මියැන්මාර් ජනසංහාරය හමුදා අනුග්‍රහයෙන්. සූ කී නිහඬයි

එස්. නන්දලාල්

මියැන්මාරයේ රඛිනේ ප්‍රාන්තයේ රොහිංයා මුස්ලිමුන්ට එරට හමුදාව විසින් පසුගිය සතියේ සිට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් මේ වන විට 400කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රොහිංයා මුස්ලිමුන් පළවා හැරීම සඳහා මියැන්මාර් ජනයා කලක් තිස්සේ විවිධ පියවර ගනිමින් සිටින අතර මෙවර ප්‍රහාර දරුණු ගණයේ ඒවා බව පළවේ. ඝාතනය කිරීමේ දී වෙඩිතැබීම මෙන් ම පණපිටින් ම පු`ඵස්සා දැමීම ද සිදු ව ඇති බවට සාක්ෂි ඇතැ’යි එම වාර්තාවල දැක්වේ. ඝාතනයවූවන් අතර කුඩා දරුවන් පවා සිට ඇත. පහරදීම් දැක්වෙන වීඩියෝපට මාධ්‍යවලින් දැක ගත හැකි ය.

මියන්මාරයෙන් පළවා හරින විට ඔවුන්ට තෝරා ගන්නට ඉඩ ඇත්තේ යාබද බංග්ලාදේශයයි. එහෙත් එරටේ දේශසීමා ආරක්ෂකයෝ ඔවුන්ට සිය රටට පිවිසීමට ඉඩ නොදෙති. ඒ අනුව මෙය රොහිංයා ජනයාගේ ජීවිත සමග දෙරට කරන ක්‍රීඩාවක් බවට පත් ව තිබේ.

රොහිංයා ජනයා සහ මියැන්මාර් රජයේ හමුදා අතර මුලින් ම ගැටුම් ඇරැඹී ඇත්තේ 1947 තරම් ඈත සමයක ය. එවකට වර්තමාන මියැන්මාරය යනුවෙන් හැඳින්වෙන දේශය බි්‍රතාන්‍ය යටත් විජිතයක් ව පැවැති අතර බුරුමය නමින් හැඳින්විණි. මුජාහිදින් කල්ලියක් විසින් මෙහෙයවන ලද එසමයේ අර්කන් ලෙසින් හැඳින්වුණු වර්තමාන රඛිනේ ප්‍රාන්තයේ මුස්ලිම් කුලී හේවා කණ්ඩායමක් බි්‍රතාන්‍ය බුරුම යටත් විජිත පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කිරීම එහි ඇරඹුම විය. 1948 ජනවාරි 04දා බුරුම දේශයට බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුණු අතර රටවල පාලනය භාරදීමේ සීමා නිර්ණයේ දී අර්කන් කොටස බි්‍රතාන්‍ය ඉන්දියාවට ඇතුළත් කරන ලදි. බි්‍රතාන්‍ය ඉන්දියාව හින්දුස්තානය වූ අතර හින්දුස්තානය ඉන්දියාව සහ පාකිස්තානය ලෙස ද පසු ව පාකිස්තානයේ නැගෙනහිර කොටස බංග්ලාදේශය ලෙසද වෙන් විය. ඒ අනුව අර්කන් බංග්ලාදේශයට අයත් වුවත් පසු කලෙක නැවත බුරුමයට ඈඳිණි.

මියැන්මාර් වර්තමාන ජනගහනයෙන් මුස්ලිමුන් සිටින්නේ 4 පමණ ප්‍රතිශතයකි. ක්‍රි.ව. 1004 තරම් ඈත සමයක මුල් ම මුස්ලිමුන් දෙදෙනා බුරුමයට ආගමනය වූ බවත් එතෙක් එහි මුස්ලිමුන් නොසිටි බවත් පැවසේ. අතීතයේ මුස්ලිම් ප්‍රජාවක් නොවූ බුරුම දේශයේ එය නිර්මාණය කරන්නේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය විසිනි. ඒ 1941දී අත්සන් තබන ලද ඉන්දු-බුරුම විගමන එකඟතාව නම් ප්‍රඥප්තිය මගිනි. එයට අනුව ඉන්දියානු මුස්ලිමුන් සංක්‍රමණය වූ අතර ඉන්පසු ප්‍රජාව නිර්මාණය වූ බවත් සැලකේ. මෙසේ පැමිණි බොහෝ පිරිසක් නැවතී ඇත්තේ දේශ සීමාව අසල අර්කන් පළාතේ ය. අර්කන් කඳුවැටිය නිසා ප්‍රධාන දේශයෙන් බොහෝ සෙයින් වෙන් ව පවතින ඒ පෙදෙසේ ඔවුන් නවාතැන් ගැනීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ ඒ දුරස්ථ බවයි. රොහිංයා යනු ඔවුන්ගේ ගෝත්‍රය අතීත හින්දුස්තානයේ වර්තමාන බංග්ලාදේශයට අයත් ප්‍රදේශයේ දී හැඳින්වුණු නාමයයි. පසුව අර්කන් පෙදෙස රඛිනේ ලෙස පරිපාලනමය වශයෙන් වෙනස්වීම්වලට බඳුන් වීය. විවිධ පරිණාමවලින් පසුව මේ වනවිට මේ ජන කණ්ඩායම හැඳින්වෙන්නේ රඛිනේහි රොහිංයා ජනයා ලෙස ය.

ඔවුන් ස්වයං පාලනයක් ඉල්ලා බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් අරඹා ඇත්තේ 1947 තරම් ඈතක දී බව පෙර සඳහන් කැරිණි. ඉතිහාසයේ සඳහන් වන්නේ එය මුස්ලිම් මුජාහිදීන් කල්ලියක වැඩක් ලෙස ය. ඒ කෙසේ වෙතත් මේ අරගලය දිගට ම පැවැතිණි. එයට සාධාරණ විසඳුමක් ලබා දෙන්නට මියැන්මාර ජාතියේ පියා ලෙස සැලකෙන බුරුම නිදහස් සටනේ නියමුවා වූ අවුන් සාන් විසින් පොරොන්දු දී තිබුණත් එරටට නිදහස ලැබෙන්නට මාස කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස ඔහු ඝාතනය විය.

පසු කලෙක මියැන්මාරයේ අගමැති මෙන් ම පසු ව ජනාධිපති ද වූ නේ වින් විසින් ද රොහිංයා මුස්ලිමුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට උත්සාහ කළත් ඒවා ද ක්‍රියාවට නොනැංවිණි.
රොහිංයා මුස්ලිමුන් පිළිබඳ අතීත කතාව ඉතා සැකෙවින් එසේ ය. ඇතැම් මූලාශ්‍රවල මේවා යම් යම් වෙනස්කම් සහිත ව තිබිය හැකි නමුත් රොහිංයා කණ්ඩායම අතිතයේ සිටම මියැන්මාරය සහ බංග්ලා දේශය විසින් ප්‍රතික්‍ෂෙප කරන ඉතා අසරණ බවට පත් ජන කණ්ඩායමක් බව නම් පැහැදිලි ය.

මියැන්මාරය ස්ථවිරවාදී බෞද්ධ සම්ප්‍රදාය සිය ආගමික ලබ්ධිය ලෙස පිළිගන්නා දේශයකි. එරට ජනගහනයෙන් 94%කට අධික ප්‍රමාණයක් බෞද්ධයෝ වෙති. 2012 වසරේ විරාතු නම් භික්ෂුවක විසින් අරඹන ලද ආගමික ව්‍යාපාරයක් විසින් උසිගන්වන ලද බෞද්ධයන් විසින් රොහිංයා මුස්ලිමුන්ට ප්‍රහාර එල්ල කිරීම අරඹන ලදි.

එතැන් සිට මේ ක්‍රියාදාමය වරින්වර යට යමින් ඉස්මතු වෙමින් පවතින අතර මේ වනවිට තත්ත්වය උග්‍ර අතට හැරී ඇති බව මාධ්‍යවල දැක්වේ. ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් ගම්බිම් අත්හැර පළා යමින් සිටින රොහිංයා අනාථයන් ඇසුරෙන් නිපදවන ලද වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ බීබීසී වැනි මාධ්‍යවල දැකිය හැකිය.

දැන් වඩා වඩා අහිංසාව කෙරේ නැඹුරුවක් දක්වන ලෝකය මෙවැනි සිද්ධිවලින් කම්පාවට පත් වීම අහඹුවක් නොවේ. ලොව පුරා තිබෙන හිංසාවට එරෙහි සංවිධාන රොහිංයා නිරායුද මිනිසුන්ට එල්ල කරන විවිධ ප්‍රහාර හෙළා දකින්නේ එහෙයිනි.

මෙහි දී ජාත්‍යන්තර සංවිධාන වැඩි වශයෙන් ම විමතියට පත් ව සිටින්නේ අවුන් සාන් සූ කීගේ නිහඬතාව ගැනයි. බුරුම හමුදා පාලනය විසින් ඇයට විවිධ තහංචි පනවා තිබු අවධියේ ලොව බොහෝ සංවිධාන ඇය ගැන කතා කළේ ය. නොබල් ත්‍යාග කමිටුව 1991 වසරේ ඇයට සාමය පිළිබඳ නොබල් ත්‍යාගය පිරිනැමූ අතර අමෙරිකානු කොන්ග්‍රස රන් පදක්කම ඇතු`ඵ සාමය උදෙසා වන ත්‍යාග හා පදක්කම් 8ක් ඇය වෙත පිරිනැමී ඇත. මීට වසර හැත්තෑවකට පමණ පෙර රොහිංයා ජනයාගේ ගැටලුව ගැන සලකා බැලූ අවුන් සාන් ඇයගේ පියා ය. වර්තමාන මියැන්මාරයේ තත්වාකාර (de facto) පාලිකාව ඇය ය. ඇය දැන් දරන තනතුර හැඳින්වෙන්නේ පෙරෙවි මාණ්ඩලික (Counsellor of State) යන නමිනි. එයට අග්‍රාමාත්‍යවරයකුගේ බලතල හිමි ය.
වර්තමානයේ මේ ඝාතන වළක්වන්නට පියවර ගත හැකි ප්‍රමුඛයකු ව සිටියදීත් ඇගේ නිහඬ බව පිළිගත නොහැකි බව ජාත්‍යන්තර තලයේ විද්වත්හු පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියැන්මාරයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තා සකසන්නිය (UN’s special rapporteur on
human rights in Myanmar)වන යැන්ග්හී ලී, සූ කීගේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව විස්මය මෙන් ම කණස්සල්ල ද පළ කරයි. ‘තත්ත්වාකාර නායිකාව වහා මැදිහත් විය යුතුයි. සිය රටේ අධිකරණ විෂය සීමාව තුළ රටවැසියන් ආරක්ෂා කරන්නට බැඳී සිටින ඕනෑම ආණ්ඩුවකින් මෙය බලාපොරොත්තු වෙමු’

2014 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනු මලාලා යූසුෆ්සායි එයම ප්‍රතිරාවය කරමින් සූකීගේ මැදිහත් වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ම බව ට්ව්ටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. ආසියානු කලාපයේ මුස්ලිම් රටවලින් මියැන්මාර රජය වෙත විරෝධතාව පළවෙමින් පවතියි. මැලේසියාව, මාල දිවයින, පාකිස්තානය වැනි මුස්ලිම් රටවල් මියැන්මාරයට ඍජුව ම කියා සිටින්නේ මේ තත්ත්වය වළක්වන්නට පියවර නොගතහොත් තමන් එරට සමග සියලු ගනුදෙනු නවත්වන්නට පියවර ගනු ඇති බවයි.

මියැන්මාරයේ දැන් හමුදා පාලනය අවසන් ය කියා කීවත්, යථාව එය නොවන බව මින් පැහැදිලි ය. එරට පාර්ලිමේන්තු ආසනවලින් 25%ක් හමුදාව සඳහා වෙන් කොට ඇති අතර 21 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයෙන් තුනෙන් එකක් හිමි නිසා හමුදාවට රජයේ හිමි බලතල අධික ය. ආරක්ෂක, දේශසීමා කටයුතු සහ ස්වදේශ කටයුතු යන අමාත්‍යංශ හමුදාවේ ය. මේ නිසා සිවිල් පුරවැසියකු වන සූ කීට මෙන් ම ජනාධිපති තින් ක්යාවුට ද කළ හැකි කිසිවක් නැතැ’යී බීබීසී පෙන්වා දෙයි.

රොහිංයා ජනවර්ගයට එරෙහි සියලු මර්දන දියත් කෙරෙන්නේ එරට හමුදාව විසිනි. ඒවා නවත්වන්නට නම් මැදිහත් විය යුත්තේ ජනාධිපතිවරයා ය. තින් ක්යාවු යනු 1962න් පසු මියැන්මාරයේ හමුදාමය සම්භවයක් නොමැති ප්‍රථම ජනාධිපතිවරයා ය. ඔහු ද මේවා මැඩ පැවැත්වීමට පියවර නොගැනීම පුදුම සහගත බව පෙන්වා දෙනු ලැබ ඇත.
රොහිංයා ජනඝාතනවලට එරෙහිව එක්සත් ජාතීන් විසින් මියැන්මාර් රජයට එරෙහි පියවර නොගන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී කිසිවකුගේ සිතට නොනැගෙනවා නම් එය ද පුදුමයක් බව කිව යුතු ය.■