රාවය

විස්සේ තීන්දුව කතානායකට ජනපතිට

විස්සේ තීන්දුව කතානායකට ජනපතිට

ලසන්ත රුහුණගේ

පළාත් සභා ඡන්දය කල් දැමීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සැප්තැම්බර් 14 දන කතානායකවරයාට හා ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවාසිදායක හෙවත් ජනමත විමසුමකට නොයන මතයක් ප්‍රකාශ කරනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුව වී ඇති අතර ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට දින නියම කර ඇත.

එදින ආණ්ඩුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාරද අවලංගු කරන ලෙස දැනුම් දී ඇත.
විසිවැනි සංශෝධනයෙන් ආණ්ඩුව යෝජනා කර ඇත්තේ සියලු පළාත් සභා ඡන්ද විමසීම් එකම දිනක පැවැත්වීම සඳහා ඉදිරියේදී කල් ඉකුත්වීමට නියමිත පළාත් සභාවල කාලය අවසාන වරට කල් ඉකුත් වන පළාත් සභාවේ කාලය තෙක් දීර්ඝ කිරීමට හා ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුකර ගැනීමය.

මෙම යෝජනාව පළාත් සභාවල අනුමැතියට යවන ලද විට පළාත් සභා මුල් අවස්ථාවේදී එය පරාජයට පත් කළ අතර පසුව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ පළාත් සභාවලට එකඟවිය හැකි සංශෝධන ඊට එක් කරන බවය. ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා දැනට ප්‍රකාශයට පත් කර ඇති යෝජනාවට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.

ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධනය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණහොත් මැතිවරණ කොමිසමෙහි සැප්තැම්බර් මස අගදී හා ඔක්තෝබර් මස 1 දින කල් ඉකුත් වන නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව යන පළාත් සභා තුන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදන ඔක්තෝබර් 02 දින නිකුත් කිරීමට දැනටමත් තීරණය කර ඇත. එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ පළාත් සභා තුනේ ඡන්ද විමසීම් පැවැත්වීමටද තීරණය කර ඇත.

දෙසැම්බර් මස යෙදෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් මෙම පළාත් තුනේ මැතිවරණය, දෙසැම්බර් මස පවත්වන්නේ කෙසේදැයි රාවය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කරන ලද විමසීමකදී ප්‍රකාශ කළේ පළාත් තුනකට පමණක් සීමාවී පවත්වන මැතිවරණයක් නිසා පාසල් වෙනුවට තාවකාලික ස්ථාන හෝ ඉදිකර එම මැතිවරණය පවත්වන බවයි.
පළාත් සභා ඡන්ද විමසීමක් නොපැවැත්වීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් වරුණ කරුණාතිලක හා සුනන්ද දේශප්‍රිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණේ එසේ ඡන්ද විමසීමක් නොපැවැත්වීම සඳහා ජනමත විචාරණයකට යායුතු බවය.■