රාවය

දේශපාලන පරිකල්පනයේ දුගීබව

දේශපාලන පරිකල්පනයේ දුගීබව

ජයදේව උයන්ගොඩ

ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාවෙන් දී ඇති ප්‍රධාන දේශපාලන පණිවිඩයක් නම්, එම පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මතවාදය ඉදිරියටම ගෙන යාමට එතුමාද කැපවී සිටින බවයි.

ලංකාවේ සාධනීය දේශපාලන පරිවර්තනයක කර්තෘකයෙකු වනු ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන බලාපොරොත්තු තැබූ සහ එතුමාට දේශපාලන වශයෙන් හිතවත්කම දැක්වූ පිරිස්වලට මෙය මහත් දොම්නසට කාරණයකි. පසුගිය ජනාධිපති මැතිවරණයේදී තමා පරාජය කිරීමට කැපවූ පිරිස්වලට නායකත්වය දෙන්නට එතුමා දැන් ලැහැස්ති වන බව පෙනෙන්නේ, එතුමාම 2015 දී ප්‍රතික්ෂේප කළ මතවාද පද්ධතියට ආපසු පසුබෑමෙන් බව පෙනේ. ජගත් ජයසූරිය සිද්ධිය පිළිබඳව එතුමා දැක්වූ ප්‍රතිචාර මහින්ද රාජපක්‍ෂ සහ විමල් වීරවංශ යන දෙදෙනාගේම දේශපාලන සිතීම, කතිකාව සහ භාෂාව අත්හැර තමන්ගේම වූ නව දේශපාලන පරිකල්පනයක් ගොඩනගා ගැනීමට පසුගිය වසර දෙක තුළදී එතුමා සමත් වී නැති බව පෙන්නුම් කරයි.
එය එසේ සිදුවන්නේ ඇයි?

මෛත්‍රීපාල සිරිසේන මහතාගේම පැත්තේ සිට, එතුමාගේම සපත්තු පැළඳගෙන අප මේ කරුණ දෙස බලන්නේ නම්, එතුමා කර ඇත්තේ තරමක් සංකීර්ණ දේශපාලන අභියෝගයකට අතිසරල අතිපහසු පිළියමක් සොයා යෑම බව පෙනේ. එම අභියෝගය තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වය දරමින් ඉදිරි කාලයේ පැවැත්වෙන මැතිවරණ ගණනාවකට තම පක්‍ෂය මෙහෙයවීමට සූදානම් වන්නේය යන කරුණ වෙතිනි. පළාත්පාලන සහ පළාත් සභා මැතිවරණ මේ වසරේ හෝ ඊළඟ වසරේ පැවැත්වෙනු ඇත. ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ 2020-2021 පැවැත්වීමට ඉඩ තිබේ. ශ්‍රීලනිපය නායකත්වය දෙන, එජාපය නැති සභාග රජයක් පිහිටුවීමට තම හිතවතුන්ගෙන් එන බලපෑමට එතුමා දැන් යටවී තිබෙන බවද පෙනේ. මේ පසුබිම තුළ එතුමා මුහුණ දෙන ප්‍රහේළිකාවක අභියෝගය මෙපරිදිය.

ශ්‍රීලනිපය දැන් කාණ්ඩ දෙකකට බෙදී, නායකත්ව දෙකක් යටතේ දෙදිසාවකට ගමන් කරමින් සිටී. එක් කණ්ඩායමක නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. අනෙක් කණ්ඩායමේ නායකයා වර්තමාන ජනාධිපතිතුමාය. පක්‍ෂයේ නිල නායකයා වුවත්, පක්‍ෂයේ සමාජිකයන්ගේ හා ක්‍රියාකාරිකයන්ගේ බහු තරයේ සහාය ලබාගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට තවමත් නොහැකි වී තිබේ. මේ අතර ශ්‍රීලනිපයේ නායකයා වශයෙන්, එයට රාජපක්‍ෂ පවුලේ මතවාදවලට පිටත මතවාදයක් වෙතින්, ශ්‍රීලනිපයේ දේශපාලන විඥානය සහ ඉදිරි දැක්ම යළි ගොඩනැගීමට සිරිසේන මහතා තවම සමත් වී නැත. මේ ගැටලුව මහින්ද රාජපක්‍ෂ මහතාට නැත. ආකර්ෂණශීලී මතවාද යුගලයක් එතුමා සතුව දැනටමත් තිබේ. එය වනාහි සිංහල බෞද්ධ ජාතිවාදය සහ සංවර්ධන රාජ්‍යවාදයයි.

දැන්, සිරිසේන මහතා මහුණ දෙන ප්‍රහේළිකාවේ අනෙක් අංගය වන්නේ රාජපක්‍ෂ පවුලේ ජාතිවාදී මතවාදයට සහ සංවර්ධනය රාජ්‍යවාදයට විකල්ප මතවාදයක් ගොඩ නගා ශ්‍රීලනිප සමාජිකයන් හා ඡන්ද දායකයන් එම මතවාදයට දිනා ගැනීමයි.

මෙම කාරණයේදීද සිරිසේන මහතා අභියෝග දෙකකට මුහුණ දෙයි. පළමුවැන්න එජාපයෙනි. දෙවැන්න එතුමාගෙන්මය.
එජාපයෙන් එල්ලවන අභියෝගය නම්, ශ්‍රීලනිපයේ රාජපක්‍ෂ මතවාදයට විකල්ප මතවාදයක් එජාපයට දැනටමත් තිබීමයි. එය සිංහල ජාතිවාදී නොවන දෙමළ, මුස්ලිම් සහ සුළු ආගමික ප්‍රජාවන්ටද ආයාචනය කෙරෙන, තරමක් දුර්වල වුවත් වාර්ගික බහුතරවාදයකි. මෛත්‍රීපාල සිරිසේන මහතාට, රාජපක්‍ෂ පවුල නායකත්වය දෙන ශ්‍රීලනිප කණ්ඩායමේ සිංහල ජාතිවාදී මතවාදයට එරෙහිව වාර්ගික බහුත්වවාදී මතවාදයක් ඉදිරිපත් කළ හැකිය. එය වනාහි 2015 කාලයේදී එතුමා අනන්‍යවී තිබුණු මතවාදයයි. එහෙත් එය ශ්‍රීලනිපයේ තමන් නායකත්වය දෙන කොටසේ මතවාදය බවට පත් කළහොත් සිරිසේන මහතාට අලුත් අභියෝගයක් මතුවේ. එනම් එජාපය සහ තමන් නායකත්වය දෙන ශ්‍රීලනිපය අතර මතවාදී වෙනසක් නොවීමයි. මෙය වඩාත් උග්‍රවන්නේ තනියම ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට එතුමාට බලකරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිස එජාප, ශ්‍රීලනිප පසමිතුරු ප්‍රතිවිරෝධය යළි මතු කිරීමෙන් පමණක් තම ඉලක්කය ඉටුකරගත හැකිය යන ස්ථාවරයේ සිටින නිසාය.

මේ ගැටලුවෙන් මිදීමට සිරිසේන මහතාට විකල්පයක් තිබේ. එය නම් එජාපය සමඟ මතවාදී සමානාත්වයක් තබාගෙන, ආර්ථික ප්‍රතිපත්ති සමාජ සාධාරණත්වය ප්‍රජා තන්ත්‍රවාදය සහ සුළු ජන අයිතිවාසිකම් වැනි මතවාදී සහ ප්‍රතිපත්ති තේමා මත වඩාත් නූතනවාදී දේශපාලන මතවාදයක් ගොඩ නගා ගැනීමයි. එවිට රාජපක්‍ෂ නායකත්වය දෙන ශ්‍රීලනිප කොටසටත්, රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන එජාපයටත් වඩා ඉදිරියට ගිය දේශපාලන කර්තෘක යෙකුගේ තත්ත්වයට ශ්‍රීලනිපය පත් කිරීමට එතුමාට හැකිවනු ඇත. එහෙත් පසුගිය දවස් කිහිපය තුළ එතුමා කළ ප්‍රකාශ දෙස බලනවිට පෙනෙන්නේ ඒ ගැන සිතා බැලීමට එතුමා උත්සාහ ගෙන නැති බවයි. ඒ අමාරු කාර්යය වෙනුවට එතුමා තෝරාගෙන තිබෙන්නේ පහසුම මාවතයි. එනම් මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ මතවාදී මඩගොහොරුවල බැසීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා වෙතින්ම එල්ලවන අභියෝගය වන්නේ මෙම කාරණයයි. එම කාරණයම තරමක් විදග්ධ වචනවලින් කියන්නේ නම් තම දේශපාලන පරිකල්පනයේ දරිද්‍රතාව ජය ගන්නේ නැතිව, දේශපාලන වශයෙන් තව දුරටත් ඉදිරියට යෑම ජනාධිපතිතුමාට අසීරු ඉලක්කයක් වනු ඇත.

‘දේශපාලන පරි කල්පනයේ දරිද්‍රතාව’ යන අදහස් මා මෙහිදී යොදාගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකව එල්ල කරන විවේචනයක් හැටියට නොවේ. එතුමාද ඇතුළුව ලංකාවේ දැනට සිටින දේශපාලක පන්තියේ ඇති පොදු දුර්වලතාවක් හඳුන්වාදීමටය. සති දෙකකට පෙර සිදුවූ විජයදාස රාජපක්‍ෂ සිදුවීමේදීද මෙම දේශපාලන පරිකල්පන දරිද්‍රතාවේ ගැටලුව මනාව ප්‍රකාශ විය. උගත් නීතිඥයකුද කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි දෙකක් එකම වසරේ ලබාගත්තා වුද, විජයදාස රාජපක්‍ෂ මහතා තම දේශපාලන ජීවිතයේ තීරණාත්මක මොහොතක කළේ කුමක්ද? මහාචාර්ය සරත් විජේසූරිය රාවය පුවත් පතේ ලිපියක කදිමට පෙන්වා දුන් පරිදි විමල් වීරවංශ මහින්ද රාජපක්‍ෂ චින්තනයේ පිහිට පැතීමය. දියුණු සහ නුතනවාදී දේශපාලන විඥානයක් ඇති කර ගැනීමට අවශ්‍ය උගත්කම තිබෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශාස්ත්‍රාලීය මට්ටමෙන් උගත් විජයදාස රාජපක්‍ෂ මහතා පවා පෙන්වූයේ තම දේශපාලන පරිකල්පනයේ අත්‍යන්ත දරිද්‍රතාවයි. ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරුන් ගණනාවම එම අත්‍යන්ත දරිද්‍රතාව තම වරප්‍රසාදයක් ලෙස සලකන්නන් බව පෙනේ.
මෙය වනාහි වර්තමාන ලංකාවේ දේශපාලන පරිවර්තනය සහ ඉදිරි දේශපාලන ගමන් මග ගැන බලාපොරොත්තු ඇතිකරන තත්ත්වයක් නම් නොවේ.

මේ අතර අප ඉහත මතුකළ කාරණය ගැනම, කෙනෙකුට මෙවැනි ප්‍රශ්නයක් මතු කරන්නට පුළුවන, දේශපාලන පරිකල්පනයේ දරිද්‍රතාව, විජයදාස රාජපක්‍ෂ මහතාත් ජනාධිපති සිරිසේන මහතාත් හිතාමතාම කරන මූලෝපායික තෝරා ගැනීමක ප්‍රතිඵලයක් නොවන්නේද? ජනාධිපති තුමාගේ නිදසුන් දෙස, මෙම ප්‍රශ්නය පැත්තෙන් බලන්නේ නම්, එතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිප කණ්ඩායමට, මුලෝපායික වශයෙන් කල්පනා කළ යුතු මතවාදී ඉලක්ක දෙකක් තිබේ. පළමුවෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ මතවාදී බලකොටුවට එතුමාගේ මතවාදයම අවියක් කරගෙන පහර දීමයි. දෙවැන්න තමා නායකත්වය දෙන ශ්‍රීලනිපය හා අනෙක් ප්‍රධාන පක්‍ෂය වන එජාපය අතර ඇති ප්‍රතිරෝධතාව යළි විවෘත කිරීමයි. ජනාධිපතිතුමා සමඟ සිටින ඇමතිවරුන්ටද මෙම දෙවැනි අරමුණ ප්‍රමුඛතාවකි. මේ දෙකෙන් දෙවැන්න පහසුය. පළමුවැන්න පහසු නැත. එය දුෂ්කර වන්නේ මතවාදී වශයෙන් මහින්ද රාජපක්‍ෂට වඩා මහින්ද රාජපක්‍ෂ කෙනෙකු වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි නිසාය.

මේ අතර ඉදිරි කාලයේදී අපට නිරීක්‍ෂණය කළ හැකි කරුණක් වන්නේ, ශ්‍රීලනිපයේ කණ්ඩායම් දෙක දෙපැත්තට ගමන් කරද්දී ලංකාවේ දේශපාලන පක්‍ෂ ක්‍රමය කවර නව පරිවර්තනයකට භාජනය වෙනු ඇත්ද යන්නයි. ලංකාවේ ඇත්තේ අධිපති ද්විපක්‍ෂ ක්‍රමයකි. ශ්‍රීලනිපය හා එජාපය එම අධිපති පක්‍ෂ දෙකයි. අනෙක් සුළු පක්‍ෂ සියල්ලම පාහේ භ්‍රමණය වන්නේ මෙම පක්‍ෂ දෙක වටාය. ශ්‍රීලනිපය දෙකඩ වන්නේ නම් ද්විපක්‍ෂ ක්‍රමය පරිවර්තනය වේද? තෙවැනි සිංහල ‘ධනපති’ පක්‍ෂයකට දේශපාලන අවකාශය තිබෙන්නේද? ද්විපක්‍ෂ ක්‍රමය ත්‍රිපක්‍ෂ ක්‍රමයක් බවට පරිවර්තනය වේද? එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ දුර්වල සභාග ආණ්ඩු ප්‍රවණතාව තවත් ඉදිරියට යාවිද?
මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු තවමත් පැහැදිලි නැතත්, ඒවා ගැන විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්ය. මන්ද යත්, ශ්‍රීලනිපය දේශපාලන පක්‍ෂයක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වෙමින් සිටින බව පෙනෙන නිසාය.■

යුද්ධයේදී සිදුවූවායැයි කියන, එහෙත් මා පිළිනොගන්නා මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනාත් එක්ක ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟිලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාව පැරදුණා. ලෝකයේම අපි පැරදුණා. ජාත්‍යන්තරය වෛර කරද්දී, අපට නොගැළපෙන යෝජනා රාශියක් ඉදිරිපත් කරද්දී තමයි ජනාධිපතිවරණයක් ආවේ. මම ලෝක නායකයන් හමුවෙන්න ගිහින් කිව්වා මේ අශීලාචාර යෝජනාවලට එකඟ වෙන්න බෑ කියලා. ලෝක නායකයෝ කිව්වා රට කරගෙන යන්න. කිසි බාධාවක් කරන්නෙ නෑ කියලා.
මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ජගත් ජයසූරියටවත් මේ රටේ කිසිම හමුදාපතිවරයෙකුට, මේ රටේ කිසිම රණවිරුවෙකුට අත තියන්න ලෝකයේ කිසිකෙනෙක්ට ඉඩ දෙන්නෙ නෑ කියලා මම පැහැදිලිව කියනවා.
එල්ටීටීඊයෙන් සල්ලි ගන්න, එල්ටීටීඊය සමඟ කටයුතු කරන විදේශයන් සිට ලංකාවට බලපෑම් කරන එන්.ජී.ඕ. කියන විදියට මම කටයුතු කරන්නෙ නැහැ කියලා මම පැහැදිලිවම කියනවා.
(මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැප්තැම්බර් 03 ශ්‍රීලනිප සංවත්සර උළෙලේදී කළ කතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි.)