රාවය

දූෂිතයන්ට දඬුවම් දීම හා නොදීම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ උප්පරවැට්ටියක් | ටෙරන්ස් පුරසිංහ

දූෂිතයන්ට දඬුවම් දීම හා නොදීම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ උප්පරවැට්ටියක් | ටෙරන්ස් පුරසිංහ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

පුරවැසි දේශපාලනික අභිප්‍රායන් එක්ක බලද්දී ගෙවී ගිය කාලය ඇතුළේ ආණ්ඩුව ස්ථානගත වෙන්නේ කොතැනද?

අද වෙනකොට රටේ දේශපාලන තත්ත්වය තුළ ඉතාම සංකීර්ණ හා උණුසුම් ස්වභාවයක් තියෙනවා. ඔබ ඇහුවා වගේ, මේ ආණ්ඩුව පිහිටුවීමේදී මතු වුණු ජනතා අපේක්ෂාවන් අවුරුදු දෙකක් ඉක්ම ගිහිල්ලාත් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා නෑ.
එතැනදී ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන දෙයක් තමයි පහුගිය ආණ්ඩු කාලයේ සිදු වුණු බරපතල දූෂණ, වංචා, පැහැරගැනීම් සහ මනුෂ්‍ය ඝාතන ආදියට විරුද්ධ ව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම. ඒ දේවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය කියන දැඩි අපේක්ෂාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමේදී ජනතාවට තිබුණා. නමුත් මේ අපේක්ෂාවන් පහුගිය අවුරුදු දෙකහමාර තුළ මල්පල ගැන්වුණේ නෑ.

ඒ දේවලට විරුද්ධව තමන් කටයුතු කරනවාය කියන එක ආණ්ඩුවේ දේශපාලනඥයන් තවමත් කියනවා. නමුත් මේ විදියට වෙන්න හේතුව හැටියට ඔබ දකින්නේ මොකද්ද?

වර්තමාන ආණ්ඩුව ප්‍රධාන වශයෙන් ගොඩනැගිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කොටස් දෙකෙන්. මේ පාර්ශ්ව දෙක සහයෝගයෙන් වැඩ කරයි කියලා අපිට හිතුණත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මේ පාර්ශ්ව දෙක අතර තියෙන්නෙ අභ්‍යන්තර ගැටුමක්.
දූෂිතයන්ට දඬුවම් දීම හා නොදීම කියන එක මට පෙනෙන්නේ ආණ්ඩුවේ මේ පාර්ශ්ව දෙකේ දේශපාලනික උප්පරවැට්ටියක් විදියට සිදු වෙන දෙයක්. මේ ගැටලුව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රතිපත්ති අතර පැහැදිලි පරස්පරයක් තියෙනවා.

අද වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පිරිස සහ ඒකාබද්ධ විපක්ෂය කියලා පැහැදිලි වශයෙන් කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. පහුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැට හයවන සම්මේලනයෙන් මේක තවදුරටත් පැහැදිලි වුණා. ඒ තත්ත්වය තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ එක්සත් කරමින් ඒ යටතේ ඔහුගේ නායකත්වය තහවුරු කර ගැනීමටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කරන්න නම් මහින්ද රාජපක්ෂ කියන බලවේගය සම්පූර්ණයෙන් යටපත් කරන්න ඕනෑ. ඒ අයට පහුගිය කාලයේ සිදුකරන ලද වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම රාජපක්ෂ බලවේගය යටපත් කිරීමේ හොඳම උපක්‍රමයක් බව ජනාධිපතිවරයා දන්නවා. ඒ නිසා ඔවුන්ට දඬුවම් ලබා දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් විදිහට තමන් යටතේ එක්සත් කරන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ න්‍යාය පත්‍රය ඒක නෙමෙයි. ඔහුගේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ දෙකඩ කරමින් පවත්වාගෙන යෑම. මොකද එහෙම වුණොත් රාජපක්ෂවාදී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන නමින් හරි වෙන නමකින් හරි වෙනම පක්ෂයක් විදියට ඉදිරි මැතිවරණවලදී තරග කරන එක පැහැදිලියි. ඉතිං නිදහස් පක්ෂය දෙකඩ වෙමින් පවතින තාක්කල් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල වාසියක් සිදුවෙනවා. ඒ නිසා පහුගිය ආණ්ඩුවේ දූෂිතයන් සහ මනුෂ්‍ය ඝාතකයන්ට එරෙහිව ක්‍රියා කිරීම එතැනදී අවාසි සහගත බව ඔහු දන්නවා. මොකද රාජපක්ෂ බලවේග එළියේ ඉන්න තරමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ හැකියාව හොඳින් පවතින්නේ. රාජපක්ෂ බලවේගය බිඳවැටුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් වීමේ ඉඩකඩ වැඩියි.

රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධියේදී මේ පාර්ශ්වීය වෙනස වෙනත් ආකාරයකට කැපී පෙනුණා කියන්න පුළුවන්ද? වරදක් සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ අයෙක්ට දඬුවම් දීම තුළ වැරදිවලට සම්බන්ධ සෙසු අයට එරෙහිව පියවර ගැනීම අත්‍යවශ්‍යයි කියන මතය තහවුරු වෙනවා?

මේ ආණ්ඩුවට වැදුණු විශාලතම මඩ පහර තමයි බැඳුම්කර සිද්ධිය. අනික් පැත්තෙන් මේ සිද්ධිය නිසා පහුගිය ආණ්ඩුවේ දූෂිතයන් සියලු දෙනාට ආවරණයක් ලැබුණා. මේ නිසා මේ ආණ්ඩුව දූෂිතයි කියලා ආණ්ඩුවට විරුද්ධව ඇඟිල්ල දික් කරන්න පහුගිය ආණ්ඩුවේ සියලු ම දූෂිතයන්ට අවස්ථාව ලැබුණා.

කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා ඉවත්වීම කියන එක මං දකින්නේ මේ කළු පැල්ලම මකා ගන්න කළ ඉතාම දුර්වල උත්සාහයක් හැටියට. මොකද අමාත්‍යවරයා තනතුරින් ඉවත්වීම කියන එකෙන් විතරක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවෙලා තියෙන චෝදනාවෙන් ගැලවෙන්න ආණ්ඩුවට බෑ.

කොහොම වුණත් මේ සිද්ධියේ ඔබ මතු කළ ආකාරයේ හැඟවුමකුත් තියෙනවා වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා සහ ඔහු සමග ඉන්න සමහර බලවේගවලට දැඩි අවශ්‍යතාවක් තියෙන බව පෙනෙනවා නීතිය දැඩි ලෙස ස්ථාපිත කරලා පහුගිය ආණ්ඩුවේ හිටි දූෂිතයන්ට වගේ ම මේ ආණ්ඩුවේ ඉන්න දූෂිතයන්ටත් විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. නමුත් ජනාධිපතිවරයා වටේ ඉන්න සියලු දෙනාට මේ අවශ්‍යතාව තියෙනවා කියලා කියන්නත් බෑ. මොකද මේ කණ්ඩායමෙන් බොහෝමයක් ජනාධිපතිවරයා එක්ක ඉන්නේ අවස්ථාවාදීව. ඔවුන් ජනවාරි මාසයේ පවත්වපු ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නා ජනාධිපති වෙන්න. ඒ වගේ ම මහමැතිවරණයේදී මේ අය මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නා අගමැති වෙන්න. ඉතිං අද ජනාධිපතිවරයා වටා ඉන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ඔහු වටා ඉන්නේ ආත්මාර්ථකාමීකමට.

නිදහස් පක්ෂය දෙකඩවීම කියන සාධකය එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලින් ජයග්‍රහණය කිරීමේ නියත සාධකයක්ද?

පක්ෂයක් දෙකඩ කිරීම කියන එක නම් දේශපාලනයේදී භාවිත කරන සාමාන්‍ය උප්පරවැට්ටියක්. අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණා. ඒකෙ හිටි මන්ත්‍රීවරු රාශියක් ආණ්ඩුවට ගියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්වෙලා තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමත් කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනමත් තරග කරාවි තමයි. ඒ නිසා එළඹෙන පළාත් පාලන මැතිවරණය තුළ එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි බහුතරයක් ලබාගන්න පුළුවන් වේවි. නමුත් මේ කාරණය තුළින් විතරක් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාගන්න බෑ. ඒ සඳහා මහජනතාව අතරට ගිහින් පහළ මට්ටමින් වැඩකරන්න වෙනවා. පහළ මට්ටමින් වැඩ කරන්න තවමත් එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙලා තියෙනවා කියලා අපිට පෙනෙන්නෙ නෑ. ඒ නිසා පාක්ෂිකයෝ බොහෝමයක් දෙනා ඉන්නෙ කලකිරීමෙන්. ඒ නිසා බිමට බැහැලා ගමට වැඩ කරන්න ඉදිරි අවුරුදු දෙක තුළවත් එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙනවා.

පක්ෂ දෙකේ මතවාදී විසංවාදය බලපාලා තියෙන්නේ දූෂිතයන්ට දඬුවම් දීම සම්බන්ධ කාරණාවලදී විතරක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වගේ වැදගත් ම කාරණ සම්බන්ධයෙන් පවා මේ දේ තදින් බලපාලා තියෙන බව පෙනෙනවා?

ඒක ඇත්ත. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියන එක මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී ජනතාව තුළ ඇති කළ මූලික බලාපොරොත්තුවක්. නමුත් අද වන විට මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ තනි මතයක් නෑ කියලා පැහැදිලියි. මේ සම්බන්ධයෙන් එක්සත්ජාතික පක්ෂය පැහැදිලි මතයක ඉන්නවා. ඒ තමයි ජනාධිපති ධුරය අහෝසි කරලා නැවත පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඕනෑ කියන මතය. නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉන්නේ මේ ක්‍රමය අහෝසි කිරීමකට විරුද්ධ මතයක. ඔවුන් කියන්නේ යම් බල තල අඩුකිරීම් යටතේ විධායක ජනාධිපති ක්‍රමය ම පවත්වාගෙන යන්න අවශ්‍යයි කියන එක.

මේ කාරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ ඉතාම දුෂ්ට අදහසක. ඒ අය මේකට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. ඔවුන්ට ඕනෑ ඒකාධිපති බලතල සහිත ජනාධිපකි ධුරයක්. ඒ උදවිය මහින්ද රාජපක්ෂට ජීවිත කාලෙම ජනාධිපති වෙන්න දහ අටවන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාපු අයනෙ. ඔවුන් විරුද්ධ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකට විතරක් නෙමෙයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන එක, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන එකට පවා ඒ අය විරුද්ධයි. ඔවුන් තනිකර ම ඉන්නේ ජාතිවාදී දේශපාලනයක. මේ ආණ්ඩුව සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට රට ගෙනියන්න හදද්දී ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුව හඳුන්වන්නේ සිංහල බෞද්ධයාට විරුද්ධ දේශද්‍රෝහී ආණ්ඩුවක් හැටියට. එක පැත්තකින් දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් නොදී ඔවුන් පීඩනයට පත්කිරීමට ආණ්ඩුව තල්ලු කරනවා වගේ ම තවත් පැත්තකින් ඒ දේම මේ ආණ්ඩුවට එරෙහි මතවාදයක් ඇති කරන්නත් භාවිත කරනවා. ඇත්තට ම ඒකාබද්ධ විපක්ෂය කියන්නේ දුර්දාන්ත දේශපාලනික බලවේගයක්.

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් විධායක ජනාධිපති ධුරය නිසා බැටකාපු ජනතාවක් ලංකාවෙ ඉන්නෙ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැදුඡ්දුඡ්ඟුවේ එක්සත් ජාතික පක්ෂය. හැත්තෑ අටේ එක්සත් ජාතික පක්ෂය මේ ව්‍යවස්ථාව ගෙනා වෙලාවෙ ඉස්සෙල්ලාම පාරට බැස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ පවතින විදියට, වර්තමාන ව්‍යවස්ථාව පවත්වාගෙන යෑමේ අනාගත වාසිය වුණත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. මොකද කලින් කියුවා වගේ ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට බෙදී තරග කළොත්, පැහැදිලි වශයෙන්ම බෙදෙන්නේ නිදහස් පක්ෂ ඡන්ද සහ ප්‍රතිසංස්කරණවාදී වාමාංශික පක්ෂවල ඡන්ද. අනික් අතට මේ රටේ සුළු ජාතිකයන්ගේ ඡන්ද ඒ දෙකොටසට ම ගන්න බෑ. ඉතිං ඒ විදිහේ තුන්කොන් සටනකදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට ජයග්‍රහණය කිරීම ඉතාම පහසුයි.

නමුත් අද මේ ක්‍රමය අහෝසි කරලා වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගනිද්දී පවතින ව්‍යවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී ඉන්නවා. ඇත්තට ම ඒක දෛවයේ සරදමක්. ■