රාවය

බොක්සිං තරගයකට ආදරයෙනි

බොක්සිං තරගයකට ආදරයෙනි

‘මනී’ සහ ‘නොතෝරියස්’ රසායනය

ක්‍රීඩාව සහ මුදල අතර ඇත්තේ එකිනෙක තදින් ගැටගැහුණු බැඳියාවකි. ලංකාවටත් එය හුරුපුරුදු කතාවකි. කලෙක ක්‍රීඩාව යෙදෙන්නන්ගේ විනෝදය විය. ක්‍රීඩාවෙහි යෙදුණේ මුදල් ඇතිවුන්ය. දැන් ක්‍රීඩාව ඊට එහා ගොස් ක්‍රීඩාව නරඹන්නන්ගේ විනෝදය වී තිබේ. ක්‍රීඩාවේ යෙදෙන්නේ මුදල් සොයන්නන්ය. දැන් මුදල් ඇතිවුන් කරන්නේ ක්‍රීඩාව නරඹන්නට මුදල් යටකිරීමයි. ක්‍රීඩාවේ ඔය නිලය හොඳින් ඇල්ලූ මොළකාරයෙකි ෆ්ලොයිඞ් ‘මනී’ මේවෙදර්. මිචිගන්වලින් පැමිණ මුදල් ආකරයක් වූ ලාස් වේගාස් නගරයෙහි පදිංචිවන මේවෙදර් තමන්ගේ ක්‍රීඩා හැකියාව මුදල් උපයන මැසිමක් බවට පත් කළේය. ඔහු හොඳම ප්‍රහාරකයා නොවීය. ඔහු බොක්සින් ක්‍රීඩාවේ හොඳම ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්නා ලෙස හඳුන්වයි. නරඹන්නන්ට උපරිමය දෙන්නට ඔහු සමත්වෙයි. හැකි උපරිම මිල නියම කරන්නට ඔහු සමත්ය.

අනෙක් අතින් මැක්ග්‍රෙගර් ‘මනී ෆයිට්’ තරගයට ජීවය එක්කළ පුද්ගලයායි. ඔහු තමන් නොතෝරියස් බව පෙන්වුවේ දරුණු වචන තොග ගණන් මේවෙදර් වෙත එල්ලකරමිනි. මේ තරගය ගැන කතාකරන්නට හේතුවුණේ ඔහුය. මේ තරගය යෝජනා කළේත් මැක්ග්‍රෙගර්ය. මුලින් මේවෙදර් කැමැත්ත පළකර තිබුණේ නැත. ඒ නිසා මේවෙදර් තරගයට කැඳවාගැනීම වෙනුවෙන් මැක්ග්‍රෙගර් දරුණු අපහාසාත්මක වචන පාවිච්චි කළේය. මාස කිහිපයකට කලින් තරගය සැබෑවක් බවට පත්වෙන ලකුණු පෙනෙන්නට වූ අතර තරගය සඳහා ගිවිසුම මේවෙදර් පාර්ශ්වය විසින් සකස් කර මැක්ග්‍රෙගර් වෙත ඉදිරිපත් කර තිබුණි. මේවෙදර්ට කිසිවක් නැතිවෙන්නට නොතිබුණි. තරගය දින්නොත් එය සටන්කලා ඉතිහාසයේ ලොකුම පෙරළියයි. පරාජය වුණොත් එය සියල්ලන් බලාපොරොත්තු වුණ තත්ත්වයයි. මේ යුගලය එකිනෙකට ප්‍රතික්‍රියා කළ පසු තැනුණු අරුම රසායනය ‘මනී ෆයිට්’ නම් විය.

තරගය විසින් මැවූ සුන්දරත්වය දරාගන්නට නොහැකි තැන මෙසේ ලියන්නෙමි. ඒ සුන්දරත්වය මැවුවේ මැක්ග්‍රෙගර් සහ මේවෙදර් අතර තිබුණු රසවත් රසායනය නිසාය.
ඇමරිකානු වෙලාවෙන් පසුගිය 26 වැනි සෙනසුරාදා රාත්‍රියේ ලාස් වේගාස් නුවර ටී මොබයිල් ඇරීනාව උණුසුම් වුණේ ද්වන්ද්ව සටන් ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම සටනක් නිසාය. ඇත්තෙන්ම එය ලොව වැඩිම මුදලක් වෙන්වුණු ද්වන්ද්ව සටන විය. වැඩිම දෙනෙකු නැරඹූ සටන විය. සටනට ලැබී තිබුණු නම මනී ෆයිට් යන්නයි. ලෝක බොක්සින් ෆෙඩරේෂණය විසින් තරගය වෙනුවෙන්ම වෙනම ශූරතා බඳපටියක් නිර්මාණය කර තිබුණි. එය මනී බෙල්ට් ලෙස හැඳින්විය.
සියවසේ සටනයැයි කියන මොහොමඞ් අලී සහ ජෝ ෆ්‍රේසර් අතර තරගයට ආදේශක ලෙස යෝජනා වෙන සටන් කිහිපය අතරට ‘මනී ෆයිට්’ තරගයත් එක්විය. හේතුව මේ සටනේ යෙදුණු ක්‍රීඩකයන් දෙන්නා බොක්සින් තාක්ෂණයෙන් උපරිමයෙහි සිටීම නොවේ. ක්‍රීඩාවේ තාක්ෂණය පමණක් ගත්තොත් හොඳම තරග සීය අතරටවත් මෙය එක් නොවනු ඇත. මෙය හොඳම සටනක් වෙන්නේ තරගය වටේ නිර්මාණය වූ උද්වේගය නිසාය. ආකර්ෂණය නිසාය. මාධ්‍යවල පළමු මාතෘකාව බවට මෙය පත්වුණේ ඒ නිසායි. ඒ සියල්ලට හේතුව සටන්කරුවන් දෙදෙනා මෙන්ම ඒ සටන දක්වා දෙදෙනා ගෙන එන්නට හේතුවූ සිදුවීම් සියල්ලයි. ක්‍රීඩකයන්ගේ උපරිමයටත් වඩා ඒ ආකර්ෂණය ද්වන්ද්ව සටන් ක්‍රීඩාවකට වැදගත් බව පෙනෙන්නේ ‘මනී ෆයිට්’ වැනි සටන් නිසාය.
ක්‍රියාකාරී බොක්සින් ක්‍රීඩකයන් නොවන දෙදෙනෙකු අතර සටනක් මේ තරම් කතාබහට ලක්වුණේ කොහොමද. ලස්සනම කතාව එයයි.
සටන තිබුණේ ෆ්ලොයිඞ් ‘මනී’ මේවෙදර් සහ කෝනර් ‘නොතෝරියස්’ මැක්ග්‍රෙගර් අතරයි. පළමුවැන්නා හතළිස් වියැති විශ්‍රාමික ක්‍රීඩකයෙකි. ඔහු නැවත ක්‍රීඩාවට ආවේ මේ තරගය වෙනුවෙන් පමණි. මෙය ඔහුගේ අවසාන සටන විය. දෙවැන්නා තවමත් බොක්සින් තරගයක් ක්‍රීඩා නොකළ ආධුනික ක්‍රීඩකයෙකි.

ෆ්ලොයිඞ් මේවෙදර්
ලංකාව වැනි රටවල්වල බහුතරය ෆ්ලොයිඞ් මේවෙදර් ගැන දැනගත්තේ ඔහු 2015 දී විසිඑක්වැනි සියවසේ සටනයැයි හැඳින්වූ සටනට සහභාගී වීම නිසාය. ඒ මැනී පැකියෝ සමඟයි. එහෙත් ක්‍රීඩාවේ රසය දන්නා බොහෝ දෙනෙක් කාලයක පටන් මේවෙදර් දැන සිටියෝය.
ඔහුව හඳුන්වන්නට තවත් නමක් තිබේ. එය ‘මිස්ටර් මනී’ යන ඉංග්‍රීසි යෙදුමයි. ඔහු හඳුන්වාදෙන්නේ ෆ්ලොයිඞ් ‘මනී’ මේවෙදර් යනුවෙනි.
රත්තරන් හැන්ද කටේ නොතිබුණත් බොක්සින් ග්ලවුසය අතෙන් අරන් මේවෙදර් උපන්නේය. ඔහුගේ පියාගේ නමත් ෆ්ලොයිඞ් මේවෙදර්ම විය. පියා මෙන්ම පවුලේ මාමාවරු කිහිපදෙනෙක්ම දක්ෂ බොක්සින් ක්‍රීඩකයෝය. ‘මිස්ට මනී’ගේ ළමා කාලය ගෙවුණේ බොක්සින් ක්‍රීඩාව ඇසුරේමය. කොහොම වෙතත් ඔහු පාසලේදී නොසන්ඩාලයෙක් විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය.
මේවෙදර් පාසලෙන් එළියට බැස්සේ අධ්‍යාපනය හමාර නොකරමිනි. ඒ බොක්සින්වලින් මුදල් ඉපැයීමේ අරමුණෙනි. ආධුනික බොක්සින් ක්‍රීඩකයෙකු ලෙස 1996 ඔලිම්පික් තරගාවලියට එක්ව ලෝකඩ පදක්කමක්ද ඔහු දිනාගත්තේය. ඒ වසරේම ඔක්තෝබරයේදී පළමු වෘත්තීයමය බොක්සින් තරගය ක්‍රීඩා කළේය. ඒ වයස අවුරුදු දහනවයේදීය. ඉන්පසුව ලියැවුණේ අමරණීය කතාවකි. 1998 දී ඔහු පළමුවරට ශූරතාවක් සඳහා තරග කළේය. එදින සිට 2015 අවුරුදු තිස්අටේදී ක්‍රීඩාවෙන් සමුගන්නා තුරු මේවෙදර් බර පන්ති පහකින් ශූරතා පහළොවක් ජයග්‍රහණය කළේය.
ඔහු දීප්තිමත් ක්‍රීඩකයෙකු බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මේ දීප්තිය අඳුරු කළේ එදිනෙදා ඔහුගේ හැසිරීමය. ඔහුත් නොසණ්ඩාල මයික් ටයිසන් කෙනෙක්ම විය. සාමාන්‍ය ජීවිතයේදී ඔහු අතින් පහරකෑමට ලක්වූවෝ බොහෝය. ඇමරිකාවේ බොහෝ තරු මෙන් ඔහුටත් මත්ද්‍රව්‍ය පාවිච්චිය චෝදනාවක්ව ඇති අතර ගෘහස්ථ හිංසනය නිසා කිහිපවතාවක්ම ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු වී අත්හිටවූ සිරදඬුවම් ලබා ඇත. මොනවා කරන්නද? මේවෙදර් බාරගන්නවා නම් ඔය හොඳ නරක මිශ්‍රිත පැකේජයම බාරගත යුතුය.

කෝනර් මැක්ග්‍රෙගර්
මේ තරගයට පිවිසෙද්දී බොහෝ දෙනෙකු මැක්ග්‍රෙගර් ගැන දැන නොසිටියා විය හැකිය. ඔහු දන්නේ දැන් ලොව වේගයෙන් ජනප්‍රිය වන ද්වන්ද්ව සටන් ක්‍රීඩාව වන මික්ස් මාෂල් ආට් හෙවත් ‘මිශ්‍රිත සටන්කලා’ ක්‍රීඩාවෙහි රසිකයන්ය. මික්ස් මාෂල් ආට් ක්‍රීඩාවෙහි යෙදෙන්නෝ යම් සමාගමකට ගිවිසුමකින් බැඳී සිටිති. මැක්ග්‍රෙගර් වැඩ කළේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන යූඑෆ්සී සමාගමෙහිය.
මැක්ග්‍රෙගර් තරුණයා මොහොමඞ් අලි රසිකයෙක් විය. අලීගේ රසිකයෙකු බව කීවාට පසු මැක්ග්‍රෙගර්ගේ දරුණු වාග් ප්‍රහාරයන් ගැන අමුතුවෙන් ලියා තැබිය යුතුයැයි නොසිතමි. ඔහු තරගවලදී ප්‍රතිවාදියා බිඳහෙලන්නට උපරිම අපහාසය පාවිච්චි කළේ අලීට නොදෙවෙනි ලෙසය. මේ තරගය ගැන කීවොත් තරගය අවසාන වනතුරු මේවෙදර්ට ගෞරවයේ සේයාවක්වත් නොපෙන් වන්නට මැක්ග්‍රෙගර් වගබලාගත්තේය. තමන් හඳුන්වාගන්නට ඔහු පාවිච්චි කරන්නේ ද නොතෝරියස් යන වචනයයි.

ඔහු යූඑෆ්සී ආයතනය යටතේ මිශ්‍රිත සටන්කලා තරගවල විශිෂ්ටතමයෙකි. මේ වන විට තරග 24කට ක්‍රීඩා කර ඇති ඔහු ඉන් 21ක් ජයගෙන ඇත. 21න් 18ක්ම ජයගත්තේ ප්‍රතිවාදියා බිම හෙළීමෙනි. ඔහු යූඑෆ්සී ආයතනයේ බර පන්ති තුනක ශූරතාව උසුලා ඇත.
ඔහු අයර්ලන්තයේ උපත ලැබීය. අවුරුදු දොළහේදී බොක්සින් පුහුණුවීම් අරඹා තිබුණු අතර අවුරුදු 17දී පමණ ඔහු අයර්ලන්තයේ ලුසාන් නගරයට ගියේය. ලූසාන්වලදී හමුවුණු ටොම් ඒගන් නම් මිත්‍රයා සමඟ ඔහු බොක්සින් අතහැර මික්ස් මාෂල් ආට් පුහුණුව ඇරඹුවේය. අවුරුදු දහඅටේදී අයර්ලන්තයේදී ආධුනික මික්ස් මාෂල් ආට් තරගයකට ඔහු සහභාගී වූ අතර පළමු වටයේදීම ප්‍රතිවාදියා බිම හෙළීමෙන් ජයගන්නට ඔහු සමත්විය. එදිනම ඔහුට වෘත්තීය මික්ෂ් මාෂල් ආට් ක්‍රීඩකයෙකු වෙන්නට අවස්ථාව ලැබුණි. ඔහු අයර්ලන්ත සමාගමක පුහුණුව ඇරඹුවේය.
ලොව විශාලතම මික්ෂ් මාෂල් ආට් සමාගම වන යූඑෆ්සී සමාගමේ සභාපති ඩානා වයිට් යුරෝපීය සංචාරයකදී මැක්ග්‍රෙගර් හමුවී ඔහුට යූඑෆ්සී සමාගම සමඟ එක්වෙන්නට ආරාධනා කරන අතර 2013දී ඔහු යූඑෆ්සී ආයතනය සමඟ එක්විය. ඉන්පසුව ඔහු යූඑෆ්සී ආයතනයේ වැඩිම අවධානයක් දිනාගත් සටන්කරුවෙකු බවට මැක්ග්‍රෙගර් ටික කාලයක් තුළ පත්විය. පෙර කීවාක් මෙන් දරුණු වාග් ප්‍රහාරයන් නොතෝරියස් මැක්ග්‍රෙගර් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය දිනා දුනි.

තරගය
තරගය වට දහයක් දක්වා ගියේය. අපේක්ෂා කළ පරිදිම මේවෙදර් කපටි විය. ඔහු මුල් වට කිහිපයේදී තමන්ට සුපුරුදු ආරක්ෂක ක්‍රමවේදයට ගියේය. එහෙත් පැහැදිලිව දකින්නට ලැබුණේ වසර දෙකකට පසුව පිටියට ආ මේවෙදර්ට පෙර විලස ආරක්ෂා වෙන්නට නොහැකි බවයි. මේවෙදර්ගේ අත් අතරින් මැක්ග්‍රෙගර්ගේ ප්‍රහාර එල්ල විය. එහෙත් වට ගණන පහුවෙද්දී ක්‍රමයෙන් කපටි මේවෙදර් ඉදිරියට ආවේය. අවසානයේදී මැක්ග්‍රෙගර්ගේ හිසට පහර පිට පහර එල්ලවූ අතර ඒ වනවිටත් වෙහෙස වී සිටි මැක්ග්‍රෙගර් ක්‍රමයෙන් දුර්වල විය. අන්තිමේදී මැක්ග්‍රෙගර්ට තරගයේ ඉදිරියට යා නොහැකි බව විනිසුරු තීරණය කළේය.
පෙනෙන්නට තිබුණේ තරගයෙහි මේවෙදර් තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළ බවයි. ඇතැම් ක්‍රීඩා විචාරකයන් කියන්නේ මැක්ග්‍රෙගර්ට දිනන්නට වුව අවස්ථාවක් තිබුණු බවයි. බොක්සින් අත්දැකීම් නැති මැක්ග්‍රෙගර්ට මේවෙදර් තරම් බුද්ධිය මෙහෙයවන්නට අවස්ථාව නොවීය. ඉතින් අවසානය මේවෙදර් පැතූ පරිදිම විය.
තරගය අවසානයේ මැක්ග්‍රෙගර්ගේ මුහුණේ තිබුණේ සිනහවකි. මේවෙදර් ජයග්‍රහණය කළ බව සැබෑවකි. එහෙත් සියල්ලන්ගේ ගෞරවය දින්නේ මැක්ග්‍රෙගර්ය. මේ සියල්ල මැද දැනෙන්නේ ද්වන්ද්ව සටන් නම් අපූරු ක්‍රීඩාවක් බව පමණි. ව්‍යාජ ශිෂ්ටකම් මොහොතකට පසෙකින් තියා විනයක් සමඟ සටන්කිරීමෙහි වරදක් නැත. එය රසවත්ය. එපමණක්ද? ක්‍රීඩාව මොනතරම් අපූරුදැයි මේ සුන්දර මොහොත පෙන්වීය. ක්‍රීඩාව ගැන සංවේදනයක් නැති, පුරුද්දට මෙන් ක්‍රිකට් පමණක් බලන, එය වුව නියම අයුරින් විඳින්නට බැරි රසික ප්‍රජාවක් සිටින රටක සිටීම මොනතරම් වේදනාවක්දැයි ඒ මොහොත විඳි ලාංකිකයෙකුට සිතෙන්නට ඇත.■