රාවය

සත්‍යය විකෘති කරන කුහකබවේ සංස්කෘතිය හා බුද්ධිමය ශ්‍රේණීන්

සත්‍යය විකෘති කරන කුහකබවේ සංස්කෘතිය හා බුද්ධිමය ශ්‍රේණීන්

මහින්ද රත්නායක

පසුගිය රාවයකට ‘පහත මාලයේ අභිලාෂ නියෝජනය කරන පුරවැසි ව්‍යාපාරයක්’ යන හිසින් ගීතිකා ධර්මසිංහ රචනාවක් ලියා ඇත. තම රචනාව තුළ ඇය සාකච්ඡාවට භාජනය කරන්නේ ශ්‍රී ලංකාවේ නිමනොවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ගැටලුව පිළිබඳව ය. අලුත් යැයි පැවසිය නොහැකි මේ මාතෘකාව පිළිබඳ නොයෙක් අවස්ථාවල රාවය තුළ සාකච්ඡා වී තිබේ. මේ ලියුම්කරුම මීට පෙර මේ පිළිබඳව රාවයට ලියා තිබෙන නමුත් කාලීන වැදගත්කමක් ඇති ඒ මාතෘකාව පිළිබඳ නැවත වරක් ලිවීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගීතිකාට ස්තුතිය පළකරමින් සාකච්ඡාව ආරම්භ කරමු.

වියුක්ත න්‍යායික ප්‍රස්තූතය
පැරණි වියුක්ත න්‍යායික ප්‍රස්තුතයක් වන රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තුළ ද මේ ප්‍රශ්නය මේ ආකාරයෙන්ම මතුවිය. ප්ලෙකනොව් ප්‍රමුඛ මෙන්ෂෙවිකයන් කල්පනා කළේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ධනපති පංතිය සමාප්ත කරනු ඇති බව ය. වැඩවසම්වාදයේ ඉතුරුබිතුරු පිසදමා රුසියාවේ ධනේශ්වර විප්ලවය සමාප්ත කිරීමට ධනපති පංතිය අසමත් බව ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවිකයෝ කල්පනා කළහ. ලෙනින්ගේ සුප්‍රසිද්ධ අප්‍රේල් ප්‍රවාදයට පෙර, ගොවි කම්කරු ආණ්ඩුවක් විසින් ධනේශ්වර විප්ලවය පරිසමාප්ත කෙරෙනු ඇති බව හේ කල්පනා කළේ ය. ට්‍රොට්ස්කි මුල සිටම දැරු මතය වූයේ නිර්ධන පංතියේ නායකත්වයකින් තොරව රුසියානු ප්‍රජාතන්ත්‍රීය විප්ලවය පරිසමාප්ත කළ නොහැකි බව ය.

ගීතිකා කියන ආකාරයට (සුමිත් චාමින්දට අනුව) මේ න්‍යායික ප්‍රස්තුතය ලංකාව තුළ කනපිට පෙරලෙන්නේ මෑත අතීතයේ දී ය. එනම් 56 ඓතිහාසික හවුල පිළිබඳව ග්‍රාම්ස්චිගේ උපරි ව්‍යුහය පිළිබඳ න්‍යායික රාමුව ආශ්‍රයෙන් නිවුටන් ගුණසිංහ ගොඩනගන ප්‍රවාදයේ අතුරු ඵලයක් ලෙසට ය. එජාපය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකරන බවට මිථ්‍යාවක් සමාජගත වී ඇත්තේ සිංහල බෞද්ධ අනන්‍යතාව හෙජමොනික ගතකළ 56 සමාජ බලහවුල පිළිබඳ ගුණසිංහගේ ප්‍රවාදයෙන් අනතුරුව බවයි ඇය කියන්නේ. නිවුටන් ගුණසිංහ එවැනි මිථ්‍යාවකට අනුබලයක් නොදුන් බව අඟවන ගීතිකා, නිවුටන්ගේ ප්‍රවාදය තුළින් මුල්කාලීන ධනවාදී පිරිස් ජාතිවාදය පෝෂණය නොකළේය යන අදහසට ඉඩ විවර කළ බව පවසයි.

ශ්‍රී ලංකාව ට්‍රොට්ස්කිවාදී ගුරුකුලයෙන් පෝෂණය ලද ශක්තිමත් වාමාංශික ව්‍යාපාරයක් තිබුණු රටකි. එහෙයින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමාප්තියකට ගෙනයෑමට ධනපති පංතිය අසමත්ය යන වියුක්ත න්‍යායික ප්‍රවාදය සමාජගත වීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව 80 ගණන්වල අග භාගය වන තුරුම ධනපති පංතියට (එජාපයට) තමාගේම වූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පවා කරගැනීමට නොහැකිය යන මතය ශක්තිමත් ලෙස සමාජගතවී තිබීම අරුමයක් නොවේ.
අප දන්නා තරමින් නිවුටන් ගුණසිංහ, සමසමාජ ව්‍යාපාර වැනි සමාජයේ පැතිරුණු ව්‍යාපාරයක තබා කිසිම දිනක දේශපාලන ව්‍යාපාරයක සක්‍රිය සාමාජිකයෙකු වූයේ නැත. මහනුවර ප්‍රදේශයේ වෘත්තීය සමිති කාර්යාලය පදනම් කරගෙන, දයාන් ජයතිලක ද ඇතුළත් ගොවි කම්කරු ආයතනය නමින් පිහිටුවාගත් සංවිධානයක් ඔහුට තිබුණි. කුඩා අධ්‍යයන කවයක් යැයි කිව හැකි එය කිසිදු දේශපාලන වැඩකට සම්බන්ධ වූ සංවිධානයක් නොවේ. එහෙයින් නිවුටන් ගුණසිංහගේ ප්‍රවාදය සාකච්ඡා මණ්ඩපවලින් එහාට ගිය එකක් නොවේ. මේ නිසා ගීතිකා කියන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එජාපයට උවමනාවක් ඇති බව සමාජගත වන්නේ ගුණසිංහගේ ප්‍රවාදයේ අතුරු ප්‍රතිඵලයක් නිසා නොව තමන්ගේ පාලනයෙන් තොර එජාපයේ භාවිතාවක ප්‍රතිඵලයක් ලෙසට ය.

න්‍යාය හා භාවිතය
මේ රටේ ධනපති පංතිය (එජාපය ප්‍රමුඛ ලිබරල්වාදය) ජාතිවාදී නොවීය යන මිථ්‍යාවක් පුරවැසි බලයේ අප කිසිසේත්ම කියා නැත. 83 කළු ජූලිය නිර්මාණය කළේද සිරිල් මැතිව් ප්‍රමුඛ එජාපය බව අපි දනිමු. එය ඇති කළේ වාමාංශිකයන් බව පවසමින් පක්ෂ කිහිපයක් ද තහනම් කළේ ය. එහෙත් ලිහාගත යුතු න්‍යායික ගැටලුව වන්නේ එහෙව් එජාපයටම ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේ ආරම්භක පියවරක් ලෙස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීමේ ව්‍යුහයක් යථාර්ථයක් බවට පත්කිරීමට සිදුවීම ය. ජේආර් ජයවර්ධන ප්‍රමුඛ එජාපය 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට හේතු වූ ඉන්දු ලංකා සාම ගිවිසුමට අත්සන් කරන්නේ කැමැත්තකින් නොවේ. ගාමිණී දිසානායක හැර සියලුම කැබිනට් සගයන් හැර යන විට ජයවර්ධන ජනාධිපතිවරයාගේ තනියට හිටියේ තම භාර්යාව වූ එලීනා ජයවර්ධන පමණි. එහෙත් කම්කරු පංතිය මත එවකට පදනම් වූ වාමාංශික පක්ෂවල ද සහයෝගය ඇතිව බිස්මාකියානු ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රීය ගැටලුවේ ප්‍රධාන අංගයක් වන ජාතික ප්‍රශ්නය විසඳීම දෙසට එජාපය තල්ලුවී ගියේ ය. මහජන පක්ෂය ඇතුළු පැරණි වාමාංශික පක්ෂ සියල්ලම පාහේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ ප්‍රතිසංස්කරණය ආරක්ෂා කළ බව පමණක් මතක් කිරීම ප්‍රමාණවත් වේ.

ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධ හෙජමොනික දේශපාලන සැකැස්ම නිර්මාණය කළ 56 බලහවුල මෙයට එරෙහිව ජාතිවාදය අවුළුවාලීමත් සමඟ එහි දෙවැනි පරම්පරාවේ දරුවන් සමාජවාදයේ නාමයෙන් කළ හදිය ඒ යුගයේ දී වැඩිහිටියන් වූ අපට මතක ය. ඉන්දු ලංකා සාම ගිවිසුමට එරෙහි හමුදාවේ පැවති චිත්ත ස්වභාවය රජිවි ගාන්ධිට නාවික සෙබලා රයිෆල් බන්දෙන් එල්ල කළ අසාර්ථක ප්‍රහාරයෙන් මොනවට ප්‍රකාශ විය. එහෙත් ගාලු මෝදරය පෙනෙන මානයේ ස්ථානගත කළ ඉන්දියානු යුද නැව් ශ්‍රී ලංකා හමුදාවේ චිත්ත ධෛර්ය භාවිතයකට යා නොදී බිඳ දැමී ය. මෙයින් පෙනීයන්නේ වියුක්ත න්‍යායික ප්‍රස්තුතයක නිරවද්‍යතාව කෙසේ වෙතත් අපගේ තෝරාගැනීමෙන් පරිබාහිර දෙන ලද තත්ත්වයන් විසින් නොකරන දේ කරන්නට සමාජ පංතිවලට බලකෙරෙන බව ය. නිමනොවූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කිරීමට එජාපයට හැකියාවක් ඇති බව සමාජගත වන්නේ මේ භෞතික යථාර්ථය හේතුකොටගෙන මිස නිවුටන් ගුණසිංහගේ වියුක්ත න්‍යායික ප්‍රවාදය දැනගෙන නොවන බව ගීතිකාට මතක් කළ යුතු ය.

ප්‍රතිකූල හෙජමොනිය හා නව ලිබරල්වාදය
ප්‍රතිකූල හෙජමොනිය (ක්‍දමබඑැර ්‍යැටැපදබහ)ක් පිළිබඳ වූ වියුක්ත න්‍යායික ප්‍රස්තුතය සුමිත් චාමින්ද නිරන්තරයෙන් සාකච්ඡා කරන මාතෘකාවකි. ඔහුට අනුව යන ගීතිකා, 56 හෙජමොනික දේශපාලන සැකැස්ම අභිභවනය කිරීමට විකල්ප හෙජමොනික ව්‍යාපෘතියක් ගොඩනැගීමට රනිල්ගේ පංතිය අසමත් බව කියයි. මේ අසමත් බවට එකම හේතුව වන්නේ 77 සංවර්ධන මාදිළිය වැළඳගැනීම ය. එජාපයට සීමා නොවූ ලෝක ප්‍රවනතාවක් වූ නව ලිබරල් ප්‍රතිපත්තිය විකල්ප හෙජමොනික ව්‍යාපෘතියක් ගොඩනැගීමට අසමත් වූ හේතුව නම්, අතරමැදි පංතියක සිංහල බෞද්ධ මතිභ්‍රමය 56 ඓතිහාසික බලහවුලේ හෙජමොනික සැකැස්ම සාර්ථක කළ ඓතිහාසික ජාත්‍යන්තර දේශපාලන ආර්ථික ප්‍රවනතාවක් ද තිබිය යුතු වීමය.

බහුතරයක් මාක්ස්වාදීන් කළ පුරෝකථනයට ප්‍රතිවිරුද්ධ ලෙස ඇමෙරිකානු ආර්ථිකයේ ස්වර්ණමය යුගය උදාවන්නේ මේ යුගයේ දී බව මේ ලියුම්කරුගේ වැටහීම ය. කේන්සියානුවාදය, යුද විනාශයෙන් ලෝකය යළි ගොඩනැගීම සඳහා දියත් කළ මාර්ෂල් සැලැස්ම ඇතුළු ලෝක පරිමාණ ලෙස දියත් කළ ආධාර ක්‍රම අපර යුද උත්පාතයට මග පෑදූ අතර සමාජ සුභසාධනය මේ යුගයේ ලෝක පරිමාණ ප්‍රවනතාව විය. ධනපති පංතියට විරුද්ධව ස්ථානගත වූ ගීතිකා කියන ග්‍රාමීය සිංහල බෞද්ධ අනන්‍යතාව මුල් කරගත් හෙජමොනික සැකැස්ම භෞතික ප්‍රපංචයක් බවට පත්වන්නේ අන්න ඒ සන්දර්භය තුළ ය. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව පිළිබඳ වූ දේශපාලන අභිලාෂයන් 56ට පෙර වාමාංශික ව්‍යාපාර ප්‍රකාශයට පත්කළ බව ගීතිකා කියයි. එහෙත් එම ව්‍යාපාරයේ නායකයා වූ ඇන්ඇම් පෙරේරා සමගි පෙරමුණේ මුදල් ඇමතිවරයා ලෙස ජනතාවට තිත්ත වන විට බණ්ඩාරනායක සුභසාධනයේ ප්‍රතිමූර්තියක් බවට පත්වන්නේ බණ්ඩාරනායකට ඉතිහාසය කාරුණික වූ නමුත් ඇන්ඇම් පෙරේරාට ඉතිහාසය කටුක ලෙස සැලකීම නිසාය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් 50 ගණන්වල පැවති ලෝක ආර්ථික උත්පාතය අවපාතයකට ගමන් කිරීම නිසා ය. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය එක වැරැද්දකින් තවත් වැරැද්දකට ගමන් කරන්නේ පශ්චාත් යුද වකවානුව පිළිබඳ වැරදි පුරෝකථනයක සිටි නිසාවෙනි. ජනසතුවෙන් සමාජවාදයට යා හැකිය යන මිථ්‍යාව පමණක් නොව තනි රටක සමාජවාදය පිහිටුවිය හැකිය යන මිථ්‍යාවද සමාජගත වන්නේ මේ යුගයේදී ය. ඩඞ්ලිගේ බඬේ මසල වඬේ කියමින් 56 බලහවුල සමඟ පසුව දීගයකට යන්නේ ද මේ වාමාංශික ව්‍යාපාරයමයි. නව ලෝක ප්‍රවනතාවන් ගැන නිනව්වක් නැති මියගිය පැරණි වාමාංශික ව්‍යාපාරයේ ශේෂ වූ කණ්ඩායම් තවමත් කල්පනා කරන්නේ නව ලිබරල්වාදයට විකල්පයක් ලෙස ඊනියා ජනසතුවෙන් සමාජවාදයට යා හැකි බව ය. තනි රටක සමාජවාදය පිහිටුවිය හැකිය යන මිථ්‍යාවේ ද ගිලී සිටින ඔවුන් නව ලිබරල්වාදී යුගය අවසන් වෙමින් ලෝකය මෙන්ම විශේෂයෙන් ආසියාවේ වර්ධනය වන නව ප්‍රවනතාවන්ට ද අන්ධ ය. නව ලෝක ප්‍රවනතාවන් හඳුනා නොගෙන ප්‍රතිකූල දේශපාලන හෙජමොනියක් හෝ වාමාංශික වැඩපිළිවෙළක් සූත්‍රගත කළ නොහැකි ය.

පාරභෞතික කතිකා හා බුද්ධිමය ශ්‍රේණි
සංවාදයක් අද විශ්වවිද්‍යාලයක පැවැත් වූ පමණින් සාරගර්භ වන්නේ නැත. කුමන අඩුපාඩුකම් තිබුණත්, පැරණි වාමාංශික බුද්ධිමය ශ්‍රේණීන් හරවත් සංවාද කළා පමණක් නොව තමන් කරන යෝජනා භාවිතාවට නැගීමට ද මැදිහත්වූහ. ඒ වෙනුවට ගීතිකාලා ඇතුළු පිරිස අද කරන්නේ අන්‍යයන් කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් පදනමක් නැති විවේචන ඉදිරිපත් කිරීමට අමතරව මඩ ප්‍රචාර හා අවලාද නැගීම පමණි. එසේ නැති නම් තමාගේ හිතලුවක් අන්‍යයන්ට ආරෝපණය කර එයට පිළිතුරු සැපයීම ඔවුන්ගේ අනික් ක්‍රමය වේ. උදාහරණයක් ලෙස ගීතිකා අසන මේ ප්‍රශ්නය දෙස බලන්න. ‘ගෝලීය ප්‍රාග්ධනය හා වඩ වඩාත් සමීපව ඇති නව නාගරික හා අගනාගරික ප්‍රජාව රජයේ ඒකීයභාවය හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වැනි ව්‍යවස්ථාපිත මතවාදයන් වෙනස් කිරීමට අවශ්‍ය මතවාදී දායකත්වය දෙනු ඇති ද?’ ඇය මෙසේ ප්‍රශ්න කරන්නේ, ‘නැගී එන සිංහල බෞද්ධ නාගරික මධ්‍යම පංතිය සමඟ සන්ධානයකින් රනිල්ගේ පංතියට රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන මතවාදී සහාය ලබාගත නොහැකි ද’ යනුවෙන් පුරවැසි බලයේ සාමාජිකයෙකු අසනු ඇතිය යන හිතලුවකට ය. ගෝලීය ප්‍රාග්ධනයට හසු වී ආත්මයක් සොයමින් නන්නත්තාරවී සිටින ඔය කියන මධ්‍යම පංතිය රාජ්‍ය ප්‍රතිසංස්කරණවලට සහාය දෙන බව පැවසූ පුරවැසි බලයේ සාමාජිකයා කවුද? ජාතියේ ද්‍රෝහියෙකු බව පවසමින් වික්‍රමබාහුට පහර දුන්නේ ගමේ ගොඬේ අහිංසක සිංහල බෞද්ධයෙකු නොව මූල්‍ය සමාගමක කළමනාකරුවෙකි. ෆැසිස්ට් පන්නයේ පාලනයක කොඳු නාරටිය වන ඔය කියන මධ්‍යම පංතිය ගැන අපට වැටහීමක් ඇති අතර රාජපක්ෂගේ අධිකාරි පාලනය ඉවත් කළ ව්‍යාපාරයේ පැත්ත පළාතක නොසිටි ගීතිකා, ලිබරල් සිවිල් සංවිධානවලට විකල්පව පහත මාලයේ පුරවැසි ව්‍යාපාරයක් ගොඩනැගීමට අද යෝජනා කරයි. විකල්ප ගොඩනැගෙන්නේ තෝරාගත් තත්ත්වයන් යටතේ නොව දෙන ලද තත්ත්වයන් යටතේ ය. ජනවාරි 8 ආරම්භ වූ ගමනේ සීමාවන් දෙන ලද තත්ත්වය තුළම සලකුණු වී තිබෙන අතර එය ඉදිරියට ගමන් කරන්නේ එයින් පිටස්තරව නොව ඒ තුළින්ම මතුවන පරස්පරයන් තුළිනි. සමාජ බලවේගයන් ඒ පිළිබඳව සවිඤාණක වන ප්‍රමාණයටයි එම පරස්පරයන් තුළට මැදිහත් වන්නේ. එසේ නැතිව ගීතිකා යෝජනා කළ පමණින් පහත මාලයේ සිවිල් ව්‍යාපාර ගොඩනැගීමට පංති බලවේග දුවගෙන එන්නේ නැත.■