රාවය

සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම

සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම

ප්‍රංශයේ  ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මංසලකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි.
පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක් ප්සි‍රටිද්දී කන්ඩලම හෝටලයට විරුද්ධව පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චාලි (චාල්ස් අබේසේකර) සමඟ ඇතිවූ පිළිසඳරක් කරා මතකය දිව ගියේය. අපි ද එකල එම විරෝධයට සහාය දැක්වීමු. එසේ නමුත් අපේ විරෝධයේ පදනම දඹුලු විහාරයේ සුමංගල හිමි නායකත්වය දුන් ජනප්‍රිය විරෝධයට වෙනස් විය. අප විරුද්ධ වූයේ මෙරට විවේකය ගතකිරීමට ඇති දර්ශනීය ස්ථානයන්හි ධනවත් දෙස්විදෙස් සංචාරකයන්ට පමණක් ඇරුණු හෝටල ඉදිකිරීම සම්බන්ධයෙනි. අපේ අදහස වූයේ එවැනි ස්ථාන ශ්‍රී ලාංකික මැද පන්තික ජනයාට ද විවේක ගත හැකි සංචාරක නිකේතන සඳහා ද ලබා දිය යුතු බවයි.

ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය සහමුලින්ම යොමුව ඇත්තේ ධනවත් ශ්‍රී ලාංකික හෝ විදේශීය හෝ සංචාරකයන් වෙනුවෙනි. එයද කිසිදු ක්‍රමවත් බවක් නැති හුදෙක්ම මුදල් ගරාගැනීම ඉලක්ක කර ගත් එකකි. ඒ ගැන පසුව කියමි.

එක්බෙලෙත් විල වටා අඩු වියදමින් විවේකය ගත කළ හැකි අපූරු ස්ථාන ගණනාවක්ම පුද්ගලික ව්‍යවසායකයන් විසින් පවත්වා ගෙන යනු ලැබෙයි. එමෙන්ම එක් දිනකට යුරෝ 100-150ක් ගෙවා නතර වී සිටිය හැකි හෝටල්ද විල අවට තිබේ.

අපේම කූඩාරමක් අටවාගෙන නතරවී සිටි අප හතර දෙනෙකු සඳහා එක් දිනකට ගෙවිය යුතු වූයේ යුරෝ 20කි. (එය යුරෝපයේ අවම සාමාන්‍ය වැටුපකින් සියයට 01-02ක් පමණය. ශ්‍රී ලංකාවේ රුපියල් 25,000-30,000ක් වන මාසික වැටුපකින් නම් රුපියල් 350-400 වැනිය.) විදුලි බලය සඳහා වැඩිපුර යුරෝ 5ක් දවසකට ගෙවිය යුතු විය. දෙවේලක් පාන් කමින් කෑම බීම අපම උයාපිහා ගත් නිසා ඒ සඳහා වැය වූයේ ද අවම මුදලකි. කූඩාරම් මෙන්ම කැරවන් වෑන්වලින් පැමිණ නතර වන පිරිස් ද එම භූමියේ සිටිති. කුලියට ගත හැකි එක් ස්ථානයක් වර්ග මීටර 75-100ක් තරම්ය. විල පිරිසිදුය. වෙරළ පාසිකුඩා හෝ නිලාවැලිහි මෙන් නොගැඹුරුය.

සීයලා සහ ආච්චිලාද, මාපියෝ දෙතුන් වතාවක්ද, දරුවෝ දවසෙන් වැඩි වේලාවක්ද එහි දිය කෙළිති. බොහෝ දෙනෙකු පැමිණෙන්නේ හුළං පුරවා පුම්බා ගත හැකි විවිධාකාර කුඩා බෝට්ටු සහ පාවී යා හැකි ටියුබ් යනාදිය ඇතිවය. එක් උදෑසනක සිය බෝට්ටු මත පාපැදි දෙකක් සවි කරගෙන ඒවා පැද යමින් විල වටා ගිය තරුණ යුවලක් කාගෙත් සිත් ඇදගත්තේය. තමන් පාපැදි නැතිව ජීවත් විය නොහැකි ඕලන්දක්කාරයන් බව පෙන්වීමට මෙන් ඒ යුවල සිය ජාතික කොඩිය එහි ඔසවා තිබුණි. එහි එන සෑම දරුවකුම වාගේ සිය පාපැදි ද රැගෙන එන බැවින් සයිකල් රේස්වලින්ද අඩුවක් නැත.

එක් සැන්දෑවකදී කෝලම්කාරියෝ දෙදෙනෙක් වෑන් රථයකින් පැමිණ දරුවන් වෙනුවෙන් නොමිලයේ සංදර්ශනයක් පැවැත්වූහ. එමෙන්ම දරුවන්ට අත්හදා බැලිය හැකි පුංචි පුංචි සර්කස් වැඩ කියා දුන්හ. දෙපැයක් පැවැති එම කෝලම් සන්දර්ශනය සඳහා අයකිරීමක් නොවීය. ඔවුන් දෙදෙනා සෑම විල් තෙරකම මෙවැනි සංදර්ශන පවත්මින් යන බවත් ඒ වෙනුවෙන් නගර සභාව වැටුපක් ගෙවන බවත් මම අසා දැන ගත්තෙමි. දරුවන් සඳහා මෙවැනි විවිධ විනෝද අවස්ථා සහ සංදර්ශන පවත්වන කණ්ඩායම් ජීනීවා නගරයේ සුලබය. ඔවුන්ටද වැටුප් නගර සභාවෙනි.
යතුරුපැදිවලින් මෙන්ම පාපැදිවලින්ද එහි පැමිණෙන තරුණ තරුණියෝද සිය උරහිසෙහි ගෙනෙන කුඩා කූඩාරම් අටවාගෙන දින දෙක තුනක් විනෝද වී යති. මා හා කතාවට වැටුණු එවැනි තරුණ පිරිසක් කීවේ මෙවැනි විල් ගණනාවක්ම සිය මාර්ග සිතියමෙහි ඇති බවයි. මෙය සති හතරක් වුව නිවාඩු ගත හැකි ග්‍රීෂ්ම සමය බැවින් මෙවැනි අඩු වියදම් සංචාරක ස්ථාන විවේකකාමීන්ගෙන් පිරී යයි.

යුරෝපයේ බොහෝ රටවල සිට ජනයා මෙවැනි ස්ථාන කරා එති. විවිධ භාෂා කතා කරමින් විවිධ ආහාර අනුභව කරමින් සිටින පිරිස් දැකීම අරුමයක් නොවේ. ඉතා ජනප්‍රිය ආහාරයක් නම් මස් සහ එළවලු වර්ග ගල්අඟුරු මත පුළුස්සා (බාබෙකියු) ගැනීමයි. සවස්වන විට ගල්අඟුරු මත මස් බැදෙන සුවඳ හතරවටින්ම දැනේ. අපේ කූඩාරමට පසුපසින් ජර්මානුවෝද දකුණු පසින් බෙල්ජියානුවෝද කූඩාරම් අටවාගත්හ.

අඩුම වශයෙන් එකිනෙකින් මීටර දෙක තුනක් උස් භූමි තලයන් පහක් එම විල් තෙර නිකේතනයේ තිබුණි. ඒ හැම කුඩාරමටම විල ද ඉන් පසුපසින් ඇති කඳුකරයද ලස්සනට දැක ගත හැකි වනු පිණිසය. එහි වැසිකිළි සහ නාන කාමර දිනපතා පිරිසිදු කැරේ. වළං පිඟන් සොදා ගැනීමටද උණුවතුර සහිත ස්ථාන ගණනාවකි. එහි කාලය ගතකරන සංචාරකයන් කිසිවකු කොළ කැබැල්ලක් හෝ බිම දමන්නේ නැත.

දර්ශනීය ස්ථානයන්ගෙන් පිරී ගිය අප රටෙහි මහජනයාට විවේක ගතහැකි අඩු වියදම් විවේක නිකේතන ජාලයක් ගොඩනැගීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත්තේ ඇයි? මලයාසියාව වැනි රටවල පවා මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ඇති බව මම අසා ඇත්තෙමි.
වැඩකට නොගන්නා ගොඩනැගිල්ලක් වෙනුවෙන් දෙවසරක් පුරා සබීතා පෙරේරාගේ සැමියාට මාසිකව රුපියල් ලක්ෂ 160ක් ගෙවන ආණ්ඩුවකට මහජන සේවයක් වෙනුවෙන් එම මුදල වැය කළ නොහැකිවූයේ ඇයිදැයි අප අපෙන්ම අසාගත යුතුය. රාජපක්ෂ සමයෙහි වැය කරන ලද මහමෙර වන් මුදල් කන්දරාවන්ගෙන් කොටසක් හෝ මෙවැනි සමාජ සේවයකට යෙදවූයේ ද නැත.
බි්‍රතාන්‍යයෝ ශ්‍රී ලංකාව හැර යන විට දර්ශනීය ස්ථානයන්හි තැනූ රට පුරා විහිදුණු තානායම් ජාලයක් ඉතිරි කර ගියෝය. අඩු වියදම් සංචාරක නවාතැන් ලෙස වැඩි දියුණු කළ හැකිව තිබූ ඒ ජාලය අද බොහෝ දුරට විනාශ වී ගොසිනි. අප ළමා කාලය ගෙවූ අම්බලන්ගොඩ තිබූ අපූරු තානායම විනාශ වන්න හැර දමා තිබුණි. අද පවා ඉතා රමණීය ස්ථානයන්හි ඉතිරිව තිබෙන එවැනි තානායම් වැඩි දියුණූ කිරීමට ආණ්ඩුව පියවරක් නොගැනීම කනගාටුදායකය.
නිදසුන් වශයෙන්, ඇති තරම් ඉඩම් ඇති මා ඔය අසබඩ හෝ ගිරිතලේ වැව අසබඩ ඉතා ලෙහෙසියෙන්ම මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ගොඩනැගිය හැකිය. මෙම ස්ථාන දෙකෙහිම දේශීය සංචාරකයන් ස්නානය කරනු සුලබ දසුනකි. එවැනි මනරම් ස්ථාන කොපමණ නම් අප රට ඇත්ද?

අප සමාජයෙහි පාලනයක් නොමැති අධික බීමත්කමට එක් හේතුවක් වන්නේ විනෝදවීම සඳහා වෙනත් අවස්ථා ඇති කිරීමටත් එවැනි විනෝද සහ ක්‍රීඩාශීලී සංස්කෘතියක් බෝ කිරීමටත් අප අසමත් වීමයි.

අකමැත්තෙන් වුවත් කිව යුතු එක් දෙයක් තිබේ. එනම් මෙවැනි නවතාවන් මෙරට ඇති කිරීමට නම් කොළඹ නාගරික භූමි දර්ශනය දර්ශනීය ලෙස උඩ යට පෙරලූ ගෝඨාභය වර්ගයේ දැක්මක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ‘ගෝඨාභය දැක්මේ’ මර්දනකාරී ප්‍රවේශ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවිෂ්ඨයක් මගින් විස්ථාපනය කළ යුතු බව කිවමනා නොවේ.■