ඉක්මන් වනු ඇත. එහෙත් සෑම සංවර්ධන ව්‍යාපෘතියකම අවසාන පරමාර්ථයත් අනාගත සංවර්ධනය නොවේද? උමා ඔය ව්‍යාපෘතිය හොඳ වුවද එය නිසි ලෙස නොකළ නිසා එන ප්‍රතිඵල දැන් ඒ අවට ජනයා භුක්ති නොවිඳීද?
2012 ඇද හැලුණු ගංවතුරට මුළු කුරුණෑගලම යටවූ අතර මේ කුඹුරු හරහා ගලා ආ ජලය පාලනය කරගත නොහැකිව කුරුණෑගල රෝහල යට කොට ගෙන එය අසල ඇති පාලමත් ගලවා ගෙන ජලය බැස ගියේ නම් අනාගතයේ ආපදාවක් නැතැයි කියනුයේ කෙසේද?
“සංවර්ධනයට අපිත් ආසයි. මේ විදිහට අධිවේගී පාරවල් හැදුණාම අපිටත් හොඳයි. අපේ ඉඩම්වලටත් වටිනාකම් එනවා. මේ වෙල හරහා යන ටිකට විතරක් ඇයි කණු ගහන්න බැරි. එතකොට කුඹුරු යාය හොඳට තියෙනවා. අපිටත් ප්‍රශ්නයක් නැහැ. අද වුණත් පරක්කු නැහැ. අපේ විරෝධය හින්දා දැන් දිවා රාත්‍රී වැඩ කරනවා. අපිව යට කරන්නද මේ හදිසිය.”
මධ්‍යම අධිවේගී මග ඉදිකිරීමට අවැසි මාර්ගයට ඕනෑ ඉඩම් මැන්නේ 2014දී රාජපක්ෂ ආණ්ඩු සමයේය. මේ සම්බන්ධව එකල විශාල වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගම්මුන් දැනුවත් කොට ඇත. පන්සල්වල පාසල්වල විවිධ දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇත. එහිදී මං තීරු හයක් ඉදිවන බවත්, කුඹුරු හරහා පාර යනුයේ කණු මත බවත් පවසා ඇත. අද මං තීරු හය හතර වී ඇති අතර කණු මත යන පාර පස් මත යන්නට පටන් ගෙනය.

මෙම ව්‍යසනය ගැන පත්‍රිකා බෙදීමත් යහපාලනය යටතේ වරදක්ද? මෙම විරෝධයේ පෙර ගමන්කරුවා වන සංජීව ගුණතිලකගේ නිවසට නොබෝදා රාත්‍රියේ පොලිසිය කඩා පනිනුයේ රාජය විරෝධී කුමන්ත්‍රණ කරන බව ප්‍රකාශ කරමිනි. රාජ්‍ය විරෝධී අත්පත්‍රිකා ඇති බවට පැමිණිලි ලැබී ඇති බව ඒ එන පොලිස් අණය. තම ප්‍රදේශයේ ජනයාට ඉදිරියේදී එන විපත ගැන පත්‍රිකා මගින් දැනුවත් කිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද? රාජ්‍ය පෙරළීමට මාන බැලීමක්ද? මේ නරක චිත්‍රය හැඬවෙන්නේ කුමන ව්‍යසනයකටද? මේ කිසිවක් පිළිබඳ රටේ පාලකයන් නිවැරදි අවබෝධයක නැතිවා විය හැක. එහෙත් එයින් සම්පූර්ණ විකෘති චිත්‍රයක් නිර්මාණය වනුයේ ආණ්ඩුව ගැනය. රාජපක්ෂ හොල්මන් තවමත් හැම තැනමය.

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා අලව්ව විල්ගමුව ප්‍රදේශයේ පස් කැපීමකට විරුද්ධ වීම නිසා ගම්වාසීන් පිරිසක් මැර ප්‍රහාරයකට ලක්වන අතර ඉන් තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල්වලය. ඒ වෙනුවෙන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය පැත්තෙන් සාධාරණයක් වන ලකුණුද පෙනෙන්නට නොපවතී.

පෙර පරිදිම දැනටත් සිදුවනුයේ පස් පිරවීම දේශපාලකයන්ට ලාභදායි වීමය. මෙම ගොඩ කරන පස් කොන්ත්‍රාත් ගෙන ඇත්තේද මේවා සම්බන්ධ අයමය. ඒ නිසා කණු මත පාර ගොස් ජනතා සුබසිද්ධිය හදනවාට වඩා පස් පුරවා තම පවුල් තර කර ගැනීම දේශපාලකයන්ට ලාභදායි වී ඇත. ඒ සුළු පිරිසකගේ ලාභයට ගම් පිටින් උකස් කළ යුතු නැත. ජීවිත බිලිදිය යුතු නැත. යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා කළ දේ නොකළ යුතුය. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් සියල්ල කරන ක්‍රමවේදයට නොගොස් සැබෑවට ජනතා ප්‍රශ්න බලන්නැයි බල කරමු. අධිවේගී මග හොඳය. එහෙත් අධික වේගය මරු කැඳවන්නේය. දැනට ආණ්ඩුවේ බොහෝ වැඩ අධික වේගයෙනි. එබැවින් අවට කිසිවක් නොපෙනේ. අවට බැලිය යුතුව ඇත.■

කණු මතින්ම යන්න බෑ
ආර්.එන්. සූරියආරච්චි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති
අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් කණු මතින් යන බවක් අපි කියලා නෑ. කණු මතින් යෑම දැන් කරන ක්‍රමයට කරන එක අතර සිව් ගුණයකින් වෙනසක් තියෙනවා. ඒ අනුව තමයි වැඬේ කරන්නෙ. හානිය අවම කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ පහත්බිම් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව වැඩ කරනවා.
(උපුටා ගැනීම ලංකාදීප)