රාවය

පොලිතීන් ගියාම එන්නේ මොනවාද?

පොලිතීන් ගියාම එන්නේ මොනවාද?

රේඛා නිලුක්ෂි හේරත්

ටී වී එකේ, පත්තරවල ඇඞ් යනවා පොලිතීන් තහනම් කියලා. ඒත් පොලිතීන් තාම තියෙනවා.’
බොහෝ දෙනෙකු කතාබහට ලක්වෙන දෙයක් බවට මේ කාරණය පත්ව ඇත. පොලිතීන් තහනමක්වත් ක්‍රියාත්මක කරගත නොහැකි ආණ්ඩුවක්යැයි ඇතැමුන් කියන්නට පටන්ගෙන ඇත. පොලිතීන් තහනම ක්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකු දන්නේත් නැත. පොලිතීන් තහනම ගැන විවිධ ආයතන විවිධ කතා කියයි. පොලිතීන් තහනම මෑත කාලයේ විශාල පෙරළියක් ඇති කළ හැකි අන්දමේ නීතිමය වෙනසක් වුණත් එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජයට හෝ රාජ්‍ය ආයතනවලට සැලසුමක් ඇත්තේදැයි සැකයකි. දැන් මාධ්‍යවල දැන්වීම් යන්නේ මයික්‍රෝන් 20ට අඩු ලන්ච් ෂීට්, සිලි බෑග්, ඍජිෆෝම් කෑම පෙට්ටි සහ ග්‍රොසරි බෑග් කියන ඒවා තහනම් කියාය. එහෙත් එදිනෙදා අපට මේ පොලිතීන් වර්ග දැකිය හැකිය.
මේ සියල්ල අස්සේ ආහාර ද්‍රව්‍ය යොදාගනිමින් නිපදවිය හැකි විකල්ප පොලිතීන් වර්ග ගැනත් සාකච්ඡා මතුවෙයි. කෙසෙල් කොළ කල් තබා ගන්නා ක්‍රම ගැනත් යෝජනා ඉදිරිපත් වෙයි. එහෙත් ආණ්ඩුවෙන් තවම එවන් යෝජනා පිළිබඳ සැලකිල්ලට ගෙන ඒවා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්නට සැලසුම් හදා නැත. මේ සියල්ල රාජ්‍ය ආයතන කිහිපයක් ක්‍රියාත්මක කරන තීන්දු මිස ජාතික ප්‍රතිපත්තියක් ලෙස රජයේ අවධානය සහිතව ක්‍රියාත්මක වෙන්නේදැයි සැක සහිතය. මේ සටහන ලියැවෙන්නේ පොලිතීන් තහනම මේ වෙද්දී ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳවයි.

තවම තහනම් නෑ
ලංකාවේ පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තයෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් ජීවත්වෙන බව කියැවෙයි. පොලිතීන් නිෂ්පාදන තහනම් වෙද්දී පැමිණෙන විකල්පයන් නිෂ්පාදන කටයුත්තට යොමුවෙන්නට සිදුවෙන්නේද මේ නිෂ්පාදකයන්ටය. පොලිතීන් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් කියන්නේ රජයෙන් යෝජනා කරන විකල්පය වන මයික්‍රෝන් විස්සට වැඩි බයෝ ඩිග්‍රේඩබල් හෙවත් ක්‍රමානුකූලව ජෛව ක්‍රියාවලියක් හරහා දිරාපත්වන පොලිතීන් නිෂ්පාදනය කරන්නට තමන්ට හැකි නමුත් ඒ සඳහා කාලයක් අවැසි බවයි.
‘ආණ්ඩුව පහුගිය කාලයේ එක පාරම තීන්දුවක් ගත්තා සති 6ක කාලසීමාවක් තුළ මයික්‍රෝන් 20ට අඩු පොලිතීන් නිෂ්පාදන හතරක් තහනම් කරනවා කියලා. හැබැයි අපට සති හයක් ඇතුළත ඒක නවත්වන්න බෑ. අපි මේ නිෂ්පාදන කරන්න අමුද්‍රව්‍ය ගෙන්වලා තියෙනවා. නැව් හරහා අලුතින් අමුද්‍රව්‍ය ගෙනෙන්න මාස දෙකක්වත් යනවා. එතකොට එහෙන් පිටත්වුණ නැව් අපට හරවන්න බෑ. ඉතින් සති හයක් ඇතුළත මේක නවත්වන්න ගියොත් අපට කෝටි ගණනක පාඩුවක් වෙනවා. මේ වෙලාවෙත් වරායේ අමුද්‍රව්‍ය සහිත නැව් තියෙනවා. රජය යෝජනා කරන පොලිතීන් එක හදන්න අපට පුළුවන්. යන්ත්‍රවල පොඩි වෙනස්කම් ටිකක් කරන්නයි තියෙන්නේ. හැබැයි දැන් ගෙනල්ලා තියෙන අමුද්‍රව්‍යවලට කරන්න දෙයක් නැතිවෙනවා එහෙම වුණොත්.
අනෙක් පැත්තෙන් අපි ගබඩා කළ දේවල් සහ නිෂ්පාදනය කළ දේවල් තියෙනවා. අපට එකපාර මේ ක්‍රමයෙන් අලුත් ක්‍රමයට මාරුවෙන්න තරම් මුදල් නැහැ. දැන් තියෙන නිෂ්පාදන අලෙවි කරන්න අපට අවස්ථාව දුන්නොත් අපට මුදල් හොයාගන්න පුළුවන්. අපි මේක රජයට සහ පරිසර අධිකාරියට පැහැදිලි කළා. එයාලා කිව්වා, ජනවාරි පළමුවැනිදා වෙනකන් මේවා අලෙවි කරන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මාස හතරක් ඇතුළත මේ භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ආණ්ඩුව පාර්ශ්වයෙන් මිලියන ගණනක් වියදම් කරලා වෙළෙඳ දැන්වීම් දානවා මේවා තහනම්, අවුරුදු දෙකක් සිරදඬුවම් ලැබෙනවා වගේ ප්‍රකාශ එක්ක. ඉතින් අපේ තියෙන ස්ටොක් එක ජනවාරි පළවැනිදා වෙද්දී අලෙවි කරගන්න බැරිවීමේ තත්ත්වයක ඉන්නවා. මිනිස්සු මේවා ගන්න බයයි.’

ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩුව තමන් සමඟ පොලිතීන් තහනම කල් දමන්නට එකඟ වුණත් ආණ්ඩුව ඊට වෙනස්ව ප්‍රසිද්ධියේ ක්‍රියා කරන නිසා තමන්ගේ ව්‍යාපාරවලට හානි සිදුවන බවයි.
අපි ග්‍රාමීය සිල්ලර වෙළෙඳසැල් රැසක පොලිතීන් බෑග් පාවිච්චිය ගැන විමසුවෙමු. වෙළෙන්දන් කියන්නේ දැන් කඩවලට පොලිතීන් බෑග් නොඑන බවයි. එයට හේතුව ලෙස ඔවුන් කියන්නේ පොලිතීන් බෑග් පාවිච්චි කළොත් නීතියෙන් දඬුවම් විඳින්නට සිදුවනු ඇති බවයි. මේ වෙද්දී වෙළෙන්දන් අපහසුතාවට පත්ව ඇත්තේ පාරිභෝගිකයන්ට පොලිතීන් හෝ විකල්පයක් නැතිව භාණ්ඩ ලබාදෙන්නට යෑමේදීය. අනුර හේරත් පවසන අන්දමට වෙළෙන්දන් දැන් පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් පොලිතීන් මිලට නොගන්නේ ඒවා තහනම් බවත්, පාවිච්චි කළොත් වටලා දඩ ගසන්නට ඉඩ ඇති බවත් විශ්වාස කිරීම නිසා බවයි.

අනුමත පොලිතීන් දිරනවාද?
අනුර හේරත් පෙන්වාදෙන්නේ ආණ්ඩුව යෝජනා කරන්නේ එල්ඩීපීඊ හෙවත් ලෝ ඩෙන්සිටි පොලිතීන් වර්ග ගෙන්වීමට බවත්, ඒවා වුව පරිසර හිතකාමී නොවන බවත්ය.
‘ආණ්ඩුව අපට මාරුවෙන්න කියන්නේ ලෝ ඩෙන්සිටි පොලිඑතලින් එකකට. ඒක දිරාපත් වෙන එකක් නෙවෙයි. හැබැයි අපට මාරුවෙන්න පුළුවන්. රජයේ අනුමත අමුද්‍රව්‍ය ඒක නම් අපි ඒක නිෂ්පාදනය කරනවා. මේකෙන් වෙන්නේ රජය බලාපොරොත්තු වෙන තත්ත්වයට යන්නත් බැ. අපට ඕනෑ දේ කරන්නත් බෑ. අන්තිමේදී පොලීතීන් අවශ්‍ය වෙන අය ලොකු අපහසුතාවකට ලක්වෙන්න ඉඩ තියෙනවා. දිනකට ලන්ච් ෂීට් කෝටි එකහමාරක අවශ්‍යතාවක් තියෙනවා. දැන් ගන්න මැටීරියල් එක කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ක් වෙනවා. අපි අලුතින් ගන්න ඕනෑ අමුද්‍රව්‍ය කිලෝ එකක් රුපියල් 750ක් වෙනවා. අපි කන්ටේනර් ගණන් ගෙන්වනවා. දැන් ගෙනෙන එක ලක්ෂ 42ක් වෙනවා. ඉදිරියේදී ගෙන්වන්න කෝටි 1.15ක් විතර වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපට මාරුවෙන්න පුළුවන්. දැන් කරන ක්‍රමවේදය නිසායි ප්‍රශ්නය.’

මේ වනවිට මහා පරිමාණ වෙළෙඳසැල් ජාලාවල තිබෙන්නේ මයික්‍රෝන් 20ට වැඩි එල්ඩීපීඊ වර්ගයේ පොලිතීන් නිෂ්පාදන වේ. පොලිතීන් තහනම් කිරීමේ ප්‍රතිපත්තියක් ඇතත්, ඉදිරියේදී නීති විරෝධී නොවන පොලිතීන් වර්ග දැනටමත් පාවිච්චියට ගෙන ඇතත් වෙළෙඳසැල් ජාලාවල පාවිච්චි කරන පොලිතීන් ප්‍රමාණය නම් අඩු වී නැත. තවමත් එළවළු වර්ග ආදිය මිලදී ගැනීමේදී විශාල වශයෙන් පොලිතීන් බෑග් පාවිච්චි කරනු ලබයි. පොලිතීන් තහනමේ අරමුණ අඩු මිලට ගත හැකි පොලිතීන් තහනම් කරමින් ඒවා පාවිච්චි කිරීම අධෛර්යමත් කිරීමය. එහෙත් දැන් සිදුවෙන්නේ පොලිතීන් පාවිච්චිය අඩුවීම නොව, පොලිතීන් වෙනුවෙන් කරන වියදම වැඩි වීමයි. එය ගැටලුවට විසඳුමක් නොවනු ඇත. අනෙක් පැත්තෙන් එල්පීඩීඊ පොලිතීන් දිරා යන බවට සහතිකයක් ලැබී නැත.
ආණ්ඩුව පවසන්නේ බයෝ ඩිග්‍රේඩබල් පොලිතීන් නිෂ්පාදනවලට අනුමැතිය ලැබෙන බවයි. එහෙත් බයෝ ඩිග්‍රේඩබල් පොලිතීන් යනු ජෛව විද්‍යාත්මකව දිරාපත්වන පොලිතීන් යන තේරුම ඇති යෙදුමකි. එය විද්‍යාත්මක පොලිතීන් වර්ගයක නාමයක් නොවේ. පොලිතීන්වලට ඇති එකම සීමාව මයික්‍රෝන් 20ට වැඩි විය යුතුය යන්න පමණි. ඉතින් අවසානයේ ගනකමෙන් සහ මිලෙන් වැඩි පොලිතීන් කලින් තිබුණු ප්‍රමාණයම පරිසරයට එකතුවීම පමණක් සිදුවෙන්නටත් ඉඩ ඇත.

එයින් ගැලවෙන්නට ඇති ක්‍රමය දිරාපත්වන අන්දමේ විකල්ප නිෂ්පාදනවලට ජනතාව හුරු කිරීමයි. එය ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වෙනම කළ යුත්තකි. මයික්‍රෝන් විස්සට අඩු පොලිතීන් තහනම් කළ පමණින් ජනතාව වෙන නිෂ්පාදයකට යොමු වෙන්නේ නැත.
උදාහරණයක් ලෙස පිසූ ආහාර අලෙවි කරන වෙළෙන්දන් කියන්නේ තමන්ගේ නිෂ්පාදනවල මිල ඉහළ යෑම මිස පොලිතීන් තහනමෙන් වන සෙතක් නැති බවයි. ඔවුන් දිනය අවසන පොලිතීන් ලන්ච් ෂීට්ම පාවිච්චි කරන්නේ නම් කිසි වෙනසක් සිදුවී නැත. පාරිභෝගිකයා පීඩාවට පත්වීම පමණි සිදුව ඇත්තේ.

විකල්ප නිෂ්පාදන
පොලිතීන් වෙනුවට විකල්ප නිෂ්පාදන පිළිබඳ යෝජනා රැසක් පහුගිය කාලයේ දකින්නට ලැබුණි. එහෙත් ඒ කිසිවකට නිසි සහන ලබාදී මහා පරිමාණයෙන් නිෂ්පාදන කරන්නට ආණ්ඩුව මැදිහත්වී නැත. කෙසෙල් කොළ කල් තබාගැනීමට සුදුසු ක්‍රමයක් ගැන යෝජනාවක් ඉදිරිපත් විය. එසේනම් රටේ සමස්ත අවශ්‍යතාවට කෙසෙල් කොළ සැපයීමට පදනම සැකසිය යුතුය. මහා පරිමාණයෙන් කෙසෙල් වගාකිරීම දිරිමත් කළ යුතුය. එසේ කිරීමත් ගැටලුවක් නොවේ. කෙසෙල්වලට ඉල්ලුම ඇත්නම් ඒවා වගා කරන්නට සූදානම් ගොවි ප්‍රජාවත් ලංකාවේ සිටියි. ලංකාවේ ගොවියන්ට විකල්ප අඩුවීම මහා අර්බුදයක් වන පසුබිමක කෙසෙල් වගාව ආශ්‍රිතව ප්‍රතිපත්ති සකසා ආණ්ඩුවට ක්‍රියාත්මක කළ හැකිය. දකුණු ඉන්දියාවේ බොහෝවිට ලන්ච් ෂීට් නොව කෙසෙල් කොළ පාවිච්චි වෙයි. එය අපටත් කළ නොහැකිවා නොවේ.

අනෙක් පැත්තෙන් වෙනත් ශාකමය ද්‍රව්‍යවලින් කරන නිෂ්පාදන ගැනත් යෝජනා ඇත. ඒවා වුව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති රජය විසින්ම සැකසිය යුතුය. පොලිතීන් තහනම යථාර්ථයක් වෙන්නේ එවන් ක්‍රියාමාර්ගවලට රජය අත ගැසුවොත්ය. ඒවා කළයුත්තේ පරිසර අධිකාරියෙන් හෝ මහවැලි හා පරිසර අමාත්‍යාංශයෙන් නොවේ. රජයේ අනෙක් අමාත්‍යාංශ හරහාය. එහෙත් දැන් පොලිතීන් තහනම ගැන වදවෙන්නේ පරිසර අධිකාරිය පමණි. අනෙක් අමාත්‍යාංශවලට ඒවා ‘අපේ වැඩක් නොවේ’ ය.

ආනයනය කරන්න වෙයිද?
ලංකාවේ නිෂ්පාදකයෝ පවතින තත්ත්වයත් සමඟ ක්‍රමයෙන් අසීරු අඩියකට වැටෙමින් සිටිති. අනෙක් අතට පාරිභෝගිකයන්ගේ පොලිතීන් අවශ්‍යතාවට විකල්පයක්ද නැත. ලංකාවේ නිෂ්පාදකයන් ඒවා නිෂ්පාදනය නොකළොත් ඒවා ආනයනය කරන්නට සිදුවනු ඇත. මේ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ රංජිත් මෙසේ අදහස් දැක්වීය.
‘අපිට ආරංචියක් ලැබුණා කැබිනට් මණ්ඩලය පොලිතීන් ආනයනය කරන්න උත්සාහ කරනවා කියලා. අපි ඊට කලින් එහෙම එකක් වෙන්නට ඉඩ තියෙනවා කියලා විරෝධය පළ කළා. එහෙත් ඉදිරියේදී පොලිතීන් නැති වෙද්දී, විකල්පයකුත් නැති වෙද්දී මයික්‍රෝන් 20ට වැඩි පොලිතීන් විදේශ රටවලින් ආනයනය කරන්න ඉඩ තියෙනවා.

තහනම් කරන පොලිතින් වර්ග 4ට විකල්පයක් යෝජනා නොකර, සංවාදයකුත් නැතිව තමයි මේ තහනම ආවේ. මේ ාවගේ තහනමක් ගෙනඑනවා නම්, නිෂ්පාදකයාගේ පැත්තෙන්, තොග වෙළෙන්දාගේ පැත්තෙන්, පාරිභෝගිකයාගේ පැත්තෙන් හැමෝගේම කරුණු සලකා බලලා රටේ තියෙන අනෙක් කර්මාන්තවල යෙදෙන අය එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තහනම ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ. අපි මේ තහනමට විරුද්ධ නෑ. ඒත් මේක ක්‍රියාත්මක කරන්න යන්නේ වැරදි විදියට. අපි කියන්නේ මේ නිෂ්පාදකයන්ට අලුත් නිෂ්පාදනයට යන්න අවශ්‍ය බදු සහන දෙන්න ඕනෑ. ඒ වගේම වෙන විකල්ප නිෂ්පාදනවලට සහන ලබාදෙන්න ඕනෑ.
මේ වෙද්දී සුපර්මාකට් වලට ඇවිල්ලා තියෙනවා ගනකමෙන් වැඩි පොලිතීන් එකක්. ඒත් අපට කිසිම සහතිකයක් නෑ ඒක දිරනවා කියලා. ඒ වෙනුවට මිල වැඩිවීම පමණයි වෙන්නේ.’

පොලිතීන් පාවිච්චිය අධෛර්යමත් කරමින් එය අවම කිරීමට පියවර ගැනීම ඉතාම ප්‍රගතිශීලී පියවරකි. පසුගිය කාලයේ කුණු බැහැරකිරීම සහ කසල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණදුන් අර්බුදයන් සමඟ මෙවන් පියවරවල අවශ්‍යතාව දැඩිව මතුවී තිබුණි. එම ප්‍රතිපත්තිමය තීන්දුවට සහාය දක්වන අතරම අපට ඇති පැනය අවසානයේදී පොලිතීන් නිෂ්පාදනය අඩු කෙරෙන අන්දමේ අවසානයක් දක්වා ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවාද යන්නයි. මයික්‍රෝන් 20ට අඩු පොලිතීන් තහනම් කිරීම එක් පියවරක් පමණි. ඉදිරියේ ගතයුතු පියවර මෙන්ම ඒවායින් අපහසුතාවට පත්වන පාර්ශ්වයන් ගැන සැලකිලිමත් වීම රජය කළ යුත්තකි. පහුගිය කාලයේ හැමදේම අනාගත් ආණ්ඩුව මෙයත් අනාගන්නේ නැතිව කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.■

වටලන්නේ නෑ
අනුර දිසානායක
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්
අපි මයික්‍රෝන් 20ට වඩා අඩු පොලිතින් වර්ග 4ක් තහනම් කරලා තියෙනවා. ඒවා තමයි පොලීතීන් විදියට ලංකාවේ වැඩියෙන්ම පාවිච්චි වෙලා, කුණුවලට එකතුවෙන අපද්‍රව්‍ය අතර තියෙන්නේ. ලන්ච් ෂීට් දවසකට මිලියන 20ක්, සිලිසිලි බෑග් දවසකට මිලියන 10ක් පාවිච්චි වෙනවා. මේවා පරිසරයට එකතු කළාම පරිසරය විනාශ වෙනවා. ඒවා අපද්‍රව්‍ය විදියට ඉවත් කිරීමේ අපහසුවක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වර්ග තහනම් කළේ. අපි පරිසරවේදීන් සමඟ සාකච්ඡා කරලා කර්මාන්ත කරුවන් එක්ක සාකච්ඡා කරලා තමයි ඔය තීරණය ගත්තේ. අපි මාර්ග සිතියමක් එකක් හැදුවා. මධ්‍යකාලීන සහ දීර්ඝ කාලිනව පොලිතින් සම්බන්ධව කළයුතු වෙනස් කම් ගැන සලකා බලමින්. එහි පළමු පියවර වශයෙන් තමයි සිලි සිලි බෑග්, ලන්ච්ෂීට්, ග්‍රොසරි බෑග්, කෑම පෙට්ටි තහනම් කළේ. ඉදිරියට වතුර බෝතල්වලටත් කිසියම් පිළියමක් යොදන්න බලාපොරොත්තු වෙනවා. මයික්‍රෝන් 20ට අඩු වර්ග තහනම් කළේ විධිමත්ව. හදිස්සියේ මේ තහනම ගෙනඒම නිෂ්පාදකයන්ට අපහසු නිසා අපි ඒ දවස්වලම සැප්තැම්බර් 01 වෙනිදා සිට මෙම තහනම ගෙන එනවා කියලා නිෂ්පාදකයන්ට දැනුම් දුන්නා. පරිසර බලපත්‍ර තියෙන පොලිතින් නිෂ්පාදන කර්මාන්ත දැන් අපේ යෝජනා එක්ක අනුගත වෙලා ඉන්නවා. ඒ අතර සුළු පිරිසක් විදියට අනවසර පොලිතින් නිෂ්පාදකයනුත් සිටියා. ඒ අය කරන වැඬේ නීති විරෝධි වුණාට මෙම තහනම සම්බන්ධයෙන් ඒ අයත් ධනාත්මක ආකල්පයක ඉන්නවා. රජයෙන් කිසිම පොලිතින් වර්ගයක් පිටරටින් ගෙනෙන්නේ නැහැ. ලෝකේ ගොඩක් රටවල ලන්ච් ෂීට් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා එහෙම ගෙනෙන්න අදහසක් නෑ.
අපි ඉදිරියට පොළොවට දිරාපත්වන පොලිතීන් වර්ගවලට අනුමැතිය ලබාගන්න උත්සාහ කරනවා. ජර්මනිය වගේ රටවල් ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රමය. එතනට යෑම සඳහා ගන්න පළමු පියවර තමයි මේක. කර්මාන්ත ශාලා හිමියන් අපට මුලින් යෝජනා කළා එයාලා දැන් හදන පොලිතින්වලට ඔක්සෝ බයෝමික් කියන රසායන ද්‍රව්‍ය එකතු කරලා පොලිතින් නිෂ්පාදනය කරන්න. ඒ රසායන ද්‍රවයෙන් සිදුවන්නේ ඒවා පොළොවට ගියාම මාස 6ක් තුළ කුඩා වෙලා පසට එකතු වෙනවා. ඒත් අපේ රටේ මෙය කරන්න බැහැ. ඒ ක්‍රියාමාර්ගය ගැළපෙන්නේ මැදපෙරදිග කාන්තාර වගේ රටවලට. ඒ ක්‍රියාමාර්ගය අපේ රටට ක්‍රියාත්මක කළොත් ඒ රසායන ද්‍රව්‍ය පසත් එක්ක මිශ්‍ර වෙලා පරිසරයට ඇළ දොලට එකතුවෙලා. ඒ වතුරවලින් මිනිස්සුන්ගේ ශරීරගත වෙනවා. ඒ නිසා අපි ඒ ක්‍රියාමාර්ගයට විරුද්ධ වුණා. අපි කිව්වේ බයෝ ඩිග්‍රේඩබල් හෙවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් දිරා යන පොලිතීන් වර්ගයක් ගෙනෙන්න කියලයි.
දැනට එකඟවෙලා තියෙනවා ජනවාරිවල දැනට තියෙන තොග විකුණා අවසන්වන තුරු මයික්‍රෝන් විස්සට අඩු පොලිතීන් වටලන්නේ නෑ කියලා.