රාවය

මේ ක්‍රිකට් කතා නවතා මොහොතක්. අපි අවට බලමු ඇස් ඇරලා

මේ ක්‍රිකට් කතා නවතා මොහොතක්. අපි අවට බලමු ඇස් ඇරලා

ටිරන් කුමාර බංගගමආරච්චි

අද ක්‍රීඩා පිටුවලින් ඔබ්බට පැන පත්තර පිටු මෙන්ම විiුත් මාධ්‍යවලද, කඩපිලේ, කෝච්චියේ, බසයේද, මධුසාදවලද, පාර්ලිමේන්තුවේද කතාබහ ක්‍රිකට්ය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදු වූයේ කුමක්ද? සැවොම තමන් දන්නා බසින් දෙස් දෙති. දොස් දෙති. අද මෙරට ක්‍රිකට් පිල යනු කාගෙත් බයිට් එකක් බවට පත්වී කටින් කට හැපි හැපී ගොස් කෙළ පිඩක් වී බිම වැටෙන තරම්ය. මේ ජාතික විරුවන් ලෙස සැලකු පිරිසක්ය. සිද්ධ වූයේ කුමක්ද?

දැන් සිද්ධ වී ඇත්තේ සිද්ධ වූයේ කුමක්ද කියා සොයා බලනු වෙනුවට එකිනෙකා එකිනෙකාට චෝදනා කර ගන්නා රංගනයන්ය. මෙහි ප්‍රධානතම සාධකය අර්ජුන රණතුංගය. අර්ජුන ඇමති කෙනකු වුවද ඔහු ඉන්නේ ක්‍රිකට් වෙනුවෙන් මද්දුම බණ්ඩාර වන තැනකය. ඔහුගේ එකම ඉල්ලීම ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමය. තිලංග සුමතිපාල සමඟ ඇති පෞද්ගලික ආරෝව මෙයට හේතු බව පැහැදිලිය. සැවෝම පෙනී සිටිනුයේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුවය.
යම් හෙයකින් ක්‍රිකට් පාලන මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කළහොත් මේ ප්‍රශ්න සියල්ල අහවර වේද? ලංකාවේ ක්‍රිකට් අද අන්තයට වැටී ඇත්තේ තිලංග එහි සභාපති නිසාද? ඔහු ඉවත් කොට අතුරු කමිටුවක් පත්කළහොත් අර්ජුන සතුටු වේද? එවිට ඔහුගේ ඉල්ලීමට අනුව ඔහුගේ එකඟ අය අතුරු කමිටුවේ සිටිය යුතු නැද්ද? ඇතැම් විට එහි සභාපතිකම ඔහු ඉල්ලනවා විය නොහැකිද?

මෙවැනි ප්‍රශ්න අට අනුවක් ඉන්ද නිර්මාණය විය හැකිය.
ක්‍රීඩා ඇමති මේ සියල්ලෙහිම ගිරයට හසු වූ පුවක වී ඇත. ඔහු මුල සිටම තිලංගට හොඳ මිනිහා වන්නට යෑම සැබෑවින්ම නොවිය යුතුව තිබුණි. අද ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රබල මතය නම් ක්‍රීඩා ඇමති තිලංගගේ සුවච කීකරු ගෝලයකු බවය. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් තරගවලට පෙර පිටිය පරීක්‍ෂා කිරීමටද යයි. එය ඔහු හෑල්ලුවට වැටෙන මැටි වැඩය. ඔහු පිට්ටනිය ගැන දන්නේ මොනවාද? සමහර විට දන්නවාද ඇත. එහෙත් එය නොහොබිනාය.

ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රිකට් යනු එක ක්‍රීඩාවක් පමණි. එහෙත් ඔහු ආ දවසේ සිට ක්‍රියා කරනුයේ එකම ක්‍රීඩාව එය ලෙස සලකාය. සනත් ජයසූරිය එන හැම ක්‍රීඩා ඇමති ළඟම කීකරු විය. ප්‍රතිඵලය දිගින් දිගටම තේරීම් කමිටු සභාපති වීමය. මෙය ලක්‍ෂ ගණන් වැටුප් ලබන තනතුරකි. එය අතහැර යෑමට සනත් කැමති වුයේ නැත.

ක්‍රීඩා ඇමති මාධ්‍යයට කියා තිබුණේ මේ සිටිනුයේ හොඳම කණ්ඩායම බවත් මීට වඩා සුදුසු අය ඉන්නේ නම් පෙන්වා දෙන ලෙෂත්ය. එම කතාවම විලි ලැජ්ජා නැති කතාවකි. එකම මතක තබා ගත යුත්තේ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් මාධ්‍ය ප්‍රකාශකයා නොවන බවය. නොවිය යුතු බවය. එහෙත් මුල සිටම ක්‍රීඩා ඇමති තිලංගගේ ආරක්‍ෂකයා වී ඇත. මේ කතා ඇමති කීව යුතු කතා නොවේ. ඒවා ක්‍රිකට් ආයතනය බලා ගත යුතු දෑය. කණ්ඩායමට සුදුසුම අය තෝරා ඇතැයිද මීට වඩා සුදුසු අය ඉන්නවා නම් කියන්නැයි ද ඇමති කීම විහිළුවකි. ඇමති කියන ආකාරයට එම සොයා දීම් කළ යුත්තේ ජනතාවද? ලක්‍ෂ ගණන් වැටුප් ගෙවා තේරීම් කමිටු පත් කරනුයේ ඇයි? ඒ බව ඇමති ඇසිය යුත්තේ ක්‍රිකට් බලධාරින්ගෙන්ය. මේ පරාජයට වාර්තාවක් ඉල්ලිය යුත්තේ ඔවුන්ගෙන්ය.
අනෙක් අතට තරගයෙන් තරගයට උමතුවෙන් මෙන් කෑ ගැසීම විකාරය. මේ කුමන ප්‍රතිසංස්කරණයකට වුව යෑමට මේ තරගාවලිය අවසන් වන තාක් සිටිය යුතුය. ඒ තරම් හෝ ඉවසීමක් බොහෝ අයට නැත්තේ ඇයි? තරගයක් පරදින සැණින් කුලප්පු වී කෑමොර දීම හරහා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට දෙන නරක පණිවිඩය කුමක්ද? සත්තු බැද දමනු වෙනුවට ලිහා කුලප්පු කරන්නේද මාධ්‍යමය. ඒ දේශපාලකයන්ගේ කතා දමමිනි.

අර්ජුන රණතුංග ද ක්‍රිකට් ගැන කතා කිරීම අවංක නැති බව පැහැදිලිය. ඔහු කුහක ප්‍රතිපත්තියක ගිලි ඇත. ක්‍රීඩාව යනු ක්‍රිකට් පමණක් නොවේ. දැන් ක්‍රිකට් ගැනම වෙහෙසීම ඇතිය. එය ජයග්‍රහණය වන තෙක් කියව කියවා යෑම තේරුම් නැත. ක්‍රීඩා ඇමතිද ක්‍රිකට්වලට ඇලි ගැලී නොසිට ක්‍රීඩාව වෙනුවෙන්ම වැඩට බැසිය යුතුය. දැන් පටන්ගත යුතුය.■