රාවය

අයිරිනා රැටුෂින්ස්කායා: රෙජීමයට එරෙහිව

අයිරිනා රැටුෂින්ස්කායා: රෙජීමයට එරෙහිව

යුක්රේන සෝවියට් සමාජවාදී ජන රජයට අයත් ඔඩෙසා නම් ගම්මානයෙහි 1954 මාර්තු 4දා උපන් අයිරිනා බොරිසොව්නා රැටුෂින්ස්කායා, භෞතික විiාව පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ඔඩෙසා සරසවියෙන් දිනාගත්තේ 1976 දීය. විiා ධාරාවෙන් උසස් අධ්‍යාපනය හදෑරුවද, රුසියානු කාව්‍ය හා සාහිත්‍ය පිළිබඳව ඇය තුළ වූ උනන්දුව කිසිවිටෙක හීන වූයේ නැත. ඩොස්ට යෙව්ස්කි. ටොල්ස්ටෝයි, චෙකොව් හා පුස්කින්ගේ කෘතීන් කුඩා කල සිටම කියවීමේ අවස්ථාව අයිරිනාට උදාවූයේ රුසියානු සාහිත්‍ය ගුරුවරියක වූ ඇගේ අම්මා සතු පොත් රාක්කය මත ලොව සම්භාව්‍ය ග්‍රන්ථ රැසක් පිළිවෙළට අඩුක් කර තිබූ හෙයිනි. ඔඩෙසාහි පිහිටි සිය මහල් නිවාසයේ පඩිපෙළ හා සම්බන්ධ අත්වැට දිගේ පහළට රූටා ඒම, පිරිමි ළමයින් සමඟ හරි හරියට දුව පැන සෙල්ලම් කිරීම අයිරිනාගේ අසල්වාසීන් දුටුවේ ගැහැනු දරුවෙකුට සුදුසු නැති දේවල් ලෙසය. රතු කොමියුනිස්ට් රෙජීමයේ දැඩි නීතිවලින් ගල් ගැසුණු ඇගේ අසල්වැසියෝ, ඈ රතු ළමා සමාජයකට ඇතුළු කරන්නටත්, ඔළුව වටා රතු පැහැති ස්කාර්ෆ් එකක් ඇයට අන්දවන්නටත් විශාල ප්‍රයත්නයක් දැරූහ. එහෙත් නාහෙට නාහන නිදහස් මනසක් ඇති අයිරිනා, ඉහත කී බලපෑම්වලට යටත්වීම තරයේම ප්‍රතික්ෂේප කළාය.
“යහපත් හෙටකට පාර කපන්නේ, විප්ලව හා ජන කැරලි නොවෙයි – අලුත් ලොව අරුණලු බිහිවන්නේ කවියෙකු අත රැඳි පන්හිඳෙනුයි.” ලෙසින් ලියැවුණු බොරිස් පැස්ටනෙක්ගේ කවිය කියැවූ පසු කිවිඳියක වීමේ ඇගේ ආශාව මෝරා වැඩෙන්නට විය. උසස් පෙළ සමත්වීමෙන් පසු ගුවන් නියමුවරියක වීම සඳහා අයදුම් කළද, ඇගේ වළලුකරෙහි ආබාධයක් තිබෙන බව පවසා සම්මුඛ පරීක්‍ෂණයෙන් අයිරිනා අසමත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. එය පට්ටපල් බොරුවක් බව වැටහුණත් අධිකාරීවාදී රෙජීමයකට එරෙහිව ඇයට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මිනිසුන්ගේ සිතුම් පැතුම් පවා කොමියුනිස්ට් සංකල්පවලින් පාලනය කිරීමට කටයුතු කරන රතු සෝවියට් රෙජීමය අයිරිනාට පෙනුණේ සිත්පිත් නැති ගල් රෝලක් ලෙසය.

කවිය අවියක් වීම
ඇනා අක්මටොවා (1889- 1966) ලියූ පෙරැළිකාර කවි අයිරිනාගේ සිත්ගත්තේය. බෝල්ෂෙවික් රෙජීමය ඇතුළු ලෙනින්ගේ අධිකාරීවාදී අහස්වලට විරෝධය පෑම හේතුවෙන් 1925 දී නොනිල වශයෙන් ඇනාගේ කවි පූර්ණ තහනමකට බඳුන් විය. ඇගේ මුල් විවාහයේ ස්වාමිපුරුෂයා වූ නිකොලායි ගුමිලෙව් ඇතුළු ආණ්ඩු විරෝධි කලාකරුවන් 61 ක් ලෙනින්ගේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ලේඛක මැක්සිම් ගෝර්කිගේ මැදිහත්වීම හරහා, මරණීය දණ්ඩනය ලද මොවුන්ට සමාව දීමට වීඅයි ලෙනින් එකඟතාව පළකළද ඊට පෙරදා (1921 අගෝස්තු 25) බෝල්ෂෙවික් සොල්දාදුවන් විසින් ඒ අය වෙඩි තබා මරා දමන ලදහ. අක්මටෝවා, බෝල්ෂෙවික් රෙජීමයේ දැඩි වාරණයට ලක් වූවද, රොබට් ෆ්‍රොස්ට් වැනි ඇමරිකානු කවීන් හා ඉසායා බර්ලින් වැනි බටහිර දාර්ශනිකයන් අතර ඇයට විශ්ව පිළිගැනීමක් හිමිව තිබුණි. පන්හිඳ අවියක් කරගත යුතුයැයි අයිරිනා සිතුවේ කොමියුනිස්ට් මර්දනයට එරෙහිව ලියැවුණු ඇනා අක්මටෝවාගේ පi ගැඹුරින් හැදෑරීමෙන් පසුවය. “ද්වේෂයෙන් පිරුණු මව්බිම” නමින් අයිරිනා පළ කළ කවි සංග්‍රහය රුසියන් පාලකයන්ගේ දැඩි උදහසට බඳුන් වූ අතර 1983 මාර්තු 05 දින, ඇයට වයස අවුරුදු 29 පිරුණු මොහොතේ ඈ කීව්හි අධිකරණය වෙත කැඳවන ලදි. ඇයට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රය එහිදී ශබ්ද නඟා කියවනු ලැබිණි. මානව හිමිකම් හා අදාළ ලියැකියැවිලි ළඟ තබා ගැනීම, කොමියුනිස්ට්වාදයට එරෙහිව අදහස් පළකොට ඒවා ප්‍රචාරය කිරීම, පෝලන්ත කම්කරු ව්‍යාපාරය පිළිබඳ වන ලිපි ලේඛන ළඟ තබා ගැනීම යන සියලු චෝදනාවලට ඇය වැරදිකාරිය කළ විනිසුරු, අයිරිනාට බරපතළ වැඩ සහිත වසර 7ක සිරදඬුවමක් නියම කළේය. භෞතික විiාඥයකු හා මානව හිමිකම් ක්‍රියාධාරයෙකු වූ ඇගේ ස්වාමියා, ඉගෝර් ගෙරෂ්චෙන්කෝ ඒ අවස්ථාවේ නඩු තීන්දුව එරෙහිව අධිකරණය තුළදීම මහ හඬින් සිය විරෝධය ප්‍රකාශ කළේය. ඉන් පසුව ඔහු තම බිරිඳ දෙසට හැරී මෙසේ පැවසීය. “අයිරිනා, කොන්ද කෙලින් තියාගෙන දිගටම ඉන්න. මා ඔබට ආදරෙයි!”

හිරගෙදර ජීවිතය
මොස්කව් නුවර සිට සැතපුම් 300ක් ගිනිකොණින් පිහිටි මෝඩෝවියාහි, බරෂෙවෝ නම් බන්ධනාගාරයේ අංක 03 බර වැඩ සහිත කඳවුර වෙත අයිරිනා ගෙනයනු ලැබිණි. මාක්ස්, ලෙනින්, එංගල්ස් හා රතු ආණ්ඩුවේ ගුණ වයමින් කවි පබැඳුවහොත් කටුක සීතලෙන් හිරි වැටුණු හිරෙන් නිදහස් වීමට හැකිවනවා පමණක් නොව රාජ්‍ය සම්මාන පවා දිනාගත හැකි කිවිඳියක විය හැකියැයි සිරගෙදර උසස් බලධාරීන් අයිරිනාට පුන පුනා කීවද ඈ ඔවුන්ගේ වදන් අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දැමුවාය. ඇගේ මුරණ්ඩුකම අබියස වියරු වැටුණු ඔවුහු බන්ධනාගාර නියාමක වරියන් ලවා ඇයට මුෂ්ටි ප්‍රහාර එල්ල කළහ. දස වධ දී ඇය මෙල්ල කිරීමට බැරි වූ තැන, දැඩි සීතලෙන් පිරි හුදෙකලා සිරකුටියක් වන ‘ෂිසෝ’ නම් තැනට ඔවුන් අයිරිනා ගෙන ගියේ එහිදී ඕනෑම ජගතෙකු සල්ලම් වන බැව් දැනගෙනය. දැවුණු ගිනිකූරු ගෙන සබන් කෑලිවල කවි පද ලියූ ඇය ඒවා මතකයේ රඳවාගත් පසුව මකා දැමුවාය. අත්වැසුම් මැසීමට අවසරයක් ලබාගත් පසු, සිගරැට් පැකට්ටුවල තිබූ ඊයම් කොළය මත කවි ලියා ඒවා අනෙක් සිරකාරියන් හා හිතවත් කනිෂ්ඨ නියාමකවරියක හරහා තම සැමියාට යැවීමට අයිරිනාට හැකිවිය. ඇය කවි සඟවා තබාගත්තේ අත්වැසුම් අස්සේය. සෙල්සියස් අංශක ඍණ 15 සහිත ෂිසෝ සිරකුටියේදී වුව පාලකයන්ට හිස නොනමන අයිරිනා, යකඩ ගැහැනියක වග සිරගෙදර බලධාරීන්ට කෙටි කලක් තුළ ප්‍රත්‍යක්‍ෂ විය. ඒ වන විට ඇය හොරෙන් පිට කළ කවි, ඇගේ ස්වාමියා ඉගෝර් විසින් ඇමරිකාව, එංගලන්තය හා යුරෝපා රටවලට යවා පොත් දෙකක් ලෙස මුද්‍රණය කර තිබුණි. ඇමිනස්ටි ජාත්‍යන්තරය වැනි බටහිර මානව හිමිකම් සංවිධාන අයිරිනාගේ නිදහස වෙනුවෙන් ලොව පුරා හඬ නගන්නට පටන් ගත් පසුව, ඇයව කුරිරු ෂිසෝ කුටියෙන් ඉවතට ගැනිණි. හිරගෙදර වධබන්ධන හමුවේ හැමවිටම සිනහමුසු මුහුණින් සිටි අයිරිනාට අනෙක් දේශපාලන සිරකාරියෝ බෙහෙවින් ඇලුම් කරන්නට වූහ. රතු ආණ්ඩුවේ මර්දනීය හස්තයෙන් මිරිකුණේ තමා පමණක් නොව, බොරිස් පැස්ටනෙක්, ඔසිප් මැන්ඩිල්ස්ටමි, අලෙක් සැන්ඩර් සෙල්ෂ්සිනිට්සින් සහ ජෝසප් බ්‍රොඞ්ස්කි වැන්නන් පවා ඊට හසුවූ වග ඇය තම හිරේ මිතුරියන්ට පෙන්වා දුන්නාය. අනෙක් සිරකාරියන් සමඟ එක් වී බන්ධනාගාරයේ නිසරු භූමියක එළවළු වගාවක් ඇය ඇරඹුවේ ඔවුන්ගේ ආහාර වේලට පෝෂණය එක්කිරීම උදෙසාය.

නිදහස ලැබීම
ෂිසෝ සිරකුටියක මාස 06ක් දැඩි සීතලෙන් හා පෝෂණයෙන් තොර ආහාර වේල්වලින් කල් ගෙවන රැඳවියක අනිවාර්යයෙන්ම වන්ධ්‍යාභාවයට පත්වන වග බරෂෙවෝහි බලධාරීහු දැන හුන්හ. දරුණු මිනීමරුවන්ටත් වඩා අන්ත පහත් ආකාරයට දේශපාලන සිරකරුවන්ට සැලකීම, රතු සමාජවාදී නායකයන්ගේ පරිචය වග ‘සීමාවන් අබිබවා’ නමින් 1987 දී ඇය ලියූ පොතෙහි සඳහන් වෙයි. ජාත්‍යන්තර පීඩන අබිමුව, වසර 4ක සිරදඬුවමකින් පසු 1986 ඔක්තෝබර් 06 දින අයිරිනා නිදහස් කිරීමට සෝවියට් බලධාරීහු පියවර ගත්හ. සිරබත් කෑ කාලය තුළ ඇය විසින් පi 250ක් පමණ රචනා කොට තිබුණි. 1989 දී ඇය තම සිරගෙදර ජීවිතය ගැන “අළුපාට, බලාපොරොත්තුවේ පැහැයයි” නමින් ග්‍රන්ථයක් පළ කළාය. සෝවියට් දේශය සිරගෙවල් තුළ මිලියන 4.5ක රැඳවියන් සිටින බවත් ඉන් 1000ක් දෛනිකව අධික සීතල හේතුවෙන් මිය පරලොව යන බවත් ඇය එම පොතෙන් හෙළිදරව් කරයි. 20 වැනි වියේදී ගුරු විදුහලක ගුරු පුහුණු උපදේශිකාවක ලෙස සේවය කරද්දී, අඩු ලකුණු ගන්නා රුසියානු ශිෂ්‍යාවන් සමත් කරන ලෙසත්, වැඩි ලකුණු ලබන යුදෙව් ජාතිකයන් අසමත් කරන ලෙසත් එහි බලධාරීන් අයිරිනාට බලකර සිටියේ ඔවුන් ජාතිවාදී කෝටා ක්‍රමයක් අනුගමනය කළ නිසාය. ජාතීන්ට අනුව එලෙස වෙනස්කොට සැලකීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඔවුහු ඇය රැකියාවෙන් දොට්ට දැමූහ. ඇගේ කවි බටහිර පොත් ප්‍රකාශකයන් වෙත යැවූ වරදට සැමියා වූ ඉගෝර්ගේ රස්සාවද රජයේ නිලධාරීන් විසින් අහිමි කරන ලදි. ගොඩනැගිලි ක්ෂේත්‍රයට කුඩා ආම්පන්න නිපදවන වැඩපලක අනියම් සේවකයෙකු ලෙස ඉන්පසු වැඩකිරීමට කිර්තීමත් භෞතික විiාඥයෙකු වූ ඉගෝර්ට සිදුවිය.

බුහුමනට පාත්‍රවීම
භක්තිමත් කිතුනුවෙකු වූ අයිරිනා, සිරබත් කෑමට පෙර දේව ඇදහිල්ල, විශ්වාසයේ බලය යනාදිය ගැන බොහෝ කවි ලීවාය. මේ ආගම ඇදහිල්ලද සෝවියට් දේශයේ ගල්ගැහුණු සම්ප්‍රදායන්ට නොගැළපුණි. 1987 දී අයිරිනාට හා ඉගෝර්ට ඇමරිකාව බලා යෑමට සෝවියට් බලධාරීහු අවසර ලබා දුන්හ. අයිරිනා ඇමරිකාවට ගියේ හිරේදී ලද ගුටිබැට නිසා ඇය නිතර පෙළුණු දරුණු හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාර ගැනීමේ අභිලාෂයෙනි. හිසේ ඇම්ම සුව වී මව්බිම බලා එන්නට සැරසුණු 1987 නොවැම්බර් මාසයේදී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඇගේ පුරවැසිභාවය තහනමට ලක්කළේය. එවිට ඉලිනොයිස්හි නොර්ත් වෙස්ටර්න් සරසවිය ඇයට එහි කලා පීඨයේ රැකියාවක් ලබා දුන්නේය. 1987 දීම ඇමරිකාවේ ආගම හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආයතනය ඇයට එම වසරේ ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටීම හා අදාළ ත්‍යාගය පිරි නැමීය. 1990 දී එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචියට ගිය ඇය, ඉගෝර් සහ නිවුන් දරුවන් දෙදෙනා 1998 තෙක් එහි විසූහ. 1998 දෙසැම්බරයේදී එවකට රුසියානු ජනපතිවරයා වූ බොරිස් යෙල්ට්සින් අයිරිනාගේ පවුලේ අයට යළිත් පුරවැසිභාවය තිළිණ කළ හෙයින් ඇය නැවත මොස්කව් නුවර පදිංචියට පැමිණියාය. 2017 ජුලි 05 දින පිළිකා රෝගයෙන් මියයන විට (63 හැවිරිදි) ඇයට රුසියාව තුළද විශාල පිළිගැනීමක් හිමිව තිබුණි. එහෙත් ඇගේ හොඳම කවි ලියැවුණේ ෂිසෝ කුටිය තුළදීය. සමාජවාදය ගැන සිහින දකින කවුරුන් වුවද අයිරිනාගේ කෘති අනිවාර්යයෙන් කියවිය යුතුය.!