රාවය

ගිනි ගත් ඊඞ්න් උයනේ තරගයේ වීරයා සොයා කල්කටාව පීරුවෙමි

ගිනි ගත් ඊඞ්න් උයනේ තරගයේ වීරයා සොයා කල්කටාව පීරුවෙමි

එය යක්‍ෂයාගේ අදිසි හස්තය කල්කටාවේ සුප්‍රකට ඊඞ්න් ගාර්ඞ්න්ස් ක්‍රීඩාංගනය වෙත දිඟු අසුන්දර රාත්‍රියක් විය. බීම බෝතල, ටින් කැබලි, ගල්මුල් ඇතුළු හස්ත ග්‍රහණයට හසු වූ සෑම සියලු දෙයක් ම ක්‍රීඩා පිටියට ඇදී ආයේ, ඒ අසබඩ පිහිටු හූග්ලි නදිය ඉසව්වෙන් හමා ආ සැඩ සුළඟේ වේගය පරයමිනි. මුළු මහත් භාරතයට ම ආඩම්බරයක් වූ මේ මනරම් ක්‍රීඩාංගනය යුද පිටියක සිරියෙන් ඇළැලී යාමට ගත වූයේ ඇසිපිය හෙළන නිමේෂයකි.

දිනය 1996 මාර්තු 12 දා විය. මෙදින ඊඞ්න් උයනේ පැවැතියේ හයවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගයකි. ඒ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තරගයයි. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 251ක් රැස් කොට තිබිණි. ඊට පිළිතුරු වශයෙන් ඉන්දියාව එක් අවස්ථාවක එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 98ක් රැස් කොට දිනුම් අඩවියට පය ගසා සිටියත්, සියල්ල කණපිට හැරුණේ පිට පිට ම තවත් කඩුලු හතක් ලකුණු 22කට දැවීයාමත් සමඟ ය.
එක් ලක්ෂයක් පමණ වූ නරඹන්නන් පිරිස අතරින් ඇතැමුන් මේ අවස්ථාවේ නො සන්සුන්තාවකට පත් වූයේ ඉන්දීය පිල කරා හඹා එන නියත පරාජයක උණුසුම උසුලාගත නො හැකිවය. නොයෙක් දෑ ක්‍රීඩා පිටිය කරා එල්ල වන්නට වූයේ එතෙක් සන්සුන් ගමනේ ගිය තරගයට මඳ විරාමයක් සපයමිනි.
තරගයේ තීරකන හැටියට කටයුතු කළ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු ක්‍රිකට් නායක ක්ලයිව් ලොයිඞ් පිටිය මැදට පැමිණ සියල්ල සන්සුන් කිරීමට යත්න දරයි. ඒ පරිශ්‍රමය මොහොතකට සඵල වූවා සේ ය. තරගය නැවත ඇරඹෙයි. නැවත වතාවක් පුරවාපු බීම බෝතලයක් පන්දු රකින්නකු අසල පතිත වෙයි.

සියල්ල දෝර ගලා ගියේ ඉන් පසු ව ය. කෝපාග්නියෙන් දැවුණු ඇතැම්හු ගිනි හුළු අවුළුවා ගත්හ. ක්‍රීඩාංගනයේ ඇතැම් තැනක් ගිනි රකුසාට බිලි වූයේ සැණෙකිනි. තරග බිම යුද පිටියක සෙයියාවෙන් දිස් විණ. ඒ යක්‍ෂයා ගේ රාත්‍රියේ සිදු වූ සෑම සිදු වීමක් ම රූපවාහිනි කැමරා ඇසින් ලොව සතර දිග් භාගයේ වෙසෙන කෝටි සංඛ්‍යාත නරඹන්නන් හමුවේ දිග හැරෙමින් තිබිණ. කෝපාග්නියෙන් මුසපත් මුහුණු අතරින් ඇදී ගිය රූපවාහිනි කැමරා ඇස, හදිසියේ නතර වූයේ එක් නරඹන්නකු ඉලක්ක කරමිනි. ඒ දර්ශනය ගිනි ගත් ක්‍රීඩාංගනයට ඉහළින් පෑයූ දේදුන්නක් සේ විය. නො උස් හීන්දෑරි තරුණයකු අත කිසියම් පාඨයක් ලියැවුණු පුවරුවක් විය.
“වී ආ සොරි. කන්ග්‍රැජුලේෂන් ශ්‍රී ලංකා ’ (අපට සමාවන්න. ශ්‍රී ලංකාවට සුභ පැතුම්) යනුවෙන් එහි ලියැවී තිබුණ.

මුලින් ම තරග විස්තර ප්‍රකාශකරුවන්ගේත් දෙවනු ව දෙස් විදෙස් පුවත්පත් වාර්තාකරුවන්ගේත්, ඉන් පසු ව ලෝක ක්‍රීඩා ප්‍රජාවගේත් අතිමහත් පැසසුමට ලක් වූ මේ ක්‍රියාවට ඉදිරිපත් වූයේ, කල්කටාවේ ම තරුණයෙකි. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන ලියැවුණු සෑම ලේඛනයක ම පාහේ, මේ විරල සිදුවීම ගැන සඳහන් වීම ම මෙහි වැදගත්ම වඩාත් සාක්‍ෂාත් කරතැයි කිව හැකි ය. මොහුට තෑගි බෝග දිය යුතු බවට අපේ රටේ ඇතැමුන් යෝජනා කළ වග ඒ දිනවල පළ වූ පුවත්පත් වාර්තාවල සඳහන් විණ.

මේ පෝස්ටරය ලියා එය ගිනිගත් තරග බිමේ දී ම ලෝකයා හමුවේ පෙන්වූ තැනැත්තා, අනිර්බාන් මෙයිති නම් වෙයි. ඔහු ගේ නම කල්කටාවේ “වෙසෙන ප්‍රදේශයත් අප දැන ගත්තේ නවදිල්ලි හරහා පළ කෙරුණු විශේෂාංග ලිපියකිනි. නමුත් මිලියන පහළොවකට අධික ජනකායක් වෙසෙන කල්කටාවේ පදිංචිකරුවකු සෙවීමට, ඒ වග නො සෑහෙන බව අපට තේරුණේ කල්කටාවට ගොස් අනිර්බාන් සෙවීමේ කාරියට අත ගැසූ පසු ව ය. කල්කටා ක්‍රිකට් සහ පාපන්දු සමාජයේ ජින්ගන් නමැති මිතුරා අප අත ගැසූ ඒ කාරියට උදව් නො වන්නට, දින දෙක තුනක අසාර්ථක වෙහෙස වීමකින් පසු ව මේ ව්‍යායාමය අප විසින් අතැර දමන්නට ඉඩ තිබිණ.

දුරකථනයෙන් ඇයි හොඳයිකම් කතා කොට දැන හඳුනාගත් අනිර්බාන් මෙයිති, මට හමු වූයේ කල්කටා ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාංගණයේදී ය. බොහෝ කල්කටානුවන් මෙන් නිව් මාර්කට් හෝ ඒසී මාර්කට් ගියා දැයි කියා හෝ පාක් වීදියේ සාප්පු සවාරියක ගියා දැයි කායි හෝ හව්රා පාලම හෝ බෙංගාල සත්ව උද්‍යානය බලන්නට හෝ ගිය දැයි කියා හෝ ඔහු ඇසුවේ නැත. ඔහුගේ කතාවට කෙළින් ම ක්‍රිකට් ක්‍රීඩාව මාතෘකා විය.

අනිර්බාන් මෙයිති ගේ වයස අවුරුදු විසි හතකි. වාණිජවේදී උපාධිධරයකු වන හෙතෙම, කම්පියුටර් විiාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක ද හිමිකරු වෙයි. රැකියාව පුවත්පත් බෙදා හරින්නෙකු සේ කටයුතු කිරීමයි. පදිංචිය ඊඞ්න් උයනට හූවක දුරින් පිහිටි ශ්‍රීමන්තා දේ පටුමඟේ ය. අනිර්බාන්ට සහෝදරයන් දෙදෙනෙකි. සහෝදරියන් ද දෙදෙනෙකි. ඒ සියල්ලෝ ම විවාහක ය. නමුත් අනිර්බාන් තනිකඩයෙකි. දෙමාපියන් ද සමඟ ඔහු මහ ගෙදර වාසය කරයි. අවුරුදු 19න් පහළ කල්කටාවේ ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහු සහභාගී වී ඇත.

අප’තර පිළිසඳර කෙරෙන අතරතුර, අනිර්බාන් තම අත රැඳි ලියුම් කවරයෙන් කිසියම් ලේඛනයක් එළියට ගති. ඒ අර සුප්‍රකට පෝස්ටරයයි. සුදු පැහැති කඩදාසියක පෑනකින් ලියූ ඒ ඵෙතිහාසික අකුරු පේළිය. “WE ARE SORRY. CONGRATULAION SRI LANKA” යි. කාලයා ගේ ඇවෑමෙන් එය දුර්වර්ණ වී තිබිණ. මේ පිළිබඳ ව ලිපි පළ වූ බෙංගාල පුවත්පත් කීපයක් ද ඔහු මට පෙන්වී ය. ශ්‍රී ලංකාව පිළිබඳ කිසියම් සෙනේ සිතක් පාන්නට මුල් වූ හේතු කාරණා ගැන මම ඔහුගෙන් විමසීමි.
“ශ්‍රී ලංකාව ගැන මට ඇත්තේ පුදුම ඇල්මක්. ශ්‍රී ලංකාව ඕනෑ ම තරගයකට සහභාගි වන විට මගේ මනාපය ඔවුන්ටයි…. හැබැයි ඉන්දියාව සමඟ තරගවල දී හැර. මම හිතන්නේ මේ ඇල්මට හේතුව ශ්‍රී ලංකාව අපේ අසල්වැසි කුඩා රටක් වීමත්, අවුරුදු ගණනාවක් ක්‍රිකට් පිටියේ දස්කම් පෑවත් හුඟක් කල් ගත වී ටෙස්ට් වරම් ලබාගැනීම වීමත් විය යුතුයි.”

අර ඊඞ්න් උයනේ ඵෙතිහාසික රාත්‍රිය පිළිබඳව සිය මතකය අවදි කළ අනිර්බාන්, මෙසේ කී ය. “මම එදා ලෝක කුසලාන අවසාන පූර්ව ක්‍රිකට් තරගය බලන්ට ගියේ මගේ අයියා, නෑනා සහ මස්සිනා සමඟ. තවත් නෑදෑ සහෝදරයෙකුත් අපිට එකතු වුණා. අපිට ටිකට් ලැබුණේ බෙංගාල ක්‍රිකට් සංගමයෙන්. මම ඒකෙ සාමාජිකයෙක්. ඉතින් අපි සියලු දෙනාට ම ඕනෑ වුණේ ඉන්දියාව දිනනවා දකින්නයි. තරගයේ මුල් හරියේ දී පෝස්ටර් අඳින කොළ වගයක් බෙදුවා, බීම සමාගමක අනුග්‍රහයෙන්. එදා පෝස්ටර් තරගයක් තිබුණා තරගයේ ඉනිම දෙක අතර විවේකයේ දී. මාත් හොඳ පාඨයක් ලියා තරගයට ඇතුළු වන අදහසින් කොළයක් ලබාගත්තා. ඉනිම අතර විවේකයේ දී අපි කෑවේ ගෙදරින් ගෙනිච්ච කෑම. එදා අපි චපාති, එළවළු හොඳි, සොන්දේශ් ( පැණි කෑම විශේෂයක්), දොඩම් ආදිය කෑවා මට හොඳට මතකයි. කෑම කාලා ඉවර වෙන කොට ම ඉන්දීය ඉනිම පටන් ගත්තා. ඒකෙන් මට පෝස්ටර් තරගය ගැන අමතක වුණා. එදා හරි ම රස්නෙ දවසක්. අනෙක හැමෝට ම ඕනෑ වුණේ ඉන්දියාව දිනනවා දකින්නට. එහෙම නොවන බව දැනගත්තා ම නරඹන්නන් අතර ලොකු අසහනයක්…. නොසන්සුන්තාවක් හට ගත්තා. ගල් මුල් එල්ල වන්නට පටන්ගත්තේ එතකොට. මට ලොකු දුකක් ඇති වුණා ලැජ්ජාවකුත් එක්ක. ඇයි මුළු ලෝකෙම මේ තරගය බලන වෙලාවේ. අපේ නගරේ…. කල්කටාවේ මෙහෙම අශෝභන දෙයක් සිදු වීම ගැන. කල්කටාවේත් ඉන්දියාවේත් ක්‍රීඩා ලෝලීන් ගේ හොඳ නම රැකගන්නට මොනවා හරි කළ යුතු යැයි මට හිතුණා. ඒත් මං කියලා මොනවා කරන්න ද, හැමෝම එහාට මෙහාට දුවන පනින වෙලාවේ. බීම සමාගමින් බෙදපු පෝස්ටර් අඳින කොළය ගැන මට මතක් වුණා. මම විගහට සාක්කුවෙන් පෑන අරන් ඒකෙ ඒ වෙලාවේ ඔළුවට ආපු දේ ලිවුවා. ලියලා ඒ පුවරුව උස්සාගෙන හිටියා. ඒක රූපවාහිනිය මඟින් ලෝකේ පුරා ගිහින් මේ තරම් ප්‍රසිද්ධ වෙයි කියලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ. ගෙදර ගිය ගමන් අම්මා කීවා අන්න උඹ ව කීප වතාවක් ම රූපවාහිනියෙන් පෙන්නුවා අර පුවරුවත් එක්ක…… ටෝනි ග්‍රෙග් ද කොහෙද හරියට මේ ගැන හොඳ කීවා කියා.”
මේ දක්වා අනිර්බාන්ට ශ්‍රී ලංකාවෙන් කිසිවකු මුණ ගැසී නැත. ඔහුගේ ඒ ක්‍රියාව පිළිබඳ ව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ගේ ප්‍රතිචාරය කුමක් වී දැයි දැන ගැනීමේ නොතිත් ආසාවෙන්, ඔහු පසු වූ බව අපට හැඟිණ.

මට අනිර්බාන් කල්කටාවේ දී මුණ ගැසුණේ 66වන සමස්ත ඉන්දියානු රග්බි පාපන්දු තරගාවලිය සඳහා එහි ගොස් සිටිය දීය. ඒ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූයේත්, ජය ලැබුවේත් නුවරඑළිය වතු වගාකරුවන් ගේ ක්‍රීඩා සමාජය ලෙස වඩාත් ප්‍රකට රදැල්ල ක්‍රීඩාංගනය හිමි දිඹුල ක්‍රීඩා සමාජය යි. අප දැන හඳුනා ගත් පසු, දිඹුල පිල සහභාගී වූ සෑම තරගයක් ම නැරැඹීමට අනිර්බාන් පැමිණ සිටියේ ය. එතෙකින් නො නැවතී දිඹුල පිල දිරිමත් කරන්නට ද වෙහෙසුණේ ය. ඒ, රග්බි ක්‍රීඩාව ගැන හාංකවිසියක් දැන නො වේ. දිඹුල පිල, ශ්‍රී ලංකාව නියෝජනය කළ බැවිනි. ඔහු එතරම් ම ශ්‍රී ලංකාවට ඇලුම් කරන්නෙකි. ■

නිල් විජේරත්නයන්ගේ “දෙවැනි ඉනිම” පොතෙන් උපුටා ගත් මේ කතාව අදට වඩා උචිතය. එය මෙරට කුලප්පු වූ ක්‍රිකට් ලෝලීන්ට පාඩමක් බදුය. මෙයින් උගත හැකි දේ බොහෝය.