රාවය

මෛත්‍රීගේ ‘රණවිරුවන්’ දල්වන ගෝඨාගේ ‘එළිය’

මෛත්‍රීගේ ‘රණවිරුවන්’ දල්වන ගෝඨාගේ ‘එළිය’

ලසන්ත රුහුණගේ

ගෝඨාභය රාජ පක්ෂගේද ඇත්තු පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තමා දේශපාලනය නොකරන් නේයැ’යි කියූ ගෝඨාභය රාජපක්ෂ දැන් නැවතත් ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්නට පටන් ගෙන තිබීමෙන්ය. වියත් මග යැයි කියා සිංහල බෞද්ධකමෙන් ප්‍රශ්න දැති වියතුන් යැයි කියාගන්නා ජාතිවාදී හා ආගම්වාදී පිරිසක් සමඟ රට වටේ ගිය ගෝඨාභය රාජපක්ෂගේ අලුත්ම ව්‍යාපෘතිය ‘එළිය’ නමින් සැප්තැම්බර් 06 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී එළිදක්වා ඇත. මෙම එළිය වූකලි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපෘතියය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂවීම හෝ එරෙහිවීම යනු දේශපාලනය මිස වෙනකක් නොවේ. එය හුදු පරිපාලන කටයුත්තක් නොවනවා මෙන්ම ‘මම දේශපාලනය කරන්නේ නැහැ’ යන වචනවලින් වැසිය හැකි බොරුවක්ද නොවන්නේය.

මේ වූකලි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ නැවත බලය ලබාගැනීමේ දේශපාලන ව්‍යාපෘතියේම තවත් දිගුවක් මිස වෙනකක් නොවේ. ඊට තවදුරටත් අටුවා ටීකා විස්තර කිරීමක්ද අවශ්‍ය නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවලින් මෙය වෙනස්වන්නේ එක්කෝ ප්‍රසිද්ධ වේදිකාවේ පක්ෂ දේශපාලනය කරන කිසිවකුත් මේ ‘එළිය’ වේදිකාවල අපට දක්නට නොලැබීමෙන් පමණය.
පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය නම් වූ රජයේ නිලධාරි යකුගේ භූමිකාව රඟදැක්වුවද ඔහු අප්‍රසිද්ධියේ පමණක් නොව ප්‍රසිද්ධියේම ඒ සමයේ පවා දේශපාලනයේ නිරත වූයේය. 2010දී පාර්ලිමේන්තු මැතිවරණ යේදී ඔහු එම මැතිවරණයට තරග කළ මර්වින් සිල්වා, දුමින්ද සිල්වා හා උපාලි ගුණරත්න යන අපේක්ෂකයන්ගේ දේශ පාලන වේදිකාවට ගොඩ වූයේය. 2011දී කොළඹ මහ නගර සභා මැතිවරණයේදී නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩගේ දේශපාලන කටයුතුවලට සහභාගි විය. 2014දී පළාත් සභා මැතිවරණයේදී උදය ගම්මන්පිලගේ දේශපාලන වේදිකාවට ගොඩ වූයේය. ඔහු අප්‍රසිද්ධියේ සිය පවුල වෙනුවෙන් දේශපාලනය කිරීමේ උච්චතම අවස්ථාව වූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා සිවිල් ආරක්ෂක සේවයේ සාමාජිකයන් පෝස්ටර් ඇලවීම, ඡන්ද පත්‍රිකා බෙදීම, ජනහමුවලට සහභාගි කරවීම ඇතුළු මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමය.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ නම් වූ ගහ දන්නා අයට කොළ කඩා පෙන්වීමෙන් වැඩක් නැත. එළිය හෝ වෙනත් ඕනෑම නමකින් ඔහු කරන්නේ හෝ කරමින් සිටින්නේ කුමක්ද යන්න පැහැදිලිය. ඒ ගැන මෑතකදීම කැට තබා කීවේ හිටපු යුද හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකාය. ඒ හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල වී ඇතැයි ඇතිවූ කතාබහේදීය. එහිදී සරත් ෆොන්සේකා කීවේ ඔහුට එරෙහිව කෑකෝ ගසන රණවිරුවන් යැයි කියාගන්නා මේ පිරිස හෙට දේශපාලන වේදිකාවේ දැකගත හැකිවනු ඇති බවය. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පෝස්ටර් ඇලවීම, පත්‍රිකා බෙදීම ආදියට යෙදවූ මේ තරුපටිධාරීන් රට ජාතියේ නාමයෙන් අනිවාර්යෙන්ම හෙට අපට ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ දැකගැනීමට ලැබෙනු ඇත.

ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන යුද අපරාධ පිළිබඳ ප්‍රකාශයේ තවත් බරපතළ ඇත්තක්ද ඇත. ඒ එම සමයේ යුද හමුදාව නීතිගරුක හමුදාවක් වශයෙන් කටයුතු කර නැති බවය. ඒ හමුදාවේ ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගේ අණට යටත්විය යුතු ඔහු යටතේ සිටින යුද හමුදා නිලධාරීන් බාහිර පුද්ගලයන්ගේ අණ අනුව ක්‍රියාකර ඇති බවය. යුද හමුදාපතිවරයාට උපදෙස් දිය හැක්කේ ඔහුට ඉහළින් පරිපාලනමය වශයෙන් සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට, ආරක්ෂක අමාත්‍ය ධුරයද දරන සේනාධිනායක ජනාධිපතිවරයාට පමණය. ඒ දෙන උපදෙස් තමන් යටතේ සිටින නිලධාරීන්ට දිය යුත්තේ යුද හමුදාපතිවරයාය. එසේ නොවී යුද හමුදාපතිවරයා යටතේ සිටින නිලධාරීන්ට වෙනත් පාර්ශ්වයකින් උපදෙස් ලැබුණේ නම් හා ඔවුන් ඒවා ක්‍රියාත්මක කළේ නම් ඒ හමුදාවේ විනය ගැන කවර කතාද? විශේෂයෙන්ම සරත් ෆොන්සේකා කියන පරිදි උතුරේ පමණක් නොව රටේ දකුණේද සිදුකළ අපරාධ සම්බන්ධයෙන් නම් එම උපදෙස් ලැබුණේ, එම අපරාධ කළවුන් කිසිසේත්ම අපරාධකරුවන් මිස රණවිරුවන් වන්නේ නැත.

කනගාටුවට කරුණ නම් හමුදාවේ නීතිගරුක නොවන බව වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද පෙන්නීමය. ඒ හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ පාලන කාලයේදීය. ගෝඨාභය රාජපක්ෂගේ සුරතලුන් වශයෙන් නම් දැරූ මේජර් ජෙනරාල්වරුන් පිරිසක් ආරක්ෂක අමාත්‍ය සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කිරීම එම සිදුවීමය. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් අනුව එම හමුවේ කපුකම කර තිබුණේ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනය. එම හමුවීම සඳහා එක් මේජර් ජෙනරාල්වරයකු පැමිණ තිබුණේ ඉන්දියාවේ පුහුණුවක් ලබමින් සිටියදීය. ‘රාවය’ එම හමුවීම එදා මුල් පුවතක් වශයෙන් පළ කළේය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ පොතේද එසේ ජනාධිපතිවරයා මේජර් ජනරාල්වරුන් පිරිසක් හමුවූ බව පිළිගෙන තිබුණි.

හමුදාවේ පිළිවෙත අනුව නම් යුද හමුදාපතිවරයාට දැනුම් දී ඔහුගේ අවසරය මත, ඔහු හරහා සේනාධිනායක ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් උදාකර ගන්නවා හැර වෙනත් ක්‍රමයක් නැත. එහෙත් එම හමුවේදී එය සිදුවී තිබුණේ නැත. ඒ නිසාම එවක යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාට සිදුවූයේ ආරක්ෂාවට සම්බන්ධ බාහිර පුද්ගලයන් හමුවීම සම්බන්ධයෙන් ඔහුගේ අවසරය අවශ්‍ය බවට හමුදා චක්‍රලේඛයක් නිකුත් කිරීමටය.

එදා සිටම රණවිරු හා සිංහල බෞද්ධ ආලයෙන් මත්වී සිටින සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මේ හමුවීම විනයගරුක එකක් නොවන බව පෙනුණේ හෝ දැනුණේ නැත. ජනාධිපතිවරයා එදා සිට අද දක්වාම ගායනා කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ තරු පටිධාරීන් වෙනුවෙන් ‘සයනයිඞ්’ කතාය. ඒ මගින් සිදුවී ඇත්තේ අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව අපරාධ කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වශයෙන් කටයුතු කළ අපරාධකරුවන්ට එරෙහිව පරීක්ෂණ අඩාල වීමය. ශ්‍රීලනිප 66 සංවත්සරය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කැම්බල් පිටියේදී කීවේද එම සයනයිඞ් කතාවේ දිගුවකි. ඔහුට වඩා අපරාධකරුවන් සම්බන්ධ යෙන් වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායකගේ හා වත්මන් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාගේ ප්‍රකාශ ඉදිරිගාමීය.

යුද්ධයකට පවා නීතිරීති ඇත්තේය. ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා හෝ යටත් වන සතුරකුගේ පවා ජීවිතය අහිමි කිරීම කළ නොහැකිය. එය සැලකෙන්නේ යුද අපරාධයක් ලෙසය. එය යුද්ධයට අදාළවය. යුද්ධයෙන් බාහිරව සිටින ආයුධ අත දරා නොසිටින සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි කිරීම කිනම් චෝදනාවක් යටතේ වුව කළ නොහැක්කකි. දඬුවම් ලබාදිය යුත්තේ පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණය. ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී පාසල් සිසුන් ඇතුළු පිරිසක් මරා දැමීම ඇතුළු සිවිල් වැසියන් ඝාතන, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතන, ප්‍රගීත් එක්නැළිගොඩ ඇතුළු ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමද රණවිරු ලේබලයෙන් වසාගත හැකි අපරාධ නොවේ.

එම අපරාධයන්ට ගොදුරු වූ අයගේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරනවායැ’යි කෑමොර දී බලයට පැමිණි යහ පාලනයයැ’යි කියාගන්නා ආණ්ඩුවකට තමන් දුන් එම පොරොන්දු දිහා නෑසූ කන්ව සිටිය නොහැකිය. අපද කිහිප අවස්ථාවකදී ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කළ කරුණ වූයේ අපරාධ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ හැකි පහසුම ස්ථානය ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ බවය. එම අපරාධයන්ට සම්බන්ධ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එරෙහිව කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ හෝ රණවිරු ලේබලයෙන් යමෙකෙකුට විරුද්ධ වීමට හැකි අවස්ථාවන් අවමය. ඒ මේ ජනමාධ්‍යවේදීන් වූකලි පෑන පමණක් අත දරා සිටි නිරායුද මිනිසුන් බැවින්ය.

එහෙත් මේ පරීක්ෂණ කිසිවක් හෝ නීතිය හමුවේ දඬුවම් ලබාදීමක් හෝ දේශපාලන නායකත්වයකින් හෝ මගපෙන්වීමකින් තොරව සිදුවනු ඇතැයි සිතිය නොහැකිය. බලයට පත්වීම සඳහා අපට පොරොන්දු ලබා දුන් එම දේශපාලන නායකත්වය දැන් වියැකී යමින් තිබේ. අපට පෙනෙන්නට, දකින්නට හා දැනෙන්නට තිබෙන්නේ දෙදහස් විස්සේදී දේශපාලන බලය ලබාගැනීම සඳහා හෝ රැක ගැනීම සඳහා හෝ කරන සටකපට දේශපාලන ගේම් මිස වෙනකක් නොවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇත්තේ ඔහු එපා කියා එළියට බැස පරාජයට පත් කළ ශ්‍රීලනිප ආලයය. ඒ වෙනුවෙන් ඔහු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සමඟ රහසේ කොතෙක් සාකච්ඡා කළේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලකගේ ‘මා දුටු ජනවාරි 8’ පොතේ කදිමට සඳහන් කර ඇත. පොරොන්දු වූ පරිදි දින සියය වැඩසටහනේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් ශ්‍රීලනිපයට ඇපත් නොලැබෙන බව දැනුණු හෙයින් එම පොරොන්දුව ඉටු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියූ වාර අනන්තය. “විධායක ජනාධිපති ධුරය අහෝසි කරමි” යන තමා බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දුවද තමා අතහැර ආ ශ්‍රීලනිප පක්ෂයේ සාමූහික පොදු තීරණයට බැර කර “විධායක ජනාධිපති ධුරය තවදුරටත් ඕනෑ” යන ශ්‍රීලනිපයේ නිල මතය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රමුඛ යෝජනාවට කැමති පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ යෝජනාවට එරෙහිව ලබාදීමට තරම් එම පොරොන්දුව ලබා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සටකපටය.

ඔහුගේ නිදහසට කරුණ “මම තනි තීන්දු ගන්නේ නැහැ. ගන්නේ සාමූහික තීරණ හෙවත් පක්ෂයේ තීන්දු’ යන්නය. එහෙත් ඔහු එදා එළියට ආවේ පක්ෂයේ සාමූහික තීන්දුව වූ මහින්ද රාජපක්ෂට එරෙහිවය. එය අද ඔහුට මතක් කරදීමට තරම් ඔහු ළදරුවෙක් නොවේ. පක්ෂයේ තීරණය අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට මහින්ද රාජපක්ෂට ඡන්දය ඉල්ලන්නට දුන්නා වගේම, පක්ෂයේ තීරණය අනුව එළැඹෙන 2020 ජනාධිපතිවරණයටද එය අහෝසි කරනවා යැයි කියූ ඔහු ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ඒ ඔහු විසින්, පරාද වූ පසු ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද කේවට්ටයන් ‘විධායක ජනාධිපති ධුරය’ තවදුරටත් තබාගත යුතු බවට සමාජගත කරමින් පවතිද්දී හා ශ්‍රීලනිපයේ නිල මතය වශයෙන් එය සමාජ ගතවද්දී, ශ්‍රීලනිප නායකයා වශයෙන් ඔහු මුනිවත රකින නිසාය. ඔහුගේ එම සිහිනයට ඔහු හිතනා ආකාරයට බහුතර සිංහල බෞද්ධකම අවැසිය. සිංහල බෞද්ධයන්ගේ මනදොළ සපුරන රණවිරු ලේබලය ද අවශ්‍යය. ඉතිං ඊට එරෙහි වන සරත් ෆොන්සේකා ඇතුළු එන්ජීඕ නඩ සමඟ කුමන පයුරුපාසානම්ද? අපරාධකරුවන් නිදැල්ලේ සිටීම තරම් ඒ සඳහා ඔහුට තවත් සැනසීමක් තිබිය හැකිද? සයනයිඞ් කතා විටින් විට වස්සන්නේ ඒ නිසාය. ඒ වැස්සේ තෙමෙන්නන් දෙදහස් විස්සේ ඔහුට සලකනු ඇද්ද? නැතහොත් එම වැස්ස අත්නොහැර වස්සනු ලැබූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ඇතුළු එම පෙරමුණේ අයකුට සලකනු ඇද්ද? දෙදහස් විස්සට පෙර ඉදිරි මැතිවරණවලදී එය දැකගත හැකිවනු ඇත.■