රාවය

ගබ්සා කළ යුත්තේ කාදිනල්ට වුවමනා විදියටද?

ගබ්සා කළ යුත්තේ කාදිනල්ට වුවමනා විදියටද?

කේ ඩබ්ලිව් ජනරංජන

වෛද්‍ය විශේෂඥයන්ගෙන් ඉදිරිපත් වී තිබෙන යෝජනාව පිළිගනිමින් ඇමති මණ්ඩලය වහාම ගබ්සාවට අදාළ නීතිය ලිහිල් කරන සංශෝධන අනුමත කළ යුතුය. ගබ්සාව ගැන තීන්දු ගන්නට විශේෂඥ වෛiවරුන් හැර අන් සුදුස්සෝ නැත. ඉන්පසු ආණ්ඩුව ගබ්සාව පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ ඇති විධිවිධාන ලිහිල් කරන එම නීති සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුය. ඒ ගබ්සාවට තිබිය යුතු අවම ඉඩකඩවත් නැති අපේ නීතිය පුළුල් කොට පීඩාවට පත්වන කාන්තාවන්ට සහන සැලසීමට පමණක් නොවේ. කතෝලික සභාවේ උද්දච්චකමද නැති කිරීමටය.
ත්‍රෛනිකායික නායක භික්‍ෂූන් සිතාගෙන සිටින්නේ ඔවුන්ගේ ආචීර්ණ කල්පික වුවමනාවන්ට අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් නීති ගෙනඒම හෝ නොඒම තීරණය කළ යුතු බවය. මැල්කම් රංජිත් කාදිනල්ද සිතාගෙන සිටින්නේ, ආචීර්ණ කල්පික කතෝලික සභාවට ඕනෑ ඕනෑ විදියට මේ රටේ සාමාන්‍ය නීති සැදිය යුතු බවය. මේ පූජ්‍යයන්ට හා පූජකයන්ට ඕනෑ ඕනෑ විදියට රටේ නීති හදන්නට, ගලවන්නට පිළිවන් නම් රටේ පරමාධිපත්‍යය හිමි සාමාන්‍ය මහජනතාවක් සිටිය යුතු නැත.

ගබ්සා නීතිය පුළුල් කළ යුතුයැ’යි ඊයේ පෙරේදා යළි කීවෝ වෛද්‍ය විශේෂඥවරුය. අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් ගබ්සාවට ඉඩ දිය යුතුයැයි ඔවුහු කියති. පළමුවැන්න, කාන්තාවකගේ කුසෙහි මාරාන්තික ලෙස විකෘතිවී ඇති කළලයක් පිළිසිඳ ගත් විටය. දෙවැන්න, දූෂණයකට හෝ ලිංගික අතවරයකට හෝ ලක්වීමේ ප්‍රතිඵලයක් හැටියට කාන්තාවක ගැබ්ගත් විටය. මේ අවස්ථා දෙකෙහිදීත් ගබ්සාවට ඉඩ දිය යුත්තේ විශේෂඥ වෛiවරුන් දෙදෙනකුගේ නිර්දේශය ඇතිවිට පමණක් බවත්, කෙසේ වෙතත් එවැනි දරුගැබක් පවා අවසන් කරනවාද යන්න තීරණය කිරීමේ අවසන් අයිතිය මවට ලබාදිය යුතු බවත් දැනට යෝජනාවී ඇති විධිවිධාන අතර වෙයි. පොදුවේ මිනිස් අයිතිවාසිකම් ගැනත්, විශේෂයෙන් කාන්තාවන්ගේ ප්‍රජනන අයිතිවාසිකම් ගැනත් සලකන විට මේ අවස්ථා දෙකෙහිදීවත් ගබ්සාවකට ඉඩ නොදෙන්නේ නම්, ඊට එරෙහිවන්නේ නම්, එවැනි රටක් ශිෂ්ට රටක් ලෙස සැලකිය හැකිද?

ලංකාවේ ගබ්සාව සම්බන්ධ නීතිය ඉතා දැඩිය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ, කළලයෙන් මවගේ ජීවිතයට හානියක් වන විටෙකදී පමණි. එහෙත්, ලංකාවේ දිනකට සිදුවන ගබ්සා ප්‍රමාණය 750ත් 1000ත් අතර වේයැයි ඒ පිළිබඳ පර්යේෂණ කියයි. මේ සියල්ලම, ඉහත නීතියේ පරිදි මවගේ ජීවිතයට හානිවන කළල නිසා කරන ගබ්සාවන් නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අනෙක් වැදගත් කරුණ, මේ ගබ්සා වැඩි ප්‍රමාණයක් කරගන්නේ විවාහක කාන්තාවන් විසින් බව වාර්තා වීමයි. ඒ ඔවුන් අනාචාරයේ හැසිරීම නිසා පිළිසිඳ ගත් කළල විනාශ කරගැනීමට නම් නොවේ. තම නීත්‍යනුකූල විවාහය තුළ පිළිසිඳ ගත් දරුවකු බිහිකිරීම, ආර්ථික හෝ වෙනත් විවිධාකාර හේතු මත පවුලට දැරිය නොහැකි බරක් වන නිසාය. ගබ්සාව සඳහා ඇති මේ විශාල හා සාධාරණ ඉල්ලීම අපේ නීතියේ සීමිත රාමුව තුළ තෘප්ත කළ නොහැකි නිසා, ඔවුනට යෑමට සිදුවන්නේ පෞද්ගලික අංශයේ රෝහල් වෙතය. ඒවායේ ගබ්සාවක් සඳහා අය කෙරෙන මිල අධිකය. ඒ මිල ගෙවාගත නොහැකි කාන්තාවන්ට යන්නට ඇත්තේ නීති විරෝධී, නුසුදුසු පුද්ගලයන් විසින් අඩු මිලක් අයකර කරන, කිසිම සනීපාරක්‍ෂක පහසුකමක් නැති, ගබ්සා තිප්පොලවල් වෙතය. වැඩුණු කළලයක් විනාශ කිරීම සඳහා ඒවායේදී යොදාගන්නා ක්‍රමය වන්නේ, ලිංගේන්ද්‍රියෙන් ස්ත්‍රී සිරුරට ඇතුළු කරන තියුණු ආයුධයක් මගින් කලලය කුඩා කුඩා කැබලිවලට කඩා, කපා, ලිංගේන්ද්‍රියෙන්ම එම කොටස් පිටතට ගැනීමය. මේ වෑයම අවසන් වන්නේ සමහර විට අදාළ කාන්තාව අධික ලෙස රුධිරය වහනය වීමකට භාජනය වී මරණයට පත්වීමෙනි. නැතිනම් තවත් දරුගැබක් දැරිය නොහැකි වන පරිදි ගර්භාෂය විනාශ වීමෙනි. නැතිනම් වෙනත් ශාරීරික හානියකට භාජනය වීමෙනි. මේ විනාශයට මුහුණ දී අධික රුධිර වහනය සහිතව රජයේ රෝහලකට ඇතුළු කරන විටය, කාන්තාවට අත්වන ඉරණම ගැන මාධ්‍යවල වාර්තා වන්නේ.

තම විවාහය තුළ පිළිසිඳගන්නා කළලයක් හදාවඩා ගත නොහැකි නිසා ගබ්සා කරගැනීමට කාන්තාවට නීතිමය අයිතිය ලැබෙන තත්ත්වයක් මේ කපේදී ලංකාවේ උදාවන්නේ නැත. මේ යන විදියට, කාන්තාවගේ ප්‍රජනන අයිතියට ඒ සා ගරුකරන සමාජයක් ලංකාවේ හැදෙන්නට තවත් කල්ප කීයක් බලාසිටින්නට වේදැයි නොදන්නා නිසාය.

පසුගිය කාලයේ ඉදිරිපත්වී ඇත්තේ ඊට වඩා ඉතාමත් පටු පරාසයක සංශෝධනයන්ය. ඉන් ප්‍රමුඛ වන්නේ, ස්ත්‍රී දූෂණයකට ලක්වීමේ ප්‍රතිඵලයක් හැටියට කළලයක් පිළිසිඳ ගත් විට එය ගබ්සා කිරිමට අවස්ථාව දීමයි. එවැනි අවස්ථාවකදී කාන්තාවගේ හෝ ගැහැනු දරුවකුගේ හෝ කුසේ පිළිසිඳගෙන ඇත්තේ තමා දූෂණය කළ පුද්ගලයාගේ දරුවකු වන විට, තම කුසේ සිටින කළලය ගැන එම කාන්තාවගේ හැඟීම කුමක් විය හැකිද යන්න අලුතෙන් කිවයුතු නැත. දරුවා බිහිවුණු පසු, කාන්තාව දරුවා කෙරෙහි දක්වන ආකල්පය කුමක් වනු ඇද්ද? ඒ අතවරය සිදුවී ඇත්තේ පියා, බාප්පා, මාමා වැනි තමාගේ ළඟම ඤාතියකු අතින් නම්? හෙවත් ව්‍යභිචාරයක් සිදුවී ඇත්නම්? එවැනි කම්පනය වන සුලු අවස්ථාවකදීත් අප එම කාන්තාව දරුවා වැදිය යුතුයැ’යි, හැදිය යුතුයැ’යි කියනවා නම්?

මාරාන්තික ලෙස විකෘතිවුණු කළලයක් කුස පිළිසිඳගත් අවස්ථාවද ඒ තරම්ම කම්පනයක් ගෙනදෙන සුලුය. එවැනි දරුවන් බිහිවුණු පවුල්වල කාන්තාවන් විඳින දුක, පීඩාව කෙතරම්ද? කාන්තාවද ඇතුළු පවුලේ අනෙක් සියලුම සාමාජිකයන්ගේ පහසුව, මේ එක් අසම්පූර්ණ ජීවියකු වෙනුවෙන් ගතකරන්නටයැයි බලකිරීමට අන් අයට ඇති අයිතිය කුමක්ද?
1995 දී, අවස්ථා තුනක් යටයතේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් එවකට තිබුණු රජය විසින් සකසන ලදි. දූෂණයට ලක්වී ගැබ්ගත් විට, ව්‍යභිචාරයට හෙවත් ළඟම ඤාතියකු නිසා ගැබ්ගත් විට හා විපරීත කළලයක් ඇතිවුණු විට වත්, නිසි වෛi අධීක්‍ෂණය යටතේ ගබ්සා කිරීමට ඉඩ දිය යුතුයැයි ඒ අවස්ථාවේදී යෝජනා විය. එහෙත්, කතෝලික පල්ලියත්, මුස්ලිම් පල්ලියත්, ඒ ආගම්වලට අයත් මන්ත්‍රීන් ඇමතිවරුන් අකමැති වීම නිසා සංශෝධනය හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

අදත් සාධාරණව හා සීමා සහිතව හෝ ගබ්සා නීතිය ඉතා සුළු ප්‍රමාණයක් ලිහිල් කරන්නට හදන විටද, පරණ තර්ජනය කරමින් මැද්දට පැන ඇත්තේ කාදිනල්වරයා ඇතුළු කතෝලික සභාවත් කතෝලික රදගුරු සම්මේලනයත්ය. කාදිනල් මැල්කම් රංජිත් පසුගියදා කිව්වේ, කුමන හේතුවක් මත වුණත් තමන් ඇතුළු කතෝලික සභාව ගබ්සාවට ඉඩදීමට විරුද්ධ බවයි. ‘කලින් රජයත් උත්සාහ කළා ගබ්සා නීතිය පුළුල් කරන්න. මේ ආණ්ඩුවෙත් තැනින් තැන අහන්න ලැබෙනවා ගබ්සා නීතිය පුළුල් කරන හඬක්.’ ඔහු කිව්වේය. කාදිනල්වරයාගේ මේ අදහසේ ගැබ්වී ඇත්තේ තර්ජනයකි. එයින් කියැවෙන්නේ, ‘කලින් ආණ්ඩුවත් උත්සාහ කළා. අපි විරුද්ධ නිසා කරගන්න බැරිවුණා. අදත් අපි විරුද්ධයි. ඒ නිසා මේ ආණ්ඩුවටත් එය බැරිවේවි. හොඳයි කරලා බලමුකෝ’ය කියන ආකාරයේ තර්ජනයකි. ආණ්ඩුව මේ අභියෝගය භාරගත යුතුය. භාරගෙන ගබ්සාව පුළුල් කිරීමේ සංශෝධනය ඇමති මණ්ඩලයේදීද පාර්ලිමේන්තුවේදීද සම්මත කොට ඒ අභියෝගය කරන කතෝලික සභාවට, ඔවුන්ගේ නොහැකියාව ඔප්පු කර පෙන්විය යුතුය.

ගබ්සාවට එරෙහිව කාදිනල්වරයා දක්වන ආගමික හේතු ගැන අප කතා කළයුතු නැත. ආගමික විශ්වාසවලට තර්ක නැති නිසාය. එහෙත්, ඊට අමතරව ඔහු දක්වන එක් ළාමක තර්කයක්ද තිබේ. එනම්, බටහිර ධනවාදී රටවලට ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල ජනගහනය පාලනය කිරීමේ වුවමනාවක් තිබෙන බවත්, ගබ්සාව පිළිබඳ මේ සංශෝධන එන්නේ ඒ සඳහා බවත්ය. ‘සමහර ධනවාදී රටවල්වල මිනිස්සු අනිත් අයට කියනවා ලෝකයේ ජනගහනය බොහොම වැඩිය අඩුකරන්න කියලා. 3 වැනි ලෝකයේ රටවල දරුවන් ප්‍රමාණය අඩුකරන්න අපි මුදල් දෙනවා කියනවා. එන්ජීඕ අයට මුදල් දෙනවා මේ ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙනයන්න. යුරෝපාකරයේ සුදු මිනිසුන්ට ආත්මාර්ථකාමී වෙන්න අපේ දරුවන් බිලි දෙන්නට බැහැ.’ මේ කාදිනල්වරයාට, අඩු ගණනේ ලංකාවටත් පරිවාරයේ අනෙක් රටවලටත් කතෝලික ආගම පැමිණියේ කොහොමද කියාවත් සිහිබුද්ධියක් තිබුණා නම්, මෙවැනි අමනොඥ තර්ක ඉදිරිපත් කරන්නට පෙර දෙවරක් හිතනවා නොඅනුමානය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු කාලයේද කතෝලික සභාව මේ තර්ජනයම වෙනත් විධියකින් කළේය. කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය හා පවුල් සංවිධානය ගැන වැඩකරන ලෝක ප්‍රකට මාරි ස්ටෝප්ස් නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ ලංකාවේ ශාඛාව, ඉහත දැක්වුණු ආකාරයෙන් ලංකාවේ නීතිය යටතට නොවැටෙන, එහෙත් ගබ්සා කරගැනීමේ සාධාරණ හේතු ඇති කාන්තාවන්ට ඒ සඳහා ඉහළ තත්ත්වයේ වෛi පහසුකම් සපයන සේවාවක් පසුගිය කාලයේ පවත්වාගෙන ගියේය. ආරක්‍ෂිතව ගබ්සාවක් කරගෙන සිය ජීවිතය බේරාගැනීමේ හැකියාව මේ වෛi මධ්‍යස්ථානය නිසා ලංකාවේ සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ට ලැබී තිබුණි. කතෝලික සභාව, එවකට ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂගේ කතෝලික භක්තිය හරහා රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බලපෑම් කොට මේ මධ්‍යස්ථානය වසාදැමීමට වැඩ කළේය.

ගබ්සාව යහපත් දෙයක් හැටියට කිසි කෙනකු සලකන්නේ නැත. එහෙත්, විවිධාකාර හේතු නිසා ගබ්සාවට ඉඩ දීමට සිදුවෙයි. ලංකාවේ නීතිය හැටියට මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවේදී කළලය ගබ්සා කිරීමට ඉඩදීම ඉන් එකකි. එය ලංකාවට දණ්ඩ නීති සංග්‍රහය ගෙන ආ ඉංග්‍රීසීන්ගෙන්ම අපට ලැබුණු අවස්ථාවකි. දැන් ගෙන එන්නට හදන සංශෝධනයද කිසිසේත් සෑහීමට පත්විය නොහැකි, නමුත් අඩුගණනේ ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි, අත්‍යවශ්‍ය, කල් පමා වූ එකකි. ලෝකයේ බොහෝ රටවල් ගබ්සාවක් කරගැනීමට කාන්තාවට ඇති අයිතිය පිළිගෙන තිබෙන අතර, දරුගැබක් දරනවාද නැද්ද යන්න ගැන තීරකයා අදාළ කාන්තාවම විය යුතු බවට පිළිගන්නා තරමට සිය අයිතිවාසිකම් කතිකාව දියුණු කරගෙන ඇත. අපට ඒ තරම් දියුණු වීමක් ගැන දැන්ම සිතන්නට නොහැකි වුණත්, ගෙන එන්නට යන ඉතාම අඩු මට්ටමේ, අත්‍යවශ්‍ය නීතිමය සංශෝධන පවා, කාදිනල්වරයකුවත්, රටේ ජනගහනයෙන් අතිශය සුළුතරයක් වන පූජකවරුන්වත්, කතෝලික සභාව වැනි ආගමික සංස්ථාවලවත් ඕනෑ එපාකම් අනුව ආපස්සට ගන්නට ඉඩ තැබිය යුතු නැත.■