රාවය

චින්තනයේ දුප්පත්කමේ ඓතිහාසික වටාපිටාව

චින්තනයේ දුප්පත්කමේ ඓතිහාසික වටාපිටාව

වික්ටර් අයිවන්

මා පුනරුද ව්‍යාපාරයේ සාකච්ඡා සභාවකට ගිය අවස්ථාවකදී සාකච්ඡා සභාව අවසානයේ මා වෙත පැමිණි පුද්ගලයෙක් මට පමණක් ඇසෙන ලෙස අපූරු අදහසක් මා වෙත පළ කළේය. ලංකාවේ මිනිසුන් තුළ දක්නට තිබෙන චින්තනමය හීනතාව කෙරෙහි බලපා තිබෙන ඓතිහාසික හේතු ගැන කරුණු හදාරා ඒ ගැන හොඳ විවරණයක් ලියන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය.

චින්තනයේ පුංචිකම
චින්තනමය වශයෙන් ලංකාව කෙරෙන් පළවී තිබෙන අඩු දියුණුව කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව ලෙස මට පෙනෙන්නේ ලංකාව ඈත අතීතයේ සිටම තමන් අදහන ආගමට පමණක් තම දැනුම සීමා කරගත් ජනතාවක් වීමය. දාර්ශනික අර්ථයෙන් ගත් විට සියලුම ආගමික ශාස්තෲවරුන් අතුරින් දාර්ශනික ගැඹුරක් පෙන්නුම් කර ඇත්තේ බුදුන් වහන්සේය. එහෙත් අවාසනාවකට මෙන් ලංකාව ඈත අතීතයේදී පමණක් නොව, වර්තමානයේදීද බුදුන් වහන්සේ තේරුම් ගෙන ඇත්තේ පුළුල් අර්ථයකින් නොව පටු අර්ථයකිනි. ඈත අතීතයේදී පමණක් නොව වර්තමානයේ පවා බොහෝ බෞද්ධයන් විශ්වාස කරන්නේ බුද්ධාගම යනු සියලු දැනුම්වල අග්‍ර ඵලය වශයෙනි. වසර 2300කට ආසන්න දීර්ඝ කාලයක් ලංකාවේ ශාස්ත්‍රීය ගණයෙහිලා සැලකිය හැකි හැම දෙයක්ම පාහේ සිදුකර ඇත්තේ බුද්ධාගම පදනම් කරගෙනය. ආගමික නොව ලෞකික දැනුම් ගණයෙහිලා සැලකිය හැකි කලාව, සාහිත්‍යය, ගණිතය, විද්‍යාව, දර්ශනවාදය වැනි දේවල් තබා ජීවිතයේ පරමාර්ථ හෝ ලෝක ස්වභාවය ගැන අවුරුදු 2300ක් තරම් වන එම දීර්ඝ කාලය තුළ එකම පොතක්වත් ලියැවී නැත. එම ක්ෂේත්‍රවලට අදාළව ලෝකයේ වෙනත් රටවල ලියැවී තිබුණු සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි එකම පොතක්වත් එම දීර්ඝ කාලය තුළ සිංහලට පරිවර්තනය වී නැත. මේ දීර්ඝ කාලය තුළ සිංහලයන් දැනුම ලබාගත් එකම ප්‍රභවය වී තිබෙන්නේ බුද්ධාගමය.
බුදුන් වහන්සේ, මහාවීර, කොන්පියුසියස්, යන ශාස්තෲවරුන්ද සොක්‍රටීස්, ප්ලේටෝ, යුක්ලීඞ්, ආකිමිඩීස් හා ඇරිස්ටෝටල් යන සියලුදෙනා ක්‍රිස්තු පූර්ව යුගයේ ජීවත් වූ මහා ශාස්ත්‍රඥයන් ලෙස සැලකිය හැකිය. ඒ සියලුදෙනා විවිධ විෂයයන් වෙනුවෙන් පෙනී සිටි ඉතාමත් සුවිශේෂී අය වූහ. පයිතගෝරස් හා යුක්ලීඞ් වැදගත්වන්නේ ගණිතයේදීය. ආර්කිමිඩීස් වැදගත් වන්නේ ගණිතයේදී හා ඉංජිනේරු විද්‍යාවේදීය. සොක්‍රටීස් වැදගත් වන්නේ ආචාර ධර්ම විෂයේදීය. ප්ලේටෝ වැදගත්වන්නේ දේශපාලන විද්‍යාවේදී හා සංකල්ප වාද විෂයේදීය. ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාව, කලාව, තර්ක ශාස්ත්‍රය, භෞතික විද්‍යාව යන විෂයයන් හතරටම වැදගත් වේ. ලංකාව මේ සියලු ප්‍රාඥයන් අතර දැන සිටියේ බුදුන් වහන්සේ ගැන පමණමය. ලෝකය ඒ යුගයේ බිහිකර තිබූ සොක්‍රටීස්, යුක්ලීඞ්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි ආගමික නොවන මහා ප්‍රාඥයන් කිසිවකු ගැන දැන නොසිටියේය. ඒ නිසා ලංකාවේ චින්තනය කෙරෙහි ඒ කිසිවකු බලනොපෑවේය. බලපෑවේ බුද්ධාගමත් ඊට අඩු වශයෙන් හින්දු ආගමත් පමණය. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට තිබුණේ තනිකර ආගමික චින්තනයකි. එයට ලෞකික පැත්තක් නොතිබුණි. ලංකාවේ ලියැවී තිබෙන සියලුම පැරණි පොත්පත් ආගමික පොත්පත් ලෙස සැලකිය හැකිය. ආගමික නොවන පොත්පත් කිසිවක් ලියැවී නැත. බද්දේගම විමලවංශ හිමියන් කියා තිබෙන ආකාරයට අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ලියැවී ඇති පොත්වලින් වැදගත් කොට සැලකිය හැක්කේ අමාවතුර පමණය. මෙම දීර්ඝ කාලය තුළ බුද්ධාගම (ථේරවාදී) ග්‍රන්ථාරූඪ කරන්නට අතිවිශාල මහන්සියක් දරා ඇතත් ලෝකයේ පළවී තිබූ වැදගත් කොට සැලකිය හැකි එකම පොතක්වත් සිංහලට පරිවර්තනය කරන්නට කිසිදු උත්සාහයක් දරා නැත. මෙම ආගමික සමාජ වටාපිටාව තුළ දියුණු කලාවක්, විද්‍යාවක් හෝ දර්ශනවාදයක් බිහිවීමට ඉඩක් නොතිබුණි. විද්‍යා විෂයයන් වර්ධනය වීමට ඉඩක් නොතිබුණි.

කාලාම සූත්‍රය
චින්තනමය වශයෙන් දියුණුවක් සඳහා අවශ්‍ය මගපෙන්වීම් බුද්ධාගම තුළ අන්තර්ගතව තිබුණද, ලංකාවේ භාවිත වූයේ බුද්ධිය මුල් කරගත් ප්‍රවේශයක් වෙනුවට භක්තිය මුල් කරගත් ප්‍රවේශයක් වීම නිසා බුද්ධාගමේ තිබූ එම විභව ශක්තිය පවා ප්‍රයෝජනයට ගැනීමට ලංකාව අසමත් වූයේයැ’යි කිව හැකිය.
ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය කාලාමය සූත්‍රයයි. කාලාමය සූත්‍රයෙන් ප්‍රකාශවන්නේ තමන්ට පෞද්ගලිකව සුදුසු යැයි පෙනී යන දේ පමණක් පිළිගත යුතු බවය. හැම දෙයක්ම විචාරාත්මකව සලකා බැලීමේ වැදගත්කම එය අවධාරණය කරයි. ඉන් කියන්නේ සම්ප්‍රදායෙන් පැවත එන නිසා පිළිනොගත යුතු බවය. තර්ක පදනම් කොට ගෙන ඉදිරිපත් කර තිබෙන නිසාම පිළිනොගත යුතු බවය. ගරු බුහුමන් ලබන ශ්‍රමණයෙකු කියන නිසාම පිළිනොගත යුතු බවය. එම ප්‍රකාශවල සාවද්‍ය බවක් ඇති බව වැටහේ නම් එය පිළිනොගත යුතු බවය. ඒ ගැන රණවීර ලෙස්ලි ගුණවර්ධන කියා ඇත්තේ කාලාමය සූත්‍රයේ එන එම විචාරාත්මක ප්‍රවේශය සූත්‍ර පිටකයට ඇතුළත්ව තිබූ නමුත් එහි වැදගත්කම හඳුනාගනු ලබන්නේ දහනවවන ශතවර්ෂයෙන් මෑත නූතන අවධියේ බවය. දීර්ඝ කාලයක් තිස්සේ එය පසෙකලා තිබුණු බවත් තවමත් ඊට ලැබිය යුතු අවධානය ප්‍රමාණවත් තරමින් ලැබී නැති බවත් ඔහු වැඩිදුරටත් කියා තිබේ.
ලංකාව දීර්ඝ කාලයක් ජීවත් වී තිබෙන්නේ ලෝක දැනුම අත්පත් කර නොගත් ආගමික ලෝකයකය. පිරිවෙන් අධ්‍යාපනය සීමිත පිරිසකට සීමාවූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස සැලකිය හැකි අතර පිරිවෙන්වලද උගන්වන ලද්දේ භාෂාව හා බුද්ධාගම පමණය. අපේ රටට සීමා නොවූ ලෝක දැනුම සඳහා වන දොරටු අපට විවෘත වන්නේ ලංකාව බි්‍රතාන්‍ය යටත්විජිතයක් බවට පත්වී නූතන පාසල් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීමත් සමඟය. ඉංග්‍රීසීන් ඇති කළ පාසල් ක්‍රමයේද ඔවුන්ගේ ආගම අපට පොවන ක්‍රමයක් තිබුණද එම පාසල් ක්‍රමයේ ආගමට අතිරේකව ලෞකික ගණයෙහිලා සැලකෙන විෂයයන්ද ඉගැන්වීය. ඒ මගින් ආගමික දැනුමට පමණක් සීමා වී සිටි ජනයා වඩා නවීන හා විස්තීරණ ලෝකයක් වෙත යොමු කිරීමක් සිදුවිය. එහෙත් එහිදී පවා ක්‍රමානුකූල සංවර්ධනයක් ඇති කර ගැනීමට ලංකාවට ඉඩ ලැබුණේ නැත.

පරිවර්තන සාහිත්‍යය
ජාතීන්ගේ දියුණුව කෙරෙහි වඩා දියුණු අන්‍ය ජාතීන්ගෙන් ඉගෙන ගැනීමට දක්වන උනන්දුව බලපායි. ලෝකයේ පළවන හොඳම පොත් ජපන් භාෂාවෙන් පළකෙරෙන ක්‍රමයක් ජපානයේ ක්‍රියාත්මක වේ. එය නූතනයේ ඇති කරගත් සම්ප්‍රදායක් නොව ඈත අතීතයේ සිටම පැවත එන සම්ප්‍රදායයකි. ජපනුන් යුරෝපීය භාෂා දැනුමෙන් දුප්පත්ය. එහෙත් නව දැනුමෙන් පොහොසත්ය. පරිවර්තන සාහිත්‍යය ඔවුන්ට නව දැනුම ලබාදෙන ප්‍රධානතම මාර්ගයක් ලෙස ක්‍රියා කරයි. ක්‍රිස්තියානි ලෝකය ඇරිස්ටෝටල් ගැන දැනගත්තේ මුස්ලිම් දාර්ශනිකයෙකු වන ඉබන් රූෂ්ඩි (1126-98) ගෙනි. දාර්ශනික හා විද්‍යාත්මක තලයේ ඇරිස්ටෝටල්ට ලැබෙන අතිවිශාල වැදගත්කම පළමුවෙන්ම තේරුම් ගත් පුද්ගලයා ඔහුය. ක්‍රිස්තියානි ලෝකය ඇරිස්ටෝටල් ගැන දැනගත්තේ ඉහත කී මුස්ලිම් දාර්ශනිකයා ඇරිස්ටෝටල් ගැන ලියන ලද ලිපි ලතින් භාෂාවෙන් පළවීම නිසාය. අවසානයේ පුනරුද කාලයේදී යුරෝපීය උගතුන් අතර ඇරිස්ටෝටල් කියවීම උමතුවක් වැනි දෙයක් බවට පත්විය. ජ්‍යාමිතය ඉපදුණේ මිසරයේය. එය අවසාන වශයෙන් සංවර්ධනය වූයේ ග්‍රීසියේය. ජ්‍යාමිතිය ග්‍රීසියට ගෙනා පුද්ගලයා වශයෙන් සැලකෙන්නේ තේලිස් (ක්‍රි.පූ. 620-555)ය. ලොව පහළ වූ පළමු දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ ද ඔහුය. නව දැනුම සමහරවිට එක රටක ඉපදී තවත් රටක සංවර්ධනය වන්නේය. චෙස් ඉපදුණේ ඉන්දියාවේය. දෙවැනි අදියරයේ වැඩිදුර සංවර්ධනය වූයේ අරාබි ලෝකයේය. ඉන්පසු එය අවසාන වශයෙන් සංවර්ධනය වූයේ යුරෝපයේය.
පරිවර්තන සාහිත්‍යය එක් ජාතියක් සතු දැනුම වෙනත් ජාතීන් අත්පත් කරගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස සැලකිය හැකිය. ප්‍රඥාවන්ත ජාතීන් තමන්ට තිබෙන දැනුමෙන් තෘප්තිමත් නොවී වෙනත් ජාතීන් සොයා ගන්නා නව දැනුම ගැන විමසිලිමත්ව ඉඳිමින් ඒවා තමන් වෙතද අත්පත් කරගැනීමට ක්‍රියා කරති. පරිවර්තන සාහිත්‍ය එහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

එක තැන පල්වීම
බි්‍රතාන්‍ය යුගයේ ව්‍යාප්ත වූ පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් අපට ලෝකයේ දොරටු විවෘත කරන තෙක් නව දැනුම් විෂයෙහි ලංකාව සිටියේ ගන අන්ධකාරකය. ලෝකයේ ඇතිවූ මහා පෙරළිකාර සිදුවීම් පවා ලංකාව දැන නොසිටියේය.
ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති මධ්‍යතන යුගය අවසන් කරමින්, ලෝකය නූතන යුගයට ගෙනයෑමට හේතුවූ ඉතාලියෙන් ආරම්භ වී යුරෝපයේ පැතිරුණු පුනරුදය ගැනවත්, ඒ ආශ්‍රයෙන් යුරෝපයේ ඇතිවූ මහා සිදුවීම් පිළිබඳවත්, ඒ කාලයේ යුරෝපයේ පහළ වූ මහා ප්‍රාඥයන් ගැන හෝ ඔවුන් පළ කළ අදහස් ගැනවත් ඒ කාලයේ ලංකාව කිසිවක් දැන සිටියේ නැත. ලංකාව මැකියාවලී (1467-1527) කොපනිකස් (1473-1543) කෙප්ලර් (1571-1630) ගැන හා ගැලීලියෝ (1564-1642) ගැන හෝ ඒ තිදෙනාගේ සොයා ගැනීම් විසින් විද්‍යාත්මක තලයේ ඇති කර තිබූ මහා විපර්යාස ගැන දැන නොසිටියේය. ෆ්‍රැන්සිස් බේකන් (1561-1620) ගැන හොබ්ස් (1588-1679) ගැන ඩෙකාට් (1596-1650) ස්පිනොසා (1632-1677) ගැන, ලොක් (1632-1704) ගැන ඬේවිඞ් හියුම් රූසෝ (1712-1778) ගැන කාන්ට් (1724-1804) ගැන හෝ ඒ කාලයේදී දැන නොසිටියේය. ඔවුන් අතින් ලියැවුණු ශ්‍රේෂ්ඨ පොත්වල නාමලේඛනයක් මෙහි පළ නොකරන්නේ මෙම ලිපිය අනවශ්‍ය තරමට දීර්ඝවීම වළකා ගැනීම සඳහාත් වර්තමානයේ ඒ නම් කියවූ පමණින් ඔවුන් ලියන ලද පොත් ගැන වැටහීමක් තිබෙන අය සිටින නිසාත් නොදන්නා අයකුට පවා එම ලේඛන පහසුවෙන් සොයා දැනගත හැකි නිසාත්ය.
එම විශේෂිත කාලයේදී ලංකාවේ ලියැවී තිබෙන පොත් ගැන ලේඛනයක් මෙහි පළකරන්නේ ලංකාව ඒ වනවිටත් චින්තනමය වශයෙන් කොතරම් නොදියුණු තත්ත්වයක සිටියාද යන්න පෙන්නුම් කිරීම සඳහාය. එම පොත් ලේඛනය මෙසේය. පන්සිය පනස් ජාතක පොත, දළදා සිරිත, සිංහල මහා බෝධි වංශය, සිංහල අනාගත වංශය, සූර්යශතක සන්නස හා දඹදෙණිය අස්නය. මේ කාලයේ යුරෝපයේ පළවී තිබෙන පොත් ලංකාවේ පළවී තිබෙන තුලනාත්මකව සලකා බලතොත් බුද්ධිමය අර්ථයෙන් යුරෝපය හා ලංකාව අතර තිබූ පරතරය අහසට පොළොව තරම් විශාල බව තේරුම් ගැනීම අමාරු නැත.

ජාත්‍යනුරාගය
ලංකාව අකුරු උගත් සමාජයක් බවට පත්වීමෙන් පසු ජාත්‍යනුරාගී හැඟීම් සිංහලයන් තුළ ඇති කළේද ඒ කාලයේ ලංකාවේ සේවය කළ යුරෝපීය සිවිල් නිලධාරීන්ටය. සිවිල් නිලධාරීන්ට සිංහල හා දෙමළ භාෂාව ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. ඔවුන් සඳහා පැවති ස්වභාෂාවන්ට අදාළ විභාගය සමත් නොවන්නන්ට උසස්වීම් ලබාදීම ප්‍රමාද කරන ලදි. එම විභාගයෙන් තුන්වරක් අසමත්වන නිලධාරීන් සේවයෙන් පහ කරන ලදි. ඒ නිසා ඒ කාලයේ ලංකාවේ සේවයකළ සිවිල් නිලධාරීහු සිංහල හා දෙමළ භාෂා ගැන මනා වැටහීමක් ඇති අය වූහ. ජෝන් ඩොයිලි ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. ඩොයිලි සිංහල භාෂාව ඉගෙන ගෙන තිබුණේ කරතොට නායක හිමියන්ගෙනි. ඔහු බුලත් කෑවේය. ඔහුට ගජමන් නෝනා සමඟ මිත්‍රත්වයක් තිබූ අතර දෙදෙනා අදහස් හුවමාරු කරගත්තේ කවියෙනි.
ලංකාවේ අතීත ශිෂ්ටාචාරය ගැන අනුරාධපුරය, පොළොන්නරුව යනාදී රාජධානි ආශ්‍රයෙන් පැවති දියුණුව ගැන හා ඔවුන්ගේ කලා ශිල්ප, වාරි කර්මාන්ත, විහාර දාගැබ් ගැන ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, ආගමික හා සාහිත්‍යයික ගවේෂණයක යෙදෙමින් ඒ ගැන අගනා පොත් පළ කළ පුරෝගාමීන් වූයේ ලංකාවේ සේවය කළ ඉංග්‍රීසි හා යුරෝපීය සිවිල් නිලධාරීන්ය.
මේ අය අතරින් ජෝන් ඩොයිලි, ඇලෙක්සැන්ඩර්, ජොන්ස්ටන්, ආර්.සි. විල්ඩර්ස්, එච්.ඩබ්ලිව්. කොඞ්රින්ටන්, හියුනෙවිල්, රීස් ඬේවිස්, තෝමස් ස්ටීල්, එච්.ඊ.පී. බෙල් යන අය ප්‍රධානය. ඒ සියලුදෙනාට ඒ කටයුතුවල යෙදෙන්න ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුන්ට අනුග්‍රහය දුන්නේය. ගයිගර් ලංකාවේ සේවය කළ සිවිල් නිලධාරියෙකු නොවූවද මහාවංශය සම්බන්ධයෙන් ඔහු ඉටු කරන ලද කාර්යයන් ඔහුට පවරන ලද්දේ ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි.
ලංකාවේ උගතුන් ඒ පෙරහැරට එකතු වූයේ ඉන්පසුවය. ඔවුන්ටද ඉංග්‍රීසි ආණ්ඩුව උපරිම මට්ටමෙන් අනුග්‍රහය දක්වන පිළිවෙතක් අනුගමනය කළේය. මහාවංශය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිවරයා පොළඹවන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව විසිනි. එය සිංහලට පරිවර්තනය කිරීමෙන් පසු පොතක් ලෙස පළකරන්නේද ඉංග්‍රීසි ආණ්ඩුව විසිනි. සිදත් සඟරාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරවන්නට ජේම්ස් ද අල්විස් පොළඹවන්නේද, ඒ කාර්යය සඳහා අවශ්‍ය බරපැන දරන්නේද ඉංග්‍රීසි ආණ්ඩුව විසිනි. ජේම්ස් ද අල්විස්ගේ එම පොත පළකෙරුණේද මහාවංශය මෙන් රජයේ මුද්‍රණාලයේ රජයේ ප්‍රකාශනයක් වශයෙනි.
ඒ අර්ථයෙන් ජාත්‍යානුරාගී හැඟීම් අප තුළ ඇති කිරීමට බලපෑ බුද්ධිමය වටාපිටාව පවා අප විසින් ඇතිකර ගන්නා ලද දෙයකට වඩා ඒ කාලයේදී ලංකාවේ සේවය කළ යුරෝපීය සිවිල් නිලධාරීන් හා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඇති කරන ලද දෙයක් ලෙස සැලකිය හැකිය.

පොට වරද්දා ගැනීම
ඒ කාලයේ ස්වදේශීය උගතුන් සිටියේ අලුතෙන් උරුම කරගත් දැනුම පරිණත කරගත් තත්ත්වයක නොව බාගෙට උගත් තත්ත්වයකය. ඒ නිසා ලංකාවේ ඉතිහාසයට අදාළව යුරෝපීය නිලධාරීන් හෙළිපෙහෙළි කර දුන් කාරණා අපේ උගතුන් වැරදි කොණකින් අල්ලා ගත්තේය. ලෝක ශිෂ්ටාචාර ගැන තුලනාත්මක අවබෝධයක් නොතිබීම නිසා ලංකාව ගැන සොයා ගන්නා ලද දේවලින් අනවශ්‍ය තරම් ආඩම්බරයක් ඇතිකර ගනිමින් ලෝකයේ උතුම්ම ශිෂ්ටාචාරය පහළ වූ රට ලංකාව ලෙස සිතන තත්ත්වයකට ඔවුන් පත්වූවා පමණක් නොව ඒ ගැන අධිමානයක් ඇතිකර ගනිමින් ලොව පහළ වූ සියලු ජනවර්ග අතර සිංහලයන් අන් සියලුදෙනාට වඩා ශ්‍රේෂ්ඨ හා උතුම් වේය කියා හඬ නගන තැනකටද ගියේය. ඒ පෙරහැරේ ප්‍රධාන කසකරුවා බවට පත්වූයේ අනගාරික ධර්මපාලතුමාය. කුමාරතුංග මුනිදාස පඬිවරයා පවා ඒ පෙරහැරේ ලොකු නියමුවකු ලෙස ක්‍රියා කළේය.
අනගාරික ධර්මපාලතුමාට අනුව ලොව පහළ වූ උතුම්ම ජාතිය ලෙස සැලකිය හැක්කේ සිංහලයන්ය. උතුම්ම ශිෂ්ටාචාරය තිබී ඇත්තේද සිංහලයන්ටය. සියලු භාෂා අතුරෙන් උතුම්ම භාෂාව ලෙස සැලකිය හැක්කේද සිංහල භාෂාවය. අනගාරික ධර්මපාලතුමාට අනුව දෙමළ, තෙලිඟු, අරාබි, ඉංග්‍රීසි, ලතින් යන භාෂා සැලකිය හැක්කේ ම්ලේච්ඡ භාෂා වශයෙනි.
කුමාරතුංග මුනිදාසයන්ට අනුව අතීත ලංකාව කුඩා දිවයිනක් නොව අප්‍රිකා මහාද්වීපයේ මැඩගස්කරය දක්වා විහිදුණු විශාල රටකි. ඒ රට පාලනය කළේ තාරක, රාවණ වැනි මහා වික්‍රමවත් අධිරාජ්‍යවරුන්ය. අහසින් යන දඬු මොණර යන්ත්‍රය ඒ රටේ නිර්මාණයකි.
කුමාරතුංග මුනිදාස ඒ ගැන මෙසේ ලියා තිබෙන්නේය.
“අහෝ තාරකයෙනි, ඔබගේ කාලයෙහි දිව්‍ය ලෝකය වූ ලංකාව අහෝ රාවණයෙනි, ඔබගේ කාලයෙහි ස්වර්ණ නගරය වූ ලංකාව…” (ලක්මිණි පහන කතුවැකිය – 1934 සැප්තැම්බර් 18)
අපට අපේ ඉතිහාසය කියා දුන්නේද ඉතිහාසය පිළිබඳ හැඟීමක් ඇති කළේද විදේශිකයන්ය. එහෙත් අප ඒවා ප්‍රඥාවන්ත ලෙස ග්‍රහණය කරගන්නට සමත් වූයේ නැත. “ලෝක ශිෂ්ටාචාර පිළිබඳව තුලනාත්මක අවබෝධයක් නොතිබීම නිසාම ලෝකයේ පහළ වූ උසස්ම ශිෂ්ටාචාරය තිබෙන්නේ අපටයැ’යි සිතන තැනකට තල්ලුවෙමින් ඒ නිසාම අන් සියලුදෙනා පහත් කොට සලකන තත්ත්වයකට අපි පත්වීමු. එය චින්තනමය වශයෙන් තිබූ නොදියුණුභාවය නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ලංකාවේ පූර්ව නූතන කාලයේදී ස්වදේශිකයන් අතර වර්ග භේද, ආගම් භේද හා භාෂා භේද නොතිබුණි. කුලභේදය ඒ කාලයේ තිබූ ලොකුම බෙදුම් රේඛාව විය. ඒ අර්ථයෙන් වර්ග භේදය, ආගම් භේදය හා භාෂා භේදය නූතන යුගයේදී ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ ප්‍රශ්න ඇති කිරීමෙහිලා අනගාරික ධර්මපාලතුමාද ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.
ආගමික පුනර්ජීවනය හා නිදහස
ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයද ලංකාවේ චින්තනයේ දුගීභාවය පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය. එහි නියම තත්ත්වය තේරුම් ගැනීමට නම් ලංකාවේ හින්දු ආගමික ව්‍යාපාරයේ නායකයා වූ ආරුමුගම් නාවලර් හා බෞද්ධ ආගමික ව්‍යාපාරයේ නායකයා වූ අනගාරික ධර්මපාල ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ හින්දු හා මුස්ලිම් නායකයන් දෙදෙනා ලෙස ක්‍රියා කළ රාජ් රාම්, මොහාන් රෝයි හා සයිඞ් අහමඞ් ඛාන් සමඟ සසඳන තැනකට යායුතුය. එම ඉන්දියානු නායකයන් දෙදෙනාම යුරෝපීය පුනරුද ව්‍යාපාරයේ බුද්ධිමය සාරය හොඳින් උකහා ගත්, ආගම් ගැන පමණක් නොව විද්‍යාව හා කලාව වැනි විෂයයන් ගැනද මනා අවබෝධයක් තිබූ බහුශ්‍රැතයෝ වූහ. ඔවුන් දෙදෙනාම තමා අදහන ආගම පමණක් තිබී අන් ආගම් විනාශ කළ යුතු යැයි කල්පනා නොකළ විවිධ ආගම් අදහන්නන් අතර සහජීවනයක් ඇතිකර ගැනීමේ වැදගත්කම පිළිගත් තමන්ගේ ආගමේ වත් පිළිවෙත්වල තිබෙන අදට නොගැළපෙන අංග ඉවත් කරවා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කළ ආගමික මතවාදී තලය ප්‍රගතිශීලී තලයකට ගෙන ඒමට උත්සාහ කළ අය වූහ.
එහෙත් ආරුමුගම් නාවලර් සේ ම අනගාරික ධර්මපාලතුමාද එවැනි පුළුල් දැක්මක් තිබූ අය නොවූහ. ආරුමුගර් නාවලර් කුල ක්‍රමය අනුමත කළේය. අනගාරික ධර්මපාල කුල ක්‍රමය ඉවසුවේය. ඒ දෙදෙනාම බාහිරෙන් එල්ල වන තර්ජන දකින්නට උත්සාහ කළා මිස තමන්ගේ ආගම්වල තිබෙන යල්පැන ගිය අංග දකින්නට උත්සාහ නොකළේය. වෙනත් ආගම් සලකන ලද්දේ සතුරු ආගම් ලෙසය. අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ නොවන අන් සියලුදෙනා දැක්කේ ලංකාවට කිසිදු ජන්ම උරුමයක් නැති පරයන් ලෙසය.
ඉන්පසු ඇතිවන ලංකාවේ නිදහස් ව්‍යාපාරයද ලංකාවේ චින්තනයේ දුගීභාවය පෙන්නුම් කළ තවත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයට ඉතාමත් ඉදිරිගාමී චින්තනයක් තිබූ අතර ලංකාවේ නිදහස් ව්‍යාපාරයට චින්තනයක් ලෙස සැලකිය හැකි කිසිදු දෙයක් තිබුණේ නැත. එය වැදගත් කොට සැලකුවේ බලය ලබාගැනීම පමණය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය නිදහස ලබා ගන්නා විට ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය ඉන්දියානු ජාතිය ගොඩනගා ගැනීමට සමත්ව තිබුණි. එහෙත් ලංකාව නිදහස ලබාගත්තේ ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය.
නිදහසින් පසු 1956 භාෂා ප්‍රතිපත්තියද චින්තන තලයේ ලංකාවේ පසුගාමීත්වය වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියාකර තිබෙන්නේයැ’යි කිව හැකිය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීමට පෙර සේ ම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන්ද අපේක්ෂා කළේ ද්වි භාෂා උගතුන් ඇති කිරීමය. මව් භාෂාවෙන් අධ්‍යාපනය ආරම්භ කොට ක්‍රමානුකූලව ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි පුද්ගලයෙකු හැදීමය. ඒ ක්‍රමය නොකඩවා පවත්වාගෙන යෑමට සමත් වී නම් ඉංග්‍රීසි භාෂාව උසස් අධ්‍යාපනයේ භාෂාව බවට පත්වී නව දැනුමේ දොරටු විවෘත වීම තුළ ක්‍රමානුකූලව ලංකාවේ චින්තනයද පෝෂණය වන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් 56 සිංහල භාෂා ප්‍රතිපත්තිය නිසා එම නැඹුරුව මුළුමනින් බිඳ වැටුණි. ඉන්පසු ද්වි භාෂා උගතුන් වෙනුවට බිහිවූයේ ඒක භාෂා උගතුන්ය. උසස් අධ්‍යාපනය ද සිංහල භාෂාවෙන් කරන තැනකට තල්ලු විය. එම ස්වභාෂා ප්‍රතිපත්තිය සමඟ දැනුමට අදාළ ලෝකයේ පළවන හොඳම පොත් තෝරාගෙන ජපානයේ මෙන් ඒවා ස්වභාෂාවන්ට පරිවර්තනය කොට පළකෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළේ නම් ස්වභාෂාවන්ට සීමාවූ පුද්ගලයන් පෝෂණය කිරීමට එය හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් සිංහල භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ එවැනි වැඩසටහනක් නැතිවය. එම තත්ත්වය රටේ පැවති චින්තනමය දුගීභාවය උග්‍ර කිරීමට හේතුවිය.
සමාජ විද්‍යාව විශ්වවිද්‍යාලවල ජනප්‍රිය විෂයක් වී තිබේ. එහෙත් මැක්ස් වෙබර්ගේ එකම පොතක්වත් සිංහලෙන් පළවී නැත. ඒ නිසා සමාජ විද්‍යාව හදාරන ඉංග්‍රීසි පොත් නොකියවන උපාධි අපේක්ෂකයන්ගේ දැනුම මැක්ස් වෙබර් පිළිබඳව ගුරුවරුන් කියා දෙන දේවලට පමණක් සීමාවී තිබෙනවා විය යුතුය. මෙම තත්ත්වය වෙනත් විෂයයන්ටද අදාළය.
ලංකාවේ පරිවර්තන සාහිත්‍යය ලෙස සැලකෙන්නේ විදේශ නවකතා පරිවර්තනයටය. ලංකාව වැදගත් කොට සලකන්නේද වෙළෙඳපොළේ විකිණෙන්නේද පරිවර්තන නවකතාය. පාඨකයන්ට නව දැනුම ලබාදෙන ඔවුන් චින්තනය නවීන කිරීමට හේතුවන පොත්පත් පරිවර්තනය කිරීමේ වැදගත්කම රට හෝ පොත් ප්‍රකාශකයන් තවමත් තේරුම් ගෙන නැත. සම්මාන දෙන්නේද නවකතාවලට පමණය. නවකතා වැදගත් වුවත් මිනිසුන්ගේ චින්තනයේ නිම්වළලු පුළුල් කිරීමට හේතුවන පොත්පත් ඊට වඩා වැදගත්ය. මිනිසුන්ට ලෝකයේ තිබෙන සියලු පොත් කියවීමේ හැකියාවක් නැති අතර මිනිසකු අවශ්‍යයෙන්ම කිවයුතු පොත් හඳුනාගෙන ඒවා දේශීය භාෂාවන්ට පරිවර්තනය කොට පළකරන ක්‍රමයක් රටට තිබිය යුතුය. ඒ ගැන පොත් ප්‍රකාශකයන්ද සිය අවධානය යොමු කළ යුතුය.
මේ වනවිට රටේ අධ්‍යාපන ක්‍රමය හැඩ ගැසී තිබෙන්නේ පළමු පන්තියේ සිට උපාධි අධ්‍යාපනය දක්වාම කටපාඩමින් ඉගෙන ගන්නා ක්‍රමයකි. කියවීමට ලැබෙන වැදගත්කම අධ්‍යාපන ක්‍රමය විසින්ම මුළුමනින් බැහැර කර තිබෙන ආකාරයක් දැකිය හැකිය. අවසාන විග්‍රහයේදී ඒ මගින් නිපදවනු ඇත්තේ චින්තනයක් තබා හිතන්නවත් බැරි මිනිසෙකි. මේ තත්ත්වය ප්‍රමාද නොකොට වෙනස් කරන තත්ත්වයකට නොයන්නේ නම් අනාගත පරපුරට ඇතිවිය හැකි විනාශය අතිවිශාලය.■