රාවය

අවුරුදු දහයේ අම්මා සහ ගබ්සාව

අවුරුදු දහයේ අම්මා සහ ගබ්සාව

අරුණ ජයවර්ධන

ඕ හරිම සාමාන්‍ය දැරියකි. ඉක්මනින් සිනාවෙන නමුත් අඩුවෙන් කතාකරන, ලජ්ජාශීලී දැරියකි. හයවැනි ශ්‍රේණියේ උගනින ඇගේ ප්‍රියතම විෂයයන් වන්නේ ගණිතය හා ඉංග්‍රීසිය. චිත්‍ර අඳින්නට ආසා කළා පමණක් නොව, ඒ සඳහා සැලකිය යුතු හැකියාවක්ද ඈ වෙත විය. කුකුළු මස්, මාළුවලට මෙන්ම අයිස්ක්‍රීම්වලටද ඇය විශේෂයෙන් කැමැතිය. පියා සාමාන්‍ය රජයේ සේවකයෙකි. මව නිවෙස්වල අත්වැඩ කරමින් මුදලක් ඉපැයුවාය. මහල් නිවාසයක තනි කාමරයේ ගෙය ඔවුන්ගේ සාමකාමී නිවස විය.

ඉහත කී කිසිවකින් නම් ඇය විශේෂ තැනැත්තියක නොවන බව පැහැදිලි වනු ඇත. එහෙත්, ඇය විශේෂය. ඒ, දරුවකුට උපත දුන් වයස අවුරුදු දහයක ‘අම්මා’ ඈ නිසාය. උතුරු ඉන්දියාවේ චන්දිගාර් ප්‍රදේශයෙන් ඇරඹී මුළු ඉන්දියාවම කැළඹූ දැරිය ඈය. අපි ඇයට ගීතායැයි කියමු.
ගීතාගේ ‘දරුවාගේ පියා’, ඒ ගෙදරට ආ ගිය මාමා කෙනෙකි. ගතවුණු මාස හතක් තුළ අඩු ගණනේ හය වතාවක් ඔහු ඈ දූෂණය කොට තිබුණේය. එහි ප්‍රතිඵල ලෙස කුසෙහි දරුවකු පිළිසිඳගත් නමුත්, ගීතා එවැන්නක් ගැන කිසිත් නොදත්තාය. සෞඛ්‍ය සම්පන්න පිරුණු සිරුරැති ඇගෙන් දරුගැබක ලකුණක් මවද නොදුටුවාය. හැරත්, අවුරුදු දහයක දැරියක ගැබක් දරති’යි කෙලෙස, කවරකු සිතන්නද? එහෙත් පසුගිය ජුලි මාසයේ මැද දිනයක බඬේ අමාරුවක් ගැන ඇය මවට කීවාය. මව විසින් රෝහල වෙත ඈ ගෙන යන ලද්දීය. වෛද්‍යවරයා රෝගය සොයාගත්තේය. ඇගේ කුසෙහි සති 32ක් වයසැ’ති දරුවෙක්ෟ එහෙත් වෛද්‍යවරයා ගීතාට ඒ ගැන කිසිවක් කීවේ නැත. කීවේ, ඇගේ කුස තුළ ඇති ගලක් නිසා, බඩ ඉදිරියට ඇවිත් ඇති බව පමණකි. එහෙත්, එතැන් සිට ගතවුණු හැම දවසක්ම ඇගේ මවට කඳුළු පිරුණු දවසක් විය. පියා සිතුවේ තම දියණිය කිසිවකු විසින් මරා දමනු ලැබ ඇත්තී කියාය.

මේ, අනුවේදනීය කතාවකට වඩා එහා යන දෙයකි. දෙමව්පියෝ චන්දිගාර් දිස්ත්‍රික් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. ඒ, සිය දියණිය දූෂණයට ලක්වීමෙන් පිළිසිඳ ගැනුණු කළලය ගබ්සා කරන්නට ඉඩ දෙන ලෙස ඉල්ලමිනි. අධිකරණය ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළේය. ඒ ඉන්දියාවේ ගබ්සාව සපුරාම තහනම් නිසා නොවේ. එකක්, ඉන්දියාවේ, වෛi විiානුකුලව ගර්භනීභාවය අවසන්කිරීමේ පනත අනුව, සති 20කට වඩා වයසැති කලලයක් ගබ්සා කරන්නට අවසර නැති නිසාය. අනෙක, මේ නිරෝගී, වැඩුණු කලලය ගබ්සා කිරීමෙන් ගීතාගේ ජීවිතයට අනතුරක් විය හැකියැ’යි වෛiවරුන් කී නිසාය. අධිකරණයේ තීන්දුව වුණේ, තමාට අතවර කළ මාමාගේ දරුවකු ගීතාගේ කුසෙන් බිහිකරන්නටය කියාය. මව්පියෝ ඒ තීන්දුව භාරගන්නට අකමැති වූහ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. ශ්‍රේෂ්ඨාධිකරණයද ජූලි 28වැනිදා ඒ තීන්දුව ස්ථිර කළේය. හේතු පෙර දැක්වූ ඒවාමය.
තමා අනතුරේ හෙලූ අපරාධකාරයාගේ දරුවකු වදන්නට දස හැවිරිදි ගීතාට නීතිය විසින් බලකරනු ලැබ තිබුණි. එහෙත්, දරුවකු වදන්නට ඇගේ ළමා සිරුර සූදානම්වී තිබුණේ නැත. සාමාන්‍යයෙන් අවුරුදු 9ක වයසේ සිට දැරියක මල්වර වී දරු පිළිසිඳීමකට සූදානම් වන නමුත්, දරුවකු වදන්නට අවශ්‍ය උකුලෙහි හා වෙනත් වෙනස්කම් එවැනි වයසකදී සම්පූර්ණ වන්නේ නැත. එනිසා, ස්වාභාවික ලෙස දරුවා වැදීම ඇයට කොහොමටවත් නොහැකිය.

අවසානයේ, අගෝස්තු 17 වැනිදා ගීතාගේ කුසෙහි වූ ‘ගෙඩිය’ සිසේරියන් සැත්කමකින් වෛද්‍යවරු පිටතට ගත්හ. රාත්තල් 4.8ක් වයසැති දරුවෙක්. ඒ වෙලාවේ ඇගේ පියා, රෝහලෙන් පිටවී කොහේ හෝ යන්නට හැදුවේය. ගීතාට මේ මොහොතේ තාත්තාගේ ආදරය අවශ්‍යම බව හිතවතුන් නොකියන්නට, ඔහු හිස හැරුණු අතේ යනු ඇත. දරුවාත්, දස හැවිරිදි මවත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටි නමුත්, සති 35ක් වුණු දරුවා නොමේරූ ළදරු ඒකකයට යවන්නට සිදුවිය. ගීතා ඒ කිසිවක් දන්නේ නැත. එහෙත් අමුතු කිසිවක් සිදුවන බව ඇයට තේරුම් නොයන්නට ඇතිවාද නොවේ. ඇගේ දෙමාපියෝ අලුත උපන් දරුවා සිටින පැත්තවත් බලන්නට කැමති නොවූහ. අඩු ගණනේ ගැහැනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියා දැනගන්නටවත්. ‘පියා’ (ඔහු දැන් රිමාන්ඞ් භාරයේය.) කළ වරදට ‘මව’ද අහිමිවුණු, කිසි වරදක් නොකළ ඒ දරුවා, කිසිවකු දරුකමට ගන්නා තෙක් ළමා සුබසාධන මධ්‍යස්ථානයක හැදෙනු ඇත.

ගීතාගේ කතාව පසුගිය දිනවල ඉන්දියාවේ මාධ්‍යවල සිරස්තල අඩුවක් නැතිව ඩැහැගත්තේය. එහෙත්, ඒ කිසි මාධ්‍යයක්, ගීතාගේවත් ඇගේ දරුවාගේවත්, මව්පියන්ගේවත් ඡායාරූප පළකර තමන්ගේ මාධ්‍යය අලෙවි කරගන්නට කැත උත්සාහයක් ගත් බව දැනගන්නට නැත. වෛද්‍යවරුන් කීවේ, ඉන්දියාවේ ළමා අපයෝජන බහුල නමුත්, දස හැවිරිදි දැරියක දරුවකුට උපත දුන් පළමු අවස්ථාව මේ බවය.

නීතිය බාධා කළත්, කලලයට වයස සති 20 පිරුණු පසුවත් ගබ්සා කරන්නට ඉල්ලමින් ඉන්දියාවේ අධිකරණවලට ඉල්ලීම් ඉදිරිපත්වීම විරල දෙයක් නොවේ. ඒ බොහෝ ඉල්ලීම් කුඩා දැරියන් වෙනුවෙනි. කලලයේ වයස ඒ තරම් මෝරන්නේ, මුල් කාලයේ කලලයක් කුස පිළිසිඳ ගෙන ඇති බව ඒ දැරියන් නොදන්නා නිසාත්, ඒ බව හඳුනාගන්නේ කල් ඉකුත්වී නිසාත්ය. කොහොම වුණත් උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ අධිකරණය සති 21ක කලලයක් ගබ්සා කළ හැකියැයි තීන්දු කළේ වෛද්‍ය විiා පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ විශේෂඥයන්ගේ මතය අනුව යමිනි. ඒ ද දස හැවිරිදි දැරියකි. ඇගේ බාප්පා විසින් ඇය අපයෝජනයෙහි යොදවනු ලැබ තිබුණි.

ගැහැනුකම බරක් හා අපවාදයක් ලෙස සලකා ගැහැනු කලල ගබ්සා කිරීම ගැන ඉන්දියාව ප්‍රසිද්ධය. කුසෙහි පිළිසිඳගෙන ඇත්තේ ගැහැනු කලලයක් බව වෛද්‍ය පරීක්‍ෂණවලින් දැනගන්නා දෙමාපියෝ ඒ කලල ගබ්සා කිරීමට උත්සාහ කරති. වසරකට මිලියන ගණනින් මෙවැනි ගබ්සා සිදුවන බව වාර්තා කියයි. ඒ නිසා ගබ්සා සම්බන්ධයෙන් ඉතා තද ප්‍රතිපත්තියක් ඉන්දියාවේ වෙයි.
එහෙත්, ඉන්දියාවේ ළමා අපයෝජන ඊටත් වඩා ඉහළය. යුනිසෙෆ් වාර්තා අනුව, සෑම විනාඩි 155කටම වරක් වයස 16ට අඩු දැරියක දූෂණයට ලක්වෙයි. සෑම පැය 13කටම වරක් වයස 10ට අඩු දැරියක දූෂණයට ලක්වෙයි. 2015 දී එහි දරුවෝ 10,000කට වඩා දූෂණයට ලක්වූහ. ඉන්දියාවේ මිලියන 240ක් කාන්තාවෝ වයස 18 ලබන්නට පෙර විවාහ වූවෝ වෙති. රජයේ සමීක්‍ෂණයකට සහභාගිවුණු දරුවන්ගෙන් සියයට 53.22ක් කවර හෝ ආකාරයකට අතවරයට ලක්වූවෝ වෙති. අපයෝජකයන්ගෙන් සියයට 50කටත් වඩා ඒ ඒ දරුවන්ගේ සමීපතම නෑදෑයෝය. 2012දී නිර්භයා නම් ආරූඪ නමින් හැඳින්වුණු සරසවි සිසුවිය දූෂණය කිරීමෙන් පසු, දූෂණයන්ට විරුද්ධව ඉන්දියාව බරපතළ පියවර ගත් නමුත්, 2011ත් 2016ත් අතර කාලය තුළ ඉන්දියාවේ වාර්තා වන දූෂණ සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් තිබේ.

ගීතාගේ කතාවෙන් අවධාරණය කෙරෙන අනෙක් පැත්ත වන්නේ, මෙවැනි ක්‍ෂතිමය අත්දැකීමකට මුහුණ දුන් දරුවකුගේ මානසික තත්ත්වය පුනරුත්ථාපනය කරන්නේ කෙසේද යන්නයි. ගෞරව කිරීම, පුනරුත්ථාපනය, ප්‍රකෘති තත්ත්වයට නැවත පත්කිරීම යන කාරණා තුන ගැන එහිදි අවධානය යොමුකළ යුතු බව ඉන්දීය විශේෂඥයෝ කියති. ‘දිගින් දිගටම ගීතාට යළි සාමාන්‍ය තත්ත්වයට ඒමට සහාය වීම, උපදේශනය අවශ්‍යයි. ඇයට අවශ්‍ය පුනරුත්ථාපනය මිස කිලිටි නිවසක අත්හැරදැමීමක් නොවේ. ඇයට ගෞරව කරන තැනෙක ඈ රැඳිය යුතුයි. ඇයටත් සමගම මනෝවිiාත්මක මැදිහත්වීමක් ඇගේ මාපියන්ටත් අවශ්‍යයි. ඒ වාගේම අලුත් නගරයක, අලුත් අනන්‍යතාවක් යටතේ අලුත් ජීවිතයක් ඇයට අවශ්‍යයි.’

නිර්භයා දූෂණයට ලක්ව මියගිය අවස්ථාවේ ඇතිවුණු පරිද්දෙන්ම දරුවන් ලිංගික අපරාධවලට ලක්වීම සම්බන්ධයෙන් දැන් නැවතත් ඉන්දියාවේ උද්ඝෝෂණ, සාකච්ඡා හා සංවාද ඇතිවී තිබේ. ගීතාගේ කතාව වැදගත් වන්නේ, දූෂණයට ලක්ව කලලයක් පිළිසිඳගත් පසු, ඒ කලලය ගබ්සා කරන්නට අවසර ඉල්ලද්දීත් නීතිය ඊට එරෙහිවීම නිසාවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා වැරදිකරුවෙක් නොවේ. එය ගීතා දෙස බැලුවේ මානුෂිකවය. කලලය ගබ්සා කිරීමට ඉඩ නොදුන්නේ ඉතා හොඳින් වැඩුණු කලලයක් ගබ්සා කිරීම නිසා ගීතාගේ ජීවිතයට හානියක් වේවිය කියන පදනමෙනි. ඒ උපදේශය අධිකරණයට දුන්නෝ වෛi විශේෂඥවරුය. එහෙත්, ගීතාට වැඩිම යහපත සිදුවන්නේ කලලය ගබ්සා කිරීමෙන් බව කියූ වෛiවරුද සිටියෝය.

ලිංගික අතවරවලට ගොදුරුවීම නිසා පිළිසිඳ ගන්නා කලලයක් ගබ්සා කරන්නට නීතියෙන් ඉඩදීම ඉතාම මානුෂික වුවමනාවකි. නැතහොත්, බිහිවන දරුවා නිසා ඇතිවන සමාජ ව්‍යාකුලභාවය විසින් විශාල ගැටලු ප්‍රමාණයක් ඇතිකරන බව අලුතෙන් පැහැදිලි කළ යුතු නොවේ.
මේ තත්ත්වයම මහා පරිමාණයෙන් විවිධ යුද ගැටුම්වලදී ප්‍රයෝජනයට ගැනෙයි. විශේෂයෙන් ජනවර්ග අතර ඇතිවන ගැටුම්වලදී ප්‍රතිපාර්ශ්වයේ ගැහැනුන් සමූහ වශයෙන් දූෂණය කිරීම සැලසුම්සහගත ලෙස කෙරෙයි. එහි එක් අරමුණක් වන්නේ, ප්‍රතිපාර්ශ්වයේ අභිමානය බිඳදැමීමයි. දූෂණයට ලක්වන ගැහැනුන් අතින් බිහිවන්නට ඉඩ ඇත්තේ තමන්ගේ සතුරන්ගේ දරුවන්ය. ඒ මගින් අදාළ ජනවර්ගය තුළ ඇති කෙරන්නේ මහත් ව්‍යාකුලත්වයකි. දෙවැනි අරමුණ එවැනි අවුලක් ඇතිකිරීමයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන විදියට, යුද්ධයකදී ගැහැනු සිරුරද යුදපිටියේම කොටසකි. ලිංගික අපයෝජනය හා දූෂණය යුද ගැටුමක අතුරු සිදුවීම් නොවේ. හොඳින් සැලසුම් කොට කරන ප්‍රහාරයකි. සර්බියා-බොස්නියා ගැටුම, 1971 දී ස්වාධීනත්වය සඳහා බංග්ලාදේශයේ සිදුවුණු ගැටුම්, 1937 ජපානයේ නැන්කින් ආක්‍රමණය, සුඩාන ගැටුම්, රුවන්ඩාවේ වාර්ගික ගැටුම් මෙවැනි ලිංගික ප්‍රහාර ගැන මෑතකාලීන උදාහරණය. 1971දී බංග්ලාදේශ නිදහස්කාමී කණ්ඩායම්වලයට එරෙහිව පාකිස්තානු හමුදා කළ මෙහෙයුම්වලදී බංග්ලාදේශ කාන්තාවන් දෙලක්‍ෂයක් පමණ දූෂණයට ලක්කෙරුණැයි කියනු ලැබේ. පාකිස්තාන හමුදාවේ සටන් පාඨයක් ලෙස කියවුණේ, ‘අපි නුඹලා (බංග්ලාදේශ ගැහැනුන්) පන්ජාබ් දරුවන් බිහිකිරීමට යොදාගනිමු’ යන්නය.

ලිංගික අතවරවලට ලක්වීමෙන් ඇතිවන කලලයක් ගබ්සා කිරීමට නීතියෙන් ඉඩදීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙනඒමට දැන් ලංකාවේද කතාබහ කෙරෙයි. ලංකාවේ ගබ්සා නීතිය කෙතරම් දැඩිදැ’යි කියනවා නම්, මෙලෙස ලිංගික අතවරයකට ලක්වූවන්ට පවා ගබ්සාවක් කරගැනීමට ඉඩ නොදෙයි. එය ඉතාම අමානුෂිකය. ලංකාවේ ගබ්සාවකට ඉඩ ඇත්තේ කලලයෙන් මවගේ ජීවිතයට හානියක් සිදුවන්නේ නම් පමණකි. ගබ්සා නීතිය ලිහිල් කළ යුතු නැතැ’යි කියන කතෝලික පල්ලිය ඇතුළු පුහු සදාචාරවාදීන් මෙවැනි දරුවන් බිහිවීම නිසා ඇතිවන ව්‍යාකුලභාවය ගැන කිසිවක් කියන්නේ නැත. ‘දෙවියන්ගේ කැමැත්ත, දෙවියන්ගේ කැමැත්ත’යැයි අන්ධව මතුරමින් සිටිනවා පමණකි. ඒ දරුවන් පල්ලිය භාරගන්නේද නැත. තමාට අපරාධයක් කළ තැනැත්තකුගේ දරුවකු කුස තුළ පිළිසිඳගැනීමත් ඒ දරුවා බිහිකිරීමත් අතර ගැබ්කාලය තුළ එවැනි කාන්තාවක විඳින සමාජීය, මානසික හා ආත්මීය වධය පල්ලියට තේරුම් ගත හැකිද?

නීතියේ ලිහිලක් යෝජනා කරන වෛi විශේෂඥයන් කියන්නේ, නීතියෙන් ඒ ඉඩ දිය යුතු නමුත් කලලය ගබ්සා කරනවාද නැද්ද යන අවසාන තීරණය ගැනීම අදාළ කාන්තාවට දිය හැකි බවය. ඒ නිසා, නීතියෙන් ඉඩ තිබුණා වුණත්, අවශ්‍ය නම් ගබ්සා නොකරගෙන සිටීමට කාන්තාවට හැකිය.
ගබ්සා නීතිය ලිහිල් කළ යුතුය. රටේ නීතියක් ගැන බාධාකරන්නට පල්ලියට නොහැකිය. පල්ලියට කළ හැක්කේ, නීතිය තිබෙනවා වුණත් ගබ්සා නොකරගෙන සිටින ලෙස කතෝලික ආගමික භක්තිකයන්ගෙන් හා අන් අයගෙන් ඉල්ලා සිටීමයි. පල්ලියේ ඉල්ලීම අසා එවැනි ගබ්සා නොකරගෙන සිටින්නේ කොපමණ පිරිසක්දැයි එවිට දැනගත හැකිය. පල්ලියට ඇත්ත වශයෙන්ම අවනත කෙතරම් සුළු පිරිසක්දැයිද එවිට බලාගත හැකිය.■