රාවය

අපි ජනවරමෙන් පැනලා යන්න උත්සාහ කරන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

අපි ජනවරමෙන් පැනලා යන්න උත්සාහ කරන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

තරිඳු උඩුවරගෙදර

දූෂණ චෝදනා ලත් විදුහල්පතිවරුන්ට මාරුවීම් ලබාදීම ඔබ අධ්‍යාපන ඇමති වීමෙන් පසුව ගත් හොඳ පියවරක්. හැබැයි චෝදනාලත් විදුහල්පතිවරුන් එදා හම්බකරපු දේවල් විඳිමින් සුවපහසුවෙන් ඉන්නවා නේද?

දූෂිත විදුහල්පතිවරුන්ට එරෙහිව වැඩ කරද්දී මට ගොඩක් අය පහරදුන්නා. ඒත් මම වැඩ කළා. ඒ අය ඉවත්කරලා අපට ගන්න පුළුවන් පියවර ගත්තා. හැබැයි දඬුවම් දෙන්න මගේ අමාත්‍යාංශයට බලයක් නෑ. රාජ්‍ය සේවා කොමිසමට තමයි ඒ වගේ තීන්දු ගන්න පුළුවන්. අපි වැඩ අත්හිටුවලා, මාරුවීම් දීලා විනය පියවර අරන් තියෙනවා. අපේ වැඬේ අපි කරලා තියෙනවා. අනෙක ඕකේ තව පැත්තක් තියෙනවා. විදුහල්පතිවරුන් කිහිපදෙනයි අපට ඉන්නේ. ඒ අයව පාලනය කරන්න මිසක් ඔක්කෝම ඉවත් කරන්න බෑ. අනෙක සමහර දේවල් වෙනස් කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. මම කරපු ගොඩක් දේවල්වලදී මට පහරකන්න සිද්ධවුණා. විවේචනයට ලක්වෙන්න වුණා.

උදාහරණයක් විදියට කලින් නිල ඇඳුම් බෙදාදීමේදී බොහෝදෙනෙක් ගසාකෑවා. ඒත් සිසුන්ට බාල රෙදි ලැබුණේ. සීයට තිහක් මේ රෙදි පාවිච්චි කළේ නෑ. මේස රෙදිවලට දැම්මා, දැලිකුණු අල්ලන්න ගත්තා. මටත් ඇවිල්ලා මේ නිල ඇඳුම් ජාවාරමට එකතුවෙලා කෝටි විස්සක් විතර අවුරුද්දකට හොයන්න තිබ්බා. හැබැයි මම කළේ නිලඇඳුම් වෙනුවට වවුචර් ගෙනාපු එක. ඒකෙන් විශාල නාස්තියක් නැතිවුණා. ඒත් මට විරුද්ධව ගොඩක් අය ගැහුවා. දැන් හැම වෙළෙන්දාම ඇඳුම අඩුවට දෙන්න, ගුණාත්මකභාවයෙන් යුතුව දෙන්න තරඟ කරනවා. වෘත්තිය සමිති පවා මේකට ගැහුවා. පහුගිය සතියේ රාවයේ ලිපියක් ලියලා තිබුණා පාසැල්වලට පොලිමර් ඩෙස්පුටු දැමීමට විරුද්ධව. ඩෙස්බංකු ගැනීමත් මාෆියාවක්. පරණ මාෆියාව අපව අල්ලන්නත් බැලුවා. අපි බැලුවේ අලුත් ක්‍රම ගෙනෙන්න. පහුගිය කාලේ යකඩ කෑලි නවපු ඩෙස් එකයි බංකුවයි අරන් තිබුණේ රුපියල් නවදහස් ගාණකට. දැන් ගත්තානම් දහදාහකට වැඩියි. අපි ඊට වඩා භාගයටත් අඩු මිලට ලෝකයේ වෙන රටවල්වල තියෙන ලස්සන පොලිමර් මේස පුටු ගේන්න තීරණය කළා. ඒකට අපි පිළිවෙලක් ඇතිව කැබිනට් අනුමැතිය ගත්තා. මේ පුටුවලට අවුරුදු දහයක වගකීමක් තියෙනවා. ඉතින් ඒක කරද්දී පාඩුව වෙන්නෙ පරණ මාෆියාවෙ හිටපු අයට. ඒ අය දැන් අපට ගහන්න ලෑස්තිවෙනවා. රාවයේ වාර්තාව පළවෙන්න ඇත්තේ වැරදි තොරතුරු ලැබුණු නිසා වෙන්න ඇති. මටත් විවිධ ඉහළ නිලධාරීන් පවා කතාකරලා කියන්න ගත්තා පරණ ඩෙස්බංකු හොඳයි කියලා. සමහර අය උත්සාහ කරනවා පරණ මගඩි ඉස්සරහට කරන්න. අපි ඒවාට ඉඩ දෙන්නෙ නෑ.
ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමේ කාලය අවසාන වෙන්න ළඟයි. ශ්‍රීලනිපය පැත්තෙන් හැමවෙලාවෙම කියන්නෙ එජාපයේ කාර්යභාරය ගැන සතුටුවෙන්න බැහැ කියලා. එජාපය පැත්තෙන් පහුගිය අවුරුදු දෙක ගැන හිතන්නේ මොකක්ද?

ඇත්තවශයෙන්ම අපට 2015 ජනාධිපතිවරණය ඉවරවුණ ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා ලොකු ජයග්‍රහණයක් ලබන්න තිබුණා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් එක්කම. එහෙම නැත්නම් 2015 අගෝස්තු මැතිවරණය ඉවරවුණාට පස්සෙ වුණත් තව කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා බොහොම පහසුවෙන් ආණ්ඩුවක් හදන්න තිබුණා. එහෙත් අපි පක්ෂයක් විදියට ඊට වඩා පුළුල්ව කල්පනා කරපු හින්දා තමයි ජාතික ආණ්ඩුවට ආවේ. හැබැයි අපි ජාතික ආණ්ඩුවට පැමිණීමෙන් විශාල ජයග්‍රහණ ලබාගන්න අපට හැකිවුණා. අපේ ආණ්ඩුව කෙරෙහි මීට පෙර බලපු කෝණයෙන් නෙවෙයි බොහෝ අය බැලුවේ. විශේෂයෙන් වෙනත් රටවල් පවා අපි දිහා හොඳ ඇහැකින් බැලුවා. ඉතින් මේ එකඟතාව ඇතුලේ බොහෝ ප්‍රගතිශීලී ජයග්‍රහණ රැසක් ලබාගන්න පුළුවන්කම තිබුණා. ඉදිරියටත් ඒ අවස්ථාව තියෙනවා. අපි එකතුවෙලා බොහෝ දේවල් කළා. කරනවා. නව ව්‍යවස්ථාවක් ගේන එක දැන් අවසාන අවස්ථාවේ තියෙන්නේ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කටයුතු සිද්ධවෙනවා. තොරතුරු ලබාගැනීමේ පනත, කොමිෂන් සභා ආදී සියල්ල ගෙනාවා. ආණ්ඩුව ඉස්සරහට යනවාද, නැද්ද කියලා තීන්දු කරන්නේ පක්ෂ දෙකේ ප්‍රධානීන්. බොරු හේතු හදාගෙන ආණ්ඩුවෙන් ඉවත්වෙන්න උත්සාහ කරන අවස්ථාවාදියෝ ඉන්නවා. එයාලා මේ ආණ්ඩුව එක්ක එකතුවුණෙත් තමන්ගේ යහපත වෙනුවෙන්. සද්පරමාර්ථයෙන් කටයුතු කරන බොහෝ දෙනෙක්ට ඔය තත්ත්වය ඔය විදියට නෙවෙයි, පෙනෙන්නේ. මේ එකතුව බොහෝ දෙනෙක්ට හොඳයි. ඇතුලේ මොන මොන කතිකා තිබුණත් මේ ආණ්ඩුව රටට හොඳයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ අනාගතය ගැන එකඟතාවකින් ඉන්නවා කියලා ඔබ හිතනවාද?

ඒ දෙන්නාගේ ප්‍රශ්නයක් නෑ. ඒ දෙන්නාම හොඳ අවබෝධයෙන් ඉන්නවා මේක යන්න පුළුවන් උපරිම දුර යෑම රටට හොඳයි කියලා. විවිධ අයගේ පෞද්ගලික පරමාර්ථ තියෙනවා තමයි. ඒවා අදාළ නෑ. සමහරවිට කිහිපදෙනෙක් යයි. එහෙමවුණා කියලා ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් නෑ. සමහරු විවිධ ප්‍රකාශ කරනවා වගකීමෙන් තොරව. හැබැයි ඒ ප්‍රකාශයන් පක්ෂයේ ප්‍රකාශ නොවන බව ජනාධිපතිවරයා පවා කියලා තියෙනවා. ඒක ගැන ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ. අරමුණු දෙකක් තිබුණ පක්ෂ දෙකක් රට ඉදිරියට යන්න එක ගමනක් යනවා. එතකොට ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. අපි පහුගිය අවුරුදු දෙක වැඩ කරපු කාලය. අනික රට අභියෝග රැසකට මුහුණදුන් කාලයක් ඒක. ඇත්තටම ඒ කාලය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි කාලයක්. ජනාධිපතිවරණය අවුරුදු දෙකක් ඉස්සරහට දාන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේත් රටේ තිබුණු ණයබර, ජාත්‍යන්තර කොන්වීම් නිසා. ඒ අවුරුදු දෙක රට ගෙනියන්න අමාරුවුණ නිසා. ඉතින් අපි මේක කඩාවැටෙන්න නොදී අනාගතය වෙනුවෙන් පියවර ගනිමින් ඒ අවුරුදු දෙක ආවා. අපි වැටුණේ නෑ. අපි තත්ත්වය වෙනස් කළා. ඊළඟ අවුරුදු දෙකේ තමයි අපි ප්‍රතිඵල ලබන්නේ. දැන් ආයෝජන එන්න පටන්අරන් තියෙනවා. ඉතින් ඒ ප්‍රතිඵල ලැබෙන කාලයේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවාද නැද්ද කියන එක එයාලාගේ තීරණයක්.

ඔබ අලුත් ව්‍යවස්ථාව අන්තිම අදියරේ තියෙනවා කිව්වත් ශ්‍රීලනිපය අලුත් ව්‍යවස්ථාවට බාල්දියක් දාන්න උත්සාහ කරනවා නේද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ඔවුන් විරුද්ධයි නේද?

කොටසක් විරුද්ධ වෙන්න පුලුවන්. ඒත් අපි මැතිවරණ පොරොන්දුවක් දීලා තියෙනවානේ මේක අහෝසි කරන්න. ඒක වෙනුවෙන් පෙනී ඉන්න එක අපේ වගකීම. කොහොම වුණත් ජනතාවක් බලාගෙන ඉන්නවානේ. අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනතාවගේ වරම තියෙනවා.

විසිවෙනි සංශෝධනය දැන් පළාත් සභාවල පරාජය වෙනවා. ආණ්ඩුව කලිනුත් ඡන්ද කල්දැමීමේ චෝදනාවට මුහුණදුන්නා. ඉතින් විසිවෙනි සංශෝධන යෝජනාවෙන් ආණ්ඩුව ආයෙමත් හිරවේවිද?

අපි ඡන්ද කල්දාන්නෙ නෑ. අපි පළාත් පාලන මැතිවරණයත් පවත්වනවා. පළාත් සභා ඡන්ද එකට පවත්වන්නයි අපි උත්සාහ කරන්නේ. දැන් ඒවා මාස කිහිපයක් පස්සට අරන්, ඉදිරියේදී විසිරුවන්න තියෙන ඒවා ඉස්සරහට අරන්තමයි මැතිවරණය තියන්නේ. ඒකෙන් ජනතාවට තියෙන බලපෑමත් අඩු කරනවා. වියදමත් අඩු කරනවා. දූෂිත මැතිවරණ සම්ප්‍රදායක් වෙනස් කරනවා. ඡන්ද තොග සිල්ලරට පැවැත්වීම විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. අපි ඉදිරියේ මැතිවරණ වඩා හොඳ ක්‍රමයක් එක්ක මැතිවරණ පවත්වනවා. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ අරුතක් එකතුකරනවා. අපට ඕනෑ ඡන්ද ඉක්මනින්ම පවත්වන්න. පළාත් පාලන මැතිවරණය ඉවරවුණ ගමන් තියන්න පුලුවන්. අඩුගාණේ දැන් පවත්වන්න නියමිත ඒවා විතරක් හෝ පවත්වන්න පුලුවන්. අපි ජනවරමෙන් පැනලා යන්න උත්සාහ කරන්නෙ නෑ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා සයිටම් අහෝසි කරන්න ජනාධිපතිවරයා එකඟ වුණා කියලා. ආණ්ඩුව සයිටම් සම්බන්ධයෙන් පැවැත්වෙන විරෝධතා ගැන ඉදිරියේදී ගන්නා තීරණය මොකක්ද?

ඔය කට්ටිය විරෝධතා පැවැත්වුවාට වැඩක් නෑ. එයාලාටම හතිවැටෙනකන් කරගෙන ගියාවේ. අපි හොඳ තීන්දු ආපස්සට හරවන්නෙ නෑ පොඩි පිරිසකගේ න්‍යායපත්‍රවලට අහුවෙලා. නිදහස් අධ්‍යාපනය කියන්නේ රටේ ජනතාවට නොමිලේ අධ්‍යාපනය ලබාදීම. ඒකේ කිසිම අඩුවක් වෙලා නැහැ. ඉදිරියටත් අපි ඒක පවත්වගෙන යනවා. අපි කරන්නේ ඒකටත් එහා ගිහින් ගෙවීමක් කරලා අධ්‍යාපනය ලබාගන්න හැකි අයට ඉඩ ලබාදීම. ඉතින් ඒකෙන් නිදහස් අධ්‍යාපනයට හානියක් වෙන්නේ නැහැ.. මේක තවත් පුළුල් කරනවා මිසක් තියෙන අවස්ථා හැකිළීමේ අදහසක් අපට නෑ. හැබැයි ප්‍රමිතියෙන් යුතුව ඒක කරන්න දෙන්න ඕන. රාජපක්ෂලාගේ කාලේ ඕවා ආරම්භ කළේ කිසි ප්‍රමිතියක් නැතිව. දැන් කෑගහන වෛද්‍යවරු ඒ කාල කෑගහන්නෙ නෑ. මම මන්ත්‍රීවරයෙක් විදියට ඒ කාලේ ඕවායේ ප්‍රමිතිය සහ ආරම්භ වුණ විදිය ගැන ප්‍රශ්න කළා. එතකොට ඔය ඒකාබද්ධ කණ්ඩායම අපට පහරදුන්නා. වෛද්‍ය සංගමය සද්ද නැතිව හිටියා. දැන් අපි ලෝකේ වටෙන් ආයෝජන එන පසුබිමක තියෙන ආයතන වහනවානම් විදේශ රටවලින් එන ආයෝජනත් නතරවෙනවා. ඒ නිසා අපි මේවා වහන්නෙ නෑ. කණ්ඩායමක් තමන්ගෙ පටු පරමාර්ථ ඉටු කරගන්න මේවාට විරුද්ධ වෙනවා තමයි. රටේ සාමාන්‍ය ජනතාවගේ මතයයි පොඩි කණ්ඩායමක් නායකත්වය දීලා පටු අරමුණු ඉටු කරගන්න විරෝධතා දැක්වීමයි දෙකක්. අපි සාමාන්‍ය ජනතාවගේ විරෝධතා පිළිබඳව ප්‍රවේශමෙන් වැඩ කරනවා. බංකොළොත් දේශපාලනඥයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් කරන විරෝධතාවලට යට වෙන්නෙ නෑ.

විජයදාස රාජපක්ෂ ඇමතිවරයා ඉවත් කරද්දී කිව්වා දූෂණ වංචා පිළිබඳ නඩු ඉක්මන් නොකිරීම හින්දා තමයි අයින් කළේ කියලා. ඒකෙන් තේරෙන්නේ මුළු ආණ්ඩුවකට පරීක්ෂණ කරන්න ඕනකම තියෙද්දී විජයදාස ඇමතිවරයා තනියෙන්ම ඒවා නවත්වගෙන හිටියා කියන එකද? දැන් වක්කඩ කැඩුවා වගේ නඩු ක්‍රියාත්මක වේවිද?

රටේ ජනතාවගේ මතයක් තිබුණා පරීක්ෂණ කල්යනවා කියලා. එක් නඩුවාරයක් තියලා මාස හයකින් ඊළඟ නඩුව තියෙන්නේ. සමහර නඩුවල තීන්දු ඉක්මනින් ගන්නවා. මේවාට නීතිමය වශයෙනුත් ගැටලු තිබුණා. ඒ නිසා තමයි අපි දැන් තීරණය කරලා තියෙන්නේ ඉක්මනින් සමහර නඩු ඇසීමට උසාවි කිහිපයක් නම් කරලා, ඉක්මනට මේවා අහලා ඉවරකරන්න. ඇත්තටම ගොඩක් අය මේ පරීක්ෂණ අතරින් සූක්ෂමව රිංගලා යනවා. යුක්තිය පරක්කු කරන්න, වංගු ගහන්න හැකියාව තවම රාජපක්ෂලාට තියෙනවා. බොහෝ රාජ්‍ය ආයතනවල සහ බොහෝ තැන්වල නිලධාරීන් හරහා බලපෑම් සිද්ධවෙනවා. මොකද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු විස්සක් තිස්සේ හදාගත්ත ජාලයක් තියෙනවා. ඉතින් ඉදිරියට ඒවා ගැන සැලකිලිමත් වෙලා ප්‍රතිඵල ඉක්මනින් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ගබ්සාව ගැන ලොකු සංවාදයක් ඇවිත්. ඇත්තටම ළමා කාලයේදී දූෂණයට ලක්වුණ දැරියකට මවක් වෙන්න සිදුවීම කියන්නෙ ලොකු අසාධාරණයක්. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගන්නේ කොහොමද?

මේවා දිහා දියුණු මනසකින් බලන්න ඕන. සමහර වෙලාවට එවැනි ගැබ්ගැනීම් නිසා මවගේ ජීවිතය පවා නැතිවෙන්න ඉඩ තියෙනවා. සමාජයේ බරපතළ ප්‍රශ්නවලට එවන් මව්වරුන් මුහුණදෙනවා. ඉතින් මේක එක් පැත්තකින් මවට තියෙන අයිතිය පිළිබඳ ගැටලුවක්. අනෙක් පැත්තෙන් ඒ බිහිවන දරුවා මුහුණදෙන සමාජ ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේවා ඔක්කෝම ගැන දියුණු විදියට බලන්න ඕන. අපට දූපත් මානසිකත්වයෙන් මේවා දිහා බලන්න බෑ. බොහෝ රටවල් මේවා පිළිඅරගෙන තියෙනවා. ඉතින් අපිත් දියුණු වෙනස්කම් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.■