රාවය

ඔව්. දූෂිතයි තමයි!

ඔව්.  දූෂිතයි තමයි!

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහි ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනය පැහැදිලි තර්ජනයකි. එය හෙළා දැකිය යුතු ය.
රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කරන කියන හැම දෙයමත්, ඒවායේ විදියත් අනුමත කළ හැකි නොවේ. එහෙත්, ඔහු මේ සමාජය මීට වඩා යහපත් කර ගැනීම සඳහා තමාට දැනුම් තේරුම් ඇති පමණට අවංක ව වැඩ කරන මහජන නියෝජිතයෙකි. එවැන්නකුට එරෙහි ව නීතිඥ සංගමය තමන්ට ඇති සිවිල් බලය යොදා ගෙන අනවශ්‍ය තර්ජනයක් එල්ල කිරීම වූ කලි කිසිසේත් ඉවසිය යුත්තක් නොවේ. එකී නිවේදනය අනුවත්, පසුගිය දිනවල සංගමයේ නිලධාරීන් කළ කී ඇතැම් දේ අනුවත්, නීතිඥ සංගමය කිසිවකුගේ බළල් අතක් හැටියට ක්‍රියා කරන්නේ ය යන්න කීමට තව ම ඉක්මන් නොවෙමු. එහෙත්, ඒ නිරීක්‍ෂණය මහජනතාවගේ පැත්තෙන් අසා ගන්නට ඉඩ නොලැබෙන සේ කටයුතු කිරීම සංගමයේ පැත්තෙන් හොඳ ය.

සිය සාමාජිකයන්ට එරෙහි ව කිසියම් පදනම් විරහිත චෝදනාවක් එන්නේ නම්, වෘත්තිකයන්ගේ වග කිව යුතු සංගමයක් හැටියට ඊට ප්‍රතිචාර දැක්වීමට නීතිඥ සංගමයට අයිතිය තිබේ. එහෙත්, එය පණිවුඩකාරයාට ගිනි බිඳීමක් නොවිය යුතු ය. නීතිඥ සංගමය කර ඇත්තේ පණිවුඩය කුමක්දැ’යි නොබලා ම පණිවුඩකාරයාට ගිනි බිඳින්නට තැත් දැරීම ය.

නියෝජ්‍ය ඇමතිවරයාගේ චෝදනාව කිසිසේත් අලුත් එකක් නොවේ. රටේ යුක්තිගරුක ජනතාව දිගු කාලයක් තිස්සේ ම කරන චෝදනාවකි. එය නීතිඥ ප්‍රජාව ගැනවත්, අධිකරණය ගැනවත් හුදෙකලා ව කරන ප්‍රකාශයක් ද නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය වැනි රටේ අනෙක් පාලන ආයතන, ජනමාධ්‍ය, අධ්‍යාපන ආයතන, ආගමික සංස්ථා මෙන් ම රටේ මහජනතාවට ද ගැළපෙන චෝදනාවකි. එනම්, මේ ආයතන සියල්ලමත්, ඒවා සංයුක්ත වන පුද්ගලයන් සියල්ලන්මත් අඩු වැඩි වශයෙන් දූෂිත ය යන්නයි. අධිකරණයත්, නීතිඥ ප්‍රජාවත් සම්බන්ධයෙන් තත්ත්වය විශේෂ වන්නේ, රටේ අනෙක් ආයතන හා පුද්ගලයන් දූෂිත වන විට, ඊට එරෙහි ව යුක්තිගරුක ජනතාවට පැමිණිලි කරන්නට ඇති හා යුක්තිය ඉල්ලන්නට ඇති ආයතනය අධිකරණය වීමත්, ඒ යුක්තිය ඉටු කිරීමට අධිකරණයට සහාය වන්නේ නීතිඥ ප්‍රජාව වීමත් නිසා ය. මේ ආයතන දෙකත් දූෂිත වන්නේ නම්, මහජනතාවට අත්වන ඉරණම ගැනත්, ඔවුන් නීතිය ගැන ඇති විශ්වාසය බිඳ ගන්නා අන්දම ගැනත් අලුතෙන් පැහැදිලි කරන්නට දෙයක් නැත.

වෙනත් ඕනෑ ම වෘත්තියක මෙන් ම නීතිඥ වෘත්තිය තුළ ද යහපත් සමරිතානුවන් මෙන් ම ජුදාස්ලා ද සිටිති. එකී යහපත් ගෞරවාර්හ නීතිඥයන් ගැන කාටවත් කිසි ම අරෝවක් නැත. එහෙත්, අයහපත්, අගෞරවනීය නීතිඥයන් නිසා, ඒ යහපත් අයගේ ද මූණෙහි දැලි ගෑවෙයි. එය වළක්වා ගත හැක්කේ, අයහපත්කම හා අයහපත් අය ගැන සොයා බලා අවශ්‍ය පිළියම් යෙදීමෙනි.

ලංකාවේ නීතිඥ වෘත්තිය ගැන මිනිසුන් කියන්නේ මොනවා ද යන්න, නඩු කටයුතුවලට උසාවි යන එන මිනිසුන්ට මයික්‍රපෝනයක් ඇල්ලුවොත්, ලංකාවේ උසාවි පද්ධතිය තුළ දිනක් දෙකක් කරක් ගැහුවොත් දැන ගත හැකි ය. පරණ තාලයට ‘ගිනි’වලින් ගාස්තු ගත් නීතිඥ ප්‍රජාව දැන් ‘ගිනි කන’ බව ඒ මිනිසුන් කියනු ඇත. වෘත්තීය ආචාරධර්ම කුණු කූඩයට දමා, පොලිස් නිලධාරීන්ගෙන්, බන්ධනාගාර නිලධාරීන්ගෙන්, උසාවි සේවකයන්ගෙන් නඩු හිඟා කන, තැරැව්කාරයන් මත සිය දවස් පතා භෝජනය රඳා පවත්වා ගන්නා, විනිසුරුවරුන්ට අල්ලස් දෙන බවට කතා ඇති, අසාධාරණ ගාස්තු අය කරන හා ගාස්තු ගෙවන තෙක් සේවාදායකයන්ගේ මාල මුදු ගලවා අත්අඩංගුවේ තබා ගන්නා නීතිඥ ප්‍රජාවක් අඩු නැති ව ඒ අධිකරණ භූමිවල දී හමු වනු ඇත. ඉතින්, ඒ වෘත්තිය දූෂිත නැති ද?

අලියකු හොරකම් කළ බවට චෝදනා ලත් මහේස්ත්‍රාත්වරයකු විනිසුරු අසුනේ සිට අනුන්ගේ නඩු ඇසුවේ බොහෝ කාලයකට පෙර නොවේ. චුදිතයකු වී සිටියදීත් ඔහු විනිසුරු අසුනෙන් බස්සන්නට අධිකරණ සේවා කොමිසම කටයුතු නොකරද්දී, රාවයට ම ඒ ගැන කියන්නට වුණා මිස, අධිකරණ ගෞරවය ගැන අද කිඹුල් කඳුළු හෙළන කිසි ම නීතිඥවරයකු ඒ දවස්වල වචනයක් කතා කළේ නැත. රටේ බැංකුවලට ණය වී බංකොලොත් වුණු විනිසුරුවරයකු නඩු අසන විට, විනිසුරු අසුනේ සිට සිය සිවිල් බලය යොදා ගෙන ඒ බැංකුවලට ඔහු තර්ජනය කරන විට කිසිවකු කතා කළේ නැත. සේවාදායකයකු විසින් සැපයූ කාන්තාවක සමඟ ලිංගික ව හැසිරුණු මහාධිකරණ විනිසුරුවරයකුගේ එම හැසිරීම් අඩංගු වීඩියෝ දර්ශන කාලයක් අධිකරණ ක්‍ෂෙත්‍රය ආශ්‍රිත ව ම ජනප්‍රිය වී තිබුණු ආකාරය නැවත මතක් කළ යුතු ද? තමන්ගේ ක්‍ෂෙත්‍රයේ ඉහළ ම තැන හෙබ වූ අගවිනිසුරුවරිය, කැලෑ උසාවියක් ඉදිරියට ගෙනැවිත් අසාධාරණ ලෙස ධුරයෙන් පලවා හැර අධිකරණයට කළ හැකි ඉහළම අගෞරවය කරද්දී අද නීතිඥ සංගමයේ සිටින සමහර නිලධාරීන් සිටියේ පීඩකයාගේ පැත්තේ ය. ඉතින්, ඒ වෘත්තියත් දූෂිත නැති ද?

ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. තමන්ගේ මුහුණේ දැලි ගෑවී ඇත්දැ’යි සොයා බලා ඒවා පිසදා ගත යුත්තේ නීතිඥ ප්‍රජාවත්, අධිකරණයත් ය. ඒ වෙනුවට දැලි පෙනෙන සේ කැඩපත අල්ලනවුන්ට, සිය සිවිල් බලය යොදා ගෙන තර්ජනය කිරීම නම් ගැළපෙන්නේ නැත. ■