රාවය

ආසියාවේ විශිෂ්ටයන්ට පිරිනැමෙන රමොන් මැග්සායිසායි ත්‍යාගය

ආසියාවේ විශිෂ්ටයන්ට පිරිනැමෙන රමොන් මැග්සායිසායි ත්‍යාගය

 

රමෝන් මැග්සායිසායි ත්‍යාගයන්වාර්ෂිකව පිරිනමන්නේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් විශිෂ්ට සේවයක් හෝ හපන්කම් කළ ආසියානුවන් කිහිප දෙනකුටයි.
මේ ත්‍යාග පරිපාලනය කරන්නේ පිලිපීනයේ පිහිටි රමෝන් මැග්සායිසායි ත්‍යාග පදනම (Ramon Magsaysay Award Foundation) විසින්. 1957දී අරඹන ලද එය නම් කර ඇත්තේ ගුවන් අනතුරකින් හදිසියේ මියගිය එරට හත්වන ජනාධිපතිවරයා වූ රමෝන් මැග්සායිසායි (1907-1957) සිහිවීමටයි.
දශක හයක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන එන මේ ත්‍යාග, ආසියාවේ නොබෙල් ත්‍යාග ලෙස සැලකෙනවා. නොබෙල් ත්‍යාග තරම් විශාල මුදල් ප්‍රමාණයක් ත්‍යාගලාභීන්ට පිරිනැමුවේ නැතත්, ජාත්‍යන්තර පිළිගැනීම අතින් එය ආසියානු රටකින් පිදෙන ඉහළම මට්ටමේ ත්‍යාගය බවට පත්ව තිබෙනවා.

2017 මැග්සායිසායි ත්‍යාග අගෝස්තු 31දා පිලිපීනයේ මැනිලා අගනුවරදී උත්සවාකාරයෙන් පිරිනැමුණා. මෙවර ත්‍යාගලාභීන් තෝරා ගෙන ඇත්තේ පිලිපීනය, ජපානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවෙන්.
වසර 10කට පසු මැග්සායිසායි ත්‍යාගයකින් පිදුම් ලත් ලාංකිකයා බවට පත්ව සිටින්නේ 82 හැවිරිදි ගෙත්සි ෂන්මුගම් මහත්මියයි. (Gethsie Shanmugam)’.
ගුරුවරියක ලෙස දශක ගණනාවක් සේවය කළ ඇය 1983දී විශ්‍රාම ලැබුවා. ඒ වන විට මනෝවිද්‍යා උපදේශකවරියක (psychological counsellor) ලෙස පුහුණුව ලබා සිටි ඇය අපේ කුරිරු යුද්ධයෙන් දැඩි මානසික පීඩනයන්ට ලක්ව සිටි දරුවන් හා තරුණ තරුණියන්ට මනෝවිද්‍යා උපදේශනය ලබාදීමට විවිධ සමාජ සේවා සංවිධාන සමඟ ක්‍රියා කිරීම ඇරැඹුවා.
වසර තිහකට වැඩි කාලයක් තිස්සේ ඇය යුද්ධයෙන් මව්පියන් අහිමි වූ දරුවන්, සැමියන් අහිමි වූ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල මානසික සෞඛ්‍ය අවශ්‍යතා ගැන රජයේත්, ස්වේච්ඡා ආයතනවලත් අවධානය යොමු කළා. එසේම සමාජ සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවක් පුහුණු කළා.

ෂන්මුගම් මහත්මිය 2004 සුනාමියෙන් දිවි බේරා ගත්, එහෙත් එයින් පවුලේ සාමාජිකයන් අහිමිව දැඩි මානසික පීඩාවට පත් දරුවන්ට මානසික උපදේශනය හා සහනය ලබා දීමට පාසල් ගුරුවරුන් 80ක් දෙනා පුහුණු කළා.

යුද්ධයෙන් හා ආපදාවලින් ඇති කරන මනෝ විද්‍යාත්මක බලපෑම්වලට එතරම් අවධානයක් තවමත් යොමු නොකරන අපේ වැනි සමාජයක ඇය නිහඬව කර ඇති සේවය ඉතා ප්‍රශංසනීයයි.
“ලාංකික සිවිල් යුද්ධයෙන් බැට කෑ දරුවන්ගේ හා කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා සම්පාදනයට ධෛර්යයෙන් හා මෛත්‍රියෙන් යුතුව දිගු කලක් මහත් කැප වීමෙන් කරන සේවය උදෙසා” ඇයට ත්‍යාගයක් පිරිනමන බව ඇගේ හේතු පාඨයේ සඳහන් වනවා.
මැග්සායිසායි ත්‍යාග පදනම මුල්වරට එම ත්‍යාග පිරිනැමුවේ 1958දී. එදා පටන් මේ වන විට රටවල් විසි ගණනකින් ත්‍යාගලාභීන් තුන්සිය තිහක් පමණ සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙයින් බහුතරයක් විශිෂ්ට පුද්ගලයන් වන අතර ඇතැම් විට ඔවුන් ඇරැඹූ පර්යේෂණායතන හෝ සිවිල් සංවිධානද ඇගැයීමට ලක් වුණා.

ගෙත්සි ෂන්මුගම් මහත්මිය මැග්සායිසායි ත්‍යාගයකින් පිදුම් ලද, ශ්‍රී ලංකාවට සම්බන්ධ දස වැන්නායි. එසේම දෙවන කාන්තාවයි. ත්‍යාග ඉතිහාසයේ ලාංකික ලකුණ සටහන්ව ඇති අයුරු කෙටියෙන් විමසා බලමු.

1958-2008 වකවානුවේ ත්‍යාග පිරිනැමුවේ තේමා හයක් යටතේයි. එනම් විශිෂ්ට රාජ්‍ය සේවාව; විශිෂ්ට මහජන/සමාජ සේවය; විශිෂ්ට ප්‍රජා නායකත්වය; සාමය හා ජාත්‍යන්තර අවබෝධය ප්‍රවර්ධනය කිරීම; ජනමාධ්‍ය, සාහිත්‍ය හා නිර්මාණාත්මක කලා; සහ නැග එන ආසියානු නායකත්වය (වයස 40ට අඩු ආසියානුවන්ට).

එහෙත් 2009 සිට ඉදිරියට මෙසේ කාණ්ඩ කිරීම සිදු කර නැහැ. ඒ වෙනුවට විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ට දායකත්වය ලබා දුන් සය දෙනකුට වාර්ෂිකව ත්‍යාග පිරිනමනවා.
මැග්සායිසායි ත්‍යාග ලද මෙරටට සම්බන්ධ දස දෙනා අතර විදේශ සම්භවය තිබූ එහෙත් ජීවිත කාලයෙන් වැඩි කොටසක් මෙරටට සේවය කළ දෙදෙනකුද සිටිනවා. ඔවුන්ගේ මුල් පුරවැසි බව මෙතැනට අදාළ නැහැ. කළ සේවයයි වැදගත්.

මේ දස දෙනා අතර මෙරට නාමධාරී චරිත මෙන්ම අප්‍රකටව, නිහඬව දායකත්වය ලබා දුන් අයද සිටිනවා. දස දෙනා පිළිබඳ කෙටි විස්තරයක් මෙන්න.
x වෛද්‍ය මේරි හෙලන් අර්වින් රත්නම් (1873-1962): කැනඩාවේ උපත ලබා, වෛද්‍ය උපාධි හා පශ්චාත් උපාධි ලත් ඇය 1896දී ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සෞඛ්‍ය හා සමාජ සේවා සඳහා ජීවිත කාලයම කැප කළා. 1930දී ලංකා මහිලා සමිති ආරම්භ කිරීමටත්, කාන්තාවන්ට ඡන්ද අයිතිය දිනා ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. 1934-35 මැලේරියා වසංගතය සමයේ මෙරට සමාජ සේවකයන් හා වාමාංශික නායකයන් සමඟ ගිලානෝපස්ථානයට සම්බන්ධ වූවා. ඇය ඒ මහජන සේවයට මැග්සායිසායි ත්‍යාගයක් ලැබුවේ ත්‍යාග ආරම්භක 1958දීයි.

x ටාසි විට්ටච්චි (1921-1993): මෙරටින් බිහි වූ අදීනතම පුවත්පත් කතුවරයෙක්. ආසියාවේ පැරණිතම පුවත්පත වූ ඔබ්සර්වර් කතුවරයා බවට වයස 32දී පත් වූ ඔහු පොදු උන්නතිය උදෙසා නොබියව පෙනී සිටි, සියලු දේශපාලකයන් නිර්දය විවේචනයට ලක් කළ අයෙක්. 1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. 1958 ජාතිවාදී කෝලාහල ගැන ඔහු ලියූ ෑපැරටැබජහ .58 පොත මහත් ආන්දෝලනයට ලක් වූ අතර ඒ නිසා රට හැර යාමට සිදුවූ බව සමහරුන්ගේ විග්‍රහයයි. ඔහුට ලැබුණේ ජනමාධ්‍ය පිළිබඳ ත්‍යාගය. ඒ 1959දී. හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව ක්‍රියා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි

x ඒ.ටී. ආරියරත්න (1931-): ශ්‍රී ලංකාවේ විශාලතම ස්වේච්ඡා සේවා සංවිධානය වන සර්වෝදය ආරම්භකයා වන ඔහුට 1969 ප්‍රජා නායකත්වය පිළිබඳ මැග්සායිසායි ත්‍යාගය පිරිනැමුණා. එවකට 38 හැවිරිදි ඔහු ලද මුල්ම ජාත්‍යන්තර සම්මානය වූයේත් එයයි. “ශ්‍රමදානය හා ස්වේච්ඡා ක්‍රියාකාරීත්වය මත පදනම් වුණු, මානවයන්ගේ සම්පූර්ණ විභවය උදා කිරීමේ දැක්මකින් යුතු සර්වෝදය ශ්‍රමදාන සංගමය අරඹා එයට නායකත්වය දීම උදෙසා” ඔහු එසේ පිළිගැනීමට ලක් වුණා. සර්වෝදය මෙතෙක් ආ දිගු ගමනේ සුවිශේෂී තැනක් මේ ත්‍යාගය ලැබීම සනිටුහන් කළ බව පසු කලෙක ආචාර්ය ආරියරත්න කීවා.

x එච් ජෝසෆ් ෆර්නැන්ඩස් සහෝදරතුමා (1914-1995): ප්‍රංශයේ උපන්, එහෙත් දිගු කලක් ශ්‍රී ලංකාවේ සමාජ සේවයට කැප වූ චරිතයක්. වරප්‍රසාද අඩු පවුල්වලින් පැවතෙන තරුණයන්ට වෘත්තීය කුසලතා පුහුණුව ලබාදීමේ අරමුණින් ඔහු 1962 දී රාගම ප්‍රදේශයේ දියගල ළමා ගම්මානය ඇරැඹුවා. ඔහු එවකට කඳානේ ඩි මැසිනඞ් විදුහලේ විදුහල්පතිවරයායි. පාසල් අධ්‍යාපනයෙන් වසර 10-12ක් පමණ කැඳවා ගෙන ගොස් ඉනික්බිති අතරමං කර දමන තරුණ තරුණියන් ලක්‍ෂ ගණනකට වෘත්තීය පුහුණුව දීමේ වැදගත්කම මුලින්ම අවබෝධ කර ගත් අයෙක්. 1976 වසරේ මහජන සේවා මැග්සායිසායි ත්‍යාගය ඔහුට පිරිනැමුණේ දියගල ළමා ගම්මානය Diyagala Boys Town ඇරඹීම හා ගොඩ නැඟීම වෙනුවෙන්.

x ලොකුකංකානම්ගේ තෝමස් පිරීස් (එල්.ටී.පී) මංජු ශ්‍රී (1902-1982): 20 වන සියවසේ මෙරට බිහි වූ දක්‍ෂතම චිත්‍රශිල්පියෙක්. 1932-34 ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ උගත් ඔහු, මෙරට චිත්‍රශිල්පී ප්‍රවීණයන් එකතු වී හදා ගත් 43 කණ්ඩායමේ ආරම්භකයෙක් වුණා. ඔහුගේ දැවැන්තම ව්‍යාපෘතිය වූයේ රට පුරා වෙහෙර විහාරවල හමු වන බිතුසිතුවම් පිටපත් කර ඒවා සංරක්‍ෂණය කිරීමයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාදයන් රැක ගැනීමේ මෙහෙවරට ප්‍රණාමයක් ලෙස 1979 මැග්සායිසායි මාධ්‍ය/කලා ත්‍යාගය ඔහුට ලැබුණා

x මර්සලීන් ජයකොඩි පියතුමා (1902-1998): කතෝලික පූජකයකු වන අතර ගීත රචකයෙක්, සංගීතඥයෙක් හා ලේඛකයෙක් ලෙස කලා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවකර ඉටු කළ ඔහු මෙරට සංස්කෘතීන් අතර මාහැඟි පාලමක් වූවා. ගීත දහසකට වඩා රචනා කළ ඔහු, බටහිර සම්ප්‍රදායන් ප්‍රගුණ කරමින් සිටි කතෝලික පල්ලිය වඩාත් දේශීයකරණය කිරීමට මුල් වුණා. “ලක් සමාජය ආධ්‍යාත්මික හා සංස්කෘතික වශයෙන් පෝෂණය කරන අතරම නිර්මාණ ක්‍ෂේත්‍රයේ විවිධ දස්කම් පෑම සඳහා” එතුමාට 1983 මැග්සායිසායි මාධ්‍ය/කලා ත්‍යාගය පිරි නැමුණා.
x මහාචාර්ය එදිරිවීර සරච්චන්‍ද්‍ර (1914-1996): දෙස් විදෙස් කීර්තියට වැඩිපුරම පාත්‍ර වූයේ ජන නැටුම් පාදක කර ගෙන මෙරට නාට්‍ය කලාවට නව මානයක් හඳුන්වා දීම නිසායි. එයට සමාන්තරව ඔහු නවකථා රචකයෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක් හා දක්‍ෂ සරසවි ඇදුරෙක් ද වූවා. ඔහුට 1988 වසරේ මාධ්‍ය හා නිර්මාණාත්මක කලා මැග්සායිසායි ත්‍යාගය පිරිනැමුණේ කලා ක්‍ෂේත්‍රයට ජීවිත කාලයක් පුරා ලබා දුන් විශිෂ්ට සේවයට. හේතු පාඨයේ විශේෂයෙන් සඳහන් වූයේ ඔහු “සාම්ප්‍රදායික සිංහල ජන කලා ආභාසය ලබා එයින් නූතන නාට්‍ය කලාවක් බිහි කිරීම හරහා ලක් සමාජයට සිය සංස්කෘතික උරුමය සිහිපත් කර දුන්” බවයි.

x වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙස උපන් මොරටුව තරුණයකු සංගීතයට හපන්කම් දැක්වූ නිසා ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඬේ ඇකඩමියට යැවීමට ලංකාදීප පත්‍රය මුල් වී සම්මාදම් එකතු කරනු ලැබුවා. 1958 සිය රට ආවේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව හැටියටයි. ඒ නම යෝජනා කළේ මහාචාර්ය සරච්චන්‍ද්‍රයන්ග 2001දී මැග්සායිසායි ත්‍යාගය ලැබූ අමරදේවයන් (1927 -2016) සංගීත විශාරදයෙක්, ගායකයෙක් හා වාදකයෙක් ලෙස දශක ගණනාවක් ලබා දුන් දායකත්වය සැවොම දන්නවා. ත්‍යාග හේතු පාඨයේ කියවුණේ දේශීය සංගීත උරුමයක් සොයා නිර්මාණාත්මක ගවේෂණයන්හි නිරතවුණු අසහාය සංගීතවේදියකු වූ බවයි.

x ෂන්මුගම් මහත්මියට පෙර අවසන් වරට මැග්සායිසායි ත්‍යාගයක් මෙරටට ලැබුණේ 2008දී. ඒ වසරේ නැගී එන ආසියානු නායකත්වය සඳහා ත්‍යාගය ආනන්ද ගලප්පත්තිට හිමි වුණා. ඔහු වෛද්‍ය මානව විද්‍යාඥයෙක් (medical anthropologist)’. බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ මනෝවිද්‍යාව හැදෑරූ ඔහු, සිය රටට පැමිණ සිවිල් යුද්ධයේත් 2004 සුනාමියේත් මානසික බලපෑම්වලට වෘත්තීයමය හා සානුකම්පිත ප්‍රතිචාර දැක්වීමට සිය ජීවිතය කැප කර සිටිනවා. 2005 සිට ඔහු ජීවත්වන්නේ මඩකළපුවේ. මැන්ග්‍රෝව් නම් ස්වේච්ඡා සංවිධානයේ සම්බන්ධීකාරකයා ලෙස මනෝවිද්‍යා උපදේශනය නොමිලයේ ලබා දීමත්, ඒ ගැන සංවේදිව පර්යේෂණ කිරීමත් කරනවා. 2008 මැග්සායිසායි ත්‍යාග හේතු පාඨයේ කියැවුණේ ඔහු මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක සේවාවන් ලෙහෙසියෙන් නොලැබෙන දුෂ්කර පෙදෙසක පදිංචි වී, එම සේවා ඉතා අවශ්‍ය ජන පිරිසකට ලබා දීමට ඇප කැප වී සිටින බවයි.

මැග්සායිසායි ත්‍යාගලාභීන් තෝරන්නේ එම පදනමේ භාරකරුවන්. ඒ සඳහා නාමයෝජනා ආසියාව පුරා රටවල සිටින විද්වතුන් හා මාධ්‍යවේදීන් හරහා ලබා ගන්නවා. නාමයෝජිත චරිතවල තතු සෙවීමට පදනමේ නියෝජිතයන් රටරටවල අප්‍රකට ලෙස සංචාරය කරනවා. නාමයෝජිතයන්ට ඒ බව දැනුම් නොදී, ඔවුන් වක්‍රාකාරයෙන් මුණ ගැසී තොරතුරු එකතු කරනවා. යොදා ගන්නා එක් උපක්‍රමයක් නම් පිලිපීන මාධ්‍යවේදීන් මේ සඳහා එවීමයි. වසර 59ක් පුරා මේ කාර්යය දිගටම පවත්වා ගෙනඒමත් ප්‍රශංසනීයයි.

මේ කාලය තුළ ආසියාවේ වෙනත් රටවලින් ද කලාපීය හෝ ජාත්‍යන්තර මට්ටමේ ත්‍යාග පිරිනැමීමේ උත්සාහයන් කෙරුණා. එහෙත් මුදල් තිබූ පළියට ලොව පිළිගත් ත්‍යාග ක්‍රමවේදයක් පවත්වා ගෙන යන්නට බැහැ. එයට විශ්වසනීයත්වයක් අවශ්‍යයි.
මහත් වෙර වෑයමින් මැග්සායිසායි පදනම ගොඩ නගා ගෙන ඇත්තේ එයයි.
එසේම ත්‍යාගලාභීන් සමඟ විටින්විට සන්නිවේදන පවත්වා ගැනීමත් කරනවා. අලුත් නාමයෝජනා ගැන එරටේ ජීවත්ව සිටින ත්‍යාගලාභිී අදහස් විමසනු ලබනවා.

මැග්සායිසායි ත්‍යාගයට පාත්‍රවීමට සියලු සුදුසුකම් සපුරාගත් තවත් ලාංකිකයන් කිහිපදෙනකු මගේ සිහියට එනවා. එයින් කී දෙනකුට එය සැබැවින්ම හිමිවේද යන්න අනාගතය තීරණය කරාවි.■
වැඩි විස්තර සඳහා පදනමේ නිල වෙබ් අඩවි http://rmaward.asia