රාවය

මම අනාගමිකයෙක්ඒත්, ඒක මගේ ශිෂ්ටාචාරය – ඔර්හාන් පමුක්

මම අනාගමිකයෙක්ඒත්, ඒක මගේ ශිෂ්ටාචාරය – ඔර්හාන් පමුක්

 

සුභාෂිණි චතුරිකා

සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍යලෝලීන් අතර ඉමහත් ප්‍රසාදයටත් ගෞරවාදරයටත් පත්ව ඇති ලේඛකයෙකි. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ලොව පුරා විවිධ භාෂා 64කින්, මිලියන 12කට අධික සංඛ්‍යාවක් අලෙවී වී ඇත. The White Castle” The Black Book” The New Life” My Name Is Red” Snow” The
Museum of Innocence iy A Strangeness in My Mi ඔහුගේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ සහ වැඩිමනත් ලෙස අලෙවි වූ කෘති කිහිපයකි. සාහිත්‍ය විචාරකයන්ට අනුව ඔහුගේ බොහෝමයක් කෘති තුළින් සමකාලීන තුර්කියේ මර්දනකාරි දේශපාලනය, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමා කිරීම, කුර්දිවරුන් වැනි තුර්කියේ සුළු ජාතීන්ට සිදුවන අඩන්තේට්ටම්, රජය සහ ආගම වෙන්කිරීමේ අසමත්කම සහ ඓතිහාසික සත්‍යය පිටු දැකීම පිළිබඳ කියැවෙයි. ඔහු 2016 වසරේ තුර්කියේ එහි ජනාධිපති රෙසෙප් තයිප් අර්දෝවන්ගේ පාලනයට විරුද්ධව සිදුවූ හමුදා කුමණ්ත්‍රණය ආසර්ථක වීම පිළිබඳ සිය ප්‍රසාදය පළකරන අතරම, මේ වන විට එම හමුදා කුමණ්ත්‍රණය හේතුවක් කොට ගෙන අර්දෝවන්ගේ පාලනය විසින් සිය ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සහ ආණ්ඩුව විවේචනය කරන්නන් ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස මර්දනය කිරීම පිළිබඳ ඉතාමත් ප්‍රසිද්ධියේ සිය විරෝධය දක්වමින් ඒ පිළිබඳ ආණ්ඩුවට බලපෑම් කරන චරිතයක් බවට ද පත්ව සිටියි.
ඔර්හාන් පමුක්, ඔහුගේ දහවැනි නවකතාව වන The Red-
Haired Woman අගෝස්තු මාසයේ එළිදැක්වීය. තුර්කියේ කුඩා නගරයක, එකිනෙකා අතර වූ සමීප සබඳකම් දෙදරා ගිය ළිං කණින්නකු හා ඔහුගේ අත්උදව්කරුවකු වටා එම කතාව ගෙතී ඇත. මෙම කෘතිය විසින්ද කියාපාන්නේ, පෙර සාහිත්‍ය නිර්මාණවලදී සේම, තුර්කියේ ගිනිගත් ඉතිහාසය, තුර්කි නාගරික සහ ගැමි සමාජයන්ගේ බෙදීම, ස්ත්‍රී පුරුෂ සබඳකම් වැනි තේමා ඇතුළත් විෂය ක්ෂේත්‍රයන් හා ගනුදෙනු කිරීමට ඇති පමුක්ගේ ඇති නොසංසිඳෙන කැමැත්තයි.
මේ සංවාදය තුළ පමුක් තුර්කිය තුළ සිදුවන දේශපාලනික මර්දනය, ඔහුගේ ලිවීමේ කාර්යය කාලයත් සමඟ වෙනස් වු ආකාරය සහ ලිවීමේ දින චර්යාව පිළිබඳව කතාබහ කරයි.

ඔබ වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබෙනවා දවසට පැය දහයක් වැඩ කරනවා කියලා. එය තවමත් ඇත්තක්ද?
ඔව් සහතිකව. මම වැඩකිරීමෙන් සතුටු වෙනවා. ප්‍රබන්ධ නිර්මාණකරණය මම දකින්නේ නැහැ කිසියම් බරපතළ කාර්යයක් විදියට, මට එය දැනෙන්නේ කුඩා දරුවෙක් නිතර දෙවේලේ ඔහුගේ සෙල්ලම් බඩු සමඟ කෙළිදෙළින් ගතකරනවා වැනි හැඟීමක්.

ප්‍රබන්ධ නොවන කෘතියක් සම්පාදනය කිරීම ඔබට කාර්යයක් ලෙස දැනෙනවාද?
නැහැ. මම දැන් ලියන්නේ ප්‍රබන්ධ. ප්‍රබන්ධ නොවන කෘතියක් තුළට යථාර්ථය හසු කරගන්නවාට වඩා නැවුම් දේ සොයා යන මනසත් එක්ක කාර්ය බහුල වෙන්න මම කැමතියි.

ඔබගේ දහවැනි පොත ලීවීමේ ක්‍රියාවලිය ඔබගේ ලේඛන වෘත්තියේ ආරම්භක කාලයට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
ආරම්භයෙදී, ඒ කියන්නේ මීට අවුරුදු 40කට පමණ ඉහතදී, මගේ නිර්මාණ වීර කාව්‍ය වගේ, සියල්ල අනාවරණය කරනවා, ඒ වගේම පර්යේෂණාත්මකයි. ඒත් මේ වතාවේ මට ඕනෑවුණේ පාරභෞතික විද්‍යාව සහ දර්ශනය ඇතුළත් කෙටි නවකතාවක් ලියන්න. ඒ වගේම මට ඕනෑ වුණා ළිං කණින්නෙක් සහ ඔහුගේ ගෝලයා ගැන යථාර්ථවාදී කතාවක් ලියන්න.
1988 වසරේ ගිම්හාන කාලයේදී මම ජීවත් වූ නිවෙසට ආසන්න බිම්කඩක සිටි එවැනි මිනිසුන් පිරිසක් මම නිරීක්ෂණය කළා. එයත් කුඩා දිවයිනක්, මම කුමක් හෝ මගේ පොතක් ලියමින් සිටියේ. ඔවුන් පරණ තාලෙට ළිං කණින්නන්. ඔවුන් තවමත් ඒ කාර්යය ඉස්තාන්බුල් නගරය අවට කරනවා, මොකද ආණ්ඩුව සපයන ජලය මිනිසුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ, විශේෂයෙන් හැත්තෑව අසූව දශකවල. ඒ නිසා ඔවුන් හැම කෙනාම වගේ පෙළඹුණා තමන්ගේ වත්ත තුළ ළිඳක් තනාගන්න. මම දුටුවා ඔවුන් ළිං ඉසිද්දී, එහි වැඩිමහලු ප්‍රධාන ශිල්පියා සහ ඔහුට අත්උදව් සපයන ආධුනිකයා අතර ඇතිවන පිය පුතු සම්බන්ධය. වැඩිමහල්ලා ඔහුට ශිල්ප ඥානය ලබා දෙමින් ඔහුට බැණ අඬගසන නමුත් මුදු මොළොක් ලෙස ඔහුව ආරක්ෂා කරනවා, ඔහු ගැන සැලකිලිමත් වෙනවා, දිනපතාම රාත්‍රි කාලයට නගරයේ සක්මනේ යෙදෙන විට මම දුටුවා. ඔවුන්ගේ සබඳතාව මා චංචල කළා, ඒ බොහෝදුරට මා වටා එතරම් නොරැඳුණ, මා කෙදිනකවත් මා පාලනය කිරීමට වෑයම් නොකළ පියෙකු ඇසුරේ උස්මහත් වු නිසා වෙන්න ඇති.

සවිඥානික ලෙස ඔබ ඔබගේ නිර්මාණ…… මට ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ ඒවා පෙරදිග සහ අපරදිග යා කරනවා කියලා..
ඔව් මට තේරෙනවා ඔබේ ප්‍රශ්නය.
හරි!
මට ඒ ගැන සවිඥානික වෙන්න උවමනාවක් නැහැ. ඔය කතාව ඔය විදියටම පැතිරුණා මගේ පොත් මුලින්ම ජාත්‍යන්තරව පරිවර්තනය වෙන්න පටන්ගත් වකවානුවේදි, ඒ කියන්නේ 1990 සහ 2000 මුල් භාගයේදි. බොහොමයක් මාව හැඳින්නුවේ “පෙරදිග අපරදිග යා කරන පාලම” විදියට. මම එයට කැමති නැහැ. ඇයි? මම මගේ රට ගැන අනික් අයට පහදා දෙන්න පොත් ලියන්නේ නැති නිසා. මම ලියන්නේ -මම බොළඳ එකෙකු ලෙස මාවම රවට්ටා ගනිමින් – වඩාත් ගැඹුරු හේතු නිසා. ඉස්තාන්බුල්වල ලේඛකයකු වීම නිසාත් මට ඒ කතාව අහන්න සිදුවුණා. මම ඉස්තාන්බුල් ගැන ලියනවා තමයි. මම මුළු ජීවිත කාලෙම ජීවත්වෙලා තියෙන්නෙ ඉස්තාන්බුල්වල. මට දැන් 65යි, ඒ කියන්නේ මම මේ නගරයේ වසර 65ක්ම ජීවත් වෙලා තියෙනවා. මම ලියන කතා ඉස්තාන්බුල් නගරය ගැන වීම නොවැළැක්විය හැකියි, ඒත් එය මා විසින් බලකොට පවරා ගත් කාර්යයක්ද නොවෙයි. මම ලියන්නේ මම හොඳින් දන්නා මිනිසුන් ගැන, අනික් හැම ලේඛකයෙක් වගේම. මම ඉස්තාන්බුල් නගරයේ මනුෂ්‍යත්වය සිසාරා ගමන් කළා, වක්‍රාකාරයෙන් මම ඉස්තාන්බුල් ලේඛකයෙක්. වසර 2000 මුල් භාගයේදී මුලින්ම මා පාලමක් ලෙස හැඳින්වූ විදෙස් විචාරකයන් ගැන මම දන්නවා, ඒ ගැන කතා නොකර ඉමු. ආයෙත් ඉස්තාන්බුල් ලේඛකයා! ඉතින් ඒක් මගේ ව්‍යාපෘතියක් නෙමෙයි. නමුත් මම ඒ දේවල්වලින් ඉගෙනගත්තා. පාලමක් වීම නිසා, මා ජීවත්වන ලෝකයේ දේවල් සෙසු ලෝකයේ අයට පැහැදිලි කරනවා. ඉතින් මම කතා ලියනවා. අවසානයේ ඒවා සාර්ථක වුණාම එය යමක් පැහැදිලි කරනවා, ඒත් මගේ උත්තේජනය එය නොවෙයි, මගේ පෙළඹවීම පාලමක් වීම නොවෙයි.

ඔබ හිතනවාද ඔබ යුරෝපීය ජාතිකයෙක් කියලා?
ඔව්. අනෙක් ඕනෑම තුර්කි ජාතිකයෙක් වගේම මමත් යුරෝපියානුවෙක්, ඒ වගේම මම අයිති තුර්කියට. මම අනාගමිකයි වගේම මුස්ලිම් සංස්කෘතියේ නවීන පැවැත්මේ කොටසක්. ඒත් මම අයිති ඒ ශිෂ්ටාචාරයටයි.
මම 2000 වසරේදී තුර්කිය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලැබීම වෙනුවෙන් මැදිහත් වෙමින් කාලය ගත කළ සහ සමහරවිට කාලය කා දැමූ ආඩම්බරකාර යුරෝපියානුවෙක්. එය යහපත් කාලයක්. දැන් තත්ත්වය වඩාත් නරක අතට හැරිලා. දැන් තුර්කිය බරෑරුම් ලෙස යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා සිටින අයදුම්කරුවෙක් නොවෙයි. දැන් තුර්කිය යුරෝපය සමඟ ආරවුල්වල පැටලිලා. මට ඒ ගැන කනගාටුයි.
පසුගිය වසරේ තුර්කියේ හමුදා කුමණ්ත්‍රණයක් සිදුවුණා, ඒ සම්බන්ධයෙන් ඔබේ පළමු භාවාත්මක ප්‍රතික්‍රියාව කුමක්ද? වර්තමාන ආණ්ඩුවට විරුද්ධව තවදුරටත් කුමන්ත්‍රණ සිදුවෙනවා.
මම එය සිදුවෙමින් පැවති මොහොතේ සිට නැරඹුවා. එය රාත්‍රී 9.20ට විතර ඇරඹුණේ, මම ඒ වෙද්දීත් මාධ්‍ය මඟින්, අන්තර් ජාලයෙන්, වැඩිමනත් ලෙස රූපවාහිනියෙන් එය දකිමින් හිටියේ. මම පුදුමයටත්, සංත්‍රාසයටත් පත්වුණා. අලුයම තුනට විතර හමුදා කුමන්ත්‍රණය සාර්ථක නොවන බව වැටහුණු නිසා මම නිදි පෙත්තක් බීලා නිදාගන්න ගියා. ලොකු පීඩනයක් දැනුණා. මට තේරුනා මට නින්ද යන්නේ නැහැ කියලා. මට අපරිමිත සතුටක් දැනුණා ඒ කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන, මම කෘතඥ වුණා ඒ රාත්‍රියේ වීදිවලට බැහැලා, යුද ටැංකි නවත්වපු නිර්භීත ජනතාවට. එයාලා, ඔයා මම වගේ බටහිර යුරෝපියානු අර්ථයෙන් ලිබරල් නැහැ. ඒත් ඔවුන් තමයි තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් අර්දෝවන් හෝ නැතිනම් ඔවුන්ගේ පක්ෂය හෝ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ජනතාව. ඔවුන් මා විශ්වාස කරන ලිබරල් වටිනාකම් ආරක්ෂා කළේ නැහැ, ඒත් ව්‍යංගයෙන් ඔවුන් තුර්කි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා.

එම සිදුවීමෙන් වසරක් ගෙවී ගිය පසුත් ඔබට එය ඒ ආකාරයෙන්ම දැනෙනවාද?
නැහැ. මට ඒ ආකාරයෙන්ම දැන් දැනෙන්නේ නැහැ. මම ඒ මිනිසුන්ට කෘතඥ වෙනවා. ඒත් ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණය පාවිච්චි කරගත්තා බොහෝමයක් ලිබරල්වාදීන් මර්දනය කරන්න. ආණ්ඩුව විවේචනය කළ බොහෝ අය රජයේ රැකියාවලින් නෙරපා දමලා. 40,000කට අධික පිරිසක් අත්අඩංගුවේ, ජනමාධ්‍යවේදීන් 140ක් පමණ හිරකූඩුවල. ප්‍රබන්ධ නිර්මාණය තුර්කියට ගැටලුවක් නොවෙයි. ඒත් ඔබ දේශපාලනයට පැටළුණොත් ජනමාධ්‍යවේදීන්, දේශපාලන විචාරකයන් වගේම, ඉන් ඔබ කරදරයට පත් වේවි.
ඒ අනුව තමයි ඔබ කරදරයට පත් වුණේ, දේශපාලනය සහ ඉතිහාසය ගැන කතාකරලා.
ඔව්. මට ආණ්ඩුවෙන් ගොඩාක් කරදර වුණා, ඒ මගේ නවකතා නිසා නෙමෙයි, මා කළ සම්මුඛ සාකච්ඡා නිසා, මම කියූ දේවල් නිසා. මගේ දේශපාලන අදහස්, ඔවුන් නිතරම මගෙන් විමසන දෙයක්. ඔබ දන්නවා, ලේඛකයන්ව පීඩනයට පත්කරන ගැටලු සම්බන්ධයෙන් ඇති පරණ තාලේ, ගතානුගතික, හණමිටි අදහස් බොහොමයක්ම පැරණි සෝවියට් දේශයත්, තිස් ගණන්වල ජර්මනියත් පසුබිම් වු අදහස්. ඔබට කෆ්කා තරම් හොඳට නවකතාවක් ලියන්න පුළුවන්, ඔබ ආණ්ඩුව විවේචනය නොකරන තාක් කල් ඔබ ඒ ගැන වදවෙන්න ඕනෑ නැහැ. ඒත් ඔබ ආණ්ඩුව විවේචනය කරන්නේ නම්, මගේ මිත්‍රයෝ ඉන්නවා, සිරගත වෙලා, ආණ්ඩුව විවේචනය කළ වරදට. තුර්කියේ ගොඩක් නිර්භීත මිනිසුන් ඉන්නවා. තුර්කිය කියන්නේ එහි පාලක පක්ෂය, රෙසෙප් තයිප් අර්දෝවන් හෝ ඔහුගේ පක්ෂය නෙමෙයි. එහි නිර්භීත ලිබරල්වාදින් ඉන්නවා පෙරළා සටන් වදින. පසුගිය මැතිවරණයේ ආණ්ඩුව ගත්තේ ඡන්ද 51%යි. විරුද්ධ පක්ෂවලට ඡන්ද 49%ක් හිමිවුණා. පාලක පක්ෂය සහ විපක්ෂය හිමි කරගත් ජන්ද අතර ලොකු වෙනසක් නැහැ. එය හරිම සිත්ගන්නාසුලු කාරණයක්. ඒ නිසායි මම මෙහෙම ඉන්නේ. සැබැවින්ම ඒ මගේ රට.

කාලයත් සමඟ ඔබේ රට වෙනසකට භාජනය වන විට, ලේඛකයෙක් ලෙස ඔබේ ලේඛන කාර්යය වෙනස් වුණේ කොහොමද?
හොඳ ප්‍රශ්නයක්. ලේඛකයෙක් විදියට, මම නියත වශයෙන්ම වෙනස් වෙමින් සිටිනවා. ඒත් ලිවීමේ අදිටන -ලිවීමට සහ ප්‍රබන්ධ කලාව හා සැබැඳි සියල්ලටම ඇති ආදරය හෝ ළබැඳියාව තවමත් එසේමයි. මුල් දවස්වල මම ප්‍රබන්ධ ලිීවේ කවි වගේ. හැම අකුරු පේළියක්ම, වචනයක්ම, හැම වැකියක් ගැනම සිතමින් තමයි වැකියක් ලියා නිමකළේ. මම නිතරම උත්සාහ කළා පර්යේෂණාත්මක වෙන්න, පශ්චාද් නුනතවාදී, නුතනවාදී හෝ වෙන ඕනෑම ආකාරයේ පර්යේෂණාත්මක දෙයක් අත්හදා බලන්න. ඒ වාගේම මුල් සාහිත්‍ය නිර්මාණවල මම වැඩි වශයෙන්ම ලීවේ මගේ සංස්කෘතිය, මගේ ජනතාව, මැද පංතිය, ඉහළ මැද පංතිය, අනාගමික බටහිරකරණය වූ යුරෝපීය ඉස්තාන්බුල්හි තුර්කිවරුන් ගැන. මම උස්මහත් වුණේ මෙහි, මම වැඩිපුර ලියන්නෙත් මෙහෙ ගැන. මේ පොතේ පවා, (The Red-
Haired Woman) අර්ධ වශෙයෙන් ඔවුන් ගැන, අර්ධ වශයෙන් ඔවුන් නොවන අය ගැන -ඒ විශාල වටරවුම- මුළු තුර්කිය ගැනම. මම ඒ විශාල වටරවුම ගැන වැඩි වැඩියෙන් ලියන්න පටන්ගත්තා. මේ අලුත් පොත, කෙටි නවකතාව වෙනසක් සහිත, කාව්‍යාත්මක වෙනස් බවකින් යුත් පියවරුන්, පුතුන් සහ ඔවුන්ගේ පරම්පරා ගැන ලියැවුණු කෘතියක්. පිටු 200කින් යුතු මේ කෘතිය පරම්පරා තුනක් ගැන කියවෙන නිර්මාණයක්.

නවකතාවක වඩාත් වැදගත් ආරම්භයද අවසානයද?
එක සමාන ලෙස ඒ දෙකම වැදගත්. පළමු වැකිය සම්පූර්ණ කෘතිය තුළ අන්තර්ගත වන ස්වරය කුළුගැන්විය යුතුයි. එය ඉදිරියට එළැඹෙන්නට නියමිත දේ සඳහා පඨකයා සූදානම් කරනවා. එය තමයි වදන් සාගරයකින් අපට හමුවෙන පළමු වදන් බිඳ, ඒ නිසා එය රසවත් මෙන්ම සිත්ගන්නාසුලු විය යුතුයි. ඒ වගේම තමයි අවසානයත්. එය තමයි අප එම පොත කියවීමේ මතකයන්වල පළමු වදන් බිඳ. අවසානය, පොතේ සෙසු අන්තර්ගතය ඇඟවිය යුතුවාක් සේම ඒ හා සන්නිවේදනයද කළ යුතුයි, එසේම අවාසන වැකිය අවසාන මධ්‍යස්ථ දඟර දැමීමද විය යුතුයි. සැබැවින්ම පළමු හා අවසාන වැකි පොතේ මෘදු අයිකනයක් හෝ සංකේතයක් බවට පත් විය යුතුයි. මම මේ ප්‍රශ්නයට හරි කැමතියි, මොකද අහම්බයකින් වගේ The Red-Haired
Women කෘතියේ අවසාන වැකි එහි පළමු වැකිවලට ඉඟි සපයනවා. “මට ඕනෑ වුණේ ලේඛකයෙක් වෙන්න. නමුත් මම විස්තර කිරීමට යන සිදුවීම් නිසා මම ඉංජිනේරු විද්‍යාව සහ භුවිද්‍යාව ඉගෙනගෙන ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙක් වුණා.”
(ඇසුරු කොට ගත් තොරතුරු මුලාශ්‍ර:The daily beast,Slate” The Newyorktimes” Paris review)