රාවය

තාත්තා හැම පොතකටම වඩා විශාල පොතක් | ජනක ඉණිමංකඩ

තාත්තා හැම පොතකටම වඩා විශාල පොතක් | ජනක ඉණිමංකඩ

ටිරන්කුමාර බංගගම ආරච්චි

ජනකට පොත් පිළිබඳ ආශාව වැඩෙන්නේ කොහොමද?
මම උසස් පෙළ පන්තියට එනකම් කියවලා තිබුණේ ‘සත්පෙති මල,’ ‘මනුතාපය’ කියන පොත් දෙක විතරයි. එහෙම පොත් කියවන්න කියලා ආශාවක් උනන්දුවක්වත් තිබිලාත් නැහැ. මම ඉගෙනගත්තේ කළුබෝවිල මහා විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ දක්වා විතරයි පන්ති තිබුණේ. උසස් පෙළ තිබුණාට ක්‍රමවත්ව තිබුණේ නැහැ. එවකට විදුහල්පති ඊඩබ්ලිව් විජේසිංහ මහත්තයා. අපේ විදුහල්පතිට ලොකු මිත්‍රමකමක් තිබුණා ධර්ම ගුණසිංහ මහත්තයා එක්ක. එතුමා සිරි ගුණසිංහ මහත්තයාගේ මල්ලී. ඒ වාගේම කොළඹ නාලන්ද විiාලයේ විදුහල්පති. මේ මිත්‍රකම මත අපේ විදුහල්පති අපේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත්වන හොඳම පස්දෙනා නාලන්ද විiාලයට දාන්න ගත්තා. මමත් මේ පස්දෙනාගේ ගොඩට වැටුණා. ඉතින් මමත් උසස් පෙළ කරන්න නාලන්ද විiාලයට ගියා.

මෙහේ පුංචි පාසල. සාමාන්‍ය පවුල්වල අය තමයි ආවේ. ඒ නිසා හැමදේම සාමාන්‍ය විදිහට තමයි දැනුණේ. ඒත් නාලන්දයට ගියාම ලොකු අතරමංවීමක් වගේ වුණා. පාසලේ ලොකුකම, විශාල ගොඩනැගිලි, ළමයින්ගේ ලොකුකම් හැම දෙයක්ම අතරේ නුහුරු බවක් තමයි තිබුණේ. ඒ වගේම අලුත් ළමයිට රැග් දෙනවා. මේ රැග් එකෙන් බේරෙන්න මම කළේ පාසලට ගිය වෙළේ ඉඳලා පුස්තකාලයට රිංගාගෙන ඉඳීම.

එකක් කියන්න ඕනෑ. නාලන්ද විiාලයේ පුස්තකාල පහක් තිබුණා. මම වාණිජ අංශයට ගියේ. වාණිජ අංශයටත් වෙනම පුස්තකාලයක් තිබුණා. වාණිජ අංශයේ වුණාට සියයට අනූවක්ම තිබුණේ සාහිත්‍ය පොත්. සයිමන් සිල්වාගේ ‘මීනා’ නවකතාවේ ඉඳලා ඩබ්ලිව්ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර දක්වා පොත් ඒකේ තිබුණා. පොත් කියවීම ආරම්භ වන්නේ එතැනින්.
පස්සේ ඒකට මම ඇබ්බැහි වුණා. දවසක් ඒක විශේෂ වුණා. පුස්තකාල මේසයක් උඩ කවුරු හෝ අරගෙන ගිහිල්ලා ගෙනත් තියපු පොතක් තිබුණා. ඒවී සුරවීර මහත්තයාගේ ‘නවකතා නිර්මාණ හා අවබෝධය’ පොත. මේ පොත තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ශාස්ත්‍රීය පොතක් වුණාට සුරවීර මහත්තයා එක ලියලා තිබුණේ නවකතාවක් වගේ. හැම වර්ගයක නවකතාවකටම මෙරට සහ පිටරට කතා ඉදිරිපත් කරමින් විස්තරාත්මකව පැහැදිලිව ලියලා තිබුණා. ඒ හැම කතාවක්ම අපේ පාසල් පුස්තකාලයේ තිබුණා. මම ඒ හැම කතාවක්ම කියවන්න ගත්තා. පොත්වලට ආසාව වැඩුණු ජනක ඉණිමංකඩ කියන චරිතය අදට ඔබින විදිහට නිර්මාණය වන්න බලපෑ තිඹිරි ගෙය තමයි නාලන්ද පුස්තකාලය.

උසස් පෙළට මොකද වුණේ.
මම වාණිජ අංශයේ වුණාට පුස්තකාලයේ සාහිත්‍ය පොත් අතරේමයි හිටියේ. පාඩම් කළේ විභාගයට දවස් කිහිපයක් තියලා. කොහොම වුණත් මම සමත්. ඒ වගේම කැම්පස් යන්න මදි වුණේ එක ලකුණයි. ලකුණු 160 කැම්පස් ගත්තේ මට ලකුණු 159යි. වාණිජ විෂය කළාට ලොකු කැමැත්තක් තිබුණේ නැති නිසා කැම්පස් නොතේරුණා කියලා දුකක් ඇති වුණේත් නෑ.

ජනකගේ පවුල් පසුබිම කොහොමද?
මගේ තාත්තා විශාල ව්‍යාපාරිකයෙක්. තාත්තාගේ නම අයිකේ සිරිසේන. ඔහු විශාල ගොඩනැඟිලි කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවෙක්. ඒක තමයි එයාගේ ව්‍යාපාරය. තාත්තා ඉතාම ධෛර්යවන්ත පුද්ගලයෙක්. හතරපස් පාරක් විතර තාත්තා නැත්තටම නැති වෙන්න වැටුණා. ගෙවල් දොරවල් විකුණලා දාලා යන්න තැනක් නැතිව තාත්තාගේ සහෝදරයෙකුගේ ඉඩමක පොල් අතු පැලක් හදාගෙන ජීවත්වුණා. තාත්තා ආයේ ජීවිතය පටන් ගත්තා. තාත්තා කියන්නේ යෝධයෙක් වගේ මනුස්සයෙක්. වැටුණා වගේම නැඟිට්ටා.

මම ආසයි ඔහු ගැන තව ටිකක් දැනගන්න.
තාත්තා ගාල්ලේ බද්දේගම. එයාට අවුරුදු 16ක් වෙනකොට රුපියල් දෙකක් අරගෙන තමයි කොළඹ ඇවිත් තියෙන්නේ. ඒ ඇවිත් රත්මලාන මැලිබන් බීම ආයතනයේ වැඩ කරලා තියෙනවා. තාත්තා පදිංචි වෙලා තියෙන්නේ කළුබෝවිල. එතකොට තමයි අම්මා හම්බ වෙලා තියෙන්නේ. අම්මා මාලනි මල්ලිකා. කොහොම හරි ඔය කාලේ අලියා බීම සමාගම පටන් ගන්නකොට තාත්තා මැලිබන් එකෙන් අයින්වෙලා අලියා බීම සමාගමේ දෙහිවල ප්‍රදේශයේම ඒජන්ට් බවට පත්වෙනවා. ඒත් ඒකෙන් තාත්තා හිතා ගන්නවත් බැරි විදියට කඩාවැටෙනවා. ආයෙත් නැගිටිනවා. එහෙම ඇවිත් තමයි ගොඩනැගිලි කොන්ත්‍රාත් ආයතනයක් පටන් ගත්තේ. ඒකෙන් තාත්තා ශක්තිමත් ව්‍යාපාරිකයෙක් වුණා.

ජනක උසස් පෙළ කරලා මොකද කළේ, තාත්තා ළඟ වැඩට ගියාද?
ඔව්. උසස් පෙළ ඉවර වුණාම තාත්තාගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කිව්වා. මම වැඩ පරීක්‍ෂකවරයෙක් විදියට තමයි මුලින්ම ගියේ. කොහුවල මැක්ස්මාරා කියන ගොඩනැගිල්ල අපි එතකොට හදනවා. මම ඒකේ වැඩ පරීක්‍ෂක. මේ බිල්ඩිම පොළොවේ ඉඳලත් යටට අඩි අටක් දහයක් තියෙනවා. ඒ දවස්වල පොළොවේ යට වැඩ. මම පැය හතරයි නිදාගන්නේ. රෑ නවයට නිදාගෙන එකට නැඟිටිනවා පොත් කියවන්න. උදේ හත වෙනකම් කියවලා දඩිබිඩි ගාලා ඇඳගෙන අටට වැඩට යනවා. දවසක් මම පහළ වැඩකරන හැටි බලාගෙන ඉන්න කොට නින්ද ගිහිල්ලා පහළට වැටිලා. හොඳ වෙලාවට වැලිගොඩක් උඩට වැටිලා තිබුණේ. ඒත් ඒ වැටිල්ලට තාත්තා කිසිම සමාවක් දුන්නේ නෑ. මාව ඉවත් කළා. මම ඒ වැඬේට හරියන්නේ නැහැ කියලා. ඊළඟට මට රස්සාවක් නෑ. පොත් කියවන එක එකම රස්සාව කරගත්තා. පොත් කියවලා නිකං ඉන්නේ නෑ. ඒ ලේඛකයන්ට පොත ගැන මට දැනෙන දේත් ලියලා යවන්න ගත්තා. දයාසේන ගුණසිංහ මහත්තයායි ජයතිලක කම්මැල්ලවීර මහත්තයායි මට පිළිතුරු එව්වා. එහෙම නිතරම ලියුම් හුවමාරු කර ගත්තත් මට දයාසේන මහත්තයාව හමුවන්න බැරි වුණා. දවසක් කම්මැල්ලවීර මහත්තයා මට කතා කරලා කිව්වා විභවි කියලා සංස්කෘතික මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ චිත්‍රපට බලනවා. පොත් බලනවා. සාකච්ඡා කරනවා. ජනකත් එන්න කියලා. රස්සාවකුත් නැති නිසා මමත් එතැනට යන්න ගත්තා. පස්සේ ටික කලකින් මම ඒකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණා. ඒ ඉන්න කොට ලේඛකයෝ, විද්වත්තු, කලාකරුවෝ, මහාචාර්යවරු සමඟ හිතවත්කම් ඇති වුණා. ඒ වගේම අපි නිතර එතන ගැවසුණු කණ්ඩායමක් හිටියා. මම, මොහාන් රාජ් මඩවල, මංජුල වෙඩිවර්ධන, අජිත් ගලප්පත්ති, නුවන් ලියනගේ වගේ අද විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න අය. එතන අපේ තැන වුණා. අපිට සාහිත්‍ය න්‍යාය පිළිබඳ සෑහෙන දැනුමක් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගෙන් ලැබුණා.
ඒ වගේම කියන්න ඕනෑ මට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. පාසල් යන කාලේ මම ප්‍රසිද්ධත් ඒකටයි. මේ විභවි ගමනෙන් මට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් වුණා. චන්ද්‍රගුප්ත තේනුවර විදෙස්ගතව ඉඳලා ඇවිත් විභවියේ පටන් ගත්ත මුල්ම චිත්‍රකලා ඇකඩමියේ මමත් සාමාජිකයෙක් වුණා. ඊට පස්සේ ඡායාරූප ශිල්පයත් කාලයක් කළා.

සාහිත්‍ය උනන්දුවට මොකද වුණේ.
හැමදේම තුළ ප්‍රමුඛ තැන එතන. මම සාහිත්‍යය පරිශීලනය කරනවා. ඒ අතර කෙටිකතා රචනයේත් නියැලුණා. ඒ කෙටිකතා කියවලා ගුණදොස් කියලා සෑහෙන උනන්දුවක් ඇති කළේ කම්මැල්ලවීර මහත්තයා. ඒ වගේම සුනිල් විජේසිරිවර්ධන මහත්තයා. ඒ කාලේ තිබුණ තරගවලට අපි කෙටිකතා ඉදිරිපත් කරනවා. එක්කෝ මොහාන් එක. මං දෙක. නැත්නම් මං එක. මොහාන් දෙක.

කොහොම හරි 1996 දී මම ලංකාවේ හොඳම තරුණ කෙටිකතාකරුවා බවට පත් වෙනවා.
ප්‍රකාශකයෙක් වුණේ කොහොමද?
හැම කතාවකටම දිගු ඉතිහාසයක් තියෙනවා. මම 1996 දී ලංකාවේ හොඳම තරුණ කෙටිකතාකරුවා වෙලා ටික දවසකින් මට ඉන්දියාවට යන්න ලැබුණා. විභවි ආරාධනයකට. ඒ ගමන ගියේ කම්මැල්ලවීර මහත්තයායි පියසිරි කුලරත්න මහත්තයායි. ඒ අය මාවත් එක්කගෙන ගියා. දවස් 21ක ගමනක්. මම හයිද්‍රාබාද්වල පොත් කඬේකට ගිහින් පොත් ගත්තා. ඒ කඬේ අයිතිකාරයා හොඳට පොත් කියවන දැනුම් ඇත්තෙක්. මගේ තරුණකමට මම ගත්ත පොත් දැකලා මා ගැන පැහැදිලා එනකොට මේ පොත් දෙක ඔයාට මම ගාණේ කියලා පොත් දෙකක් දුන්නා. ඉන් එකක් මාර්කෙස්ගේ කෙටි නවකතාවක්. ඉන්දීය සංචාරයේ පැය 48ක කෝචිචි ගමනක් අපිට වැටුණා. මේ දීර්ඝ චාරිකාවේ මම අර පොත කියවලා ඒක සිංහලට දාන්න හිතුවා. එදා ගත්ත උත්සාහය මෙහේ ඇවිල්ලා සම්පූර්ණ කළා. ඒකට තව කතාවකුත් එකතු කරලා මේ පොත බලන්න දුන්නා සයිමන් නවගත්තේගම මහත්තයාට. ඒ එක්කම මම ඔහුට කිව්වා මේ පොත ගහන්න ප්‍රකාශකයෙකුත් හොයලා දෙන්න කියලා. එහෙම කිව්වාම නවගත්තේගම මහත්තයා විහිළුවට කිව්වා ‘ඔයාට මොකටද ප්‍රකාශකයෝ. තාත්තා සල්ලිකාරයානේ. තාත්තාගෙන් සල්ලි ඉල්ලාගෙන ඕක ගහන්නකෝ’ කියලා.

මටත් හිතුණා ඒක හොඳයිනේ කියලා. තාත්තා එකඟ වුණා සල්ලි දෙන්න. මම පොත කරන්න ගත්තාම නවගත්තේගම මහත්තයා කිව්වා, ඔයා අලුත් ප්‍රකාශකයෙක්නේ, ඔයාව වැඩිය කවුරුත් දන්නේ නැහැනේ. ඒ නිසා මගේ පොතකුත් දෙන්නම්, ඒකත් කරන්න කියලා. ඒ පොත ‘සංසාරාරණ්‍යයේ දඩයක ්කාරයා.’ මම ඒකත් පළකළා. මේක ව්‍යාපාරයක් විදියට පටන් ගත්තා කියලා හිතාගෙන කළේ නැහැ. මගේ පොත පළ කරගන්නයි ඕනෑකම තිබුණේ.
කොහොම හරි මේ වැඬේ ආරංචි වුණාම හිතවත් අය බොහෝමයක් කිව්වා ඒ අයගේ පොතුත් මට කරන්න කියලා. ආරියවංශ රණවීර, ගාමිණි විජේතුංග, ලියනගේ අමරකීර්ති වගේ අය ඒ අතර හිටියා. කොහොම හරි ඒ අවුරුද්දේ හොඳම පරිවර්තනය විදියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයකුත් ආරියවංශ රණවීරට ලැබුණා. ඒකත් මම ප්‍රකාශකයෙක් විදියට ඉන්න තල්ලුවක් වුණා.
හැබැයි ඔබට ප්‍රකාශකයෙක් ලෙස සාර්ථක ගමනක් යන්න බැරි වුණා.

මම අසමත් වුණා. හතර වතාවක්ම මගේ ව්‍යාපාරය කඩා වැටුණා. තාත්තා වගේම මමත් වැටුණා. ඒක ජීවිතයේ අතිශයින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක්. අවුරුදු පහළොවක් වගේ කාලයක් මට මේ දුක විඳින්න වුණා. ඒ කාලය ව්‍යාපාරය ගොඩනැගෙමින් කඩා වැටෙමින් පැවතුණා. මට තාත්තා වගේ ව්‍යාපාර ලෝකයේ නැඟිටින්න අමාරු වුණා. මගේ අනෙක් සහෝදරයෝ ඉහළ තැන්වලටම ගියා. මම පොත් අතර හිරවෙලා දුක් විඳිනවා දැකලා තාත්තා දුක් වුණා. සේරම නවත්තලා එයා ළඟට එන්න කියලා තාත්තා කිව්වා.

ඉතින් ගියාද?
යන්න බැරි වුණා. මොකද්දෝ හේතුවකට මට මේක අතාරින්න බැරි වුණා. මම මේකෙන් ලොකු ආස්වාදයක් ලැබුවා. ඒ වැටුණු වැටිලිවල වේදනාවෙනුත් මම පොත් අතර ජීවයක් දැක්කා. තනි පුද්ගලයෙක් විදියට දරන්න බැරි තරම් විශාල පීඩනයක් මැද්දේ වුණත් මම ඔලුව කෙළින් තියාගෙන හිටියේ කියවීමෙන් මම එකතු කරගත්ත දැනුම හින්දා කියලා මම අද හිතනවා.
ඒ වාගේම මම වැටිලා නැගිටින්නම බැරි තත්ත්වයක ඉන්නකොට ඒ හැම අවස්ථාවේම තාත්තා මගේ පිහිටට ආවා. තාත්තාගේ යෝධ ශක්තිය පිහිට හැමදාම මට තිබුණා.

තාත්තා ගැන ජනකට අද මොකද හිතෙන්නේ.
උතුම් පියෙක්. තාත්තා රළු චරිතයක්. මේ නිසා ඔහුට තදින් බැඳීමක් අපි තුළ තිබුණේ නැහැ. ඒත් තාත්තාගේ අවසාන කාලයේ ඔහු සමීපයේම හිටියේ මම. ඔහු කතා කරගන්න බැරිව ඇඳේ ඉන්නකොට මම පැය ගණන් තාත්තා දිහා බලාගෙන හිටියා. ඒ ඇස් මගේ දිහා බලාගෙන ඉන්නකොට තාත්තාගේ ආදරය මොනතරම් විශාලද කියලා මට තේරුණා. තාත්තාව නාවන්න ඔසවනකොට ඒ මුහුණ මගේ මුහුණට සම්මුඛ වනකොට අපි ඇස්වලින් බෙදාගත්ත බැඳීම් මගේ ජීවිතේ තියෙන තාක් නැති වෙන්නේ නැහැ. ඒ බැල්ම ආශීර්වාදය මට හැමදාම තියෙනවා. මොන තරම් පොත් කියෙව්වත් ඒ හැම පොතකටම වඩා විශාල පොතක් තාත්තා. ඔහු ඔහුගේ ළමයින්ට කරන්න දෙයක් ඉතිරි කළේ නැහැ. මටයි, අයියාටයි, නංගිටයි ඉතා ඉහළ මට්ටමේ නිවාස හදලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපි තුන්දෙනාගේම ළමයින්ට, මිණිබිරි, මුණබුරෝ හත් දෙනාටමත් සුපිරි මට්ටමේ නිවාස හදලා තියලා තමයි ඔහු නැති වුණේ.

ප්‍රකාශකයෙක් විදියට ජනක අසාර්ථක වුණේ ඇයි?
මම දරපු ප්‍රකාශන දැක්ම තමයි ඒකට හේතු වුණේ. ඒ මතයෙම නොඉඳ අධ්‍යාපන ප්‍රකාශන කරලා මට ඒ කාලේත් ගොඩ එන්න තිබුණා. ඒත් මම වෙනස් වුණේ නෑ. තාත්තාගේ රැකවරණය තිබුණ හින්දා මම හිටියේ මගේ ලෝකයේමයි. නිමාව අතිනුත් මම ඉහළම අත්හදාබැලීම් කළා. දැන් මම ප්‍රකාශකයෙක් විදියට ඉහළට එන්න දන්නවා. ඒත් පෙර ආශාව මට දැන් නැහැ. මම අවුරුද්දටම පොත් හත අටක් කරනවා. රීප්‍රින්ට්ස් තමයි ඒ අතරත් වැඩි. ඒ අතර තාත්තාගේ ව්‍යාපාර බලාගෙන ඉන්නවා.

ජනක සාර්ථක ව්‍යාපාරිකයෙක්ද?
නෑ. මම සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි. දැන් මට තියෙන ව්‍යාපාරික ඥානය, අත්දැකීම්වල ප්‍රතිඵල අනුව සාර්ථක වෙන්න පුළුවන්. ඒත් දැන් මට මුලින් කිව්වා වගේ ලොකු ව්‍යාපාර ආශාවක් නෑ. දැන් ඥාන යුගයකට ඇවිත් තියෙන්නේ. සාර්ථක ව්‍යාපාරිකයෙක් කියන්නේ තමන් විඳපු නැති ආශාවක් තෘප්ත කර ගැනීම. එහෙම ආශාවක් මට නෑ. කෙනෙක් ජීවිත කාලයෙන් කොච්චර කාලයක් කැප කරනවාද ගෙයක් හදන්න. මට ඒ කිසි දෙයක් නෑ. කොටින්ම මම දැන් මගේ දරුවන්ට ගෙවල් හදන්න සිහින මවන්නේත් නෑ. ඒවාත් තාත්තා සම්පූර්ණ කළා.

ප්‍රකාශකයෙක් විදියට ඔබට විවිධ චෝදනා එල්ල වුණා නේද?
ප්‍රකාශකයෙක් විදිහට මේ වගේ සමාජ පසුබිමකින් ආ කෙනෙක් විදියට අහන්න ඕනෑ නැති තරම් දේවල් මම අහලා තියෙනවා. ඒ අපහාස නින්දා ඕනෑ තරම් විඳලා තියෙනවා. ඒ වගේම ගෞරවයත් ඒ විදියටම ලබලා තියෙනවා. ඒ තුළ මං ගොඩනඟාගත් මානුෂික බැඳීම් දැකලා තාත්තා පවා අවසාන කාලයේ මා ගැන ගොඩක් සතුටු වුණා.

ඔබ තුළ හිටපු ලියන්නාට මොකද වුණේ. ජනක කැමති ව්‍යාපාරිකයාටද? ලියන්නාටද?
මම කැමති ලිවීමට. ලිවීමම තමයි මාව ප්‍රකාශකයෙන් කළේත්. මම කල් බලමින් ඉන්නවා මා තුළ ඉන්න ලියන්නා එක්ක තනිවෙන්න. ඒකට බැඳීම් ටිකක් තියෙනවා. ඒවායින් මිදෙන්න ඕනෑ. ප්‍රකාශකයන්ගේ සංගමයේ වගකීම්, ඒක තුළ මම කැපවන ප්‍රමාණය ලිවීමේදී වෙහෙසයි. මම වැඩක යෙදුණාම ඒ වෙනුවෙන් මවන ලෝකය විශාලයි. සීමාව ඉක්මවා ඒ තුළ ජීවත් වෙනවා. මේ කැප කිරීම නිර්මාණයක් වෙනුවෙන් කැප කරන්න නම් මම අර බැඳීම්වලින් මිදෙන්න ඕනෑ. මම හිතනවා ඒ ගැලවීමම තමයි විමුක්ති මාර්ගය කියලා.
මම දැන් ලියන්න ඕනෑ. හැම දෙයක්ම වෙනුවෙන් මම කළේ මගේ ලිවීම කල් දාන එක. මට හිතෙනවා දැන් කල් දැම්මා ඇති කියලා.

ජනකගේ ජීවිතේ වඩාත්ම ගරු කරන්නේ කාටද?
එහෙම ගරු කරන දෙපළක් ඉන්නවා. මට මේ ආර්ථික සැහැල්ලුව අත්කර දුන්න ඒ නිසාම මේ ජීවිතයම සැහැල්ලු කළේ මගේ තාත්තා. තාත්තා තමයි මගේ ජීවිතේ මම පළමුව ගරු කරන කෙනා.
ඊළඟට මම ගරු කරන්නේ අවුරුදු විසිපහක් තිස්සේ දැන හඳුනාගෙන හිටියත් වචන 100ක් වත් කතා කරලා නැති පුද්ගලයෙකුට. හැබැයි ඒ දීපු දැනුම, ඒ දීපු ඥානය, එයාගේ දේවල් කියවීමෙන් ඉගෙන ගත්ත දේ නිසා තමයි චිත්‍රපටයක් බැලුවත් ඒ චිත්‍රපටය වෙනස් විදිහකට දකින්න පුළුවන් වුණේ. නවකතාවක් කියෙව්වත් ඒක වෙනස් විදිහට දකින්න පුළුවන් වුණේ.

කොටින්ම පොත් කවරයක් කළත් ඒකත් මට කරන්න පුළුවන් වුණේ ඔහුගෙන් ලබා ගත් දැනුම නිසායි.
කවුරු මොනවා කිව්වත් ඔහු තමයි ජෙනරේෂන් එකකට මග පෙන්වපු මනුස්සයා. ඒ තමයි දිප්ති කුමාර ගුණරත්න. මගේ තාත්තාට පස්සේ මම ගරු කරන්නේ ඔහුට. මම ඔහුගේ පන්තියකටවත් ගිය කෙනෙක් නෙමෙයි. ඒත් අවංකව කියන්නේ. ඔහුගෙන් මම උගත් දේ බොහෝමයි.

අම්මා ගැන චුට්ටක් කියන්න.
අම්මා පොත පත කියෙව්ව කෙනෙක්. තාත්තා කියෙව්වේම නෑ. අපිට කියවීමට පුරුද්දක් ඇති වුණා නම් අම්මාව බලපාන්න ඇති. ඒ වගේම මාලනී මල්ලිකා නම වගේම අම්මාටත් නන්දා මාලනිගේ සිංදු ඒ විදිහටම කියන්න පුළුවන්. අම්මා පොඩි කාලේ ළමා පිටියටත් ගිහින් තියනවා. පස්සේ සිරි අයියා ගෙදරටම ඇවිත් අම්මාට එන්න කිව්වාම ආච්චි යවලා නැහැ.

ජනක ආපස්සට බලනකොට ජීවිතය ගැන තෘප්තිමත්ද?
මට දැන් ලබා ගන්න දේවල් නෑ. නැති වෙන්න දේවලුත් නෑ. මගේ ළඟ තියෙන වත්කම් පහසුවෙන් විකුණලා දැම්මත් මට කෝටි 50ක් සොයා ගන්න පුළුවනි. තව මොනවා පස්සේ හති වැටෙනකම් දුවන්නද? මම චිත්‍රවලට ඇලුම් කරන නිසා ඒ චිත්‍රවල මුල් කෘති දෑසින්ම බලා ගන්න ලෝකේ වටේ කරක් ගහනවා. සංචාරයට මම ප්‍රියයි. ඒ දේවල් දැන් උපරිම විඳිනවා. ලිවීමත් පටන් ගන්නවා. බැරි වුණොත් තාත්තා මට දීපු වත්තක් තියෙනවා. ඒ වත්තේ ගෙයක් හදාගෙන චිත්‍රපට, පොත් කියවමින් දිවි ගෙවනවා.

අඩියක් එහෙම ගහන්නේ නැද්ද?
අවුරුදු 37 වෙනකම් ඉඳහිට බියර් එකක් බීලා තියෙනවා. අවුරුදු 37දී තමයි හාඞ් ලිකර් පාවිච්චි කළේ. දැන් බොනවා. හැබැයි ඒ තනියම. මම ආසම තනියම බොන්න. මත් නොවී ඉන්න තත්ත්වයයි හොඳටම මත් නොවන තත්ත්වයයි අතර ප්‍රමාණය මම දන්නවා. ඒ ප්‍රමාණය අරගෙන මත්කම විඳින එක මට දැන් අප්‍රමාණ සතුටක් වෙලා. ඒ වින්දනයට මම කැමතියි. හවුලේ බොන්නේ එක් සගයෙක් එක්ක විතරයි. ඒක තමයි මගේ බීමේ පිළිවෙත.

‘විදර්ශන’ කියන නම ජනකව ලොකු දුරක් ගෙනාවා නේද? ඒ නම දැම්මේ කවුද?
මම අදටත් විශ්වාස කරනවා. ‘විදර්ශන’ කියන නම බලසම්පන්න නමක් කියලා. කොච්චර වැටුණත් ඒ නම මාව රඳවා ගත්තා. මගේ හැමදේම විභවි හරහා තමයි ඇතිවෙන්නේ. විභවිය ඒ දවස්වල සංස්කෘතික කලා උළෙලක් කළා ‘විiුත්’ කියලා. ඒ නම බිඳලා තමයි මං ‘විදර්ශන’ කියන නම තිබ්බේ.

විභවියෙන් හමුවුණ අනෙක් දේවල් මොනවාද?
මගේ බිරිඳ හමුවුණෙත් විභවියෙන්. ඇයත් මම වගේම විභවියට ආ කෙනෙක්. සුචරිත ගම්ලත් සර්ගේ පන්තියකට ඇය ආවා. ඒ අතරේ ඇතිවුණ ප්‍රේමය විවාහයකින් කෙළවර වුණා. මගේ තාත්තාටත් අවසාන කාලේ වටිනාම ලේලිය වුණේ ඇය. කොටින්ම තාත්තා දුවකට වගේ ඇයට ගරු කළා. තාත්තාගේ අවසාන කාලයේ මම වගේම ඇයත් ළඟින්ම හිටියා.■