රාවය

හොස්ටල් එක

හොස්ටල් එක

තරිඳු උඩුවරගෙදර

ශිෂ්‍යත්වය ලියන්නේ ශිෂ්‍යාධාරය වෙනුවෙන් නොවන බව දැන් ප්‍රසිද්ධ රහසක්. ඒ ලැබෙන සොච්චමෙන් කිසිවෙක්ට පලක් නැහැ. බොහෝ දෙනෙකුගේ හීනය ජනප්‍රිය පාසලකට ඇතුළුවීමයි. ඒ හීනය හැබෑ කරගත් සුළුතරයක් අතරිනුත් සුළු පිරිසක් කොළඹින් පිට පළාත්වල ඉඳන් කොළඹ ජනප්‍රිය පාසලක නේවාසිකාගාරයක ඉඩ වෙන් කරගන්නවා. ශිෂ්‍යත්වය ගැන අසන්න ලැබෙන හැම වරම මට සිහිවෙන්නේ නේවාසිකාගාර ජීවිතය. කීදෙනෙක් මෙවර ඒ ජීවිතය අරඹයිද?
කොළඹ පාසලක නේවාසිකාගාරයක පදිංචි ලබන්නේ ගුලියක් වන් වේදනාවක් හිර කරගත්තු දරුවන් පිරිසක්. අවුරුදු එකොළහේ බාලයන්ට හොස්ටල් යෑම හීනයක් හැබෑවීමක් වුණත් නිවසෙන් වෙන්වීම වේදනාවක්. හොස්ටල් එකක නීති දහස් ගණනක් පිළිපදින්න සිදුවීම නිසා ඒ වේදනාව ගුප්ත බියක් බවට පත්වෙනවා. බොහෝදෙනෙක්ට නීති, විනය කියන්නෙ හුරු දේවල් නෙවෙයි.
රෝහලක මෙන් පිළිවෙළට සැකසූ ඇඳවල්, අඳුරු ගුහාවල් මෙන් නුහුරු පරිසරය, නාඳුනන මුහුණු, අපහසු කාලසටහන් පිරි තැනක ජීවිතයට හුරුවීම පහසු දෙයක් නෙවෙයි. මාස ගණනාවකින් නේවාසිකාගාර දිවියට හුරුවෙන මේ දරුවන් ජීවිතය අවසාන වන තුරු අමතක නොවෙන අත්දැකීම් රැසක් ලබන බව ඇත්ත. එහෙත් මුල් පියවර කිහිපය නම් ළමා හිත්වලට දරාගන්න බැරි අත්දැකීමක්.

දැන් හැරී බලද්දී නේවාසිකාගාර දිවිය පමණක් නෙවෙයි, කොළඹ ජනප්‍රිය පාසලකට එන්නට ලැබීම නිසා මට ලැබුණු දේවල් බොහොමයි. ක්‍රීඩා හතළිස් ගණනක් අතරින් තෝරාගත් ක්‍රීඩා විස්සකට ළංවෙන ගණනක් ගැන අත්දැකීම් ලබන්නට, විවිධාකාර විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නට මෙන්ම එකිනෙකට වෙනස් පුද්ගලයන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණේ ජනප්‍රිය පාසල නිසායි. ඒ නිසා නේවාසිකාගාර දිවිය ගැන පසුතැවිල්ලක් නැහැ. එහෙත් කුඩා දරුවෙක්ට නේවාසිකාගාරයක විඳින්නට වෙන අඳුරු අත්දැකීම් සිහිවෙද්දී වසරක් පාසා ශිෂ්‍යත්වය සමත්වෙන දරුවන් ගැන බියක්ද ඇතිවෙනවා. නේවාසිකාගාර දිවියත් සරසවි දිවිය වගේමයි. බොහෝදෙනෙකුගේ ජීවිත සාර්ථක කරගන්නට හේතුවෙන මේ කාලය තවත් බොහෝදෙනෙකුගේ ජීවිත අඳුරු කරන්න සමත් වෙනවා. ජීවිතයක් විනාශ කරන්නට තරම් පොහොර නේවාසිකාගාර දිවියක තියෙනවා. නවක වධය ගැන සාකච්ඡා වෙලා තිබුණත් නේවාසිකාගාර දිවිය ගැන එවන් සාකච්ඡා ඇතිවෙලා නැහැ.
චමල් නේවාසිකාගාරයේ සිටි එක් මිතුරෙක්. ඔහු ගණිතයට අතිදක්ෂයෙක්. හයවැනි ශ්‍රේණියේදී ඔහු එකොළහ ශ්‍රේණියේ සිටි නේවාසිකාගාරයේ ලොකුම අයියලාගේ ගණන් විසඳූ හැටි හොඳින් මතකයි. අසාමාන්‍ය බුද්ධියක් ඇති දරුවෙක් වුණත් ඔහු අපිරිසිදු, දඟකාර අවුරුදු එකොළහේ දරුවෙක්. මේ අපිළිවෙළ ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය එක්කම ආ දෙයක් වෙන්නැති. අයින්ස්ටයින් ස්වරයක් ඔහුගේ හැසිරීම් ඇතුළේ තිබුණා. අපිළිවෙළ නිසාම චමල් පැමිණි දිනයේ පටන් නේවාසිකාගාරය භාරව සිටි ගුරුවරයාගේ නරක අවධානයට ලක්වුණා. ඒ නේවාසිකාගාරයේ පාලකයා ලෙස හිටියේ පාසලේම ගුරුවරයෙක්. කමල් සර්. ඔහුගෙන් කිහිප වතාවක්ම පහරකන්නට චමල්ට සිදුවුණේ නේවාසිකාගාරයට පැමිණ මාසයක් පමණ ගතවෙද්දී.

නේවාසිකාගාරයක පහරකෑම කියන්නේ පුංචි වේවැල් පහරවල් නෙවෙයි. දරුණු වධහිංසා.
නිවසේදී චමල් අසීමිත නිදහසක් සමඟ හැදී තිබුණේ. කමල් සර්ගේ පහරකෑම් නිසා ක්‍රමයෙන් ඔහු මානසික පීඩනයට පත්වුණා. දඟකාරයා කල්පනාකාරයෙක් බවට පත්වුණා. ඔහු පුංචි වරදක් වුණත් බියවෙන තත්ත්වයට පත්වුණා. හැකිතරම් පහර නොකා සිටීම ඔහුගේ එකම වුවමනාව බවට පත්වුණා. එහෙත් චමල් ඇතුළේ සිටි ගණන්කාරයා එක්වර මියගියේ නැහැ. ඔය අතරේ ඔහුගේ ‘මහා වරදක්’ කර හසුවුණා. ඒ තමයි පාසලේ හය ශ්‍රේණියට අයිති නොවන සාමාන්‍ය පෙළ සිසුන්ගේ පුස්තකාලයක ගණිතය පොත් තුනක් අනවසරයෙන් ගැනීම. හොරෙන් ළඟ තබාගැනීම. ඔහු මා එක්ක කීවේ එය ගත්තේ ගණන් හදා යළි තැන්පත් කරන්නට මිස හොර හිතකින් නොවන බව. ඒත් වැරැද්ද වැරැද්දමයි. පහර පිට පහරකෑ චමල්ට අස්වෙන්නැයි කමල් සර්ගෙන් අණ ලැබුණා. අම්පාරෙන් ආ චමල් ඉවත්වුණා. ඉන්පසුව කෙදිනකවත් මා නේවාසිකාගාරයට පැමිණෙද්දී දැකපු අර විනෝදබර චමල් දකින්නට ලැබුණේ නෑ. පාසලෙන් අස් නොවුණ ඔහු යළි දකින්න ලැබුණේ බියසුල්ලෙක් විදියට. වැඩිපුර කතා නොකරන නිහඬ දරුවෙක් ලෙස. ඔහු තුළ කලින් සිටි අර විශිෂ්ට ගණිත සිසුවා යළි කවදාවත් දකින්න ලැබුණේ නෑ.චමල්ට හිමිව තිබුණු දීප්තිමත් අනාගතය නේවාසිකාගාර දිවිය විසින් අඳුරු කළ බව මගේ හැඟීමයි.

දුරකතන ඇමතුම්
සිසුන්ට දුරකථන ඇමතුම් ගන්නට එකල ක්‍රම දෙකක් තිබුණා. කාසි දමන දුරකථනයකින් නිවසට කතා කරන්නට පුළුවන්. අනෙක් දුරකථනයට එන ඇමතුම් පමණයි. කාසි තොග ගණන් අවැසි නිසා එන ඇමතුම් ඇති දුරකථනය පමණක් අපට දීර්ඝ ඇමතුම්වලට පාවිච්චි කරන්නට සිදුවුණා. කාසි දුරකථනය හදිසි පණිවුඩවලට. අප කාලයක් යනතෙක් දැන නොසිටි කාරණයක් තමයි කමල් සර්ට නේවාසිකාගාරයේම උඩුමහලේ තිබුණු තමන්ගේ නිල නිවසේ ඉඳන් අපේ දුරකථන ඇමතුම්වලට ඇහුම්කන් දිය හැකි බව. සිසුන් බොහෝදෙනෙක් තමන් කළ දේවල් මෙන්ම, කමල් සර් ගැනත් ගෙදර අය සමඟ කියන දේවල් ඔහු අහගෙන හිටියා. තමන්ගේ මිතුරෙක් කළ වැරදි වැඩක් ඇතැම්විට හසුවුණේ මිතුරා ගැන කමල් සර්ට කේලම් කී නිසා නෙවෙයි, දුරකථනයෙන් ගෙදරට කී නිසා. මේ බව දැනගත්තාට පස්සේ අසරණ සිසුන් දුරකථනයෙන් කතා කළේ තමන්ට ඉහළින් අසා සිටින්නා ගැන රහස් බියකින්. අදත් මා දුරකථන ඇමතුමක ඉන්නකොට වසර කිහිපයක් තිස්සේ තිබුණු අර බියෙහි සේයාවන් මතුවෙනවා. ඒ මගේ ඇමතුමක් නිසා පහරකෑමට ලක්නොවුණු පසුබිමක. දුරකථන ඇමතුමක් වැරදී පහර කෑ දරුවෙක්ට අදත් ඒ බිය ජීවිතය අඳුරු කරන්නට සමත් වෙන්නැති.

කමල් සර්ට කේන්ති යෑම මරණීය කරදරවලට අතවැනීමක්. කාංචන නම් සිසුවෙක්ට කමල් සර් පහරදීමෙන් සිසුවා සිහිනැතිවූ බව අපට අසන්නට ලැබී ඇති කතාවක්. එය අප හොස්ටල් එකට එන්න කලින් වූ සිදුවීමක්. මා දහ පහළොස්වතාවක් පහර කා ඇති අයුරු සිහිවෙද්දී එදා සිසුන් ලෙස අප ඒවා කෙසේ දරාගෙන සිටියාදැයි සිතාගන්නත් අසීරුයි.

පහරදීම මෙන්ම දරුණු වචනවලින් බැණවැදීමත් කමල් සර්ගේ පාලනයේ එක් කොටසක්. කෙළින්ම මව්පියවරුන් ඉලක්ක කරන දරුණු වචන ඔහුගේ පරිභව වාග්මාලාවේ තිබුණා. මව්පියවරුන් ඉලක්ක කරමින් කරන බැණවැදීම් කියන්නේ එකල කුඩා දරුවෙකුගේ සංවේදීම තැන ඉලක්ක කිරීමක්.

නේවාසිකාගාරයේ දුරකථන දෙකක් තිබුණු බව පෙර පැවසුවා. ඒ දුරකථන දෙක ළඟම බිත්තියේ කාලයක් තිස්සේ හෑරුණු හිල් දෙකක් තිබුණා. ඒ හිල් ක්‍රමයෙන් මහත්වුණේ සිසුන් ඇමතුමක සිටිද්දී ඒ හිලෙහි ඇඟිල්ල ඔබන්නට පුරුදුවී සිටි නිසා. මෙය කමල් සර්ගේ අවධානයට ලක්ව තිබුණා. ඔහු ඒ ගැන කිසිවක් කතා කළේ නැහැ. ඔහු කළේ සිසුවෙක් ඇමතුමක් ගන්නා අවස්ථාවක පැමිණ ඔහු අර හිලෙහි ඇඟිල්ල ඔබන අයුරු මඳ වෙලාවක් බලාගෙන සිට එක්වරම ඇමතුමේ සිටින සිසුවාට පහර පිට පහර ගැසීමයි. ඒ අතර ඔහු හිලේ ඇඟිල්ල එබීම සහ මව සම්බන්ධ කරමින් කී කතාව ඇමතුමේ සිටි සිසුවා අතින් ගිලිහී ගිය රිසීවරය හරහා මවටත් ඇසී තිබුණා. මතකයේ හැටියට ඒ සිසුවා ටික කාලයක් තුළ නේවාසිකාගාරයෙන් ඉවත් කරගන්නට මාපියන් කටයුතු කර තිබුණා.

තවත් වරක් යතුරක් උඩ දමා ගසක රඳවා උඩ පැන එය අරගන්නට තවත් සිසුන් පිරිසකට අභියෝග කරමින් සිටි සිසුවෙකුට පහරකෑමට ලක්වීමට සිදුවූ අයුරු මට සිහිවෙනවා. තාත්තාගේ අවයවයක යතුර එල්ලා අම්මාට උඩ පැන අල්ලන්න කියපන්යැයි ඒ සිසුවාට බැණ වදිමින් එදා කී බව මතකයේ තියෙනවා. ඒ සිසුවා දින කිහිපයක්ම ඒ සිදුවීමේ පීඩනය වින්දා.

වරක් ආහාර ශාලාවේ මල් පෝච්චියක් ඇතුළට කවුරුන් හෝ රාබු වෑංජනයක් ඔබා තිබූ බව කමල් සර්ට හසුවී තිබුණා. එදින ආහාර ශාලාවෙන් කෑම කා අන්තිමට පැමිණි සිසුවා සොයන්නට ඔහුට වුවමනා වුණා. අන්තිමට පැමිණියේ මායි. ඉතින් රාබු වෑංජනයේ වගකීම මා පිට පැවරුවා. එදින මා ඇසුවේත් අම්මා සම්බන්ධ කරගත්තු දරුණු වාග් ප්‍රහාරයක්. කිසිදා නොකළ වරදක් නිසා සිය ගණනක සිසුන් ඉදිරිපිට එවැන්නක් අසන්නට සිදුවීම ගැන යළි සිහිවෙද්දීත් මට දැනෙන්නේ දැඩි ආත්මානුකම්පාවක්. වේදනාවක්. වසර තුනකට පසුව මට සැබැවින්ම රාබු වෑංජනය දැමූ සිසුවා තමන් කළ දේ කිව්වා. මගෙන් සමාව ඉල්ලුවා. ගුටිකෑමට බියෙන් එසේ කළ ඔහු ගැන මට තරහක් ඇතිවුණේ නැහැ.

මේ එක් නේවාසිකාගාරයක එක් ගුරුවරයෙක් ගැන කතාවක් පමණක් නෙවෙයි. වෙනත් නේවාසිකාගාරවල හිංසනය වෙනත් අයුරෙන් පැවතුණා.
කමල් සර් දෙවතාවක් තමන්ට නුරුස්සන සිසුන් සමලිංගික චෝදනා මත ඉවත් කළා. සමකාමී වීම බරපතළ වරදක් වුණා. සමකාමී හෝ කාන්තා ඉරියව් සහිත සිසුන් දැඩි හිංසාවට පත්වුණේ කමල් සර්ගෙන් පමණක් නෙවෙයි. නේවාසිකාගාරයේ අනෙක් සිසුන්ගෙන්ද හිංසාවට පත්වුණා. මමත් ඒ හිංසනයට සහයෝගය දුන් බව දැන් සිහිවෙනවා. ඔවුන්ගේ අනාගතයන් අඳුරු කරන්නට එකල සිදුවූ සිදුවීම් ප්‍රමාණවත්. මා දන්නා තවත් නේවාසිකාගාරවල වැඩිමහල් සිසුන් අතින්ද හිංසනය දැඩිව ක්‍රියාත්මක වී තිබුණා. මා මෙතැන හිංසනයයැයි කියන්නේ කායික හිංසනය පමණක් නොවෙයි. ඇතැම් සිසුන් දරුණු ලෙස මානසික හිංසනයන්ට ලක්වුණා. වඩා දරුණු හිංසනයත් එයයි. ඇතැම්විට සිසුන් කොන්වීම, විහිළුවට ලකම්ම, විවිධාකාර නවක වදයන්ට හසුවීම විය හැකියි. වැඩිමහල් සිසුන්ගේ පහරකෑම්වලට නිතිපතා ලක්වීමත් විය හැකියි. එවන් සිදුවීම් ගැන අත්දැකීම් බොහෝයි.

වරක් මා බීම බෝතලයකින් බිමට හැලූ නිල් දියරයක් ඉවත් කරන්නට වැඩිමහල් සිසුවෙක් මාව උඩුයටිකුරු කර මගේ මුහුණෙන් පොළොව පිසදැම්මා. මා හය ශ්‍රේණියේ සිටියදී කෑම කෑ මේසයේ සිටි අනෙක් සාමාජිකයන් වැඩිමහල් සිසුන්. ඔවුන්ට කන්නට බැරි කෑම වර්ග සියල්ල වැටුණේ මගේ පිඟානට. ඒවා මා කෑ යුතු වුණා. අප්‍රියාවෙන් හඬමින් ඒවා කෑ හැටි අදත් මතකයි. පසුකාලයේ මා විසිනුත් ළාබාල සිසුන් එවන් හිංසාවන්ට ලක් කළා. වාචික, මානසික හිංසනය අප සරල දෙයක් ලෙස කල්පනා කළත් තවත් කෙනෙකුගේ ජීවිතයම විනාශ කරන්නට ඒ හිංසනය හේතු වෙන්නට පුළුවන්.
මේ සියල්ලට අමතරව නේවාසිකාගාරයක ලිංගික වශයෙන් සිදුවන අඩත්තේට්ටම්ද නැතිවා නෙවෙයි. ඒ මාතෘකාව ඉතා සංවේදීයි. ඇතැම් දරුවන් නේවාසිකාගාරය ඇතුලේදී දරුණු ලිංගික හිංසනයන්ට ලක්වීම ගැන මා සජීවී සාක්ෂිකරුවෙක්. ඇතැම් දරුවන් තම ලිංගේන්ද්‍රය කුඩා වීම නිසා විඳි පීඩනය කෙතරම්ද? තවත් සමහරු කාන්තා හැසිරීම් නිසා ලිංගික හිංසාවන්ට පත්වුණා. එවන් සිදුවීම් එක් නේවාසිකාගාරයකට සීමාවෙලා නැහැ.

අනෙක් ක්‍රමය ජාතිකත්වය මත හිංසාවට පත්වීම. කලක් නේවාසිකාගාරයේ සිටි පාලකයාම මුස්ලිම් සිසුන් හැඳින්වූවේ ‘මුස්ලිම් කොංග්‍රසය’ ලෙස. විශේෂයෙන් මුස්ලිම් සිසුන් මුස්ලිම් වීම නිසාම විවිධාකාරයෙන් හිංසනයන්ට ලක්වුණා. නේවාසිකාගාර දිවිය බොහෝ දෙනෙකුට මතක ඇත්තේ සුන්දරම අත්දැකීමක් ලෙස. ලියුම්කරුටත් එසේයි. ඒත් සැලකිය යුතු පිරිසකට අඳුරුම කාලයක් ලෙස මේ කාලය මතක තිබෙනවා ඇති.

අරුණෝද් මා සමඟම සිටි මිතුරෙක්. ඔහු නේවාසිකාගාරයේ සතුටින් සිටි බවයි මා සිතා සිටියේ. එහෙත් නවය ශ්‍රේණියේදී වරක් ඔහුට දරුණු ලෙස උණ ගැනුණා. උණ සනීප වී නැවත පැමිණි ඔහු නේවාසිකාගාරයෙන් ඉවත්ව ගියා. පසුව ඔහු කිව්වේ තමන් හොස්ටල් එකේ ඉන්නට බැරි බව කියමින් උණ විකාරයෙන් හඬා ඇති බවයි. ඔහුට නේවාසිකාගාර දිවිය එපා වෙන්නට හේතු බොහොමයක් ඇති. අපටවත් කියා නැතිව ඇති.

හොස්ටල් කියන්නෙ බොහෝ දෙනෙකුගේ ඇස් නොගැසුණු කලාපයක්. එහෙත් පාසල් නේවාසිකාගාරවලට පැමිණෙන පාලකයන් ගැන පාසල් පරිපාලනය මෙන්ම සිසුන්ගේ මාපියන්ද දැඩිව සැලකිලිමත් විය යුතුයි. හොස්ටල් පාලකයන් නිර්මාණශීලී විය යුතුයි. එහෙත් බොහෝ දෙනෙකු සාම්ප්‍රදායික මිනිසුන්. නේවාසිකාගාරයක දරුවන් නිර්මාණශිලීව පාලනය කිරීමට ඔවුන්ට අත්දැකීම් නැහැ. ඔවුන් හිතන්නේ දරුණු නීති දමා විනය රැකීම ගැන පමණයි. ඒ නිසා පාලකයන් සහ සිසුන් අතර සමීප බැඳීම් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම්විට පාලකයන් අතින් මෙන්ම පාලකයන්ගේ ඇසට නොපෙනී සිසුන් අතරම දරුණු හිංසනයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.■
(මෙහි යොදා ඇත්තේ සැබෑ
නම් ගම් නොවේ.)