රාවය

ඒක මළගිය නගරයක්

ඒක මළගිය නගරයක්

රේඛා නිලුක්ෂි හේරත්

නූවෙ අගෝස්තු එකොළහ. සඳුදා දවසක්. වෙලාව උදේ පාන්දර හතරට විතර ඇති. මට අවුරුදු විසිහයයි. ආමි එක එනවා කියලා ආරංචි වුණා. මේ ගම්මානවල හිටපු අපි හැමෝම දුවන්න ගත්තා. ඒ දුවපු මම නැවතුණේ මුලතිව්වල. ආයෙ ආවේ අවුරුදු විසිහයකට පස්සේ. 2016දී. ඒ ආවේ අපි හිටපු කන්කසන්තුරයට නෙවෙයි. පාළු සුසානයකට. අපි හිටියේ සිංගප්පූරුව වගේ තැනක. දොස්තරලා, ඉංජිනේරුවෝ, තව වැදගත් රැකියා කරන මිනිස්සු මෙහේ හිටියා. මුහුදු ගිය ධීවරයෝ හිටියා. අනෙක් අයට රස්සා දුන්නේ කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරිය. අපි ආපහු එද්දී ඒ මොනවත් නෑ.” ඔය අමලසූරී අපි එක්ක කිව්ව කතාවෙ කොටසක්. ඕක ඇහුණෙ කන්කසන්තුරේදී.

කන්කසන්තුරේ
කලෙක යාපනයටත් නොදෙවෙනි දැවැන්ත නගරයක් වුණු කන්කසන්තුරයට අපි පා තිබ්බේ පාන්දරක. රාත්‍රී තැපැල් දුම්රියෙන් ඇවිත් බැස්ස හින්දා කන්කසන්තුරේ හෙවත් යාපනයේ මිනිස්සුන්ගේ භාෂාවෙන් කේකේඑස්වල මුහුදු වෙරළෙ සුන්දරත්වය පාන්දරින් දැකගන්න ලැබුණා. පාන්දර අහස සමඟ එය සුන්දරම පාටවල් එකතුකර අතින් ඇන්ද චිත්‍රයක් ලෙසයි අපට මුහුද පෙනුණේ.

කලෙක නගරයක් වුණත් කන්කසන්තුරේ කියන්නේ තවදුරටත් නගරයක් නෙවෙයි. යුද හමුදා කඳවුරු, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, නාවික හමුදා කඳවුර සහ වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යාල පමණක් එහි තිබුණා. කෝච්චියෙන් ඇවිත් කන්කසන්තුරේ බැස්ස එකම සිවිල් පුරවැසියන් තමයි අපි. එහෙම බැස්ස අපට උදේ කෑම කන්න කඩයක්වත් මේ අත්හැර දැමූ නගරයේ තිබුණෙ නෑ.

නැවත යාපනේ බස්රියක නැඟිලා කිලෝමීටර් දෙකතුනක් ගෙවාගෙන මාවට්ටිපුරම් හන්දියට යන්න සිද්ධවුණා. මාවට්ටිපුරම් කියන්නේ නාගදීපේ යන දකුණේ බැතිමතුන් කේකේඑස් පාරේ ඇවිත් කීරිමලේ පැත්තට හැරෙන හන්දිය. ජනාවාස තියෙන්නේ එතැනින් එහාට. ජනාවාස කිව්වත් කලෙක තිබුණායැයි කියන මිනිසුන් පිරුණු ජනාවාස නෙවෙයි. පාළුව රජයන මුඩු ගම්මාන කිහිපයක්.

මයිලඩි කෝවිල
මාවට්ටපුරම් සිට අපි ආපහු කේකේඑස් ආවා. අපේ අරමුණ අලුතින් හැදෙන ගෙවල් ගැන කතා කිරීම. කේකේඑස් මියැදුණු නගරයෙන් ඇතුල්වෙලා අපි කෙළින්ම ගියේ මයිලඩි වරායට. වරාය නිදහස් වුණේ මාසයකට විතර කලින්. අතීතයේ කේකේඑස්හි තිබුණු දැවැන්තම ධීවර වරාය තමයි මේ. නිදහස්වෙලා තිබුණේ වරාය සහ මයිලඩිවල පිහිටි කන්නගී කෝවිල පමණයි. සාමාන්‍ය මිනිසුන්ට අයිති ඉඩම් කිහිපයක් පමණක් නිදහස් වෙලා තිබුණා. ඒත් මයිලඩි යන පාරේ මුහුද පැත්ත පමණයි. ගොඩබිම පැත්තෙන් හමුදා වැටවල් යොදලා. සාමාන්‍ය මිනිසුන්ගේ ඇදවැටුණු බිත්ති වටේ කැලෑ වැවී ඇති අයුරු මයිලඩි වරාය දක්වා ඇති මීටර් අටසීයක පමණ දුර යද්දී අපට පෙනුණා. වරාය අසලම කඳවුරක් තියෙනවා. එතැන ක්‍රීඩාපිටියක් හෙම තියෙනවා. අප සමඟ ගිය ත්‍රීවීල් රියැදුරා කී පරිදි කලෙක ධීවර නිවාස තිබුණු බිමයි ඒ.

කන්නගී කෝවිල දැවැන්තයි. එහෙත් බිත්ති බිඳවැටිලා. බිත්ති දිගේ මුල් වෙලාගෙන වෘක්ෂ වැවිලා. දැවැන්ත දේව කරත්ත දෙකක් දැනටමත් දිරාගොස් අවසන්. එහෙත් විශාල ඉඩක පැතිරුණු මේ කෝවිල පෙන්වන්නේ කලෙක මේ බිමෙහි කොතරම් මිනිස් පොදි සිටියාද යන්නයි.
ධීවරයන් නැති වරායක් හා බැතිමතුන් නැති කෝවිලක් කියන්නේ වැදගම්මට නැති දේවල්. ක්‍රමයෙන් නිවාස පිහිටි ඉඩම්ද නිදහස්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරි කාලය ගෙවෙද්දී නැවත ටිකෙන් ටික කෝවිල ජනාකීර්ණ වෙන අයුරු මවාගනිමින් අප කෝවිල් බිමේ බොහෝ වෙලාවක් සිටියා.

අමලසූරි
මයිලඩි සිට අප ආවේ තෛඞ්ඩි වෙත. තෛඞ්ඩි කියන්නේ කාලයක් සිංගප්පූරුව වගේ පෙදෙසක්. එහි සිටියේ උගත් මිනිසුන්. ධනවත් මිනිසුන්. විශාල නාගරික නිවාස යායක් තෛඞ්ඩිවල තිබුණු බවයි කියන්නේ. ඒ කතාව සැබෑවක් බව පෙනෙන්නේ දැන් වැලිවලින් පිරුණු වනගත පාරක් වන තෛඞ්ඩි පාරේ යන අපට මඟ දෙපස ඇති අත්තිවාරම් ප්‍රමාණය දකිද්දී. ඇතැම් අත්තිවාරම් උඩින් ගෙවල් ඉදිවෙනවා. තෛඞ්ඩි පහුකරමින් කැලය ඇතුළට යද්දී වල්ලුවර්පුරම් ගම්මානය හමුවෙනවා. මීට කලින් පෙබරවාරියේදී අපි වල්ලුවර්පුරම් ගියේ ඩිමෝ බට්ටෙක් මත නැඟිලා. එදා අපට මුණගැහුණා දෙමළ නළු විජේගේ රසිකයා වන ඥානසීලන්, ඔහුගේ මල්ලි ජයසීලන්, සූර්යාගේ රසිකයා අවිනේශ් ඇතුළු සතුටින් පිරුණු මිනිසුන් පිරිසක්. සතුට මොකක්ද. අවුරුදු විසිහතකට පස්සෙ තමන්ගේ ඉඩම් නිදහස් වුණු හින්දායි.

එදා ඔවුන් වල්ලුවර්පුරම් ගමට යළි ජීවය දෙන්නට පළමු අත්තිවාරම දමමින් හිටියේ. පුංචි පල්ලියක් ඉදිකරන්නයි ඔවුන් පැමිණ හිටියේ. මේ ගම්මානයේ යළි ජීවත්වෙන්න ලැබීම ගැන ඔවුන් තුළ තිබුණේ අනන්ත ප්‍රමෝදයක්. මෙවර අපි යද්දී ඒ කිසිවෙක් හිටියේ නෑ. එහෙත් පල්ලිය ඉදිව තිබුණා. අත්තිවාරම් රැසක් මෙන්ම ක්‍රමයෙන් නැඟිටින බිත්ති කිහිපයකුත් ගමේ තිබුණා.
අවිනේශ්, ජයසීලන් ඇතුළු අය අප එහි ගිය උදෑසන ඇවිත් හිටියේ නැහැ. ඔවුන් එන්නේ දවල් වෙලාලු. මේ බව කිව්වේ අමලසූරි. ඔහු දැනටමත් ටකරන්වලින් නිවසක් තනාගෙන ගමෙහි කෙළවරක ජීවිතය අරඹලා.

“මේවා අපට පරම්පරාවෙන් ලැබුණු ඉඩම්. අපි මේ ඉන්නේ නෝනාගේ ඉඩමේ. මගේ ඉඩම තියෙන්නේ මයිලඩි වරාය ළඟ. තවම ඒ ඉඩම් නිදහස් වුණේ නැහැ.” අමලසූරි මේ කියන්නේ අප මීට කලින් ගිය කෝවිල අසල තිබුණු ගම ගැනයි.
“යුද්ධය දවස්වල අපි හිටියේ අවතැන් කඳවුරුවල. මට දුවලා තුන්දෙනයි. ඉතින් එයාලා එක්ක අවතැන් කඳවුරේ ඉන්න බැහැ. ගැහැනු ළමයින්ට ආරක්ෂාවක් නැහැ ඒවායේ. එතකොට ආණ්ඩුවෙන් අපට ලක්ෂ පහක ගෙයක් ලැබුණා. අපි ඒක ළමයි දෙන්නෙක්ට දුන්නා. බාල දුවයි, පුතාලා දෙන්නාවයි අරගෙන අපි මෙහේ ආවේ අලුතෙන් නිදහස් කළ අපේ ඉඩම්වලට. එදා අපි මේවා දාලා දුවද්දී අපට හොඳදුඡ් ගෙවල් තිබුණා. අපේ අම්මලා තාත්තලා පරම්පරා ගණනක් තිස්සේ හදපු ගෙවල්. ඒත් අපි ආපහු එද්දී ඒ ගෙවල් තිබුණු තැනක්වත් හොයාගන්න නැහැ. අන්තිමේදී අපි තහඩු වටකරලා පොඩි ගෙයක් හදාගත්තා. ඒ තමයි දැනට අපට කරන්න පුළුවන් ලොකුම දේ. මෙතැනට ආවාම අනෙක් අයට ලැබෙන ලක්ෂ අටේ මුදලට අපට නොලැබෙන බව කිව්වා. හේතුව කලින් ලක්ෂ පහක් ලැබුණු හින්දා. ඉතින් අපට උරුම මේ තහඩු ගෙදර තමයි. අපට කරන්න රස්සාවක් නෑ මෙහේ. ඉතින් අපි මේ අහළ පහළ ගෙවල් හදන්න එන මිනිස්සුන්ට කෑම උයලා දෙන එක තමයි රස්සාව විදියට කරන්නේ.” ඔහු තමන්ගේ කතාව කෙටියෙන් අපට කිව්වේ ඒ විදියට.

ඔහු බොහෝ දේ කිව්වා. ඔහු තුළ ඉඩම් ලැබීමේ සතුට දැන් තිබුණේ නැහැ. ඒ සතුට පරණයි. දැන් යළි කටුක සත්‍යය පෑදෙන්න පටන් අරගෙන. ඉඩම ලැබුණාට පරණ ජීවිත ලැබේවිද? කන්කසන්තුරය එදා තිබුණු නගරය නෙවෙයි. දැවැන්ත සිමෙන්ති ෆැක්ටරිය හෝ ධීවර වරාය දැන් නැහැ. එදා හිටපු දහස් ගණන් මිනිසුන් එක්කෝ මියගිහින්. නැත්නම් ඔවුන් රට අත්හැර ගිහින්. ඉතිරි වී සිටින අයට එදා තිබුණු ආර්ථික හයිය නැහැ. ඔවුන් දැන් දිළින්දන්. ආණ්ඩුවෙන් නිවාස තනන්නට ලක්ෂ අට බැගින් දුන්නත් එය බොහෝ ලියකියවිලි පුරවා තේරී පත්වෙන සුළු පිරිසකට පමණක් ලැබෙන ආධාරයක්. ඒ නිසා කටුක ජීවන සත්‍යය සමඟ අර සතුට දියව වේදනාව මතුවෙමින් තියෙනවා. අමලසූරිගෙන් පසුව අපට හමුවුණු කිහිපදෙනෙක්ම කීවේ ඒ කතාව.
මහාලිංගම් අයියාගේ කඩයේදී ඔහු සමඟ කතා කරද්දීත් තේරුණේ එයම තමයි.

“අපි මේ ඉඩම් අත්හැරලා ගියේ මුලතිව්වලට. මුලතිව්වලදී යුද්ධයේ හැම දේකටම මුහුණ දුන්නා. යුද්දෙන් පස්සෙ මල්ලාගම් අවතැන් කඳවුරට ආවා. ඔය අස්සේ තමයි මේ අවුරුද්දෙ මුල මගේ ඉඩම නිදහස් වුණේ. දැන් ගෙදර හදනවා. මුලතිව්වල කඩයක් දාගෙන මම හොඳට හිටියා. ඒත් යුද්ධය ඒක විනාශ කරලා දෙවැනි වතාවටත් අපව මහපාරට දැම්මා. යන එන මං නැතිව අවතැන් කඳවුරුවල හිටපු මට ඉඩම් ලැබීම වාසනාවක් වුණා. ඒත් දැන් ආයෙමත් අපේ ඔළු පිච්චෙනවා. ඉඩම් ලැබුණාට ගෙවල් හදන්නේ කොහොමද. මේ කාෂ්ඨකයේ ජීවිත ගෙනියන්නේ කොහොමද?”

සිමෙන්ති ෆැක්ටේරිය
අපට කඩයේදීම ජෝන් සොලමන් සහ සූරිය මුරුගන් සහෝදරවරු දෙන්නාත් මුණගැහුණා. දෙන්නාම කලෙක කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටේරියේ වැඩ කළ අය.
“ඉස්සර මේ කන්කසන්තුරේ නගරය හරිම ලස්සනයි. සාප්පුවලින් පිරිලා. මුහුද අයිනේ ළමා උද්‍යානයක් තිබුණා. රෑ 12ට වුණත් නගරයට ඇවිදින් ගිහිල්ලා එන්න පුළුවන්. එක හැන්දෑවක අපි මේ නගරය අත්හැරලා දිව්වා. ආයේ එන්නේ අවුරුදු විස්සකට විතර පස්සේ. දැන් කන්කසන්තුරේ කියන්නෙ මළ නගරයක්.” ඔය කතාව කිව්වේ සූරිය මුරුගන් අයියා.

ඔය අතරේ ජෝන් සොලමන් මහත්තයාත් කතාවට වැටුණා. ඔහු කතා කළේ සිංහල බසින්. මේ ගම්මානය අත්හැර වසර විසිහතක ජීවන ගමන ඔහු ගෙවලා තිබුණේ නිවාස තනන්නට අත් උදව් දෙන කෙනෙක් විදියට. පසුව බාස් කෙනෙක් විදියට. දකුණේත් ගිය ඔහුට සිංහල හොඳින් පුළුවන්.
“මම වැඩ කළේ කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියේ. මට මතකයි ඒ කාලේ සිමෙන්ති කොට්ටයක් හරි ලාබයි. දැන් අපි ගෙවල් හදන්න ගිනි ගණන් දීලා සිමෙන්ති ගන්නවා. මේ ගම්මානවල මිනිස්සු 3000ක් විතර රස්සාව කළේ ෆැක්ටරියේ. ඔක්කොම ගත්තොත් දහදාහකට වැඩිය මෙතැන වැඩ කළා. මිනිස්සු මේක අත්හැරලා ගියාම ෆැක්ටේරියෙන් වැඩක් නැහැනේ. ඒක වහලා තිබුණා. ඒත් මැෂින්වලට මොනවත් වුණේ නැහැලු. යුද්ධෙ ඉවරවුණාමත් මැෂින් තිබුණාලු. හොඳට වැඩ කරන්නත් පුළුවන්ලු. ඒත් ඒවා ගලවලා තිබුණා. දැන් ආයේ ඕක පටන්ගන්නේ නෑ.”

අප මෑත දිනයක කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ගැන විමසද්දී ඔහු කීවේ එය පටන්ගැනීමේ බලාපොරොත්තුවක් නැති බවයි. 2011දීත් මේ කර්මාන්තශාලාවේ යන්ත්‍ර වැඩකළ හැකි මට්ටමක තිබුණු බව ලංකා සිමෙන්ති සමාගමේ නිරීක්ෂණ කණ්ඩායමක් වාර්තා කර ඇති බව කියැවෙනවා. 1950දී ඇරඹුණු කර්මාන්තශාලාවේ යන්ත්‍රවල ඇණයක්වත් මාරු කරන්නට වසර 25ක් යනතෙක් අවැසි වුණේ නැහැලු. වසර සීයක්, එනම් 2050 තෙක් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලට වගකීම තිබුණා. එහෙත් ඉන්පසුව එහි යන්ත්‍ර එකිනෙක ගැලවුණා. සම්පූර්ණයෙන්ම හමුදාවේ ආරක්ෂාව යටතේ තිබුණු මේ කම්හලේ යන්ත්‍ර ගලවා දසදහසක් මිනිසුන්ගේ ජීවිත අඳුරු කිරීමේ පාපයට වගකිවයුත්තේ එකල ආරක්ෂාව බාරව සිටි, දැන් එළිය ගැන කතා කරන මහත්වරුන්මයි.

ධීවරයන්
දැවැන්ත ෆැක්ටේරිය මෙන්ම කන්කසන්තුරේ ශ්‍රේෂ්ඨ නගරයක් කරන්නට ධීවරයන්ද හේතුවුණා. මයිලඩි, ඌරණි වරායවල් තියෙන්නෙත් කන්කසන් තුරේමයි. මේ වෙද්දී වරායවල් දෙකම නිදහස්. එහෙත් පාවිච්චි කරන්නට තවම බැහැ. එක් පුංචි වරායක් හාරන්නට නාවික හමුදාව කටයුතු කරමින් සිටිනවා. එහෙත් දවසකට එක්වරක් හෝ කැඩෙන එක් කැටපිලර් යන්ත්‍රයක් පමණක් පාවිච්චි කරමින් කරන හෑරිල්ල බොහෝ මන්දගාමීයි. අප එහි යද්දී දැල් වියමින් හිටියේ යුදාස්, දාසන් සහ කන්දයියා කියන මිතුරන් තුන්දෙනා.

අප කලින් කී විදියට ඉඩම් ලැබුණු අයට ප්‍රශ්නය ඉඩම්වල ගෙවල් හැදිල්ල. ඒත් ඉඩම්වත් නැති මිනිස්සුත් ඉන්නවා. මේ තිදෙනාටත් ප්‍රශ්නය එයයි. එවුන් මල්ලාකම් අවතැන් කඳවුරේ වෙසෙන්නන්.
“අපට ඉඩමක් ගන්න සල්ලි තියෙනවා නම් ගෙයක් ගන්න පුළුවන්. ඒත් ඉඩමක් නැතිව ගෙවල් දෙන්නේ නෑ. ලක්ෂ ගණනක් යයි ඉඩමක් ගන්න. අපට එච්චර සල්ලියක් නැහැනේ. අපට රස්සාව කරගන්න බෝට්ටු ගන්නවත් සල්ලියක් නෑ. මෙතැන තියෙන බෝට්ටු කිහිපය වුණත් ගිනිපොලීකාරයන්ගෙන් ණය අරගෙන වෙන අය ගත්ත බෝට්ටු. අපි ඒවායේ අයිතිකාරයන් ළඟ කුලියට වැඩ කරනවා.” ඒ තුන්දෙනා එහෙම කියනවා.

ඌරණි
අප අන්තිමට ගියේ ඌරණි ගමට. තල්සෙවණ හෝටලය තමයි ඌරණි ගමේ කෙළවර. අප එක්ක ඒ ගමේ සිටි ජෙගනාදන් මහත්තයා කීව විදියට තල්සෙවණ හෝටල් ගොඩනැඟිල්ල තියෙන්නෙ ආණ්ඩුවේ ඉඩමක. ඒත් හෝටලයෙන් මෙහාපැත්තේ හෝටලයට අයත්ව තිබෙන ඉඩම් සාමාන්‍ය මිනිසුන්ගේ. මීට කලින් අප මෙහේ එද්දී ඌරණි ගමේ ඉඩම් නිදහස් වෙලා තිබුණේ නැහැ. ඒ වෙනුවට හමුදාවෙ ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස සහ සංචාරක හෝටල් ඒ ගම මත තිබුණා. හමුදා කටුකම්බි වැට අයිනේ සිට ඉඩම්වල හිමිකරුවන් සාප කළේ තමන්ගේ ඉඩම්වල සැප විඳින්නවුන් ගැන. දැන් අප යද්දී ඉඩම් නිදහස් වෙලා. එහෙත් තවම නිවාස තනන්නට ආණ්ඩුවෙන් මුදල් දී නැහැ.
ඒ නිසා තාවකාලිකව පොල් අතු මඩු ගසා ගත් පවුල් කිහිපයක් තමයි ඌරණි ගමේ ඉන්නේ. ධීවර ගම්මානයක් වුණත් ධීවර රස්සාව කරන්න වරායත් සුදුසු නෑ. එය සකස් කරන්න ඕනෑ. වරාය හැදුවත් ආයෝජනය කරන්න තරම් මුදලක් ඔවුන්ට නැහැ. අප එක්ක කතා කළ ගෞතම්, ස්ටැන්ලි බාබු, අණ්ඩන් ජෙගනාදන්, තෙරේසම්මා හින්දුජා, ජෝන් අමිර්තනාදන් ඇතුළු පවුල් විසිපහක පමණ පිරිසක් දුක්ඛිත ජීවිත ගතකරමින් පොල් අතු මඩුවල ඉන්නේ ලක්ෂ අටක මුදල පාස් වනතුරු.
“අපට ලක්ෂ අට නොතිබුණත් කමක් නෑ. අපට ධීවර රස්සාව කරන්න පසුබිම හදල දෙන්න. ණයක් දෙන්න බෝට්ටුවක් ගන්න. වරාය හදලා දෙන්න. ඒවා වුණත් අපට කරගන්න පුළුවන් නම් අපි ඉල්ලන්නේ නෑ. ඒත් අපට හයියක් නැති හින්දයි ඉල්ලන්නේ.” අමිර්තනාදන් මහත්තයා එහෙම කියනවා. “ඒ ටික ලැබුණොත් ජීවිත ගොඩදාගන්න හැටි අපි දන්නවා.”

කෂ්ටම්
“සරියාන කෂ්ටම් දා” ජීවිතය ගැන අහද්දී කේකේඑස්වල මිනිසුන් කියන්නේ එහෙමයි. සතුටක් කොහෙද. මේ අව්ව අපව මරන්න තරම් සැරයි. එහෙම අව්වක පොල්අතු, ටකරම් මඩුවල හරිහැටි බොන්න වතුර උගුරක් නැතිව ගෙවන ජීවිත සතුටක් වෙන්නේ කොහොමද. 1990 වෙද්දී ඔවුන් ගෙව්වේ සතුටින් පිරි ජීවිත. ඒ ජීවිත ගැන සිහින මවමින් අලුත නිදහස්වූ ඉඩම්වලට ඔවුන් ආවා. එහෙත් ලැබුණේ ඉඩම් පමණයි. මේ අයට ජීවන මාර්ග නැහැ. ආයෝජන ගැන කොපමණ කතා කිව්වත් මෙහේට යළි ආයෝජන එන පාටක් නැහැ. කිසිවෙක්ට එහෙම කරන්නට උනන්දුවක් නෑ. ඕනෑවට එපාවට ඉඩම් නිදහස් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
“ජනාධිපතිතුමා අපට කරපු දේවල් බොහොමයි. ඒවාට ස්තුතියි. ඒත් ඒවා විතරක් මදි. එතුමාට ඕනෑ නම් අපේ ජීවිත තව ලස්සන කරන්න පුළුවන්.” අප එක්ක කතාකළ සිංහල දත් ස්ටැන්ලි බාබු කිව්වේ එහෙම.

“හරි ලස්සනයි අනේ තල්සෙවණ මුහුද. මෙයාල වතුරට බැහැලා ගොඩ එන්න බෑම කිව්වා. අමාරුවෙන් ගොඩ ගත්තේ. ඒකයි පරක්කු වුණේ. නාගදීපෙත් වැඳගත්තා. කීරිමලේ තියෙන අර ළිඳත් බලාගත්ත. හොඳයි ඉතින්. නිවාඩුව හොඳට ගෙවුණා.” කන්කසන්තුරෙන් සමුගෙන යාපනයට විත් දුම්රිය ස්ථානයේ කොළඹ කෝච්චිය එනතුරු බලාගෙන හිටපු අපට එහෙම කතාබහක් ඇහුණා. දහස් ගණන් මිනිස් හදවත්වලට වේදනා දෙමින් මියගිය නගරයක් තව පිරිසකට විනෝදයක් වෙලා. අර මිනිසුන්ගේ ඉකිගැසීම් හා මේ මිනිසුන්ගේ විනෝදය, ආපහු එන කොළඹ කෝච්චියෙ ගැස්සීම් පැද්දීම් මැද දැකපු හීනවලට මිශ්‍රවෙලා පෙනුණේ පිකාසෝගේ චිත්‍රයක් වගේ.■

වඩිවෙල්ගේ විහිළුව
කන්කසන්තුරේ ඉඩම් නිදහස් කරද්දී අපූරු වැඩක් හමුදාව කරනවා. වෙරළේ නැතිව, ඇතුළට වෙන්න තියෙන ඉඩම්වල පොළොව අඩි දෙකක් විතර ඩෝසර්වලින් හාරලා, තියෙන ගොඩනැඟිලි සමතලා කිරීම. එතකොට ඉස්සර තිබුණු පොළොව මට්ටමට වඩා දැන් පොළොව මට්ටම පහතයි. ඌරණි කියන වෙරළ අයිනේ තියෙන ගමේ අය කියන්නේ තමන්ගෙ ගම්මානය අඩියක් දෙකක් උඩට ඔසවලා කියලා. අර පස් වෙරළ අයිනේ ඉඩම්වලට පුරවලා කියලයි මිනිස්සු හිතන්නේ. අමලසූරි මෙහෙම කියනවා. “වඩිවෙල්ගේ ජෝක් එකක් වගෙ සිද්ධියක් වුණානේ. අපේ ගෙදර ළිඳ තිබුණෙ ඉස්සරහා කෙළවරේ. කක්කුස්සිය තිබුණෙ පිටිපස්සෙ කෙළවරේ. අපි එද්දී ළිඳ නෑ. කක්කුස්සියවත් තියෙනවාද කියල හොයාගෙන ගේ පිටිපස්සට යද්දී මෙන්න කක්කුස්සිය තියෙන්න ඕනෑ තැන ළිං ගැට්ට තියෙනවා. වඩිවෙල්ටවත් ඔහොම එව්වා වෙන්නේ නෑ.” වඩිවෙල් කියන්නේ නූතන දෙමළ ජනතාව දන්න ලොකුම විහිලුකාරයා. නූතන f්තනාලිරාමන්.■