රාවය

අන්තවාදවලට කොටුවෙලා දේශපාලන ප්‍රශ්න විසඳන්න බෑ | නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ජාතික හෙළ උරුමය

අන්තවාදවලට කොටුවෙලා දේශපාලන ප්‍රශ්න විසඳන්න බෑ | නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ජාතික හෙළ උරුමය

තරිඳු උඩුවරගෙදර

වන අලි විදේශ රටවලට යවන්න ඕනෑ කියලා ඔබ කළ ප්‍රකාශයක් පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ඒ ප්‍රකාශය ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

මේ වන විට මිනිස්සුන්ට වගේ සතුන්ටත් බලපාන විශාල ඛේදවාචකයක් තියෙනවා. වන අලි ප්‍රහාරවලින් මිනිස්සු විශාල වශයෙන් මියගිහින් තියෙනවා. අනෙක් පැත්තෙන් මිනිස්සු උත්තරයක් නැතිකොට අලි මරන්න පුරුදුවෙලා. වල්ඌරෝ බෝ වෙලා. ඒ සත්තු ගම්බිම්වලට කඩාවදිනවා. දැන් ඉන්නෙ වල්ඌරාටත් බියෙන් ගම් අත්හැරලා යන ගැමියෙක්. දැන් අනෙක් පැත්තෙන් ගංගාවල කිඹුල්ලු බෝවෙලා. රිලව්, වඳුරන්ගේ ප්‍රශ්නයත් ඒ වගේ. හැබැයි රටත් සමාජයත් මේ ප්‍රශ්නයට හරිම අසංවේදීයි. මහා මූලධර්මවාදී උත්තර තමයි දෙන්නේ. ඉතින් මට ඕනෑ වුණා මේ ජනදුක පිළිබඳ කතාව සමාජයට සංවේදී කරන්න. ඉතින් බලංගොඩ සංවර්ධන කමිටුවේදී භික්ෂුවක් තමයි මතුකළේ වල්ඌරු, අලි තර්ජනය ගැන මොනවා හරි කරන්න කියලා. මට බොහොම කනගාටුවක් සහ කම්පාවක් අතිවුණා මේකත් හාමුදුරුවන් කෙනෙක්ට ඉදිරිපත් කරන්න වීම ගැන. මම ඒ හිමිනමට කිව්වා මේකට අත දාන්න එපා කියලා. ඒ පාර තමයි මම කිව්වේ මේ සත්ව ගහනය පාලනය කරගන්න හිතන්න වෙලා කියන එක. ඒ නිසායි ටිකක් සැරෙන් වගේ මම ඔය කතාව කිව්වේ. ඇත්තටම ලංකාවේ දැනට තියෙන කැලෑවලට දරාගන්න හැකි අලි ගහනයක් නෑ කියන එකයි මම අදහස් කළේ. ඒක මම කිව්වේ පර්යේෂණයක ප්‍රතිඵලයක් මත නොවන බව ඇත්ත. මම මගේ දැනුම අනුවයි කිව්වේ. ඉතින් ඒ අලි ගහනය යම් විකල්ප තැන්වල ස්ථානගත විය යුතුයි. ඉන් එක් තැනක් තමයි වෙන රටවල්වලට යැවීම. ඒක මම දාපු යෝජනාවක් පමණයි. නොසුදුසු නම් අත්හැරලා දාන්න පුළුවන්. හැබැයි මූලිකම ප්‍රශ්නය තමයි මේ ගැටලුවට විසඳුමක් ඕනෑ කියන එක. ඇත්තටම විසඳුම් හොයද්දී අලියාට එක් විදියක්, ඌරාට එක් විදියක්, වඳුරන්ට තවත් විදියක් සහ කිඹුලන්ට වෙනම විදියක් වෙන්න පුළුවන්. හැබැයි, මූලික ප්‍රශ්නය මතුකරන මනුස්සයාට පහරදීම විසඳුමක් නොවන බව නම් පැහැදිලියි.

ඔය කාරණය ගැන පහුගිය කාලයේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළකලා. ඔහු නම් පෙන්වාදෙන්නේ ගොවියන්ට ජනාවාසවලට එන සතුන්ව මරන්න අවසර දෙන්න ඕනෑ කියලායි. එහෙත් මේ කාරණය ගැන බොහෝ දෙනෙක් අදහස් නොදක්වා නිහඬව ඉන්න බවයි පෙනෙන්නේ. අපේ සමාජය දැන් මිනිස්සුන්ට වඩා සතුන් ගැන සංවේදීයි කියලා පෙනෙනවා නේද?
මෙහෙමයි. මූලධර්මවාදීව මේක විසඳන්න බැහැ කියන එක පැහැදිලි කාරණයක්. අපි මිනිස්සුන්ගේ සහ සතුන්ගේ පැති දෙකෙන්ම සංවේදී වෙන්න ඕනෑ. හැබැයි මුලින්ම මේ ප්‍රශ්නය ගැන සංවේදී වෙන්න ඕනෑ. රාවය පුවත්පතෙන් මේ දෙසට සෑහෙන අවධානයක් යොමු කරලා තියෙනවා. ඒකට අපි ස්තූති කරනවා. කොහොම වුණත් අපි කැලෑ කපන දේශපාලනඥයෝ නෙවෙයි. අපි කැලෑ වවන දේශපාලනඥයෝ. අපි සතුන්ගේ ජීවිත ගැනත් සංවේදීයි. හැබැයි මිනිස්සු ගැනත් හිතන්න ඕනෑ.

මේක ඔබ කළ ප්‍රකාශයක් විතරයි. මෙතැනින් එහාට ආණ්ඩුව විදියට මේ ප්‍රශ්නය සම්බ්න්ධයෙන් යමක් කරන්න මැදිහත් වෙනවාද?

මට ලැබිලා තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්. රජයේ බොහෝ අය කිව්වේ මම හරි කතාවක් කිව්වා. හැබැයි මේක විවාදාත්මක මාතෘකාවක් කියලා. ගම්වල මේවායින් බැට කන මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ආවා. ඔබ විතරයි මේ ගැන කතාකළේ කියලා කිව්වා. බොහෝ පරිසර සහ වනජීවී සංවිධාන මූලධර්මවාදී කෝණයකින් මට පහරදුන්නා. ඒ තැන්වල නම් මම වැඩ කරලාත් තියෙනවා. ගොඩාක් අය මගේ මිත්‍රයෝ. තව සමහර අය අපේ දේශපාලනයට පහරදෙන්න ඕනෑවට මේක පාවිච්චි කරනවා. හැබැයි මට බණිනවාද, මාව අගය කරනවාද කියන එකෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එහෙම වෙනවා නම් මට ඕනෑ තරම් පහර කන්න පුළුවන්. මම කියන්නේ අපි මෙතැනින් පටන් අරගෙන මේ ප්‍රශ්නය ගැන පුළුල්ව කතාකරමු කියලායි.

ඇත්තටම දීර්ඝකාලීනව සමාජය තුළ ඇති ප්‍රශ්නවලට ආණ්ඩු විසඳුම් දිය යුතුයි. ඒ වගේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න විදියට බොහෝ දෙනෙක් සලකන්නේ නෑ. දේශපාලනඥයන් මෙවැනි ප්‍රශ්න ගැන වගකීම අතට අරන් ක්‍රියා කළ යුතුයි නේද?

ඇත්ත. දේශපාලන ප්‍රශ්න කියන ඒවා උදේ හයට ඉර පායන්නා වගේ එකම දිශාවෙන් එකම වෙලාවට එන එකම විදියේ ප්‍රශ්න නෙවෙයි. මේ අලි මිනිස් ගැටුම දේශපාලන ප්‍රශ්නයක්. මිනිස්සුන්ගේ ජීවිත ගැන ඕනෑම ප්‍රශ්නයක් දේශපාලන වේදිකාවට ආ යුතු දේශපාලන ප්‍රශ්නයක්. මේවා අපේ දේවල් නෙවෙයි කියලා මඟහැරලා යන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. හැබැයි මේක දේශපාලන ජාතික අර්බුදයක් විදියට බාරගන්න ඕනෑ. එහෙම අර්බුදයක් විසඳනකොට තනි මිනිහෙකුගේ තනි අදහසක් නෙවෙයි බලපාන්නේ. සමාජයක් විදියටයි විසඳුම් හොයන්න ඕනෑ.

ජාතික හෙළ උරුමය මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. මෑත කාලයේ පෙනෙන්න තියෙන දෙයක් තමයි ඔබේ පක්ෂය මතවාදී දේශපාලනය තුළ විශාල හැරවුමක් ගත්තා. ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ කොහොමද?

ජාතික හෙළ උරුමය අනෙක් ඕනෑම පක්ෂයක් වගේ කාලානුරූපීව වෙනස් වෙන පක්ෂයක්. මේක ජාතිකවාදී දේශපාලන පක්ෂයක්. ජාතිකවාදය කියන්නෙ නරක සංකල්පයක් නෙවෙයි. බොහොම අය ඒක නරක සංකල්පයක් විදියට විස්තර කරනවා. ලෝකයේ ඕනෑම දේශපාලන පක්ෂයකට ජාතිකවාදී වීමට බල කෙරෙනවා වර්තමාන තත්ත්වය තුළ. හැබැයි අපි යථාර්ථවාදී ජාතිකවාදයක් ඇති කරන්න ඕනෑ. මූලධර්මවාද, අන්තවාදවලට කොටුවෙලා සමාජයේ දේශපාලන ප්‍රශ්න විසඳන්න බෑ. ඉතින් අපි යථාර්ථවාදී තක්සේරුවක් කරලා තමයි විසඳුමකට එන්නේ. හැබැයි මම බලංගොඩදී ඉදිරිපත් කළේ පක්ෂයේ මතය නෙවෙයි. හැබැයි මම දන්නවා පක්ෂය ඕනෑම වෙලාවක මේ වගේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් හොයන්න කැමති පක්ෂයක්.

ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති සකසද්දී බුද්ධිමය වශයෙන් විශාල බලයක් ජාතික හෙළ උරුමයට හිමිවුණා. එහෙත් හෙළ උරුමය පෙන්වපු දැවැන්ත වෙනස්කම් වෙලාද කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුවේ ගෙවුණු කාලය සහ ඉදිරි කාලය ගැන ඔබේ මතය මොකක්ද?

අපි ආණ්ඩුවක් හැටියට සාධනීය දේවල් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි අපි සම්පූර්ණයෙන් සතුටු නැහැ මේ ලබාගත්ත ප්‍රතිඵල ගැන. ඊට වඩා සෑහෙන දේවල් අපට අත්පත් කරලා දෙන්න තියෙනවා. අපි වැදගත් දේවල් හඳුන්වලා දුන්නා. දූෂණය තුරන් කිරීම වගේ කාරණාවලදීත් අපි සැලකිය යුතු ප්‍රතිඵල ලබන්න බැරිවෙලා. සමහර කරුණු පිළිබඳ ප්‍රතිපත්තිමය මතභේද අපට තියෙනවා. හැබැයි අපි ආණ්ඩු පක්ෂය ඇතුළේ කතාකරනවා. අපි එළියේ යමක් කතාකළොත් ආණ්ඩුව ඇතුළේදී කියනවා අපේ ප්‍රතිපත්තිමය මතය මේකයි කියලා. එහෙම විනයක් ඇතුළේ තමයි අපි මේවා කරන්නේ. මේ රට විශාල වශයෙන් අඳුරු තැනකට පත්වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න අපි කටයුතු කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි හැරවුමක් ගත්තේ. ඒ හැරවුමෙන් ආපහු හැරෙන්න බෑ. වර්ගවාදී ආණ්ඩු, රාජාණ්ඩු හදන්න බෑ. 2015 ජනවාරි අටවැනිදා ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුවට මෙන්ම එහි පාර්ශ්වයක් විදියට අපට තියෙන අභියෝග බොහෝයි.

ගිය සතියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා 2025 සඳහා ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් හෙළ උරුමයේ අදහස මොකක්ද?

අපි අපේ අමාත්‍යාංශ තුළ සහ ආණ්ඩුව ඇතුළේ අභියෝග රැසකට මුහුණදෙනවා. විශේෂයෙන් ආර්ථික වශයෙන් අප මුහුණදෙන ණය කන්ද සැහැල්ලු කිරීම සහ ආයෝජන හරහා ප්‍රතිලාභ ලබලා ඉක්මන් සහන ලබාගැනීම වැදගත්. ඊළඟට කැලිකසල, මාර්ග තදබදය වගේ අර්බුදවලට විසඳුම් හොයන්න ඕනෑ. අනෙක් පැත්තෙන් වැඩ ලෝකයට තරුණ තරුණියන්ව හුරුකරලා දාන්න ඕනෑ. ඒ වගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න හැමෝටම වගේ කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒවායේ කාර්යසාධනය සඵල වුණොත් 2020 විතර වනවිට සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගත්ත රජයක් බවට මේ රජය පත්වෙයි. මේ වැඩපිළිවෙළ තුලනාත්මකව සකස් වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි අනාගතය ගැන අංජනම් බලලා නෙවෙයි ප්‍රතිපත්ති හදන්නේ. ඉතින් ඔය ප්‍රතිපත්තිවලටත් වඩා කාලීනව ප්‍රායෝගික වීමත් වැදගත්.

මේ වෙද්දී කතාබහට ලක්වෙනවා ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය සහ සුභසාධකවාදී ආර්ථික ප්‍රතිපත්තිය අතරින් අප තෝරාගන්න ඕනෑ මාවත ගැන සංවාදයක්. එතැනදී හෙළ උරුමයේ අදහස මොකක්ද?

අපි විශ්වාස කරන්නේ වර්තමාන ලෝකය ආර්ථික නවෝත්පාදන මත නිර්මාණාත්මක ක්‍රියාමාර්ග ඔස්සේ යන ගමනක් වෙන්න ඕනෑ කියලා. රාජ්‍ය සුභසාධනවාදය තරයේම නිර්දේශ කරන්නේ නෑ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ ක්ෂේත්‍රවල එය ආරක්ෂා කරගන්න ඕනෑ. තවත් ක්ෂේත්‍රවල තරගකාරී වෙන්න ඕනෑ. අපි ලිබරල්වාදය මුළුමනින් හිසින් ගන්නේ නෑ. ලෝකය නග්න ලිබරල්වාදය දැන් පිළිගන්නේ නෑ. සමහර ක්ෂේත්‍ර නියාමනය කරන්න ඕනෑ රජය විසින්.
ව්‍යවස්ථාව සම්බන්ධ මෙහෙයුම් කමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න නියමිතයි.

ව්‍යවස්ථාවේදී මූලිකව වැදගත් වෙන්නේ විධායක ක්‍රමය සහ බලය බෙදීම සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම්. හෙළ උරුමය විධායක ජනාධිපති ක්‍රමය බලතල අඩුකරලා පවත්වාගෙන යන්න ඕනෑ බව කියලා තියෙනවා. බලය බෙදීම ගැන අදහස මොකක්ද?

රටේ නිදහස රැකෙන්නත් ඕනෑ. ස්ථාවරභාවය රැකෙන්නත් ඕනෑ. මේ දෙක දේශපාලනයේදී දෙපැත්තට යන දෙකක්. අපි ස්ථාවරභාවය රකින්න ගියාම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සීමා වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වෙද්දී රටක ස්ථාවරභාවයට අභියෝග එල්ල වෙන්නත් පුළුවන්. මේ දෙක අතර මනා තුලයක් ඇතිකරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. හැබැයි අර පරිසරය ගැන කතාව වගේම බොහෝ අය අන්තවාදවල ඉන්නවා. සමහරු ෆෙඩරල්වාදය ඇතුළේ ඉන්නවා. තවත් සමහරු දැඩි මධ්‍යගත ඒකීයවාදයන් ඇතුළේ ඉන්නවා. එහෙම විෂයන්ට පෙම් බඳින්න අපට පුළුවන්. හැබැයි දේශපාලනයේදී අපි ප්‍රායෝගික වෙන්න ඕනෑ. අපි බලනවා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මොකක්ද වෙන්නේ කියලා. අපි මෙහෙයුම් කමිටුවට පක්ෂයේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදි පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස රැස්වුණාම පුළුල් ලෙස අදහස් දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.■