රාවය

මොන සම්බන්ධයක්වත් වැඩක් නෑ, පීඩාකාරී නම්.. | රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ඒකනායක

මොන සම්බන්ධයක්වත් වැඩක් නෑ, පීඩාකාරී නම්.. | රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ඒකනායක

ටිරන් කුමාර බංගගමආරච්චි ඡායා/අසංක රූපංජන

‘අශෝකමාලා’ කියලා දැම්මේ ඇයි කියලා ගෙදරින් අහලා තියෙනවාද?
තාත්තාගේ පැත්තේ නෑයෙක් ඉන්නවා එයාගේ නම අශෝකමාලා. මේ නමට තාත්තා හරි කැමතියි. ඒ හින්දා මටත් ඒ නම දාලා.

එතකොට ගම කොහෙද?
එතකොට ගම හැබැයි දැන් නම් නගරය. පොල්හේන්ගොඩ කොළඹ 05. මම කසාද බැඳලා පුතා හම්බ වෙනකම්ම එහේ හිටියේ. අවුරුදු 25ක්. මගේ පුංචි කාලය තරුණ විය දෙකම ගෙවෙන්නේ එහේ. අපේ ගෙවල් ගාව තලකොටුව වත්ත. ඒ කාලේ විජය කුමාරතුංග නැවතිලා හිටියේ එහේ. අපි පුංචි වුන් විජයගේ කාර් එක පස්සේ දුවගෙන යනවා මට තාම මතකයි. එහේ මාලනීත් එනවා. තව ඒ පැත්තේ කේ.ඩී.කේලා දයාලා කලාකාරයෝ පිරිලා හිටියා. මට ඒවා නම් ගාණක් වත් වුණේ නැහැ. මගේ ලෝකයේ මම හිටියේ.

මොකක්ද ඔයාගේ ලෝකය?
අපේ ගෙවල් ඉස්සරහා කැලේ. මම සෙල්ලම් කරන්නේ ඔය කැලේ. ඊළඟට පෙනෙන්නේ වෙල්යාය. ගංවතුර එනකම් බලාගෙන ඉන්නේ කෙසෙල් කොට පාරුවේ යන්න. එහෙම පරිසරයක් අද තියෙන විදිය දැක්කාම හිතා ගන්නත් බෑ. කවුරු හරි දවසින් දෙකින් සේරම වෙනස් කරලා වගේ.

ඒ කාලේ දිල්හානිලගේ ගෙදර පසුබිම කොහොමද?
තාත්තා හෝටල් අංශයේ වැඩ කළේ. වැඩිපුරම ඉන්නේ රට. අවුරුද්දකට සැරයක් තාත්තාව දකිනවා කියන්නේ හරි ලොකු දෙයක්. කොහොම හරි තාත්තාට ලොකු හැකියාවක් තිබුණා ගිටාර් ගහන්න. එයා පොඩි බෑන්ඞ් එකකුත් හදාගෙන හිටියා. වැඩි ප්‍රසිද්ධිය පස්සේ තාත්තා ගියේ නැහැ. ඒත් තාත්තාගෙන් ගිටාර් ඉගෙන ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒක තාත්තාගේ විනෝදය. ගෙදර ආර්ථික අපහසුකම් තිබුණේ නෑ. හැබැයි අපි පොහොසත් පවුලකුත් නෙමෙයි. මූලික අවශ්‍යතා ටික ඉටුවන නිසා ඊට එහා ලොකුවට හිතුවේ නෑ.

දිල්හානිට සංගීතය ඉගෙන ගන්න හිතුණේ නැද්ද?
අපෝ නෑ. තාත්තා සංගීතය කළා කියලා මගේ කලාවට යොමුවීමට ඒකේ කිසිම සම්බන්ධයක් නෑ. මම පුංචි කාලේ ඉඳලම යොමු වුණේ නැටුමට. පාසලේ නැටුම් කණ්ඩායමට එකතු වුණා. එතනින් සමස්ත ලංකා, ජාතික තලය දක්වා ආවා. මේ අතර ‘සාම බැලේ’ කණ්ඩායමට එකතු වුණා. එතැනින් ප්‍රේමසිරි කේමදාසගේ බැලේ එකට යොමු වුණා. පස්සේ සර්වෝදය නැටුම් කණ්ඩායමට එකතු වුණා. නැටුම්වලදී මගේ දක්‍ෂතා උපරිම තිබුණා. ඒ හැකියාව ලබා ගන්න මම වාසනාවන්ත වුණේ ලංකාවේ අතිදක්‍ෂ නැටුම් ශිල්පීන් බොහෝමයක් ළඟ වැඩ කරලායි. පුහුණු වෙලායි. රවිබන්දු විiාපති සිට පණීභාරත සර් ගාවත් පුහුණු වුණා. ඊළඟට චන්න සර් ළඟට ගියාට පස්සේ නැටුම් අවසානය තෙක් රැඳී සිටියේ ඔහු ළඟ.

නැටුමෙන් ඉස්සරහට යන්න ගිය දිල්හානී චිත්‍රපටවලින් ඉදිරියට ආවේ කොහොමද?
එක අහම්බෙන් වෙච්ච දෙයක්. එතකොට මට අවුරුදු 18යි. මම කඬේට ගිහිල්ලා එනකොට කාර් එකක් නතර කරලා. ඒකේ හිටපු මනුස්සයා මගෙන් ඇහැව්වා. බයිස්කෝප් එකක රඟපාන්න කැමතිද කියලා. බයිස්කෝප් කිවුවාම මම බය වුණා. මම කිව්වා අනේ ඕනෑ නෑ කියලා. හරි කමක් නෑ. ඕනෑ වුණොත් මාව හම්බ වෙන්න එන්න, මම යසපාලිත නානායක්කාර කියලා කිව්වා.
කොහොම හරි ඔය කාලේ අපේ ගෙදරට නිතර වාගේ ලාල් වීරසිංහ එනවා. මම ලාල් අයියාට මේක කිව්වා. පිස්සුනේ බෑ කිව්වේ. නිකමට හරි ගිහින් එන්න තිබුණා. යමු මම එක්ක යන්නම් කියලා මාවයි, අම්මායි එක්ක යසපාලිත හොයාගෙන ගියා. ඉතින් මාව අත උඩින්ම තෝරාගත්තා කියන්නකෝ. අජිත් ජිනදාස එක්ක තමයි මුලින් රඟපාන්න තිබුණේ. මේකේ ෂූටින් තියෙන්නේ නුවරඑළියේ කිව්වාම මට ඉහේ මලක් පිපුණා වගේ. මම කවදාවත් නුවරඑළියේ ගිහින් තිබුණේ නැහැ. රඟපෑමට වඩා නුවරඑළියේ යන ආශාව තමයි තිබුණේ. එහෙම පටන් ගත්ත සිනමා ගමන තවම එනවා.

එතකොට නැටුමට මොකද වුණේ?
නැටුම්වලින් ඉදිරියට යන්න තමයි හිතුවේ. ඒත් කොහෙද, පාරේ යනකොට ෆිල්ම් රඟපාන්න හම්බ වුණානේ. ඒවායින් ටික ටික ජනප්‍රිය වෙනකොට සල්ලි එහෙම හම්බ වෙනකොට ඒකෙම ඉන්නයි හිත. ආයේ මුකුත් නෑ. ඒකෙම හිටියා.

නිළියක් වීම ගැන සතුටුද?
අපෝ ඔව්! මෝඩ තීන්දු අරගෙන ඒක අතරමඟ නතර කරගන්නේ නැතිව ඒ ක්‍ෂේත්‍රයේම ඉදිරියට ආ එක ගැන සතුටුයි. නිළියක් වීම ගැන ලොකු සතුටක්, ආඩම්බරයක් තියෙන්නේ.

මුල්ම කාලේ රඟපෑම් අද දකිනකොට මොකද හිතෙන්නේ.
අඩුපාඩු ගොඩයි. ඒත් ඒ ආරම්භයනේ මාව මේ තරම් හරි ගෙනාවේ. ඒ සතුට තියෙනවා. ඒ හැම දේටම වඩා මම කැමති ඒ චරිත කරනකොට මගේ ළඟ හිටපු දැවැන්ත චරිතවලටයි. ප්‍රේඩී සිල්වා, ජෝ අබේවික්‍රම, එහෙම දකිනකොට අනේ මම කුණු ගොඩක් විදියට හරි අර වගේ දැවැන්ත චරිත ළඟ හිටියානේ කියලා හිතෙනවා. ඒ සතුට තමයි මම පරණ චිත්‍රපට දකිනකොට විඳින්නේ.

පුංචි කාලේ චිත්‍රපට එහෙම බලනවාද?
පුංචි කාලේ එහෙම ලොකු ආශාවක් තිබුණේ නැහැ. අම්මා ආසයි විජය-මාලනී ඉන්න චිත්‍රපටවලට. ඉතින් අපිවත් එක්ක යනවා. ඒ හින්දාමදෝ මම මාලනීගේ පින්තූර එකතු කළා. කොටින්ම එයාට ලිපි පවා ලිව්වා. උත්තර ආවේ නැහැ. රඟපානකොට මම ආස කළේ ජෝ අබේවික්‍රම කියන නළුවාට. අදටත් ඔහු තමයි මම කැමතිම නළුවා.
යසපාලිත ඔයාට රඟපාන්න අඬගහන්න ඇත්තේ රූපයට වෙන්න ඇති.
වෙන්න ඇති නේද? (හිනා) නැටුම් එහෙම කරලා ආකර්ෂණීය සිරුරක්. රූපමය වශයෙනුත් ලස්සනක් මට තිබුණා. ඒකනේ පාරේ යනවා දැකලා බයිස්කෝප් එකකට අඬගැහැව්වේ. (හිනා)

කැමරාව ඉස්සරහ රඟපාන්න කැමති පෙම්වතෙක් ඉන්නවාද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. හැබැයි මම කැමතියි නළුවා කවුරු වුණත් මට වඩා ඔහුට දක්‍ෂතා තියෙනවා නම්. මොකද එතකොට මට ඔහුගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ ළඟදී සෞම්‍ය එක්ක රඟපෑවාම මම සෑහෙන්න පිරුණා. ඔහුගේ ප්‍රතිභාව හරි ඉහළයි. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහු වැනි නළුවකු සමඟ රඟපෑවාම මගේ ප්‍රතික්‍රියාවන් දියුණු වෙනවා. මේ දේ රඟපෑමෙන් වගේම සාමාන්‍ය ජීවිතයෙත් මම බලාපොරොත්තු වෙනවා.

රඟපෑමට එන්න කලින් ආදරයක් තිබුණේ නැද්ද?
ගොඩාක් තිබුණා. හරියට තිබුණා. ඒවා හරිම කෙටි කාලයයි තිබුණේ. ඒ විහිළුවට කරනවා නෙමෙයි. ප්‍රශ්න කරදර එනවා නම්, කොටින්ම ආදරය පීඩාකාරියි නම් මම ඒකෙන් අයින් වෙනවා. මොකද, මොනම සම්බන්ධයක්වත් වැඩක් නෑ පීඩාකාරී නම්.

ප්‍රියංකරද බඳින්න හිටපු හොඳම කෙනා කියලා අද හිතන්නේ.
ඔව්! ඇත්තටම ඔව්! මොකද මගේ වෘත්තීය ජීවිතයේ උපරිම නිදහස ප්‍රියංකර මට දීලා තියෙනවා. ඒකට මම ප්‍රියංකරට ගරු කරනවා. මගේ කකුල පෙනුණා. උරහිස පෙනුණා වගේ බාල දේවල්වලට එල්ලෙන ගති එයාගේ නෑ. ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයට මාව තල්ලු කළේ එයා. එහෙම තල්ලු කළ ඒවායින් තමයි මට සම්මාන හම්බ වුණේත්. මට සාම්ප්‍රදායික ගැටලු නෑ. එහෙම තිබුණා නම් ඉන්නේත් නෑ. (හිනා) මෙලහකටත් ඉවරයි එහෙනම්. කොහොම වුණත් ප්‍රියංකර දුන්න නිදහස මට මගේ පෙම්වතුන්ගෙන්වත් ලැබුණේ නෑ.

විවාහයෙන් පස්සෙත් ඔබට ආදරය ලැබිලා ඇති.
මම සාම්ප්‍රදායික නෑ. සම්මතයේත් නෑ. ජීවිතය ගලාගෙන යන රටාව බලහත්කාරයෙන් වෙනස් කරන්න මේ රාමුවට ඉන්න ඕනෑ කියලා ක්‍රමයක් මට නෑ. ඒ නිසා විවාහයෙන් පසු පෙම්වතුන් හමුවිය හැකියි. ආදරය ලැබිය හැකියි. එහෙම නොවී එකම විදියට ගලා යන ජීවිතත් තිබිය හැකියි. ඒක සාමාන්‍යයි වගේම අරකත් සාමාන්‍යයි. මේවා ලොකු කරගෙන දඟලන්නේ පිට අය. ජනප්‍රිය කෙනෙක් නම් මාධ්‍යයටයි ඒකේ ප්‍රශ්නය තියෙන්නේ. මාධ්‍ය ලොකු දේවල් කතා කළාට අන්තිම වැඩවසම් ලිංගික ප්‍රශ්නවලදී. ඔවුන්ගේ මැදිහත් වීමෙන් සිදුවන නරක ඒ අය දන්නේ නෑ. මේ හැම දේකින්ම ජීවිතයට හානියක් නෑ. ජීවිත පවතින්න පුළුවන්. ඒත් ඒ පැවැත්ම නැති කරන්නේ මාධ්‍ය. ඒ අය නැවත ගෙදරට එන මාර්ග අවහිර කරනවා. ඒ විතරක් නෙමෙයි ගෙදර දොර ජනෙලුත් වහනවා. මම මේ කිව්වේ ඔබ අහපු ප්‍රශ්නයේ අතුරු කතාව. ඔයා අහපු ප්‍රශ්නයට කියනවා නම් ඒවා තියෙන්න පුළුවන්. මටත් එහෙම වෙලා ඇති.

දිල්හානි දැන් වඩා කැමති නිළියටද බිරිඳට ද මවටද?
නිළියට. මම බිරිඳ වන්නත් මව වන්නත් ඉස්සර වෙලා තමයි නිළියක් වුණේ. ඒක තමයි මගේ ජීවිතේ ප්‍රබලතම කොටස. මගේ වෘත්තියේ ඒක නොවන්න අද ඔබ මාව හමුවෙන්න එන්නේ නෑ. ප්‍රියංකර මට කැමති වෙන්නේත් නෑ. මේ රටේ බහුතරයක් මාව දන්නේත් නෑ. කොටින්ම මගේ කශේරුව තමයි නිළිකම.

ලස්සන අඩු වෙනකොට මොකද හිතෙන්නේ.
හිතෙන ඔක්කෝම කියන්න බෑ. හැබැයි ඒ ඔක්කෝටම වඩා හිතනවා දැන් ඒකට මුහුණ දෙන්න ඕනෑ කියලා. දැන් හිතෙනවා කොණ්ඬේ කළු කරගෙනම ඉඳලා හරි යන්නේ නෑ. සුදු පාටත් පෙනෙන්න ඕනෑ කියලා. මම උපතින් බෞද්ධ. ඒත් මම ක්‍රියාවෙන් බෞද්ධයෙක්ද කියන්න මම තවම දන්නේ නෑ. මට හිතෙන්නේ මම තවම බෞද්ධයෙක් නෙමෙයි. එහෙම නොවුණාට මේ ධර්මතාව ටිකක් මට තේරෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා කියලා දන්නවා. දැන් රූපයත් ටික ටික වියැකෙනවා. ඒක ගැන මම හිතනවා. ඒ වයසට ගැළපෙන්න ඉන්න උත්සාහ කරනවා. හෙට මොනවා වෙයිද දන්නේ නෑ. අද නම් කනගාටුවක් නෑ.

ඔබ දැන් දේශපාලනයෙත් බැහැලා වැඩ.
මම දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. ඒත් පුරවැසියෙක් විදියට දැනෙන ප්‍රශ්න මටත් දැනෙනවා. එතැනදී සද්ද නොකර ඉන්නේ නැතිව මාත් විරුද්ධ වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර කල් හිටියේ කියලා. එහෙම හිටියේ, ඉස්සර වෙලා මම මාව හදාගන්න එපැයි. මම යමක් කියන්න පිළිගැනීමක් තියෙන්න එපැයි. ඒ පිළිගැනීම මම හදාගත්තා. ඒ වගේම අපි අවංක වෙන්නත් එපැයි. කාගෙන්වත් මොනවත් අරගෙනත් නෑ. ආණ්ඩුවලට කඬේ යන්නෙත් නෑ. මම පසුගිය කාලේ ආණ්ඩුවට එකඟ වුණේ නෑ. ඒ කාලේ කතා කරන්න වුණත් ඇත්තටම බයක් තිබුණා. ඒත් අපි සද්ද නොකර ගියා. සද්ද කරන්න අවස්ථාව ආවාම, ඒකට විරුද්ධව කට්ටිය ඒකරාශි වෙනකොට මටත් හිතුණා මාත් වෙනස් වෙන්න ඕනෑ කියලා. එහෙම හිතලා තමයි පුරවැසි බලයට එකතු වුණේ. ප්‍රසන්න විතානගේ තමයි බලාගෙන ඉන්න හරි එන්න කිව්වේ. අන්තිමට බලාගෙන ඉඳලා කතා කරන්නත් පටන් ගත්තා. එදා වේදිකාවට මම කොහොමද කතා කළේ කියන එක අදටත් ප්‍රශ්නයක්. කොහොම වුණත් පුදුම පීඩනයක් පිටවුණා වගේ දැනුණා. ඒ පිටකළ පීඩනයේ සතුට අදත් තියෙනවා. ඒ ලැබුණු ශක්තිය අනුව මම දන්නවා අද මට ඕනම වරදකට විරුද්ධව පෙනී ඉන්න පුළුවන් කියලා.

එතැනදී රඟපාන්නේ නැද්ද?
නැහැ. කොහෙත්ම නෑ. එතැන රඟපෑමක් නෑ. අවංක මැදිහත්වීමක් තියෙන්නේ.

දැන් ගෙනාපු එක හොඳද?
මේ ගෙනාපු එකට වඩා හොඳ එකක් ගෙනෙන්න පුළුවන්. (හිනා) මේකත් හොඳ නෑ කියලා අපි දන්නවානේ. ඉතින් තව හොඳ එකක් ගෙනෙන්න පුළුවන්. ඒත් අර තිබුණ එක තමයි නරකම එක කියලයි මගේ හැඟීම. අද මගේ හිතේ බයක් නෑ. මට ඕනෑ නම්, ජනාධිපති වැරදි නම්, ජනාධිපතිටත් බනින්න පුළුවන්. ඒ නිසා මේ වෙනස මට හොඳයි.

ඔබ අද ජවිපෙ නේද?
නිළියක් විදියට යහපත්ම දේ අර ලොකු පක්‍ෂ දෙකේ එක පුරුකක් වන එක. ඒත් මම කැමතියි ජවිපෙට. මොකද මම අර මුලින් කිව්වා වගේ මේ අයගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්. මම ඒ අයගේ දේශනවලට වැඩමුළුවලට රැස්වීම්වලට යනවා. මට එතැනදී සැබෑ වෙනසක් තියෙනවා. ඒ නිසා දැන් මම ඔවුන් එක්ක ඉන්නවා. හෙට මොනවා වෙයිද මම දන්නේ නෑ.

දේශපාලනය ගැන දිල්හානිට දැනෙන දේ මොකක්ද?
එකම දෙයයි දැනෙන්නේ. මම නිළියක්, රඟපානවා. ඒත් දේශපාලනය කියන්නේ අපේ එකටත් වඩා රංගනයක්. ඒ අය රඟපානවා කියලා දන්නෙත් නෑ, ඒ අය දන්නේ නෑ කියලා දන්නෙත් නෑ. අපේ රඟපෑම් මොනවාද කියලා හිතෙනවා.

රංගනය පැත්තෙන් මේ දිල්හානිගේ කාලය වාගේ නේද?
මටත් හිතෙනවා. හැබැයි ඒ කාලයක් ඉක්මනට ඉවර වෙන්න පුළුවන්. දැන් කාටවත් ලොකු කාලයක් අල්ලාගෙන ඉන්න බෑ.

ඔබගේ රඟපෑමට ඉහළ මිලක් තියෙනවාද?
ඔව්! මිලක් තියෙනවා. ඒ වගේම මම ඉල්ලන තව දේවල් තියෙනවා. හොඳ නවාතැන්, කෑම බීම, ප්‍රවාහනය වගේම කාලයත් මගේ ඉල්ලීම්. දිල්හානිව ගන්නවා නම් මේවා ඕනෑ කියලා ඒ අය දන්නවා. ඒ වටිනාකම ඇතිව මම ඉන්නවා. නැත්නම් නිකං ඉන්නවා.

ජීවිතයේ දුක හිතුණු අවස්ථා ඇතිනේ ඕනෑ තරම්.
ඕනෑ තරම්. වැටිලා ඇති නැති වෙන්නම. මොකද මම ළදබොළඳ කෙනෙක්. පොඩි දේටත් හොටු පෙරාගෙන අඬනවා. වැළපෙනවා. වහ බොන සයිස් චරිතයක්. ඒත් ඒ ඉස්සර. දැන් එහෙම නෑ. දැන් මම මාව වෙනස් කරගෙන තියෙන්නේ. ජීවිතේ ඇතිවෙන්න රිදුණා. වැටුණා. ඒ සියල්ල පෞද්ගලිකයි. පෞද්ගලික ගනුදෙනු හත්පොළේ ගාගෙන දඟලන්න ඕනෑ නෑ. අඬලා විඳවලාම ඉවර කරනවා. ආදරය කියන එකත් ගනුදෙනුවක් කියලා මට තේරුණා. ඒවා දැන් මහා දේවල් නෙමෙයි. අවබෝධය එක්ක ඒවට මුහුණ දෙන්න පුළුවන්.

අපේ ජීවිත ඇතුළේ සමහර වෙලාවට අපිට අපිව නැති වෙනවා. එහෙම වෙලා තියෙනවාද?
සත්තකින්ම. හැමදේම වුණේ මට මාව හොයා ගන්න බැරි වුණ හින්දා. දැන් මට මාව හම්බ වෙලා. දැන් ඉන්නේ එයාත් එක්ක. හෙට එයා වෙනස් වෙයි. එතකොට ඒ විදියට ඉන්නවා. දැන් මම වැඩිපුර ඉන්නේ ගෙදර. මට ආසම දේ ඒක. මම උයලා කන එක, විවේක වේලාවට පොතක් බලන එක, වත්තේ වැඩ කරන එක මගේ කැමතිම දේවල්. මගේ වත්ත පහළ ළිඳක් තියෙනවා. මම හැමදාම නාන්නේ ළිඳෙන්. නිළියක් ළිඳෙන් නානවා කිව්වාම හිනා වෙන්න එපා. ඒ මගේ ජීවිතය. මම කැමති විදිය. ෆිල්ම් එකක් බලලා මට ඉගෙනගන්න දෙයක් නෑ. ඉගෙන ගන්න මම ෆිල්ම් බලන්නේ නෑ. මම වින්දනයක් ලබන්න විතරයි ෆිල්ම් බලන්නේ. මට කාවවත් අනුකරණය කරන්න බෑ. මට බැරිම දේ තමයි ඒක. මම ජනප්‍රිය නිළියක්ද, දක්‍ෂ නිළියක්ද මම දන්නේ නෑ. මට ලැබෙන චරිතය කරනවා. කොටින්ම ඊට පස්සේ ඒ ගැන කතා කරන්නවත් මම ආස නෑ. ඒක ඉවරයි.

වයසට යෑමත් එක්කද මේ අවබෝධය ආවේ?
එහෙම වෙන්න පුළුවන්. හැබැයි මහ ලොකු වයසක් නැහැනේ. මම ජිම් යනවා. ඇවිදිනවා. ඇඟ ෂේප් එකට තියාගෙන ඉන්නවා. ඒ ඔක්කෝම වගේම ජීවිතයත් තේරුම් ගන්නවා.

දේශපාලනයට එන්න හිතෙන්නේ නැද්ද?
අම්මෝ නෑ. කවදාවත් නෑ. මොකද දේශපාලනයට එනවා නම් අඩුම ගාණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා ඒ ගැන හොඳ අවබෝධයක්වත් තියෙන්න එපැයි. ඒවා කරන්න මට බෑ අනේ. (හිනා)
නළුවෝ ඉන්ටවීව්වලදී තමන්ගේ පැරණි පෙම්වතියෝ, නිළියෝ ගැන කියනවා. මේකට ඔයා කියන්නේ මොකක්ද?
මට හිතෙන්නේ ඒගොල්ලෝ නළුවොනේ. ඒකයි නේ. ඕක පිරිමින්ගේම හැටියක්. කොහොම වුණත් මම කියන්නේ කාට වුණත් අතීත තියෙනවා. ඒ අතීත එළියට දානකොට දහපාරක් හිතන්න ඕනෑ ඒ මිනිස්සුන්ට අද වර්තමානයක් තියෙනවා. ඒ වගේම අනාගතයක් තියෙන්න ඕනෑ කියලා.■