රාවය

මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේමයි ‍- ‍‍ මොහාන් සමරනායක, යුතුකම සංවාද කවය

මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේමයි ‍- ‍‍ මොහාන් සමරනායක, යුතුකම සංවාද කවය

තරිඳු උඩුවරගෙදර

දූෂණ විරෝධී දේශපාලන කතිකාව ලංකාවෙ ක්‍රියාත්මක වෙන විදිය ගැන ඔබ හිතන්නේ මොකක්ද?
මේ ගැන මට තියෙන කියැවීම සාමාන්‍යයෙන් සමාජයේ පොදු ප්‍රවාදයන්ට වෙනස් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඕක මායාකාරී, ප්‍රෝඩාකාරී එකක් විදියට. දූෂණය සැබෑවක් වුණත් ඒ ගැන කතාකරද්දී කිසිවෙක් අවංක නැහැ. මේ වනවිට තියෙන ධනවාදී සමාජය ඇතුළේ හැමදේම තීරණය වෙන්නේ අපට එකතුකරගත හැකි මුදල් ප්‍රමාණය අනුව. මට ලැබෙන ආහාර වේල, මම යන එන වාහනය තීරණය වෙන්නේ මගේ සාක්කුවේ තියෙන මුදල් ප්‍රමාණය අනුව. මගේ දරුවන්ගේ අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල් ප්‍රමාණය අනුව. කොටින්ම දූෂණය ආත්මය කරගත්ත සමාජයක අපි ඉන්නේ. ඒකෙන් කියැවෙන්නේ නෑ දූෂණය සාධාරණයි කියලා. හැබැයි මේ සමාජය ඇතුළේ දූෂණයට මිනිසුන් පොළඹවනවා. ඉතින් තම තමන්ගේ මට්ටමින් දූෂණය කෙරෙනවා. ඉතාම දිළිඳු පුද්ගලයාත්, ලොකු ධනවතාත් ඒක කරනවා. ඔබ හිතන්න ඔබ දුර පළාතකට ගිහින් අඹ ටිකක් ගන්නකොට රැවටෙනවා. ඔහු ඔබව රවටන්නේත් අර මුදල් අවශ්‍යතාව නිසා. මේ සමාජයේ සියලුදෙනාම පාහේ දූෂිතයි. මම කියන්නෙ නෑ හැමෝම දූෂිතයි කියලා. හැබැයි බොහෝදෙනෙක් තමන්ට හැකි පමණින් මුදල් එක්රැස් කරන්න උත්සාහ කරනවා. හැබැයි දූෂණය පිළිබඳ කතිකාවතේ ඉන්න අය මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා කියලායි මට පෙනෙන්නේ. ධනේශ්වර රටවල සමහර දූෂිත ක්‍රියා නීතියෙන්ම පිළි අරගෙන තියෙනවා. ශ්‍රමිකයෙකුගෙන් සේවය අරන් ඒකට සරිලන වැටුපක් නොගෙව්වොත් ඒකත් කොල්ලකෑමක්. අපි හිතමු, කාර්යාලයක කා.කා.ස කෙනෙකුට පෑන් ටිකක් බෙදන්න කිව්වොත් පෑනක් දෙකක් ඔහු ගෙදර අරගෙන යනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා විශාල වශයෙන් එල්ලවුණා. ඒ ඔහුගේ ආණ්ඩුව සාපේක්ෂව අන්ත දූෂිත නිසා නේද?
මහින්ද රාජපක්ෂ සමයේ දූෂණ ක්‍රියා සිදුවුණ බව ඇත්ත. ඒත් ඒක සාපේක්ෂව අන්ත දූෂිත තත්ත්වයක්ද කියන එක කියන්නේ කොහොමද. මේ ආණ්ඩුව සමයේ බොහෝදෙනෙක් ව්‍යාපෘති කරද්දී කොමිස් මුදලක් සාක්කුවේ දාගත්තා. හැබැයි ඕක ඊට පෙරත් ඒ විදියටම සිද්ධවුණා. කාලය එක්ක ආර්ථිකයේ ප්‍රසාරණයට අනුපාතිකව මේ දූෂණ ක්‍රියා වැඩිවෙලා තියෙනවා. හැබැයි නවසිය හැත්තෑහත අනූහතර කාලයේ ආණ්ඩුව ගත්තොත් එය අතිශය දූෂිත ආණ්ඩුවක්. ඇත්තටම මේවා දැන් දූෂණයන්ට එරෙහිවෙන යහපාලන සිවිල් සමාජයට අමතක වෙලා තියෙනවා. එක අවස්ථාවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාම කිව්වානේ තමන් කනගාටු වෙනවා කියලා නිදහසෙන් පස්සේ දූෂිතම ආණ්ඩුවක නායකයා වෙලා ඉඳීම ගැන. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටම චෝදනා එල්ලවුණා. මට කියන්න බෑ ඒවායේ ඇත්ත නැත්ත. හැබැයි ඒවා බරපතළ දූෂණ චෝදනා. ඒ කාලේ හිටපු එක්තරා නායකයෙක් මියගියාම කෝටි ගණනක් වටිනා මුදල් නෝට්ටු ලැබුණු බව කියනවා. ඔය ආණ්ඩුවෙන් පස්සේ ආ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ ආණ්ඩුවත් දූෂිතයි. එදා චන්ද්‍රිකා ආණ්ඩුවේ ඉඳලා දැන් ආණ්ඩුවට ආ කී දෙනෙකුගේ දූෂණ ක්‍රියා ඔබේ පුවත්පතෙන්ම හෙළිකළාද. තවක්කාල් ගනුදෙනුව, සිමෙන්ති කම්පැණියකින් ගත් අල්ලස් ගැන, චැනල් නයින් ගැන මොනතරම් විවාද ගියාද. ඔබේ පුවත්පතේම පිටු පෙරළුවොත් මේවා දකින්න පුළුවන්. මහින්ද රාජපක්ෂ සමයේත් එදා තිබුණු චෝදනාම එල්ලවුණු බවයි පෙනෙන්නේ. අපි දන්නවා ඒ ආණ්ඩුවේ ඇතැම් අය ඉතාම පහළ තැන්වලින් දැන් ඉතාම ඉහළ තැන්වලට ඇවිත් තියෙනවා. ඔවුන්ගේ දරුවෝ දැන් ඕස්ටේ්‍රලියාවේ, නවසීලන්තයේ ඉගෙනගන්නවා. ඒ කාලයේ හිටපු බොහෝ නිලධාරීන්ට දැවැන්ත වත්කම් තියෙන බව පෙනෙනවා. වසර තිහක් තිබුණු යුද්ධය නිසා ආරක්ෂක අංශවල හිටපු නිලධාරීන් හිතන්න බැරි විදියට ධනවත් වුණා.

දූෂණය උපරිමයට ගිය නිසා ජනතාව එයට දැඩි විරෝධයක් දක්වන්න ගත්තා. රාජපක්ෂ රජය පරාජය වුණේ ඒ නිසා නේද?
මගේ කියැවීම ඒක නෙවෙයි. මම දකිනවා මේක වෙන විදියකට. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට විවිධ පිරිස්වලට අවශ්‍ය වුණා. යුරෝපා සංගමය සහ ඉන්දියාව වගේ රටවලට ඒ ගැන ලොකු වුවමනාවක් ආවා. මේ රටවල් තමයි අද ලෝකය පාලනය කරන්නේ. මේ පාලනය කරන අධිපති රාජ්‍යයන් සෙසු රටවල් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවනවා. ඒ නිසා තමයි මෑත කාලයේ ජනමාධ්‍යවල හා අන්තර්ජාතික දේශපාලනය ගැන අධ්‍යයනවලදී රෙජීම් චේන්ජ් කියන එක ඉස්සරහට එන්නේ. ඇමෙරිකාව ලෝක යුද්ධ සමයෙන් පසුව ලෝක බලවතා වුණා. ඉන්පසුව ඇමරිකාව ලෝකයේ රටවල් හැත්තෑවක විතර ආණ්ඩු වෙනස් කරලා තියෙනවා, ඒ විවිධ හේතු නිසා. ඒ බලවේගවලට අවශ්‍ය වුණා මහින්ද රාජපක්ෂ පලවා හරින්න. ඒකට ඔවුන් හදලා දුන්න ආයුධයක් තමයි මහින්ද රාජපක්ෂගේ දූෂණ ක්‍රියා ඉස්මතු කරන්න කියන එක. එතකොට දූෂණයට එරෙහි තේමාව උඩට ගත්තේ තමන්ට බලයට එන්නට මාර්ගයක් විවෘත කරගන්නයි. සැබැවින්ම දූෂණ විරෝධයක් නිසා නෙවෙයි. දූෂණ චෝදනා එල්ලකළ ප්‍රධාන පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය. ඔවුනුත් හැත්තෑහතේ හිටපු දූෂිත ආණ්ඩුවක්නේ.

මේ වන විට එදා ආණ්ඩුවේ හිටපු බොහෝ අය එජාපයේ නැහැ. ඒ නිසා ඔවුන්ට දූෂණ විරෝධී චෝදනා එල්ලකිරීමට පදනමක් තියෙනවා නේද?
අනූහතරේ සිටි බලයේ නොසිටි ඇතැම් එජාපයේ දේශපාලනඥයන්ට කියන්න පුළුවන් දූෂිත නෑ කියලා. ඒ ඔවුන් බලයේ හිටියේ නැති නිසා. ඔවුන්ගේ කණ්ඩායම දූෂණයෙන් තොර කණ්ඩායමක් නෙවෙයි. මේ අය තමන්ගේ අතට බලය ගැනීමේ මාවත විවෘත කරගන්නයි දූෂණ විරෝධය පාවිච්චි කළේ. මේ දූෂණ විරෝධය කියන්නෙ ලෝකයේ රෙජීම් මාරුවලදී පාවිච්චි කළ ජනප්‍රිය ක්‍රමයක්. කෙටියෙන් උදාහරණයක් කිව්වොත් යුක්‍රේනය සෝවියට් දේශයෙන් වෙන්වීමෙන් පසුව හිටපු නායකයෙක් වික්ටර් යනුකොවිච් කියලා හිටියා. ඔහු දූෂිතයෙක් තමයි. හැබැයි ඔහුට විරුද්ධ වෙන්න බටහිර රටවලට ඕනෑ වෙන්නේ ඔහු දූෂිත නිසා නෙවෙයි, ඔහු බටහිර න්‍යාය පත්‍රයට එකඟ වුණේ නෑ. අන්න පටන්ගන්නවා වර්ණ විප්ලවයක් යනුකොවිච්ට විරුද්ධව. ඒකේ ප්‍රධාන තේමාව වුණේ දූෂණය. සාමාන්‍ය ජනතාව කුපිත කරන්න ලේසියි දූෂණය පිළිබඳ කතාවලින්. රත්තරන් අශ්වයෝ ඉන්නවා, ලැම්බෝගිනි තියෙනවා, ඩුබායිවල රුපියල් බිලියන දහඅටක් තියෙනවා වගේ කතාවලින් මිනිස්සු කුලප්පු වෙනවා. ඒ කතා ඇත්තද කියලා මම දන්නෙ නෑ. මම දන්නේ ඒ කතා කියපු අය දූෂණ විරෝධීන් නිසා නෙවෙයි, ජනතාව රවටලා බලය ගන්නයි ඒ කතා කීවේ. සමාජයෙන් දූෂණය තුරන් කරන්න වුවමනාවක් ඔය කණ්ඩායම්වලට නෑ.

සාමාන්‍ය පුරවැසියන් සහ සිවිල් සමාජය තුළිනුත් ආණ්ඩුවට දූෂණ විරෝධයක් ආවා. ඔවුන්ට ඡන්ද ගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ නේද?
ඇත්ත තත්ත්වය ඊට වෙනස්. මම කිව්වානේ ලෝක බලවතුන් රෙජීම් චේන්ජ් කරනවා කියලා. ඒකට පාවිච්චි කරන්නේ කාවද. අපි මෙහෙම හිතමු. සිවිල් සමාජ සංවිධානවලට මොන තරම් මුදලක් එනවාද පිටරටවලින්. ඒ සල්ලි මොනවාටද එන්නේ. පහුගිය මාර්තු හෝ ජුනිවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තිස්පස්වැනි සැසිවාරය ජිනීවාවල තිබුණා. ඔබ හොයලා බලලා මට කියන්න ඒකට එයාලාට කවුද සල්ලි දෙන්නේ කියලා. ඉන්දියාවට යන්නත් දැන් ලොකු මුදලක් යනවා. ජිනීවා කියන්නේ ඊට එහා ගිය දුරක්. අනෙක ජිනීවාවල ජීවත්වෙන්න ලොකු මුදලක් වැයවෙනවා. එතකොට මේ සල්ලි කවුද දෙන්නේ. ඉතින් මේක යොදාගත්තේ දූෂණය වළක්වන්න නෙවෙයි. දූෂණයට ස්වභාවයෙන් විරුද්ධ නිසා නෙවෙයි. හිටපු ආණ්ඩුව පෙරළීමේ අරමුණෙන් විතරයි. හැබැයි ඒ සමාජ ව්‍යාපාරයේ අවංක මිනිස්සු කිහිපදෙනෙක් ඉන්න පුළුවන්. අවංක අරමුණෙන් වැඩකළ අය ඉන්න පුළුවන්. සමස්තයක් වශයෙන් තත්ත්වයයි මම කිව්වේ.

මේ ආණ්ඩුව පැමිණීමෙන් පස්සේ දූෂණ විරෝධය සංකල්පයට අවංකව ඔවුන් කටයුතු කළා කියලා හිතනවාද?
මගේ තර්කය පැහැදිලි වෙන්නේ ඔය සාකච්ඡාවෙන්. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි අටවැනිදා තමයි බලයට එන්නේ. මාසයක් ගෙවිලා, 2015 පෙබරවාරි 23 වැනිදා වෙද්දී ලංකා ඉතිහාසයේ විශාලම වංචාවක් සිද්ධවෙනවා. ඒක ගැන දැනටමත් විශාල කරුණු ප්‍රමාණයක් හෙළිවෙලා තියෙනවානේ. අපි කියන කතා නෙවෙයි, විගණකාධිපතිවරයා කියන කතාව ගනිමුකෝ. ඔහුම කියනවා ඒකේ පාඩුව රුපියල් බිලියන ගණනක් කියලා. මහබැංකුවේ හිටපු නියෝජිත අධිපතිවරයෙක් කියනවා මේකේ පාඩුව කෝටි දාහක් කියලා. මේ පාඩුව සේවක අර්ථසාධක අරමුදලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ඇතුළු බොහෝදෙනෙකුට දරන්න වුණා. තව අවුරුදු තිහක් තිස්සේ අපට ඒ පාඩුව විඳින්න වෙනවා. මේ තරම් ලොකු දූෂිත ගනුදෙනුවක් සිද්ධවුණාම මේ දූෂණ විරෝධී ආණ්ඩුවේ අගමැතිවරයා කළේ මොකක්ද. ඒකට මැදිහත්වුණ මහබැංකු අධිපතිවරයා දිගින් දිගටම ආරක්ෂා කළා. ඒ අපවාදය පිළිබඳ පළමු කෝප් කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න ලෑස්තිවෙද්දී යූඇන්පියේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණයට ගියා. ඩිව් ගුණසේකර ඇමතිවරයා තමන්ගේ වාර්තාවල ඇමුණුමක් විදියට මේ වාර්තාව එකතුකරන්න තීරණය කළා. ඒකෙන් ගැලවෙන්නට ජනාධිපතිවරයා කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින එක. ඔය පාරිශුද්ධ විදියට පෙනී සිටින ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා මම යූඇන්පිය බේරාගන්නට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා. මේ ආණ්ඩුවෙන් වුණ එකම දූෂණය බැඳුම්කර ගනුදෙනුව විතරක් නෙවෙයි. තව දූෂණයන් බොහොමයක් තියෙනවා. වී බුසල් හතළිස් ගණනකට අරන් විසිහතරට වික්ක කතාවක් තියෙනවා. මේවා පරීක්ෂා කළේ නෑනේ. පිටරටින් වාහන ගෙන්නලා රේගුවේ නිදහස් කිරීම ගැන තියෙනවානේ. මේ වගේ අපවාද ගොඩක් තියෙනවා. මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේමයි. කිසිසේත් අදූෂිත පාලනයක් බලාපොරොත්තු වෙන්න එපා. සෞඛ්‍ය ඇමතිවරයා ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට යන එක දූෂණයක්, ලංකාවේ ස්වාභාවික උවදුරු සිදුවෙලා මිනිස්සු අවතැන් වෙද්දී මන්ත්‍රීවරු කෝටි ගණන්වල වාහන ගෙන්වන්නට පරිපූරක ඇස්තමේන්තු දාන එක දූෂණයක්. ඡන්ද පන්දාහක් පමණ ගත් කෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා එයාට මිලියන හැත්තෑවක වාහනයක් දීම දූෂණයක්.

හිටපු ආණ්ඩුව බලයේ හිටියා නම් ඒක නැතිවෙන්නේත් නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිත් පුංචි හෝ වෙනසක් වෙලා නැහැ කියලා ඔබ කියනවා නම්, දූෂණය නැති කරන්න ඔබ ප්‍රායෝගිකව යෝජනා කරන්නෙ මොන වගේ ප්‍රතිපත්තියක්ද?
මේ සමාජ ක්‍රමයම දූෂිතයි. ඒ විදියට ඒ සංවාදය ගැනීම හැර වෙන ක්‍රමයක් නෑ. මුලින් ව්‍යාජ දූෂණ විරෝධය නතර කළ යුතුයි. හැබෑ සංවාදයකට මතුවෙන්න ඉඩ දිය යුතුයි. එහෙම වුණොත් දූෂණය සම්පූර්ණයෙන් මුලිනුපුටා දාන්න බැරිවේවි. හැබැයි හැකි තරම් අවදියෙන් ඉඳලා දූෂණයට වැට බඳින්න පුළුවන්. අනෙක දූෂණය හැකි තරම් අවම කරන්නට මුදල මත සමාජ තත්ත්වය තීරණය කරන මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නැත්නම් අවංක පිරිසගෙන් සමන්විත නව දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්න ඕනෑ. අපි නරාවලේ පිහිනන ගමන් එකිනෙකාට චෝදනා කරගෙන පලක් නෑ.

මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළා. ඒ ප්‍රතිසංස්කරණ සිදුකිරීම යහපත් තත්ත්වයක් නෙවෙයිද?
මේ අය දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන කතාකළෙත් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ උපායක් වශයෙන්. මේ රජය දුවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් මගින්නේ. ශ්‍රීලනිපයෙන් ඊට සම්බන්ධ වී ඉන්න අය නෙවෙයි රටේ ආර්ථික, විදේශ සබඳතා, පිස්කල් සමාජ ප්‍රතිපත්ති තීරණය කරන්නේ. හැත්තෑ අටේදී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ ඒ එජාපයමයි. ඔවුන්ගේ නායකයා 2005දීත් විධායක ජනාධිපති වෙන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වෙද්දී තමයි නරියා මිදි තිත්තයි කිව්වා වගේ ඒකට විරුද්ධ වෙන්න පටන්ගන්නේ. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ජනතාව තුළ විධායක ජනාධිපති ක්‍රමයට ඇති විරෝධය බලයට එන්නට අවියක් විදියට පාවිච්චි කළා. හැබැයි දේශපාලන ප්‍රතිසංස්කරණ වටාත් අවංක අරමුණෙන් පිරිසක් ඉන්නා බව කියන්න ඕනෑ. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්නය ගැඹුරෙන් දේශපාලනය තේරුම්ගන්න බැරිවීම. එකල මහින්ද රාජපක්ෂ රජයේ තිබුණා නොඉවසිය හැකි අන්දමේ අධිකාරිවාදී ගතියක්. ඒ නිසායි එකල හිටපු කලාකරුවන්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් ඒ ආණ්ඩුවට එරෙහිවුණේ. ඒක අපි ප්‍රතික්ෂේප කළයුතු නැහැ.

දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන දුන්නු පොරොන්දු ඉටු වෙන බව පෙනෙනවාද?
තමන්ගේ බලය දීර්ඝ කාලයකට තහවුරු කරගන්න විතරයි ප්‍රතිසංස්කරණ ගෙනෙන්නේ. හොඳට පෙනෙන උදාහරණයක් තමයි විසිවෙනි සංශෝධනය. මේ වාගේ තමන්ගේ බලය තහවුරු කරගන්නට දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම අපට අලුත් අත්දැකීමක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සමයේත් ඒක සිද්ධවුණා. එකල ජේ.ආර්. ජනාධිපතිවරයාට හයෙන් පහක බලයක් තිබුණා. එකල ඔහු තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි දින රහිතව අරන් තියාගෙන සංශෝධන කරවාගත්තා. අද රනිල් වික්‍රමසිංහට එවැනි බලයක් නැති නිසා උපායශීලීව මේවා කරමින් ඉන්නවා. වෙනස එපමණයි. මම කිව්ව විසිවැනි සංශෝධනය ගත්තත් ඒක කරන්නේ පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා කියන සුජාත යෝජනාව ඉදිරියට දමාගෙන.

හැබැයි දහනවවැනි සංශෝධනයේ ප්‍රගතිශීලී ලක්ෂණ තියෙනවා නේද?
ඒකත් ව්‍යාජයක්. ඇත්තටම ඒ ගැන දීර්ඝව කතාකළ හැකියි. වෙනම සාකච්ඡාවකින් වුණත්. සමහරු උනන්දුවෙන් සහ විශ්වාසයෙන් දහනවවැනි සංශෝධනය ගැන කතාකරනවා. හැබැයි එතැන වුණේ ජනාධිපති අත තියෙන බලයෙන් කොටසක් වක්‍රව අගමැතිවරයාට ගැනීම. දැන් අවුරුදු හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බෑ. දහනවවැනි සංශෝධනය එජාපයේ බල ව්‍යාපෘතියේ කොටසක්. රනිල් වික්‍රමසිංහ වෙනුවෙනුයි ඒක කළේ. මේ සියල්ල ජනතාව රවටන දේශපාලන සංස්කෘතියක ලක්ෂණ. හැමෝම තම තමන්ගේ බල ව්‍යාපෘති කරනවා. එච්චරයි.■