රාවය

මහින්ද නිසා ලලිත්,අනුෂ හිරේ

මහින්ද නිසා ලලිත්,අනුෂ හිරේ

නිමල් අබේසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක මහින්ද රාජපක්ෂට වාසිසහගත වන ලෙස, විදුලි සංදේශ නියාමන කොමිසමේ අරමුදල්වලින් රුපියල් මිලියන 600ක් යොදවා සිල්රෙදි බෙදා දීම සම්බන්ධ චෝදනාවලට වරදකරු කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය විසින් අවුරුදු තුන බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සැප්තැම්බර් 7 වැනිදා නියම කරන ලදි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණු පසු පසුගිය රජයේ දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පවරන ලද නඩුවලින් අවසන් වූ ප්‍රථම නඩුව මෙය වන අතර, ඉතිහාසයේ ජනාධිපති ලේකම්වරයකු අපරාධයක් සඳහා වරදකරු කරන ලද ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් පසු චෝදනා ගොනු කරනු ලැබ විමසා අවසන් වූ ප්‍රථම නඩුවද මෙයයි. රාජ්‍ය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී සාවද්‍ය පරිහරණයට අනුබල දීම යන චෝදනා පොදු දේපළ පනත යටතේ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නගා තිබිණ. නඩුව පවරන ලද්දේ 2015 අගෝස්තු 28 දිනය.
නඩුව විභාග වන අවස්ථාවේදී එම චෝදනාවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ලේකම්වරයා ලෙස තමා ජනාධිපතිවරයා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව හා ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියෝග මත සිල් රෙදි බෙදීමේ කටයුතු සිදුකළ බවය.
මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් දෙන ලද තීන්දුව අනුව වැරදිකරුවන් දෙදෙනා රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවිය යුතු අතර, මිලියන 2 බැගින් වන දඩයක්ද ගෙවිය යුතුය. පළමු චූදිත අනුෂ පැල්පිට 1 වැනි හා 2 වැනි චෝදනාවලටත්, දෙවැනි චූදිත ලලිත් වීරතුංග 1 වන හා 3 වැනි චෝදනාවලටත් වැරදිකරුවන් බවට විනිසුරුවරයා තීන්දු කර තිබේ.
මේ අතර මිලියන 50 වන්දි මුදල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෙවන බවට ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්නට තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙලෙස රාජ්‍ය මුදල් යොදවා සිල්රෙදි බෙදීම ගැන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ අතර, කොමසාරිස්වරයා සිල්රෙදි බෙදීම තහනම් කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා එෆ්සීඅයිඩීය පිහිටු වූ පසු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ කළ විධිමත් පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ විය.
කෙසේ වෙතත් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහාධිකරණයට දැනුම් දී තිබේ. ■