රාවය

යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන

යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන

හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිට අත තැබීමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණවිරුවන්ට එරෙහිව කිසිම නඩුවක් පැවැරීමට ඉඩ නොදෙන බවයි.

සිරිසේනට අමතකවී ඇති දෙය නම් ඔහුම කී පරිදි 2015 ජනවාරියේදී පරාජය වී නම් අඩි හයක් යට ඔහු වළදැමෙන්ට ඉඩ තිබූ බවත්, එසේ වී නම් එම වළ කපා පස් දමන්නට සිටියේ රාජපක්ෂවාදී රණවිරු හමුදා නායකයන් හැර වෙන කව්රුවත් නොවන බවත්ය. යුද්ධය මෙහෙයවූ බවට ජයසූරියම කියන ජෙනරල් පොන්සේකා කුදලාගෙන ගියේත් රණවිරුවන් විසින්ම නේද?
දැන් ජෙනරල් පොන්සේකා, ජෙනරල් ජයසූරිය යුද සමයේ අපරාධ කළ බවට සාක්ෂි තමන් සතුව තිබෙන බව ප්‍රසිද්ධියේ කියා තිබේ. පොන්සේකා කියන්නේ අත්අඩංගුවට පත් දෙමළ පිරිස් සම්බන්ධයෙන් ජයසූරිය අනිසි ලෙස කටයුතු කළ බව තමාට වාර්තාවූ බවයි. තමා හමුදාපති ධුරයේ සිටියදී ජයසූරියට එරෙහිව යුද අධිකරණයක නඩු පවරන්නට කටයුතු කරමින් සිටි බවද පොන්සේකා කියයි.

මේ අතර වත්මන් හමුදාපති මහේෂ් සේනානායක (දිවයින 04.09) ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ජෙනරල් පොන්සේකා කළ ප්‍රකාශයට හමුදාව විරුද්ධ බවත් හමුදාවේ 28,000ක් දිවි පිදුවේ මෙවැනි කතා අහන්නට නොවන බවත්ය. තමා හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද අවස්ථාවෙහි ජයසූරියට එරෙහිව යුද අධිකරණයෙහි නඩු පැවැරීමට කටයුතු කරමින් සිටි බවට පොන්සේකා කරන ප්‍රකාශය ගැන හමුදාපති සේනානායක කියන්නේ එසේ නඩු නොපැවරිය යුතුව තිබුණේ යැයි කියාද? වරදට දඩුවම් නොකළ යුතුද?

අනෙත් අතට ජෙනරල් ජයසූරිය සතිඅන්ත ඉංග්‍රීසි පුවත් පතකට (ක්‍ැහකදබ ඔදා්හ, 03.09) කියා තිබෙන්නේ කුප්‍රසිද්ධ ජෝෂප් කඳවුරෙහිදී අත්අඩංඟුවට ගත් දෙමළ සැකකරුවන්ට වධහිංසා පැමිණවූයේද නැත්ද යන්න තමන් දන්නේ නැති බවයි. ඔහු එසේ නොවූයේ යැයි කියන්නේ නැත. එම කඳවුරෙහි බුද්ධි අංශ විසින් සැකකරුවන් රඳවාගෙන සිටි බවත් තමා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කියා තිබේ. එපමණක් නොව ඔහු කියන්නේ එම කඳවුරෙහි එවැනි දෙයක් සිදුවී නම් ඊට වගකිව යුත්තේ එහි සිටි අනෙක් සෙන්පතියන් බවයි. (සමහර විට මහේෂ් සේනානායක ඒ ගැනත් විරෝධය පළ කරන්නට පුළුවන.)

යුද සමයේ සිදුවූ අතුරුදන්වීම් ගැන ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂ විසින්ම පත්කරන ලද පරණගම කොමිසමේ වාර්තාව කියවා ඇත්දැයි අසන ලදුව මේ හිටපු යුද හමුදාපති කියන්නේ එම වාර්තාව ගැන තමන් දන්නේ නැති බවයි! පුදුම නමුත් ඇත්තය.

ජයසූරියගේ එම සම්මුඛ සාකච්ජාවෙන්ද ඊට පෙර බීබීසී සිංහල සේවයට දෙන ලද සම්මුඛ සාකච්ඡාවෙන්ද පෙනෙන්නේ තමන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලින් ගැලවීම ඔහුගේ එකම අරමුණ බවයි. ඒ උදෙසා අන් කවරකු බිලිවුවත් ඔහුට ප්‍රශ්නයක් නැති පාටය.
මෙම හිටපු හමුදපතිවරයා කොපමණ අනුවණ තැනැත්තෙක්ද යන්න පෙනෙන්නේ ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ කර නැති බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිල ප්‍රකාශයක් ලබාගත යුතු බවට කර ඇති ප්‍රකාශයෙනි. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙරටට කියා ඇත්තේ ස්වාධීන සහ විශ්වසනීය අධිකරණයක් මගින් යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසයි.

එවැනි පරීක්ෂණයක් කරනු තබා සූදානමක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුව පෙන්වන්නේ නැති කල මෙරට යුද අපරාධ සිදුව නැතැයි කිව හැක්කේ කවරකුටද? ඊටත් වඩා කිසිම රටක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි සහතික දී නැත. වසර තිහ හතළිකට පසුව පවා එවැනි සාක්ෂි ඉස්මතු වූ අවස්ථා මැත ඉතිහාසයේ තිබෙන බැවිනි.

දැන් සිරිසේන පණට පණ දී ආරක්ෂා කරන බවට හිසේ අත් ගසා දිවුරන්නේ එවැනි ජෙනරල්වරයෙකි!
අනෙක් අතට ජයසූරියට එරෙහිව යුද අපරාධ නඩු පවරා ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයක නොවේ. දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක දේශීය නීති අනුවය.
රෝම ප්‍රඥප්තිය මත පිහිටුවා ඇති ජාත්‍යන්තර යුද අධිකරණයට පුද්ගලයන්ට හෝ සංවිධානයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා සැලකිල්ලට ගත හැක්කේ එම පැමිණිල්ල අදාළ රට රෝම ප්‍රඥාප්තියට අත්සන් කර ඇති රටක් නම් පමණි.

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැත.
එවැනි රටවල් සම්බන්ධයෙන් පුද්ගලයන්ගෙන් හෝ සංවිධානයන්ගෙන් ලැබෙන පැමිණිලි ජාත්‍යන්තර යුද අධිකරණයට පරීක්ෂා කළ හැක්කේ එක්කෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නැත්නම් අදාළ රට ජාත්‍යන්තර යුද අධිකරණයෙන් ඉල්ලීමක් කළ හොත් පමණි.
2006 වසරෙහිදී ‘ශ්‍රී ලංකා දේශප්‍රේමීන්’ නම් එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලංකිකයන් පිරිසක් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයට එරෙහි පැමිණිල්ලක් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන ලද බව පැවසේ. එමෙන්ම තවත් විදේශගත ශ්‍රී ලංකික පිරිස් ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිවද එවැනි පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒවා කිසිවක් ජාත්‍යන්තර යුද අධිකරණය විසින් සැලකිල්ලට ගත්තේ නැත.

එබැවින් ජාත්‍යන්තර අධිකරණයන්ට ජයසූරිය ඉදිරිපත් නොකරන බවට ගසන සියලු කයිවාරු මහජනයා ගොනාට ඇන්දවීමේ ප්‍රයත්නයක් පමණි. එවැනි ප්‍රශ්නයක් නැති නිසාය.
යස්මින් සූකා නායකත්වය දරන දකුණු අප්‍රිකානු සංවිධානයක් විසින් ජෙනරාල් ජගත් ජයසූරියට බ්‍රසීලයෙහි සහ කොලොම්බියාවෙහි පවරා ඇති නඩුව ජාත්‍යන්තර යුද අධිකරණයට අදාළ නැත. බීබීසීය වාර්තා කර ඇති පරිදි එම නඩුවෙන් ඉල්ලා ඇත්තේ ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් පිටුවහල් කරන ලෙසත් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්ය. එවැනිම නඩු ආජන්ටීනාව, පීරු සහ විලී යන රටවලද පැවරෙනු ඇතැයි අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම රටවල දේශීය නීති අනුව විදේශ රටක වුවද අන්තර් ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කරන ලද පිරිස් අත්අඩංඟුවට ගැනීමටත් නඩු විමසීමටත් හැකිය. එසේ නමුත් තානාපති වරප්‍රසාද භුක්තිවිදින කිසිවකු අත්අඩංගුවට ගැනීමට කිසිදු රටකට නොහැකිය.

මෙම රටවල එවැනි නීති පනවා ඇත්තේ සිය කලාපයෙහි ඒකාධිපති පාලකයන් සහ යුද සෙන්පතියන් විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම්වලට කවර රටකදී වුව දඬුවම් කිරීම පිණිසය.

බි්‍රතාන්‍යයේදී 1998 ඔක් 16වන දින චිලීයේ හිටපු ඒකාධිපති ජෙනරල් පිනෝචේ අත්අඩංගුවට ගැනුණේ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට දින 06කට පෙර ස්පාඤ්ඤ අධිකරණයක නඩුවක් පවරා තිබූ බැවිනි.

දැන් ජනාධිපති සිරිසේන කුමන කයිවාරුවක් ගැසුවද ජගත් ජයසූරිය තානාපති වරප්‍රසාද නැතිව ඔහුට විරුද්ධව නඩු පවරා ඇති එකී දකුණු ඇමෙරිකානු රටවලට ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන යුද අපරාධ සම්බන්ධයෙන් එම රටවලදී නඩු පැවරීමේ ඉඩ විශාලය. අඩුම වශයෙන් තානාපති වරප්‍රසාද නැතිව බ්‍රසීලයට නිකමට හෝ ගියහොත් ඔහු අත් අඩංඟුවට ගැනෙනු නොඅනුමානය.
මන්ද යත් එම රටවල අධිකරණය මෙරට ජනාධිපතිට හෝ එරට පාලකයන්ට හෝ අනුව නටන්නේ නැති නිසාය. මෙම රටවල අධිකරණ රාජ්‍ය පාලකයන්ගේ දූෂණ හා හිටපු යුද නායකයන්ගේ යුද අපරාධ සම්බන්ධයෙන්ද සිරගත කිරීමේ තීරණ පවා ගැනීමට තරම් බලවත්ය. ස්වාධීනය.
ශ්‍රී ලංකාව තුළ විශ්වසනීය වගවීමේ ක්‍රියාවලියක් සිදු නොවන්නේ නම් දිනෙක, දස වසරකට පසු හෝ මෙවැනි තත්ත්වයක් යුරෝපා රටවලදී වුව මෙරට හමුදා ප්‍රධානීන්ට පමණක් නොව රාජ්‍ය නායකයන්ටද ඇතිවිය හැකිය.

එල්ටීටීඊය මානව හිමිකම් කෙළෙසමින් යුද අපරාධ කළ බව අපි දනිමු. එය අහිංසක සිංහල සහ මුස්ලිම් ජනයාද විරුද්ධවාදී දෙමළ ජන පිරිස්ද ඝාතනය කළේ එහි දේශපාලනය ත්‍රස්තවාදී වූ නිසාය.
ශ්‍රී ලංකා යුද හමුදාව එම යුද්ධයේදී කිසිදු වරදක් නොකළ බවට කැට තියන කාගෙන් වුවත් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් 1971 සහ 1988-1990 කාලයන්හි ඇතිවූ සිංහල තරුණ සන්නද්ධ ප්‍රහාරයන් හමුවෙහි මෙරට ආරක්ෂක හමුදා කලඑළියේම මිලේච්ඡ තත්ත්වයට ඇදනොවැටුණේද යනුය. ඊට පිළිතුර ලයිට් කණු ගානේ ලියැවී තිබේ. ඇසිය යුතු ප්‍රශ්නය නම් දකුණේ එලෙස අත්අඩංගුවට ගත් සිංහල තරුණ පිරිස් අමුඅමුවේ ඝාතනය කළ රාජ්‍ය හමුදා දෙමළ තරුණ තරුණියන්ට කෙලෙසක සලකන්නට ඇත්ද යන්නයි.

පිළිතුර, බොබ් ඩිලන් ගයන පරිදි, හමන සුළඟේ ලියැවී තිබේ. ඒ සත්‍යය මකාදැමිය හැකි ජගතෙක් නැත.■