රාවය

ඔලිම්පික් නිලවරණයට පෙර

ඔලිම්පික් නිලවරණයට පෙර

ඒ. වික්‍රමසුරිය

මේ යන රටාවට අනුව මෙරට ඔලිම්පික් නිලවරණය තව මාස හයකටවත් පැවැත්විය නොහැකි බව නොරහසකි. ක්‍රීඩා සංගම් බොහෝමයක නිලවරණ පැවැත්වීම තවමත් නිල වශයෙන් අවසන් නැත. ඔලිම්පික් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගම් සියල්ලෙහි නිලවරණ අවසන් නොකොට ඔලිම්පික් නිලවරණය පැවැත්විය නොහැකිය. එය ඔක්තෝබර් මාසයේ හැකිවනු ඇතැයි ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා නොබෝදා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. එහෙත් එය යථාවක් නොවේ. ඊට තව මාස හයක් හෝ ගතවනු ඇතිය. එය ඔහුගේ අඩුවක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයේ නොහැකියාවකි.

ක්‍රීඩා අමාත්‍යාංශය බොහෝ කඩිනමින් දේවල් කරන බවට ප්‍රකාශ නිකුත් කළද ඒවා ප්‍රකාශ පමණක්මය. ක්‍රියාවෙන් ඒවා වන ලකුණක්ද නොපෙනේ. මේ හැම කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට දක්‍ෂ මිනිසුන් අවශ්‍යය. අද ක්‍රීඩා අමාත්‍යාංශයේ නැත්තේම එවැනි අයය. ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම ක්‍රීඩා ඇමතිගේ වැඩක් නොවේ. එය ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ රාජකාරියකි. එහෙත් ඔහු ඒ වෙනුවෙන් වෙහෙසනවා දැයි නොපෙනේ. එලෙස වෙහෙසෙන්නට තරම් ශක්තියක් ඔහු සතුව ඇත්දැයි යන්නත් ප්‍රශ්නයකි. මෑත ඉතිහාසය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයට ආ දුර්වලම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මොහු විය යුතුය. එහෙව් අයකු සමඟ දුර ගමනක් යන්නට හදන වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගැන කනගාටුය.

ඔලිම්පික් නිලවරණයට මෙවර ඉදිරිපත් වීමට නව චරිත සූදානමින් සිටි ඒ අතර සභාපති පුටුවට රොහාන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වීමට නියමිතය. ඔහුගේ නම හෝ කරලියට ආවේ හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පසු එම තනතුරට දමන චරිතය ලෙස ඔසවා තැබූ නිසාය. එලෙස ඔසවා තැබුවේද අනෙකෙකු නොව හේමසිරි මහතාමය. එහෙත් අද ඔහු සභාපති පුටුවට එන්නේ හේමසිරි ප්‍රනාන්දු පාර්ශ්වය නියෝජනය කරමින් නොවේ. ඩයන් ගෝමස් පාර්ශ්වය නියෝජනය කරමිනි. කල දුටු කල වළ ඉහ ගැනීම කදිම කලාවකි. රොහාන් ප්‍රනාන්දු මහතා මේ පෙන්වනුයේ ඒ දස්කමය. පසුගිය කාලය දෙස බලද්දී හේමසිරි ප්‍රනාන්දු මහතා ඇමති අලුත්ගමගේ සමඟ ගැටුණේය. ඒ අලුත්ගමගේ ඇමතිවරයා ඩිලාන් පෙරේරා ඔලිම්පික් පුටුවේ වාඩි කර වීමට ගත් උත්සාහයට වඩා එම තැන මිත්‍ර ඩිලාන්ට අරගෙන දීමට කළ හැකි උපරිම දේ කළ නිසාය. ඒ මොහොතේ සියල්ල හේමසිරි මහතාට විරුද්ධ තැනකට තල්ලු විය. එයින් ඔහු බොහෝ කලකිරුණු බව පෙනුණි. ක්‍රීඩා පනතේ රෙගුලාසි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශවලට නොගැළපෙද්දී ඒ අවුල දිග්ගැසුණ අතර ඔලිම්පික් නිලවරණද කල් ගියේය. අලුත්ගමගේ ඇමතිවරයා ගෙදර ගොස් නව ආණ්ඩුවක් පැමිණ වසර දෙකක් ගතවුවද අදටත් ඒ ගැට ලිහාගත නොහැකි වී ඇත. මේ කාලය තුළ හේමසිරි ප්‍රනාන්දුගේ භූමිකාව නැති තරම්ය. මේ නිහඬකම තුළ ඔහුට ඇති බලය සිඳී ඇතැයිද ඒ වෙනුවට ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වන ඩයන් ගෝමස් ප්‍රබල චරිතයක් ලෙසද සිතා රොහාන් ප්‍රනාන්දු හේමසිරි පිල අතහැර හොර රහසේම ඩයන් පිලට හේත්තු වන්නේය. දැන් හේමසිරි ප්‍රනාන්දු පිල කිසිවකු ගෙන එනු ඇතැයි පෙනෙන්නට නැත. ඒ අනුව තරගය නිතරගයෙන් දිනන හැඩය. එනම් රොහාන් සභාපති වීම නියතවම සිදුවන බවය. එයට ඔහු කල් යල් බලා ගැසූ බල්ටිය අපූරුය. හැමෝම කැමති දිනන අස්සයාට ඔට්ටු ඇල්ලීමටය. හේමසිරි ප්‍රනාන්දු මහතා නැවත ඔලිම්පික් සභාපතිකම නොඉල්ලන බවට කිහිප වරක්ම ශපථ කොට තිබුණි. අද වුව ඔලිම්පික් නිවහනේ සම්පූර්ණ භාරකාරයා එහි ලේකම් මැක්ස්වෙල් සිල්වාය. ඔහු තනි අධිකාරියක් පවත්වාගෙන යයි. එය හේමසිරි ප්‍රනාන්දු දැනුවත්ව හෝ නොදැනුවත්ව වනවා විය හැක. කෙසේ වෙතත් ලේකම් තනතුරට මෙවරද මැක්ස්වෙල් ඉල්ලීමට නියමිතය. ඔහුට ලොකු තරගයක් මෙවර ඇත. ඒ ඩයන් ගෝමස්ගෙනි. ප්‍රතිවාදී පිලේ ලේකම් ඔහුය. සභාපතිකමට මැක්ස්වෙල්ගේ පිලට තවම කෙනෙක් නැත. එහෙත් එය එලසම පවතීද යන්නත් සැකයකි. හේමසිරි ප්‍රනාන්දු තමන්ගේ පුටුවට ගෙනෙන්න ගිය පසු ඔහු කලකිරී තව කෙනෙකු නොපෙනෙනු ඇතැයි බොහෝ අයගේ විශ්වාසය විය. එහෙත් ඔහුගේ සහය තවමත් අලුත් තරගකරුවෙකුට විශාල වාසියක් වනු ඇතිය. බොහෝ අය මෑතකදී සිතනුයේ ඔහු බලයෙන් පිරිහී ඇති බවය. එහෙත් එය එසේ විය හැකිද? දීර්ඝ කාලයක් ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය දැරූ ඔහු තව කෙනකුට සහාය දුනහොත් ඔහු දිනවීම අපහසු නොවනු ඇත යන්න අපගේ හැඟීමය. එය වෙනම කරුණකි.

අනෙක් අතට ඩයන් ගෝමස් වැනි චරිතයක් ලේකම් ලෙස මෙවර ඔලිම්පික් කමිටුවට පත්විය හැකිය. එලෙස වුවද නොවුවද ඔහුට ඔලිම්පික් එකට ඉල්ලන්ට හෝ සදාචාරමය අයිතියක් නැති බව අපගේ හැඟීමය. ඒ වෙන කිසිවක් නිසා නොව අලුත්ගමගේ සමඟ ඔලිම්පික් කමිටුවට එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ගොස් කේලම් කීවේ ඩයන් නිසාය. එසේනම් එවැනි අයෙකු එම නිවහනටම ඒම විලිලැජ්ජා නැති වැඩකි. තවද බොක්සිං ගිය ක්‍රීඩකයන් දෙපළක්ම තහනම් උත්තේජක ගත්තේ ඔහු නොදැනුවත්ව නොවන බව අපගේ හැඟීමය. එවැනි අයෙකු ඔලිම්පික් වැනි තැනක සිටින විට එම ක්‍රීඩාවේ අභාග්‍යයමය. කෙසේ වෙතත් ඔලිම්පික් නිවහන කාටත් විවෘතය. එයට හොඳ අය පත්කර ගැනීම කාගේත් වගකීමය. සමහර විට මේ අශ්වයන් හැර වෙන අශ්වයන් රේස් එක දිනිය හැකිය. එහෙත් ප්‍රශ්නය අපට හොඳ අය තෝරා ගන්නට සිදුව ඇත්තේ මේ නරක අය අතුරින්ම වීමය.■