රාවය

අණ දුන්නේ මහින්ද නම් ඔහුටත් නඩු දැමිය යුතුයි

අණ දුන්නේ මහින්ද නම් ඔහුටත් නඩු දැමිය යුතුයි

උපුල් කුමරප්පෙරුම

සිල් රෙදි නඩුවේ තීන්දුව සමග රටේ රාජ්‍ය සේවය අලුත් මානයකට ප්‍රවේශ වන්නට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදයක් නැත. මේ නඩුවේ තීන්දුවෙන් රාජ්‍ය සේවකයා දේශපාලකයාට අවනත විය යුතු ප්‍රමාණය, සහ රාජ්‍ය සේවකයා තම කොන්ද පාවිච්චි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් මාලාවක් සපයා ඇත. රාජ්‍ය සේවයෙහි සමහරකු තුළ නිදන්ගතව පවතින දේශපාලන නිවටභාවය සහ ගැතිභාවය එම ශරීරවලින් ඉවත් කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය වූ මෙවලමක් ලෙස මෙම නඩු තීන්දුව අර්ථ දැක්විය හැකිය.

රජයේ සේවකයා පාලනය කෙරෙන ප්‍රධාන නෛතික උපකරණය ආයතන සංග්‍රහයයි. රජයේ සේවකයෙකු පත් කිරීමේ සිට ඉවත් කිරීම දක්වා සියලු ක්‍රමවේදයන්, කාර්ය පටිපාටීන් සංගෘහිත කර ඇත්තේ එහිය. එසේම රජයේ මුදල් පරිහරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයෙකු පිළිපැදිය යුතු ක්‍රමවේදයන් මූල්‍ය රෙගුලාසිවල දක්වා ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ මූල්‍ය කළමනාකරණය මූල්‍ය රෙගුලාසිවලට යටත්ව සිදුවිය යුතුය. රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරිමය මාර්ගෝපදේශකත්වය ආයතන සංග්‍රහය මගින් සහ මූල්‍ය කළමාකරණය මූල්‍ය රෙගුලාසි මගින් පාලනය කෙරෙත්ම රටෙහි පොදු නීතියෙන් රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන අතරම බැඳ තබා ගැනීමද සිදු කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ පනත, පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන වැරදි සම්බන්ධ නීතිය මේ අතර ප්‍රධාන ලෙස සැලකිය හැකිය.

නඩුවේ සාක්ෂි මගින් අනාවරණය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවක් වූ සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපාරයකට විදුලි සංදේශ නියමන කොමිසමේ සභාපතිවරයා වශයෙන් නිල බලයෙන් ධුරය දැරූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට මහතාත් රුපියල් මිලියන හයසියයක මුදලක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිරිවැය ලෙස ලබා දී ඇති බවයි. එම තීරණය අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාවකින් තොරව සහ කොමිසමට අදාල මූල්‍ය රෙගුලාසිවලට පටහැණිව සිදුවී ඇති බව අධිකරණය ඉදිරියේ අනාවරණය වූයේය. වීරතුංග සහ පැල්පිට මහත්වරුන් වරදකරුවන් වන්නේ ඒ අනුවය.

වීරතුංග සහ පැල්පිට සිරගත වූ පසු හිටපු ජනාධිපතිවරයා කීවේ, ඔවුන් දෙදෙනාට මේ කාරණය සම්බන්ධයෙන් තමා නියෝග ලබා දුන් බවයි. ඔහු ලබා දුන් නියෝගය කුමක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ නොකළද සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපාරය සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් ලබා ගැනීමේදී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව සාක්ෂි මගින් අනාවරණය විය. එහි උපරිම මිලියන සියයක්ව තිබු ආයතනික සමාජ වගකීම ගිණුමෙහි උපරිමය රුපියල් මිලියන හයසියයක් දක්වා වැඩි කිරීම, ඒ සඳහා මුදල් යෙදවිය නොහැකි ගිණුමකින් එම ගිණුමට මුදල් ලබාදීම, එසේ එම ගිණුමෙහි උපරිමය රුපියල් මිලියන හයසියයක් කරන්නට අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොතිබීම, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම යටි අරමුණ කරගෙන කටයුතු කිරීම ඒ අතර වේ. රාජපක්ෂ මහතා ඕනෑම මොහොතක තමන්ගේ ගැලවිජ්ජාවට උපයෝගී කරගනු ලබන ආගම මේ අවස්ථාවේදීද උපයෝගී කරගනිමින්, සිල් රෙදි බෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ප්‍රකාරව බුද්ධාගමේ ප්‍රවර්ධනය සඳහා කළ කටයුත්තක් බව කීවේය. ඔහුගේ චෝදනාව වූයේ බුද්ධාගම වෙනුවෙන් කටයුතු කරන්නට ගොස් වීරතුංග සහ පැල්පිට දෙපල සිරගත වූ බවයි.

රාජපක්ෂ මහතා තමාගේ සිල් රෙදි ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා මුදල් ලබාදුන් විදුලි සංදේශ නියාමන කොමිසමට එම කාරණය සම්බන්ධයෙන් නියෝග දුන් බවට පිළිගැනීමත් සමග රාජ්‍ය පාලනය සහ රාජ්‍ය පාලකයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අලුත් ප්‍රශ්න රාශියක් ගොඩනැගෙන්නේය. දැනටමත් ගොඩනැගී ඇත.

රාජපක්ෂ මහතාට රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් නීති විරෝධී නියෝග දිය හැකිද? එවැනි නියෝග පිළිපැදීමට රජයේ සේවකයෝ බැඳී සිටිත්ද? නීති විරෝධි නියෝග සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා වගකිව යුතුද? ඒ සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රශ්න කළ හැකිද? යනාදිය මේ අතරින් බහුලව ඇසෙන ප්‍රශ්න වේ.

පළමු ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව සමග කතා කළ යුතුය. එම වගන්තියේ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සතු බලතල සහ කාර්යයන්ය. 33(ඊ) උපවගන්තියේ මෙසේ සඳහන්කොට ඇත; “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේය.”
ඒ අනුව ඉතාමත් හොඳින් පැහැදිලි වන කාරණය නම්, ජනාධිපතිවරයාට කළ හැකි වන්නේ යම් ලිඛිත නීතියකට හෝ විධිවිධානයකට පටහැනි නොවන සහ එසේ කිරීමට ඔහුට බලය ලැබී ඇති කාර්යයන් පමණක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිත නීතිය යනු කුමක්ද යන්න මේ ආකාරයට අර්ථ නිරූපණය කොට ඇත්තේය. “ලිඛිත නීතිය යන්නෙන් යම්කිසි නීතියක් සහ අනුනීති අදහස් වන අතර, කවර වූ හෝ නීතියක් යටතේ නියමයන්, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා සහ නියෝග සෑදීමට හෝ නිකුත් කිරීමට හෝ බලය නැතහොත් අධිකාරය ඇති යම්කිසි මණ්ඩලයක් හෝ තැනැත්තෙකු විසින් සාදන ලද නියමයන්, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා සහ නියෝග ඊට ඇතුළත් වේ.

විදුලි සංදේශ නියාමන කොමිසම පාලනය කරන්නා වූ නීතිය විදුලි සංදේශ පනතය. එම පනතෙහි කොමිසමේ මූල්‍යය සම්බන්ධයෙන් සහ එහි පාලනය සම්බන්ධයෙන් නිශ්චිත විධිවිධාන ඇත. කොමිසමට පනතෙන් බලය ලැබී නොමැති කාරණා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකිය. එසේම කොමිසමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ද කටයුතු කළ නොහැකිය. හිටපු ජනාධිපතිවරයාම පිළිගන්නා ආකාරයට කොමිසමට ඔහු නිකුත් කර ඇති ආකාරයේ නියෝගයක් නිකුත් කරන්නට බලයක් ඇත්තේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර සඳහන් කළ ප්‍රතිපාදන විදුලි සංදේශ පනතෙහි විධිවිධාන සමග කියැවීමේදි පිළිතුර වන්නේ, එසේ කළ නොහැකිය යන්නයි. විදුලි සංදේශ පනතෙන් හෝ වෙනත් කිසිදු නීතියකින්, රෙගුලාසියකින් ජනාධිපතිවරයාට මෙවැනි බලයක් ලබා දී නොමැත.

මීළඟට සලකා බැලිය යුත්තේ එසේ බලයක් ලබාදී නොමැති අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට බුද්ධාගමෙහි ප්‍රවර්ධනය සඳහා මෙවැනි නියෝගයක්, ක්‍රියාවක් සිදුකළ හැකිද යන්නයි. සරල පිළිතුර වන්නේ බෞද්ධාගම නගා සිටුවීම හෝ ප්‍රවර්ධනය කිරීම හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාට ව්‍යස්ථාවේ 33 වගන්තියෙන් ලැබී ඇති බලයට යටත්ව විය යුතු බවයි. ඒ අනුව රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇති නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඕනෑවටත් වැඩි සාක්ෂි ඇත්තේය.
දෙවන ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ නියෝගයක් නීති විරෝධි වන කල්හි එය ඉටුකිරීමට රාජ්‍ය නිලධාරීහු බැඳී සිටිත්ද යන්නයි. රාජ්‍ය නිලධාරියාගේ රාජකාරිය පාලනය කෙරෙන ප්‍රධාන නෛතික මාර්ගෝපදේශනය ආයතන සංග්‍රහයයි. එහි, තම ඉහළ නිලධාරියාගේ අණ කනිෂ්ඨයෙකු පිළිපැදිය යුතු ආකාරය පැහැදිලිව දක්වා ඇත. එම සංග්‍රහයේ ඞඛඪෂ ස පරිච්ඡෙදයෙහි 8 වන කොටසෙහි 1වන වගන්තියේ මේ ආකාරයට දක්වා ඇත.

‘ආයතන සංග්‍රහයෙහි සහ මුදල් රෙගුලාසිවල දැක්වෙන විධිවිධානයන්ටද, ඒවාට කලින් කලට කරන සංශෝධනවලටද, රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛවලටද, කලින් කල නිකුත් කරන රාජ්‍ය පරිපාලන භාණ්ඩාගාර චක්‍රලේඛවලටද, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ වෙනත් නිසි බලධරයන් විසින් විධිමත් ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛ, රෙගුලාසි, ස්ථාවර නියෝග, කාර්ය පටිපාටි, නියෝග හා උපදෙස්වලටද අනුකූලව සියලුම රජයේ නිලධරයන් ක්‍රියා කළ යුතු වන්නේය.”

එසේම එම කොටසේ 3වන වගන්තියේ සඳහන් වන්නේ, බාහිර බලපෑම් නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළ නොහැකි බවයි. 4වන කොටසෙහි, අනිසි බලපෑම් කරන නිලධරයනට විරුද්ධව විනයානුකූලව කටයුතු කළයුතු බව දක්වා ඇත.

ඒ අනුව පැහැදිලිව පෙනෙන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ නීති විරෝධී විධාන පිළිපැදීමට පහළ නිලධාරියෙකුට බැඳීමක් නොමැති බවයි. මේ තත්ත්වය අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභා පනතේද පැහැදිලිව දක්වා ඇත. එම පනතේ 70වන වගන්තිය රාජ්‍ය නිලධාරියෙකුගේ දූෂණය (ක්‍දරරමචඑසදබ) නම් වරද විස්තර කිරීමේදී අනීතික ක්‍රියාවකට ඉහළ නිලධාරියෙකු පහළ නිලධාරියෙකු පෙළඹවීම වරදක් ලෙස අර්ථදක්වා ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ඉහළ නිලධාරියෙකුගේ අනීතික විධානයකට යටත්වීමට පහළ නිලධාරියාට බැඳීමක් නොමැති බවයි.
තෙවැනි ප්‍රශ්නය වන්නේ, තමන් කරනු ලැබූ නීති විරෝධි නියමයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකීමට යටත් කළ හැකිද යන කාරණයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව දක්වා ඇත. එම වගන්තියේ මෙසේ සඳහන් වේ; 35 (1) ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වා ගෙන යාම නොකළ යුතුය.

ව්‍යවස්ථාවේ 35(2) වගන්තියේ මේ ආකාරයෙන් සඳහන් වේ; 35 (2). කවර වූ හෝ තැනැත්තෙකුට විරුද්ධව නඩු පැවරීමේදී නඩු පැවරිය හැකි කාලසීමාව නීතියෙන් නියම වී ඇති විට ඒ කාල සීමාව තුළ ඒ තැනැත්තා යම්කිසි කාලයක් ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාල සීමාව ඉකුත් වූයේද යන වග නිශ්චය කිරීමේදී ඔහු ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේය.

ව්‍යවස්ථාවේ මෙම වගන්ති සලකා බැලීමේදී පෙනීයන්නේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ මුක්තිය ක්‍රියාත්මක වන්නේ ඔහු ධුරය දරන කාලය තුළ පමණක් බවයි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ, ව්‍යවස්ථාවේ සඳහන් මුක්තිය ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කර ඇති නොපෙනෙන සදාචාරාත්මක හේතුවය. ඇත්තෙන්ම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ආරක්ෂාව ඔහු අපරාධවලින් හෝ වෙනත් වරදින් බේරාගැනීම සඳහා දුන් රැකවරණයක් නොව, රටෙහි ජනාධිපති මහජනතාවට හෝ රාජ්‍යයට වරදක් නොකරන තැනැත්තෙකු ලෙස පූර්ව නිගමනයක පිහිටා ප්‍රදානය කරන ලද වරප්‍රසාදයෙකි. නඩු තීන්දුවෙන් පෙනීයන්නේ හිටපු ජනාධිපති තමාට ලැබුණු එම වරප්‍රසාදයට ආවරණය වෙමින් බලය ඉක්මවා ක්‍රියාකර ඇති බවයි.ජනාධිපති තම ධුර කාලය තුළදී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් එම ධුර කාලය ඉකුත් වීමෙන් පසුව එම වරද සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතියෙන් බාධාවක් නොමැති බව පෙර 35(2) වගන්තිය කියැවීමෙන් පැහැදිලි වෙයි. එසේම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද මෙම වගන්ති අර්ථනිරූපණය කරමින් විවිධ අවස්ථාවන්හිදී නඩු තීන්දු දී ඇත.

1999දී තීරණය කරන ලද කරුණාතිලක සහ තවත් අයෙක් එදිරිව දයානන්ද දිශානායක, මැතිවරණ කොමසාරිස් සහ තවත් අය (1999 (1) එස්එල්ආර් 157) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, 35 (1) වගන්තිය මගින් දක්වා ඇති පරිබාධකය පවතින්නේ ජනාධිපතිවරයා ධුරය දරන කාලය තුළදී බවත්; ඔහු ධූරයෙන් ඉවත් වූ පසු එය ඉවත්වන බවත්ය. එසේම නඩු පැවැරීමෙන් මුක්තිය, ක්‍රියාව කරන්නාට රැකවරණයක් විනා ක්‍රියාව කිරීමට බාධාවක් නොවන බවයි. එසේම, මෙම වරප්‍රසාදයෙන් නීති විරෝධි ක්‍රියාවකට, නීත්‍යනුකූල තත්ත්වයක් හිමි නොවන බවත් එය අධිකරණය ඉදිරියේ පරීක්ෂාවට ලක් කිරීමෙන් වැලකී සිටීමට සමත් කාරණයක් නොවන බවත් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කොට ඇත. එය වාර්තා වී ඇත්තේ පහත පරිදිය;
1999(1) එස්එල්ආර් 177 පිටුවI hold that article 35 only prohibits the institution (or constitution) of
legal proceedings against the President while in office; it imposes no bar whatsoever on proceedings
(a) against him when he is no longer in office and (b) other persons at any time. That is a consequence of very nature of immunity: immunity is a shield for doer. not for the act. Very
different language is used when it is intended to exclude legal proceedings which seek to impugn
the act. Article 35, therefore, neither transforms an unlawful act into a lawful one, nor renders it one which shall not be questioned in any court. It does not exclude judicial review of the lawfulness or propriety of an impugned act or omission. in appropriate proceedings against some other person who does not enjoy immunity from suit: as, for instance, a defendant or a respondent who relies on an act done by the President, in order to justify his own conduct.

මේ තත්වය තවදුරටත් වර්ධනය කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් සුගතපාල මෙන්ඩිස් සහ තවත් අයෙකු එදිරිව චන්ද්‍රිකා කුමාරතුංග සහ තවත් අය (වෝටර්ස් එජ් නඩුව) 2008 (2) එස්එල්ආර් 339 නඩුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෝටර්ස් එජ් පරිශ්‍රයට අදාල භූමිය පැවැරීමේදී රාජ්‍යයට අවාසිදායක ලෙස කටයුතු කළේය යන චෝදනාවට වරදකරු කරන ලදුව වන්දි පවා ගෙවීමට නියෝග කරන ලදි. එම නඩුවේ තීන්දුවේදී විනිසුරුවරිය විසින් ජනාධිපතිවරිය ධුරයෙහි දිවුරුම් දෙන අවස්ථාවේදී ජනපති ධුරයට අසීමිත බලයක් ලැබී තිබුණද ජනාධිපතිවරයා විසින් තම ප්‍රතිඥාවෙහි ඇය හෝ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම ධුරයෙහි කටයුතු අවංකව සිදු කරනු ලබන බවටත් රාජ්‍යයට පක්ෂපාතව කටයුතු කරන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුව කටයුතු කරන බවටත් ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුමක් ලබා දීම අත්‍යවශ්‍ය බවට දක්වා තිබුණි. එසේම ජනාධිපතිවරයා විසින් නීතියේ ආධිපත්‍යයට යටත්ව පාලනය සිදු කළ යුතු බවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අත්පත් කරගෙන ක්‍රියාත්මක වන ධුරයක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

ඉහත නඩු තීන්දු දෙකෙන්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අසීමිත බලය ජනාධිපතිවරයාට සිතූ ආකාරයට භාවිත කළ නොහැකි බවත්, එය ජනාධිපතිවරයා පාලනය කරන්නාවූ රටෙහි පොදු නීතියට යටත්ව සිදු කළයුතු බවත්ය. එසේ ජනාධිපතිවරයෙකු රටෙහි මූලික නීති පද්ධතීන් අවභාවිත කොට කටයුතු කොට ඇත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 35 (2)වගන්තිය ප්‍රකාරව එයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇති බවද පැහැදිලිය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය අබිමුව ක්‍රියාත්මක කළ සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපාරයට ඔහුම පිළිගන්නා ආකාරයට ලබාදුන් නියෝග අධිකරණමය විමර්ශනයකට යටත් කළ හැකි අතර යහපාලනයක් රටෙහි පැවතීමට අවශ්‍ය නම් එය එසේ විය යුතුය.■