රාවය

මං ඉන්නෙ මුළු ශිෂ්ටාචාරයම දෑතෙ තියාගෙන | හමීඞ් ඉස්මායිලොව් උස්බෙක්

මං ඉන්නෙ මුළු ශිෂ්ටාචාරයම දෑතෙ තියාගෙන | හමීඞ් ඉස්මායිලොව් උස්බෙක්

1954 වසරේ සෝවියට් කිර්ගීසියාවේ ටොක්මොක්හි උපත ලද හමීඞ් ඉස්මායිලොව් උස්බෙක් මාධ්‍යවේදියෙකු කවියෙකු සහ ලේඛකයෙකු ලෙස කටයුතු කළ අතර සෝවියට් දේශය බිඳීගිය පසුව ඔහුට 1992 වසරේදී උස්බෙකිස්ථානයෙන් පිටුවහල්වීමට පාලකයන් විසින් බල කරනු ලබයි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ඔහු තුළ ඇති පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවන්ය. ස්වකීය ජීවිතයද අනතුරේ වැටෙන තත්ත්වයක් හමුවේ ඒ අනුව එක්සත් රාජධානිය කරා පැමිණෙන ඔහු එහිදී ලන්ඩන් බීබීසියට සම්බන්ධ වන්නේ, අද වන විට එහි පුරවැසිභාවය ලැබ ජීවත්වෙයි. ඔහුගේ නිර්මාණ දිගටම උස්බෙකිස්ථානයෙහි තහනම්ව පවතින නමුදු රුසියානු බසින් සහ උස්බෙක් බසින් රචිත ඔහුගේ කෘති රුසියාවෙහි පළවෙයි. මේ වන විට ජර්මන්, ප්‍රංශ, තුර්කි ඇතුළු යුරෝපීය භාෂාවන් ගණනකටම ඔහුගේ කෘති පරිවර්තනය වී තිබේ. ගාඞ්න් සහ ඩෙසර්ට් යන කාව්‍ය ග්‍රන්ථ ඇතුළුව රේල්වේ, අන්ඩර්ග්‍රවුන්ඞ්, පොයෙට් ඇන්ඞ් බින් ලාඞ්න් සහ ඩෙඞ් ලේක් යන නවකතා පළකර ඇති ඔහුගේ නවතම නවකතාව වන ඩෙවිල් ඇන්ඞ් ද ෆීස්ට් කෘතිය එළැඹෙන නොවැම්බරයේදී එළිදැක්වීමට නියමිතය. අද වන විට විචාරකයෝ ඔහු ගොගොල්, සහ අන්ද්‍රෙයි ප්ලැටනොෆ් සමග මෙන්ම සල්මන් රුෂ්ඩි සමගද සංසන්දනය කරති. විශ්ව සම්භාවනාවට පත් ලේඛකයකු වන ඔහුගේ ‘ඩෙඞ් ලේක්’ කෘතිය ‘මියැදුණු විල’ නමින් චූලානන්ද සමරනායක විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලදුව සැප්තැම්බර් මාසයේ පොත් ප්‍රදර්ශනයේදී සුභාවි ප්‍රකාශනයක් සේ එළිදැක්වේ. ඒ අවස්ථාව උදෙසා ලංකාවට පැමිණෙන හමීඞ් ඉස්මායිලොව් සැප්තැම්බර් 23 දින උදය වරුවේදී සුභාවි පොත් කුටියේදී (H 205) පාඨකයන් හමුවීමට අපේක්ෂා කරයි. සැප්තැම්බර් 25 දින සවස 3ට එකී කෘතිය අරභයා කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වෙන චාම් උත්සවයටද සුභාවි ප්‍රකාශක, පරිවර්තක සහ එක්ව හමීඞ් ලාංකීය පාඨකයන්ට ඇරයුම් කරති.
පහත පළවනුයේ ‘අන්ඩර්ග්‍රවුන්ඞ්’ නවකතාව පළවීම නිමිත්තෙන් ඔහු සමග ‘රෙස්ට්ලස් බුක්ස්’ වෙබ් අඩවිය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය
චූලානන්ද සමරනායක විසිනි.

ඔබ ඉපදුණ හැදුණ වැඩුණ ස්ථානය ගැන මුලින්ම අපට ටිකක් කියන්න පුළුවන්ද?
ආරම්භයේ පටන්ම මගෙ ජීවිතය නොර්මැඩික එකක් බව කියන්න ඕනෑ. මගෙ අම්මාගේ කුසේ මං පිළිසිඳගන්නෙ උස්බෙකිස්ථානයෙ ෆර්ගානා නිම්නයේදි. ඒ වෙලාවෙ මගෙ අම්මා කිර්ගිස්ථානෙ ඉන්න ඥාතියො බලන්න යන්න තීරණය කරනවා. ඇය මාව බිහිකරන්නෙ එහේදි. අපි ඊට පස්සෙ දෙපැත්තට එහෙ මෙහෙ ගිහින් අන්තිමේදී ෆර්ගානා නිම්නයටම එනව. මට වයස අවුරුදු දෙළහේදි අම්මා මිය යනවා. ඊට පස්සෙ මං ආච්චිගෙ ගෙදර යනවා. මගෙ මුළු ජීවිතයම මං කළේ ඇවිදපු එක. මගෙ මුළු ජීවිතයම නෝමැඩික එකක්. මෙතන තියෙන අපූරුම දේ වෙන්නෙ, එහෙම යන අතරෙ මං වැඩිම කාලයක් හිටපු තැන තමයි ලන්ඩන්.

සෝවියට් සංගමයෙ ඈත ඈත පෙරදිග කොනක හිටපු ඔබට මොස්කව් ගැන කිසියම් අදහසක් තිබුණාද?
ඔව්. මේ අපිට මොස්කව් කියන්නෙ ක්‍රෙම්ලින් එක. බාලාංශ පන්තියේදි අපි ක්‍රෙම්ලිනය චිත්‍රයට නගන්න පුරුදු වෙලා හිටියා. හැබැයි මං වාසනාවන්ත කෙනෙක්. මොකද මගෙ සීයා දුම්රිය සමාගමක රැකියාව කළා. ඒ හින්දා එයා එහෙ මෙහෙ සංචාරය කළා. එයා දුම්රියේ භෝජන මැදිරියෙ අරක්කැමියෙක්. එයා මුළු සෝවියට් සංගමය පුරාම ගියා. 1962දී, ඒ කියන්නෙ මගෙ වයස අවුරුදු අටේදි එයා මාව මොස්කව් නුවරට එක්ක ගියා. අන්න ඒ වෙලාවෙදි තමයි මොස්කව් කියන්නෙ ක්‍රෙම්ලිනයට වඩා තැනක් කියලා මං වටහාගත්තෙ. ඒක බලන්න හුඟ දේවල් තියෙන දැවැන්ත නගරයක්. මං කියන්නෙ උමං දුම්රියත් එක්කම. මං එතකොට ප්‍රාදේශීක පළාතක අහිංසකකමින් පිරිච්ච එකෙක්. මගෙ අදහසත් ඒ වගේම වුණා.

එතකොට ලිවීම සහ කියවීම ඔබේ ජීවිතයට ඇතුළු වෙන්නෙ කොහොමද?
මං මේ මෑතකදි මං පුංචි කාලෙ කියවපු පොත් එකතු කරන්න ගත්තා. එතැනදි මං වටහාගත්ත දේ තමයි, මේ තියෙන්නෙ මගෙ අම්මා කියවන්න පුරුදු වෙලා හිටපු පොත් නේද කියන එක. එකම දේ මං ඒව කියෙවුවෙ හොරෙන්. මං ඉතිං ඒ පොත්වල පින්තූරත් එක්කම තියෙන ඒ සංස්කරණයම එකතු කළා. ඒවායින් වැඩි හරියක් රුසියානු පොත්. ඔය කාලෙදි මගෙ තාත්තා උස්බෙක් වීර කාව්‍ය කියවන්න පුරුදුවෙලා හිටියාා. මං පිටු දහසක් විතර වුණ ඒ විශාල පොතුත් කියෙවුවා.
මගෙ අම්මා මිය ගියාට පස්සෙ මං මගෙ ආච්චි ළඟට ගියාම මං උන්දැට අහන් ඉන්න පොත් කියවන්න පටන්ගත්තා. උන්දැ මට එයාට ඇහෙන්න එක් දහස් එක් රැය කතාපොත කියවන්න කියලා ඉල්ලනවා. මං ඉතිං හැන්දෑවල හුඟ වෙලාවක් ඇයට පොතෙන් කොටස් කියවනවා. ඔය විදිහට මං ඒ පොතෙන් උපරිම තෘප්තියක් ලබන්න ගත්තා. දැන් මම ඒක කියවනකොට මට මං දැන් මගෙ ලියවිලිවල ගවේෂණය කරන හැම ජාතියෙම දේවල් ඒ පොතෙන් හමුවෙනවා.
මගෙ මුල්ම නවකතාව ලිවුවෙ උස්බෙක් භාෂාවෙන්. ස්ටාලින්ගේ භීෂණයට ගොදුරු වුණ මහලු ලේඛකයකුට මං ඒක පෙන්නුවා. එයා මට කිව්වෙ මෙච්චරයි.- කවමදාවත් මේක මෙහෙ පළකරන්න ලැබෙන්නෙ නෑ. උඹව අත්අඩංගුවට ගනියි. උඹ මේ වැඬේ අත්ඇරදාලා රුසියානු භාෂාවෙන් ලියන්න ගනිං. මං ඒ කතාව වටහාගත්තා. මොකද මගෙ අත්දැකීම් අනුව මං ඉන්නෙ මුළු ශිෂ්ටාචාරයම මගෙ දෑතෙ තියාගෙන. මං සෝවියට් අත්දැකීම මොන වගේද කියලා දැනං උන්නා. ඒ වගේම බොහෝ කෝණයන්ගෙන් ඒකෙ ආනිසංස ගැනත්. මගෙ ආත්මය ඇතුළෙ සමස්ත ශිෂ්ටාචාරයම පුපුරා හැලෙමින් තිබුණෙ. ඒක ඊට පස්සෙ නවකතා හැටියට එළියට එන්න පටන්ගත්තා.

උස්බෙකිස්ථානය හැරදාලා එන්න ඔබට බලපෑ තත්වයන් මොනවාද?
මං උස්බෙක් ලේඛක සංගමයෙ නියෝජිතයෙක් හැටියට මොස්කව්වලට ගියා. මගෙ කටයුත්ත වුණේ උස්බෙක් සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම. ඔන්න ඔය අතරෙ පෙරෙස්ත්‍රොයිකාව ආවා. අපිට මධ්‍යම ආසියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න උපකාර කරන්න පදනමක් පිහිටුවන්න අවශ්‍ය වුණා. හැබැයි උස්බෙක් රජය මේක සැලකුවෙ කඩාකප්පල්කාරී වැඩක් හැටියට. ඉතිං මේ පදනම්වල හිටපු සියලුම සාමාජිකයන් අත්අඩංගුවට අරන් ඔවුන්ට පහරදුන්නා.
සෝවියට් සංගමය බිඳිලා යද්දි මං ආපහු උස්බෙකිස්ථානයට ආවා. හැබැයි රුසියානු පුවත්පතක වාර්තාකාරයෙක් විදියට මං එක කකුලක් රුසියාවට තියාගෙනයි හිටියෙ. කොයි මොහොතෙ හරි මාව අත්අඩංගුවට ගන්න අනතුරක් තිබුණා. මං රුසියානු භාෂාවෙන් රුසියානුවන් වෙනුවෙන් ලියන එකට බලධාරීන් කැමති වුණේ නෑ. උස්බෙකිස්ථානෙ ඕනැම දෙයක් දේශපාලනය වෙනවා. ඔබ මොනව ලිවුවත්, වෙන එකක් තියා අතිශය පුද්ගලික දේවල් ලිවුවත්, ඒවත් දේශපාලනය බවට පත්වෙනවා. නිදහස් චින්තනයත් දේශපාලනය වෙනවා. ඔය අතරෙ මගෙ නිවසට ප්‍රහාරයක් එල්ල වෙනවා. තත්ත්වය මොන තරං භයානකද කියලා මට වැටහුණේ එතකොට. මං ඒ අවස්ථාවෙ රට හැර යන්න තීරණය කළා. අපි ටික කාලයක් මොස්කව්වල හැංගිලා හිටියා. ඔය අතරෙ මගෙ මිත්‍රයෙක් මට දැන්නුවා මගෙ හිසට මිලක් නියම වෙලා තියෙනව කියලා. මං හිටියෙ කොහෙද කියලා ඒ අය දැනං හිටියා. මං ඒ වෙද්දි ප්‍රංශයට පනින්න සැලසුම් කරමින් උන්න බව ඒ අය දැනං හිටියා. ඒ අය හැමදේම දැනං හිටියා.
ඒක මගෙ ජීවිතයෙ අතිශය භයානක කාල පරිච්ඡේදයක්. අපි වෙන වෙනම තට්ටු නිවාසවල ගෙවල් අස්සෙ හැංගිලා උන්නෙ. මේ ජංගම දුරකථන භාවිතයට එන්න කලින්. ඒ නිසා මං මගෙ බිරිඳට මම ඉන්නෙ කොහෙද කියන්න එක එක දුරකථන භාවිත කළා. එතකොට එයා මාව බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොතනද කියලා මට කියන්න ආපහු මට කතා කරනවා. ප්‍රංශයට යාගන්න ලැබෙන තුරු අවුරුදු භාගයක් විතරම තත්වෙ ඕක තමයි. ඒ වෙද්දිත් අපේ දුව ටශ්කන්ට්වල. එයා එක්තරා ආකාරයකට ප්‍රාණඇපකාරියක් වුණා. අපිව අල්ලාගන්න බලධාරීන් ඇයව ඉත්තා කරගන්න බව අපි දැනං උන්නා. දුවව රටින් එළියට ගන්න තවත් අවුරුද්දක්ම ගතවුණා. එතකොට දුවගෙ වයස අවුරුදු දොළහයි.

ඔබේ දුව ඇගේ දෙමව්පියන්ගෙන් වෙන් කෙරෙන්නෙ, ඔබට ඔබේ මව අහිමි වුණ වයසෙදිමයි.

ඒක ඇත්ත. කෙනෙක් හොඳට හැඩගැහිල එන්නෙ ඒ වයසෙදි. කෙනකුගෙ අනාගත ජීවිතේ ගෙවෙන්නෙ ඒ කාලයෙදි සිද්ධවෙන දේවල්වල ප්‍රක්ෂේපණයක් හැටියටයි. මං හැම වෙලාවෙම මං තුළ රික්තයක් තිබුණා කියලා දැනං උන්නා. මං ඒක නවකතාවලින් පුරවන්න උත්සාහ දරනවා. මේ රික්තය මගෙ ජීවිතේ තුළ ඇති වුණේ මට වයස අවුරුදු දොළහෙදි.
ඔබේ කෘති තුළ බොහෝ අවස්ථාවල ළමයකුගේ දෑසින් ලෝකය විස්තර කෙරෙන්නෙ ඒ නිසාද?
මං මම ගැනම කළ එක සොයාගැනීමක් තමයි, මං වැඩිය කැමති ළමයි සහ මහල්ලන් ගැන ලියන්න කියන එක. සෝවියට් යුගයෙදි වැඩිහිටියෙකුගෙ ජීවිතේ කියන්නෙ ලියන්න තරම් දෙයක් නෙවෙයි. ඒක හරිම විධිමත්. ආයතනගතයි. කිසිම රසවත්කමක් නෑ. ජීවිතයේ මානුෂික මොහොතවල් එළඹෙන්නෙ පිවිසුම් සහ පිටවුම් ස්ථානවලදි විතරයි. හැබැයි ළමයි තවමත් අදූෂිත යථාර්ථයක් දකිනවා. මහලු අයට තවමත් පූර්ව සෝවියට් ජීවිතය මතකයි. හැබැයි මගෙ පියාගෙ පරම්පරාව අහිමිවීම අත්විඳි පරම්පරාවක්.

එතකොට ඔබේ දියණියගෙ පරම්පරාව?
මං මෙතනදි පාපෝච්චාරණයක් කරන්නම ඕනැ. අන්ඩර්ග්‍රවුන්ඞ් නවකතාව හුඟක් දුරට ඇගේ ළමාවිය ගැන. ඒ වගෙම මගෙත් ළමාවිය ගැන. මං ඇගේ අත්දැකීම් ගැන බොහෝ දේ කල්පනා කරමින් හිටියෙ. ඇගේ දෑසින් ලෝකය දකිමින් හිටියෙ. ඇගේ ජිවිතය සෝවියට්වරුන් විසින් දූෂණය කරන ලද්දක් නෙවෙයි.

මොස්කව්වල ඉන්න මේ අඩඅප්‍රිකානු දරුවා ගැන මේ කතාව ලියන්න ඔබට පෙළඹවීම එන්නෙ කොහොමද? ඔහුගෙ ආගන්තුක බව, විචිත්‍රවත්බව, මං අහන්නෙ ඔහුගෙ පසුබිම ඔබට වැදගත් වෙන්නෙ කොහොමද?
මට තවත් පාපෝච්චාරණයක් කරන්න වෙනවා. මේ නවකතාව පිළිබඳ වස්තු බීජය මට එන්නෙ එක රැයක. ඒ 2005දී. ඒ ශීත සමය. මං හිටියෙ මොස්කව් නුවර. මං අපේ පරණ නිවාසය බලන්න ගියා. ඒකෙ එතකොට හිටියෙ මගෙ යාළුවෙක්. හැබැයි එක කාමරයකට අත තියලාවත් නැති තරං. ඒක අපි පිටවෙලා ආපු දවසෙ වගේමයි. පිටත හිම වැස්සක් ඇදහැලෙනවා. මාව එහෙමපිටින්ම අතීතකාමයෙන් පිරිලා ගියා. ආපහු ලන්ඩන්වලට ආ ගමන්ම මං ලියන්න ගත්තා. මං මොස්කව්වල හිටපු මං ගැනම පිටු පණහක් ලිවුවා. මේ අතීතකාමය ගැන ලිවුවා. හැබැයි මට ලියන්න ඕනෑ වුණේ ඒක නෙවෙයි. අන්න ඒ වෙලාවෙ මට පුෂ්කින්ගෙ එක කියමනක් මතක් වුණා- ‘මොස්කව්…. මේ එක වදන, හඬ රුසියානු හදවත්වල මොන තරමක් තත් අවදි කරන්නේද!’ පුෂ්කින් අඩරුසියානුවෙක්. අප්‍රිකානු උරුමයකුත් එක්ක. හැබැයි එයා අනෙක් කවරම රුසියානු ජාතික ලේඛකයකුටත් වඩා ගැඹුරට රුසියානු හදවත දුටුවා. මං අන්න ඒ නිසා තවත් පුෂ්කින් කෙනකු ගැන කතාවක් ලියන්න තීරණය කළා.■