රාවය

නව ලිබරල්වාදය සහ අධිකාරීත්ව ජනප්‍රියවාදය

නව ලිබරල්වාදය සහ අධිකාරීත්ව ජනප්‍රියවාදය

අහිලන් කදිරගාමර් පරිවර්තනය රමිඳු පෙරේරා

2008ඇති වූ ගෝ ලී ය ආර්ථික අර්බුදයේ බලපෑම තවමත් ලෝකය තුළ සජීවීය. ගෝලීය ආර්ථික වර්ධන වේගයේ සිදු වී තිබෙන පහළ වැටීම සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ ඇති වී තිබෙන අතිවිශාල බිඳ වැටීම දෙස බැලූ විට ආර්ථික අර්බුදයේ තරම පැහැදිලි වේ. මෙම අර්බුදය විසින් ඇති කොට තිබෙන එක් දේශපාලන ප්‍රතිවිපාකයක් වන්නේ අධිකාරිවාදී සහ ජනප්‍රියවාදී ආණ්ඩුවල පැන නැගීමට සහ ඒවාවල තහවුරු වීමට එම අර්බුදය විසින් ලබා දී තිබෙන දායකත්වයයි.
1980 ගණන්වල දී ආරම්භ වූ නව ලිබරල් ගෝලීයකරණය පදනම් වූයේ නිදහස් වෙළෙඳාම, ප්‍රාග්ධනයේ නිදහස් සංසරණය, නියාමන-හරණය සහ පෞද්ගලිකකරණය යන කුලුනු මතය. 1990 ගණන්වලදී ගෝලීය වෙළෙඳාම ගෝලීය ආර්ථික වර්ධනයට වඩා දෙගුණයකින් හා ඇතැම් අවස්ථාවල තුන් ගුණයකින් ඉහළ නැංග අතර මේ යුගය අධි-ගෝලීයකරණයේ යුගය ලෙස හැඳින්වේ. කෙසේ වූවද 2008 අර්බුදයෙන් පසු ගෝලීය වෙළෙඳාමේ වර්ධනය ගෝලීය ආර්ථිකයේ වර්ධනයට වඩා බෙහෙවින් පහළ ලක්ෂ්‍යයක පසුවේ. ගෝලීය අපනයනවල වටිනාකම දෙස බලන්නේ නම් මෑතකාලීන වර්ෂවල අපනයන අතිවිශාල ලෙස පහළ වැටී තිබෙන අන්දම නිරීක්ෂණය කිරීමට පුළුවන.

මෙලෙස ගෝලීය වෙළෙඳාම කඩාවැටෙමින් තිබෙන සන්දර්භයකය ලෝකය පුරා තිබෙන බලවත් දක්ෂිණාංශික ආණ්ඩු සහ දේශපාලන බලවේග ජාත්‍යන්තර වෙළෙඳාමට එරෙහිව විවේචන මතු කරමින් ආරක්ෂණවාදය සඳහා කැඳවුම් කරමින් සිටින්නේ. විරැකියාව වැනි ආර්ථික ගැටලුවල හේතුව බටහිර රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් ඇතුළු සුළුතර ජනකොටස් මත ප්‍රක්ෂේපණය කරන මෙම බලවේග තම රටවල් තුළ නිෂ්පාදනය පහළ වැටීමේ හේතුව අන්තර්ජාතික ආනයන තුළ දකිති.

2008 අර්බුදය නව ලිබරල්වාදයේ යුගය අවසන් කොට අධිකාරීත්ව-ජනප්‍රියවාදයේ නව යුගයක උදාව සලකුණු කොට තිබේද? එසේ නොමැති නම් එමගින් සලකුණු කරන්නේ නව ලිබරල් ගෝලීය ධනවාදය ක්‍රියාත්මක වන ආකාරයේ තැන් මාරුවක් – එනම් අධිකාරීත්ව-ජනප්‍රියවාදයේ දේශපාලනය නව ලිබරල් ගෝලීයකරණය විසින් වැලඳගැනීමක්ද? මෙම සන්ධිස්ථානය විසින් මතු කරනු ලබන තීරණාත්මක ප්‍රශ්න සමහරක් එසේය.

අධිකාරිවාදී ආණ්ඩු
එක්සත් ජනපදයේ ට්‍රම්ප්, රුසියාවේ පුටින්, ඉන්දියාවේ මෝඩි සහ තුර්කියේ එර්දොගාන් ආදින්ගේ ආණ්ඩු අධිකාරීත්ව-ජනප්‍රියවාදයේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම අධිකාරීවාදය ප්‍රකට කරන ලක්ෂ්‍යය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් කෙරෙහි මෙම ආණ්ඩුවල තිබෙන නුරුස්සනසුලු ආකල්පයයි. අනෙක් අතට විදේශිකයන් කෙරෙහි තිබෙන සැකය හා ස්වකීය වාර්ගික ප්‍රජාවන් ආරක්ෂා කරගැනීම සඳහා යැයි ඔවුන් නගන ස්වෝත්තමවාදී ව්‍යාජෝක් තීන් තුළ ජනප්‍රියවාදී ගතිස්වභාවයන් අන්තර්ගත වේ. යුරෝපයේ හා ලෝකයේ වෙනත් තැන්වල මෑතකාලීනව අප දුටු පරිදි අන්ත දක්ෂිණාංශික පක්ෂ වාර්තා කළ සැලකිය යුතු මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන්නේ ඉහත කී පන්නයේ අධිකාරීත්ව-ජනප්‍රියවාදයන් ලෝකය පුරා ශක්තිමත් වෙමින් තිබෙන ආකාරයයි.

කෙසේ වූවද අධිකාරීත්ව-ජනප්‍රියවාදය ගැන අදහස අලුත් එකක් නොව කාලයක් තිස්සේ සංවාදයට භාජනය වී තිබෙන්නකි. 1970 ගණන්වල අග මාග්‍රට් තැචර් බලය ගැනීමත් සමග බි්‍රතාන්‍යයේ සිදු වූ දේශපාලන තැන් මාරුව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමුඛ මාක්ස්වාදී සංස්කෘතික විචාරකයෙකු වන ස්ටුවර්ට් හෝල් අධිකාරීත්ව-ජනප්‍රියවාදය ගැන අදහස පාවිච්චි කළේය. හෝල්ගේ මෙම විවේචනාත්මක මැදිහත්වීම එවකට ඇති වී තිබුණු ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ සමග තීරණාත්මක ලෙස දක්ෂිණාංශය දෙසට සිදු වූ දේශපාලන හැරවුම විසින් වාමාංශික දේශපාලනයට එල්ල කළ තර්ජනයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැක.

තැචර්වාදය විසින් යෝජනා කළ දෘෂ්ටිවාදී සටන් පාඨ සහ ව්‍යුහාත්මක ආර්ථික අර්බුදය විසදීමට එය යෝජනා කළ ආර්ථික වැඩසටහන් අතර ප්‍රතිවිරෝධය හෝල් සිය ලිවීම්වල දී පැහැදිලි කරයි. තැචර්වාදයට ආර්ථික අර්බුදය විසඳිය නොහැකි බවත් ආර්ථික ස්ථායීතාව ඇති කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වූවද, ඒ සමගම, දක්ෂිණාංශය දිශාවට සිදුවන දෘෂ්ටිවාදී හැරවුමේ තිබෙන බියකරුභාවය හෙතෙම හඳුනාගත් අතර දක්ෂිණාංශික රෙජිමයේ පැවැත්ම හුදෙක් ආර්ථික සාධක මතම තීන්දු නොවන බවට පෙන්වා දුන්නේය. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඔහු වාමාංශයට යෝජනා කළ විසඳුම වූයේ සමාජ සුබසාධක රාජ්‍යය විසුරුවා හැරීම සහ වෘත්තීය සමිති මර්දනය කිරීම නිසා පීඩාවට පත් වූ, ඒ වගේම අනිත් අතට ‘නීතිය හා සාමය‘ අරමුණු කොටගත් වර්ගවාදී හා බැහැර කිරීම්වාදී ප්‍රතිපත්ති නිසා අසහනයට ලක් වූ සුදු ජාතික කම්කරුවන්, කළු ජාතික කම්කරුවන් සහ ස්ත්‍රීවාදීන් ආදි විවිධ කොටස් අතර ඓතිහාසික සන්ධානයන් ගොඩ නැගීමය.

සිත්ගන්නාසුලු කරුණ නම්, හෝල් අධිකාරීත්ව-ජනප්‍රියවාදය ගැන මේ සංකල්පය ඉදිරිපත් කළේ අප අද නව ලිබරල් යුගයේ ආරම්භය ලෙස සලකන 1970 ගණන්වල අග භාගයේ වීමය. මේ යුගයේ නව ලිබරල් ව්‍යාපෘතිය ඉදිරියට තල්ලු කළ ලෝකයේ විවිධ ආණ්ඩු – බි්‍රතාන්‍යයේ තැචර්, එක්සත් ජනපදයේ රේගන්, චිලීහි පිනෝෂේ සහ ලංකාව ගත් විට ජේ.ආර්. ජයවර්ධන ආදි ලෙස – ආර්ථිකය හැඩගැස්වීමෙහි ලා අධිකාරිවාදී ප්‍රවේශයක් පෙන්නුම් කළේය. වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීම සහ 1970 ගණන්වල ආර්ථික අවපාතයෙන් ඉක්බිති ලාභ වැඩි කරගැනීම සඳහා වූ ධනපති පංතියේ පංතිමය අභිලාෂයන් සඳහා පහසුකම් සලසනු වස් සමාජ සුබසාධක රාජ්‍යය දුර්වල කළ නව ලිබරල් පිළිවෙත්වලට විරෝධය පෑ වෘත්තීය සමිති සහ වෙනත් ජනතා ව්‍යාපාර මැඩීම සඳහා මෙම ආණ්ඩු විසින් රාජ්‍ය මර්දනයේ විවිධ ආකෘති පාවිච්චි කළේය.

ද්විත්ව අභියෝගය
ලෝකයේ වෙනත් තැන්වල වගේම ශ්‍රී ලංකාවේ දී අප මේ වනවිට අත්දකිමින් සිටින්නේ වේගවත් වන නව ලිබරල් ප්‍රතිපත්තීන් සහ අධිකාරීත්ව-ජනප්‍රියවාදය අතර සිරවීමකි. එක් අතෙකින් දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය කවර හෝ මිලක් යටතේ නව ලිබරල් ප්‍රතිපත්තීන් යථාවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර අනෙක් අතට රාජපක්ෂවාදී බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස්වල සහ ස්වෝත්තමවාදී බලවේගවල සහයෝගය සහිතව සිදුකරන ජනප්‍රියවාදී ජන පෙළගැස්මක් තුළින් බලය ගැනීමට කුරුමානම් අල්ලමින් සිටී.
සිරිසේන-වික්‍රමසිංහ රජය මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් දියත් කළ නව ලිබරල් ව්‍යාපෘතීන් තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටී. සයිටම් ආයතනයේ ආරක්ෂාව වෙනුවෙන් එම රජය කරන මැදිහත්වීම තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව පුද්ගලිකකරණය කිරීමට එය දක්වන නැඹුරුව පැහැදිලි වන අතර පෝට් සිටි ආදි දැවැන්ත යටිතල පහසුකම් සම්පාදන ව්‍යාපෘති සහ ආසියානු සංවර්ධන බැංකුව සමග වසර කිහිපයකට පෙර කතිකා කොට සම්පාදිත මූල්‍යකරණය සඳහා පහසුකම් සලසන ජාත්‍යන්තර වාණිජ මධ්‍යස්ථානයක් ඇති කිරීම ආදි ක්‍රියාමාර්ග තුළ මෙම එලැඹුම වඩාත් නිරූපිතය. මේ ව්‍යාපෘතීන් පසුගිය ආණ්ඩුවට මෙන්ම මෙම රජයට ද පොදු වූ ඒවා වෙයි. රාජපක්ෂ යුගයේ දී සිදු වූ වෘත්තීය සමිති සහ වෙනත් ජනතා සංවිධානවලට එරෙහි බිය ගැන්වීම් හා ප්‍රහාරයන් මගින් එම රෙජීමයේ අධිකාරිවාදී සහ මිලිටරිවාදී පෙනුම ප්‍රකට විය. වත්මන් රජය මෙම පිළිවෙත් ක්‍රියාවට නංවමින් සිටින්නේ ඒවා යුක්ති යුක්ත කිරීම සඳහා වූ ප්‍රබල දෘෂ්ටිවාදී මෙහෙයුමක් සමග ශාරීරික ප්‍රහාර සංයෝග කරමිනි. මෙය වෙළෙඳපොළ ප්‍රසාරණය කෙරෙහි රජයට තිබෙන කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය විදහා දක්වයි.

මෙම පසුබිම තුළ, රාජපක්ෂ රෙජීමයේ අවශේෂයන් විසින් ලෝකයේ වෙනත් තැන්වල සිදුවන ජනප්‍රියවාදී රැල්ල වැන්නක් ලංකාව තුළ ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටී යැයි කිව හැක. ආර්ථිකමය තලයේ වැඩෙන අතෘප්තීන් අධිකාරීත්ව-ජනප්‍රියවාදී ව්‍යාපෘතියක් තුළට ගොනු කරමින් පරිහාණියට පත්වන ශ්‍රී ලංකාවේ ජාතික ගැලවුම්කරුවා බවට පත්විය හැකි නව රාජපක්ෂ රජයක් පිළිබඳ සංකල්පනයක් එය විසින් ගොඩනගමින් සිටී.

කෙසේ වූවද ඇති වී තිබෙන අර්බුදය ධනවාදයේ අර්බුදයක් වන අතර නව ලිබරල්වාදය හෝ අධිකාරීත්ව-ජනප්‍රියවාදය ඊට පිළියම් ඉදිරිපත් කිරීමෙහි ලා අසමත්ය. ඔවුන් ක්‍රියාවට නංවන විවිධ පිළිවෙත්වල අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජයේ පංති විෂමතාව උග්‍ර කරවන, එනම් ධනවතුන් වඩාත් ධනවතුන් බවට හා දුප්පතුන් වඩාත් දුප්පතුන් බවට පත්කරවන ආර්ථිකය යළි යළිත් ප්‍රතිනිෂ්පාදනය කිරීමය. නව ලිබරල්වාදය පුද්ගලවාදය උත්කර්ෂයට නංවමින් ඒ අනුව සමාජ සබඳතා වෙනස් කිරීමට උත්සාහ කරයි. ඒ අනුව සමාජයේ ආන්තික කොටස් විසින් නගන කවර හෝ සාමූහික ප්‍රතිවිරෝධය පෑමක් මර්දනය කිරීමට වෑයම් කරයි. අනෙක් අතට අධිකාරීත්ව-ජනප්‍රියවාදය සුළු ජාතික ප්‍රජාවන් බිල්ලන් ලෙස මවා පෙන්වමින් සහ විදේශිකයන් කෙරෙහි වූ වෛරී සහගත දේශපාලන ආකල්ප ප්‍රචලිත කරමින් ජනයා දෛනික ජීවිතයේ මුහුණ දෙන අසහනයේ සැබෑ හේතූන්ගෙන් අවධානය වෙනත් අතකට හැරවීමට උත්සාහ ගනී.

නව ලිබරල් දෘෂ්ටිවාදය නිදහස් වෙළෙඳාම, ගෝලීයකරණය සහ තනි පුද්ගල වගකීම අවධාරණය කරන අතර අධිකාරීත්ව-ජාතිකවාදය විසින් ආරක්ෂණවාදය, ආර්ථික ජාතිකවාදය සහ සුළු ජාතීන් හා සංක්‍රමණිකයන් වෙත අවලාද නැගීම නියෝජනය කරයි. එහෙත් මේ කිසිදු ප්‍රවණතාවක් සමකාලීන ධනවාදයේ සමුච්චනය සඳහා තීරණාත්මක වන ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට අභියෝග නොකරන අතර අද ලෝකය අත්දකිමින් සිටින නැවත නැවත ඇතිවෙමින් තිබෙන ආර්ථික අර්බුදවල මූලය වන්නේ මෙකී මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වයයි.

ට්‍රම්ප්ගේ දේශපාලනය
ධනවාදයේ අර්බුදයන් ආමන්ත්‍රණය කිරීමට නම් ආර්ථික ක්‍රමය ව්‍යුහාත්මක ලෙස වෙනස් කළ යුතුය. 2008 අර්බුදයෙන් පසු එය සතුව තිබෙන අතිමහත් අධිරාජ්‍යමය බලය සහිතව පවා එක්සත් ජනපදයට එම අර්බුදය සාර්ථකව අතික්‍රමණය කළ නොහැකි විය. ධනවාදී පද්ධතියට අනන්‍ය ආර්ථික අස්ථායීත්වය දේශපාලන අස්ථායීත්වය ජනනය කිරීමට ආධාර කරන සාධකයකි. 2008 අර්බුදය නව ලිබරල්මය ලෙස හැසිරවීමට දරනු ලැබූ උත්සාහය විසිනි ට්‍රම්ප්ගේ වර්ගවාදී සහ ස්වෝත්තමවාදී ව්‍යාපෘතියට පාර කපනු ලැබුවේ.

කෙසේ වූවද මූල්‍ය අර්බුදයේ හේතූන් ආමන්ත්‍රණය කිරීමට හෝ එවැනි අර්බුද එක්සත් ජනපද ආර්ථිකය තුළ නැවත ඇති වීම වැලැක්වීමට ට්‍රම්ප් කිසිදු දෙයක් සිදු කොට නැත. ආරක්ෂණවාදය පිළිබඳ සිය පොරොන්දු මත රැඳෙමින් ශාන්තිකර හා අත්ලාන්තික් කලාපීය නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ගෙන යාම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කොට තිබෙන බව සැබෑය. එහෙත් සමකාලීන ගෝලීය කරණයේ මධ්‍ය ලක්ෂ්‍යය වන මූල්‍යකරණය සහ මූල්‍ය ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර ගලනය ඉදිරියේ ඔහු නිහඬය. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ගෙන් සමන්විත වූ ඔහුගේ පරිපාලනය 2008 අර්බුදයට සහ එක්සත් ජනපදය තුළ අසමානතා උග්‍ර වීමට වග කිව යුතු වෝල් වීදියට අභියෝග කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

අනෙක් අතට, සුදු ජාතික ස්වෝත්තමවාදයට ට්‍රම්ප් ලබා දෙන සහයෝගය ගත් විට ඔහුගේ ආර්ථික ජාතිකවාදය ඔහුගේ ජනප්‍රියවාදී ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඔහු වටා දක්ෂිණාංශික සමාජ පදනමක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබේ. ට්‍රම්ප්ගේ දේශපාලනයට එක්සත් ජනපදයේ ආර්ථික ගැටලුවලට උත්තර නැත. එහෙත් ඔහුගේ ප්‍රතිපත්තීන් විසින් ඇමරිකානු සමාජය වර්ගෝත්තමවාදී පදනම් මත කැබැලි කරමින් තිබෙන අතර ලෝක පරිමාණව ගත් විට හිංසනය සහ ඇතැම් විට යුද්ධ පවා ඇති කිරීමට තුඩු දෙන අන්තරාදායක සාධකයක් ලෙස මතු වෙමින් ඇත.

සමානාත්මතාව
මෙම සන්දර්භය තුළ, වෘත්තීය සමිති, සමුපකාර සහ සමාජ ව්‍යාපාර ආදි ප්‍රගතිශීලී බලවේග ඉදිරියේ තිබෙන අභියෝගය වන්නේ නව ලිබරල්වාදයට සහ අධිකාරීත්ව-ජනප්‍රියවාදයට එක්වර විරෝධය පෑමය. හුදු විරෝධය පෑම පමණක් මෙහි දී ප්‍රමාණවත් නොවන අතර එම විරෝධය විකල්ප වැඩසටහනක් මගින් සහ ශක්තිමක් දෘෂ්ටිවාදී අරගලයක් මගින් අනුබල ලද එකක් විය යුතුය.

එවැනි විකල්පයක් සඳහා වූ එක් වැදගත් වේදිකාවක් වන්නේ සමානාත්මතාව සඳහා වූ ඉල්ලීමයි. පංතිමය, ස්ත්‍රී-පුරුෂමය, වාර්ගිකමය, ආගමික, කුල සහ වෙනත් ආකාරවල අසමානතා එරෙහි අරගලයක් ලෙස එය මතු කළ හැක. සමානාත්මතාව බැරෑරුම් ලෙස ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ‘නීතිය ඉදිරියේ සමානාත්මතාව‘ පිළිබඳ ලිබරල් සූත්‍රයට එහා ගිය යමකි. පුද්ගලවාදය සහ අස්වාමීකරණය ප්‍රවර්ධනය කරන නව ලිබරල් ආර්ථික ක්‍රියාවලීන්ට අභියෝග කිරීම සහ අනෙක් අතට සුළුතර ප්‍රජාවන් හා ‘පිටස්තරයන්ට‘ එරෙහිව එල්ල වන ජනප්‍රියවාදී ප්‍රහාරවලට ශක්තිමත්ව මුහුණ දීම සමානත්මතාව සඳහා වූ පුළුල් ව්‍යාපෘතියක භූමිකාව වන්නේය.

ආර්ථික ප්‍රජාතන්ත්‍ර වාදයෙන් තොර සමානාත්මතාව යන්න පැවතිය නොහැක. නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, ආහාර සහනාධාර සහ රජය විසින් කරනු ලබන නිවාස ව්‍යාපෘතීන් ආදිය මගින් තහවුරු කරන ආහාර සහ නිවාස අයිතිය විසින් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සඳහා ගෞරවාන්විත ශ්‍රම කොන්දේසි යටතේ සේවය කිරීමට ශ්‍රමිකයාට තිබෙන අයිතිය යනාදියෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහස සංලක්ෂිතය. තවද, ආදායමේ සහ ධනයේ අසමානතාව අවම කිරීම සදහා ධනය ප්‍රතිව්‍යාප්ත කිරීම අරමුණු කොට ගත් අනුක්‍රමික බදු පිළිවෙතක් සමානාත්මතාව සඳහා අවශ්‍ය කෙරෙන අතර ධන බදු, දේපළ බදු ආදියෙන් සහ රාජ්‍ය සුබසාධනයන්ගෙන් එවැනි වැඩපිළිවෙළක් සමන්විත විය යුතුය.

පෞද්ගලික වගකීම අවධාරණය කරනු ලබන නව ලිබරල්වාදය ප්‍රාග්ධනයේ වාසිය සඳහා අවශ්‍ය ව්‍යාපාර හිතවාදී පරිසරයක් ඇති කිරීම මිස අන් කිසිදු කටයුත්තක් රජය විසින් ඉටු නොකරන බවට වගබලා ගන්නා අතර ‘සමාජය යනුවෙන් දෙයක් නැත‘ යන තැචර්ගේ සුප්‍රකට ප්‍රකාශය තුළ මෙම ප්‍රවේශය මනාව පිළිබිඹු වේ. අධිකාරීත්ව-ජනප්‍රියවාදය ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රයට බාධා නොකරයි. ඒ වෙනුවට තිබිය හැක්කේ එක සමාජයකි යන අදහස – එනම් සමජාතීය, ඒක-වාර්ගික හා ස්වෝත්තමවාදී සමාජයක් බවට වූ අදහස සමග ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රය පාස්සනු ලබයි. සමාජයේ බහුවිධතාව සහ සියලු ජනතාවගේ සමාජ හා ආර්ථික ජීවිතය කෙරෙහි තිබෙන සමාජයට තිබෙන වගකීම පිළිබඳ අදහස ආරක්ෂා කළ යුතුය. එය ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා සමානාත්මතාව පිළිබඳ රැඩිකල් සංකල්පනයක් අවශ්‍ය කරනු ඇත.■