රාවය

පමා වී යුක්තිය ඉටුවීම

පමා වී යුක්තිය ඉටුවීම

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (ඕඑම්පී) පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් පත්‍රය පසුගිය අඟහරුවාදා (12) නිකුත් කෙරිණ.
ඒ අනුව, සැප්තැම්බර් 15 වැනි දින සිට විට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක වනු ඇත. එම කාර්යාලය පිහිටුවීමට අදාළ, 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වී කතානායකවරයාගේ සහතිකය සටහන් කරන ලද්දේ, 2016 අගෝස්තු 23 වැනි දා ය. එදින සිට ම එය නීතියක් බවට පත්වුණත්, ඒ යටතේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ‘අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක සිට ක්‍රියාත්මක විය යුතු ය.’ යනුවෙන් පනතේ සඳහන් විය. මේ අමාත්‍යවරයා හැටියට ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ක්‍රියාත්මක වන දිනය හැටියට සැප්තැම්බර් 15 දිනය ගැසට් නිවේදනය මගින් දැන් නියම කර තිබේ.

එහෙත්, එය වහාම ක්‍රියාත්මක කළ හැකි නොවේ. එම කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කළ යුතු ය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත හත් දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුත්තෝ ය. ඒ හත්දෙනාගෙන් කෙනකු එහි සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ම පත් කෙරෙනු ඇත.

අතුරුදහන් තැනැත්තන් සෙවීම සහ සොයා ගැනීමට අදාළව පියවර ගැනීම, විමර්ශන කිරීම, ඊට අදාළ නිර්දේශ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම, අතුරුදහන් වූ තැනැත්තන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අතුරුදහන් වූ තැනැත්තන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබා ගැනීමට සහාය වීම කාර්යාලයේ මූලික වගකීම් අතර වෙයි.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන්නේ, එයට අදාළ පනත සම්මත කර අවුරුද්දකටත් පසුව ය. මේ වන තුරු එය පිහිටුවීම ප්‍රමාද වුණේ ඇයි ද යන්න පැහැදිලි නැත. එහෙත්, ඒ කාලය තුළ, ත්‍රෛනිකායික නායක සංඝයා වහන්සේලා ඇතුළු ජාතිකවාදී භික්‍ෂූන්ගෙන් මෙන්ම අනෙක් අන්තවාදී දේශපාලන පාර්ශ්වයන්ගෙන් ද මෙම කාර්යාලය පිහිටුවීමට විරුද්ධතා පැන නැගුණේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ පාර්ශ්වය ද දැඩි ලෙස පෙනීසිටියේ කාර්යාලය පිහිටුවීමට විරුද්ධ ව ය.

මෙම කාර්යාලය පිහිටුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මත සිදුවන බවත්, කාර්යාලය පිහිටුවා තොරතුරු එකතු කොට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑමේ සැඟවුණු ප්‍රයත්නයක් පනත තුළ ඇති බවත් ඉහත සියල්ලන් ම සමාජයට පෙන්වූ චිත්‍රය විය. ඊට අමතරව සන්නද්ධ හමුදාවලින් ද පනතට ඍණාත්මක ප්‍රතිචාරයක් දැක්වුණු බව දැනගන්නට ලැබේ. එනිසා, කාර්යාලය පිහිටුවීම මේ තරම් ප්‍රමාද වන්නට ඒ කරුණු බලපෑවා ද යන්න ගැන සාධාරණ සැකයක් තිබේ.

ඒ අතර පසුගිය සතියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරය ආරම්භයේ සිය වාර්තාව ඉදිරිපත් කරමින්, මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කළ දේශනයේ දී ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කළේ ය. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම ක්‍රියාකාරී කරන්නැයි ද විශ්වාසය ගොඩනැගීමේ, එනම් හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලියාපදිංචි කොට ඇති නඩු විභාග විසඳීම වැනි පියවර ඉක්මන් ගන්නැ’යි ද හේ එහි දී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය. අනෙක් අතට ලබන සතියේ දී ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන්නට ද නියමිත ව තිබේ.

කාර්යාලය පිහිටුවීමට දින නියම කිරීම මේ හැම කාරණයක ම සම්ප්‍රයුක්ත බලපෑම නිසා විය හැකි නමුත්, කාර්යාලය පිහිටුවීම ම වැදගත් ඉදිරි පියවරකි. ඒ මගින්, අතුරුදහන් කර ඇති තමන්ගේ සමීපතමයන් ගැන තොරතුරක් අවශ්‍ය සිංහල, දෙමළ ආදි සෑම දෙනකුට ම තමන්ගේ දුක්ගැනවිලි කියන්නට හා යුක්තියක් බලාපොරොත්තු වන්නට තැනක් ලැබෙනවා ඇත. එය පමා වී හෝ යුක්තිය ඉටුවීමකි.

අනෙක් වැදගත්කම වනුයේ, ඊට එරෙහිව අවි අමෝරාගෙන යුද වන් අන්තවාදීන්ට හොඳ පාඩමක්, කාර්යාලය පිහිටුවීම හරහා ඉගැන්වීමට හැකිවීම යි. අතලොස්සක් ජාතික හා ආගමික අන්තවාදීන් කෑගෑවාට රටේ ඉදිරි ගමනට, සංහිඳියාවට සාමයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම එලෙස බයබීත කර වලක්වන්නට බැරියැ’යි මේ හරහා ඔප්පු කොට තිබේ. එය, රටේ සාමයට සහජීවනයට එරෙහිව යන අන්තවාදී දේශපාලකයන්ගේ ද පරාජයකි.■