රාවය

සිල් රෙදි තීන්දුව

සිල් රෙදි තීන්දුව

තරිඳු උඩුවරගෙදර

‘අදින්නාදානා වේරමණි’ යනු බෞද්ධයෙකු පිළිපැදිය යුතු මූලිකම ශික්ෂාපද පහෙන් එකකි. අදින්නාදානා හෙවත් සොරකම යනු අනුන්ගේ දේවල් නොවිමසා රැගෙන පාවිච්චි කිරීමයි. මහින්ද රාජපක්ෂ නම් මැතිවරණ අපේක්ෂකයා තමන්ගේ මැතිවරණය වෙනුවෙන් සිල් රෙදි, පිරිත් පැන් නැත්නම් හැම බෞද්ධයාටම නිසැක ධාතුව බැගින් බෙදුවත් එය වරදක් නොවේ. එහෙත් මහජනයා නොවිමසා තමන්ගේ මැතිවරණයට මහජන මුදල් යෙදවීම අර මුල් ශික්ෂාපදයක් කැඩීමකි. ඉතින් මේ නඩු තීන්දුව බෞද්ධාගමට එරෙහිවීමක් වෙන්නේ කෙසේද. පන්සිල් වත් නොරකින මිනිසුන් පිරිසක් වෙනුවෙන් භික්ෂූන් පෙනී සිටින්නේ කෙලෙසද. පන්සිල් නොරකින කම්බ හොරුන් බෞද්ධ ධර්මයේ ආරක්ෂකයන් යැයි සිතන්නේවත් කෙසේද.
දැන් සමහරු සිල් රෙදි සිදුවීම බෞද්ධාගමට එරෙහිවීමක්යැයි කියති. සිල්රෙදි බෙදීම වැරැද්දක් නොවන බව කියි. මේ නඩු තීන්දුව මහා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කරති. බෞද්ධ හිමිවරුද ඒවාට සහාය දෙති. මේ, ඒ සිදුවීම් සමඟ සිල්රෙදි නඩු තීන්දුව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති නායකයන්, නීතීඥවරුන් සහ විද්වතුන් කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය.

නිලධාරීන්ට ගැම්මක්
අශෝක පීරිස්
හිටපු අමාත්‍යාංශ ලේකම්
කිසිම රාජ්‍ය ආයතනයකට පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයෙන් වෙන්කරන මුදලට අමතරව වියදම් කරන්න බෑ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබුණේ ජනාධිපතිවරයා යටතේ. ඉතින් මේ ආයතනය බාර ඉහළම නිලධාරියා ජනාධිපති ලේකම්වරයා. මේ අය කියන විදියට සිල්රෙදි බෙදුවේ යහපත් අරමුණකින් කියලා හිතමු. එහෙනම් ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා.
අයවැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන්වෙන මුදලක් තියෙනවා. ඒක වෙන්කරද්දී ඒක වෙන්කරන්නේ මොන කාරණාවලටද කියලත් දාලා තියෙනවා. එතකොට අයවැයේදී සිල්රෙදි බෙදන්න මේ මුදල් වෙන්කරලා නෑ. මහජන මුදල් ගැන අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. හදිසි අවශ්‍යතාවකදී හැර මේ මුදල් වියදම් කරන්නට පාර්ලිමේන්තුවේ අවසරය ගන්න ඕනෑ. මෙතැන එහෙම වුණේ නැහැ. ඇත්තටම මේ කාරණාව නඩුවේදීත් සාකච්ඡාවට නොගත්ත වැදගත් කාරණයක්.

එහෙම නැතිව ලොකු මුදලක් වියදම් කරන්න තිබුණා හදිසි අවශ්‍යතාවකදී නම්. මේක හදිසි අවශ්‍යතාවක් කියලා ඔප්පු කරන්න බෑ. විශේෂයෙන් මැතිවරණයක් අවසාන වෙනකන් කාලය තුළ මේ සියල්ල නීති විරෝධීයි. පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ දූෂණය කියන වරදට මේක යටත්වෙන්නේ. ඒ නිසා මෙවැනි වරදක් කළාම ඒ වෙලාවෙම පුළුවන් නීතිපතිවරයාගේ උපදෙස් නැතිව රිමාන්ඞ් කරන්න. අපි සරලව මේ සිදුවීම ගන්නවාද කියලාත් හිතෙනවා. ඇත්තටම මේක මහා බැරෑරුම් විදියේ මංකොල්ලයක් වගේ දෙයක්.

මේ සිද්ධියෙන් පස්සේ ආණ්ඩුවේ ඉඳලා, දැන් විපක්ෂයේ ඉන්න අය කරන කියන දේවල් එක්ක අලුත් වචනයක් ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට ගෙනෙන්න වෙනවා. ‘අල්ලස හා දූෂණයේ දේශපාලනය’ කියලා. දැන් මහා සංඝරත්නය එනවා. වන්දි ගෙවන්න සූදානම් වෙනවා. මෙහෙම දේශපාලන වශයෙන් අල්ලස හා දූෂණය ආරක්ෂා කිරීමක් කුප්‍රකට මහබැංකු සිදුවීමේදීවත් දකින්න ලැබුණේ නෑ.

රාජ්‍ය නිලධාරීන් මේ තීන්දුව නිසා බය වෙනවාය කියන එකත් ඔය දේශපාලනයේ කොටසක්. මම රාජ්‍ය නිලධාරියෙක් විදියට වැඩ කරද්දී ඔය වගේ දේවල්වලට විරුද්ධව කතාකරලාත් තියෙනවා. මේ සිදුවීම ඒ විදියට වැඩ කරන නිලධාරීන්ට ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම අයට මේකෙන් ගැම්මක් ඇතිවෙනවා ඇමතිවරයෙක් ඔය වගේ දෙයක් කරන්න කිව්වොත් මට නම් කරන්න බෑ කියලා කියන්න. ඇත්තටම රාජ්‍ය නිලධාරීන් මේක පාවිච්චි කරන්න ඕනෑ ඒ විදියටයි.
රාජ්‍ය සම්පත් කියන්නෙ සාංඝික දේපළ වගේ. සාංඝික දේපළ පාවිච්චි කිරීම අවීචි මහා නරකාදියේ යන වරදක්. දැන් නිදහසට කරුණක් විදියට කියන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තියෙනවා කියලා, ඇමතිවරුන් දෙන නියෝග රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපදින්න ඕනෑ බවට. හැබැයි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තිබුණු පමණින් නිලධාරීන් වගකීමෙන් නිදහස් වෙන්නෙ නැති බව මේ නඩු තීන්දුවෙන් කියැවෙනවා.

හෙණ ගහන වංචාවක්
ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
මේ නඩු තීන්දුව මාව ගොඩක් කම්පනයට පත්කළා. මමත් හිටපු රාජ්‍ය නිලධාරියෙක්. මම දන්නවා රාජ්‍ය නිලධාරීන් එදිනෙදා මුහුණදෙන පීඩනය. අනෙක මම මනුෂ්‍යයෙකු හිරේ යනවා දකින්න කැමති කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් රාජ්‍ය සේවකයෙක් හිරේ යනවා දකින්න මම කැමති නෑ. ඉතින් මම මේ ගැන කතාකරන්නේ පෞද්ගලිකව දැනෙන ලොකු වේදනාවක් එක්ක.
එහෙම වුණත් මම හරියට සතුටුවෙනවා මේ නඩු තීන්දුව සම්බන්ධයෙන්. හේතුව තමයි මේ නඩු තීන්දුව හින්දා සමාජගත වෙන අදහස. එකක් තමයි රාජ්‍ය සේවකයෙක් දේශපාලනඥයන්ට පිටකොන්ද නවාගෙන කටයුතු කරලා අනීතික නියෝග ක්‍රියාත්මක කළොත් එයාලාට අවදානමක් තියෙනවා ඒක පත්තුවෙලා යම් දවසකදී ජම්පර් එක ඇඳගෙන එක් රැයක්වත් බන්ධනාගාරයේ ඉන්න වෙන බවට. ඒක වෙද්දී තමන්ට ඒ නීති විරෝධි නියෝග දුන්නු දේශපාලනඥයන් තමන්ගේ නිවාසවල සුරසැප විඳිමින් ඉඳියි. එහෙම වෙද්දී මේ නිලධාරීන්ට අසරණ වෙන්න සිද්ධවෙනවා.
තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයන් දෙන්නෙක් අසරණ කරලා ඒ මිනිස්සු හිරේට යැවූ දේශපාලනඥයන් අද ඒ දේම පාවිච්චි කරනවා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න. මම දකින්නේ මේක හෙණ ගහන වැඩක් විදියට.

මේ තීන්දුවෙන් අදහස් කෙරෙන්නේ නෑ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන් කියන හැමදේටම බැහැයි කියන්න ඕනෑ කියලා. දේශපාලනඥයා නීත්‍යනුකූල නියෝගයක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෑ. හැබැයි මේකෙන් රාජ්‍ය සේවකයාට හයියක් ලැබෙනවා දේශපාලනඥයා දෙන නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කරන්න.

දේශපාලනඥයා දකිද්දී පුටු පෙරළාගෙන නැගිටලා හතරට පහට නැවිලා වැඩ කරන රාජ්‍ය සේවකයන්ට මේක හොඳදුඡ් පාඩමක්. දේශපාලනඥයන්ට ඕනෑ මොනවාද කියලා අනුමාන කරමින් ඒ අනුව වැඩකළ සහ දැනට කරන රාජ්‍ය සේවකයන්ට ඇස් ඇරලා බලන්න මේ නඩු තීන්දුව හේතු වෙනවා. ගරාවැටුණු සමාජ ක්‍රමයට මේ තීන්දුව විශිෂ්ට පණිවුඩයක් දෙනවා.

පටහැණි මොන බුද්ධාගමටද?
නීතිඥ එස්.ජී. පුංචිහේවා
දැන් තීන්දුව දී හමාරයි. අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංග කියන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා වැරදිකරුවන් බවට ඔප්පුවෙලා. ඉන් පසුවයි මේ අපූරු සංවාද ඇතිවෙලා තියෙන්නෙ.
මේ නිලධාරීන් දෙන්නා දඬුවම් විඳින්නේ නීතිවිරෝධී නියෝගයක් පිළිපැද්ද නිසයි. අනෙක් පැත්තෙන් දැන් මේ නිලධාරීන් දෙන්නාට නීතිවිරෝධී නියෝගයක් දුන්නා කියලා පිළිගන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි නඩුවෙන් නියෝගය දුන්න කෙනා වැරදිකාරයෙක් වුණේ නෑ. නිලධාරීන් විතරයි වැරදිකරුවන් වුණේ. තීන්දුවේ කිසි අඩුපාඩුවක් නැතත් මේවා බලා ඉන්න අපි තේරුම්ගන්න ඕනෑ නියෝගය දුන්න අයත් වැරදි බව.

දැන් එයාලා ගෙනෙන තර්කය තමයි සිල්රෙදි බෙදීම වරදක්ද කියලා. ඇත්ත. ඒක වරදක් නෙවෙයි ඒ වචනය විතරක් ගත්තොත්. හැබැයි ඒක බෙදීම වුණේ මොන වෙලාවේද. මැතිවරණයක් වෙලාවේ. නිකන්ම සිල්රෙදි බෙදුවාද. නෑ, ඒකේ ජනාධිපතිගේ රූපයක් දාලා ජනාධිපතිවරයාට ඡන්දය දෙන්න හැඟීම් ඇතිවෙන්න දුන්න එකක්. ඒක නිසයි ඒක මැතිවරණ අල්ලසක් කියන්නේ.
දැන් ඒ නීති විරෝධී නියෝග දුන්න අය ඉස්සරහට ඇවිත් සිල්රෙදි දුන්න එක වරදක්ද වගේ මෝඩ තර්ක ගේන්නේ මේ රටේ මිනිස්සු අන්තිම මෝඩයෝ කියලා හිතාගෙනයි. මේ තීන්දුව බුද්ධාගමට හානි කරන්න දුන්න එකක් කියලා කියනවානේ. එයාලා ඔය මොන බුද්ධාගමටද කියලා කියන්නේ නෑ. ඕක පටහැණි වෙන්නේ මොන බුද්ධාගමටද. ලෝකෙ කිසිම යහපත් ධර්මයක මෙහෙම දෙයක් පිළිගන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයටත් මේක පටහැණියි. සිල්රෙදි, ආගම වගේ වචන පාවිච්චි කරලා මේ ලැජ්ජා නැති වරදින් නිදහස් වෙන්න උත්සාහ ගැනීම විකෘතියක්.

මොන අහිංසකකමක්ද?
ජෝසෆ් ස්ටාලින්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
අපට තියෙන ප්‍රශ්නය වැරදිකරුවන් වුණ මේ අය දැන් දඬුවම් විඳිනවාද කියන එක. මේ අය බන්ධනාගාරයට ගිය ගමන් බන්ධනාගාර රෝහලටයි යන්නේ. රජය මේ අයට දඬුවම් විඳින්න දෙන එක ප්‍රදර්ශනාත්මකව කරන්නේ. ඒත් රජය මේ අයව ආරක්ෂා කරනවා. ගොඩක් අය මේ දෙන්නා වෙනුවෙන් කතාකරන බව පේනවා. ජනාධිපතිවරයාත් කියනවා අහිංසක නිලධාරීන් කියලා. මොන අහිංසකකමක්ද මේක.

මේ වගේ නිලධාරීන් අහිංසකයන් විදියට චිත්‍රණය කිරීමම වැරදියි. මේ ආණ්ඩුව යටතේත් ඔය වගේ හිතන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඉතින් අපි මේක මහින්ද රාජපක්ෂ කළ වැඩකට වගේම මේ නිලධාරීනුත් හිතාමතාම තමන්ගේ බලය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනිසි ලෙස පාවිච්චි කිරීමක් විදියට යථාර්ථවාදීව කියවාගන්න ඕනෑ. මේ අහිංසකයො නෙවෙයි. මේ වගේ දේවල් දැනුත් වෙනවා. නිලධාරීන් යොදවලා පත්වීම් දීම, බලය අයුතු ලෙස යෙදීම සිදුවෙනවා. එවන් නිලධාරීන්ට මේ තීන්දුව හොඳ පාඩමක් වෙන්න ඕනෑ.
අනෙක් පැත්තෙන් සිල්රෙදි නඩුව ඇතුළු මහින්ද රාජපක්ෂලාගේ කාලේ දූෂණ වංචා සිදුවීම් හෙළිකිරීම පැහැදිලිවම සිවිල් ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක්. මේවා ගැන පැමිණිලි කළේ යූඇන්පිය නෙවෙයි. වෙන දේශපාලන පක්ෂ නෙවෙයි. එවකට හිටපු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් විසින්. හඬනැඟුවේ ඔවුන්. දඬුවම් දුන්නේ උසාවිය. දඬුවම් දුන්නාම ඒවා සුමට කරන එක තමයි ආණ්ඩුවේ ඉන්න අය කරන්නේ. ඔය බන්ධනාගාරගත වෙන හිටපු ආණ්ඩුවේ දූෂිතයන් දඬුවමක් විඳින්නේ නෑ. එයාලා කන්නේ සුපිරි කෑම. නිදාගන්නේ සාමාන්‍ය මෙට්ටවල නෙවෙයි, සැප මෙට්ටවල.
වර්තමාන රජයත් රාජ්‍ය සේවය සහ රාජ්‍ය දේපළ තමන්ගේ දේවල් කියලා හිතනවා. දැන් ගංවතුර අවස්ථාවලදී එහෙම ජනාධිපතිවරයාම කියනවා චක්‍රලේඛ, ඒආර්, එෆ්ආර් පැත්තකට දාලා වැඩකරන්න කියලා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එහෙම කියන්නේ ඒ වගේ කතා. ඇත්තටම හදිසි අවස්ථාවකදී නීතිරීති පැත්තකට දාලා වැඩකරන්න ඕනෑ නෑ. හදිසි අවස්ථාවලදී සමහර නීති පසෙකලා වැඩකරන්න ඕනෑ විදිය පෙන්වාදීලා වෙනම නීති රෙගුලාසි තියෙනවා. ඉතින් නීති පැත්තකට දාන්න නෙවෙයි, ඒ හදිසි අවස්ථාවට ගැලපෙන රෙගුලාසිවලට වැඩකරන්නයි ඕනෑ.

දේශපාලනඥයන් වෙව්ලන තීන්දුවක්
ඒ.පී.ඒ. ගුණසේකර
ප්‍රවීණ විශ්‍රාමික රාජ්‍ය නිලධාරී
මේ තීන්දුව නිසා රාජ්‍ය නිලධාරීන් වැඩකරන්න බය වෙයි අත වෙවුලයි කියලා මගෝඩි කතාව කියන්නේ දේශපාලනඥයන්. තාම මට රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක් හරි ඉන්න නිලධාරියෙක් හරි ඔය කතාව කියනවා ඇහිලා නෑ. ඕක කියන්නේ දේශපාලනඥයන් සහ හාමුදුරුවරුන්. ඒකෙදී අපට කියන්න තියෙන්නේ ලංකාවේ ඕනෑම කෙනෙක්ට මත දරන්නත්, ප්‍රකාශ කරන්නත් අයිතිය තියෙනවානේ. ඒ මතයට එකඟ වෙන්නෑ අපි. මොකද ඒක පට්ටපල් බොරුවක්.
රජයේ සේවයට බැඳෙන හැමෝටම දෙනවා පත්කිරීම් ලිපියක්. ඒකේ පැහැදිලිව තියෙනවා ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය සේවා රෙගුලාසි, ප්‍රසම්පාදන, උපදෙස් මාලා ඇතුළු සියල්ලට අනුකූලව රාජකාරී කරන්න ඕනෑ කියලා කොන්දේසියක්. හැම කෙනෙක්ම රාජ්‍ය සේවයට බැඳෙන්නේ ඒ කොන්දේසිවලට යටත්ව රාජකාරී කරනවා කියලා අත්සන් කරලා. ඒ කියන්නේ රජයයි අර පුද්ගලයායි අතර ගිවිසුමකුත් නිර්මාණය වෙනවා. ඉතින් අර නීතිරීති අනුව රාජ්‍ය සේවකයෙක් වැඩ කරන්න ඕනෑ. ඒකට කිසිම විකල්පයක් නෑ. මම මතකයෙන් කියන්නම් ඔය නීතිරීතිවලින් සමහරක්.

රජයේ නිලධාරීන්ට කොයි සංග්‍රහයත් කරන්නෙ ආයතන සංග්‍රහයෙන්. ඕකේ දෙවැනි කාණ්ඩය තමයි විනය නීති කාණ්ඩය. ඒකේ 47 පරිච්ඡේදයේ තියෙන්නේ නිලධාරියා පිළිපදින්න ඕනෑ යහපත් පැවැත්මට අදාළ කරුණු ටික. රැකගන්න ඕනෑ සීලය. 48 පරිච්ඡේදයේ තියෙනවා සීලය රැක්කේ නැත්නම් ලැබෙන දේවල් ටික. විශ්‍රාම වැටුපවත් නැතිව සේවයෙන් පහකිරීම දක්වා. 47 පරිච්ඡේදයේ 8 වැනි ඡේදය හරි වැදගත්. එතැන තියෙනවා හැම රාජ්‍ය නිලධාරියෙක්ම ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිසන් සභා රෙගුලාසි, මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන රෙගුලාසි, දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ චක්‍ර ලේඛ ඇතුළු නීති රැසක් පෙන්වලා ඒ සියල්ලට අනුකූලව රාජකාරි කළයුතුයි කියලා. ඒකේ දෙකක් නෑ. ඒක නොදන්නා බබ්බු වෙන්න කාටවත් බෑ.

දෙවැනි උපලේඛනයේම 48 පරිච්ඡේදයේ දෙවැනි වගන්තියේ කියනවා යම්කිසි නිලධාරියෙක් උඩ කියන උපදෙස් කඩ කළොත් පළමුවැනි උපලේඛනයේ තියෙන වරදක් කළා කියලා සැලකිය යුතුයි කියලා. පළමුවැනි උපලේඛනය කියන්නෙ බරපතළ වැරදි පිළිබඳ උපලේඛනය. බරපතළ වැරදිවලට දඬුවම සේවයෙන් පහකිරීම දක්වා යනවා.

ආයතන සංග්‍රහයේම තවත් වගන්තියක් තියෙනවා. ඔය උඩින් කියන විදියට කුමන හෝ රෙගුලාසියක් කඩ කළේ යම්කිසි නිලධාරියෙකුගේ හෝ බලධාරියෙකුගේ හෝ බලපෑම මත කියන එක නිලධාරියාගේ නිදහසට කරුණක් නොවන්නේය කියලා. ඒ කියන්නේ අහවල් ඇමති කීවා, නිලධාරියා කීවා, මැරයා කිව්වා, ඔළුවට තුවක්කුව තිබ්බා වගේ කිසිදෙයක් නිදහසට කරුණු වෙන්නෙ නෑ. රජයේ නිලධාරියෙක් තවත් නිලධාරියෙක්ට බලපෑම් කළොත් ඒ අයුතු බලපෑම කරපු නිලධාරියාටත් පියවර ගන්න පසුබිමක් තියෙනවා.

මුදල් රෙගුලාසි තියෙනවා. කිසිම නිලධාරියෙකුට ඒවා කඩකරන්නත් බෑ. මුදල් රෙගුලාසි අතරේ කරුණු හතරක් තියෙනවා. යම්කිසි ගෙවීමක් සඳහා බලය දීම, වැඬේ කළාට පස්සේ ගෙවීම් අනුමත කිරීම, වියදම සහතික කිරීම සහ මුදල් ගෙවීම කියන කරුණු. හැම අවුරුද්දේම මේ කටයුතු කරන්න අවැසි බලය ලබාදීලා ලියැවිල්ලක් නිකුත් කරන්න ඕනෑ රාජ්‍ය ආයතන විසින්. මුදල් රෙගුලාසිවල පුංචි කෑලිවලට කඩලා විස්තර කරලා තියෙනවා කිසිම නිලධාරියෙකුට දූෂණයක් කරන්න බැරි විදියට. හැබැයි මුදල් රෙගුලාසිවල මුලින්ම තියෙනවා යම්කිසි නිලධාරියෙකුට හදිසි අවස්ථාවක් නිසා මුදල් රෙගුලාසි ඉක්මවලා යන්න සිද්ධවුණොත් එසේ කිරීමට හේතුව ලිපිගොනුවේ පැහැදිලිව ලියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට දාලා එයාගේ අවසර අනුමැතිය ලබාගන්න පුළුවන් කියලා.
යම්කිසි නිලධාරියෙක් යම්කිසි වැරදි වැඩක් කළේ ඇමතිවරයාගේ නියෝගය නිසාය කියන එක නිදහසට කරුණක් නෙවෙයි. යම්කිසි විදියකින් ඇමතිවරයා යම්කිසි වැරදි වැඩක් කරන්න දැඩි විදියට නියෝග කළොත් ඒක කරන්නත් ක්‍රමයක් තියෙනවා. මුලින්ම ඇමතිවරයාට ලිඛිතව විරෝධය දක්වන්න ඕනෑ. ඉන් පස්සෙත් කරන්න නියෝග කළොත් ඒ බවත් නිසි ලෙස ලිඛිතව වාර්තා කරලා නියෝගය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

ඊට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ රෙගුලාසි, මුදල් පනත යටතේ විගණකාධිපතිට ඇති විගණනය කිරීමේ බලය, කෝප් එක සහ කෝප් එකේ පරීක්ෂණ කිරීමේ බලය වගේ හේතු රැසක් තියෙනවා රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීම වෙනුවෙන්.

මේවා අනුව කටයුතු කරන කෙනෙක් ජනාධිපති කිව්වා කියලා වැඩ කරන්නේ, ඇමති කිව්වාය කියලා වැඩ කරන්නේ අහවල් බම්බුවකටද. එහෙම කරන්න ඕනෑ නෑ. අනික රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටියේ තියෙනවා ඒ විදියට වැරදි ක්‍රියාවක් කළොත් ඒක බල රහිතයි, ශූන්‍යයි කියලා. එහෙම වුණොත් ඒ වැරැද්ද කරපු නිලධාරීන් සහ නියෝග දුන්න අය වන්දිය ගෙවිය යුතුයි. මෙච්චර නීති තියෙද්දී රජයේ නිලධාරීන්ට අත වෙව්ලන්නෙ නෑ. නීති රීතිවලට වැඩ කළොත් මොකක්වත් වෙව්ලන්නෙ නෑ. එහෙම වැඩකරන නිලධාරියෙක් ළඟ දේශපාලනඥයන් වෙව්ලනවා. ඉතින් මේක දේශපාලනඥයන් වෙව්ලන විදියේ තීන්දුවක්.■