රාවය

පරිවර්තකයාට අයිතියක් නැහැ මුල් කර්තෘ වාරණය කරන්න | ගාමිණී වියන්ගොඩ

පරිවර්තකයාට  අයිතියක් නැහැ  මුල් කර්තෘ  වාරණය කරන්න |  ගාමිණී වියන්ගොඩ

කේ. සංජීව

“තැපැල්කාරිය ඊවා ක්ලුග, යැබ්ලොන්ස්කි වීදියේ අංක 55 ගොඩනැගිල්ලේ පඩිපෙළේ හෙමිහිට නගිමින් සිටියි. ලියුම් බෙදීමෙන් විඩාවට පත්ව සිටියද, ඇය බෙදීමට අකමැති එක ලියුමක් මල්ලේ තිබේ. එය, දෙවැනි මහලේ වෙසෙන එහි හිමිකරුවාට – ක්වන්ගල් පවුලට – දිය යුතුය.” මේ ගාමිණී වියන්ගොඩ විසින් සිය පාඨකයන්ට ඉදිරිපත් කරන අලුත්ම පරිවර්තන කෘතිය වන ‘හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්’හි ආරම්භක ඡේදයයි. මුල් කර්තෘ ජර්මන් ජාතික හෑන්ස් ෆැල්ලඩා ය. එම මුල් කෘතියේ නම ැevery man dies alone. ගාමිණී වියන්ගොඩ ලාංකේය පරිවර්තන සාහිත්‍යය තුළට පරිවර්තකයකු ලෙස එකතුවන්නේ 90 දශකයේය. ඒ ලාංකේය සාහිත්‍ය ලෝකයට පශ්චාත් නූතන සාහිත්‍යකරුවන් රැසක් හඳුන්වාදෙමින්ය. රුසියානු, ප්‍රංශ, ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකුට පමණක් හිමිවී තිබූ ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ ආධිපත්‍යය ගාමිණී වියන්ගොඩගේ ආගමනයත් සමග වෙනස් වූ අතර ඉන්පසුව පසුනූතන විශ්ව සාහිත්‍යකරුවන් රැසකගේ කෘතීන් කියවීමේ අවස්ථාව ලංකේය පාඨකයන්ට ලැබුණි. ‘රාග රිද්ම’ ගාමිණී වියන්ගොඩගේ පළමු පරිවර්තනයයි. එය කෙටිකතා එකතුවක්ය. පෙරවදන ලියන ආචාර්ය සරත් අමුණුගම එහිදී මෙලෙස ලියයි. ‘ගාමිණීගේ මේ උත්සාහය නිසා සිංහල කියවන්නාගේ මානසික ලෝකය පුළුල් වෙයි. විදේශීය කෙටිකතා සිංහලට පරිවර්තනය වූ මුල් අවස්ථාව මෙය නොවේ. එදිරිවීර සරච්චන්ද්‍ර, ඩීජේ විජේරත්න, ඒපී ගුණරත්න යන මහත්වරු ලෝක පූජිත ප්‍රංශ සහ රුසියානු කෙටිකතා සිංහලට නැගුවෝය. විශේෂයෙන් විප්ලවයට පෙර ලියන ලද රුසියන් කෙටිකතා කෙරෙහි සිංහල රචකයන්ගේ අවධානය යොමුවී ඇති බව පෙනේ. එහෙත් මේ කතා සියල්ලම පාහේ ලියන ලද්දේ වෙනමම සමාජයක් සහ වෙනමම වකවානුවක් ගැනය.’
පහතින් පළවන්නේ ගාමිණී වියන්ගොඩ සමග ඔහුගේ නවතම පරිවර්තන කෘතිය සහ ඔහුගේ පරිවර්තන සාහිත්‍ය කාර්යය පිළිබඳව රාවය කළ සංවාදයකි.

අපි මේ කතාබහ රාග රිද්මවලින් පටන්ගනිමු.
ඔව්, ඒක තමයි මගේ පළමුවැනි පරිවර්තන කෘතිය. මම මුලින්ම ලංකාවෙන් ගියේ 1980 අවුරුද්දේ. 1987 ආයේත් ලංකාවට ආවා. ඊට පස්සේ 87 ඉඳලා 90 වෙනකම් ලංකාවේ හිටියා. ඒ කාලේ මම දිවයින බදාදා අතිරේකයට කොලමක් ලියුවා. ඒක අවුරුදු එකහමාරක් ලිව්වා. ඒකේ ගියේ ඉතිහාස කතා දෙකක්. එකක් චාර්ල්ස් ඩිගෝල්ගේ ජීවිත කතාව. අනික පලස්තීන අරගලයේ ඉතිහාසය. ඒ කාලේ මම මේ කොලමට අමතරව දිවයිනට විදේශ කෙටිකතා පරිවර්තනය කළා. එහෙම කරනකොට තමයි හිතුණේ මේ කෙටිකතා පොතක් විදිහට පළකරන්න ඕනෑ කියලා. ඊට පස්සේ තමයි අලුත් කෙටිකතා ටිකකුත් එක්ක අර පත්තරේ ගිය කෙටිකතාත් එකතුකරලා ‘රාග රිද්ම’ පළකරන්නේ. මේ කෙටිකතා පොතේ කෙටිකතා 8ක් අන්තර්ගත වුණා. ඒ සියලුම ලේඛකයෝ අතරින් එක ලේඛකයායි ලංකාව ඒ කාලේ වෙනකොට දැනගෙන හිටියේ. ඉසාක් බෂෙවිස් සිංගර්, මිලාන් කුන්දේරා, යුකියෝ මිෂිමා, ලුසියා වැලෙන්සුවෙලා, සීසර් පවේසි, රිචඞ් රයිට්, ගාර්සියා මාර්කේස්, මේ ලේඛකයෝ මුලින්ම ලංකාවේ සිංහල පාඨකයන් හඳුනාගන්නේ මේ පොතෙන්. කියන්න සතුටුයි, ඊට පස්සේ වෙනත් පරිවර්තකයෝ බොහොම දෙනෙක් මේ ලේඛකයන්ගේ කෘති වැඩි වශයෙන් පරිවර්තනයට පෙළඹුණා.

රුසියානු, සෝවියට් රුසියානු, ප්‍රංස සහ ඉංග්‍රීසි පොත්වල පරිවර්තන පමණක් සුලබ වුණ රටක ඔබේ ආගමනයත් එක්ක ලතින් ඇමරිකානු සාහිත්‍යය රැල්ලක් වගේ පැතිරිලා යනවා. ලතින් ඇමරිකානු සාහිත්‍යය තුළට ඔබේ ප්‍රවේශය සිද්දවෙන්නේ කොහොමද? ඇයි ලතින් ඇමෙරිකානු ලේඛකයන්ගේ පොත් පරිවර්තනය කරන්න කල්පනා කළේ?
1980 මම රට ගියාට පස්සේ මුලින්ම ස්පාඤ්ඤයේ අවුරුද්දක් හිටියා. නිතර ඇස ගැටුණු සාහිත්‍යය තමයි ලතින් ඇමරිකානු සාහිත්‍යය. මොකද ඒ මහාද්වීපයේ බ්‍රසීලය ඇරෙන්න අනෙක් සියලු රටවල් තමන්ගේ මව් භාෂාව විදියට භාවිත කළේ ස්පාඤ්ඤ. ඒ, ඔවුන් 1490 විතර ඉඳලා ස්පාඤ්ඤයේ යටත්විජිත විදියට හිටිය නිසා. ඉතිං ලතින් ලේඛකයන්ගේ පොත් සෑම එකක්ම වගේ ස්පාඤ්ඤයට ආවා. ඔය විදියට තමයි ලතින් ඇමෙරිකානු පොත් කියවන්න පෙළඹුණේ. හැබැයි මගේ රාග රිද්ම කියන මුල් පොතේ ලතින් ලේඛකයෝ දෙන්නායි ඉන්නේ. ඒ ගර්සියා මාර්කේස් සහ ලුසියා වැලෙන්සුවෙලා. ලුසියා වැලෙන්සුවෙලා වුණත් ආජන්ටිනාවේ ඉපදුණාට ජීවත්වෙන්නේ ඇමෙරි කාවේ. ඔය මුල් පොතේ එක කතාවක් තියෙනවා දේශප්‍රේමය කියලා. ඒක ජපන් ලේඛකයෙක් වන යුකියෝ මිෂිමාගේ. ඒ කෙටිකතාව දිවයිනේ ඒ කාලේ පළවුණාම පත්තරේට ප්‍රශ්නත් ආවා. මොකද 1989 විතර කියන්නේ රට අස්සේ දේශප්‍රේමී අරගලයක් තිබුණු කාලයක් නේ! මගේ මුල්ම නවකතා පරිවර්තනය තමයි කරුමක්කාර කතාවක් කියන එක. ඒක ලතින් ඇමෙරිකානු ලේඛකයෙක් වන ගර්සියා මාර්කේස්ගේ. මේ කතාව කියවූවාම මට හරි ආස හිතුණා. මේක මාර්කේස්ගේ අනික් පොත්වලට වැඩිය හරි වෙනස්. අනික හරිම සිනෙමැටික්. මුලක් මැදක් අගක් නැහැ. නවකතාව පටන්ගන්නේ කතාවේ අවසානයෙන්. මුල්ම වාක්‍ය කියවනකොට හිතුණා අයියෝ මෙයා කතාව කියලා ඉවරයිනේ, ඉතිං කියවලා වැඩක් නැහැනේ කියලා. හැබැයි කියවාගෙන යනකොට තමයි තේරෙන්නේ මේ ප්‍රබන්ධයේ අපූර්ත්වය. ඉතිං මම කල්පනා කළා මේ පොත පරිවර්තනය කරන්න ඕනෑ කියලා. ඊළඟට ඉසබෙල් අයියන්දේගේ ඊවා ලූනා, මාර්කේස්ගේම කොලරා කාලේ ආලේ, පාවුලෝ කොයියෝගේ වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි, අයියන්දේගේම මායාවාස, ඔය වාගේ ලතින් ඇමෙරිකානු පොත් ගොඩක් කළා. මේවා සේරම පශ්චාත් නූතන තත්ත්වය යටතේ ලියැවුණු කෘති. ඉතිං පහුගිය කාලයේ ලංකාවේ සමාජය තුළත් පශ්චාත් නුතනවාදී කතිකාවක් තිබුණා. මම හිතන්නේ මේ පොත් ඒ කතිකාව පෝෂණය කරන්නත් බලපාන්න ඇති.

මිකායෙල් බුල්ගකෝව් කියන සෝවියට් ලේඛකයාගේ ්‍Heart of
a Dog කියන පොත ඔබ ‘බල්ලෙකුගේ හදවත’ නමින් සිංහලට පරිවර්තනය කරනවා. මේක හරි අපූරු පොතක්…
ඔව්, බුල්ගකෝව් මේ පොතින් විවේචනය කරන්නේ සමාජවාදී විප්ලවය. ඊටත් වැඩිය සෝෂල් ඉන්ජිනියරින් කියන එකෙන් සමාජයක් වෙනස් කරන්න යෑම කොතරම් අසාර්ථකද කියන එක තමයි ඔහු මේ පොතෙන් සාකච්ඡා කරන්නේ. විප්ලවය තමයි ඔපරේෂන් එක. ඔපරේෂන් එකකින් සමාජය වෙනස් කරන්න බැහැ, ඒක හරිම විකාරයක් කියන එක තමයි මේ පොතින් ඔහු යෝජනා කරන්නේ. ස්ටැලින්වාදී ආණ්ඩුක්‍රමය අස්සේ නිලධාරි තන්ත්‍රයේ නැගීම වගේ දේවල් හරිම ලස්සනට උපහාස රසයෙන් ඔහු මේ කෘතිය හරහා කතාකරනවා. ඉතිං අපේ සමාජයෙත් කාලයක් තිස්සේ මුල් බැස ගත්ත වාමාංශික අදහස් පද්ධතියක් තිබෙනවා. මේ පිළිබඳව අලුත් විදියට හිතන්න යම් ආලෝකයක් එල්ල කිරීම තමයි මේ කෘතිය කිරීමේ අරමුණ වුණේ.

තනි රටේ සමාජවාදය වගේ විකාර ක්‍රමයකට යන්න පුළුවන් දුර ගැන තමයි බල්ලෙකුගේ හදවත කියන පොත තුළ කතා කරන්නේ. ඒක ස්ටාලින්ගේ සමාජවාදය පිළිබඳව කියලා කිව්වොත්, ඔබ ඊට වැඩිය හිට්ලර්ගේ නාසිවාදය ගැන ලියැවුණු පොත් පරිවර්තනය කරලා තිබෙනවා. ඒ අතරින් මම ගොඩක් කැමතියි ලෝරන්ස් රීස්ගේ ‘අවුෂ්විට්ස් ඝාතක කඳවුර: නට්සිවාදීන් සහ අවසාන විසඳුම’ කියන පොතට. ඇයි මෙවැනි වර්ගයේ පොත් පරිවර්තනය කරන්න හිතුවේ?
මගේ අලුත් පොත, ‘හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්’ තුළත් එක්තරා විදියකට කතාකරන්නේ ඔය ඔබ කියන කාරණය පිළිබඳවම තමයි. මම ඔය කාරණය ගැනම ලියැවුණ තවත් පොතක් පරිවර්තනය කළා. ඒක තමයි ‘මේ මිනිසෙකු නම්’. ඔය පොත් දෙකටම කලින් ‘රෑ මාතා’ කියලා කර්ට් වොනෙගට්ගේ පොතක් කළා. ඒකෙනුත් කතාකරන්නේ ඔය මාතෘකාවම ගැන තමයි. ලෝක සාහිතයේ යුද්ධය සහ ජාතිවාදය ගැන ලියවුණ විශිෂ්ට පොත් පරිවර්තනය කරන්න මගේ විශේෂ නැඹුරුවක් තිබෙනවා. ඒක මගේ දේශපාලන දැක්ම නිසා මට ලැබුණු දෙයක් වෙන්න ඇති. අනික් කාරණය තමයි, මේ මාතෘකාව සහ එය කේන්ද්‍ර කරගෙන ප්‍රබන්ධ කර තිබෙන කෘතීන් ලංකාවට සහ එහි සමාජ කතිකාවතට බොහෝ වැදගත් කියලා මගේ ළඟ තිබෙන සිතුවිල්ල. අපි යුද්ධය සහ ජාතිවාදය නිසා තවමත් දුක් විඳින ජාතියක් විදියට මේ කෘතීන් තුළින් අපිට ගත හැකි බොහෝ දේ තිබෙනවා.

ඔබ මුලින් කී ‘මේ මිනිසෙකු නම්’ කෘතියට හොඳම පරිවර්තිත නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙනවා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවා.
මට මේ කෘතියට සම්මානය ලැබෙන්නේ ‘හොඳම පරිවර්තිත නවකතාව’ කියන ශීර්ෂය යටතේ. හැබැයි මගේ විශ්වාසය මේක නවකතාවක් නෙවෙයි කියන එකයි. අර්ධ ස්වංචරිතාපදානයක් විදියට තමයි ප්‍රිමෝ ලෙවි මේක ලියන්නේ. මේකේ තිබෙන්නේ මහා විනාශයක් පිළිබඳව වූ පුද්ගල අත්දැකීමක්. ඒ විනාශය ගැන ගැඹුරින් ලිවූ ආත්මභාෂණයක්. ඒක නවකතාවක් වුණ ගමන් ප්‍රබන්ධයක් වෙනවා. මම ඒ සම්මානය ගත්තා නම් මේ කතාව ප්‍රබන්ධයක් සත්‍යයට ටිකක් ඈත එකක් කියලා මම පිළිගත්තා වෙනවා. එතකොට මම අර ලේඛකයාට කරන්නේ ලොකු අසාධාරණයක්. අපේ මිනිස්සු මේක ප්‍රබන්ධයකට ලඝු කරනකොට මට ඕනෑ වුණේ, නැහැ මේක ඇත්තයි කියලා කියන්න. ඒ මහා විනාශය ඇත්තයි කියලා කියන්න. ඒක තමයි ඔය තීරණයේ අරමුණ. අනික මගේ කෘතීන් තුනකට ස්වාධින සාහිත්‍ය සම්මානය ලැබිලා තියෙනවා. මම සම්මාන බලාගෙන පොත් පරිවර්තනය කරන්නේ නැහැ. මගේ හැමදාම අරමුණ වුණේ සිංහල සාහිත්‍යය, ලෝක සාහිත්‍යයේ රැඳිලා ඉන්න පටු සීමාවෙන් එහාට අරගෙන යන්න. අලුතින් හඳුන්වාදිය යුතු සාහිත්‍යකරුවන් කවුරුන්ද, ප්‍රවණතා මොනවාද කියන එක තමයි මම කල්පනා කරන්නේ. හරුකි මුරකමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ’ වුණත් එහෙමයි පරිවර්තනය වෙන්නේ. අනික මුරකමි, රටක හොඳ පරිවර්තන සාහිත්‍යයක් තිබීමේ වටිනාකම පෙන්වන නිදර්ශනයක්. ජපානයට හොඳ පරිවර්තන සාහිත්‍යයක් නොතිබුණා නම් මුරකමි කියලා ලේඛකයෙක් බිහි නොවෙන්න තිබුණා. මම මුරකමිට කැමති එයා අපේ කලාපයේ කෙනෙක් නිසා. අනික ඔහු ජීවිතය දෙස බලන විප්ලවීය ආකාරය. ජීවිතය ගැඹුරින් හදාරපු දාර්ශනිකයෙක් වගේ තමයි ඔහු ලියන්නේ. මේවා අඳුනාගන්න ලැබෙන්නේ නැහැ රටකට හොඳ පරිවර්තන සාහිත්‍යයක් නැතිනම්. හොඳ පරිවර්තන සාහිත්‍යයක් නැතිව ඒ රට තුළ හොඳ විශිෂ්ට සාහිත්‍යයක් ඇතිවෙන්නේ නැහැ.

සේන තෝරදෙණිය වගේ ලේඛකයෙක් කියනවා ඔබේ පරිවර්තන සදොස් කියලා. මේ කාරණයත් එක්කම මම කැමතියි දැනගන්න ඔබේ පරිවර්තන ක්‍රමවේදය මොකද්ද කියලා.
සේන තෝරදෙණියගේ විවේචන පදනම් විරහිතයි. ඒවා මතුපිටින් අල්ලලා කරන විවේචන. ඕනෑම පරිවර්තන කෘතියක දෝස තිබෙන්න පුළුවන්. ඒක මටත් පොදුයි. මම කෘතියක් පරිවර්තනය කරනවා නම්, ඒක මම ඉලක්ක කරන පාඨකයාට, මුල් කෘතිය රසවිඳි පාඨකයාට ලැබුණු භාවයම ලැබෙන විදියේ පරිවර්තනයක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒක තමයි වැදගත්. එතැනදී මුල් කෘතියේ වචන සහ තේරුම් මතම එල්ලිලා ඉන්නේ නැහැ. ඒ නිදහස පරිවර්තකයාට තිබෙනවා. හැබැයි ඒකෙන් පරිවර්තකයාට ලැයිසන් එකක් ලැබෙන්නේ නැහැ මුල් කෘතිය වාරණය කරන්න. අනික කිසිම පරිවර්තකයෙකුට අයිතියක් නැහැ තමන්ගේ රටේ සදාචාරයට ආගමට දේශපාලනයට අනුකුල විදියට කෘතිය පෙරාගෙන පරිවර්තනය කරන්න. අපේ අතීතයේ හිටිය සමහර පරිවර්තකයෝ අපේ සදාචාර සීමාවලට ගැළපෙන විදියට මුල් කෘතියේ සමහර කොටස් අතහැරලා පරිවර්තන කරලා තිබෙනවා. එහෙත් ඒක නිවැරදි ක්‍රමය නෙවෙයි.

‘හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්’ මේ කෘතිය ගැනත් කතා කරමු.
සමාජයේ තිබෙන පොදු මතය තමයි, සමාජ වෙනසක් සඳහා තනි මිනිහෙකුට කරන්න දෙයක් නැහැ කියන එක. මේ කෘතිය අභියෝගයට ලක්කරන්නේ ඒ මතය. මේ කෘතියෙන් කතාකරන්නේ හිට්ලර්ට විරුද්ධව තනි මිනිසෙක් සහ ගැහැනියක් ගෙනගිය හුදෙකලා අරගලයක් ගැන. ඒ අරගලය අවසානයේ පරාජයට පත්වීම වෙනම දෙයක්. හැබැයි නාසිවාදය වගේ බිහිසුණු ඉරණමක් සමග තනි මිනිසෙක් සහ ගැහැනියෙක් නොබියව සටන් කරනවා කියන්නේ කොතරම් දෙයක්ද? මම හිතන්නේ මේ විදියට හිතන මිනිස්සු යම් සමාජයක සුලබයි නම් ඒ සමාජය ලේ හැලීමකින් තොරව වෙනස් කරන්න පුළුවන්. අපිටත් අද සමාජයක් විදිහට ඕනෑ මේ වාගේ මිනිස්සු. දැන් 2015 ජනාධිපතිවරණය එනකොට රටේ තිබුණු ආකල්පය මොකද්ද? බොහෝ දෙනෙක් කිව්වේ මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ කියලා. හැබැයි අන්තිමට මිනිස්සු, කණ්ඩායම් විදියට අරගලයට එකතුවුණා. අන්තිමට වෙනස් කරන්න බැහැ කියූ ක්‍රමය ලේ හැලීමකින් තොරවම වෙනස් කරගත්තා. සාහිත්‍යය කියලා කියන්නේ මිනිස්සුන්ට පාඩම් කියලා දෙන මාධ්‍යයක් නෙවෙයි. එහෙත් හැම කෘතියකින්ම යම් පණිවිඩයක් සමාජයට දෙනවා. කතුවරයාගේ දෘෂ්ටිවාදය නොදැනුවත්වම ඕනෑම කෘතියකට එනවා. ඒ මාර්ගයෙන් කියවන්නාගේ චින්තයට යම් බලපෑමක් වෙනවා. හැබැයි ඒ රසවින්දනයට අමතරව. මම හිතන්නේ කලාකෘතියක ප්‍රධානම දේ තමයි රස ජනනය.■