රාවය

බන්ධනාගාර සාක්ෂියත් මැකෙයිද?

බන්ධනාගාර සාක්ෂියත් මැකෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි

වැලිකඩ  රැඳවියන් 27 දෙනකු ඝාතනය ඇසින්  දුටු සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් සිල්වා           තාවකාලිකව රැඳී සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසට වෙඩි : පුවතක්.මේ වෙඩි තැබීම සිදු වන්නේ සැප්තැම්බර් 4වැනිදා රාත්‍රි 11ට පමණය. ඒ මොහොතේ නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇත.* * *නැවතත් නිවෙස් ඉදිරිපිට තුවක්කු පත්තු වන්නට පටන් ගෙන ඇත. පැරණි බිය අලුත් වන්නටත් යහපාලන සුරක්‍ෂිතතාව පළුදු වීමත් වේගවත් වී ඇත. සාක්ෂිකරුවකු ආරක්‍ෂාකර ගැනීමට බැරි ආණ්ඩුවක් ඉදිරියේ බොහෝ සාක්ෂි වැළලී යනු ඇතැයි යන බිය සෑම සිත් තුළ ඇති වී ඇත. රාජපක්‍ෂ යුගයේ කට ඇරීමට බිය වූ අය යහපාලනය ඉදිරියේ මුව විවර කළේ රාජපක්‍ෂගේ බලය අහවර යැයි සිතාය. එහෙත් දැන් සිදුව ඇත්තේ පාලනය යහපාලනය වුවත් බලහත්කාරය රාජපක්‍ෂලාම මෙහෙය වීමය. මේ හිස් පතුරම් කොපු පෙන්වනුයේ ඒ හිස්කමය. සිරුරකට කිදා නොබැස ගේට්ටුවක තහඩු සිදුරු මවමින් මවන මේ අනතුරු අඟවනුයේ උඹලාට කට අරින්නට ඇති නිදහස සේම එම කටවල් වසා දමන නිදහසද යහපාලනය හරහා පැරණි බල පුළුවන්කාරයන්ටම ලැබී ඇති බවය.යහපාලනය යටතේ කතා කිරීමේ නිදහස දී ඇතැයි උදාරම් කතා තව දුරටත් බිණිය හැකිද? කතා කිරීමේ නිදහස දුන්නේ නම් නිදහසේ කතා කරනවුන් වෙනුවෙන් නිර්මාණය වී ඇති ආරක්‍ෂාව කුමක්ද? රැකවරණය කුමක්ද? අද ඒ  වෙනුවෙන් ඇති යහපත් පරිසරය කෙබඳුද? කතා කිරීමේ නිදහස පමණක් දී ඇතිද? ඒ නිදහස සුරැකිය යුතු නැද්ද? ගේට්ටු ඉදිරිපිට පත්තුවන තුවක්කු නිවෙස් තුළ පත්තු විය නොහැකිද? ගේට්ටු සිදුරු කරන උණ්ඩවලට සිරුරු සිදුරු කළ නොහැකිද?මේ නිදහසේ සැරිසරන උණ්ඩ බිය ගන්වනුයේ සාක්ෂිකරුවන් විතරද? සමාජයම බිය ගන්වනුයේ නැද්ද? මේ හිස් පතුරම් හෑල්ලු කරනුයේ නිර්භයව සාධාරණය වෙනුවෙන් නඟන හඬ විතරද? ඉන් ආණ්ඩුවම හෑල්ලු වන්නේ නැද්ද?නන්දිමාල් බිය ගන්වන්නට ආ උණ්ඩ සමාජයට කියන කතා බොහෝය.

* * *

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම රාජපක්‍ෂ යුගයේ වූ දරුණුතම ක්‍රියාන්විතයකි. රාජපක්‍ෂලාට එය මානුෂික මෙහෙයුමක් විය හැකි වුවත් එය තිරිසන් ක්‍රියාවලියක් බව හිතන්නට වුව හැකි වූයේ ඒ ආණ්ඩු මාරු වීමෙන් පසුවය. ඊට පෙර කළ කතා කතාමය.ඒ ඝාතනවල සියලු විස්තර මේ වන විට සමාජයටම නොරහසකි. සියල්ල මාධ්‍යවල පළවිය. ඒ පිළිබඳ යහපාලන ආණ්ඩුව කළ කමිටු වාර්තාවද ‘රාවය’ තුළම විස්තරාත්මකව පළවිය. එදා කොතරම් බියකරු දිනයක්ද යන්න එය කියවූ සැම සිත් තුළ පැන නැගී එකම පැනය විය හැක. එහෙත් දැන් ඒ සියල්ල සාමාන්‍ය වන්නට පටන්ගෙනය. මේ ආණ්ඩුවේ දෙවසරක් ගත වුවද බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළවුන්ට දඬුවම් නැත. ඒ වෙනුවෙන් ඇති ඇසින් දුටු සාක්ෂිවලට ජීවිත තර්ජනද එල්ල වෙමින් පවතී. මේ බන්ධනාගාර සිද්ධියේ ප්‍රබලතම සාක්ෂියය. ඒ සුදේශ් නන්දිමාල් සිල්වාය. මේ ඔහුගේ හඬය. කතාබහෙන් කෙටි ප්‍රශ්න ටිකකි.

නන්දිමාල් මේ වෙඩි තැබිම ගැන මොකද හිතන්නේ.

මම මගේ ඇස් දෙකින්ම දැක්කා. එදා බන්ධනාගාරය තුළ රැඳවියන් මරපු හැටි. මගේ හෘදය සාක්ෂියට අනුව මට ඒක නොකියා ඉන්න බෑ. මට එක රටටම කෑ ගහලා කියන්න ඕනෑ. අන්න ඒ නිසා තමයි මම ප්‍රධානම සාක්ෂිකරුවා විදිහට ඉදිරිපත් වුණේ. එදා ඉඳලා මගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඒ මොකද මරපු මිනිස්සු ආරක්‍ෂා කරන මිනිස්සු තවම ඉන්නවා. ඒ මරපු එක හරිය කියන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. එතකොට මෙතරම් හෙණ ගහන අපරාධයක් වැරදියි කියන හැමෝටම තමයි මේ වෙඩි තිබ්බේ. ඒ වගේම ගේට්ටුවක් දාලා ආරක්‍ෂා වෙන්න බෑ කියලා තමයි ඒ මිනීමරුවෝ ආයේ කීවේ. ඒක තමයි මට ලැබුණු පණිවිඩය.

එදා නන්දිමාල් ගෙදරද හිටියේ.

ඔව්. එදා මම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ එකකයට ගිහින් කට උත්තරයක් දීලා ආවේ. මගේ ආයතනයේ ප්‍රධානියා මාව නුවරට මාරු කරලා මාව හුදෙකලා කරලා මගේ ජීවිතයට අනතුරක් කරන්නයි බැලුවේ. මම සාක්ෂිකරුවෙක් වුණාට ඔහු විරුද්ධයි. ඔහු රාජපක්‍ෂ ආණ්ඩුවේ කිට්ටුවන්තයෙක්. ඔහු මට කිව්වා. තමුසේ අපේ ආරක්‍ෂක ලේකම් (ගෝඨාභය රාජපක්‍ෂ) හිරේ යවන්නද හදන්නේ. හිරකරුවෝ මැරුණාම තමුසෙට මොකද ඕයි කියලා. මේක සැරෙන් ඇහැව්වේ. මේ ගැන මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිලි කළා. ඒ පැමිණිල්ලට ගිහිල්ලා ඇවිල්ලා නිදාගෙන ඉන්නකොට රෑ 11 ට විතර රතිඤ්ඤා පුපුරනවා වගේ ඇහුණා. මම හිතුවේ  රතිඤ්ඤා වෙන්න ඇති කියලා. ඒත් පහළට ගිහින් බලපුවාම ගෙට්ටුවේ හිල් හිල් දැක්කා. මම එතකොට හිතුවා වෙඩි තියලා තමයි කියලා. මම ඒ වෙලාවෙම 119 කතා කළා. විනාඩි 10ක් යන්න කලින් පොලිසිය ආවා. ඒ පරීක්‍ෂණ කළා. ඒත් ඉතින් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

ඕනෑ නම් ඔයාට වෙඩි තියන්න තිබුණා. ගේට් එකට තියලා ගියේ ඇයි කියලද ඔයා හිතන්නේ.

මට අනතුරු ඇඟවීමක් කළේ. මොකද කලින් මට මේ තර්ජනය ආවා. ගිය අවුරුද්දේ. හතර දෙනෙක් ඇවිත් එක් කෙනෙක් ඈතින් හිටියා. තුන් දෙනෙක් ළඟට ඇවිත් ඇහැව්වා නන්දිමාල් නේද කියලා. මම කිව්වා ඔව්. කියලා. මචං ඔය වැලිකඩ සිද්ධිය ඔහොම්ම යට යන්න දීපං. එහෙම නොවුණොත් අපට සිද්ධවෙනවා උඹව අඩි හයක් යටට යවන්න කියලා. මම ඒ ගැන මොරටු පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.ඊළඟට කෝල් කරලා තර්ජනය කළා. දැන් ඒක වඩා බැරෑරුම් විදිහට කරලා තියෙනවා. ඒ නිසා ආයේ තර්ජනය කර කර ඉඳියි කියලා හිතන්න බෑ. ඒ නිසා දැන්වත් ආණ්ඩුව මේ වැරදිකරුවන්ට දඬුවම් දෙන එක ඉක්මන් කරන්න ඕනෑ.

මේකට ආසන්නම හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ.

අපි අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සැප් 12 දින විභාගයට ගන්නවා. ඒ වගේම මාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු  කරපු පැමිණිල්ලට සාක්ෂි දීලා ආපු දවසේ තමයි මේ වෙඩි තැබිම වුණේ. එකෙන් පෙනෙන්නෙ රිට් පෙත්සම විභාගයට ගැනීම තමයි ආසන්නම සිදුවීම. මේ අයට ඕනෑ මගෙයි මගේ නීතිඥයාගෙයි කට වහන්න. මොකද මේ ගැන අද අපිට තියෙන උනන්දුව ආණ්ඩුවට නෑ. අපි නැවත්තුවා නම් මේක ඉවරයි කියලා මේ අය හිතනවා ඇති.

ඔබලා සාක්ෂිකරුවන් වන්නේ මේ ආණ්ඩුව විශ්වාස කරලා. දැන් ඒ විශ්වාසය පළුදු වෙලාද?

මට මේ රටේ  සිද්දවෙච්ච ඝාතන සමූහයක ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඒත් මට ආරක්‍ෂාවක් නෑ. දැන් ආණ්ඩුව කරන්නේ මිනීමරුවෝ ආරක්‍ෂා කරලා සාක්ෂිකාරයෝ විනාශ කරන්න උත්සාහ කරන වැඩ. මෙතරම් සාක්ෂි තිබියදීත් තවමත් මේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නේ නෑ. කමිටු වාර්තාවත් තියෙනවා. මේක ඝාතනයක් කියලා. ඒක ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා. එහෙනම් තව මොකටද බලාගෙන ඉන්න අපිත් මැරෙනකම් ද?

ඔබ සිරගත වන්නේ ඇයි?

අපි වමේ දේශපාලනයක නියැලුණා. වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී සිටියා. මතවාදීව දෙමළ විමුක්ති අරගලය සාධාරණය කරන තැනක අපි හිටියා. ඒ නිසා අපිව රාජපක්‍ෂ ආණ්ඩුව සිංහල කොටි කියලා ලේබලයක් අලවලා හිරේ දැම්මා. අපි මිනීමරලා හොරකම් කරලා හිරේ ගියේ නෑ. දේශපාලනය කරලායි ගියේ. ඒ නිසා මේ හිරකාරයෙක්නේ සාක්ෂි දෙන්නේ කියලා අත පිහදා ගන්නවා.

එදා සිද්ධිය අදත් ඔබට වදදෙනවාද?

ඔව්. අදටත් ඇස් දෙක වහ ගත්තාම මට ඒක පෙනෙනවා. ඒ හැම සිද්ධියක්ම පැහැදිලිව මට අදටත් කියන්න පුළුවන්. ඒ සිද්ධිය දැකලා විඳවන කෙනෙක් විදිහට මට ඇති එකම ගැලවුමත් එදා ඒ අය මරපු අයට දඬුවම් දීමයි. මැරුණු පවුල්වලට සාධාරණය ඉටු වීමයි. ඒක නිසානේ මෙතරම් අවදානමක් අරගෙන අපි මේ දේවල් කියන්න පෙනී න්නේ. අපි දරපු දේශපාලන මතයත් එක්ක නිහඬව ඉන්න අපේ හිත දෙන්නේ නෑ.

ඔබ විතරද සාක්ෂි දෙන්නේ.

එළියට ඇවිත් ඉන්නේ මම විතරයි. ඒත් කමිටු වාර්තාවේදී 200ක් විතර සාක්ෂි දීලා තියෙනවා.

රාජපක්‍ෂ ආණ්ඩුවත් වාර්තාවක් සැකසුවා ඔබ ඒකටත් සාක්ෂි දුන්නාද?

ඔව්. දැක්ක හැමදේම කිව්වා. ඒත් ආපු සීඅයිඩී නිලධාරියා කිව්වා ඔයා කියපු ඔක්කෝම ලිව්වොත් ඔයාව මේක ඇතුළෙම මරලා දායි කියලා. ඒ නිසා ඔහු හැමදේම සටහන් කර ගත්තේ නෑ. 2013 මම නිදහස් වෙලා ආපු ගමන් මගේ නීතිඥයාට කිව්වා. ඔහු කිව්වා මේක ඒවා අදින්න කාලය නෙමෙයි කියලා.

ඔබගේ පවුලේ අය මේ කරන වැඬේට විරුද්ධ නැද්ද?

මම හිරේ ගියාම ඒක දරාගන්න බැරිව මගේ අම්මා මාස අටක් යනකොට නැති වුණා. අම්මාගේ මරණය දරා ගන්න බැරිව තාත්තාත් මාස හතරකින් නැති වුණා. මට ගොඩක් දේවල් නැති වුණා. මම අවුරුදු හයක් හිරේ හිටියා. අදත් මේ වැඬේට මගේ කියන අය කැමති නෑ. ඒත් මට එහෙම කියලා නිහඬ වෙන්න බෑ.

සිංහල කොටි කියලා ඔබලාව හැඳින්නුවාම මොකද හිතුණේ.

ඔය නම ජවිපෙ පටබැන්දේ. අපි ගොඩක් මුල් කාලිනව ජවිපෙ එක්ක හිටියේ. ඒත් ඒ අය ජාතිවාදී වෙනකොට අපි කැඩුණා. ඒකට වන්දි විදිහට මේ නම බැඳුණා. අපි වෘත්තීය අරගලවල හිටියා. කම්කරුවන් වෙනුවෙන් පෙනීහිටියා. හිරකරුවන් වෙනුවෙන් පෙනීඉන්නවා. ඉතින් අපිට නරි කියනවාට වඩා සිංහල කොටි කියනවාට කැමතියි.

ඔබ විශ්වාස කරනවාද හිටපු ආරක්‍ෂක ලේකම් බන්ධනාගාර සිද්ධියට සම්බන්ධයි කියලා.

එදා බන්ධනාගාරයට ආ හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන්ට කියලා තිබුණා ඔවුන් ආවේ ගෝඨාභයගේ අණකට කියලා. දැනුවත්ව කියලා. එහෙම නම් එයාට කියන්න බැහැනේ අද මේ ගැන දන්නේ නැහැ කියලා. මේ ගැන හොයන්න පත්කළ කමිටුවේ ලේකම් මාධ්‍යයට කියලා තිබුණා ගෝඨාභයට මොකෙන් බේරුණත් මේකෙන් බේරෙන්න බෑ කියලා. ඒත් ඒ අය ගාණක්වත් නැතිව ඉන්නවා. සාක්ෂි දෙන අපි මරණ තර්ජනවලට ලක්වෙලා. එදා ගෝඨාභය දෙරණ 3600 වැඩ සටහනට  ඇවිත්  කිව්වා. ජනතාව පිළිගන්න ඕනෑ හිරකරුවෙක් කියන ඒවාද රණවිරුවන් කියන ඒවාද කියලායි. දැන් මේ ආණ්ඩුවේ ජනපති ඉන්නෙත් ඒ තැන. ඔහුත් මොනවා කළත් රණවිරුවන් ආරක්‍ෂා කරන තැනට වැටිලා.

මියගිය රැඳවියන්ගේ පවුල්වලට වන්දි ගෙවලා තියෙනවාද?

ආණ්ඩුව එහෙම වන්දි සුත්‍රයක් ගෙනල්ලා මේ ප්‍රශ්නය යට ගහන්න උත්සාහ කරනවා. ඒත් තවම කිසිම කෙනෙකුට වන්දි දීලා නෑ. ඒ පවුල්වල අයත් වන්දී නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අඩුම ගාණේ ඒ අයට මරණ සහතිකය දීලා නෑ. ඉතින් මේක සුළු කොට කතා කරන්නේ නැතිව මේ ආණ්ඩුව දැන්වත් මේකට සාධාරණය ඉටු කරන්න ඕනෑ. අපි දිවි පරදුවට තියලා සාක්ෂි දෙන්න ඉදිරිපත් වුණේ ඒ නිසා. අපි ආණ්ඩුව තවමත් විශ්වාස කරනවා. ඒ නිසා දැන්වත් සාධාරණය ඉටු කරන්න කියලයි අපි කියන්නේ.■