රාවය

අලියා සහ අන්ධයා

අලියා සහ අන්ධයා

වික්ටර් අයිවන්

ලංකාවට සන්තෝෂ වීමට හා ආඩම්බර වීමට ඉතිරි වී තිබූ එකම දේ ලෙස සැලකිය හැකි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තිබුණු පිළිගැනීම ද මුළුමනින් බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවක මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලංකාවේ අලි ප්‍රශ්නයේ තවත් වැදගත් පැතිකඩක් සමඟ පුනරුද ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය හා එහි අනාගතය ගැන ය.

වනාතවිල්ලුව
අපි පසුගිය 24 වැනිදා අලුත්ගම දර්ගා නගරයේ සාකච්ඡා සභාවක් පවත්වා 25 වැනිදා හවස කරුවලගස්වැවද, 26 වැනිදා උදයේ වනාතවිල්ලුවේ ද සාකච්ඡා සභා දෙකක් පැවැත්විණ. වනාතවිල්ලුව සාකච්ඡා සභාවක් පවත්වන ලද්දේ බණ්ඩාරනායකපුර පන්සලේය. එම පන්සලේ විහාරාධිපති උද්දියාගම චන්ද්‍රරතන හිමියන්ද එම සාකච්ඡා සභාවට සහභාගි වූහ. එම ස්වාමින්වහන්සේ හිතන මතන විදිය ලංකාවේ බොහෝ භික්ෂූන් වහන්සේලා හිතන මතන විදියට වඩා වෙනස් බව තේරුම් ගැනීමට හැකිවූයේ සාකච්ඡා සභාවට පෙර උන්වහන්සේ සමඟ කරන ලද පිළිසඳර නිසාය. උන්වහන්සේ වර්ග, කුල හෝ ආගම් භේදයකින් තොරව එම දුෂ්කර ප්‍රදේශයේ ජීවත්වන සියලු මිනිසුන් කෙරෙහි මහත් ආදරයකින් ක්‍රියා කරන භික්ෂූන් වහන්සේ කෙනෙකු බව තේරුම්ගත හැකිවිය. අප එහි ගියේ සෙනසුරාදා දිනක වුවද ඒ සතියේ සියලු ඉරිදා පත්තර පන්සලේ තිබුණු අතර අලුත් රාවය කලාපය ද ඒවා අතර තිබුණි.

එහි පැවති සාකච්ඡා සභාවට පැමිණි අයගෙන් වැඩි පිරිස කාන්තාවන් වීම ද එම සාකච්ඡා සභාවට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඒ සියලුදෙනා ප්‍රදේශයේ විවිධ සමිති සමාගම් වලට සම්බන්ධ ක්‍රියාකාරීන් වූ අතර අප කියන්නට යන දේ ඔවුන්ට ග්‍රහණය කරගත හැකි වේද කියන සැකයත් සාකච්ඡාව ආරම්භයේදී මා සිත තුළ ඇති වී තිබුණද මගේ එම පූර්ව තක්සේරුව බොරු කරමින් ඔවුහු සාකච්ඡා සභාවේදී හොඳින් සවන් දීගෙන සිටින්නන් ලෙස පමණක් නොව පසුව උද්යෝගිමත් ලෙස අදහස් පළ කරන්නන් ලෙස ද ක්‍රියා කළේය.

විවිධ ප්‍රදේශවලට යමින් පුනරුද ශාඛා ගොඩනගන වැඩසටහන මහජනයාට උගන්වමින් මහජනයාගෙන් ඉගෙන ගන්නා වැඩසටහනක් බවට පත් වී තිබෙන්නේ යැයි කිව හැකිය. ලංකාවේ වනාන්තරවල ජීවත් විය හැකි උපරිම අලි සංඛ්‍යාව හා වනාන්තර වල සිටින අලි සංඛ්‍යාව අතර ඇති පරතරය ගැන මා මීට පෙර ලියා ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් විය හැකි උපරිම අලි සංඛ්‍යාව 4000කි. වර්තමානයේ ලංකාවේ වනාන්තරවල ජීවත් වන ලි සංඛ්‍යාව 6000කි. මේ ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද්දේ මීට කලකට පෙර ආනමඩුවේ දී පැවැති පුනරුද සාකච්ඡාවකදී ආර්.එච්.එම්. අබේකීර්තිය. මා ඔහු පළ කරන ලද එම මතය නිවැරදි දැයි සොයා බැලුවෙමි. ඒ මතය නිවැරදි බව සොයාගත හැකිවිය. අලි ගහණය වනාන්තරවල ජීවත් විය හැකි ප්‍රමාණයට වඩා 50% ක් තරම් විශාල වේ නම් එය ලොකු ප්‍රශ්නයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. වනාන්තරය අවට ජීවත්වන මිනිසුන්ට අලි ලොකු කරදරයක් බවට පත්ව ඇත්තේ උන්ගේ ගහණයේ ඇතිවී තිබෙන අතිවිශාල වර්ධනය නිසාය.

මෝඩ ප්‍රවේශය
මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තෝරාගත හැකි විසඳුමක් වනුයේ නැවත අලි විදේශ වෙළෙඳාමක් බවට පත්කර ගැනීමය. රජ කාලයේ සිට ලන්දේසි පාලනයේ අවසානය දක්වාම ලංකාව අලි ඇතුන් වෙළෙඳාම් කළේය. එය විදේශ වෙළෙඳාමේ වැදගත් අංගයක් වූ අතර ලංකාව එමගින් ලොකු ආදායමක් ද උපදවා ගත්තේය. ලංකාවට නැවත එම වෙළෙඳාමට අවතීර්ණ විය හැකි නම් අලින් ගෙන් එල්ල වී තිබෙන අභියෝගය තුනී කරගත හැකිවනු ඇතිවා සේ ම අතිරික්ත අලි 2000 විකිණීමෙන් ලංකාවට ලොකු විදේශ ආදායමක්ද උපදවා ගත හැකි ය.
සිහි මොළේ ඇති හැම රටක්ම පාහේ වන සතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාට අතිරේකව වන සතුන්ගේ ගහණය පාලනය කරන ක්‍රමවේදයක් ද පවත්වාගෙන යයි. දුලබ ගණයට වැටෙන වන සතුන් ආරක්ෂා කරගත යුතුය. සුලභ වන සතුන්ගේ ගහණය අනවශ්‍ය තරමට වර්ධනය වන්නට ඉඩ නොදී පාලනය කළ යුතු ය. එහෙත් ලංකාවේ වන සතුන් පිළිබඳව විෂයභාර බලධාරීන්ට තිබෙන්නේ එක පැත්තකට පමණක් බර තබන ලද මෝඩ ප්‍රවේශයකි. ඔවුන්ට ඇත්තේ අවශ්‍ය අනවශ්‍ය සියලු වන සතුන් ආරක්ෂා කරන පිළිවෙතකි. වන සතුන්ගේ ගහණය පාලනය කරන ප්‍රවේශයක් ඔවුන්ට නැත.

එම ප්‍රවේශය ලංකාවේ මෝඩකමේ තරම පෙන්නුම් කරන ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. වල් ඌරන් සඳහා තිබෙන නීතිය ලිහිල්ය. උන් මැරීම හෝ උන්ගේ මස් කෑම නීති විරෝධී වන්නේ නැත. නීති විරෝධී වන්නේ උන්ගේ මස් ප්‍රවාහනය පමණය. එහෙත් විෂයභාර නිලධාරීන් සේම පොලිසියද වල් ඌරු මස් ළඟ තබා ගන්නා අයද අත්අඩංගුවට ගනිති. වල්ලපට්ටා ගස ආරක්ෂා කර ගතයුතු දුලබ ගසක් නොව සුලබ ගසකි. අවශ්‍ය නම් ඒවා වගා කළ හැකිය. වල්ලපට්ටා ගස් කපා ළඟ තබා ගන්නා අය අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගන්නා වල්ලපට්ට විනාශ වෙන්නට හෝ හොර පාරෙන් වෙනත් කෙනකු අතට පත්වන්නට ඉඩ හරිනවා වෙනුවට ඒවා විකුණා ගන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීම මිනිසුන්ගේ යහපතට හේතු වනවා සේම රටේ යහපතටද හේතුවේ. විධිමත් ලෙස ඒවා විකුණා ගැනීමට ඉඩදෙන ක්‍රමවේදයක් ඇති කිරීමෙන් රටට ලොකු විනිමය ආදායමක් ඇති කරගැනීමට හැකිවනවා පමණක් නොව වල්ලපට්ටා වැවෙන ගම්වලට ද මුදල් ගලා යන තත්ත්වයක් ඇතිවේ. දැන් තිබෙන ක්‍රමයෙන් සිදුවන්නේ රටට හිමි ලොකු ධනයක් නැතිභංග කිරීමය. ලංකාව අනුගමනය කරමින් තිබෙන මෙම මෝඩ ප්‍රතිපත්තිය අපට සිහිකරන්නේ “බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ.” කියන සිංහල ප්‍රස්ථා පිරුළය.

අපේ දෙබිඩිකම
නීතිය කුමක් වුවත් කිසියම් ප්‍රමාණයකට වුවත් ලංකාවේ මිනිසුන් වල් ඌරන් මරන්නේය. උන්ගේ මස් ආසවෙන් කන්නේය. අතීතයේදී ඈත දකුණේ මිනිසුන් කුරක්කන් තලප කෑවේ දඩමස් සමඟය. වල් ඌරු ගහණයේ අධි වර්ධනය කෘෂිකර්මයට බලපාන ලොකු ප්‍රශ්නයක් වී ඇත්නම් වල් ඌරන් දඩයම් කරන්නට, උන්ගේ මස් ප්‍රවාහනය කරන්නට හා විකුණන්නට ඉඩදෙන ප්‍රතිපත්තියක් මගින් උන්ගෙන් කෘෂිකර්මයට එල්ලවී තිබෙන අභියෝගය තුනී කළ හැකිය. එමගින් ගම්බද සමහර මිනිස්සුන්ට හොඳ ආදායම් උපයා ගත හැකි මාර්ගයක් ඇති කර දිය හැකිය.

වල් ඌරු මස් කන්නට ලංකාවේ මිනිසුන් විශේෂ කැමැත්තක් දක්වනවා පමණක් නොව එය රස හා පෝෂ්‍යජනක ආහාරයකි. මිනිස්සු වල් ඌරු මස් කන්න කැමති නැත්නම් ඒවා ලොකු මිලකට අපනයනය කළ හැකිය. ඒ මගින් රටට ලොකු විදේශ විනිමය ආදායමක් උපයාගත හැකිය. මස් කන්න කැමති අයට වුණත් මස් කෑමේ අයිතිය තිබිය යුතුය. මස් නොකන අයට මස් කෑමෙන් වැළකී සිටීමේ අයිතියද තිබිය යුතුය. වැඩිහිටියන් මස් කෑමෙන් වැළකී සිටීමේ වරදක් නැතත් දරුවන්ගේ මොළයේ වර්ධනයට මස් මාළු හා බිත්තර අත්‍යවශ්‍යය. ඒ අඩුව වෙනත් ප්‍රෝටීන්වලින් සපුරාගත නොහැකිය.

ඉන්දියාවේ හින්දූන් එහි සිටින ලොකුම ජන වර්ගය ලෙස සැලකිය හැකිය. හින්දුන් ගවයා සලකන්නේ දේවත්වයෙනි. එසේ තිබියදීත් ඉන්දියාව, බ්‍රසීලය සමඟ ලෝකයට වැඩියෙන්ම හරක් මස් අපනයනය කරන රට ලෙස ක්‍රියා කරයි. වත්මනෙහි තායිලන්තය වශයෙන් හැඳින්වෙන සියම් රටද මාංශජනක ආහාර පරිභෝජනය ඉහළම මට්ටමක පවත්නා බෞද්ධ රටකි. ඒ රටේ මිනිසුන් මස් මාංශ පමණක්ම නොව සර්ප මස් ද ආහාරයට ගනී.

ජපනුන් එකවිට ආගම් දෙකක් අදහන ජාතියකි. ඒ සින්ටෝ ආගම හා බුද්ධාගමය. එයද මාංශජනක ආහාර පරිභෝජනය ඉහළම තත්ත්වයක පවත්නා රටකි. ඔවුන් වැඩියෙන්ම මාළු කන්නේ අමුවෙනි. එහෙත් ඔවුන්ගේ පිළියෙල කරන අමු මාළු අප විසින් පිස ආහාරයට ගන්නා මාළුවලට වඩා රසවත්ය. ඔවුන් වැඩියෙන් මස් හා මාළු කන ජාතියක් වුවත් අපට වඩා දියුණු, සත්‍යගරුක, විනයගරුක සංවේදී ජාතියකි. ඔවුන්ද අප මෙන් ලොකුවට බත් කෑ යුගයක් තිබුණි. කෑමේදී බත්වලට ලොකු ප්‍රමුඛත්වයක් ලබාදීම ශරීර සෞඛ්‍යයට හොඳ නැති බව තේරුම් ගත් පසු තමන්ගේ ආහාර රටාව වෙනස් කර ගත්තේය. බත් කන ප්‍රමාණය සියයට අසූවකින් පමණ අඩුකොට මස් මාළු එළවළු හා පලතුරු කන ප්‍රමාණය වැඩි කළේය. අපි ලොකු පිඟානක කොතයක හැඩයට බත් බෙදාගෙන බත් කන විට ජපනුන් බත් කන්නේ පුංචි කෝප්පයකට බෙදාගෙනය.

මගේ මතය අනුව පැවිද්දන් මිස ගිහියන් අකුරටම ආගමික නොවිය යුතුය. ගිහියන් අනවශ්‍ය තරමට ආගමික වූ විට ඔවුන්ගේ ජීවිත දුකක් හා අවුලක් බවට පත්විය හැකිය. ආගමික ශාස්තෘවරුන් දැඩි වත්පිළිවෙත් පනවා තිබෙන්නේ පැවිද්දන්ට මිස ගිහියන්ට නොවේ. ජීවිතය දුකක් ලෙස සැලකිය යුත්තේ ද පැවිද්දන් පමණය. එහෙත් අවාසනාවකට ලංකාවේ පැවිද්දන් ගිහියන්ට පනවා තිබෙන ප්‍රතිපත්ති අනුගමනය කරන විට, ගිහියන් උත්සාහ කරන්නේ පැවිද්දන්ට පනවා තිබෙන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමටය. නැතහොත් ලංකාවේ බොහෝ පැවිදි අය ගිහි ජීවිත ගත කරන විට බොහෝ ගිහියෝ පැවිදි ජීවිත ගත කරති.

ඕස්ටේ්‍රලියාව එක් අවස්ථාවකදී සියලුම රෝහල්වල තිබෙන ඇඳන් ඉවත් කළේය. තිබුණු ඇඳන් වලට වඩා දිග ඇඳන් ආදේශ කළේය. ඒ ඕස්ටේ්‍රලියානුවන්ගේ උස වැඩිවීම නිසා තිබුණු ඇඳන්වල දිග ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසාය. ඕස්ටේ්‍රලියානුවන් අනුභව කරන මාංශජනක ආහාරවල වර්ධනය ඕස්ටේ්‍රලියානුවන්ගේ උස වැඩිවීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව විය. ලංකාව අනවශ්‍ය තරමට උපාසක ආකල්පවලින් යුතු රටක් ලෙස සැලකිය හැකිය. ලංකාව තුළ දක්නට තිබෙන දෙබිඩි බව එහි ප්‍රතිඵලයක් විය හැකි ය. “උපාසක සක සකේ කිකිළි බිජු දෙක දෙකේ” යන ප්‍රස්ථා පිරුළ ලංකාවේ ආත්මය පිළිබිඹු කරන්නක් ලෙස සැලකිය හැකිය.

අසීස් මරික්කාර්
අසීස් මරික්කාර් අලින්ගෙන් බැටකන දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි වනාතවිල්ලුවේ ජීවත් වන විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරියෙකි. අපට ඔහු හමුවූයේ එහි පැවති පුනරුද සාකච්ඡා සභාවේදීය. අලින්ගෙන් සිදුවන හානිය වැළකීම සඳහා විදුලි වැට ක්‍රමය වෙනුවට තල්ගස්වලින් හැදූ වැට ක්‍රමයක් යෝජනා කර තිබෙන පුද්ගලයෙකි. ඔහු ඉදිරිපත් කර තිබෙන ක්‍රමය නිර්මාණශීලී වනවා පමණක් නොව ප්‍රායෝගික ද වේ.
ඔහු යෝජනා කර තිබෙන තල්ගස් වැට ක්‍රමය හදාගන්නා විදිය මෙසේය. තල් ගස්වලින් යුතු එම වැට ක්‍රමය සාදාගත යුත්තේ ත්‍රිකෝණාකාරව ය. එවිට එය ගස් අතර අඩි පහක පරතරයක් ඇති ගස් පේළි දෙකක වැටකි. එවිට හැම ගස් දෙකක් අතරමැදින් තල් ගසක් තිබිය යුතුය. තල් ගසේ කඳේ තිබෙන නාටුවට හා කඳේ ඇති වේලුණු පිලිවලට අලියා බයය. ඒවා උගේ හොඬය තුවාල කරන නිසාය. ඒ නිසා අලියා තල් ගසට පහර දෙන්නේ නැත. ත්‍රිකෝණාකාර හැඩයකට සිටුවා තිබෙන තල් ගස් නිසා ඌට එම වැටෙන් ඇතුළටද ආ නොහැකිය. විදුලි වැට ක්‍රමය සසඳන විට තල් වැට ක්‍රමය ඉදිකිරීමට යන වියදම ආන්තිකය. විදුලි වැට ක්‍රමයට වඩා ආරක්ෂිතය. කල්පවත්නා බවෙන් යුතුය. කිලෝමීටරයක් දිග තල් ගස් වැටකින් තල් ගෙඩි මෙටි්‍රක් ටොන් 270ක් නිපදවා ගත හැකි බව ද ඔහු කියයි.

අසීස් මරික්කාර්ගේ යෝජනා ක්‍රමය ලංකාවේ බලධාරීන් පිළිගත්තේ නැත. එහෙත් වනාතවිල්ලුවේ මාන්කුලම ප්‍රදේශයේ වතු වැවිලි ව්‍යාපාරිකයෙක් ඔහුගේ අක්කර සියයක පමණ ඉඩමට ඒ වැට ක්‍රමය යොදා ගත්තේය. දැන් ඒ ඉඩම කෙසෙල් සහ පොල් වගා කළ ඉඩමකි. මෙම කෙසෙල් වගාව කර තිබෙන්නේ අලින්ගේ රජදහනක වුවත්, ඊට අලින්ගෙන් කිසිදු කරදරයක් සිදුවන්නේ නැත. එහි කෙසෙල් වවා තිබෙන්නේ අපනයනය සඳහාය. මරික්කාර්ගේ යෝජනාව ඉහත කී ව්‍යාපාරිකයා හැරුණු විට ලංකාව භාරගත්තේ නැතත් ඉන්දියාව භාරගත් බවත් ලංකා මොඩල් නමින් එම තල් ගස් වැට ක්‍රමය ඉන්දියාවේ අලින්ගෙන් කරදර ඇති ප්‍රදේශ සඳහා යොදා ගනිමින් තිබෙන බවත් ඔහු කීවේය.

පුනරුදයේ සංස්කෘතිය
අසීස් මරික්කාර් ආශ්‍රයෙන් පුනරුදයේ 1 වැනි අදියරයේ ස්වභාවය මට තේරුම් කර දිය හැකිය. එය දැනටමත් පුනරුදයට එකතු වී සිටින අයට සේ ම එකතු වීමට උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද පුනරුදය වැඩ කරමින් තිබෙන ආකාරය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත. මා පිළිවෙළින් කරුවලගස්වැව, වනාතවිල්ලුව, පුත්තලම, බියගම හා හලාවත පැවති පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලයේ සාකච්ඡාවට පැමිණියේ ගාල්ලේ නිවසේ සිට කුරුණෑගල දොස්තර සුගත්ගේ මෝටර් රථයෙනි. ඔහු පාවිච්චි කරන්නේ හයිබි්‍රඞ් වර්ගයේ කාර් රථයකි. එය සැප පහසුකම්වලින් යුතුය. රුපියල් දෙදහසක ඉන්ධනවලින් කුරුණෑගල සිට ගාල්ලටත් නැවත ගාල්ලේ සිට කුරුණෑගලටත් යා හැකි බව ඔහු කියයි. රාජ්‍ය සේවයේ නිරත සුපිරි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා (දිසාපතිවරුන්ට, පළාත් සභා ලේකම්වරුන්ට හා ආරක්ෂක හමුදාවේ උසස් නිලධාරීන්ට) දෙන ලෑන්ඞ් කෲසර් වර්ගයේ වාහනයක ඉන්ධන පරිභෝජනය ලීටරයක් සඳහා කිලෝමීටර් හතඅටකට වැඩි නැත. දොස්තර සුගත්ගේ වාහනයේ මිල ලක්ෂ හතළිහකි. ලෑන්ඞ් කෲසර් මාදිලියේ වාහනයක මිල රුපියල් ලක්ෂ 160ක් පමණ විය හැකිය. ලංකාණ්ඩුව තිබෙන්නේ බංකොළොත් තත්ත්වයකය. එහෙත් වියදම් අධික සුපිරි වාහනවලට තිබෙන කෑදරකම අත්හැර නැත. ලංකාවේ පාරවල්වල ගමන් කරන වාහනවල වර්ග අනුව නම් ලංකාව ලෝකයේ තිබෙන පොහොසත්ම රට ලෙස සැලකිය හැකිය. සියලුම රජයේ නිලධාරීන්ට හයිබි්‍රඞ් වාහන නිකුත් කරන පිළිවෙතක් අනුගමනය කිරීමෙන් (මිලට ගෙන හෝ බදුගෙන) වාහන හා ඉන්ධන සඳහා යන වියදම සියයට 75 කින් පමණ අඩු කළ හැකිය.

දොස්තර සුගත් මා රැගෙන යාමට ගාල්ලේ මගේ නිවසට ආවේ මහ රෑය. අපි උදේ 7.20 ට පමණ වනාතවිල්ලුව කරා යන ගමන ආරම්භ කළෙමු. ඊට පෙර දින අලුත්ගම දර්ගා නගරයේ පැවති සාකච්ඡාවට පැමිණි නුවර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ක්‍රියාකරන නවරත්න බණ්ඩාද එදින රාත්‍රියේ මගේ නිවසේ නැවතුම් ගෙන සිටි අතර ඔහු අප සමඟ එමින් අතරමගින් බැස යන අතර, දොස්තර සමග පැමිණි සගයා හා මා වනාතවිල්ලුවට යනවිට සවස 4 පමණ වී තිබිණි. දඹුල්ලේ සන්නස හෝටලයේ හිමිකරු වන කුරුප්පු ද ඔහුගේ සගයකු සමඟ (ජයන්ත සේනානායක) වනාතවිල්ලුවට පැමිණ සිටියේය. දඹුල්ලේ පළමු සාකච්ඡාව පවත්වන ලද්දේ කුරුප්පුගේ හෝටලයේ මිදුලේය. එම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ විදුහල්පතිවරයකු වන දිසානායක හා නීතිඥයකු වූ මුණසිංහ විසිනි. සාකච්ජාව ඔහුගේ හෝටල් භූමියේ පැවැත්වීමට යෝජනා කර තිබුණේ කුරුප්පුය. මේ තිදෙනාම රාවයේ දීර්ඝකාලීන පාඨකයන් ලෙස සැලකිය හැකිය.

දඹුල්ලේ පැවති සාකච්ඡා සභාව ඉතාමත් වර්ණවත් සාකච්ඡා සභාවක් විය. කුරුප්පු එහි පැමිණි සියලු දෙනාට හොඳින් සංග්‍රහ කළේය. මා සමඟ එහි ගිය අයටද ඉඳුම් හිටුම් දී කෑමෙන් බීමෙන් ද සංග්‍රහ කළේය. විදුහල්පති දිසානායකගේ ස්වභාවය ඉතාමත් සුවිශේෂී ය. ඔහු මෙම සාකච්ඡා සභාව කැඳවන්නට පෙර ඒ ප්‍රදේශවල පැවති සාකච්ඡා තුනකට ගොස් ඒවා අධ්‍යනය කර තිබුණි. ඒ මගින් සාකච්ඡා සභා පැවැත්වෙන ක්‍රමය හා පුනරුදයේ දර්ශනය ඔහු හොඳින් ග්‍රහණය කරගෙන තිබුණි. වර්තමානයේ ඔහු පුනරුද ව්‍යාපාරයෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධානියා ය. දඹුල්ල සාකච්ඡාවෙන් පසුව ඔහු සිය ගම් ප්‍රදේශයේ සාකච්ඡා සභාවක් පැවැත්වීය. මුණසිංහද ඒ දේම කළේ ය. කුරුප්පුද ඒ දේ කළේය.

කුරුප්පුගේ සාකච්ඡා සභාව පැවතියේ හිරියාලේ ගනේවත්තේදීය. කුරුප්පු නිකම්ම හෝටල්කරුවකු ලෙස සැලකිය නොහැකිය. ඔහු සමාජ දේශපාලනය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති සංවේදී බුද්ධිමතෙකි. ඔහු එම ප්‍රදේශයේ පුනරුදයේ ආධාරකරුවන්ට කියවීම පිණිස තෝරාගත් පොත් එකතුවක් මිල දී ගත්තේ ය. ඉන්පසු අප යන ගමනකට එකතුවීමට ඇති කැමැත්ත පළ කළේ ය. ඔහු තම සගයා සමඟ කරුවලගස්වැවට ආවේ දොස්තර සුගත් වනාතවිල්ලුව සාකච්ඡාවෙන් පසුව ආපසු යන්නට සැලසුම් කරගෙන තිබුණු නිසා එතැන් සිට පුත්තලම දක්වා කෙරෙන සාකච්ඡා සභා වලට මා රැගෙන යාම සඳහාය.

පුත්තලමේ පැවති දිස්ත්‍රික් කමිටු සාකච්ඡාවෙන් පසු මා මාරවිලට ගෙන ආවේ වෙන්නප්පුවේ සරත්, ඔහුගේ මිත්‍රයකුගේ වාහනයේය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ නායකයාය. එදින රාත්‍රියේ නැවතුම් ගත්තේ පුනරුද ව්‍යාපාරයේ සූපවේදියා ලෙස හැඳින්වෙන සුමිත්ගේ නිවසේය. එහි සිට මා බියගම සාකච්ඡාවට ගෙන ආවේ ගම්පහ පුනරුදයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකිය හැකි අධ්‍යාපනඥයෙකු වූ ප්‍රේමවර්ධන හා ඔහුගේ බිරිඳ විසින් ඔවුන්ගේ මෝටර් රථයෙනි. බියගම සාකච්ඡාවෙන් පසු එම යුවළ ඔවුන්ගේ නිවසට ගෙන ඒමෙන් පසු ගම්පහ පුනරුද ව්‍යාපාරයේම තවත් ප්‍රබල චරිතයක් ලෙස සැලකිය හැකි ඉංජිනේරුවකු වූ මහේෂ් හා ඔහුගේ බිරිඳ සමඟ ඔවුන්ගේ මෝටර් රථයෙන් වෙන්නප්පුවට ආවෙමි. එතැන් සිට හලාවත පැවැත්වෙමින් තිබූ පුත්තලම් දිස්ත්‍රික් සභාවට මා රැගෙන ගියේ මහාචාර්ය සරත් චන්ද්‍රජීවය. ඔහු පුනරුදයේ ප්‍රබල චරිතයක් වනවා මෙන්ම පුනරුද ලාංඡනයේ නිර්මාතෘවරයාය. එම සාකච්ඡාව අවසන්වීමෙන් පසු එහි සිට ගාල්ලේ මාගේ නිවසට ඇරලීමට සුමිත්ට හා චින්තකට අවශ්‍ය වුවත්, ඔවුන්ගේ ඊළඟ දිනය අවුල්වීම නුසුදුසු නිසා මා සුමිත්ගේ වාහනයෙන් කඩවත දක්වා පමණක් පැමිණ එතැන් සිට ‘යුබර්’ ටැක්සියකින් ගාල්ලේ මගේ නිවසට පැමිණියෙමි.
මට ඒ සියල්ල එසේ කීමට අවශ්‍ය වූයේ පුනරුද ව්‍යාපාරය තුළ ගොඩනැගෙමින් තිබෙන සුවිශේෂ ගති ලක්ෂණ පෙන්වාදීමට අවශ්‍ය නිසාය. වැඩ කරන අය අතර ලොකු මිත්‍රත්වයක් ගොඩනැගී තිබෙනවා පමණක් නොව එය පවුලේ එක පුද්ගලයෙකුට සීමා නොවී පවුලේ සියලුදෙනා ඈඳාගත් පවුලේ සියලුදෙනාගේ ආශිර්වාදය නැතිව ඉදිරියට යන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

පුනරුදයේ ගති ලක්ෂණ
මුල් යුගයේ පුනරුද සාකච්ඡා සභා පැවැත්වීම සඳහා යන ගමන් බිමන්වලදී කුලී වාහනයට ගෙවන මිල අපට දරාගන්නට සිදුවිය. වැඩියෙන්ම ගියේ දුර බැහැර ප්‍රදේශවලට නිසා වාහන කුලිය වෙනුවෙන් දරන්නට සිදුවූ වියදම විශාල විය. ගමන් බිමන්වලදී වාහනය සඳහා යන අධික වියදම සැලකිල්ලට ගෙන අපට ලොකු උපකාරයක් කළ පළමු පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අර්වින් වීරක්කොඩිය. ඔහු මා දීර්ඝ කාලයක් තිස්සේ දන්නා හඳුනන මා ප්‍රිය කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය. ඔහු දැවැන්ත ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකි. කලක් එජාපයේ ප්‍රචාරක කටයුතු භාරව ක්‍රියා කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙකු වුවත් ඔහුගේ මතය එක්සත් ජාතික පක්ෂයට සීමා වූ මනසක් ලෙස සැලකිය නොහැකිය. ඔහු කහපටි ව්‍යාපාරයට බලවත් ලෙස ආධාර කළේය. එම ව්‍යාපාරය කරළියට ගෙනා අදහසට ආධාර කරන්නත් ඒ බව සංකේතාත්මක ලෙස ප්‍රදර්ශනය කරන තැනකට යා යුතුය කියන අදහස මගේ අදහසක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ සඳහා යොදා ගත හැකි හොඳ ම ක්‍රමය කහ පටියක් පැළඳ ගැනීම බවට යෝජනා කළේ අර්වින්ය. අවසානයේ අවම වශයෙන් දශ ලක්ෂයක් මිනිසුන්ගේ අත්වල කරපටි පළඳවන්නට තීරණය විය. අපේ ඉලක්කය සමහරුන්ගේ බලවත් හාස්‍යයට හේතුවිය. එහෙත් අවසානයේ එම ඉලක්කය ඉක්මවා ඉදිරියට යන්නට අපට හැකිවිය.
ඉන්පසු තවත් කාලයකදී සමාජ ව්‍යාපාරයක් කරළියට ගැනීමේ උත්සාහයක යෙදෙන්නට සිදුවිය. එහි වාහකයා ලෙස අප යොදා ගන්නට උත්සාහ කළේ එල්මෝ පෙරේරා හා ඔවුන්ගේ සිමොග් ව්‍යාපාරයයි. අපේ අපේක්ෂාව වූයේ හොඳ මිනිසුන් 100කගෙන් වැඩ ආරම්භ කොට ඉදිරියට යාමටය. එම අසාර්ථක අත්හදා බැලීමටද අර්වින් සම්බන්ධ විය. එහි අසාර්ථක භාවය කෙරෙහි බොහෝ දුරකට ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීම වැදගත් සාධකයක් ලෙස බලපෑවේය.

අර්වින් පුනරුදයට එකතු වූයේ මාගේ ඉල්ලීම මත නොව රාවයේ පළ වන මාගේ ලිපි එක්තරා ප්‍රමාණයක් කියවීමෙන් පසුව ඔහුගේම උවමනාව මතය. මට පුද්ගලික වාහනයක් නැති බව ඔහු දැන සිටියේය. විවිධ තැන්වලට යන්නට කුලියට ගත් වාහනය වෙනුවෙන් ලොකු වියදමක් දරන්නට සිදුවන බවද ඔහු දැන සිටියේය. වාහන වියදම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂය බැගින් මාස හයක වියදම වන රුපියල් ලක්ෂ 6ක් මට ලබාදිය හැකි බව ඔහු මට යෝජනා කළේය. මා ඒ ගැන කල්පනා කොට රුපියල් ලක්ෂ හයක් වෙනුවට ඉන් අඩක් ලබාදෙන ඉල්ලා සිටියෙමි. එසේ ලබාගන්නා සල්ලි ගැන කවදා හෝ ප්‍රසිද්ධ කරන්නට සිදුවන බවද කියා සිටියෙමි. තමා ළඟ තිබෙන්නේ කළු සල්ලි නොවන නිසා ප්‍රසිද්ධියට පත් කිරීම බියට පත්වීමට හේතුවක් නොවන බව ඔහු කියා සිටියේය. ඊට පසු දිනම ඔහු ඒ මුදල මගේ ගිණුමට බැර කර තිබුණි. එය අපට ලැබුණු පළමු ලොකු මුදල් පරිත්‍යාගය ලෙස සැලකිය හැකිය. එම පරිත්‍යාගය අපේ ගමන් වියදම් වැය බර සැහැල්ලු කළේය.
අපි යාපනයට යනවිට ගියේ සැප පහසුකම් සහිත කුඩා බස් රථයකිනි. එම බස් රථය සංවිධානය කළේ පුනරුදයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති තිලක්ය. බස් රථයේ කුලිය රුපියල් හැට පන්දාහක් වූ අතර එය ගෙවන ලද්දේ අර්වින්ගෙන් ලැබුණු මුදල්වලිනි.
ඉන්පසු වෙනත් විවිධ පුද්ගලයන් ද විටින් විට මුදලින් සේම ද්‍රව්‍යමය වශයෙන් ද අපට ආධාර කළේය.
ගාල්ලේ සිට මාරවිල, පොල්පිතිගම හා කුරුණෑගල පැවති සාකච්ඡා සභාවලට ගිය දින තුනේ චාරිකාවට පාවිච්චි කළ වාහනයට රුපියල් 26000 ක කුලියක් ගෙවන්නට සිදුවූ අතර අප සමඟ ඒ ගමනට ගිය රංජිත් දිසානායක තමන්ගේ සාක්කුවේ තිබූ රු. 7000ක මුදලින් රුපියල් හයදහසක් පරිත්‍යාග කිරීම නිසා ඒ බර යම් තරමකට හෝ සැහැල්ලු කර ගැනීමට හැකි විය. හොරණ දොස්තර හර්ෂ අවස්ථා තුනකදී රුපියල් දහදාහක් ලබාදී තිබේ. ලින්ක් නැචුරල් සමාගමට ගිය ගමනේදී සමාගම ගමන් වියදම් වශයෙන් රුපියල් පන්දාහක් ලබාදෙන ලදි. එම සමාගමේ අධිපති ලෙස ක්‍රියා කරන රසායන විද්‍යාඥයා ආර්ථික අමාරුකම් ඇති ක්‍රියාධරයකු නඩත්තු කිරීම සඳහා එම ක්‍රියාධරයාට මාසිකව රුපියල් විසි දහසක් ලබාදෙයි. තරුණ ඉංජිනේරුවකු හා ව්‍යාපාරිකයකු වූ නලින් ආර්ථික දුෂ්කරතා ඇති තවත් ක්‍රියාධරයකු ට මාසිකව රුපියල් විසි දහසක් ලබා දෙයි. මා මහව ගිය අවස්ථාවේදී අසීස් අහමඞ් හා ලාල් බ්‍රාහ්මණ රුපියල් 5000 බැගින් රුපියල් දහදාහක් ලබා දුන්නේය. මීරිගමට ගිය අවස්ථාවේදී එම සාකච්ඡා සභාව සංවිධානය කළ ලක්නාත් ගමගේ (ඔහු ඡග්‍යගෘ උපාධිධාරි ඉංජිනේරුවෙකි.) රුපියල් දස දහසක් දුන්නේය. ගම්පහ රුවන් මාපලගම සංවිධානය කළ ශිෂ්‍ය වැඩමුළුවේදී ඔහු ගමන් වියදම් වශයෙන් රුපියල් 3000ක් දුන්නේය. මීගමුවේ පැවැති සාකච්ඡාවේදී තැපැල් ස්ථානාධිපතිවරයකු වූ ශියාන් රුපියල් පන්දාහක් දුන්නේය. පසුගිය ඉරිදා බියගම පැවති සාකච්ඡාවේදී එහි සංවිධායකයා රුපියල් පන්දාහක් දුන්නේය.
බලංගොඩ ගුරුවරයකු රු.100000 ක් පරිත්‍යාග කළ පුවත මා මීට පෙර සඳහන් කළෙමි. මෑත දිනෙක මගේ මිතුරකු තවත් තිදෙනකු හා එකතුවී පුනරුදයේ ගිණුමට රුපියල් ලක්ෂයක් බැර කර තිබේ. මීට අතිරේකව පද්මසේන දිසානායක රුපියල් 20,000ක් ගිණුමට බැර කර තිබේ. පුනරුදය ගිණුමට මුදල් බැර කළ මා නොදන්නා වෙනත් අය ද සිටිය හැකිය.

මුදලින් ආධාර කරනවාට අතිරේකව වෙනත් ආකාරවලින් ආධාර කර තිබෙන අයගේ ප්‍රමාණය ද විශාලය. තාක්ෂණයට සම්බන්ධ කාරණාවලදී ආධාර කළවුන්ගේ නම් සඳහන් නොකරන්නේ ලිපිය දීර්ඝවීම වළකාලීම සඳහාය. අපට දත්ත බැංකුව ලැබුණේද නොමිලේය. නිම කිරීම අවසන් කෙරෙමින් තිබෙන වෙබ් අඩවිය අපට ලැබෙනුයේ නොමිලේය. සමාජ ජාල ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේද නොමිලේය. පුනරුදයේ ලෝගෝව ලැබුණේද නොමිලේය. අප පාවිච්චි කරන ශබ්ද විකාශන කට්ටලය හා ප්‍රොජෙක්ටරය ලැබුණේ ද නොමිලයේය. සමහරුන් පුනරුදයේ සාකච්ඡා සභා පැවැත්වීම සඳහා යන සමහර ගමන්වලදී ප්‍රවාහන පහසුකම් ලබාදීමෙන් අපට අනුග්‍රහය ලබාදී තිබේ.