රාවය

විජයදාස ඉවත්කිරීම විසඳුම නොවේ

විජයදාස ඉවත්කිරීම විසඳුම නොවේ

සිරි ගමගේ

ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගිත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය නැමැති මාතෘකාව පැමිණ තිබේ. 2015 මැතිවරණ වේදිකාවල ප්‍රධාන වශයෙන් රැව්දුන්නේ, දූෂණය සහ දූෂණ-විරෝධයට අදාළ මාතෘකා ය. මැතිවරණයට කලින් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන මාතෘකා වුණේ ද ඒවාම ය. පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා හෝ නාමකරණයෙන් පත්කර ගන්නා දේශපාලනඥයන් සම්බන්ධයෙන් වන වගවීම අඩු වන තරමට සහ යුක්ති ධාර්මික ක්‍රියාදාමය අනවශ්‍ය ලෙස සුනංගු වන විට, ජාතික වශයෙන් සහ ප්‍රාදේශීය වශයෙන් බොහොමයක් දෙනා යුක්තිය පතා යන්නේ අධිකරණ වෙත නොව, දෙවි දේවතාවුන් වැනි මිථ්‍යාවන් පසුපස ය.
පවතින පාලන ක්‍රමය විසින් තමන් වෙත දායාද කරන ලද නිශේධනීය අත්දැකීම් අනුසාරයෙන් උපන් ජනතා හැඟීම් ප්‍රකාශයට පත්කිරීම සඳහා පසුගිය මැතිවරණය හරහා අවස්ථාවක් සැලසීම වූ කලි, ජනතාවට ලැබුණු මහත් වූ භාග්‍යයකි. රටේ මෙන්ම ජාතියේත්, අභාග්‍ය සම්පන්න ජනතාවගේත් අවශ්‍යතා වෙනුවෙන් සැබවින් කැප වූ, කැපී පෙනෙන නායකයන් වූ අනගාරික ධර්මපාල සහ ආරියරත්න වැනි පුද්ගලයන් වෙනුවට, වර්ණය පමණක් වෙනස්, ලස්සණ වචන පමණක් ගත්, සති කිහිපයකට පමණක් වීරයන් වන නායක පිරිසකගෙන් තමන් තෝරා ගත් නියෝජිතයන් සමන්විත වූ බව 2015 ජනවාරියේ ජනතාව දැන සිටියේ නැත. ජනතාව තුළ පැසවමින් තිබූ බරපතළ සැකසාංකා, දෙවසරක් ඇවෑමෙන් දැන් සත්‍ය වෙමින් පවතී. පසුගිය මාස කිහිපයේ මාධ්‍ය තුළ මේ තොරතුරු මොනවට වාර්තා කෙරුණි. මේ දේශපාලන නාටකයේ හෙවත් රජවාසල කුමන්ත්‍රණයේ නවතම අංගය වන්නේ, විජයදාස රාජපක්ෂ සම්බන්ධ සිද්ධියයි.

මේ නාටකය හරහා මතු වන අතිශය වැදගත් කාරණය වන්නේ, ඔහු වනාහි, විවිධ පරීක්ෂණ අංශ මගින් අවසන් කළ ලිපිගොනු රාශියක් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී තිබෙන තත්ත්වය තුළ, ඒවා කඩිනම් කිරීමට පියවර නොගැනීම හරහා, පසුගිය රජයේ දූෂිතයන්ගේ ආරක්ෂකයා වූයේ ද, එසේ නැතහොත්, ජනාධිපතිවරයා විසින් අස් කරනු ලැබීමෙන් පසුව ඔහු කී පරිදි, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා වූයේ ද යන්නයි. ඒ කාරණය යථා කාලයේදී ජනතාවගේ සැලකිල්ලට ලක්වනු ඇත. කෙසේ වෙතත්, දූෂණ-විරෝධී සටන්කරුවෙකු පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගෙන්නේ, එසේ කියන තැනැත්තාගේ කෙරුවාව මත පමණක් බව දැනට සටහන් කොට තැබීම සෑහේ. මහජන සුභසිද්ධිය වෙනුවෙන් තමන් මැදිහත්වූ ඇතැම් සිදුවීම් තුළින් රජයේ දේපළ කෙරෙහි සෙතක් සැලසුණු බවට ඔහු ගෙනහැර දක්වන ඇතැම් හේතු කාරණා වැදගත් කොට සැලකිය යුතු වෙතත්, දූෂණ-විරෝධී නඩු විභාග කඩිනම් නොකිරීම වනාහි අධිකරණයට ඇඟිලි නොගැසීමක් වශයෙන් ගෙනහැර පෑමට ඔහු ගන්නා ප්‍රයත්නය විශ්වාස කළ නොහේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොකර සිටීම අපට සැලකීමට සිදුවන්නේ, ‘යහපාලන’ ආණ්ඩුවේ උසස් තැන්වලින් ලත් ආශීර්වාදයකින් කළ දෙයක් වශයෙනි. එසේ නොමැතිව, සමස්ත රටම, අඩු වශයෙන් 62 ලක්ෂයක් ඡන්දදායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් නිරතුරුව ඉල්ලා සිටියදීත්, එවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට වසර දෙකක් තිස්සේම ඔහුට තනියෙන් හැකි වුණේ කෙසේද යන්න ප්‍රශ්නයක් වන්නේය.

ඒ අනුව ගත් විට මේ සමස්ත නාටකයෙන් නිරූපණය වන්නේ, තනි පුද්ගලයෙකුගේ අසමත් භාවයකට වඩා, යහපාලන ආණ්ඩුවේ ජන්ම ව්‍යාධියක් පිළිබඳ කතාවකි. වැඩියත්ම එය පැහැදිලි වන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාව සහ රවී කරුණානායක සිද්ධිය වැනි කරුණු ගැන සලකා බැලීමේදී ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පමණක් නොව, ඕස්ටේ්‍රලියාවේ හෝ ඇමරිකාවේ හෝ පවා දේශපාලනය තුළත් ඇති වන විවිධ අක්‍රමිකතාවන්හි මූලය පුද්ගලයන් මත ලඝු කිරීමේ ප්‍රවණතාවක් දැක ගත හැකිය. එහෙත් පුද්ගල අසමත්භාවයකට වඩා, පවතින ක්‍රමයේ වරදක් නිසා මෙවැනි තත්ත්වයන් ඇති වන බව අප තේරුම් ගත යුතුය. කැබිනට් මණ්ඩලයේ සහායකින් තොරව අධිකරණයේ ස්වාධී නත්වයක් තනි ඇමතිවරයෙකුට කෙසේ නම් ස්ථාපිත කළ හැකි වේද? යුක්තිය කඩිනම් නොකිරීම හෝ අවශ්‍ය පරිද්දෙන් මැදිහත් නොවීම ගැන තනි ඇමතිවරයෙකුට කෙසේ නම් දොස් නගන්නද? ඇමති මණ්ඩලයේ එක්සත්භාවය සහ සාමූහිකත්වය මෙවැනි කරුණු සම්බන්ධයෙන් ද වැදගත් වන්නේය. අමාත්‍ය මණ්ඩලයට හෙවත් විධායකයට ඇත්තෙන්ම යම් වෙනසක් අවශ්‍ය විණි නම්, මීට බොහෝ කලකට පෙර අමාත්‍ය මණ්ඩලය එම තීරණය ගත යුතුව තිබුණි. එසේ විණි නම්, විෂය භාර ඇමතිවරයා එවැනි තීරණයකින් බැඳී සිටිනු ඇත්තේය.
මෙසේ ඡන්දයෙන් තෝරා ගත් හෝ නාමකරණයෙන් පත්කර ගත් හෝ නියෝජිතයන්ගේ දූෂිත ක්‍රියා ශ්‍රී ලංකාව වැනි රටකදී විශේෂ වැදගත්කමක් දරයි. මන්ද යත්, ශ්‍රී ලංකාව වැනි රටක සමස්ත ආර්ථිකය දුවන්නේ ඉහළ පොලී අනුපාතිකයන් මත ලබාගන්නා ලද අධික ණය කන්දරාවක් මත වීම නිසා ය. එසේ ණයට ගත් මුදල්වලින් තොරව කිසි වැදගත් දෙයක් කිරීමට හැකියාවක් නැති තත්ත්වයකට ලංකාව පත්ව තිබේ. මෙය, අපට වැළඳී ඇති නූතන රෝගයක් මෙනි. දේශප්‍රේමී ජාතියක දේහ ලක්ෂණයක් මෙනි. එහෙත් එසේ ණයට ගන්නා මුදල්වලට සහ බදු මාර්ගයෙන් උපයා ගන්නා මුදල්වලට වෙන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඒ මුදල්වලින් සැබෑ වැඩවලට සහ ව්‍යාපෘතිවලට ඇත්ත වශයෙන්ම කොපමණ මුදලක් වැය වන්නේ ද, එම මුදල්වලින් කොපමණ ප්‍රමාණයක් උපදේශන සේවා සඳහා වැය කරන්නේ ද යන ප්‍රශ්න, මේ ගැන සැලකිලිමත් වන සහ දැනුම් තේරුම් ඇති කොටස් අතරේ නිතර කතාබහට ලක්වෙයි.

පොලිය සහ ණය මුදල් ආපසු ගෙවීම දුෂ්කර වන විට, විදෙස්වලට රටේ පොදු දේපළ විකිණීමට හෝ බදු දීමට සිදු වෙයි. ණය උගුලේ සිර වී සිටින රටක් වශයෙන්, මේ වන විට ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටී. එසේ වෙතත්, දේශපාලන සංස්කෘතිය නොවෙනස්ව පෙර පරිදිම පවතින නිසා, තමන්ගේ වාසිය තකන, තමන්ගේ පවුල් තර කර ගැනීමටම පේ වී සිටින දේශපාලනඥයන් සහ නිලධාරීන් ද, ඔවුන්ට සහාය වන කළමනාකාර පංති ද නිසා, රට කැරැවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මන්ද යත්, එම තත්ත්වය මත, ඉතා වියදම්කාරී සහ නාස්තිකාරී පුරුදුවලට ඇබ්බැහිව සිටින දේශපාලනික සහ කළමනාකාර පංතියකට සේවය කිරීම සඳහා සමස්ත ක්‍රමය සකස්ව ඇති බැවිනි. විටෙක මේ පුරුද්ද, දූෂණයට නෑකම් කියයි. ඊට අනිත් පැත්තෙන්, සමාජයීය වශයෙන් යුක්ති සහගත වූත්, ආර්ථික වශයෙන් සහ සුභසාධනමය වශයෙන් කාර්යක්ෂම වූත්, යහපාලනයක් ඉල්ලා සිටින බහුතර ජනකායකගේ අවශ්‍යතා තිබේ. ජාත්‍යන්තර වශයෙන් ණය උගුලක සිර වී සිටින ආණ්ඩුවකට මේ දෙපාර්ශ්වයේම කාර්යයන් එක විට ඉෂ්ට කළ නොහේ. එක පැත්තක අවශ්‍යතා වෙනුවෙන් වැඩියෙන් පේ වෙන විට (සුඛෝපභෝගී රථවාහන), අනිත් පැත්තේ අවශ්‍යතා පස්සට යයි. ඒ දෙපැත්ත තුලනය කර ගැනීම පහසු නැත. දේශපාලනික බලවේග විසින් බැඳ දමන ලද ජනාධිපතිවරයකුට, ඔහු මොන තරම් ජනහිතකාමී වුවත් ඒ කාර්යය කළ නොහේ. එවැනි තත්ත්වයක් තුළ ලංකාව අද පත්ව ඇති තත්ත්වය, සිංහල කියමනකින් විස්තර කළොත්, ‘ගෙදර ගියොත් අඹු නසී- මග සිටියොත් තෝ නසී’ වැනි දෙයකි.

වර්තමාන ණය උගුලෙන් නිදහස් වීමට නම්, දූෂණවලට සම්බන්ධ නඩු විභාගවලට යොමු වීම සහ යම් ඇමතිවරයෙකු හෝ දෙන්නෙකු තාවකාලිකව ඉවත් කිරීමට එහා වන වැඩ පිළිවෙළකට යා යුත්තේය. රෝග නිදානයට ආමන්ත්‍රණය කෙරෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඒ වෙනුවෙන් මුලින්ම සකසා ගත යුතුව ඇත. ඒ සමගම, විදේශ ව්‍යාපෘති සඳහා වන මුදල් මතම පරායත්ත වීම පිටුදකින ආකාරයේ ජාතික සමාජ උපාය මාර්ගයක් සකසා ගත යුතුව ඇත. 50 සහ 60 දශකයේ මා දකුණේ පිටිසරක පාසල් යන ශිෂ්‍යයෙකුව සිටි අවධියේ, වතුර සඳහා ළිං කැපීම, පාරවල් තැනීම සහ පන්සල් තැනීම ආදි කටයුතු සඳහා ශ්‍රමදාන පැවතියේය. ඒ පුරුද්ද නැවත භාවිතයට ගත යුතුව තිබේ. අඩු වශයෙන් මධ්‍යම අධිවේගයේ එක කොටසක්වත්, දේශීය නිපුණතාවන් සහ දේශීය ධන ආයෝජනය සමග ශ්‍රමදානයත් මුසු කරගෙන කළ නොහැක්කේ ඇයි? මේ සියල්ලටමත් වඩා, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව මේ කිසිවක් සාර්ථක කර ගැනීමේ හැකියාවක් නැති බවත් අප තේරුම් ගත යුතුය. (එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට කලින් සරත් ෆොන්සේකා මේ බව බොහෝ විට අවධාරණය කොට ඇත). දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් මහජන සේසත ගසාකෑමට කලින් එය වැළැක්වීම, එසේ ගසාකෑමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට තැතනීමට වඩා ප්‍රයෝජනවත් වන්නේ, විශේෂයෙන්ම එවැන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඉහත පැහැදිලි කළ සෝමාරිකම නිසා ය. මෙහිදී, නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නයත් අප ඉදිරියේ දිග හැරේ. මෙය, පසුගිය වසර 70 ක කාලය තිස්සේ අපේ අවධානයෙන් මගහැරී ගොස් ඇති තවත් ප්‍රශ්නයකි.

විජයදාස රාජපක්ෂ ඉවත් කරනු ලැබූ ආකාරය බොහෝ දෙනාගේ නොමඳ සතුටට හේතුවක් වෙතත්, එය, මේ ජාතික උභතෝ කෝටිකයේ ආරම්භයවත් අවසානයවත් නොවන්f න්ය. දේශපාලනය තුළ දක්නට ලැබෙන මෙවැනි විචිත්‍ර ක්‍රියාවන් හරහා රටේ ඡන්දදායකයා තුළ අනේක සොම්නස් තාවකාලිකව ඇති කළ හැකි වෙතත්, එම විචිත්‍ර දර්ශනය අවසන් වීමෙන් පසු පරණ නාටකයම දිගටම රංගගත කෙරේ. එබැවින් අද අප මුහුණදෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩඒම සඳහා ඊට වඩා සංකීර්ණ විසඳුම් අවශ්‍ය කෙරේ. සමාජයේ දැනුවත් කොටස් විසින් යම් ක්‍රමවත් ආකාරයකින් ඒ ගැන අවධානය යොමු කොට, ප්‍රශ්නයේ ප්‍රතිවිපාකවලට එරෙහිව නැගී සිටින ගැම්මෙන්ම ප්‍රශ්නයේ හේතු මූලයන් දුරලීම සඳහාත් අවශ්‍ය විසඳුම් සොයාගත යුතුව ඇත්තේය. තව සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුළත විජයදාස රාජපක්ෂ නැවතත් දේශපාලනික කරලියට පැමිණෙනු ඇත. එහෙත් සමාජයේ අතලොස්සකගේ මිස බහුතරයේ සුභසිද්ධිය තකා යමක් නොකෙරෙන ක්‍රමයක් තුළ, නැති බැරි එකා එදාටත් මේ අරගලයේම නිරත වනු ඇත.■
(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)